Skip to content

පටුනට යන්න

සෑම දවසක්ම ප්‍රයෝජනවත් ආකාරයකින් ගත කරමු

සෑම දවසක්ම ප්‍රයෝජනවත් ආකාරයකින් ගත කරමු

සෑම දවසක්ම ප්‍රයෝජනවත් ආකාරයකින් ගත කරමු

“ප්‍රඥාවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්වුව මැනව.” (ගීතාවලිය 90:12) බයිබල් ලේඛක මෝසෙස් ඉතා යටහත් පහත් ලෙස යාච්ඤාවෙන් ඉල්ලුවේ එයයි. ඔහු ඉල්ලා සිටි දෙයින් අදහස් කළේ කුමක්ද? අපත් එවැනිම ගෞරවනීය ඉල්ලීමක් කළ යුතුද?

මිනිසාට තිබෙන කෙටි ආයු කාලය ගැන මෝසෙස් ඉතා කනගාටු වුණා. එම පරිච්ඡේදයේම 10වන පදයේ ඔහු ඒ ගැන සඳහන් කර තිබෙනවා. තවත් අවස්ථාවක මෝසෙස් යෝබ් කළ ප්‍රකාශයක් සඳහන් කළා. යෝබ් පැවසුවේ “ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා පවතින්නේ ස්වල්ප දවසක්ය; [ඒ දවස්] දුකින් පූර්ණය” කියායි. (යෝබ් 14:1) පව්කාර මිනිස් වර්ගයාගේ ආයුෂ කාලය ඉතාමත්ම කෙටි බව මෝසෙස් හොඳින් තේරුම්ගෙන තිබුණා. එම නිසා ඔහු සෑම දවසක්ම සැලකුවේ තමාට ලැබුණු ඉතාමත්ම වටිනා සම්පතක් හැටියටයි. ඉහත සඳහන් ආයාචනය කරද්දී මෝසෙස් තමා තුළ තිබූ ආශාවක් හෙළි කරනවා. ඒ තමයි, තමාට ජීවත් වීමට ඉතිරිව තිබූ දවස් ප්‍රඥාවන්තව හා තම මැවුම්කරුට සතුටක් ගෙන දෙන ආකාරයෙන් ගත කිරීමට ඔහුට තිබූ ආශාවයි. එසේනම් අපත් අපට ඉතිරිව තිබෙන සෑම දවසක්ම අර්ථවත් ලෙස ගත කිරීමට ආශා විය යුතු නැද්ද? දෙවිගේ අනුමැතිය ලබන්න අපට ඇත්තෙන්ම ආශාවක් තිබෙනවා නම් අප එසේ කරනවා නොඅනුමානයි.

සෑම දවසක්ම අර්ථවත්ව ගත කිරීමට මෝසෙස් සහ යෝබ් තුළ පෙලඹීමක් ඇති කළ තවත් හේතුවක් තිබුණා. දෙවිට ලැදි මෙම පුරුෂයන් දෙදෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ දෙවිගේ පොරොන්දුවේ හැටියට වඩාත් හොඳ තත්වයන් යටතේ අනාගතයේදී මෙම පොළොවේ ජීවත් වීමටයි. අපගේ දවස්ද අර්ථවත් ලෙස ගත කිරීම සඳහා අපව පෙලඹවිය යුත්තෙත් එම හේතුවමයි. (යෝබ් 14:14, 15; හෙබ්‍රෙව් 11:26) ඒ කාලයේදී සෑම පුද්ගලයෙකුටම සැමදාම යහපත් ක්‍රියාවල නියැලීමට පුළුවන් වනු ඇති අතර ඊට මරණය කවදාවත් බාධාවක් වන්නේ නැහැ. ඇදහිලිවන්තයන් පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම අපගේ මැවුම්කරුගේ අරමුණයි. (යෙසායා 65:21-24; එළිදරව් 21:3, 4) ඔබත් ‘ප්‍රඥාවන්ත සිතක් ලබාගන්නා පිණිස ඔබේ දවස් ගණින්ට’ ඉගෙනගන්නවා නම්, නැතහොත් සෑම දවසක්ම ප්‍රයෝජනවත් ආකාරයකින් ගත කරන්න ඔබ උත්සාහ දරනවා නම් දෙවිගේ අරමුණ වන ඒ පාරාදීස පොළොවේ ජීවත් වීම සඳහා ඔබටත් බලාපොරොත්තුවෙන් සිටිය හැකියි.