Skip to content

පටුනට යන්න

‘නපුර ඉවසා දරාගන්න’

‘නපුර ඉවසා දරාගන්න’

‘නපුර ඉවසා දරාගන්න’

‘ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. නපුර ඉවසා දරාගෙන සිටින්නත් අවශ්‍යය.’—2 තිමෝති 2:24.

1. ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත වන විට, සමහර පුද්ගලයන් අපට සැර පරුෂ ලෙස කතා කරන්නේ ඇයි?

ප්‍රේරිත පාවුල් අන්තිම කාලයේ සිටින මිනිසුන් ගැන කතා කරද්දී, “දේවඅපහාස කරන, . . . නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු” මිනිසුන් සිටිනු ඇතැයි පැවසුවා. (2 තිමෝති 3:1-5, 12) ඔබ සේවයේ හවුල් වන විට ඔබට එවන් සැර පරුෂ ලෙස කතා කරන අයව හමු වෙන්නට බොහෝදුරට ඉඩ කඩ තිබෙනවා. ඔබ එවැනි අයට මුහුණ දෙන්නේ කොහොමද?

2. අපට සැර පරුෂ ලෙස කතා කරන පුද්ගලයන් සමඟ ඥානවන්තව කටයුතු කිරීමට අපට උපකාරවත් වන්නේ කිනම් ශුද්ධ ලියවිලි පාඨද?

2 අපට බැණ වදින හැම කෙනෙක්ම හරි දේ කිරීමට කිසිදු කැමැත්තක් නැති අයම නෙවෙයි. සමහර පුද්ගලයන් ඉතා දුෂ්කර තත්වයක හෝ බලාපොරොත්තු නැති තත්වයක සිටින නිසා තමන් අවට සිටින ඕනෑම කෙනෙකුට කෑගසන මානසිකත්වයක සිටිනවා විය හැකියි. (දේශනාකාරයා 7:7) බොහෝදෙනෙක් මෙලෙස ක්‍රියා කිරීමට හේතුව ඔවුන් ජීවත් වන්නෙත් රැකියාව කරන්නෙත් සැර පරුෂ කතා බහ නිතර අසන්නට ලැබෙන පරිසරයක නිසා විය හැකියි. මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානීන් හැටියට අපි එවැනි කතා බහ අනුමත කරනවා යන්න නෙවෙයි. නමුත් එවන් මිනිසුන් එලෙස කතා කිරීමට හේතුව ඔවුන් සිටින පරිසරය බව අපට පැහැදිලියි. කෙනෙක් ඔබට සැර පරුෂ ලෙස කතා කරන විට ඔබ ඊට මුහුණ දිය යුත්තේ කොහොමද? හිතෝපදේශ 19:11 මෙසේ කියනවා. “මනුෂ්‍යයෙකුගේ සිහිකල්පනාව නිසා ඔහු තරහ වීමට පමා වේ.” තවද රෝම 12:17, 18හි මෙසේ අපට අවවාද කරනවා. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. . . . පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”

3. අප දේශනා කරන පණිවුඩය සමාදානයේ පණිවුඩයක් වෙන්නේ කොහොමද?

3 අප සැබවින්ම සමාදානයට කැමති අය නම්, අපගේ ස්වභාවය තුළින් එය දිස් වෙනවා. අප කරන කියන දෙයින් එය පේනවා. සමහරවිට අපගේ මුහුණේ ඉරියව්වලින්ද අපගේ කටහඬේ ස්වරයෙන්ද එය පේනවා. (හිතෝපදේශ 17:27) සිය ගෝලයන්ව දේශනා කිරීමට යවනු ලැබූ විට, යේසුස් ඔවුන්ට උපදෙස් දුන්නේ මෙලෙසයි. “ඔබ නිවසකට ඇතුල් වෙද්දී, ගෙයි වැසියන්ට ආචාර කරන්න [සුබ පතන්න, නව අනුවාදය]. ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණේවා! නමුත් ඔවුන් නුසුදුසු නම්, ඔබ පැතූ සාමය නැවත ඔබ වෙත පැමිණේවා!” (මතෙව් 10:12, 13) අප ගෙන යන පණිවුඩය ශුභාරංචියක්. බයිබලයේ එය හඳුන්වන්නේ, “සමාදානයේ ශුභාරංචිය,” “දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය” සහ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” යනුවෙන්. (එෆීස 6:15; ක්‍රියා 20:24; මතෙව් 24:14) අපේ අරමුණ වන්නේ වෙනත් පුද්ගලයෙකුගේ ආගමික විශ්වාසයන් විවේචනය කිරීමවත් ඔහු දරන මතිමතාන්තර ගැන වාද කිරීමවත් නොව දේවවචනයෙන් ඔහුට දෙවි පොරොන්දු වී ඇති දේවල් ගැන කියා දීමයි.

