Skip to content

පටුනට යන්න

දෙවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

දෙවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

දෙවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග

දෙවෙනි සාමුවෙල් නමැති බයිබල් පොතේ අපට ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙනවා. එම ප්‍රශ්න නම් මේවායි. යෙහෝවා අපගේ පාලකයා හැටියට පිළිගන්නවායයි කියන්නේ අප අතින් කවදාවත් වැරදි සිදු විය නොහැකි බවදද? දෙවිට පක්ෂපාතකම දක්වන විශ්වාසවන්ත මිනිසෙක් දෙවි ඉදිරියේ සැමවිටම නිවැරදි දේ කරනවාද? සැබෑ දෙවි ‘තමන්ගේ සිතට එකඟ’ තැනැත්තෙකු ලෙස සලකන්නේ කෙබඳු ආකාරයක පුද්ගලයෙකුවද?—1 සාමුවෙල් 13:14.

දෙවෙනි සාමුවෙල් පොත ලිව්වේ ගාද් සහ නාතාන් විසිනුයි. * මේ දෙදෙනා ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජුට ඉතා සමීපව සිටි අනාගතවක්තෘවරුන් දෙදෙනෙක්. මෙම පොත ලියා සම්පූර්ණ කරනු ලැබුවේ ක්‍රි.පූ. 1040දීයි. ඒ දාවිත්ගේ අවුරුදු 40ක පාලන සමය අවසාන කාලයේයි. මෙම පොතේ මූලික වශයෙන් කතා කෙරෙන්නේ දාවිත් ගැන සහ යෙහෝවා දෙවි සමඟ ඔහුට තිබූ සම්බන්ධතාව ගැනයි. ඒ වගේම නිතරම යුද්ධයට සැරසී සිටි ජාතියක් එඩිතර රජෙකු යටතේ සමෘද්ධිමත් මෙන්ම එක්සත් රාජ්‍යයක් බවට පත් වූ ආකාරය මෙම පොතේ මනාව පෙන්වනවා. ඒ පොත කියවන ඕනෑම කෙනෙකුගේ අවධානය මොහොතකටවත් ඉවතට යන්නේ නැහැ. එහි සඳහන් චරිත අද්දුටු දේවල්, ඔවුන්ට හැඟුණු දේ ඉතා රසවත් ආකාරයකටයි එහි විස්තර කර තිබෙන්නේ.

දාවිත් ‘වඩ වඩා උතුම් වෙයි’

(2 සාමුවෙල් 1:1–10:19)

සාවුල් සහ යොනාතාන් මිය ගිය බව දාවිත්ට ආරංචි වෙනවා. දාවිත් තුළ ඔවුන් දෙදෙනා ගැන හා යෙහෝවා ගැන තිබූ හැඟීම් ඔහු කී දෙයින් හා හැසුරුණු ආකාරයෙන් පෙනී යනවා. හෙබ්‍රොන් නුවරේදී දාවිත්ව යූදා ගෝත්‍රයට පමණක් රජ හැටියට පත් කරනු ලබනවා. සාවුල්ගේ පුත් ඊෂ්බොෂෙත් ඊශ්‍රායෙලයේ ඉතිරි ගෝත්‍ර කෙරෙහි රජ හැටියට පත් වෙනවා. දාවිත් “වඩ වඩා උතුම්” වී, වසර හතහමාරකට පමණ පසුව මුළු ඊශ්‍රායෙලයේම රජකම ලබාගන්නවා.—2 සාමුවෙල් 5:10.

