Skip to content

පටුනට යන්න

දෙවි ගැන දැනගැනීමෙන් ශක්තිමත් වූ පවුල්

දෙවි ගැන දැනගැනීමෙන් ශක්තිමත් වූ පවුල්

‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’

දෙවි ගැන දැනගැනීමෙන් ශක්තිමත් වූ පවුල්

“ආජන්ටිනාවේ වෙසෙන එක්තරා විවාහක යුවළක් තමන් ජීවත් වන නිවසේ හදපු බිත්තියක් “බර්ලින් තාප්පය” කියා නම් කෙරුවා. ඒ බිත්තියෙන් ඔවුන්ගේ නිවස දෙකට බෙදා තිබුණා. ඔවුන් අතර තිබූ මතභේද කොහොමටවත් විසඳගන්නට ඔවුන්ට බැරි වී තිබුණා. මන්ද මේ යුවළ ඔවුන් එකිනෙකා ගැන හිටියේ හරිම තරහින්.

මතභේද තිබෙන්නේ මේ යුවළ අතර විතරක් නොවෙයි. බොහෝ විවාහකයන් අතර එකඟ නොවීම්, අවිශ්වාසය සහ ගැටුම් නිසා ඔවුන් බොහෝ ප්‍රශ්න මැදයි ජීවත් වෙන්නේ. මෙය හරිම කනගාටුදායක තත්වයක්. මන්ද විවාහය මිනිසාට හඳුන්වා දුන්නේ දෙවියි. (උත්පත්ති 1:27, 28; 2:23, 24) දෙවිගෙන් ලැබී තිබෙන මෙම වටිනා ප්‍රස්තාව එකිනෙකාට ගැඹුරු ගෞරවයක් පෙන්වීමට කදිම අවස්ථාවක්. (රූත් 1:9) දෙවිගේ අණ පණත් පිළිපැදීමෙන් පවුලේ සාමාජිකයන්ට හැකියි ඔවුන් දෙවිට ගෞරව කරන බව පෙන්වීමට. එය ඔවුන් එකිනෙකාට ආශීර්වාදයක් වෙනවා. *

පවුල ආරම්භ කළේ දෙවියි. එම නිසා පවුලක කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අප දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව හැඩගැසෙන්න අවශ්‍යයි. විශේෂයෙන් පවුල් යම් යම් අභියෝගවලට මුහුණ දෙන විට ඒවා සාර්ථකව විසඳාගැනීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් දෙවිගේ වචනයේ අඩංගු වෙනවා. ස්වාමිපුරුෂයෙකු කළ යුතු දේ සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ මෙයයි. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය.” ස්වාමිපුරුෂයෙක් මේ දෙය කරන විට ඔහුගේ භාර්යාවට සතුටින් “තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය” හැකියි.—එෆීස 5:25-29, 33.

පවුලක දෙමාපියන් හා දරුවන් අතර තිබිය යුතු සම්බන්ධය ගැන ප්‍රේරිත පාවුල් ලීවේ මෙහෙමයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.” (එෆීස 6:4) මෙසේ කළොත් පවුල තුළ ඉතා ප්‍රේමණීය වාතාවරණයක් ඇති වෙනවා. ඒ වගේම දරුවන්ට වඩා ලෙහෙසි වෙනවා තමන්ගේ දෙමාපියන්ට කීකරු වෙන්න.—එෆීස 6:1.

