දිලිඳුකම නැති කිරීමට මිනිසාට හැකිද?
දිලිඳුකම නැති කිරීමට මිනිසාට හැකිද?
මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ගෙන් මිලියන ගණනක් හැදී වැඩී තිබෙන්නේ දිලින්දන් හැටියට නෙවෙයි. ඔවුන් කවදාකවත් කුසගින්නේ ඉඳලා නැහැ. සීතලේ ගැහි ගැහී නින්දට ගිහිල්ලා නැහැ. නමුත් දිලිඳුකමේ පහත් අඩියටම වැටී සිටින අය දෙස ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බලන්නේ ඉතා සානුකම්පිතවයි. ඒ වගේම දිලිඳුන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා මොනවා හරි කරන්නත් මේ අයට ලොකු ඕනෑකමක් තිබෙනවා.
එහෙත් දිලිඳුකම අද දින කටුක යථාර්ථයක් බවට පත් වෙලා. සිවිල් යුද්ධ, ජලගැලීම්, නියඟ හා වෙනත් ගැටලු නිසා බොහෝදෙනෙක් ජීවත් වෙන්නේ දිලිඳුකමින්. මෙවැනි ගැටලු නිසා අප්‍රිකාවේ ගොවිතැන් කරන අය මහත් අසීරුතාවකට මුහුණ දෙනවා. මේ නිසා ඇතමුන්ට තමන්ගේ නිවෙස් අත්හැර ගොස් විශාල නගරවල ජීවත් වෙන්න සිදු වී තිබෙනවා. තවත් අය වෙනත් රටවල අනාථයන් බවට පත් වී තිබෙනවා. නගරයේ ජීවිතයට සිත ඇදී ගිය ගම් වාසීන් බොහෝදෙනෙක්, නගරයට සංක්‍රමණය වෙලා.
දිලිඳුකමට තවත් මූලික හේතුවක් තමයි, නගර අධික ජනගහනයකින් පිරී යෑම. එම නගරවල කිසිම භෝගයක් වගා කරන්නට ඉඩක් නැති තරම්. රැකියාවන් සොයාගැනීම හරිම දුෂ්කරයි. මේ නිසා මහත් පීඩනයකට හා බලාපොරොත්තු නැති තත්වයකට පත් වන බොහෝදෙනෙක් අපරාධවලට පෙලඹෙනවා. නගර වැසියන් බලධාරීන්ගේ පිහිට බලාපොරොත්තු වුණත්, දිලිඳුකම නමැති ගැටලුව විසඳන්නට ආණ්ඩුවලට හැකි වෙලා නැහැ. වර්ෂ 2003 නොවැම්බර් මාසයේ නිකුත් කෙරුණු එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ගැන කතා කරමින් ලන්ඩන් නුවරේදී පළ වන දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පැවසුවේ මෙයයි. “ලෝකයේ කුසගින්නේ සිටින සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වෙනවා. ලොව වටා මිලියන 842ක් පමණ ජනයා මන්දපෝෂණයෙන් පෙළෙන බව දැන් ගණන් බලා තිබෙනවා. එමෙන්ම සෑම වසරකම කුසගින්නේ පෙළෙන අයගේ සංඛ්‍යාව වසරකට මිලියන 5 බැගින් ඉහළ යෑමට පටන්ගෙන.”
දකුණු අප්‍රිකාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට දිලිඳුකමින් පෙළෙන පුද්ගලයන්ගෙන් ඇතැම්විට ලිපි ලැබෙනවා. නිදසුනක් වශයෙන් බ්ලූම්ෆොන්ටීන් නුවර වෙසෙන එක් තැනැත්තෙක් මෙසේ ලීවා. “මට රැකියාවක් නැහැ. මට අවස්ථාවක් ලැබුණු කොයි මොහොතකදී හෝ මම නගරයේ සොරකමේ යෙදෙනවා. මම එහෙම කෙරුවේ නැත්නම්, අපට දවස් ගානක් බඩගින්නේ ඉන්නයි වෙන්නේ. ඒ මදිවට මෙහි දරුණු සීතල කොහොමටවත් උහුලන්න බැහැ. මෙහි කරන්න කිසිම රැකියාවක් නැහැ. හුඟදෙනෙක් පාරවල ගැවසෙන්නේ මොනවා හරි රැකියාවක් සොයාගන්න නැත්නම් කෑමට මොනවා හරි ලබාගන්න. මං දන්න සමහරු කෑම සොයමින් කුණු බක්කි පහුරු ගානවා. සමහරු සියදිවි නසාගන්නවා. මං වගේ හුඟදෙනෙක් ඉන්නේ හරිම මානසික පීඩනයකින්. පේන හැටියට අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. කන්න අඳින්න අවශ්‍යතාවක් ඇතිව අපිව මවපු දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඒ දෙවියන්ටවත් අපිව පේන්නේ නැද්ද?”
මේ තැනැත්තාගේ ගැටලුවලට සැනසිලිදායක පිළිතුරු ලබාගන්නට යම් තැනක් තිබෙනවා. ඒ දේවවචනය වන බයිබලයයි. ඒ ගැන ඊළඟ ලිපියේ කතා කරනවා ඇති.