යෙබූසිවරුන්ගෙන් යෙරුසලම මුදවාගන්නා දාවිත් තමාගේ රාජ්‍යයේ අගනුවර කරගන්නේ එම නගරයයි. ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට ඔහු පළමු වතාවේ කළ උත්සාහය අසාර්ථක වන්නේ මහත් විපතකින්. එහෙත් දෙවන වරට ඔහු ගත් උත්සාහය සාර්ථක වන අතර, ඔහු ඒ ගැන කොතරම් සතුටු වෙනවාද කිව්වොත් එය රැගෙන එන්නේ නට නටා ප්‍රීතියෙන්. යෙහෝවා දාවිත්ගේ පෙළපතේ රජකම තබාගන්න ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගන්නවා. දෙවි දාවිත් සමඟ සිට ඔහුට ආශීර්වාද කිරීම නිසා ඔහුට හැකි වෙනවා තමන්ගේ සතුරන්ගෙන් ජයගන්න.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:18යෝවාබ්ව සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනාව, ඔවුන්ගේ මව වූ ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සාමාන්‍යයෙන් පෙළපත් නාමයන් සඳහන් කර ඇත්තේ පියාගේ නමිනුයි. ශෙරුයාගේ සැමියා වයස්ගත වීමට කලින් මිය යන්නට ඇති. නැත්නම් ශුද්ධ ලියවිලිවල ඔහුගේ නම සඳහන් කිරීමට තරම් ඔහු සුදුසු නැති බව සලකන්නට ඇති. සමහරවිට පෙළපත් නම් ලැයිස්තුවේ ශෙරුයාගේ නම සඳහන් කර තිබුණේ ඇය දාවිත්ගේ සහෝදරිය හෝ අර්ධ සහෝදරිය වූ නිසා විය හැකියි. (1 ලේකම් 2:15, 16) මෙම සහෝදරයන් තිදෙනාගේ පියා ගැන සඳහන් වෙන්නේ ඔහුව බෙත්ලෙහෙම්හිදී භූමදාන කිරීම ගැන සඳහන් කරද්දී පමණයි.—2 සාමුවෙල් 2:32.

5:1, 2දාවිත් මුළු ඊශ්‍රායෙල් දේශය කෙරෙහි රජ බවට පත් වුණේ ඊෂ්බොෂෙත්ගේ ඝාතනයෙන් කොපමණ කාලයකට පසුවද? සාවුල්ගේ මරණින් ටික කලකට පසුව ඊෂ්බොෂෙත්ගේ පාලනය ආරම්භ වූ බවත්, ඔහු වසර දෙකක් පමණ පාලනය කළ බවත් නිගමනය කිරීම සාධාරණයි. දාවිත් හෙබ්‍රොන් නුවරෙන් සිය පාලනය ආරම්භ කළේද මේ කාලයේයි. දාවිත් හෙබ්‍රොන් නුවර සිට යූදා ගෝත්‍රය කෙරෙහි වසර හතහමාරක කාලයක් රජකම් කළා. මුළු ඊශ්‍රායෙල් රාජ්‍යය පුරා රජ බවට පත් වුණායින් පසුව, ඔහු යෙරුසලම තමාගේ අගනුවර කරගත්තා. මේ අනුව, ඊෂ්බොෂෙත්ගේ ඝාතනයෙන් වසර පහකට පමණ පසුවයි දාවිත් මුළු ඊශ්‍රායෙල් රාජ්‍යය කෙරෙහි රජ බවට පත් වුණේ.—2 සාමුවෙල් 2:3, 4, 8-11; 5:4, 5.

8:2ඊශ්‍රායෙල් ජනයා මෝවබ්වරුන් සමඟ සටන් කර ඔවුන්ව අල්ලාගත් පසුව මෝවබ්වරුන් කීදෙනෙකුව ඝාතනය කළාද? මෙම ගණන තීරණය කරන ලද්දේ ගණන් කිරීමෙන් නොව ඔවුන්ව මැනීමෙන්. දාවිත් මෝවබ්වරුන්ව පේළිවලට බිම දිගා වෙන්න සැලැස්වූ බව පෙනී යනවා. ඊළඟට ඔහු කළේ වැතිර සිටි ජන පිරිසව යම් ලණුවකින් පේළි වශයෙන් මැනීමයි. පෙනෙන විදිහට මෝවබ්වරුන්ගේ පේළි තුනකින් දෙකක් මරා දැමූ අතර, එක් පේළියක් නිදහස් කළා.