4. ගෙහිමියා අප පවසන දේට සවන් නොදී, “අපි කැමති නැහැ” කියා පවසන විට ඔබට කුමක් කිව හැකිද?

4 ගෙහිමියා අප පවසන දේට සවන් නොදී, “නෑ, නෑ, අපි කැමති නැහැ. අපට ඕව ඕනේ නැහැ” කියා සැරෙන් කියනවා විය හැකියි. ඒ වගේ අවස්ථාවකදී ඔබට මෙසේ කියන්නට පුළුවන්. “මට පුළුවන්ද ඔබට එක පදයක් විතරක් බයිබලයෙන් පෙන්වන්න?” ඔහු ඒ වගේ යෝජනාවකට කැමති වෙන්නට ඉඩ තිබෙනවා. වෙනත් අවස්ථාවලදී අපට මෙහෙම කියන්නටත් පුළුවන්. “මං ඔබට කියන්න හිතාගෙන හිටියේ කිසිම අයුක්තියක් අසාධාරණයක් වෙන්නැති, හැමදෙනාම ආදරයෙන් ප්‍රේමයෙන් ජීවත් වන කාලයක් ඉදිරියේ එනවා කියලයි.” එසේ කී විටත් ගෙහිමියා සවන් දෙන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්නම්, ඔබට මෙසේද කියන්නට පුළුවනි. “මං හිතන්නේ ඔබට මේ වෙලාවේ කතා කරන්න අමාරු ඇති.” ගෙහිමියා ඊළඟට අපට එතරම් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත්, ඔහු “නුසුදුසු” කෙනෙක් කියා අපි නිගමනය කළ යුතුද? ඔහු අපට කුමක් කීවත්, “සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. නපුර ඉවසා දරාගෙන සිටීම . . . අවශ්‍යය” යන බයිබලයේ දී තිබෙන අවවාදය අමතක කරන්න එපා.—2 තිමෝති 2:24.

අනුන්ට නින්ද කළ මුළාව සිටි සාවුල්

5, 6. සාවුල් යේසුස්ගේ අනුගාමිකයන්ට කළේ කුමක්ද? ඔහු එසේ ක්‍රියා කළේ ඇයි?

5 මුල් සියවසේදී සාවුල් නම් ලත් මනුෂ්‍යයෙකුගේ පහත් කතා විලාසය සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම ගැන කවුරුත් දැනගෙන සිටියා. ඔහු “ස්වාමීන්ගේ ගෝලයන්ට තර්ජනය කරමින්ද ඔවුන් මරමියි කියමින්ද” සිටි බව බයිබලය අපට කියනවා. (ක්‍රියා 9:1, 2) තමා “දේවඅපහාස කරන්නෙකුවද, පීඩා කරන්නෙකුවද, නින්දා කරන්නෙකුවද” සිටි බව ඔහු පිළිගත්තා. (1 තිමෝති 1:13) ඔහුගේ සමහරක් නෑදෑයන් ක්‍රිස්තියානීන් බවට පත් වී සිටියත්, ක්‍රිස්තුස්ව අනුගමනය කළ අය සම්බන්ධයෙන් තමා දැරූ ආකල්පය ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. “මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩා කෙළෙමි.” (ක්‍රියා 23:16; 26:11; රෝම 16:7, 11) සාවුල් මේ විදිහට හැසිරෙද්දී ගෝලයන් ප්‍රසිද්ධියේ ඔහු සමඟ වාද කිරීමට උත්සාහ කළ බවක් අපට බයිබල් වාර්තාවේ දක්නට ලැබෙන්නේ නැහැ.

