Skip to content

පටුනට යන්න

මා දුර්වලව සිටියත් බලවත්ව සිටිමි

මා දුර්වලව සිටියත් බලවත්ව සිටිමි

ජීවිත කතාව

මා දුර්වලව සිටියත් බලවත්ව සිටිමි

පැවසුවේ ලෙයෝපොල්ට් එන්ජ්ලීට්නර්

නාට්සි නිලධාරියා ඔහුගේ පිස්තෝලය මගේ හිසට තබා මගෙන් මෙහෙම ඇහැව්වා. “මම දැන් කොකා ගස්සන්නයි යන්නේ. තමුසේ මැරෙන්න ලෑස්තිද? තමුසේ නම් කිසි වැඩකට නැති මිනිහෙක්!” මම මැරෙන්න හිත හදාගෙන මගේ ඇස් දෙකත් පියාගෙන “මම ලෑස්තියි” කියලා ඉතා සන්සුන්ව පැවසුවා. ඔහු කොකා ගස්සන තෙක් මම හිටියා. නමුත් කිසිම දෙයක් සිදු වුණේ නැහැ! “තමුසේ මැරෙන්නවත් වටින්නේ නැති මෝඩයෙක්!” කියා කෑගසමින් ඔහු පිස්තෝලය ඉවතට ගත්තා. මම මෙතරම් අනතුරුදායක තත්වයකට පත් වුණේ කොහොමද කියා ඔබ සිතනවා ඇති.

මම ඉපදුණේ 1905 ජූලි 23වන දායි. ඒ ඕස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයේ පිහිටි අයිජන්ෆෝගල්හූබ් නගරයේයි. මගේ පියා ලී මෝලක වැඩ කළා. මගේ මව ගොවියෙකුගේ දියණියක්. මමයි පවුලේ වැඩිමලා. මගේ දෙමාපියන් දුප්පත් අය වුණත් ගොඩාක් වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. සෝල්ට්ස්බර්ග් අසල පිහිටි බාට් ඉෂ් කියන නගරයේ තමයි මගේ ජීවිතයේ මුල් කාලය ගෙවුණේ. එය සිත් ඇදගන්නා කඳු ශිඛර හා ලස්සන විල්වලින් පිරුණු දර්ශනීය ප්‍රදේශයක්.

ඇයි මිනිසුන්ට මෙතරම් අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙන්නේ කියන ප්‍රශ්නය ගැන මම කුඩා කාලයේදී නිතර කල්පනා කළා. මේ ප්‍රශ්නය මගේ සිතේ ඇති වුණේ අපි දුප්පත් නිසාම නොවෙයි. උපතින්ම මට කොන්දේ අමාරුවක් තිබුණා. ඒ හින්දා මම නිතරම වගේ හිටියේ වේදනාවෙන්. මගේ කොන්දේ කැක්කුම නිසා කෙළින් හිටගන්න එකත් මට හරිම අමාරු දෙයක් වුණා. පාසැලේදී මට සරඹ ක්‍රීඩා තහනම් කරලා තිබුණ නිසා මගේ පන්තියේ ළමුන් මට ගොඩාක් විහිළු කළා.

පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වන විට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. මම තීරණය කළා රැකියාවක් සොයාගෙන කොහොමහරි දුප්පත්කමෙන් ගොඩ එන්න. මට හරි හැටි කෑමක් කවදාවත් ලැබුණේ නැහැ. මම වැඩියෙන් හිටියේ බඩගින්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ කාලයේදී මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිත බිලිගත් ස්පාඤ්ඤ උණ මටත් වැලඳුණ නිසා, මට නිතර නිතර තද උණක් හටගත්තා. මම ගොඩාක් දුර්වල වෙලයි හිටියේ. මම රැකියාවක් සොයමින් ගොවිපොළවල් රැසකට ගියා. “ඔයා හරිම දුර්වලයි! ඔයාට කරන්න පුළුවන් වැඩ මෙහෙ නැහැ” කියා ගොවියන් මට පැවසුවා. ඒත්, එක් කාරුණික ගොවියෙක් මාව වැඩට ගත්තා.

දෙවිගේ ප්‍රේමය ගැන දැනගැනීම ප්‍රීතියට දායක වෙයි

මගේ මව තද කතෝලිකයෙක් වුණත් මම පල්ලි ගියේ කලාතුරකින්. මගේ පියා ආගම සම්බන්ධ කාරණය ගැන විවෘත අදහස් තිබූ කෙනෙක් වීම ඊට හේතුවයි. රෝමානු කතෝලික පල්ලියේ විශාල වශයෙන් සිදු කරනු ලබන රූප නමස්කාරය මගේ සිතට වද දුන්නා.