අපට ගත හැකි පාඩම්:

2:1; 5:19, 23. හෙබ්‍රොන් නුවර වාසය කිරීමට පෙර සහ සතුරන්ට විරුද්ධව සටනට යෑමට පෙර දාවිත් යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා සිටියා. දෙවි සමඟ අපට තිබෙන සම්බන්ධතාවට බලපාන යම් කාරණයක් ගැන තීරණ ගැනීමට පෙර අපත් යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කළ යුතුයි.

3:26-30. පළිගන්නට උත්සාහ කිරීමෙන් දරුණු ඵල විපාකවලට මුහුණ දීමට සිදු විය හැකියි.—රෝම 12:17-19.

3:31-34; 4:9-12. දාවිත් පළිගන්නට උත්සාහ කළේ නැහැ. ඒ වගේම ඔහුට දැඩි අමනාපයක් ඇති වුණේද නැහැ. එය අපට ආදර්ශයක්.

5:12. යෙහෝවා අපට ඔහු ක්‍රියා කරන ආකාරය ගැන උගන්වා ඇති බවත් අපට ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමට මඟ විවෘත කර ඇති බවත් අප කිසිදා අමතක නොකළ යුතුයි.

6:1-7. දාවිත්ගේ චේතනාව හොඳ වුවත්, ගිවිසුම් පෙට්ටිය ගැලක පටවා රැගෙන ඒමට උත්සාහ කිරීම දෙවිගේ අණ කඩ කිරීමක්. ඒ වගේම එය අසාර්ථක ප්‍රයත්නයක්. (නික්මයාම 25:13, 14; ගණන් කතාව 4:15, 19; 7:7-9) වැටෙන්නට ගිය ගිවිසුම් පෙට්ටිය අල්ලාගන්න උත්සාහ කළ උස්සාගෙන් අප තේරුම්ගන්නේ කෙනෙකුට හොඳ චේතනා තිබුණත් දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ වෙනස් වෙන්නේ නැති බවයි.

6:8, 9. එක් කරදරකාරී අවස්ථාවකදී දාවිත්ට කේන්ති ගියා. සමහරවිට සිදු වුණු විපත ගැන ඔහු යෙහෝවා දෙවිට දොස් පවරන්නටත් ඇති. පසුව ඔහු භය වුණා. අප යෙහෝවාගේ අණ නොසලකාහැරීම නිසා ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා නම්, ඒ ගැන දෙවිට දොස් තැබීම වැරදියි.

7:18, 22, 23, 26. දාවිත්ගේ යටහත් පහත්කම, ඔහු යෙහෝවාට පමණක් දැක්වූ භක්තිය හා දෙවිගේ නාමය උසස් කිරීමට ඔහු දැක්වූ උනන්දුව යනාදිය අපටත් තිබිය යුතු ගුණාංගයි.

8:2. වසර 400කට පමණ ඉහත කියන ලද අනාවැකියක් ඉෂ්ට වෙනවා. (ගණන් කතාව 24:17) යෙහෝවාගේ වචනය සෑමවිටම සැබෑ වෙනවා.

9:1, 6, 7. දාවිත් තමාගේ පොරොන්දු ඉෂ්ට කළා. අපත් අප දෙන පොරොන්දු ඉෂ්ට කිරීමට වෑයම් දැරිය යුතුයි.

යෙහෝවා සිය අභිෂේක ලත් තැනැත්තාගේ වැරදිවලට විපාක විඳීමට සලස්වයි

(2 සාමුවෙල් 11:1–20:26)

යෙහෝවා දාවිත්ට මෙසේ පැවසුවා. “බලන්න, ඔබගේම ගෙයින් ඔබට විරුද්ධව නපුර උපදවන්නෙමි. ඔබේ ඇස් හමුවෙහි ඔබේ භාර්යාවන් රැගෙන ඔබේ අසල්වාසියාට දෙන්නෙමි. ඔහු මේ සූර්යයා ඉදිරියෙහි ඔබේ භාර්යාවන් සමඟ සයනය කරන්නේය.” (2 සාමුවෙල් 12:11) මෙවැනි ප්‍රකාශයක් කළේ ඇයි? ඒ දාවිත් බැත්ෂෙබා සමඟ කළ පාපය නිසයි. පසුතැවිලි වූ දාවිත්ට සමාව දුන්නත්, ඔහු කළ වරදේ ප්‍රතිඵලවලින් මිදීමට ඔහුට හැකි වුණේ නැහැ.