6 සාවුල් මේ අන්දමින් ක්‍රියා කළේ ඇයි? අවුරුදු ගණනාවකට පසුව ඔහු මෙහෙම ලීවා. ‘මා නොදන්නාකමින් සහ ඇදහිල්ල නැතිකමින් ක්‍රියා කළා.’ (1 තිමෝති 1:13) ඔහු “මුතුන්මිත්තන්ගෙන් පැවත ආ නීතියේ නියම පිළිවෙළට අනුව පුහුණුව ලැබූ” පරිසිවරයෙක් වී සිටියා. (ක්‍රියා 22:3) සාවුල්ගේ ගුරුතුමා වූ ගමාලියෙල් තරමක් සාධාරණ පුද්ගලයෙකු බවට පෙනෙන්නට තිබුණත්, සාවුල් නිතරම පාහේ ඇසුරු කළ උත්තම පූජක කායෆස් ආගමික උන්මත්තකයෙක්. කායෆස්, යේසුස් ක්‍රිස්තුස්ව ඝාතනය කිරීම පිණිස කුමන්ත්‍රණය කළ මැර කල්ලියේ ප්‍රධානියාද වී සිටියා. (මතෙව් 26:3, 4, 63-66; ක්‍රියා 5:34-39) ඉන්පසුව, යේසුස්ගේ ප්‍රේරිතයන්ට පහර දීමට සැලැස්වූ ඔහු, යේසුස්ගේ නාමයෙන් තවත් දේශනා නොකරන ලෙසට ඉතා තදින් අණ කළා. ස්තේපන්ව ගල් ගසා මැරීමට පෙර පැවැත්වුණු තීරණාත්මක නඩුවිභාගය සෙන්හෙඩ්‍රින මන්ත්‍රණ සභාව සමඟ පවත්වද්දී එහි මුලසුන හෙබවූයේද කායෆස්. (ක්‍රියා 5:27, 28, 40; 7:1-60) ස්තේපන්ට ගල් ගසනවා සාවුල් බලා සිටියා. දමස්කයේ සිටි යේසුස්ගේ ගෝලයන්ව අත්අඩංගුවට ගැනීමට කායෆස් සාවුල්ට බලය පැවරුවා. (ක්‍රියා 8:1; 9:1, 2) කායෆස්ගෙන් ලැබුණු මේ අනුග්‍රහය නිසා සාවුල් සිතුවේ ඔහු දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන බවයි. නමුත් ඔහුට සැබෑ ඇදහිල්ලක් තිබුණේ නැහැ. (ක්‍රියා 22:3-5) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යේසුස් අනාවැකිවල සඳහන් සැබෑ ගැලවුම්කරු බව තේරුම්ගැනීමට සාවුල් අසමත් වුණා. නමුත් නැවත නැඟිට සිටි යේසුස් දමස්කයට යන පාරේදී සාවුල්ට දර්ශනය වී ඔහුට කතා කළ පසු සාවුල් තමාගේ නියම සිහියට පැමිනුණා.—ක්‍රියා 9:3-6.

7. දමස්කයට යන පාරේදී සාවුල්ට ආශ්චර්යවත් ලෙස යේසුස්ව දර්ශනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාවුල්ට සිදු වුණේ කුමක්ද?

7 මේ සිද්ධිය වී ටික කලකට පසුව, අනනියස් නම් ගෝලයාව යවනු ලැබුවා සාවුල්ට සත්‍යය ගැන සාක්ෂි දැරීමට. සාවුල්ට සාක්ෂි දැරීමේ පැවරුම ඔබට ලැබුණා නම් ඔබ කැමති වෙනවාද? අනනියස් ඔහුව හමුවීමට ගියේ භයෙන්. නමුත් ඔහු සාවුල්ට කතා කළේ ඉතා කාරුණික අන්දමින්. දමස්කයට යන පාරේදී සාවුල්ට ආශ්චර්යවත් ලෙස යේසුස්ව දර්ශනය වීමෙන් පසුව ඔහුගේ ආකල්ප වෙනස් වී තිබුණා. (ක්‍රියා 9:10-22) ඉන්පසු සාවුල් ක්‍රිස්තියානි ඉගැන්වීම් ප්‍රකාශ කිරීමෙහිලා ඉතා උද්‍යෝගිමත් පුද්ගලයෙකු බවට පත් වුණා. එතැන් පටන් ඔහුව හැඳින්වුණේ ප්‍රේරිත පාවුල් යන නමින්.

මෘදු වූ නමුත් නිර්භීත වූ යේසුස්

8. යේසුස්, පව්කාරයන් දෙස සිය පියාණන් බැලූ ආකාරයට බැලුවේ කොහොමද?