වර්ෂ 1931 ඔක්තෝබර් මාසයේ එක දවසක් මගේ මිත්‍රයෙක් මාව ආගමික රැස්වීමකට එක්කගෙන ගියා. ඒ රැස්වීම පවත්වනු ලැබුවේ බයිබල් ශිෂ්‍යයන් විසිනුයි. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ ඒ නමිනුයි. ඒ රැස්වීමේදී මේ වැදගත් ප්‍රශ්නවලට මට බයිබලයෙන් පිළිතුරු ලැබුණා. රූප නමස්කාරය දෙවිව සතුටු කරයිද? (නික්මයාම 20:4, 5) නිරාගින්නක් ඇත්තටම තිබෙනවාද? (දේශනාකාරයා 9:5) මළවුන්ට නැවත නැඟිටීමක් තිබෙනවාද?—යොහන් 5:28, 29.

තමන් සටන් වදින්නේ දෙවිගේ නාමයෙන් බව මිනිස්සු කියා සිටියත්, දෙවි එවන් කුරිරු යුද්ධ අනුමත නොකරන බව දැනගැනීමෙන් මට ලොකු සතුටක් දැනුණා. “දෙවි ප්‍රේමය” වන බවත් ඔහුට අතිඋත්කෘෂ්ට නාමයක් තිබෙන බවත් මම ඉගෙනගත්තා. (1 යොහන් 4:8; ගීතාවලිය 83:17) යෙහෝවා දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මුළු පොළොවම පාරාදීසයක් වන බවත් මිනිසුන්ට සදහටම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් වන බවත් දැනගැනීමෙන් මගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියා. යේසුස් සමඟ දෙවිගේ ස්වර්ගික රාජ්‍ය පාලනයේ හවුල් වීමේ මවිතකර බලාපොරොත්තුව දෙවි සමහර අසම්පූර්ණ මනුෂ්‍යයන්ට ලබා දී තිබෙනවා යන කාරණයත් මම ඉගෙනගත්තා. ඒ රාජ්‍යය වෙනුවෙන් මට හැකි හැම දෙයක්ම කරන්න මම සූදානමින් සිටියා. ඉතින් 1932 මැයි මාසයේදී මම බව්තීස්ම වී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා. එවැනි පියවරක් ගන්න ධෛර්යයක් තියෙන්න ඕනැ. ඊට හේතුව, ඒ කාලයේදී ඕස්ට්‍රියාව මුළුමනින්ම කතෝලික රටක් වීම සහ එම රට තුළ වෙනත් ආගම්වලට කිසිම පිළිගැනීමක් නොතිබීමයි.

දැඩි වෛරයට හා විරුද්ධවාදිකම්වලට මුහුණ දීම

මම පල්ලියෙන් අස්වීම ගැන මගේ දෙමාපියන් පුදුමයට පත් වුණා. පූජකයාත් ඉක්මනින්ම මේ කාරණය සියලුදෙනාටම දැනුම් දුන්නා. අසල්වැසියෝ මා ඉදිරියේ කෙළ ගැසුවා. ඔවුන්ගේ වෛරය සහ පිළිකුල ඔවුන් ප්‍රකාශ කළේ ඒ විදිහටයි. ඒත් මගේ අධිෂ්ඨානය වුණේ පූර්ණ කාලීනව දෙවිට සේවය කරන්නයි. ඉතින් 1934 ජනවාරි මාසයේදී මම පුරෝගාමියෙක් (පූර්ණ කාලීන සේවකයෙක්) ලෙස සේවය කරන්න පටන්ගත්තා.

නාට්සිවරුන්ගේ දැඩි බලපෑමට අපේ ප්‍රදේශය ගොදුරු වූ නිසා දේශපාලන වාතාවරණය නොසන්සුන් වෙන්න පටන්ගත්තා. එන්ස් ගඟේ ස්ටයිරියන් නිම්න ප්‍රදේශයේ මම පුරෝගාමි සේවයේ යෙදුණු කාලයේදී, පොලීසිය නිතරම මාව ලුහුබැන්දා. ඒ නිසා ‘සර්පයෙක් මෙන් සුපරීක්ෂාකාරීව’ සිටීමට මට සිදු වුණා. (මතෙව් 10:16) වර්ෂ 1934 සිට 1938 දක්වා කාලය අතරතුරේදී මම දිගින් දිගටම හිංසා පීඩාවලට මුහුණ දුන්නා. මට රැකියාවක් තිබුණේ නැතත්, රැකියා නැති අයට ගෙවන වන්දි මුදලවත් මට ලැබුණේ නැහැ. ඒ කාලය තුළ මා නිතරම දේශනා සේවයේ හවුල් වුණ නිසා මාව කලින් කලට අත්අඩංගුවට ගෙන නිදහස් කළා. ඒත් හතර වතාවක් මාව දීර්ඝ කාලයකට සිරඅඩස්සියේ තැබුවා.

