පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
පරදාර සේවනයේ යෙදුණු දාවිත්ව සහ බැත්ෂෙබාව මරණයට පත් නොකළද, ඔවුන්ට උපන් දරුවා මරණයට පත් වුණේ ඇයි?
මෝසෙස්ගේ නීතියේ මෙසේ පැහැදිලිව සඳහන් කර තිබුණා. “පුරුෂයෙකුට සරණපාවා දුන් ස්ත්‍රියක සමඟ සයනය කරන මනුෂ්‍යයෙකු සම්බ වන්නේ නම් ස්ත්‍රියද ඇය සමඟ සයනය කළ මනුෂ්‍යයාද මරනු ලබන්නෝය. මෙලෙස ඔබ ඊශ්‍රායෙල් කෙරෙන් නපුර පහ කරන්නෙහිය.” (ද්විතීය කතාව 22:22) දාවිත් සහ බැත්ෂෙබාගේ පාපය සම්බන්ධ කාරණය විනිශ්චය කරන්නට යෙහෝවා දෙවි මෝසෙස්ගේ නීතිය යටතේ විනිසුරුවන්ට ඉඩහැරියා නම්, මේ දෙදෙනාටම ලැබෙන්නේ මරණ දඬුවමයි. විනිසුරුවන්ට වැරදිකරුවන්ගේ සිත්වල තිබූ දේ දැනගන්නට බැරි නිසා ඔවුන් යම් වරදක් සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නේ වැරදිකරුවන් කළ ක්‍රියාවට සාක්ෂි සලකා බලායි. පරදාර සේවනය සඳහා දුන් දඬුවම වූයේ මරණයයි. එම පාපය කළ වැරදිකරුවෙකුට සමාව දෙන්නට ඊශ්‍රායෙල් විනිසුරුවන්ට කිසිදු බලයක් තිබුණේ නැහැ.
එහෙත් සැබෑ දෙවිට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ දැනගන්නට පුළුවන් නිසා සමාව දෙන්නට හේතුවක් තිබෙනවා නම් ඔහු සමාව දෙනවා. යෙහෝවා දෙවි දාවිත් සමඟ ගිවිසුමක් කර තිබුණා ඔහුගේ පෙළපතට රජකම සදහටම දෙන බවට. ඒ නිසා මේ කාරණය තමා විසින්ම හසුරුවන්නට යෙහෝවා තීරණය කළා. (2 සාමුවෙල් 7:12-16) ‘මුළු පොළොවෙහි විනිශ්චයකාරයාණන්ට’ අයිතියක් තිබෙනවා එවැනි තීරණයක් ගන්න.—උත්පත්ති 18:25.
දාවිත්ගේ සිත සෝදිසි කළ යෙහෝවා දැක්කේ මොනවාද? පනස් එක්වෙනි ගීතිකාවේ ලියා තිබෙන දාවිත්ගේ හැඟීම් අපට කියවන්නට පුළුවන්. එහි ශීර්ෂ පාඨයට අනුව, දාවිත් මෙම ගීතිකාව ලියා ඇත්තේ ඔහු “බැත්ෂෙබා කරා පැමිණීම නිසා අනාගතවක්තෘ නාතාන් ඔහු වෙත ගිය පසු” ඔහු තුළ ඇති වූ හැඟීම් ප්‍රකාශ කරන්නයි. ගීතාවලිය 51:1-4 මෙහෙම කියනවා. “දෙවි, ඔබගේ දයාව ලෙස මට කරුණා කළ මැනව. ඔබගේ අධික දයාව ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සෝදා මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මට හැඟේ. මාගේ පාපය නිතර මා ඉදිරියෙහිය. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි. ඔබගේ ඇස් හමුයෙහි මේ නපුර කළෙමි.” දාවිත්ගේ සිතේ තිබූ මේ තදබල ශෝකය ඔහු තුළ වූ අවංක පසුතැවිල්ලේ සාක්ෂියක් හැටියට යෙහෝවා දෙවි දුටුවා විය යුතුයි. ඒ නිසා වරදකරුවන්ට සමාව දීමට හේතුවක් තිබෙන බව දෙවි තීරණය කරන්න ඇති. ඒ විතරක් නොවෙයි, දාවිත්ද අන් අයට දයාව දැක්වූ පුද්ගලයෙක්. යෙහෝවාත් දයාවන්තයන්ට දයාව පෙන්වනවා. (1 සාමුවෙල් 24:4-7; මතෙව් 5:7; යාකොබ් 2:13) දාවිත් තමාගේ පාපය පිළිගත් විට නාතාන් ඔහුට කීවේ මෙයයි. “යෙහෝවා ඔබගේ පාපය පහ කළේය. ඔබ නොනස්නෙහිය.”—2 සාමුවෙල් 12:13.
කෙසේවෙතත්, දාවිත්ට සහ බැත්ෂෙබාට තමා කළ පාපයේ සියලු ඵලවිපාකවලින් ගැලවෙන්නට ලැබුණේ නැහැ. නාතාන් දාවිත්ට කීවේ මෙහෙමයි. “ඔබ මේ ක්‍රියාවෙන් අපහාස කරන්ට යෙහෝවාගේ සතුරන්ට අවකාශ දුන් බැවින් ඔබ නිසා උපන් ළදරුවා සැබවින් නසින්නේය.” මේ ගැන දාවිත් දවස් හතක්ම නිරාහාරව සිට වැලපුණත් ඔවුන්ගේ දරුවා අසනීප වී මිය ගියා.—2 සාමුවෙල් 12:14-18.
ද්විතීය කතාව 24:16හි “පියවරුන් නිසා දරුවන්වත් මරනු නොලැබිය යුතුයි” යනුවෙන් පවසා ඇති නිසා, මෙහිදී දාවිත්ගේ දරුවා මිය ගිය හේතුව තේරුම්ගැනීම ඇතමුන්ට අපහසුයි. නමුත් මෙය මතක තබාගන්න. මෙම කාරණය විනිසුරුවන් විසින් විභාග කළා නම්, දෙමාපියන් වගේම මවගේ ගර්භාශය තුළ වූ දරුවාවද මිය යෑමට තිබුණා. තවත් කාරණයක් තමයි, දරුවා මිය ගිය නිසා තමා බැත්ෂෙබා සමඟ කළ පාපය ගැන යෙහෝවා දෙවි කොතරම් අසතුටු වුණාද කියන කාරණය දාවිත් හොඳටම තේරුම්ගන්න ඇති. ඒ නිසා යෙහෝවා මෙම කාරණය යුක්තිසහගත ලෙස හැසිරෙවූ බවට අපට කිසිම සැකයක් නැහැ. මන්දයත් “දෙවිගේ මාර්ගය සම්පූර්ණය.”—2 සාමුවෙල් 22:31.
[31වන පිටුවේ පින්තූරය]
දාවිත් සැබෑ පසුතැවිල්ල පෙන්නුවා