මේ සියලු කරුණුවලින් පෙන්වන්නේ පවුල් ජීවිතය සඳහා බයිබලයේ දී ඇති අවවාදයි. දේවප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් බොහෝ පවුල්වලට හැකි වී තිබෙනවා පවුල් ජීවිතය සතුටින් භුක්ති විඳින්න. නිදසුනක් වශයෙන්, ඉහත සඳහන් කළ ආජන්ටිනාවේ යුවළ ගැන සලකා බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ මාස තුනක කාලයක් බයිබලය පාඩම් කළායින් පසුව, විවාහය සම්බන්ධයෙන් දේවවචනයේ දී ඇති උපදෙස් අදාළ කරගන්නට ඔවුන් පටන්ගත්තා. දෙන්නාට දෙන්නා කතා බහ කරන්නට දැරුවේ මහත් උත්සාහයක්. ඒ වගේම එකිනෙකාගේ අවශ්‍යතා ගැන සංවේදී වෙන්නටත් එකිනෙකාට සමාව දෙන්නටත් පටන්ගත්තා. (හිතෝපදේශ 15:22; 1 පේතෘස් 3:7; 4:8) කෝපය පාලනය කරගන්නට ඉගෙනගත් ඔවුන්, කාරණා තමුන්ට විසඳාගන්නට බැරි බව දුටුවාම දෙවිගේ උපකාරය පතා යාච්ඤා කළා. (කොලොස්සි 3:19) වැඩි කල් යන්නට මත්තෙන්, “බර්ලින් තාප්පය” කඩා වැටුණා!

පවුලක් නඟාසිටුවා ශක්තිමත් කිරීමට දෙවිට හැකියි

දෙවිගේ ප්‍රමිති දැනගෙන ඒවා අදාළ කරගන්නා විට පවුලකට හැකියි තමන් ඉදිරියේ තිබෙන අභියෝග ජයගෙන නැඟී සිටින්න. මෙය ඉතාමත් වැදගත් දෙයක්. මන්ද අපේ කාලයේදී පවුල්වලට යම් යම් දරුණු පීඩන එල්ල වනු ඇති බවට බයිබලයේ පුරෝකථනය කර තිබූ නිසයි. මිනිස් සමාජයේ සදාචාරය මෙලෙස බිඳවැටෙයි කියා පාවුල්ද පුරෝකථනය කළා. මේ “අන්තිම දවස්වලදී” එකිනෙකාට පක්ෂපාතිත්වයක් නැති වන බවත්, “ජන්ම ස්නේහය නැති” වන බවත්, “යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත්” දෙමාපියන්ට අකීකරු අයද සිටින බවත් ඔහු පැවසුවා.—2 තිමෝති 3:1-5.

අප දෙවිව සතුටු කිරීමට උත්සාහ කරනවා නම් එය පවුල් සමාදානයට හේතු වෙනවා. බොහෝ පවුල්වලට තේරුම්ගොස් තිබෙන දෙයක් තමයි, තමන්ට තිබෙන බොහොමයක් ගැටලු විසඳාගන්නට දෙවිගේ උපකාරය අවශ්‍යයි කියන කාරණය. දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් තබාගැනීමට පවුලේ සාමාජිකයන් යම් ආශාවක් දක්වනවා නම්, සියල්ලටම පළමුවෙන් ඔවුන් තම ජීවිතවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත යුතු වගේම, “යෙහෝවා ගෙය නොසාදන්නේ නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති” යන කාරණය හොඳින් වටහාගන්නටත් ඕනෑ. (ගීතාවලිය 127:1) පවුල්වල තිබෙන සන්තෝෂය වැඩි දියුණු වන්නේ පවුල් ජීවිතයේදී දෙවිව මුල් තැනට තැබීමෙන් පමණයි.—එෆීස 3:14, 15.

හාවායි නුවර ඩෙනිස් නම් එක්තරා පුද්ගලයෙකුට මෙම කාරණය කොතරම් සත්‍යයක්දැයි වැටහුණා. ඔහු ක්‍රිස්තියානියෙකුයයි කියා සිටියද, ඔහු නිතර පාහේ කතා කළේ අසභ්‍ය භාෂාව. ඒ වගේම ඔහු නිතරම අනුන් සමඟ සණ්ඩු දබරවලට පැටලුණා. හමුදා සේවයේ නියැලීමෙන් පසුව, ඔහු වඩාත් කලහාකාරී වගේම වෛරයෙන් පිරුණු පුද්ගලයෙකු වුණා. “මම හැමවෙලේම මිනිසුන් සමඟ ගැටුණා. මට මොනවා වුණත් කමක් නැහැ. මම මැරෙන්න වුණත් භය නැහැ කියන හැඟීමයි මට තිබුණේ. මේ විදිහට ජීවිතය දිගටම ඇදී ගියා. නමුත් මගේ බිරිඳ යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඇය මට උනන්දු කෙරුවා බයිබලය අධ්‍යයනය කරන්න.”

