Skip to content

පටුනට යන්න

යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම

යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම

යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම

“මා විසින් ඔබ අඳුනන පිණිස ඔබගේ මාර්ගයන් [ඔබ ක්‍රියා කරන අන්දම, NW] දැන් මට පෙන්වන ලෙස ඉල්ලමි.”—නික්මයාම 33:13.

1, 2. (අ) ඊජීප්තු ජාතිකයෙක් හෙබ්‍රෙව් ජාතිකයෙකුට හිරිහැර කරද්දී මෝසෙස් ඔහුව මරා දැමුවේ ඇයි? (ආ) යෙහෝවාගේ සේවයට සුදුස්සෙකු වීමට නම්, මෝසෙස් තේරුම්ගත යුතුව තිබුණේ කුමක්ද?

මෝසෙස් හැදී වැඩුණේ පාරාවෝගේ මාලිගාවේයි. ඊජිප්තුවේ ඉහළ පැළැන්තියේ ප්‍රභූවරයෙකුට ලැබෙන අධ්‍යාපනය හා නැණ නුවණ ඔහුට ලැබුණා. කෙසේවෙතත්, තමා ඊජිප්තු ජාතිකයෙකු නොවන බව මෝසෙස් පැහැදිලිව තේරුම්ගෙන තිබුණා. ඔහුගේ දෙමාපියන් හෙබ්‍රෙව් ජාතිකයන්. ඔහුට වයස අවුරුදු 40දී, ඔහු තමාගේ සහෝදරයන්ව, එනම් ඊශ්‍රායෙල් පුත්‍රයන් ගැන සොයා බලන්නට පටන්ගත්තා. එහිදී ඔහු දුටුවා ඊජිප්තු ජාතිකයෙක් තමන්ගේ ජාතියේ කෙනෙකුට හිරිහැර කරනවා. මෙය දුටු මෝසෙස් ඒ ඊජිප්තු ජාතිකයාව මරා දැමුවා. යෙහෝවාගේ ජනයාගේ පැත්ත ගත් මෝසෙස් සිතුවේ දෙවි තමාගේ සහෝදරයන්ව ගලවාගැනීමට තමාව යොදාගනිමින් සිටින බවයි. (ක්‍රියා 7:21-25; හෙබ්‍රෙව් 11:24, 25) ඊජිප්තුවේ පාලකයන්ට මෙම සිද්ධිය දැනගන්නට ලැබුණායින් පසුව ඔවුන් මෝසෙස්ව කැරලිකාරයෙකු ලෙස සැලකූ නිසා ඔහුට පලා යෑමට සිදු වුණා. (නික්මයාම 2:11-15) දෙවිගේ ජනයාව ගලවාගැනීම සඳහා දෙවි විසින් මෝසෙස්ව යොදාගැනීමට නම් දෙවි ක්‍රියා කරන අන්දම ගැන හොඳින් දැනුවත් වීමට මෝසෙස්ට සිදු වුණා. මෝසෙස් දෙවි ක්‍රියා කරන අන්දම ගැන තේරුම්ගනීවිද?—ගීතාවලිය 25:9.

2 තමාගේ හෙබ්‍රෙව් ජාතික සහෝදරයන් තමාව නොසලකාහැරීම ගැන සිත සිතා දුක් වෙනවා වෙනුවට, දෙවිගේ කැමැත්තට යටත් වීමට මෝසෙස් කැමති වුණා. දෙවිගේ කැමැත්ත වුණේ ඊළඟ වසර 40 පුරාම ඔහු එඬේරෙකු හැටියට ජීවත් වීමයි. වසර ගණනාවක් තිස්සේ දෙවි තමාගෙන් කිසි වැඩක් නොගත් බවක් පෙනෙන්නට තිබුණත්, ඒ කාලය තුළ දෙවි ලබා දුන් පුහුණුවට මෝසෙස් කැමැත්තෙන් යටත් වුණා. මෝසෙස් තමා ගැනම මෙසේ ලීවා. “මෝසෙස් නම් මනුෂ්‍යයා පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා මොළොක් ගුණ ඇති කෙනෙක් විය.” (ගණන් කතාව 12:3) ඔහු මෙසේ ලියුවද මෙය ඔහුගේම පෞද්ගලික අදහසක් නොව දේවානුභාවයෙන් පෙලඹී ලියනු ලැබූවක්. යෙහෝවා තම අරමුණ ක්‍රියාත්මක කිරීමට මෝසෙස්ව විශේෂ ක්‍රම කිහිපයකින් යොදාගත්තා. අපත් මොළොක් ගුණය වර්ධනය කරගන්නවා නම්, යෙහෝවා අපට ආශීර්වාද කරනවා ඇති.—ශෙපනියා 2:3.

මෝසෙස්ට දුන් පැවරුම

3, 4. (අ) යෙහෝවා මෝසෙස්ට දුන් පැවරුම කුමක්ද? (ආ) දෙවි මෝසෙස්ට උපකාර කළේ කෙසේද?