8 යේසුස් ඉතා උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන දේශනා කරද්දී ඉතා මෘදු ලෙස මෙන්ම නිර්භීතව මිනිසුන් සමඟ කටයුතු කළා. (මතෙව් 11:29) යේසුස්ගේ පියා වන යෙහෝවා දෙවි දුෂ්ට මාර්ගවලින් හැරී එන ලෙස දුෂ්ටයන්ගෙන් නිතරම ඉල්ලා සිටිනවා. යේසුස් කළේද ඒ දේමයි. (යෙසායා 55:6, 7) පව්කාරයන් සමඟ කටයුතු කරද්දී යේසුස් දැක්කා ඔවුන්ව යහපත් පුද්ගලයන් බවට පත් කරන්න පුළුවන් කියා. ඒ නිසා එවන් අයට යහපත් පුද්ගලයන් වීමට දිරිගැන්නුවා. (ලූක් 7:37-50; 19:2-10) යේසුස් කිසිවිටකත් අන්‍යයන්ගේ පිටාතර පෙනුම බලා ඔවුන්ව විනිශ්චය කළේ නැහැ. ඔහු නිතරම උත්සාහ කළේ සිය පියා මෙන් පව්කාරයන්ට කරුණාව, ඉවසීම දක්වන්නයි. ඔහුට වුවමනා වුණේ ඔවුන් පසුතැවිලි වෙනවා දකින්නයි. (රෝම 2:4) අද පවා යෙහෝවා කැමති වන්නේ සියලු ආකාරයේ ජනයා පසුතැවිලි වී ගැලවෙනවා දැකීමටයි.—1 තිමෝති 2:3, 4.

9. යෙසායා 42:1-4හි සඳහන් දෙය යේසුස් සම්බන්ධයෙන් සැබෑ වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ව සැලකූ ආකාරය ගැන මතෙව් සිය ශුභාරංචි වාර්තාවෙන් මේ වචන උපුටා දක්වනවා. “මෙන්න! මාගේ ප්‍රේමණීය, මා තෝරාගත්, මාගේ අනුමැතිය ඇති මාගේ සේවකයා! මම මාගේ ආත්මය ඔහු පිට තබන්නෙමි. ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය. ඔහු දබර කරන්නේවත් කෑගසන්නේවත් නැත. ඔහුගේ හඬද ප්‍රධාන වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය සාර්ථකව ඉටු කරන තුරු, තැළුණු බට ගසක් පොඩි කරන්නේවත්, නිවීගෙන යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත. නිසැකවම ඔහුගේ නාමය කෙරෙහි ජාතීහු බලාපොරොත්තු තබන්නෝය.” (මතෙව් 12:17-21; යෙසායා 42:1-4) මෙම වචන යේසුස් සම්බන්ධයෙන් සැබෑවක් වුණා. යේසුස් අන් අය කෑ කෝ ගසමින් කළ වාද විවාදවලට පැටලෙන්නට ගියේ නැහැ. සමහර අවස්ථාවලදී යේසුස් පීඩනයට ලක් වුණත්, ඔහු සත්‍යය කතා කළේ අවංක හදවත් ඇති අයගේ සිත්වලට ඒවා කාවදින ආකාරයෙනුයි.—යොහන් 7:32, 40, 45, 46.

10, 11. (අ) පරිසිවරුන් වැඩිදෙනෙක් යේසුස්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කළත්, යේසුස් ඔවුන්ගෙන් සමහරදෙනෙකුට සාක්ෂි දැරුවේ ඇයි? (ආ) යේසුස් තමන්ගේ විරුද්ධවාදීන්ට යම් අවස්ථාවලදී පිළිතුරු දුන්නේ කොයි ආකාරවලින්ද? නමුත් ඔහු නොකළේ කුමක්ද?

10 යේසුස් සිය දේවසේවය අතරතුරේදී පරිසිවරුන් බොහෝදෙනෙකුටද කතා කළා. ඔවුන්ගෙන් සමහරෙක් යේසුස්ව කතාවෙන් හසු කරගැනීමට උත්සාහ කළත්, ඔවුන් හැමෝම නරක චේතනා තිබෙන අය කියා යේසුස් සිතුවේ නැහැ. යේසුස් ගැන මදක් විවේචනාත්මකව බැලූ සීමොන් නම් පරිසිවරයා යේසුස්ව කෑමකට ආරාධනා කළේ ඔහු සමඟ මදක් ළඟින් ඇසුරු කරන්න සිතාගෙන විය හැකියි. ඒ ආරාධනාව පිළිගත් යේසුස් ඔහුගේ නිවසට ගොස් එහි සිටි අයට සාක්ෂි දැරුවා. (ලූක් 7:36-50) තවත් අවස්ථාවක, නිකොදේමුස් නම් ප්‍රධාන පෙළේ පරිසිවරයා යේසුස්ව හමුවීමට ආවේ ඇඳිරි වැටුණු වේලාවකයි. අන්ධකාර වේලාවක ආවා කියා යේසුස් ඔහුව විවේචනය කරමින් ඔහුට දොස් තැබුවේ නැහැ. ඒ වෙනුවට යේසුස් ඔහුට සාක්ෂි දැරුවා. දෙවි සිය පුත්‍රයාව ලෝකයට එවූ බවත් ඇදහිල්ල තබන අයට සදාකාල ජීවනය ලබාගැනීමට දෙවි මාර්ගය විවෘත කළ බවත් ඔහු නිකොදේමුස්ට පහදා දුන්නා. ඒ වගේම දෙවිගේ නීතිවලට කීකරු වීමේ වැදගත්කමද යේසුස් ඔහුට පැහැදිලි කළේ ඉතා කාරුණික අන්දමටයි. (යොහන් 3:1-21) පසු අවස්ථාවකදී යේසුස් ගැන අනික් පරිසිවරුන් නරක දේවල් කියන්නට පටන්ගත් විට යේසුස්ට පක්ෂව කතා කළේ නිකොදේමුස්.—යොහන් 7:46-51.