හිට්ලර්ගේ හමුදාව ඕස්ට්‍රියාව යටත් කරගනියි

වර්ෂ 1938 මාර්තු මාසයේදී හිට්ලර්ගේ හමුදාව ඕස්ට්‍රියාව අල්ලගත්තා. දින කිහිපයක් ඇතුළත 90,000කට අධික පිරිසක්, ඒ කියන්නේ ඕස්ට්‍රියාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 2ක් පමණ පිරිසක්ව අත්අඩංගුවට ගෙන සිරගෙවල්වලට සහ ගාල් කඳවුරුවලට යවනු ලැබුවා. ඔවුන්ට විරුද්ධව එල්ල වූ චෝදනාව වුණේ ඔවුන් නාට්සි පාලනයට විරුද්ධ වීමයි. කෙසේවෙතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නම් මෙම තත්වය ගැන පුදුම වුණේ නැහැ. එයට හේතුව, ඊට කලින් වසරේ ගිම්හානයේදී මගේ මව් සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙක් ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙලා තිබුණා. මෙය පවත්වනු ලැබුවේ කිලෝමීටර් 350ක් ඈතින් පිහිටි ප්‍රාග්වලයි. ඔවුන් එහෙට ගියේ පාපැදිවලින්. ජර්මනියේ විසූ අපගේ සෙසු ඇදහිලිවන්තයන් මුහුණ දෙමින් සිටි කුරිරු පීඩා ගැන ඔවුන්ට එහිදී ආරංචි වුණා. දැන් ඇවිත් තිබෙන්නේ අපේ වාරයයි.

හිට්ලර්ගේ සේනා ඕස්ට්‍රියාවට පා තැබූ දා පටන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සිදු වුණා ඔවුන්ගේ රැස්වීම් සහ දේශනා කිරීමේ කටයුතු රහසිගතව කරන්න. ස්විට්සර්ලන්ත දේශ සීමාව හරහා හොර රහසින් බයිබල් පොත් පත් ගෙනෙනු ලැබුවත් ඒවා සියලුදෙනාටම බෙදා දීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසා ඕස්ට්‍රියාවේ වියනා නුවර විසූ සෙසු ක්‍රිස්තියානීන් රහසිගතව පොත් පත් සඟරා මුද්‍රණය කරන්න පටන්ගත්තා. බොහෝවිට මෙම පොත් පත් සාක්ෂිකරුවන්ට බෙදා දීමේ කාර්යය මට පැවරුණා.

ගාල් කඳවුරකට

වර්ෂ 1939 අප්‍රියෙල් 4වෙනි දා අපි ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට බාට් ඉෂ් නගරයේ රැස් වුණා. ඒ අවස්ථාවේදී ගෙස්ටාපෝ පොලීසිය මාවයි තවත් ක්‍රිස්තියානීන් තුන්දෙනෙක්වයි අත්අඩංගුවට ගත්තා. අපිව වාහනයක දමා ලින්ස් නුවර පිහිටි පොලිස් මූලස්ථානයට ගෙන ගියා. මම මුල්ම වතාවට වාහනයක ගියේ එදා තමයි. ඒත් මම එයින් කිසිම සතුටක් ලැබුවේ නැහැ. ලින්ස්හිදී මගෙන් තොරතෝන්චියක් නැතුව ප්‍රශ්න කළා. හැබැයි මගේ ස්ථාවරය මම අත්හැරියේ නැහැ. මාස පහකට පසුව ඉහළ ඕස්ට්‍රියාවේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින්න මට සිදු වුණා. එහිදී සිදු වුණේ මම බලාපොරොත්තු නොවූ දෙයක්. මට විරුද්ධව පනවා තිබූ අපරාධ චෝදනාව ඉවත් කළා. ඒත් මගේ පීඩා එතනින් නතර වුණේ නැහැ. මම කලින් සඳහන් කළ තුන්දෙනාව ගාල් කඳවුරකට යවනු ලැබූ අතර එහිදී ඔවුන් මිය ගියා. අවසානය දක්වාම ඔවුන් දෙවිට පක්ෂපාතව සිටියා.

මට සිරඅඩස්සියේ දිගටම ඉන්න සිදු වුණා. වර්ෂ 1939 ඔක්තෝබර් 5වෙනි දා මට ආරංචි වුණා මාව ජර්මනියේ තිබෙන බූකන්වාල්ඩ් ගාල් කඳවුරට ගෙන යනවා කියලා. සිරකරුවන්ව ගෙන යෑම සඳහා ලින්ස් දුම්රියපොළේ විශේෂ දුම්රියක් නතර කරලා තිබුණා. එම දුම්රියේ මැදිරිවල සිරකරුවන් දෙදෙනෙකු බැගින් දැමිය හැකි කුඩා සිර කුටි සාදා තිබුණා. මගේ සිරකුටියේ සිටියේ උතුරු ඕස්ට්‍රියාවේ කලින් ආණ්ඩුකාරයාව සිටි ආචාර්ය හයින්රික් ග්ලයිස්නර්.