3 එක් දවසක් යෙහෝවා වෙනුවෙන් පෙනී සිටි එක් දේවදූතයෙක් සීනයි මිටියාවතේ හොරෙබ් කන්ද අසලදී මෝසෙස්ට කතා කළා. මෝසෙස්ට පවසනු ලැබුවේ මෙයයි. ‘සැබවින් ඊජිප්තුවෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව දුටිමි. ඔවුන්ගේ විධානවරුන් නිසා ඔවුන් කරන හඬගැසීම ඇසීමි. මම ඔවුන්ගේ දුක් දනිමි. ඊජිප්තු ජාතිකයන් අතින් ඔවුන් ගලවා ඒ රටින් පිටත් කොට යහපත් වූ විශාල වූ කිරි සහ මීපැණි ගලා යන්නාවූ දේශයකට ගෙනෙන්ට බැස්සෙමි.’ (නික්මයාම 3:2, 7, 8) ඊජීප්තුවෙන් දෙවිගේ ජනයාව ගලවාගැනීමට මෝසෙස් ලවා යම් කාර්යයක් කරවාගැනීමට දෙවි තීරණය කර තිබුණා. නමුත් මෝසෙස් එය කළ යුත්තේ යෙහෝවා කැමති අන්දමටයි.

4 යෙහෝවාගේ දූතයා තවදුරටත් මෙසේ කීවා. “දැන් එන්න; මාගේ සෙනඟ වූ ඊශ්‍රායෙල් පුත්‍රයන් ඔබ විසින් ඊජිප්තුවෙන් ගෙනෙන පිණිස මම ඔබ පාරාවෝ වෙතට යවමි.” මෝසෙස් ඊට අදි මදි කළා. ඔහු සිතුවේ තමා ඊට නුසුදුසු බවයි. ඊශ්‍රායෙල් පුත්‍රයන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒම මෝසෙස් තමන්ගේම හැකියාවෙන් කරන දෙයක් නම් ඔහුට එය කළ නොහැකි බව ඇත්තයි. එහෙත් යෙහෝවා මෝසෙස්ට මෙසේ සහතික කළා. “මම සැබවින් ඔබ සමඟ සිටින්නෙමි.” (නික්මයාම 3:10-12) මෝසෙස්ට යෙහෝවා දානය කළ බලය මගින් ඔහුට හැකියාව ලැබුණා ආශ්චර්යවත් ක්‍රියාවන් කිහිපයක්ම කිරීමට. ඇත්තටම දෙවි විසින් ඔහුව යවනු ලැබූ බවට එය පැහැදිලි සාක්ෂියක් වුණා. ඒ වගේම දෙවි මෝසෙස්ගේ සහෝදරයා වූ ආරොන්ද මෝසෙස් වෙනුවෙන් කතා කිරීමට පත් කළා. කිව යුතු දේ සහ කළ යුතු දේ කුමක්ද කියා යෙහෝවා ඔවුන්ට ඉගැන්වුවා. (නික්මයාම 4:1-17) එම පැවරුම විශ්වාසවන්තව ඉෂ්ට කිරීමට මෝසෙස්ට හැකි වේවිද?

5. ඊශ්‍රායෙල් ජනයා දැරූ ආකල්පය මෝසෙස්ට අභියෝගයක් වුණේ ඇයි?

5 ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් මුලදී මෝසෙස් හා ආරොන් කී දේවල් විශ්වාස කළා. (නික්මයාම 4:29-31) එහෙත්, වැඩි කල් යන්නට කලින් පාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරිපිට තමන්ව “දුර්ගන්ධයක්” කළා කියා “ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු,” මෝසෙස්ට සහ ඔහුගේ සහෝදරයාට බැණ වැදුණා. (නික්මයාම 5:19-21; 6:9) ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් පිට වී යද්දී, ඊජීප්තු හමුදා තමන් පසුපස ලුහුබැඳ එනවා දුටු විට ඔවුන් භය වුණා. ඉදිරිපිටින් රතු මුහුදද පිටුපසින් තමන්ව ලුහුබැඳ එන යුධ රථද දුටු ඊශ්‍රායෙලිතයන් සිතුවේ තමන් කොටු වූ බවයි. ඒ නිසා ඔවුන් මෝසෙස්ට දොස් පැවරුවා. ඔබ එතැන සිටියා නම් ඔබ කුමක් කරාවිද? රතු මුහුදෙන් එතර වී යන්නට ඊශ්‍රායෙලිතයන්ට ඔරු තිබුණේ නැතත්, යෙහෝවා දුන් මඟ පෙන්වීමට අනුව මෝසෙස් සෙනඟගෙන් ඉල්ලා සිටියේ කූඩාරම්වලින් පිටත් වීමට සූදානම් වන ලෙසයි. ඉන්පසුව දෙවි රතු මුහුදේ වතුර දෙපැත්තට යෑමට සැලැස්වූ අතර, මුහුදේ පතුල වියළි බිමක් වුණා. ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟට ඒ මැදින් ගමන් කිරීමට හැකි වුණා.—නික්මයාම 14:1-22.

ජාතියේ ගැලවීමට වඩා වැදගත් කාරණයක්

6. මෝසෙස්ව පත් කිරීමේදී යෙහෝවා අවධාරණය කළේ කුමක්ද?

