Skip to content

පටුනට යන්න

ඔබේ පවුලේ අයත් සමඟ ඔබ හොඳින් අදහස් හුවමාරු කරගන්නවාද?

ඔබේ පවුලේ අයත් සමඟ ඔබ හොඳින් අදහස් හුවමාරු කරගන්නවාද?

ඔබේ පවුලේ අයත් සමඟ ඔබ හොඳින් අදහස් හුවමාරු කරගන්නවාද?

“අපේ පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරගැනීමට තිබෙන හැකියාව එන්න එන්නම දුර්වල වෙමින් පවතිනවා” කියා පොලීටිකා නමැති පෝලන්තයේ පළවන සඟරාවක වාර්තා වුණා. අමෙරිකාවේ සිටින විවාහක යුවළයන් එකිනෙකා සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීම සඳහා දිනකට ගත කරන්නේ විනාඩි හයක් පමණක් බව ගණන් බලා තිබෙනවා. ඇතැම් ප්‍රවීණයන්ගේ අදහස වන්නේ විවාහක යුවළයන් වෙන්වීමට හෝ දික්කසාද වීමට ගන්නා තීරණවලින් අඩකටම හේතුව මෙම අදහස් හුවමාරුවේ ඌනතාව විය හැකි බවයි.

දෙමාපියන් සහ දරුවන් අතර සිදු වන අදහස් හුවමාරුව ගැන කුමක් කිව හැකිද? බොහෝ අවස්ථාවලදී සිදු වන්නේ, “අද ඉස්කෝලේ වැඩ හොඳින් කළාද? ඔයාගේ යාළුවෝ කොහොමද? වගේ දිගටම ප්‍රශ්න කරගෙන යෑමක් මිසක හොඳ සංවාදයක් නොවෙයි” කියා ඉහත සඳහන් සඟරාවේ සඳහන් වුණා. එහි මෙවැනි ප්‍රශ්නයක්ද මතු කර තිබුණා. “දෙමාපියන්ගේ උපකාරය නැතුව එකිනෙකා සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නා ආකාරය ඔබේ දරුවන් ඉගෙනගන්නේ කොහොමද?”

හොඳින් අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව ඉබේම ඇති වන දෙයක් නොවෙයි. එය අප විසින් දියුණු කරගත යුතු දෙයක්. අපට එය කළ හැක්කේ කොහොමද? යාකොබ් නම් බයිබල් ලේඛකයා අපිට වැදගත් උපදෙසක් දුන්නා. “සෑම මිනිසෙක්ම ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) එසේ නම් එකිනෙකාට ප්‍රයෝජනවත් වන ආකාරයකින් සංවාදයක නියැලෙන්නේ කොහොමද? හොඳින් සවන් දීමෙන් සහ අනිත් තැනැත්තා කතා කරන අතරතුරේදී එය නවත්වා තමාගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකීමෙන් මෙන්ම සම්පූර්ණ තොරතුරු දැනගැනීමට කලින් හදිසි නිගමනවලට එළඹීමෙන් වැළකී සිටීමෙන් අපට එය කළ හැකියි. ඒ වගේම අනිත් කෙනාව විවේචනය කිරීමෙන් වළකින්න. එසේ කිරීම අදහස් විවෘතව ප්‍රකාශ කිරීමට ඔහුට බාධාවක් විය හැකියි. අපිට යේසුස්ගෙනුත් යමක් ඉගෙනගන්න පුළුවන්. යේසුස් ඥානවන්ත ලෙස ප්‍රශ්න ඇසුවා. ඔහු එසේ කළේ තමාට සවන් දෙමින් සිටි තැනැත්තා දෙන උත්තරේ දැනගැනීමට නොවෙයි. ඒ වෙනුවට ඒ තැනැත්තාගේ සිතේ තිබෙන දේ දැනගැනීමටයි. එසේ කිරීමෙන් යේසුස්ගේ අරමුණ වුණේ ඔහුත් ඔහුට සවන් දුන් අයත් අතර තිබූ බැඳීම තවත් ශක්තිමත් කරගැනීමයි.—හිතෝපදේශ 20:5; මතෙව් 16:13-17; 17:24-27.

අදහස් හුවමාරු කිරීමේදී බයිබලයේ තිබෙන මේ හා සමාන හොඳ ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උත්සාහ කරන්න. ඔබේ පවුලේ අය හෝ හිතමිතුරන් සමඟ හොඳින් අදහස් හුවමාරු කරගැනීමට ඔබ මුල් පියවර ගන්න. ඒ නිසා ඇති වන මිතුදම හෝ සමීප බැඳීම බොහෝ කාලයක්, සමහර විට ජීවිත කාලයක් පුරා පැවතිය හැකියි.