අපි දෙදෙනා අතර ලොකු සාකච්ඡාවක් ඇරඹුණා. ඔහු මගේ දුක්ඛිත තත්වය ගැන ඇත්තටම කනගාටු වුණා. ඔහු ආණ්ඩුකාරයාව සිටි කාලයේදීත් ඔහු යටතේ තිබූ ප්‍රාන්තයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ආණ්ඩුවෙන් බොහෝ කරදර සිදු වූ බව දැනගැනීමෙන් ඔහු පුදුමයට පත් වුණා. ඉතා කනගාටුවෙන් ඔහු මෙහෙම කිව්වා. “එන්ජ්ලීට්නර් මහත්මයා, සිදු වෙලා තිබෙන හානිය වෙනස් කරන්න මට හැකිකමක් නැහැ. ඒත් මම ඒවාට සමාව ඉල්ලන්න කැමතියි. අපේ ආණ්ඩුව මගින් යුක්තිය ඉටු වෙලා නැති බව මට තේරෙනවා. ඔයාට කවදාහරි ඕනෑම ආකාරයක උපකාරයක් අවශ්‍ය වුණොත් ඒ සඳහා මට හැකි සියල්ල කරන්න මම කැමතියි.” යුද්ධයෙන් පසුව අපිට නැවත වරක් හමු වෙන්න අවස්ථාව ලැබුණා. මට දුන් පොරොන්දුව ඉටු කරමින් ඔහු නාට්සි භීෂණ සමයට ගොදුරු වූ අයට ලබාදෙන සහනාධාර මට ලැබෙන්න පියවර ගත්තා.

“මම තමුසෙට වෙඩි තියන්නයි යන්නේ”

වර්ෂ 1939 ඔක්තෝබර් 9වෙනි දා මම බූකන්වාල්ඩ් ගාල් කඳවුරට පැමිණියා. අලුත පැමිණි අය අතර සාක්ෂිකරුවෙක් සිටින බව කඳවුරේ නිලධාරියාට ඉක්මනින්ම දැනගන්න ලැබුණා. ඔහු මට ගොඩාක් කුරිරුකම් කරන්න පටන්ගත්තා. ඔහු කිසිම අනුකම්පාවක් නැතුව මට තැළුවා. ඒත් මගේ ඇදහිල්ල අත්හරින්න මට කොහෙත්ම බලපෑම් කරන්න බැරි බව ඔහුට වැටහුණාම ඔහු මට මෙහෙම කිව්වා. “එන්ජ්ලීට්නර්, මම තමුසෙට වෙඩි තියන්නයි යන්නේ! ඒත් ඊට කලින් මම තමුසේට අවස්ථාවක් දෙන්නම් ඕනෙ නම් දෙමාපියන්ට සමුගැනීමේ කාඩ්පතක් ලියන්න.” මගේ දෙමාපියන්ට සැනසිලිදායක වදන් කිහිපයක් ලියන්න මම සිතාගත්තා. ඒත් මම ලියන්න උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ඔහු මගේ අත තල්ලු කළා. ඒ නිසා මට වචනයක්වත් හරියට ලියන්න බැරි වුණා. ඔහු මට සමච්චල් කරමින් සිනාසී මෙහෙම කිව්වා. “මොන තරම් මෝඩයෙක්ද! මේ මිනිහාට පේළි දෙකක්වත් කෙළින් ලියන්න බෑ! ඒ වුණාට මොකද බයිබලය නම් කියවන්නේ නැතුව ඉන්න බැහැ!”

මම මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කළාක් මෙන් ඊළඟට ඔහු තම පිස්තෝලය මගේ හිසට තබමින් මට වෙඩි තියන්න යන බවක් ඇඟෙව්වා. ඊට පස්සේ සිරකරුවන්ගෙන් පිරුණු කුඩා සිර කුටියකට ඔහු කොහොමහරි මාවත් දැම්මා. මම රාත්‍රිය පුරාම හිටියේ හිටගෙනයි. නිදාගන්නවත් තැනක් තිබුණේ නැහැ. නිදාගන්න තැනක් ලැබුණත් එදා රෑ නම් මට කොහොමටවත් නින්ද යන එකක් නැහැ. මොකද මගේ මුළු ඇඟේම වේදනාවක් තිබුණා. ඒ සිර කුටියේ සිටි සිරකරුවන් මාව “සනසන්න” මෙහෙම කිව්වා. “වැඩකට නැති ආගමක් නිසා මැරෙන එකේ තේරුමක් නැහැනේ!” ආචාර්ය ග්ලයිස්නර් අනෙක් සිරකුටියේ සිටියා. සිදු වූ දෙය ඔහුට ආරංචි වුණාම ඔහු පැවසුවේ “ආයෙත් ක්‍රිස්තියානීන්ට පීඩා කරන්න පටන් අරන්!” කියායි.