පළමුවෙන්ම වුණේ බැත්ෂෙබාට ඉපදුණු දරුවා මිය යෑමයි. ඊළඟට දාවිත්ගේ තරුණ දියණිය වන තාමර් ඇගේ අර්ධ සහෝදරයා වූ අම්මොන් අතින් දූෂණය වෙනවා. ඇගේම සහෝදරයා වූ අබ්සලොම් අම්මොන් ගෙන් පළිගන්නේ ඔහුව මරණයට පත් කරමින්. අබ්සලොම් ඔහුගේම පියාට විරුද්ධව කුමන්ත්‍රණය කර හෙබ්‍රොන්හිදී තමාම රජ බව කියාගන්නවා. ඒ නිසා දාවිත්ට සිදු වෙන්නේ යෙරුසලමෙන් පලා යන්නටයි. දාවිත් පලා යන්නේ ඔහුගේ උපභාර්යාවන් දසදෙනෙකුට ඔහුගේ ගෘහය බලාගැනීමට පවරමිනුයි. අබ්සලොම් තම පියාගේ මෙම උපභාර්යාවන් සමඟ සම්බන්ධකම් පවත්වනවා. දාවිත් නැවතත් රාජ්‍ය පාලනයට එන්නේ අබ්සලොම් මිය යෑමෙන් පසුවයි. බෙන්ජමින් ගෝත්‍රයේ ෂෙබා යන තැනැත්තා දාවිත්ට එරෙහිව කැරලිගැසුවත් අන්තිමේදී ෂෙබා මරණයට පත් වෙනවා.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

14:7“මට ඉතුරුව තිබෙන අඟුරු” යන යෙදුමෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? හිමිහිට ඇවිළෙන අඟුරු කැබැල්ලක රශ්මියෙන් සංකේතවත් කරන්නේ ජීවත් වන දරුවෙක්වයි.

19:29මෙපිබොෂෙත් කළ විස්තරයට අනුව දාවිත් එසේ ප්‍රතිචාරය දැක්වූයේ ඇයි? මෙපිබොෂෙත් කී දේ ඇසූ දාවිත් තමා කිසිදු වගවිභාගයකින් තොරව ෂීබාගේ වචන පිළිගෙන වරදක් කළ බව වටහාගත්තා විය යුතුයි. (2 සාමුවෙල් 16:1-4; 19:24-28) මේ ගැන දාවිත්ට කේන්ති ගිය බවට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ඒ ගැන තවත් කතා කරන්න ඔහු කැමති වුණේද නැහැ.

අපට ගත හැකි පාඩම්:

11:2-15. දාවිත්ගේ වැරදි ගැන අවංක ලෙස ලියා තිබීම නිසා ඉන් පැහැදිලිව පෙනී යන්නේ බයිබලය දෙවිගේ මඟ පෙන්වීම ඇතුව ලියූ බවයි.

11:16-27. අප බරපතළ පාපයක් කළ විට, දාවිත් කළාක් මෙන් එය සැඟවීමට අප උත්සාහ නොකළ යුතුයි. අප යෙහෝවාට අප කළ පාපය ගැන යාච්ඤාවෙන් පැවසිය යුතුයි. සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාරද පැතිය යුතුයි.—හිතෝපදේශ 28:13; යාකොබ් 5:13-16.

