Skip to content

පටුනට යන්න

විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතව සිටි දෙදෙනෙක්

විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතව සිටි දෙදෙනෙක්

විරුද්ධවාදිකම් හමුවේ නිර්භීතව සිටි දෙදෙනෙක්

උන්මත්තක කල්ලියක් විසින් ප්‍රේරිත පාවුල්ගේ මිත්‍රයන් දෙදෙනෙකු වන ගායස් සහ අරිස්තාකස්ව එෆීසයේ රංග භූමියට බලෙන් ඇදගෙන යනවා. එහිදී කෝපයෙන් වියරු වැටුණු සෙනඟ “එෆීසයන්ගේ ආටෙමිස් උතුම්ය!” කියා පැය දෙකක් පුරා කෑගසනවා. (ක්‍රියා 19:28, 29, 34) විරුද්ධවාදිකම් හමුවේ පාවුල්ගේ මෙම මිත්‍රයන් ස්ථිරව සිටීවිද? මෙම සිද්ධියට හේතුව කුමක්ද?

පාවුල් වසර තුනක පමණ කාල පරිච්ඡේදයක් පුරා එෆීස නගරයේ දේශනා කර තිබුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එෆීසයේ වැසියන් බොහෝදෙනෙක් රූප නමස්කාරය අත්හැරියා. (ක්‍රියා 19:26; 20:31) එෆීසයේ බහුලව දක්නට තිබුණේ රිදීයෙන් සාදන ලද ආටෙමිස් දේවතාවියගේ කුඩා රූප. ආටෙමිස් සශ්‍රීකත්වයේ දේවතාවිය වූ අතර එෆීස නගරයේ අතිවිශාල දේවාලයක් ඇයට කැප කර තිබුණා. මිනිස්සු මෙම දේවාලයේ කුඩා රිදී රූප යන්තර ලෙස පැළඳගත්තා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ගෙවල්වල ඒවා තබා තිබුණා. නමුත් ක්‍රිස්තියානීන් මෙම රූප මිල දී ගත්තේ නැහැ.—1 යොහන් 5:21.

මෙම නගරයේ සිටි රිදීකරුවන් එම රූප විකිණීමෙන් හොඳ ලාභයක් උපයමින් සිටියා. නමුත් පාවුල්ගේ දේශානා කිරීම නිසා ඔවුන්ගේ ව්‍යාපාරයට තර්ජනයක් එල්ල වෙයි කියා ඔවුන්ගෙන් කෙනෙකු වූ දෙමේත්‍රියස්ට හැඟුණා. පාවුල්ගේ මෙම දේශනා කිරීම නිසා කුඩා ආසියාව පුරා සිටින මිනිස්සු ආටෙමිස්ට වන්දනා කිරීම නතර කරාවි කියා පවසමින් දෙමේත්‍රියස් අනෙකුත් රිදීකරුවන්ව උසිගැන්නුවා. එසේ කිරීමට ඔහු නොයෙකුත් බොරු ගොතා කිව්වා. මේ දේවල් ඇසීමෙන් කෝපයට පත් වූ රිදීකරුවන් ආටෙමිස්ට ප්‍රශංසා ඝෝෂා පවත්වන්න පටන්ගත්තා. මේ සමඟම ලොකු කෝලහලයක් හටගෙන මුළු නගරයම වියවුල් තත්වයකට පත් වුණා.—ක්‍රියා 19:24-29.

දහස් සංඛ්‍යාත මිනිස්සු රංග භූමියට රැස් වුණා. එම රංග භූමියේ ප්‍රේක්ෂකයන් 25,000කට අසුන් ගත හැකියි. ඒ උන්මත්තක කණ්ඩායම සමඟ කතා කිරීමට පාවුල් ඉදිරිපත් වුණත් කාරුණික නිලධාරීන් ඔහුව වැළැක්වුවා. අවසානයේදී නගරාධිපතිට හැකි වුණා ඒ සෙනඟව සන්සුන් කරන්න. මේ නිසා ගායස් සහ අරිස්තාකස්ට බේරෙන්න හැකි වුණා.—ක්‍රියා 19:35-41.

අද දින සිටින දෙවිගේ සේවකයන්ටත් දේවසේවයේ නියැලෙන විට විරුද්ධවාදීන්ට සහ ඔවුන් නිසා ඇති වන කෝලහලවලට මුහුණ දීමට සිදු විය හැකියි. බොහෝවිට ඔවුන්ට ශුභාරංචිය දේශනා කරන්න සිදු වෙන්නේ රූප නමස්කාරය, දුරාචාරය සහ අපරාධ පැතිර පවතින නගරවලයි. ඒ කෙසේවෙතත් එෆීස නගරය තුළ ‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඉගැන්වීමෙන් වැළකී නොසිටි’ ප්‍රේරිත පාවුල්ව ඔවුන් නිර්භීත ලෙස අනුකරණය කරමින් සිටිනවා. (ක්‍රියා 20:20) “යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය වෙමින් බලවත්” වෙනවා දකිද්දී ඔවුන්ටත් දැනෙන්නේ ඉමහත් සතුටක්.—ක්‍රියා 19:20.

[30වන පිටුවේ පින්තූරය]

එෆීසයේ තිබූ රංග භූමියේ නටබුන්