6 ඊශ්‍රායෙල් ජනයාව ගලවාගැනීමට මෝසෙස්ව පත් කිරීමේදී යෙහෝවා තම නාමයේ වැදගත්කම ගැන අවධාරණය කළා. ඒ නාමයටත් ඒ නාමය දරන තැනැත්තාටත් ගෞරව කිරීම ඉතා වැදගත්. මෝසෙස් දෙවිගේ නාමය කුමක්දැයි ඇසූ විට දෙවි ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. “කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වන්නෙමි.” එලෙසම ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කිව යුතු බවත් මෝසෙස්ට පවසනු ලැබුවා. “ආබ්‍රහම්ගේ දෙවිද ඊසාක්ගේ දෙවිද යාකොබ්ගේ දෙවිද වන ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වූ යෙහෝවා මාව ඔබ වෙතට එවා තිබේ.” යෙහෝවා මෙසේද මෝසෙස්ට පැවසුවා. “මෙය සදහටම මාගේ නාමයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි වන්නේ මේ නාමයෙනි.” (නික්මයාම 3:13-15, NW) අද දිනත් ලොව වටා දෙවිගේ ජනයා දෙවිව හඳුනාගෙන තිබෙන්නේ යෙහෝවා යන නාමයෙන්.—යෙසායා 12:4, 5; 43:10-12.

7. පාරාවෝ ඉතා උඩඟු ලෙස ක්‍රියා කරද්දී දෙවි මෝසෙස්ට උනන්දු කළේ කුමක් කිරීමටද?

7 පාරාවෝ ඉදිරිපිටට ගිය මෝසෙස් සහ ආරොන් තම පණිවුඩය ප්‍රකාශ කළේ යෙහෝවාගේ නාමයෙන්. නමුත් පාරාවෝ ඉතා උඩඟු ලෙස මෙසේ කියා සිටියා. “ඊශ්‍රායෙල් යන්ට හරින ලෙස මා විසින් යෙහෝවාගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? යෙහෝවා නොහඳුනමි; ඒ හැර ඊශ්‍රායෙල් යන්ට නොහරින්නෙමි.” (නික්මයාම 5:1, 2) පාරාවෝ ඉතා දැඩි සිතක් තිබූ කපටි කෛරාටික පුද්ගලයෙක්. ඒ බව ඔහු ක්‍රියා කළ ආකාරයෙන් ඔප්පු වුණා. නමුත් යෙහෝවා තම පණිවුඩ ඔහුට ප්‍රකාශ කිරීමට නැවත නැවතත් මෝසෙස්ව යැව්වා. (නික්මයාම 7:14-16, 20-23; 8:1, 2, 20) මෝසෙස් දුටුවා පාරාවෝ කුපිත වුණු බව. මොහුට යළි යළිත් කතා කිරීමෙන් කිසියම් යහපතක් සිදු වේවිද? ඊශ්‍රායෙල් ජනයා බලා සිටින්නේ ඉක්මනින්ම ඊජිප්තුවෙන් ගැලවී යෑමටයි. පාරාවෝ ජනයාව මුදාහැරීමට කොහෙත්ම කැමති වුණේ නැහැ. ඔබ මෝසෙස් නම් ඔබ දැන් කුමක් කරාවිද?

8. යෙහෝවා පාරාවෝ සමඟ කටයුතු කළ ආකාරය දෙස බලද්දී ඉන් ඉටු වූයේ කුමක්ද? ඒ සිද්ධීන් අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද?

8 මෝසෙස් තවත් පණිවුඩයක් ප්‍රකාශ කළේ මෙසේයි. ‘හෙබ්‍රෙව්වන්ගේ දෙවි වූ යෙහෝවා මෙසේ කියන්නේය: මට මෙහෙ කරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.’ දෙවි මෙසේද කීවා. “මුළු පොළොවෙහි මා සමාන කෙනෙකු නැති බව ඔබ දැනගන්නා පිණිස මේ වතාවේ ඔබේ සිතටත් ඔබේ මෙහෙකරුවන් සහ ඔබේ සෙනඟටත් මාගේ සියලු වසංගත පමුණුවමි. මක්නිසාද දැනටමත් මා විසින් මාගේ අත දිගු කොට ඔබ සහ ඔබේ සෙනඟට වසංගතයෙන් පහර දෙන්ටත් ඔබ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය. එහෙත් සැබවින් ඔබට මාගේ බලය පෙන්වන පිණිසද මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශ වන පිණිසද ඔබ සිටින්ට සැලැස්වීමි.” (නික්මයාම 9:13-16) දැඩි සිතක් ඇති පාරාවෝට තම බලය පෑමෙන් යෙහෝවා අරමුණු කළේ තමාට අවමන් කරන සියලුදෙනාට අනතුරු ඇඟවීමක් දීමටයි. යේසුස් ක්‍රිස්තුස් විසින් “ලෝකයේ පාලකයා” ලෙස හඳුන්වනු ලැබූ සාතන් වන යක්ෂයාද මීට ඇතුළත් වුණා. (යොහන් 14:30; රෝම 9:17-24) මේ අනුව කලින් පුරෝකථනය කර තිබූ අන්දමටම, යෙහෝවාගේ නාමය පොළොව පුරාම ප්‍රකාශ වුණා. යෙහෝවාගේ ඉවසීම නිසා ඊශ්‍රායෙලිතයන්ගේ මෙන්ම ඔවුන් හා එක්ව ඊශ්‍රායෙල් ජාතිකයන් නොවූ යෙහෝවාට නමස්කාර කළ සමූහයකගේ ජීවිතද ගැලවුණා. (නික්මයාම 9:20, 21; 12:37, 38) එතැන් පටන් යෙහෝවාගේ නාමය ප්‍රකාශ කරනු ලැබීම නිසා සැබෑ නමස්කාරයේ නිරත වී සිටින මිලියන ගණනකට බොහෝ ප්‍රයෝජන ලැබී තිබෙනවා.