11 තමාව උගුලට හසු කරගැනීමට උත්සාහ කළ අය ගැනද යේසුස්ට තිබුණේ තියුණු අවබෝධයක්. ඒ නිසා තමන්ගේ විරුද්ධකාරයන්ගේ බලපෑම්වලට හසු වෙමින් ඔහු කිසිම පලක් නැති වාද විවාදවලට පැටලුණේ නැහැ. ඒ වුණත් සුදුසු අවස්ථාවලදී ඔහු ඉතා කෙටි, ප්‍රබල පිළිතුරක් දුන්නේ යම් ප්‍රතිපත්තියක් ගැන සඳහන් කරමින්. එසේ නැත්නම් උපමාවක් කියමින්. එහෙමත් නැත්නම් බයිබලයෙන් පදයක් උපුටා දක්වමින්. (මතෙව් 12:38-42; 15:1-9; 16:1-4) සමහරක් අවස්ථාවලදී කතා කිරීමෙන් කිසිදු පලක් නැති බව වටහාගත් විට යේසුස් කිසිම පිළිතුරක් දෙන්නට ගියේද නැහැ.—මාක් 15:2-5; ලූක් 22:67-70.

12. යේසුස්ට කෑ ගැසූ අයට පවා ඔහු උපකාර කළේ කොහොමද?

12 ඇතැම් අවස්ථාවලදී භූතයන් වැසී සිටි පුද්ගලයන් යේසුස්ට කෑගැසුවා. ඒ වගේ අවස්ථාවලදී යේසුස් ක්‍රියා කළේ ඉතා සන්සුන්වයි. හැබැයි දෙවි දුන් බලය යොදාගෙන ඔවුන්ව සුව කළා. (මාක් 1:23-28; 5:2-8, 15) අපත් දේවසේවයේ යෙදෙන විට සමහර අය කෝප වී කෑගසනවා නම්, අපටත් පුළුවන් යේසුස් මෙන් ඉවසන්න. ඒ වගේම එවැනි තත්වයක් කාරුණිකව හා ඥානවන්තව හසුරුවන්න අපි උත්සාහ දරන්න ඕනෑ.—කොලොස්සි 4:6.

පවුලේ අය සමඟ ඉවසා දරා සිටීම

13. බයිබල් සත්‍යය ඉගෙනගන්නාවූ කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතැම්විට විරුද්ධ වෙන්නේ ඇයි?

13 යේසුස්ව අනුගමනය කරන අය විශේෂයෙන්ම ඉවසීමෙන් ක්‍රියා කළ යුත්තේ පවුලේ අය සමඟ කටයුතු කරන විටයි. බයිබල් සත්‍යය ඉගෙනගෙන එය තදින් සිතට කාවැදුණු කෙනෙක් ඉතා ආශාවෙන් බලා සිටින්නේ තමාගේ පවුලේ අනික් අයද තමන් වගේම සත්‍යය පිළිගන්නවා දැකීමටයි. නමුත් යේසුස් පැවසුවා පවුලේ සමහරක් අය විරුද්ධවාදිකම් පෙන්වයි කියා. (මතෙව් 10:32-37; යොහන් 15:20, 21) මේ සඳහා බොහෝ හේතු තිබෙනවා. අප බයිබලය ඉගෙනගනිද්දී අපි වැඩි වැඩියෙන් අවංක, වගකීමෙන් ක්‍රියා කරන, අන් අයට ගෞරවය පෙන්වන පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම අපි වැඩියෙන්ම කීකරු විය යුත්තෙත් ගණන් දිය යුත්තෙත් අපේ මැවුම්කරුට බව බයිබලය අපට උගන්වනවා. (දේශනාකාරයා 12:1, 13; ක්‍රියා 5:29) අප නිතරම යෙහෝවාට මුල් තැන දෙමින් ජීවත් වෙන්න වෑයම් කරන නිසා සමහරවිට පවුලේ සාමාජිකයෙකුට හිතෙන්න පුළුවන් තමාට අඩු සැලකිල්ලක් ලැබෙනවා කියා. ඒ නිසා ඔහුට හෝ ඇයට කේන්තියක් ඇති විය හැකියි. ඒ වගේ අවස්ථාවකට මුහුණ දීමේදී යේසුස් මෙන් ඉවසීමෙන් ක්‍රියා කිරීම කොතරම් වැදගත්ද!—1 පේතෘස් 2:21-23; 3:1, 2.

