Skip to content

පටුනට යන්න

විශිෂ්ට ජයග්‍රහණයක්

විශිෂ්ට ජයග්‍රහණයක්

විශිෂ්ට ජයග්‍රහණයක්

ඔබේ ඇදහිල්ල නිසා ඔබ රැකියා කරන ස්ථානයේදී, පාසැලේදී හෝ නිවසේදී විරුද්ධවාදිකම්වලට මුහුණ දී තිබෙනවාද? සමහරවිට අපගේ ආගමික ක්‍රියාකාරකම්වලට ආණ්ඩුවෙන් පනවා තිබෙන තහංචි නිසා ඔබ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා ඇති. අධෛර්යයට පත් වෙන්න එපා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් එවැනි පීඩාවලට මුහුණ දී තිබෙන අතර ඔවුන් ජය ලබා තිබෙනවා. අර්නා ලූඩොල්ෆ්ගේ අද්දැකීම සලකා බලන්න.

අර්නා ඉපදුණේ 1908 ජර්මනියේ ලූබෙක් නගරයේයි. ඇය හැර ඇගේ පවුලේ අනිකුත් සාමාජිකයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවේ. එක්දහස් නවසිය තිස් තුනේදී හිට්ලර් පාලනය කරන්න පටන්ගත් අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පීඩා කළා. හිට්ලර්ට ආචාර කරන්න අර්නා ප්‍රතික්ෂේප කළ නිසා ඇගේ රැකියා ස්ථානයේ අය ඇයට චෝදනා කළා. අවසානයේදී නාට්සිවරුන් ඇයව අත්අඩංගුවට ගත්තා. ඇය අවුරුදු අටක් විවිධ සිරගෙවල්වලත්, හැම්බර්ග් ෆූල්ස්බූටල්, මෝරිංයන්, ලික්ටන්බර්ග් සහ රාවන්ස්බෘක් යන ගාල් කඳවුරුවලත් සිටියා. අර්නා රාවන්ස්බෘක් ගාල් කඳවුරේ සිටිද්දී සිදු වූ යම් දෙයක් නිසා ඇය ඇත්තෙන්ම විරුද්ධවාදීන්ගෙන් ජය ලැබුවා කියා පැවසිය හැකියි.

විශේෂ ගෘහ සේවිකාවක්

මහාචාර්ය ෆ්‍රීඩ්‍රික් හොල්ට්ස් සහ ඔහුගේ බිරිඳ ඇලිස් ජීවත් වුණේ බර්ලින්වලයි. ඔවුන් නාට්සිවරුන්ගේ පක්ෂයේ සාමාජිකයන් නොවේ. ඒ වගේම නාට්සිවරුන්ගේ අදහස් උදහස්වලට වුණත් ඔවුන් උල්පන්දම් දුන්නේ නැහැ. ඔවුන්ට නෑයෙක් වූ කෙනෙක් නාට්සි හමුදාවේ නිලධාරියෙක් ලෙස සේවය කළා. සමහර ගාල් කඳවුරුවල සිටි සිරකරුවන් සිටියේ ඔහුගේ භාරයේයි. ඉතින් මෙම මහාචාර්යවරයා සහ ඔහුගේ බිරිඳට ගෘහ සේවිකාවක් ඕන වූ විට ගාල් කඳවුරෙන් සිරකාරියකව තෝරාගන්න කියා ඵම නාට්සි හමුදා නිලධාරියා ඔවුන්ට පැවසුවා. ඇලිස් 1943 මාර්තු මාසයේදී රාවන්ස්බෘක් ගාල් කඳවුරට ගොස් ගෘහ සේවිකාවක්ව තෝරාගත්තා. ඇය තෝරාගත්තේ අර්නා ලූඩොල්ෆ්වයි! අර්නා, හොල්ට්ස් නිවසේ පදිංචියට ගියා. ඔවුන් ඇයට හොඳින් සැලකුවා. යුද්ධය අවසන් වූවාට පසුව එම පවුලත් එක්කම ඇය සාලේ ගඟ අසල පිහිටි හාලේ නගරයේ පදිංචියට ගියා. එහිදී නැවතත් අර්නාට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. මේ අවස්ථාවේදී විරුද්ධවාදිකම් ඇති වූයේ නැඟෙනහිර ජර්මනියේ පිහිටි සමාජවාදී බලධාරීන්ගෙනුයි. එක්දාස් නවසිය පනස් හතේදී එම පවුලම බටහිර ජර්මනියට පිටුවහල් කරනු ලැබූ අතර අර්නාද ඔවුන් සමඟ ගියා. අන්තිමේදී තම ආගම අදහන්න අර්නාට නිදහස ලැබුණා.

අර්නා විරුද්ධවාදිකම් වින්දත් විශේෂාකාරයේ ජයක් ලැබුවේ කොහොමද? අර්නාගේ හොඳ හැසිරීම සහ ඇය දක්ෂ ලෙස බයිබලයේ පණිවුඩය දේශනා කළ නිසා ඇලිස් හොල්ට්ස් සහ ඇගේ දරුවන් පස්දෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස බව්තීස්ම වුණා. ඒ විතරක් නෙවෙයි, ඇලිස්ගේ මුනුබුරු මිනිබිරියන්ගෙන් 11දෙනෙක්ද සාක්ෂිකරුවන් වූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් ජර්මනියේ සෙල්ටර්ස්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරමින් සිටිනවා. “අපේ පවුලේ අය සාක්ෂිකරුවන් වී සිටින්න ප්‍රධානම හේතුව අර්නාගේ හොඳ ආදර්ශයයි” කියා ඇලිස්ගේ දියණියක් වන සුසෑන් පවසනවා. විරුද්ධවාදිකම් වින්දත් මෙපමණ දෙනෙකුට බයිබල් සත්‍යයන් පිළිගැනීමට උපකාර කිරීමට හැකිවීම ඇත්තෙන්ම ඇය ලැබූ විශේෂාකාරයේ ජයක්යයි පැවසිය හැකියි. ඔබ ගැන කුමක් කිව හැකිද? අසීරු තත්වයන් යටතේ වුණත් ඔබ විශ්වාසවන්තව විඳදරාගත්තොත් ඔබටත් ආශීර්වාද ලැබිය හැකියි. ඇත්තෙන්ම හොඳ හැසිරීමෙනුත් දක්ෂ ලෙස දේශනා කිරීමෙනුත් මෙවැනිම විශේෂ ආකාරයක ජයක් ලැබීමට ඔබටත් හැකියි. *

[පාදසටහන]

^ 6 ඡේ. මෙම ලිපිය මුද්‍රණය සඳහා සූදානම් කරද්දී අර්නා ලූඩොල්ෆ් මිය ගියා. ඇගේ වයස 96ක් වුණ අතර ඇය අවසානය දක්වාම විශ්වාසවන්තව සිටි සහෝදරියක්.

[31වන පිටුවේ පින්තූරය]

හොල්ට්ස් පවුලේ සාමාජිකයන් සමඟ අර්නා ලූඩොල්ෆ් (ඉඳගෙන)