කැරලිකාර ජනතාවක් සමඟ කටයුතු කිරීම

9. මෝසෙස්ගේ ජාතියේම අය යෙහෝවාට අගෞරව කළේ කෙසේද?

9 ඊශ්‍රායෙලිතයන් දෙවිගේ නාමය දැනගෙන සිටියා. ඔවුන්ට කතා කරන විට මෝසෙස් දෙවිගේ නාමය පාවිච්චි කළා. නමුත් ඔවුන් සෑමවිටම ඒ නාමයටවත් ඒ නාමය දරන තැනැත්තාටවත් ගෞරවය දුන්නේ නැහැ. යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාව ආශ්චර්යවත් ලෙස ඊජිප්තුවෙන් ගලවාගෙන වැඩි කලක් යෑමට මත්තෙන්, ඔවුන්ට බීමට වතුර නැතිව ගියා. එවිට සිදු වුණේ කුමක්ද? ඔවුන් මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නඟන්නට පටන්ගත්තා. ඊටපසු ඔවුන් කෙඳිරුවේ ආහාර ගැනයි. මෙහිදී ඔවුන්ට අනතුරු අඟවමින් මෝසෙස් කියා සිටියේ ඔවුන් කොඳුරන්නේ තමාට හා ආරොන්ට විරුද්ධව නොව යෙහෝවාට විරුද්ධව බවයි. (නික්මයාම 15:22-24; 16:2-12) මීට පෙරාතුව යෙහෝවා සීනයි කන්දේදී ඊශ්‍රායෙල් ජනයාට නීතිය දුන් අවස්ථාවේදී කන්ද දුමින් වැසී තිබුණා. මුළු කන්ද මහත් සේ කම්පා වුණා. එහෙත්, මේ ජනයා වැඩි වෙලාවක් නොගොස් රන් වස්සෙක් සාදා ඌට නමස්කාර කරන්නට පටන්ගත්තා. එපමණක්ද නොවේ, ඔවුන් කියා සිටියේ ඒ නමස්කාරය “යෙහෝවාට මංගල්‍යයක්” බවයි.—නික්මයාම 32:1-9.

10. නික්මයාම 33:13හි සඳහන් මෝසෙස්ගේ ඉල්ලීම සලකා බැලීම අද දින ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට වැදගත් වෙන්නේ ඇයි?

10 තද කුලල් ඇති සෙනඟක් කියා යෙහෝවා විසින්ම හැඳින්වූ ජාතියක් සමඟ මෝසෙස් කටයුතු කළ යුතුව තිබුණේ කොහොමද? මෝසෙස් යෙහෝවාගෙන් ඉතා ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටියා. “මට ඔබගේ ඇස් හමුවෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ අඳුනන පිණිස ඔබගේ මාර්ගයන් [ඔබ ක්‍රියා කරන ආකාරය, NW] දැන් මට පෙන්වන ලෙස ඉල්ලමි.” (නික්මයාම 33:13) අද දින ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙස බලද්දී, ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට රැකබලා ගැනීමට තිබෙන්නේ ඊශ්‍රායෙල් ජනයාට වඩා බොහෝ සෙයින් යටහත් පහත් පිරිසක්. එහෙත් ක්‍රිස්තියානි අවේක්ෂකයන්ද මෝසෙස් මෙන් “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව, ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව” කියා යාච්ඤා කරනවා. (ගීතාවලිය 25:4) අවේක්ෂකයන් යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම ඉතා වැදගත් දෙයක්. මන්ද යම් යම් අවස්ථාවලදී දෙවිගේ වචනයට හා ඔහුගේ ගුණාංගවලට අනුකූලව දෙවිගේ ජනයා සමඟ කටයුතු කිරීමට අවේක්ෂකයන්ට හැකි වෙන්නේ එවිටයි.

යෙහෝවා සිය ජනයාගෙන් බලාපොරොත්තු වන දෙය

11. යෙහෝවා මෝසෙස්ට දුන්නේ කිනම් මඟ පෙන්වීම්ද? අප ඒවා ගැන උනන්දු විය යුත්තේ ඇයි?

