Skip to content

පටුනට යන්න

ඔබ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ද?

ඔබ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ද?

ඔබ සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක්ද?

“එයාට මොනවා වෙලාද? එයාට ඒක නොකර ඉන්න තිබුණා” යමෙක් දෙස බලා සිටි තව තැනැත්තෙක් පැවසුවා. “එයා සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක් නම්, එයා කවදාවක්වත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ” යි කියමින් මුමුන මුමුනා එතැනින් ඉවත්ව ගියේ තවත් පුද්ගලයෙක්. සමහරු මේ වගේ කියනවා ඔබත් අහලා ඇති. අද දින සමාජයේ බොහෝ අය “සිහිකල්පනාවෙන්” වැඩ කරන්නේ නැත්තේ ඇයි?

“සිහිකල්පනාව” යන වචනයෙන් “පිරිසිදු කල්පනාව,” “බුද්ධිය,” “තේරුම්ගැනීම” සහ “ඥානය” යන අදහස් ගෙනහැර දක්වනවා. සිහිකල්පනාවෙන් අඟවන්නේ යම් පුද්ගලයෙකුට යමක් නිවැරදිව විනිශ්චය කිරීමට හා බුද්ධිමත්ව ඒ ගැන තීරණයක් ගැනීමට හැකියාව තිබෙන බවයි. මේ නිසා සිහියෙන් කටයුතු කරද්දී අප අපේ කල්පනා ශක්තිය පාවිච්චි කළ යුතු බව පේනවා. බොහෝදෙනෙක් කරන්නේ තමන් වෙනුවෙන් තීරණ ගැනීමට අනුන්ට ඉඩහැරීමයි. තමන් කළ යුතු දේ කුමක්ද කියා තීරණය කිරීමට ඔවුන් ජනමාධ්‍යය, තමන්ගේ යහළු මිත්‍රයන් හෝ වෙනත් ජනප්‍රිය මතිමතාන්තරවලට ඉඩහරිනවා.

අද දින සමාජයේ මෙම සිහිකල්පනාව කොතරම් විරලද කිව්වොත් එක්තරා පුද්ගලයෙක් කීවේ, ‘සිහිකල්පනාවෙන් වැඩ කරන්නේ බොහොම ස්වල්පදෙනයි’ කියායි. අප සිහිකල්පනාවෙන් වැඩ කරන අය වෙන්නේ කොහොමද? ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙකු වීම

සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙකු වීමට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම හොඳ කල්පනා ශක්තියක්ද අවශ්‍යයි. සිහිබුද්ධිය වගේම හොඳින් යමක් විනිශ්චය කිරීමට ඉගෙනගන්න අවශ්‍යයි. මේ ගුණාංග නොකඩවා දියුණු කරගැනීමෙන් හොඳ සිහිකල්පනාව ඇති පුද්ගලයන් වීමට අපට පුළුවන්. සිහිකල්පනාවෙන් ක්‍රියා කිරීමට ඉවහල් වන සාධක තුනක් ගැන දැන් අපි සලකා බලමු.

බයිබලය අධ්‍යයනය කර එහි අවවාද පිළිපදින්න. පැහැදිලිව තර්කානුකූලව ඉතාමත්ම අලංකාර ශෛලියකින් ලියා ඇති බයිබලය අපට ප්‍රඥාව සහ සිහිකල්පනාව ලබාගැනීමට තිබෙන කදිම මාධ්‍යයක්. (එෆීස 1:8) නිදසුනක් හැටියට ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට අවවාද කළේ මෙසේයි. “සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.” (ෆිලිප්පි 4:8) අප මෙම අවවාදය නොකඩවා පිළිපදිනවා නම්, අපට හොඳ සිහිබුද්ධිය ලැබී අප ඥානවන්ත ලෙස හැසිරෙනවා ඇති.