14-16. තමන්ගේ පවුලේ කෙනෙක් සත්‍යය පාඩම් කිරීම නිසා ඊට විරුද්ධ වූ සමහරක් අය පසුව වෙනස් වුණේ කවර හේතු නිසාද?

14 දැන් යෙහෝවාට සේවය කරමින් සිටින බොහෝදෙනෙකුට මීට පෙර ඔහුගේ හෝ ඇයගේ පවුලේ කෙනෙක් විරුද්ධ වෙලා තිබෙනවා වෙන්න පුළුවන්. ඒ බයිබලය පාඩම් කරන්නට පටන්ගත් පසු එම තැනැත්තා කළ වෙනස්කම් දැක ඊට අකමැති වූ නිසයි. සමහරවිට ඔවුන් විරුද්ධ වන්නට ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන බොරු ප්‍රචාරවලට සවන් දී තිබෙන නිසා වෙන්න පුළුවන්. නැත්නම් බයිබල් පාඩම නිසා පවුලේ අයට නරක බලපෑමක් ඇති වේවියයි සිතූ නිසාද විය හැකියි. මේ වගේ අයට ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගැනීමට හැකි වුණේ කොහොමද? බොහෝ අවස්ථාවලදී එසේ වුණේ සත්‍යය ඉගෙනගත් තැනැත්තාගේ හොඳ ආදර්ශය නිසයි. සත්‍යය ඉගෙනගත් තැනැත්තා සභාවේ රැස්වීම්වලට සහ දේවසේවයේ සහභාගි වන අතරම පවුලේ වගකීම්ද නොපිරිහෙළා ඉටු කරමින් ස්ථිර ලෙස බයිබලයේ අවවාද අදාළ කරගැනීම නිසා පවුලේ අයගේ විරුද්ධවාදිකම් ඇතැම් අවස්ථාවලදී අඩු වී තිබෙනවා.—1 පේතෘස් 2:12.

15 සත්‍යයට විරුද්ධ වන පවුලේ කෙනෙක් තමාගේ වැරදි අවබෝධය නිසා හෝ උඩඟුකම නිසා හෝ බයිබලය ගැන කරන කිසිදු පැහැදිලි කිරීමකට සවන් නොදී සිටිනවා විය හැකියි. උදාහරණයකට තමා තම ජාතියට ලැදි පුද්ගලයෙක්යයි කියාගත් එක්තරා මිනිසෙක් අමෙරිකා එක්සත් ජනපදයේ සිටියා. එක්තරා අවස්ථාවක, ඔහුගේ බිරිඳ සමුළුවකට සහභාගි වෙමින් සිටිද්දී ඔහු තමාගේ සියලුම ඇඳුම් රැගෙන ගෙදරින් පිට වුණා. තවත් අවස්ථාවක ඔහු තුවක්කුවක්ද රැගෙන නිවසින් පිට වී ගොස් තමන්ට වෙඩි තියාගන්නවා කියා තර්ජනය කළා. තමා මෙසේ කරගත්තොත් භාර්යාවගේ ආගමේ අය ඊට වග කියන්න ඕනෑ කියාද ඔහු බිරිඳට තර්ජනය කළා. නමුත් ඇය බයිබලයේ උපදෙස් අදාළ කරගන්නට දැරුවේ දැඩි උත්සාහයක්. ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් වී වසර 20කට පසුව, ඔහුත් සාක්ෂිකරුවෙක් බවට පත් වුණා. ඇල්බේනියාවේ එක්තරා කාන්තාවක්, ඇගේ දියණිය බයිබලය පාඩම් කර බව්තීස්ම වූ නිසා ඉතා කෝපයෙනුයි සිටියේ. මේ මව තම දියණිය පාවිච්චි කළ බයිබල්, 12 වතාවක්ම විනාශ කළා. එක් දවසක් ඇගේ දියණිය මේසය මත තබා ගොස් තිබූ අලුත් බයිබලය මේ මව විවෘත කළා. ඉබේම වාගේ බයිබලය පෙරළුණේ මතෙව් 10:36වන පදයට. එහි කියා තිබෙන දේ තමාටද අදාළ වන බව ඇයට තේරුණා. ඇගේ දියණිය තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සමඟ ඉතාලියේ පැවැත්වෙන සමුළුවකට යෑමට බෝට්ටුවකට නඟින විට මේ මවත් ඇය සමඟ එතැනට ඇවිත් සිටියා. මේ කණ්ඩායමේ අය ඉතා සතුටින් සිනාසෙමින් එකිනෙකාව ආදරයෙන් වැලඳගන්නවා දුටු මවගේ ආකල්පය වෙනස් වෙන්නට පටන්ගත්තා. වැඩි කල් යන්නට මත්තෙන්, බයිබලය පාඩම් කිරීමට ඇය කැමති වුණා. සත්‍යයට මුලින් විරුද්ධ වුණු අයට උපකාර කරන්නට දැන් ඇයද උත්සාහයක් දරනවා.