11 යෙහෝවා සිය ජනයාගෙන් බලාපොරොත්තු වූ දේ සීනයි කන්දේදී ඔවුන්ට ඍජුවම පවසනු ලැබුවා. පසුව දෙවි දස පණත ගල්ලෑලි දෙකක ලියා මෝසෙස්ට දුන්නා. මේවාද රැගෙන කන්දෙන් පහළට බැස එමින් සිටි මෝසෙස් දුටුවේ රන් වස්සෙකුට නමස්කාර කරමින් සිටි ඊශ්‍රායෙලිතයන්. මේ නිසා කෝපයට පත් මෝසෙස් ගල්ලෑලි පොළොවේ ගැසීමෙන් ඒවා කැබලිවලට කැඩී ගියා. ඉන්පසුව යෙහෝවාගෙන් නැවතත් දස පණත ලබාගැනීම සඳහා ගල්ලෑලි දෙකක් කපාගැනීමට මෝසෙස්ට සිදු වුණා. (නික්මයාම 32:19; 34:1) මේ පණත් සහ මුලින් දුන් පණත් අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ. මෝසෙස් ක්‍රියා කළ යුතුව තිබුණේ එම පණත්වලට එකඟවයි. ඒ වගේම තමා කෙබඳු අන්දමක පුද්ගලයෙකුද යන වග දෙවි මෝසෙස්ගේ සිතට තදින් කාවැද්දුවා. මේ ලෙසින් දෙවි මෝසෙස්ට පෙන්වූයේ ඔහු දෙවිගේ නියෝජිතයා ලෙස ජනයා සමඟ කෙසේ ක්‍රියා කළ යුතුද යන්නයි. ක්‍රිස්තියානීන් සිටින්නේ මෝසෙස්ගේ නීතිය යටතේ නොවෙයි. නමුත් යෙහෝවා මෝසෙස්ට පැවසූ දේවලට සම්බන්ධ බොහෝ ප්‍රතිපත්ති අද දක්වා වෙනස් වෙලා නැහැ. ඒ වගේම යෙහෝවාට නමස්කාර කරන සියල්ලන්ටම දිගටම ඒවා අදාළ වෙනවා. (රෝම 6:14; 13:8-10) මේවායින් කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

12. යෙහෝවා තමාට පමණක් භක්තිය දිය යුතු බව බලපොරොත්තු වූ නිසා ඊශ්‍රායෙල් ජාතිය ක්‍රියා කළ යුතු වූයේ කෙසේද?

12 යෙහෝවාට පමණක් භක්තිය පුදන්න. යෙහෝවා සිය ජනයාගෙන් ඔහුට පමණක් භක්තිය පිදිය යුතු බව ප්‍රකාශ කරද්දී ඔවුන් එය අසාගෙන සිටියා. (නික්මයාම 20:2-5) යෙහෝවා සැබෑ දෙවි බවට ඔප්පු කරන සාක්ෂි ඕනෑ තරම් දැකගැනීමට ඊශ්‍රායෙලිතයන්ට හැකි වුණා. (ද්විතීය කතාව 4:33-35) වෙනත් ජාතීන් කුමක් කළත්, තමා කිසිම ආකාරයක රූප වන්දනාවක් හෝ ආත්ම බන්ධන ක්‍රියා අනුමත නොකරන බව යෙහෝවා ඔවුන්ට කියා සිටියේ ඉතාම පැහැදිලිවයි. ඔවුන්ගේ භක්තිය බොරු මවාපෑමක් නොවිය යුතුයි. ඔවුන් සියල්ලන්ම යෙහෝවාට මුළු හදින්ම, මුළු ආත්මයෙන්ම හා මුළු ශක්තියෙන්ම ප්‍රේම කළ යුතුයි. (ද්විතීය කතාව 6:5, 6) මෙය ඔවුන්ගේ කතාව තුළත්, ඔවුන්ගේ හැසිරීම තුළත්, ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ජීවිතයේ සෑම අංගයක් තුළමත් දැකගත හැකි වෙනවා. (ලෙවී කතාව 20:27; 24:15, 16; 26:1) එසේම යෙහෝවා බලාපොරොත්තු වන ආකාරයට අනුව අප ඔහුට පමණක් භක්තිය දිය යුතු බව යේසුස් ක්‍රිස්තුස්ද පැහැදිලිව පෙන්වා දුන්නා.—මාක් 12:28-30; ලූක් 4:8.

13. ඊශ්‍රායෙල් ජනයා දෙවිගේ ආඥාවලට මුළු හදින්ම කීකරු වීම අවශ්‍ය වුණේ ඇයි? දෙවිට කීකරු වීමට අපව පෙලඹවිය යුත්තේ කුමක්ද? (දේශනාකාරයා 12:13)

13 යෙහෝවාගේ ආඥාවලට මුළු හදින්ම කීකරු වන්න. ඊශ්‍රායෙල් ජනයා යෙහෝවා සමඟ ගිවිසුමකට ඇතුල් වන විට, ඔහුගේ ආඥාවලට ඔවුන් මුළු හදින්ම කීකරු වෙනවා කියා ඔවුන් කලින් දිවුරා සිටි බව ඊශ්‍රායෙල් ජනයාට සිහිගැන්වීම අවශ්‍ය වුණා. ඔවුන්ගේ ජීවිතයේ සෑහෙන දුරට නිදහසක් භුක්ති විඳින්න අවස්ථාව තිබුණත්, යෙහෝවා දී තිබූ ආඥාවලට මුළු හදින් කීකරු වී සිටින්න ඔවුන් බැඳී සිටියා. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි ඔවුන් තුළ වූ ප්‍රේමය පෙන්වන්න ඔවුන්ට අවස්ථාවක් ලැබුණා. ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් බොහෝ ප්‍රයෝජනද ලැබුණා. මන්ද යෙහෝවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ දේ කරනවා නම් එය ඔවුන්ගේම යහපතට හේතු වෙන නිසයි.—නික්මයාම 19:5-8; ද්විතීය කතාව 5:27-33; 11:22, 23.

14. දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දීම ගැන ඊශ්‍රායෙල් ජනයාට කාවද්දනු ලැබුවේ කෙසේද?

14 ජීවිතයේ මුල් තැන දෙවිට දෙන්න. කෑම බීම ඉඳුම් හිටුම් ගැන සැලකිලිමත් වීම වරදක් නෙවෙයි. නමුත් දෙවිට කරන නමස්කාරයට සම්බන්ධ ක්‍රියාකාරකම් ඒ මගින් අතපසු වෙනවා නම් එය වැරදියි. මෙය ඊශ්‍රායෙල් ජාතියට දුන් නියෝගයක්. ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම කැප වුණේ එදිනෙදා ජීවිතයේ කාරණා කටයුතුවලට පමණක් නෙවෙයි. සෑම සතියකම යම් කාලයක් පරිශුද්ධ කාලයක් ලෙස ගත කරන ලෙස යෙහෝවා ඔවුන්ට නියම කළා. එම කාලය මුළුමනින්ම වෙන් වුණේ සැබෑ දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට පමණයි. (නික්මයාම 35:1-3; ගණන් කතාව 15:32-36) ජනයාව ආගමික මංගල්‍යවලට එක්රැස් කරවීම සඳහා සෑම වසරකම අමතර කාලයක් වෙන් කෙරුණා. (ලෙවී කතාව 23:4-44) යෙහෝවා කළ බලවත් ක්‍රියා ගැන සිහි කිරීමට, ඔහු ක්‍රියා කරන අන්දම ගැන මතක් කිරීමට සහ ඔහුගේ සියලු යහපත්කම්වලට කෘතඥතාව දැක්වීමට මේ කාලයේදී ඊශ්‍රායෙල් ජනයාට අවස්ථාව ලැබුණා. ඔවුන් යෙහෝවාට සිය භක්තිය පෙන්වද්දී, දේවභය හා ප්‍රේමයෙන් ඔවුන් වර්ධනය වුණා. එය ඔවුන්ට ඔහු ක්‍රියා කරන අන්දමට අනුව ක්‍රියා කිරීමට මහඟු උපකාරයක් වුණා. (ද්විතීය කතාව 10:12, 13) මෙම උපදෙස්වල අන්තර්ගත වී ඇති වටිනා ප්‍රතිපත්ති අද දිනත් යෙහෝවාගේ සේවකයන්ට මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

යෙහෝවාගේ ගුණාංග තේරුම්ගෙන ඒවා අගය කරන්න

15. (අ) යෙහෝවාගේ ගුණාංග තේරුම්ගැනීමෙන් හා ඒවා අගය කිරීමෙන් මෝසෙස් ලැබූ ප්‍රයෝජන මොනවාද? (ආ) යෙහෝවාගේ එක් එක් ගුණාංග ගැන ගැඹුරින් සිතීමට අප කුමන ප්‍රශ්න අපෙන්ම අසාගත යුතුද?

15 යෙහෝවාගේ ගුණාංග තේරුම්ගෙන ඒවා අගය කරනවා නම්, මෝසෙස්ට හැකි වේවි ඊශ්‍රායෙල් ජනයා සමඟ හොඳින් කටයුතු කිරීමට. නික්මයාම 34:5-7හි සඳහන් කරන අන්දමට දෙවි මෝසෙස් ඉදිරිපිටින් යමින් මෙසේ ප්‍රකාශ කළා. “යෙහෝවාය, යෙහෝවාය, අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද සම්පූර්ණ වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ දයාවෙන්ද සත්‍යතාවෙන්ද අධිකතර වූ දහස් ගණනකට කරුණාව ඇත්තාවූ අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නාවූ අපරාධීන් කොයි ප්‍රකාරයකින්වත් නිරපරාධීන් නොකරන්නාවූ තුන්වෙනි හතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙන්නාවූ දෙවි කෙනෙකි.” මෙම වචන ගැන ටිකක් මෙනෙහි කිරීමට කාලය ගන්න ඔබ කැමතිද? ඉන්පසුව ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මේ එක් එක් ගුණාංගයෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා ඒවා පෙන්වා තිබෙන්නේ කොහොමද? ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට මෙම ගුණාංග විදහා පෑ හැක්කේ කොහොමද? මෙම විශේෂ ගුණාංග අද දින අප එක් එක් කෙනාට බලපෑ යුත්තේ කොහොමද?’ මේ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් සලකා බලන්න.

16. දෙවිගේ දයානුකම්පාව කෙරෙහි අපගේ අගය කිරීම ගැඹුරු කරගත හැක්කේ කෙසේද? මෙසේ කිරීම වැදගත් වන්නේ ඇයි?