වර්ෂ 1940 ගිම්හානයේදී හැම සිරගෙදරකම සිටි සිරකරුවන්ට ඉරිදා දවස්වලත් ගල් වළක වැඩ කරන්න නියෝගයක් ලැබුණා. සාමාන්‍යයෙන් ඉරිදා නිවාඩු දවසක්. මෙවැනි නියෝගයක් නිකුත් කළේ සමහර සිරකරුවන්ගේ නොමනා හැසිරීමට දඬුවමක් වශයෙනුයි. ගල් වළෙන් විශාල ගල් උස්සගෙන ගිහින් කඳවුරෙන් තබන්න කියා ඔවුන් අපට අණ කළා. සිරකරුවන් දෙදෙනෙක් මගේ පිට උඩ විශාල ගලක් තියන්න උත්සාහ කද්දී මාව වැටෙන්න ගියා. එවිට බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. හැමෝම ගොඩාක් බයෙන් සැලකූ කඳවුරේ අධීක්ෂක නිලධාරියා වූ ආතර් රෝඩ්ල්, මට උදව් වුණා. මට ඒ ගල උස්සගන්න බැරි බව දැකලා ඔහු මෙහෙම කිව්වා. “ඒ ගල පිටේ තියාගෙන කඳවුර වෙනකම්ම යන්න ඔයාට කොහොමටවත් බැහැ! ඒක දැන්ම බිමින් තියන්න!” ඔහුගේ ඒ අණට නම් මම බොහොම කැමැත්තෙන් කීකරු වුණා. ඊට පස්සේ රෝඩ්ල් ඊට වඩා කුඩා ගලක් පෙන්වමින් මට මෙහෙම කිව්වා. “අන්න අර ගල ගන්න. ඒක එච්චර බර නැහැ! ඒක කඳවුරට අරගෙන යන්න.” ඊට පස්සේ ඔහු අපේ නිලධාරියාට මෙහෙම අණ කළා. “බයිබල් ශිෂ්‍යයන්ට ඔවුන්ගේ කුටිවලට යන්න දෙන්න. ඔවුන් අද දවසට වැඩ කළා ඇති!”

සෑම දවසකම අපේ වැඩ ඉවර වෙද්දී මගේ ක්‍රිස්තියානි සහෝදරයන් එක්ක ආශ්‍රය කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වුණා. බයිබල් පද මතක් කරගැනීම සඳහා අපි යම් විධිවිධාන සකස් කළා. සහෝදරයෙක් කොළ කෑල්ලක බයිබල් පදයක් ලියා එය අනිකුත් සහෝදරයන් අතර අතින් අතට යවනවා. ඒ අතර බයිබලයකුත් කොහොමහරි හොර රහසින් කඳවුරට ගෙන්න ගන්න පුළුවන් වුණා. ඒ බයිබලය තනි තනි පොත්වලට අපි වෙන් කරගත්තා. මාස තුනක් පුරා යෝබ් පොත තිබුණේ මගේ භාරේ. මම ඒක සඟවා තැබුවේ මගේ මේස්වලයි. මගේ ඇදහිල්ල ස්ථිරව තබාගැනීම සඳහා යෝබ් පොතේ වාර්තාව මට උපකාරවත් වුණා.

අවසානයේදී 1941 මාර්තු 7වන දා සිරකරුවන් විශාල කණ්ඩායමක් සමඟ මාවත් නීඩහාගන් කඳවුරට ගෙන ගියා. මගේ සෞඛ්‍ය තත්වය දවසින් දවස වඩ වඩා දුර්වල වෙමින් තිබුණා. දවසක් තව සහෝදරයන් දෙදෙනෙකුටයි මටයි අණ ලැබුණා විශාල ලෑලි පෙට්ටියකට මෙවලම් පටවන්න. ඒ වැඩේ කරලා ඉවර වුණාම අපි නාට්සි හමුදා භටයන් සමඟ කඳවුරට පයින් ගියා. එක හමුදා භටයෙකු දැක්කා මම බොහොම හෙමින් ඇවිදිනවා. ඔහුට හොඳටම කේන්ති ගිහින් පිටිපස්සෙන් ඇවිත් මට හයියෙන් පයින් ගැසුවා. මාව හොඳටම තුවාල වුණා. මට දරාගන්න බැරි තරම් වේදනාවක් තිබුණත් මම ඊළඟ දවසෙත් වැඩ කරන්න ගියා.