16 එක් අවස්ථාවකදී එක් සහෝදරියක් ක්‍රිස්තියානි රැස්වීමකට සහභාගි වීම සඳහා රාජ්‍ය ශාලාවට ළඟා වෙමින් සිටියදී ඇගේ සැමියා කෝපයෙන් පිහියක් අමෝරාගෙන ඇය ඉදිරිපිටට ආවේ ඇයට පරුෂ වචනවලින් බැණ වදිමිනුයි. ඇය ඉතා මෘදු ලෙස මෙහෙම කිව්වා. “එන්න රාජ්‍ය ශාලාව ඇතුළට. ඔයාම බලන්න මං එන්නේ මොන වගේ තැනකටද කියලා.” ඔහු රාජ්‍ය ශාලාව ඇතුළට ආවා. ඒ විතරක් නෙවෙයි, කලක් ගිහින් ඔහු ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු බවට පත් වුණා.

17. ක්‍රිස්තියානි පවුලක යම් ගැටලුසහගත තත්වයක් ඇති වේ නම්, ශුද්ධ ලියවිල්ලෙන් උපකාරවත් විය හැකි උපදෙස් මොනවාද?

17 ඔබගේ පවුලේ සියලුමදෙනා ක්‍රිස්තියානීන් වුවත්, සියලුදෙනාම අසම්පූර්ණ නිසා ඇතැම් අවස්ථාවලදී රළු වචන මුවින් පිටවීමට පුළුවන්. පැරණි එෆීස නගරයේ ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස් මෙහිදී සිහි කිරීමට වටිනවා. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.” (එෆීස 4:31) එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් විසූ පරිසරය, ඔවුන්ගේම අසම්පූර්ණකම් සහ ඇතැම් අවස්ථාවලදී ඔවුන් මීට කලින් ජීවිතය ගත කළ ආකාරය ඔවුන්ට බලපෑම් කළ බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන්ට වෙනස් වීමට හැකි වුණේ කොහොමද? ‘මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වීමට’ ඔවුන්ට සිදු වුණා. (එෆීස 4:23) ඔවුන් දේවවචනය අධ්‍යයනය කරත්ම ඒවා තමන්ගේ ජීවිතවලට අදාළ වන ආකාරය ගැන ඔවුන් මෙනෙහි කළා. සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කළා. ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. ඒ නිසා ශුද්ධාත්මයේ පල ඔවුන්ගේ ජීවිතවල වැඩි වැඩියෙන් දකින්නට පටන්ගත්තා. ඔවුන් ‘එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වා, දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔවුන්ට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔවුනුත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කිරීමට’ ඉගෙනගත්තා. (එෆීස 4:32) අනිත් අය අපට කුමක් කළත් අප ඉවසා දරාගන්න ඕනෑ. ඒ වගේම ඔවුන් කෙරෙහි කරුණාවෙන්, දයානුකම්පාවෙන් ක්‍රියා කර ඔවුන්ට සමාව දෙන්න ඕනෑ. ඇත්තෙන්ම, අප ‘කිසි කෙනෙකුට නපුරට නපුර නොකළ’ යුතුයි. (රෝම 12:17, 18) දෙවි වගේ අනුන්ට අවංකව ප්‍රේමය පෙන්වීමයි හැමවිටම හරි දේ වෙන්නේ.—1 යොහන් 4:8.