16 යෙහෝවා වනාහි ‘දයානුකම්පාවෙන්ද කරුණාවෙන්ද’ පූර්ණ දෙවි කෙනෙක්. ඔබට මේ ගැන යම් පර්යේෂණයක් කරන්න පුළුවන්. උදාහරණයකට “දයාන්විත,” “දයානුකම්පාව,” “දයාව” සහ “දයාවන්ත” වැනි වචන සඳහන් වන ශුද්ධ ලියවිලි පාඨ සොයාගැනීම පිණිස ඔබේ බයිබලයේ ඇති වචනවල සූචිය පාවිච්චි කරන්න ඔබට පුළුවන්. * ඔබ මේ පර්යේෂණ කරන විට, ඔබට එක් කාරණයක් පැහැදිලිව පෙනේවි. එනම්, යෙහෝවා ඇතැම් අවස්ථාවලදී වරදට දෙන දඬුවම ලිහිල් කිරීමෙන් දයාව පෙන්වනවා පමණක් නොව, අසරණ වූවන්ට ඉතා මුදු මොළොක් අනුකම්පාවක්ද දක්වන බවයි. දෙවිගේ ජනයාට සහනය ගෙන ඒම සඳහා ක්‍රියා කිරීමට දෙවිව පොලඹවන්නේ එයයි. දෙවි ඊශ්‍රායෙල් ජනයාව පොරොන්දු දේශය කරා ගෙන යන විට ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය කිරීම සඳහා සැපයූ දේවල්ද දෙස බලද්දී අපට මෙය මනාව දැකගන්නට පුළුවන්. (ද්විතීය කතාව 1:30-33; 8:4) ඊශ්‍රායෙල්වරු වැරදි කළ විට යෙහෝවා ඉතා දයානුකම්පිත ලෙස ඔවුන්ට සමාව දුන්නා. මේ අනුව යෙහෝවා සිය ඉපැරණි ජනයාට දයානුකම්පාව දැක්වූවා. එසේනම්, අද දින වෙසෙන ඔහුගේ සේවකයන් වන අපි එකිනෙකාට මොන තරම් දයානුකම්පාවක් දැක්විය යුතුද!—මතෙව් 9:13; 18:21-35.

17. යෙහෝවා අපට දක්වන කරුණාව ගැන අප අවබෝධ කරගැනීම සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීමට දායක වෙන්නේ කොහොමද?

17 යෙහෝවා දක්වන දයානුකම්පාව කරුණාව සමඟ සම්බන්ධ වී තිබෙනවා. සිංහල ශබ්දකෝෂයේ “කරුණාව” යන වචනය විස්තර කර තිබෙන්නේ “අනුන්ගේ දුකෙහි සිත කම්පා වන ගතිය; දයාව; අනුකම්පාව” යනුවෙන්. යෙහෝවා කරුණාවන්ත දෙවි කෙනෙකුයයි සඳහන් කර ඇති බයිබල් පාඨ සමඟ මෙම අර්ථ දැක්වීම දැන් සසඳා බලන්න. බයිබලයේ පෙන්වා දෙන්නේ යෙහෝවා කරුණාව පෙන්වන විට, ඔහුගේ ජනයා අතර සිටින අසරණ දිලිඳු අය කෙරෙහි ඔහු ඉතා ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන බවයි. (නික්මයාම 22:26, 27) යම් රටක වෙසෙන විදේශීන් මෙන්ම එම රටේ සිටින සමහර අයද අන්ත අසරණ තත්වයකට පත්ව සිටිනවා විය හැකියි. තරාතිරම් බැලීමකින් තොරව අන්ත අසරණ තත්වයකට පත්ව සිටින එවැනි අයට කරුණාව දක්වන මෙන් යෙහෝවා සිය ජනයාගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ද මීට පෙර ඊජිප්තුවේ විදේශීන්ව සිටි බව මතක් කර දෙමිනුයි. (ද්විතීය කතාව 24:17-22) අද දින දෙවිගේ ජනයා වන අප ගැන කුමක් කියන්නට පුළුවන්ද? අපේ සිත් තුළ කරුණාව පිරී තිබේ නම්, එය අප අතර එක්සත්කම ඇති කිරීමට දායක වෙනවා වගේම යෙහෝවාට නමස්කාර කිරීම සඳහා අන්‍යයන් තුළද පෙලඹීමක් ඇති කිරීමට එය හේතු වේවි.—ක්‍රියා 10:34, 35; එළිදරව් 7:9, 10.

18. වෙනත් ජාතීන්ගේ ක්‍රියාවන්වලට හවුල් නොවන ලෙසට යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාට දැමූ තහංචිවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

18 වෙනත් ජාතීන් සඳහා කරුණාව පෙන්වීමට ඊශ්‍රායෙල් ජනයාට නියම කර තිබූ බව ඇත්තයි. නමුත් ඉන් අදහස් කළේ වෙනත් ජාතීන්ට කරුණාව දක්වන්න ගොස් ඔවුන් යෙහෝවාට දැක්විය යුතු ප්‍රේමය හා ඔහු දී තිබූ සදාචාර ප්‍රමිතිවලට ඔවුන් තුළ තිබිය යුතු ඇල්ම අමතක කළ යුතු බව නෙවෙයි. තමන් අවට විසූ ජාතීන්ගේ මාර්ග අනුගමනය නොකරන ලෙසත්, ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් සහ දුරාචාරමය ජීවිත රටාවන් අනුගමනය නොකරන ලෙසටත් ඊශ්‍රායෙල්වරුන්ට නියම කර තිබුණේ ඒ නිසයි. (නික්මයාම 34:11-16; ද්විතීය කතාව 7:1-4) මෙය අද දින වෙසෙන අපටත් ඒ හා සමානව අදාළ වෙනවා. අපගේ දෙවි වන යෙහෝවා ශුද්ධ දෙවි කෙනෙකු වන නිසා අපත් ශුද්ධ සෙනඟක් විය යුතුයි.—1 පේතෘස් 1:15, 16.