බලාපොරොත්තු නොවූ නිදහසක්

වර්ෂ 1943 අප්‍රියෙල් මාසයේදී නීඩහාගන් කඳවුර හිස් කරනු ලැබුවා. එවිට මාව රාවන්ස්බෘක්හි පිහිටි ඝාතක කඳවුරට ගෙන ගියා. ඊට පස්සේ 1943 ජූනි මාසයේදී මම බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. ගාල් කඳවුරෙන් නිදහස් වීමේ ප්‍රස්තාව මට ලැබුණා. මේ අවස්ථාවේදී නිදහස ලබාගන්න මට මගේ ස්ථාවරය අත්හරින්න අවශ්‍ය වුණේ නැහැ. ජීවිතාන්තය දක්වා ගොවිපොළක වැඩ කරන බවට එකඟ වෙන්න කියා ඔවුන් මගෙන් ඉල්ලා සිටියා. කඳවුරේදී මම අද්දැක්ක පීඩාවලින් නිදහස් වීම වෙනුවෙන් ඒක කරන්න මම කැමති වුණා. මම මගේ අන්තිම වෛද්‍ය පරීක්ෂණය සඳහා කඳවුරේ වෛද්‍යවරයාව මුණගැසුණා. ඔහු මාව දැකලා පුදුමයෙන් වගේ ඇහැව්වා “ඔයා තාමත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්ද?” කියා. “ඔව් දොස්තර මහත්තයා” කියා මම පිළිතුරු දුන්නා. එවිට ඔහු “ඔයාව විශේෂයෙන් නිදහස් කරන්න අවශ්‍ය නැහැ. ඔයා වගේ කාලකණ්ණි මිනිහෙක්ගෙන් අපි නිදහස් වෙන එක අපිට ලොකු සහනයක්!” කියා පිළිතුරු දුන්නා.

එක අතකින් ඔහු කියපු දේ ඇත්තයි. මගේ සෞඛ්‍ය තත්වය හොඳටම දුර්වල වෙලයි තිබුණේ. උකුණෝ වගේ සත්තු වගයක් මගේ හම කාලා තිබුණා. මට වැදුණු පහරවල් නිසා මගේ එක කනක් බිහිරි වෙලා තිබුණා. මගේ ඇඟ පුරාම තිබුණු තුවාල පැසවලා තිබුණා. මාස 46ක් පුරා මූලික අවශ්‍යතාවත් නැතිව, හැමදාම, හැම මොහොතේම බඩගින්නෙන් ගත කරන්න මට සිදු වුණා. ඒ විතරක් නෙවෙයි, මගෙන් බලෙන් වැඩගත්ත නිසා මගේ බර කිලෝග්‍රෑම් 28ක් දක්වා අඩු වෙලා තිබුණා. මම රාවන්ස්බෘක් කඳවුරෙන් නිදහස් වුණේ ඒ තත්වෙයෙනුයි. ඒ 1943 ජූලි 15වෙනි දායි.

ආරක්ෂක භටයෙක්වත් නැතුව මාව කෝච්චියක දමා මගේ ගමට යැව්වා. ලින්ස්හි පිහිටි ගෙස්ටාපෝ පොලිස් මූලස්ථානයේ මම පෙනී සිටියා. ගෙස්ටාපෝ පොලීසියේ නිලධාරියා මගේ නිදහස පිළිබඳ ලියකියවිලි මට භාර දෙමින් මෙහෙම කිව්වා. “ඔයාගේ රහසිගත වැඩකටයුතු තවදුරටත් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවා නම්, ඔයාට වැරදිලා! ඔයා දේශනා කරලා අපිට අහු වුණොත් එහෙම බලාගෙනයි.”

කොහොමහරි මට අන්තිමට ගෙදර එන්න පුළුවන් වුණා! මාව 1939 අප්‍රියෙල් 4වන දා තමයි මුල් වතාවට අත්අඩංගුවට ගත්තේ. එදා පටන් මගේ මව මගේ කාමරේ කිසිම දෙයක් වෙනස් කරලා තිබුණේ නැහැ. මගේ බයිබලය වුණත් ඇඳ ගාව තිබූ මේසය උඩ දිග ඇරලා තිබුණා! මම දණින් වැටී දෙවිට හෘදයාංගම ස්තුති යාච්ඤාවක් කළා.

ඉක්මනින්ම මට බලධාරීන්ගෙන් පැවරුමක් ලැබුණා කඳුකරයේ පිහිටි ගොවිපොළක වැඩ කරන්න. ඒ ගොවිපොළ අයිති ගොවියා, මගේ කුඩා කාලයේ මිතුරෙක්. ඔහු මට කුඩා වැටුපක් පවා ගෙව්වා. යුද්ධය පටන්ගන්න කලින් මගේ මේ මිතුරා ඔහුගේ ඉඩමේ බයිබල් පොත් පත් ටිකක් සඟවා තැබීමට මට අවසර දීලා තිබුණා. ඒ පොත් පත් කියවීමෙන් මගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට හැකිවීම ගැන මම සතුටක් ලැබුවා. මට අවශ්‍ය වූ හැම දෙයක්ම මට ලැබුණා. යුද්ධය අවසන් වන තුරු ඒ ගොවිපොළේම ඉන්න මම තීරණය කළා.