සියලුම ක්‍රිස්තියානීන්ට පිළිපැදිය හැකි උපදෙස්

18. ඉපැරණි එෆීසයේ විසූ වැඩිමහල්ලෙකුට 2 තිමෝති 2:24හි උපදෙස වැදගත් වූයේ ඇයි? මෙයින් ක්‍රිස්තියානීන් සියල්ලන්ටම ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

18 ‘නපුර ඉවසා දරා සිටින’ ලෙසට දී ඇති උපදෙස සියලුම ක්‍රිස්තියානීන්ට අදාළයි. (2 තිමෝති 2:24) නමුත් එය පළමුව යොමු කරනු ලැබුවේ තිමෝතිටයි. මන්ද එෆීසයේ වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමේදී ඔහුට එය අවශ්‍ය වුණා. සභාවේ සිටි ඇතමුන් තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේ පළ කරමින් වැරදි ඉගැන්වීම් ඉගැන්වුවා. මෝසෙස්ගේ නීතියේ නියම පරමාර්ථය සම්පූර්ණයෙන් වටහා නොගත් ඔවුන් ඇදහිල්ලේ, ප්‍රේමයේ හා දෙවි ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් තබාගැනීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට සමත් වුණේ නැහැ. ඔවුන් තුළ තිබූ උඩඟුකම නිසා ඔවුන් යම් යම් වචන අල්ලාගෙන ඒවා ගැන වාද කළා. ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වල නියම සාරය හා දේවභක්තියෙන් ජීවත් වීම කොතරම් වැදගත්ද යන්න තේරුම්ගැනීමට ඔවුන් අපොහොසත් වුණා. මේ තත්වය හැසිරවීමට, තිමෝතිට බයිබල් සත්‍යයන්ට ඇලී සිටීමට සිදු වුණා වගේම ඔහුගේ සහෝදරයන් සමඟ මෘදු ලෙස කටයුතු කිරීමටද සිදු වුණා. ඔහු දැනගෙන සිටියා රැළ ඔහුට අයිති නැති බව සහ අනුන් සමඟ කටයුතු කරද්දී ක්‍රිස්තියානි ප්‍රේමය සහ එක්සත්කම වැඩි දියුණු කරන අන්දමට එසේ කළ යුතු බව. අද දින සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද මේ කාරණය දන්නවා.—එෆීස 4:1-3; 1 තිමෝති 1:3-11; 5:1, 2; 6:3-5.

19. අප සියල්ලන්ම ‘මොළොක්කම සෙවීම’ වැදගත් වන්නේ ඇයි?

19 දෙවි සිය ජනයාගෙන් ඉල්ලා සිටින්නේ “මොළොක්කම සොයන්න” කියායි. (ශෙපනියා 2:3) “මොළොක්කම” යන වචනයට හෙබ්‍රෙව් භාෂාවෙන් එන අදහස විස්තර කළ හැක්කේ කෙසේද? මොළොක්කම තිබෙන පුද්ගලයෙකුට යම් කෙනෙක් රිදවන්න උත්සාහ කළත් ඒ මොළොක් පුද්ගලයා කෝප වෙන්නේ නැහැ. එකට එක කරන්න පෙලඹෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ඉවසීමෙන් එය දරාගැනීමට ක්‍රියා කරනවා. එසේනම්, අපිට යම් දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වුණත්, ඉවසීමෙන් ක්‍රියා කිරීම සඳහා අපි යෙහෝවාගේ උපකාර ඕනෑකමින් ඉල්ලා යාච්ඤා කරමු. එවිට යෙහෝවා දෙවි ගැන අන්‍යයන් තුළ පැහැදීමක් ඇති වන අයුරින් ක්‍රියා කිරීමට අපට හැකි වෙනවා නොඅනුමානයි.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• ඔබට යමෙක් නින්දාසහගත ලෙස බැණ වැදුණොත්, ඔබට උපකාරවත් වෙන්නේ කුමන ශුද්ධ ලියවිලි පදද?

• සාවුල් ක්‍රිස්තියානීන්ට ඉතාමත් නින්දාසහගත ලෙස ක්‍රියා කළේ ඇයි?

• සියලු ආකාරයේ මිනිසුන් සමඟ සාමයෙන් කටයුතු කිරීමට යේසුස්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• නිවසේ අප කතා බහ කරද්දී ඉවසීම දැක්වීමෙන් කිනම් ප්‍රයෝජන ලැබිය හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

සාවුල් දරුණු පුද්ගලයෙකු ලෙසට ප්‍රසිද්ධ වී සිටියත් අනනියස් ඔහුට ඉතා කරුණාවෙන් සැලකුවා

[29වන පිටුවේ පින්තූරය]

පවුලේ වගකීම් විශ්වාසවන්තව ඉටු කරන ක්‍රිස්තියානියෙකුට පවුලේ අයගෙන් පැමිණෙන විරුද්ධවාදිකම් අවම කරගත හැකියි

[30වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානීන් ප්‍රේමය සහ එක්සත්කම වැඩි දියුණු කිරීමට ක්‍රියා කරනවා