12:1-14. සභාවේ පත් කරන ලද වැඩිමහල්ලන්ට නාතාන් කදිම ආදර්ශයක්. වැඩිමහල්ලන් පාපයට වැටෙන අයට උපකාර කරන්නේ ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමටයි. මෙහිදී වැඩිමහල්ලන් තමන්ගේ වගකීම් නිසියාකාරව ඉෂ්ට කළ යුතුයි.

12:15-23. තමාට සිදු වූ දේ හරිහැටි තේරුම්ගත් නිසා ඊට සාර්ථකව මුහුණ දෙන්නට දාවිත්ට හැකි වුණා.

15:12; 16:15, 21, 23. අබ්සලොම්ට සිංහාසනය හිමි වේයයි පෙනෙන්ට තිබූ බැවින් ඉතා දක්ෂ උපදෙස් දෙන්නෙකු වූ අහිතොපෙල් ඔහුගේ උඩඟුකම හා තනතුරුවලට තිබූ ආශාව නිසා ද්‍රෝහියෙකු වුණා. යමෙකුට බුද්ධිය තිබුණත් ඔහුට යටහත් පහත්කම හා පක්ෂපාතකම නැත්නම් එම බුද්ධිය ඔහුගේ විනාශයට හේතු විය හැකියි.

19:24, 30. මෙපිබොෂෙත් ඇත්තටම දාවිත්ගේ ප්‍රේමණීය කරුණාව සැබවින්ම අගය කළ තැනැත්තෙක්. දාවිත් රජ, ෂීබා ගැන ගත් තීරණයට මෙපිබොෂෙත් කැමැත්තෙන්ම යටත් වුණා. යෙහෝවා ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් අප තුළ ඇති අගය යටහත් පහත් වීමට අපව පොලඹවයි.

20:21, 22. එක් පුද්ගලයෙකුගේ ඥානවන්තකම නිසා බොහෝදෙනෙකුව විපත්තියකින් ගැලවිය හැකියි.—දේශනාකාරයා 9:14, 15.

අපි සියලුදෙනාම ‘යෙහෝවාගේ අතට භාර වෙමු’

(2 සාමුවෙල් 21:1–24:25)

දේශය පුරා අවුරුදු තුනක් පමණ කාලයක් තිස්සේ සාගතයක් පැවතුණා. ඊට හේතුව නම් ගිබියොන්වරුන්ව සාවුල් විසින් මරා දැමීම නිසා ඇති වූ ලේ වරදයි. (යෝෂුවා 9:15) මෙම ලේ වරදට පළිගැනීම පිණිස, ගිබියොන්වරු සාවුල්ගේ පුත්‍රයන් හත්දෙනෙකු මරා දැමීමට ඉල්ලනවා. දාවිත් ගිබියොන්වරුන්ගේ ඉල්ලීම ඉටු කරන අතර, නියඟය අවසන් වන්නේ මහා වැස්සක් ඇද හැළෙමින්. පිලිස්තිය යෝධයන් හතරදෙනෙක් ‘දාවිත්ගේ අතින්ද ඔහුගේ මෙහෙකරුවන් අතින්ද වැටෙනවා.’—2 සාමුවෙල් 21:22.

දාවිත්, දෙවිගේ මඟ පෙන්වීමට පටහැනිව සෙනඟව ගණන් කිරීම බරපතළ පාපයක්. ඒ ගැන පසුතැවිලි වන ඔහු ‘යෙහෝවා අතට භාර වීමට’ කැමති වෙනවා. (2 සාමුවෙල් 24:14) යෙහෝවා එවූ වසංගතයෙන් 70,000ක් පමණ මිය යනවා. දාවිත් යෙහෝවාගේ අණ පිළිපදින අතර වසංගතය නවතිනවා.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

21:8සාවුල්ගේ දියණිය මීඛල්ට පුතුන් පස්දෙනෙක් සිටි බව මෙහි සඳහන් වන නමුත්, දෙවෙනි සාමුවෙල් 6:23හි කියන්නේ ඇය දරුවන් නැතිව මිය ගිය බවයි. මේ ‘පරස්පර විරෝධිතාවට’ හේතුව කුමක්ද? මීඛල්ගේ සහෝදරිය වූ මේරබ්, අද්‍රියෙල් නමැත්තා සමඟ විවාහ වූ අතර ඇයට පුතුන් සිටි බව බයිබලයේ සඳහන් වී තිබෙනවා. පෙනෙන විදිහට මේරබ් මහලු වීමට පෙර මිය ගිය නිසා දරුවන් නැති මීඛල් මෙම පුතුන්ව හදා වඩා ගත්තා.