ඔබේ අද්දැකීම්වලින් ඉගෙනගන්න. එක්තරා ස්විට්සර්ලන්ත ජාතික කවියෙක්, ජීවිතයේ තමා ලැබූ අද්දැකීම් ඔස්සේ සිහිකල්පනාව ගැන මෙසේ පවසනවා. “සිහිකල්පනාව යනු යමෙක් ජීවිතයේ ලැබූ අද්දැකීම්වල හා කලින් යමක් දැකීමේ හැකියාවේ එකතුවකි.” ඇත්තවශයෙන්ම, “මෝඩයා [අද්දැකීම් අඩු තැනැත්තා] සැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” (හිතෝපදේශ 14:15) යමක් නිරීක්ෂණය කිරීමෙන්, යමක් ගැන පුහුණුව ලැබීමෙන් හා අද්දැකීම්වලින්ද හොඳ සිහිකල්පනාව වර්ධනය කරගත හැකියි. අපට යමක් වඩාත් හොඳින් කළ හැකි වෙන්නේ කාලය ගතවීමත් සමඟයි. කොහොමවුණත්, අපේම වැරදිවලින් ඉගෙනගන්නට නම් අපට යටහත් පහත්කම සහ මෘදුකම යන ගුණාංග තිබිය යුතුයි. මේ අන්තිම දවස්වල ජීවත් වන උඩඟු, උද්දච්ච, අහංකාර මිනිසුන් තුළ නම් අපට සිහිකල්පනාව දැකගන්න ලැබෙන්නේ නැහැ.—2 තිමෝති 3:1-5.

ඔබ ඇසුරු කරන අයව ඥානවන්තව තෝරාගන්න. ප්‍රඥාවෙන් සහ සිහිකල්පනාවෙන් කටයුතු කිරීම ගැන සලකා බලද්දී අපට කිසිසේත් ඉවත දැමිය නොහැකි සත්‍යයක් තිබෙනවා. ඒ තමයි අප ඇසුරු කරන අය අපගේ හොඳට හෝ නරකට බලපානවා කියන කාරණය. හිතෝපදේශ 13:20 මෙහෙම කියනවා. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න; එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය.” ඒ නිසා දෙවිට අකීකරු වන සහ ඔහුගේ වචනය ගැන කිසිම තැකීමක් නොකරන අයගේ ආකල්පය අප ඇති කරගන්නේ නැහැ. හිතෝපදේශ 17:12හි [නව අනුවාදය] මේ අදහස මේ විදිහට විග්‍රහ කරනවා. “මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමුවීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.”

සිහිකල්පනාවෙන් වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

සිහිකල්පනාවෙන් වැඩ කිරීමෙන් මහත් ප්‍රයෝජන ලැබෙනවා. අප සිහිකල්පනාවෙන් වැඩ කරන විට, අප ජීවිතය ගෙවන්නේ ප්‍රබෝධයෙන්. ඒ වගේම අප කාලය හොඳින් පාවිච්චි කරනවා. හොඳට සිතා බලා යම් දෙයක් කිරීමටත්, නොකළ යුතු දේවලින් වැළකී සිටීමත් උපකාර වන්නේ හොඳ සිහියයි. මේ නිසා අපට කලකිරීම බොහෝදුරට අඩු කරගත හැකියි. හොඳ සිහිකල්පනාව නැති අයගේ ජීවිතය කටුකයි. අමිහිරියි. “අඥානයා සිය වැඩකටයුතුවලින් අධික වෙහෙසට පත් වනු ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ධර්මදේශකයා [දේශනාකාරයා] 10:15, න.අ.) එවන් පුද්ගලයන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා වෙන්නට පුළුවනි. නමුත් ඔවුන්ට කිසිම දෙයක් හරියට කරගන්නට ලැබෙන්නේ නැහැ.

