Skip to content

පටුනට යන්න

අප පැතූ සමඟියට කුමක් සිදු වී ඇද්ද?

අප පැතූ සමඟියට කුමක් සිදු වී ඇද්ද?

අප පැතූ සමඟියට කුමක් සිදු වී ඇද්ද?

“දෙවන ලෝක යුද්ධයෙන් පසු සියලුම ජාතීන් එකා මෙන් නැඟී සිටින මොහොතකයි අප දැන් සිටින්නේ. . . . නව සමාජයක් බිහි කිරීමේ පැතුම ඉටු කිරීමට අප හැමට ප්‍රස්තාව දැන් උදා වී තිබෙනවා.”

මෙම වදන් පවසනු ලැබුවේ 1990 දශකයේ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙක් විසින්. ඔහු මෙවැනි දෙයක් පැවසුවේ ඇයි? එක්දහස් නවසිය අනූවේ දශකය බොහෝදෙනාගේ මතකයේ රැඳෙන දශකයක් කියා පැවසුවොත් නිවැරදියි. ඒකාධිපති ආණ්ඩු රැසක් එක දිගටම බිඳ වැටුණා. බර්ලින් තාප්පය කඩා දැමීමත් සමඟ යුරෝපයේ නව යුගයක් ආරම්භ වුණා. ලෝකයේ යුදමය වාතාවරණයකට හේතුව හැටියට වැඩිදෙනා සැලකූ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණේ බොහෝදෙනෙකුව පුදුමයට පත් කරමින්. සීතල යුද්ධයද අවසන් වුණා. අවිවලින් තොර, න්‍යෂ්ටික අවිවලින් පවා තොර ලෝකයක් බිහි විය හැකි බවට බොහෝදෙනෙක් විශ්වාසය පළ කළා. අරාබි රටවල ගල්ෆ් යුද්ධය හටගත්තත් එයින් අධෛර්යය නොවූ ජාතීන් සාමය තහවුරු කිරීමට වඩාත් අධිෂ්ඨානපූර්වකව වෙර දැරුවා. එම සිදුවීම් නිසා බොහෝදෙනෙකු සිතුවේ ලොව පුරාම සාමය නොබෝ කලකින් උදා වනු ඇති බවයි.

මෙවැනි සුබදායක තත්වයක් ලෝකයේ දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවලත් දක්නට ලැබුණා. රටවල් බොහොමයක ජීවන තත්වය දියුණු වෙන්න පටන්ගත්තා. වෛද්‍ය ක්ෂේත්‍රයේත් නව සොයාගැනීම් මගින්, කලින් කළ නොහැකියයි සිතූ බොහෝ දේවල් කිරීමට වෛද්‍යවරුන් සමත් වී සිටිනවා. නොයෙකුත් රටවල ආර්ථිකයද ශීඝ්‍ර ලෙස වර්ධනය වූ නිසා සමාජය සමෘද්ධියක් අද්දැක්කා. මෙවැනි දේවල් නිසා ඉතා දීප්තිමත් යුගයක් බිහි වන බවට ලකුණු පහළ වුණා.

දැන් එක්දහස් නවසිය අනූවේ දශකය හමාර වී වසර කිහිපයක් පමණක් ගත වී තිබුණත්, උදා වේයයි සිතූ සාමයෙන් සමඟියෙන් පිරි නව යුගයක් තවමත් උදා වී නැහැ. ඇත්තටම අප දකින්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තයි. පුවත්පතක් අතට ගත් කෙනෙක් දවසින් දවස දකින්නේ සාමය සමඟිය ගැන පුවත් නොව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර, භයානක අවි නිෂ්පාදනය වැඩිවීම වැනි හද කම්පිත කරවන පුවත් පමණයි. ඇත්තටම සාමය හා සමඟියක් ඇති වන බවට තිබූ ලකුණු ක්‍රමක්‍රමයෙන් මැකී යන බවයි පෙනී යන්නේ. දැන් පවතින තත්වය ගැන එක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු කිව්වේ “අප ප්‍රචණ්ඩකාරිත්වයෙන් දැවෙන සමාජයක් මැද අසරණ වී සිටින” බවයි.

ඇත්තටම ලෝකය තවත් භේදභින්න වෙලාද?

අවුරුදු 60කට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූ කාලයේදී එහි එක් අරමුණක් වූයේ “සියලු ජාතීන්ට එක සමාන අයිතිවාසිකම් හා ස්වාධීනව තීරණ ගැනීමට අයිතියක් ඇති බවට වූ පදනම මත ජාතීන් අතර සුහදතාවක් වර්ධනය කිරීමයි.” එම ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු වී තිබෙනවාද? කනගාටුවට කරුණක් නම් “සුහදතාව” වෙනුවට ජාතීන් ස්වාධීනව තම අයිතිවාසිකම් කෙසේ හෝ තහවුරු කරගැනීමට වියරු උත්සාහයක යෙදී සිටීමයි. ලෝකය එන්න එන්නම ජාතීන් සහ වාර්ගික කණ්ඩායම් වශයෙන් භේදභින්න වෙමින් සිටිනවා. ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවනු ලැබූ විට සිටි සාමාජික රටවල් 51 දැන් 191 දක්වා වැඩි වී තිබෙනවා.

අප දුටු පරිදි 20වන සියවසේ අවසාන දශකයේ මිනිසුන්ට අනාගතය ගැන නොයෙකුත් බලාපොරොත්තු ඇති වී තිබුණා. නමුත් මිනිස් සමාජය එන්න එන්නම භේදභින්න වෙන්නට පටන්ගත් විට එම බලාපොරොත්තු සුන් වී ගියා. මීට උදාහරණ වශයෙන් යුගෝස්ලාවියාව රටවල් කිහිපයකට කැඩී බිඳී ගිය ආකාරය, රුසියාව හා චෙච්නියාව අතර නිතරම ඇති වන බිහිසුණු ගැටුම්, ඉරාකයේ සිදු වූ යුද්ධය සහ මැද පෙරදිග රටවල නිතර නිතර අහන්න දකින්න ලැබෙන ඝාතනද සඳහන් කළ හැකියි. වත්මන් ලෝකයේ කොතරම් අසමඟියක් තිබෙනවාද යන්න මෙයින් පැහැදිලි වෙනවා.

සාමය ඇති කරගැනීමට මිනිසා අවංක උත්සාහයක් දරා ඇති බව මෙහිදී සඳහන් කළ යුතුයි. නමුත් ඔවුන් උත්සාහ කරන තරමට ප්‍රතිඵල නැති බවත් පිළිගන්න සිදු වෙනවා. බොහෝ අයගේ මනසේ තිබෙන්නේ ‘ප්‍රතිඵල නැත්තේ ඇයි’ කියන ප්‍රශ්නයයි. ඇත්තෙන්ම ලෝකය ගමන් කරන ආකාරය දෙස බලද්දී අපට අනාගතය ගැන කුමක් බලාපොරොත්තු විය හැකිද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Lionel Cironneau

Arlo K. Abrahamson/AFP/ Getty Images