Skip to content

පටුනට යන්න

අවංක සෙනඟක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙනෙයි

අවංක සෙනඟක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙනෙයි

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

අවංක සෙනඟක් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙනෙයි

පොළොව පුරාම සිටින බාල මහලු යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැම කෙනෙක්ම ප්‍රසිද්ධ වී සිටින්නේ අවංක සෙනඟක් හැටියටයි. මහාද්වීප තුනකදී සිදු වූ මෙම අද්දැකීම් සලකා බලන්න.

නයිජීරියාවේ ජීවත් වන 17 හැවිරිදි ඕලුසෝලා දිනක් පාසැල නිම වී නිවස බලා යමින් සිටියා. ඒ යන අතරේදී මුදල් පසුම්බියක් බිම වැටී තිබෙනවා ඇය දැක්කා. ඇය එය රැගෙන විදුහල්පති ළඟට ගියා. ශ්‍රී ලංකාවේ මුදල්වලින් ගත්තොත් එහි රුපියල් 4,500ක් පමණ මුදලක් තිබුණා. පසුව විදුහල්පති ඒ මුදල් පසුම්බිය අයිති ගුරුවරයාට එය නැවත භාර දුන්නා. එය බොහෝ සේ අගය කළ ගුරුවරයා ඕලුසෝලාට රුපියල් 700ක් පමණ මුදල් ප්‍රමාණයක් දී ඉන් ඇගේ පාසැල් ගාස්තු ගෙවන ලෙසට කියා සිටියා. මේ සිද්ධිය පාසැලේ අනෙක් ළමුන්ට දැනගන්න ලැබුණාම ඔවුන් ඕලුසෝලාට සමච්චල් කළා. සති කිහිපයකට පසුව එක් සිසුවෙක් ඔහුගේ මුදල් යම් කෙනෙක් සොරකම් කර ඇති බව පැමිණිලි කළා. ඒ නිසා සියලුම සිසුන්ව පරීක්ෂා කිරීමට ගුරුවරු තීරණය කළා. නමුත් ඕලුසෝලාට කතා කළ ගුරුවරයා, “ඔයාව පරීක්ෂා කරන්න ඕනේ නැහැ ඔයා ඔතනම ඉන්න. මම දන්නවා ඔයා යෙහෝවාගේ සාක්ෂිකාරියක් නිසා හොරකම් කරන්නේ නැහැ කියලා.” ඒ මුදල් සොයාගනු ලැබුවේ කලින් ඕලුසෝලාට සමච්චල් කළ සිසුන් දෙදෙනෙක් ළඟ තිබිලයි. පසුව ඔවුන් දෙදෙනාටම බරපතළ දඬුවමක් ලැබුණා. මේ ගැන ලියන ඕලුසෝලා “යෙහෝවාගේ සාක්ෂිකාරයන් කවදාවත් සොරකම් කරන්නේ නැහැ. ඒ අයගෙන් එක්කෙනෙක් හැටියට මාවත් අන් අය දැනගෙන ඉන්නවා. මේ ආකාරයෙන් යෙහෝවා දෙවිව මහිමවත් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා” කියායි.

ආජෙන්ටිනාවේ පුරවැසියෙක් වූ මාසලෝ එක් දිනක් යම් වැඩක් සඳහා නිවසින් පිට වී යෑමට හදද්දී ගේ පිටුපස දොරට අඩි කිහිපයක් එහායින් බෑගයක් වැටී තිබෙනවා ඔහු දුටුවා. එය නිවසට රැගෙන ගිය ඔහු බිරිඳ සමඟ එක් වී එය පරෙස්සමින් ඇර බැලුවා. එහි තිබූ දේවල් දැක ඔවුන් පුදුමයට පත් වුණා. විශාල මුදල් සම්භාරයක්, ක්‍රෙඩිට් කාඩ් පත් හා අත්සන් කරන ලද චෙක් පත් කිහිපයක්ද එහි තිබුණා. එහි තිබූ එක් චෙක් පතක් අත්සන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මුදල්වලින් ගත්තොත් රුපියල් කෝටි පහක් පමණ මුදලක් සඳහායි. මුදල් අයිතිකරුගේ දූරකථන අංකය ඒ ලියවිලි අතර තිබී සොයාගත් ඔවුන් අයිතිකරුට කතා කර ඒ බෑගයත් එහි තිබූ සියල්ලත් මාසලෝ රැකියා කරන ස්ථානයේදී නැවත අයිතිකරුට භාර දීමට කටයුතු සැලසුම් කළා. එහි අයිතිකරු ඒ ස්ථානයට පැමිණි විට ඔහු සිටියේ ටිකක් කලබලයෙනුයි. නමුත් මාසලෝගේ ප්‍රධානියා ඒ පුද්ගලයාව සන්සුන් කරමින් මාසලෝ යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් බව ඔහුට පැවසුවා. එම බෑගය නැවත ගෙනත් දුන්නාට තෑග්ගක් හැටියට එහි අයිතිකරු මාසලෝට දුන්නේ රුපියල් 600ක පමණ මුදලක් විතරයි. මෙය දුටු ප්‍රධානියා කෝපයට පත් වුණා. මන්ද මාසලෝගේ අවංකකම ගැන ඔහු පුදුමයට පත් වෙලයි සිටියේ. යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නිසා නිතරම අවංකව කටයුතු කිරීමට තමා කැමති බව ඒ ප්‍රධානියාට පැහැදිලි කර දීමට මාසලෝ මෙය හොඳ අවස්ථාවක් කරගත්තා.

මතු දැක්වෙන අද්දැකීම අපිට ලැබුණේ කිර්ගිස්තානයෙන්. අවුරුදු හයක් වයසැති රිනාට්ට දිනක් ඔහුගේ අසල්වැසි කාන්තාවකට අයත් මුදල් පසුම්බියක් හම්බ වුණා. එහි ශ්‍රී ලංකාවේ මුදල්වලින් ගත්තොත් රුපියල් 2,500ක් පමණ මුදලක් තිබුණා. රිනාට් මෙය ඒ කාන්තාවට නැවත භාර දුන්නාම ඇය මුදල් ගණන් කර රිනාට්ගේ අම්මාට කිව්වේ එහි තිබූ රුපියල් 500ක් පමණ මුදලක් අඩු බවයි. නමුත් රිනාට් කිව්වේ ඒ මුදල් ඔහු ගත්තේ නැහැ කියලයි. පස්සේ සියලුදෙනාම එකතු වී නැති වූ මුදල් සෙවූ අතර එය මුදල් පසුම්බිය තිබූ ස්ථානයට නුදුරින් තිබී හම්බ වුණා. ඒ කාන්තාව පුදුමයට පත් වුණා. එසේම මුදල් පසුම්බිය භාර දීම ගැන රිනාට්ටත් ඔහුගේ මවටත් ස්තුතිය ප්‍රකාශ කළ ඇය ඔහුව හොඳ ක්‍රිස්තියානි දරුවෙකු ලෙස ඇති දැඩි කිරීම ගැනත් ඇයගේ අගය ප්‍රකාශ කළා.