21:9, 10ගිබියොන්වරුන් විසින් මරා දමනු ලැබූ, සාවුල්ගේ පුතුන් දෙදෙනාගේ සහ මුනුපුරන් පස්දෙනාගේ මළ සිරුරු රිශ්පා විසින් කොතරම් කාලයක් සතුන්ගෙන් ආරක්ෂා කරගෙන සිටියාද? මෙම හත්දෙනාව එල්ලා මරනු ලැබුවේ ‘ගොයම් කපන කාලයේදීයි.’ එනම් මාර්තු හෝ අප්‍රියෙල් මාසයේදීයි. මෙම මළ සිරුරු කන්දක් උඩ තබා තිබුණා. යෙහෝවා දෙවි නියඟය අවසන් කරමින් තම උදහස පහ කරන තෙක් රිශ්පා මෙම මළ සිරුරු හත දිවා රෑ මුර කළා. ඊළඟ ඔක්තෝබර් මාසයේ අස්වැන්න නෙළන කාලය අවසන් වන තෙක් තද වැසි වසීවි කියා සිතිය නොහැකියි. මේ අනුව, රිශ්පා මාස හයක් පමණ කාලයක් එය මුර කළා විය හැකියි. ඉන්පසුව දාවිත් එම මළ සිරුරුවල ඇටකටු මිහිදන් කරන්නට සැලැස්සුවා.

24:1සෙනඟව ගණන් කිරීම දාවිත් කළ බරපතළ පාපයක් වූයේ ඇයි? සෙනඟව ගණන් කිරීම නීතියේ තහනම් කර තිබුණේ නැහැ. (ගණන් කතාව 1:1-3; 26:1-4) දාවිත් සෙනඟව ගණන් කළේ කුමන චේතනාවෙන්දැයි බයිබලයේ සඳහන් වන්නෙත් නැහැ. එහෙත් 1 ලේකම් 21:1 කියන්නේ සාතන් දාවිත්ව එසේ කිරීමට පෙලඹූ බවයි. ඔහුගේ හමුදා ප්‍රධානියා වූ යෝවාබ් සෙනඟව ගණන් කිරීමට දාවිත් ගත් තීරණය වැරදි බව දැන සිටියා. ඒ වගේම එයින් වළකින ලෙසට රජුට අවවාද කළා.

අපට ගත හැකි පාඩම්:

22:2-51. යෙහෝවා සැබෑ දෙවි බවත්, අප ඔහුව දැඩි සේ විශ්වාස කළ යුතු බවත් දාවිත්ගේ ගීතයෙන් මොන තරම් කදිමට පෙන්වනවාද!

23:15-17. මේ අවස්ථාවේදී ඔහුගේ සේනාවේ තුන්දෙනෙකුගේ ජීවිත අවදානමකට ලක් වූ නිසා ඔවුන් ගෙනදුන් වතුර බීමෙන් තමා ලේ වරදට හසු වන බව දාවිත් සිතුවා. ජීවිතය සහ රුධිරය ගැන ඔහුට තිබුණේ ඉතා ගැඹුරු ගෞරවයක් බව මින් පැහැදිලි වෙනවා. දෙවිගේ නීති ගැන අපට තිබිය යුත්තෙත් එවැනිම ආකල්පයක්.

24:10. දාවිත්ගේ හෘදය සාක්ෂිය ඔහුව පසුතැවිලි වීමට පෙලඹවූවා. අපගේ හෘදය සාක්ෂියත් පසුතැවිලි වීමට අපව පොලඹවනවාද?