ඩෙනිස් ඔහුගේ භාර්යාව ගත් උත්සාහයට එරෙහි වුණා. එහෙත් ඇගේ ආදර්ශය නිසා ඔහුගේ සිත වෙනස් වුණා. අන්තිමේදී ඩෙනිස් ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ක්‍රිස්තියානි රැස්වීමකට ගියා. ඉන්පසුව ඩෙනිස් සමඟ බයිබල් පාඩමක් ආරම්භ කෙරුණු අතර ඔහු ඉතා හොඳ ප්‍රගතියක් ලැබුවා. ඔහු වසර 28ක් තිස්සේ දුම්පානය කළ කෙනෙක්. ඔහු එය නවතා දැමුවා. ඒ වගේම නරක යහඵවන්ගෙන්ද ඔහු අයින් වුණා. යෙහෝවාට ස්තුති කරමින් ඩෙනිස් මෙහෙම කියනවා. “මගේ පවුල් ජීවිතය හුඟාක් යහපත් අතට හැරුණා. අපි පවුලක් හැටියට එකට රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මගේ දරුවන් දෙදෙනා දැන් මට භය නැහැ. මට දැන් තරහ පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මම දැන් නරක භාෂාව කතා කරන්නේ නැහැ. බයිබලය ගැන කතා කරන්නට හා ඒ වගේ සාකච්ඡා කරගෙන යන්නට මට දැන් පුළුවන්. මට බයිබල් සත්‍යය හම්බ වුණේ නැත්නම්, මම අද මෙහෙ ඉන්නේ නැහැ.”

පවුල් සාමාජිකයන් යෙහෝවාගේ කැමැත්ත කිරීමට මහන්සි ගන්නා විට ඔවුන්ට සන්තෝෂය අද්දකින්න පුළුවන්. අද්දැකීම්වලින් පෙනී යන දෙයක් තමයි, පවුලක එක් සාමාජිකයෙක් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා විට පවා පවුල් ජීවිත හොඳ අතට පත් වෙනවාය යන කාරණය. ඒක කිසිම කෙනෙක් එසේ නොකර ඉන්නවාට වඩා හොඳයි. ක්‍රිස්තියානි පවුලක් ගොඩනැංවීම ඉතා අමාරු දෙයක්. ඒකට කාලයක් හා දක්ෂකමක් අවශ්‍යයි. නමුත් ඒ වගේ පවුල්වල සාමාජිකයන්ට සහතික වෙන්න පුළුවන් යෙහෝවා ඔවුන්ගේ උත්සාහයන්වලට ආශීර්වාද කරයි කියන එක. ඒ වගේම ගීතිකාකරු වගේ ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’ කියා කීමටත් ඔවුන්ට හැකියි.—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 4 ඡේ. 2005 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිනදර්ශනයේ මැයි/ජූනි බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ස්වර්ගයේ හා පොළොවේ සෑම පවුලකටම නම් ලැබී ඇත්තේ [දෙවිගෙන්ය].”එෆීස 3:15

[8වන පිටුවේ කොටුව]

යෙහෝවා පවුල්වලට බොහෝ සෙයින් ආදරෙයි

‘දෙවි ඔවුන්ට ආශීර්වාද කරමින්: ඔබ සපලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්නයයි කීවේය.’—උත්පත්ති 1:28.

‘යෙහෝවාට භය වෙන්නාවූ කවරෙක් නමුත් ආශීර්වාද ලද්දෙක්ය. ඔබේ ගෙය තුළ ඔබේ භාර්යාව පල දෙන මිදි වැලක් මෙන් වන්නීය.’—ගීතාවලිය 128:1, 3.