පිරිසිදුකම, අදහස් හුවමාරු කරගැනීම, කඩිසරකම හා දිලිඳුකම පිටුදැකීම සහ ජීවිතයේ වෙනත් බොහොමයක් පැති ගැන ඉතා වටිනා අවවාද රාශියක් බයිබලයේ දී තිබෙනවා. පුද්ගලයන්ගේ ජීවිතවල සාර්ථකත්වය සහ අසාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ව ප්‍රඥාවන්තයන් බවට පත් කරන බයිබලයේ ප්‍රතිපත්ති කොතරම් දුරට ඔවුන් අදාළ කරගන්නවාද යන්න මතයි. මිලියන ගණනකගේ ජීවිත දෙස බලද්දී ඒ බව මනාව පැහැදිලි වෙනවා.

සිහිකල්පනාව අපට තවත් පැත්තකින් උපකාරවත් වෙනවා. ඒ, ලියා දී තිබෙන යම් උපදෙස් හෝ නීති නිකම්ම පිළිපදිනවාට වඩා වැඩි යමක් කිරීමටයි. වගකීමෙන් වැඩ කරන පුද්ගලයන් වශයෙන් හැසිරීමට එය අපට මහත් රුකුලක්. ඒ වුණත්, හොඳ සිහිය තිබුණා කියා දැනුම ලබාගැනීමෙන් අප වැළකී සිටිය යුතු නැහැ. මන්ද හිතෝපදේශ 1:5හි කියන්නේ “ඥානවන්තයා අසා උගත්කමෙහි වර්ධනය වේ” කියායි. ඒ වගේම අපට ලැබෙන තොරතුරු හොඳින් විග්‍රහ කර බලන්නටත් අපි ඉගෙනගන්න ඕනෑ. එවිට තමයි අපට නිවැරදි නිගමනවලට ඒමට හැකි වෙන්නේ. ‘නුවණින් හැසිරීමට’ මෙය අපට උදව් වෙනවා.—හිතෝපදේශ 28:26.

සිහිකල්පනාවට සම්බන්ධ තවත් ගුණාංගයක්, නිහතමානිකම. වගකීම් බොහොමයක් දැරීමට අපි කැමති වුණත්, සිහිකල්පනාව පාවිච්චි කර අපගේම ශක්තියෙන් කළ හැකි දේවල් පමණක් කිරීමයි ඥානවන්ත දේ වන්නේ. “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” කියා ප්‍රේරිත පාවුල් කී බව ඇත්තයි. (1 කොරින්ති 15:58) එහෙත්, මේ අවවාදය, “මළ සිංහයෙකුට වඩා ජීවත් වන බල්ලෙක් හොඳය” යනුවෙන් දේශනාකාරයා 9:4හි සඳහන් ප්‍රතිපත්තිය සමඟ සමබරව අදාළ කරගත යුතුයි. අප යෙහෝවාට සේවය කරන අතර හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා නම්, අපට බොහෝ කල් ජීවත් වීමට හැකි වන අතර, ක්‍රියාශීලී පුද්ගලයන් ලෙස දිවි ගෙවන්නටත් පුළුවන්. අපට සිහිකල්පනාව තිබෙනවා නම්, අප කටයුතු කරන්නේ සමබරව හා සාධාරණවයි. ඒ නිසා අපට අපේ ප්‍රීතිය අහිමි කරගන්නේ නැතිව ඉන්න පුළුවන්. ඔව්, ඇත්තෙන්ම සිහිකල්පනාව ඇතිව සිටීම මොන තරම් ප්‍රයෝජන අපට ගෙන දෙනවාද!

[14වන පිටුවේ පින්තූරය]

බයිබලයේ හොඳ අවවාද රාශියක් තිබෙනවා

[15වන පිටුවේ පින්තූරය]

නිරීක්ෂණය කිරීමෙන්, පුහුණුව ලැබීමෙන් හා අද්දැකීම්වලින් යමෙකුට සිහිකල්පනාවෙන් වැඩ කිරීමට ඉගෙනගත හැකියි