24:14. යෙහෝවා මිනිසුන්ට වඩා දයානුකම්පිත දෙවි කෙනෙකු බව දාවිත් හොඳින් දැනගෙන සිටියා. අපටත් ඒ විශ්වාසය තිබෙනවාද?

24:17. තමන් කළ පාපය නිසා මුළු ජාතියටම දුක් විඳින්නට සිදු වූ බව දැනගත් දාවිත් ඉමහත් සේ දුක් වුණා. ඒ හා සමානව යම් වැරදිකරුවෙක් පසුතැවිලි වන්නේ නම් තමාගේ පාපයෙන් සභාවට ගෙන ආ නින්දාව ගැනත් ඔහු ඉතා දැඩි සේ ශෝක විය යුතුයි.

‘දෙවිගේ සිතට එකඟ පුද්ගලයෙක්’ වීමට අපිත් උත්සාහ කරමු

ඊශ්‍රායෙලයේ දෙවෙනි රජ ‘යෙහෝවාගේ සිතට එකඟ’ පුද්ගලයෙකු බව පැහැදිලිව ඔප්පු කළා. (1 සාමුවෙල් 13:14) යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන දාවිත් කිසිවිටෙකත් සැක කළේ නැහැ. ඒ වගේම දෙවිගෙන් නිදහස් වී හිතුමතේ වැඩ කිරීමට ඔහු උත්සාහ කළේද නැහැ. වැරදි කළ සෑම අවස්ථාවකදීම දාවිත් තමාගේ වරද පිළිගෙන, හික්මවීම් ලබා, තම වරද නිවැරදි කරගත්තා. දාවිත් අවංක මනුෂ්‍යයෙක්. අපත් වැරදි කරන විටත් අන් සෑම අවස්ථාවකදීත් දාවිත් මෙන් ක්‍රියා කිරීම කොතරම් ඥානවන්තද!

දාවිත්ගේ ජීවිත කතාවෙන් අපට අපූරු පාඩමක් ඉගෙනගන්නට පුළුවන්. ඒ තමයි, යෙහෝවා අපගේ පාලකයාණන් බව පිළිගන්නවා කියන්නේ හොඳ සහ නරක පිළිබඳව ඔහුගේ ප්‍රමිති පිළිගෙන ඔහුට පක්ෂපාතව ජීවත් වීමට උත්සාහ කරනවා යන්නයි. එය අපට කළ හැකි දෙයක්. මේ අනුව අපට දෙවෙනි සාමුවෙල් නම් බයිබල් පොතෙන් බොහෝ පාඩම් ඉගෙනගැනීමට තිබීම ගැන අපි කොතරම් දෙවිට කෘතඥ විය යුතුද! මෙම පොතේ පිටු අතර තිබෙන දේවානුභාවයෙන් ලියන ලද පණිවුඩය ඇත්තෙන්ම ජීවමානයි, ප්‍රබලයි.—හෙබ්‍රෙව් 4:12.

[පාදසටහන]

^ 2 ඡේ. සාමුවෙල් මෙම පොත ලිවීමට හවුල් නොවුවත් මෙම පොතට ඔහුගේ නම ලැබී තිබෙන්නේ සාමුවෙල් පොත් දෙකම සම්මත හෙබ්‍රෙව් ග්‍රන්ථ සමූහයේ එකම පොතක් හැටියට මුලින් තිබූ නිසයි. පළමුවෙනි සාමුවෙල් පොතේ වැඩි හරියක් ලිව්වේ සාමුවෙල්.

[16වන පිටුවේ පින්තූරය]

තමාව රජකමට පත් කළේ කවුදැයි නිතරම සිහියේ තබාගත් දාවිත් යටහත් පහත්කම ඇතුව සිටියා

[18වන පිටුවේ පින්තූරය]

“ඔබගේම ගෙයින් ඔබට විරුද්ධව නපුර උපදවන්නෙමි”

බැත්ෂෙබා

තාමර්

අම්නොන්