කඳුකරයේ සැඟවී සිටීම

කෙසේවෙතත් වැඩි කාලයක් මට මගේ නිදහස භුක්ති විඳින්න ලැබුණේ නැහැ. වර්ෂ 1943 අගෝස්තු මාසයේ මැදභාගයේදී වගේ මට නියෝගයක් ලැබුණා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යුධ හමුදා වෛද්‍යවරයෙකු හමු වෙන්න කියලා. මුලදී ඔහු ප්‍රකාශ කළේ මගේ කොන්දේ ආබාධය නිසා හමුදා සේවය සඳහා මම සුදුසු නැහැ කියලයි. ඒත් සතියකින් පසුව එම වෛද්‍යවරයාම එම ප්‍රකාශය වෙනස් කරමින් මෙහෙම ලිව්වා. “ඉදිරි පෙළේ සටන් වැදීම සඳහා සුදුසු තත්වයක සිටියි.” ටික කලකට හමුදාවට මාව සොයාගන්න බැරි වුණා. නමුත් 1945 අප්‍රියෙල් 17වෙනි දා, යුද්ධය අවසන් වෙන්න ටික කලකට කලින් මම ඉන්න තැන ඔවුන් දැනගත්තා. මාව සටනේදී ඉදිරි පෙළේ සටන් වැදීම සඳහා අනිවාර්ය සේවයට තෝරාගනු ලැබුවා.

මම ඇඳුම් ටිකකුයි කෑම බීම ටිකකුයි බයිබලයකුයි රැගෙන කඳුකරයට පලා ගියා. මුලදී මට පුළුවන් වුණා එළිමහනේ නිදාගන්න. නමුත් කාලගුණය එකපාරටම වෙනස් වී අඩි දෙකක් උසට හිම වැටුණා. මාව හොඳටම තෙමුණා. කඳුකරයේ අතරමං වන අය සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 1,200ක් පමණ උසින් පුංචි නිවසක් තනා තිබුණා. මම සීතලේ වෙවුලමින් සිටියත් කොහොමහරි එතැනට නැඟගත්තා. මම ගින්නක් අවුළවා උණුසුම් වී මගේ රෙදි ටිකත් වේලාගත්තා. සෑහෙන්න වෙහෙසට පත් වෙලා සිටිය නිසා ලිප ළඟ තිබූ බංකුව උඩම මට නින්ද ගියා. හදිස්සියේම අවදි වූ මට ලොකු වේදනාවක් දැනුණා. මගේ ඇඳුම් ගිනි අරන් තිබුණා! මම බිම පෙරළී ගින්න නිවාගත්තත් මගේ පිට පුරාම දිය බුබුළු දැම්මා.

හිමිදිරි පාන්දර මම හෙමිහිට ගොවිපොළට ගියා. නමුත් ගොවියාගේ බිරිඳ ගොඩාක් බයවෙලා මට යන්න කිව්වා. හමුදාව මාව සොයමින් සිටි බවත් ඇය මට පැවසුවා. ඉතින් මම මගේ දෙමාපියන් ගාවට ගියා. මුලදී මගේ දෙමාපියනුත් මාව ගෙට ගන්න අදිමදි කළා. පස්සේ ඔවුන් මාව ගෙට අරගෙන පිදුරු අටුවේ නිදියගන්න තැනක් මට සූදානම් කරලා දීලා මගේ තුවාලවලටත් බෙහෙත් දැම්මා. මගේ දෙමාපියන් හුඟාක් කැලඹිලා හිටපු නිසා දින දෙකකට පසුව මම තීරණය කළා කඳුකරයේ සැඟවී සිටින එක තමයි හොඳම දෙය කියලා.

වර්ෂ 1945 මැයි 5වෙනි දා ලොකු ශබ්දයක් ඇහිලා නින්දෙන් අවදි වූ මම, මිත්‍ර හමුදාවේ ගුවන් යානා ඉතාමත්ම පහතින් පියාසර කරනවා දැක්කා. හිට්ලර්ගේ ආණ්ඩුව පරාජයට පත් වෙලා කියා මට එකපාරටම වැටහුණා. අදහාගත නොහැකි තරම් දරුණු කම්කටොලු විඳදරාගන්න යෙහෝවාගේ බලයෙන් මට හැකි වෙලා තිබුණා. ඒ වෙනකොටත් ගීතාවලිය 55:22හි සඳහන් වදන්වල සත්‍යතාවය මම අද්දැකලා තිබුණා. මගේ පීඩා පටන්ගන්නකොට මට ඒ වදන්වලින් ලොකු සහනයක් ලැබුණා. මම ‘මගේ බර යෙහෝවා පිට තබලා’ තිබුණා. මම ශාරීරිකව දුර්වලව සිටියත්, “මරණ සෙවණේ මිටියාවත මැදින්” මම ගමන් කරද්දී යෙහෝවා දෙවි මාව ඉසිලුවා.—ගීතාවලිය 23:4.