19. වැරදි ක්‍රියා ගැන යෙහෝවා දකින අන්දම තේරුම්ගැනීම අපට ආරක්ෂාවක් වන්නේ කෙසේද?

19 යෙහෝවා ක්‍රියා කරන අන්දම මෝසෙස් විසින් පැහැදිලිව තේරුම්ගත යුතු වුණා. ඒ සඳහා යෙහෝවා දෙවි ඉතා පැහැදිලිව පෙන්වා දුන් දෙයක් නම්, තමන් පාපය අනුමත නොකළත් කෝපවීමට ප්‍රමාද වන දෙවි කෙනෙකු බවයි. තමන් ඉල්ලා සිටින දේ ඉගෙනගෙන ඊට කීකරු වීමට යෙහෝවා තම ජනයාට යම් කාලයක් ලබා දෙනවා. පසුතැවිලි වෙන විට යෙහෝවා ඔවුන්ගේ පව්වලට සමාව දෙනවා. නමුත් බරපතළ වැරදි කිරීම නිසා ඊට නියමිත දඬුවමින් නම් ඔවුන්ව නිදහස් කරන්නේ නැහැ. ඊශ්‍රායෙලිතයන් කළ දේ හොඳ හෝ නරක හෝ වේවා ඒ කරන ක්‍රියාවේ හැටියට අනාගත පරම්පරාවන්ට විපාක ලැබෙන බව ඔහු මෝසෙස්ට අනතුරු ඇඟෙව්වා. යෙහෝවා ක්‍රියා කරන අන්දම ගැන හරි හැටි තේරුම්ගැනීම අපට ආරක්ෂාවක්. මන්දයත් එවිට අප විසින්ම ඇති කරගන්නා විපත් නිසා අප දෙවිට දොස් තබන්නේ නැහැ. ඒ වගේම දෙවි ක්‍රියා කිරීමට ප්‍රමාදයයි කියා නිගමනය කරන්නේද නැහැ.

20. අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ හා සේවයේදී අපට හමු වන අය සමඟ නිසියාකාරයෙන් කටයුතු කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ගීතාවලිය 86:11)

20 යෙහෝවා ගැන සහ ඔහු ක්‍රියා කරන විදිහ ගැන ඔබේ දැනුම පුළුල් කරගැනීමට ඔබට ආශාවක් තිබෙනවා නම්, දිගටම පර්යේෂණය කරන්න. ඒ වගේම ඔබ බයිබලයෙන් කියවන දේ ගැන මෙනෙහි කරන්න. යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති හොඳින් සෝදිසි කර බලන්න. ඔබට දෙවිව අනුකරණය කළ හැකි ආකාරයත් ඔබේ ජීවිතය ඔහුගේ අරමුණට එකඟ කළ හැකි ආකාරයත් ගැන යාච්ඤාපූර්වකව සිතා බලන්න. මේ මගින් උගුල්වලින් බේරීමටත්, අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ නිසියාකාරයෙන් කටයුතු කිරීමටත්, අපගේ මහිමාන්විත දෙවිව දැනගෙන ඔහුට ප්‍රේම කිරීම සඳහා අන්‍යයන්ට උපකාර කිරීමටත් ඔබට හැකි වේවි.

[පාදසටහන]

^ 16 ඡේ. ඔබ ළඟ Insight on the Scriptures පොත තිබේ නම්, “mercy ” (දයානුකම්පාව) යන මාතෘකාව යටතේ ඇති තොරතුරු කියවා බැලීමට අපි ඔබට ආරාධනා කරන්න කැමතියි. නැත්නම්, Watch Tower Publications Index හෝ Watchtower Library (CD-ROM) භාවිත කරමින් ඒ ගැන පර්යේෂණ කරන්න පුළුවන්. මේ සියල්ල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• මෝසෙස්ට මොළොක් ගුණය තිබීම වැදගත් වූයේ මන්ද? එය අපට අතිශයින් වැදගත් වන්නේ මන්ද?

• යෙහෝවාගේ වචනය නැවත නැවතත් පාරාවෝ වෙතට ගෙන යෑමෙන් ඉටු වූ යහපත කුමක්ද?

• මෝසෙස් ඉගෙනගත්තාවූද අද දින අපටද අදාළ වන්නාවූද ඉතා කැපීපෙනෙන ප්‍රතිපත්ති කිහිපයක් සඳහන් කරන්න.

• යෙහෝවාගේ ගුණාංග ගැන අපගේ අවබෝධය තවත් පුළුල් කරගැනීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

මෝසෙස් යෙහෝවාගේ වචනය විශ්වාසවන්තව පාරාවෝ වෙත ගෙන ගියා

[23වන පිටුවේ පින්තූරය]

යෙහෝවා තමා බලාපොරොත්තු වන දෙය මෝසෙස්ට හෙළි කළා

[24, 25වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ ගුණාංග ගැන මෙනෙහි කරන්න