‘දුර්වලකමේදී සම්පූර්ණ’ වන යෙහෝවාගේ බලය

යුද්ධයෙන් පසුව ජීවිතය ක්‍රමානුකූලව යථා තත්වයට පත් වුණා. මුලදී මම මගේ ගොවි මිත්‍රයාගේ ගොවිපොළේ කුලී වැඩ කළා. මගේ ජීවිතාන්තය දක්වා අනිවාර්යයෙන්ම කෘෂිකාර්මික වැඩවල නිරත වීමේ බැඳීමෙන් මම නිදහස් වුණේ 1946 අප්‍රියෙල් මාසයේයි. තාවකාලිකව පාලනය කරමින් සිටි අමෙරිකානු හමුදාව මාව ඒ බැඳීමෙන් නිදහස් කළා.

යුද්ධය අවසන් වුණාට පසුව බාට් ඉෂ් සහ ඒ අවට ප්‍රදේශයේ විසූ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් නිතිපතා රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. ඔවුන් දැඩි උද්‍යෝගයකින් දේශනා කරන්නත් පටන්ගත්තා. කර්මාන්ත ශාලාවක මුරකරුවෙක් ලෙස රාත්‍රියේදී වැඩ කරන්න මට රැකියාවක් ලැබුණා. ඒ නිසා මට පුළුවන් වුණා පුරෝගාමි සේවය දිගටම කරගෙන යන්න. මම පසුව සාංක්ට් වොල්ෆ්ගාං ප්‍රදේශයේ පදිංචි වුණා. වර්ෂ 1949දී මම ටරේසා කර්ට්ස් සමඟ විවාහ වුණා. ඇයට කලින් විවාහයේ දියණියක්ද සිටියා. අපි අවුරුදු 32ක් එකට විවාහ ජීවිතය භුක්ති වින්දා. මගේ ආදරණීය බිරිඳ 1981 වසරේදී මිය ගියා. වසර හතකට වැඩියෙන් ඇගේ මරණයසිදු වන තෙක් මම ඇයට සාත්තු කළා.

ටරේසා මිය ගියාට පසුව මම නැවතත් පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. මට දැනුණ තනිකම සහ පාළුව යම් දුරකට සැහැල්ලු කරගන්න මෙය උපකාරවත් වුණා. මම දැන් බාට් ඉෂ්හි පිහිටි මගේ සභාවේ පුරෝගාමියෙක් සහ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරමින් සිටිනවා. මට රෝද පුටුවකට වෙලා ඉන්න සිදු වී තිබෙන නිසා මම බාට් ඉෂ්හි උද්‍යානයේ හෝ මගේ නිවස ඉදිරියේ හෝ ඉඳගෙන, යන එන මිනිස්සු සමඟ දේවරාජ්‍ය ගැන කතා කරමින් ඔවුන්ට බයිබල් පොත් පත් ඉදිරිපත් කරනවා. මේ විදිහට මම කරන බයිබල් සාකච්ඡාවලින් මට ලොකු සතුටක් ලැබෙනවා.

අතීතය ගැන කල්පනා කරද්දී මට ස්ථිරවම කියන්න පුළුවන් දෙයක් තිබෙනවා. මම ඉතාමත්ම බිය උපදවන, කුරිරු අද්දැකීම්වලට මුහුණ දුන්නත්, ඒවා නිසා මා තුළ වෛරයක් හටගත්තේ නැහැ. මේ පීඩා නිසා මම අධෛර්යයට පත් වූ අවස්ථා තිබුණු බව ඇත්තයි. ඒත් යෙහෝවා දෙවි සමඟ මට තිබුණු කිට්ටු සම්බන්ධය නිසා එම අසීරු අවස්ථාවලින් ගොඩ එන්න මට හැකියාව ලැබුණා. “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” කියා දෙවි පාවුල්ට පැවසූ වචනවල සත්‍යතාව මම මගේ ජීවිතයේදීත් අද්දැක්කා. මගේ වයස දැන් අවුරුදු 100ට කිට්ටුයි. ප්‍රේරිත පාවුල් වගේ මටත් මෙහෙම කියන්න පුළුවන්. “මම ක්‍රිස්තුස් උදෙසා පැමිණෙන දුර්වලකම් ගැනද, නින්දා ගැනද, අග හිඟකම් ගැනද, හිංසා සහ දුෂ්කරතා ගැනද සතුටු වෙමි. මන්ද, මා දුර්වලව සිටියදී මම බලවත්ව සිටිමි.”—2 කොරින්ති 12:9, 10.

[25වන පිටුවේ පින්තූර]

1939 අප්‍රියෙල්වල ගෙස්ටාපෝ පොලීසිය මාව අත්අඩංගුවට ගත්තා

1939 මැයිවල ගෙස්ටාපෝ පොලීසිය මට විරුද්ධව නිකුත් කළ චෝදනා පත්‍රය

[හිමිකම් විස්තර]

රූප දෙකම: Privatarchiv; B. Rammerstorfer

[26වන පිටුවේ පින්තූරය]

අසල පිහිටි කඳුකරයේ මම සැඟවී සිටියා

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Foto Hofer, Bad Ischl, Austria