Skip to content

පටුනට යන්න

‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීම

‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීම

ජීවිත කතාව

‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීම

පැවසුවේ ටෙඩ් බකිංහම්

වර්ෂ 1950දී හදිස්සියේ මට පෝලියෝ රෝගය වැලඳුණා. එතකොට මගේ වයස අවුරුදු 24යි. ඒ වෙද්දී මම වසර හයක් පුරා පූර්ණ කාලීන දේවසේවකයෙකු ලෙස සේවය කර තිබුණු අතර විවාහ වී මාස හයක් විතර වුණා. මාස නවයක් තිස්සේ මට රෝහල්ගත වී ප්‍රතිකාර ලබන්න සිදු වුණා. ඒ කාලයේදී මම මගේ ජීවිතය ගැන බැරෑරුම්ව කල්පනා කළා. මට ඇති වෙලා තිබුණු ශාරීරික ආබාධ නිසා මගෙත් මගේ බිරිඳගෙත් අනාගතය මොන වගේ එකක් වෙයිද?

එක්දහස් නවසිය තිස්අටේදී එංගලන්තයේ දේශපාලනය ටිකක් උණුසුම් තත්වයකයි තිබුණේ. එය යුධමය තත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබුණා. දිනක් මගේ පියා ආණ්ඩුව * යන මාතෘකාව ඇති පොතක් රැගෙන නිවසට පැමිණියා. ඔහු ආගමට ලැදි පුද්ගලයෙක් වුණේ නැතත් ඒ කාලයේදී පැවති වාතාවරණය නිසා ඒ පොත බලන්න ඔහුට හිතෙන්න ඇති. මම දන්න තරමින් ඔහු නම් ඒ පොත කියෙව්වේ නැහැ. නමුත් ආගමට ලැදි කෙනෙක් වූ මගේ අම්මා ඒ පොත කියවා එහි තිබූ දේවල් අනුව ඉක්මනින්ම ඇගේ ජීවිතයේ වෙනස්කම් කරන්න පටන්ගත්තා. මගේ තාත්තා විරුද්ධ වුණත් ඇය එංගලන්ත සභාවෙන් අස් වෙලා යෙහෝවාගේ සාක්ෂිකාරියක් වුණා. ඇය 1990දී මිය යන තෙක්ම ඇදහිලිවන්තව යෙහෝවා දෙවිට සේවය කළා.

අම්මා ප්‍රථම වරට මාව රැස්වීමකට එක්කරගෙන ගියේ ලන්ඩන්වලට දකුණින් පිහිටි එප්සම්වල තිබුණු රාජ්‍ය ශාලාවකටයි. ඒ ගොඩනැඟිල්ල කලින් ගබඩාවක් ලෙස පාවිච්චි කර තිබුණා. එවකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ අධීක්ෂණය කළ ජේ. එෆ් රදෆර්ඩ්ගේ පටිගත කරන ලද කතාවකට එහිදී අපි ඇහුම්කන් දුන්නා. ඒ කතාව මගේ සිතට තදින් කාවැදුණා.

ඒ කාලයේදී ලන්ඩන් නුවර ජර්මන් හමුදාවේ ගුවන් ප්‍රහාරවලට ලක්වීම නිසා එහි ජීවත් වීම අනතුරුදායක දෙයක් වුණා. ඒ නිසා 1940දී මගේ තාත්තා තීරණය කළා අපිවත් අරගෙන වඩාත් ආරක්ෂා සහිත ප්‍රදේශයක් වන මේඩන්හෙඩ්වලට යන්න. මෙය ලන්ඩන් නුවරින් කිලෝමීටර් 45ක් ඈතින් පිහිටි කුඩා නගරයක්. එහි යෑම අපිට ලොකු වාසියක් වුණා. එහි පිහිටි කුඩා සභාවේ සිටි සහෝදර සහෝදරියන් 30දෙනා නිසා අපි මහත් දිරිගැන්වීමක් ලැබුවා. එක්දහස් නවසිය දහහතේදී බව්තීස්ම වී සිටි ඉතා ශක්තිමත් ඇදහිල්ලක් තිබූ සහෝදරයෙක් ඒ සභාවේ සිටියා. ඔහුගේ නම ෆ්‍රෙඩ් ස්මිත්. ඔහු මං ගැන පෞද්ගලික සැලකිල්ලක් දැක්වුවා වගේම බලපෑමෙන් යුක්තව දේශනා කිරීමටත් මට පුහුණු කළා. ඔහු තැබූ කදිම ආදර්ශය නිසාත් මට දැක්වූ ප්‍රේමණීය සැලකිල්ල නිසාත් මම තාමත් ඔහුට ස්තුතිවන්ත වෙනවා.

පූර්ණ කාලීන සේවය පටන්ගැනීම

වර්ෂ 1941දී මාර්තු මාසේ සීතල දවසක මම ටෙම්ස් ගඟේ බව්තීස්ම වුණා. මට එතකොට වයස අවුරුදු 15යි. ඒ වන විටත් මගේ අයියා වූ ජිම් පූර්ණ කාලීන සේවයේ නිරත වෙලයි හිටියේ. දැන් අයියයි ඔහුගේ බිරිඳයි ජීවත් වෙන්නේ බර්මිංහැම් නගරයේ. යෙහෝවා දෙවිට සේවය කරමින් බ්‍රිතාන්‍යය පුරාම චාරිකා සහ දිස්ත්‍රික් සේවයේ යෙදෙමින් ඔවුන් තම ජීවිත ගත කර තිබෙනවා. මගේ නංගි රොබීනා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ෆ්‍රෑන්ක්ද තවමත් යෙහෝවා දෙවිට ඇදහිලිවන්තව සේවය කරමින් සිටිනවා.

ඒ කාලයේදී මම ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගිණුම් සේවකයෙක් ලෙස රැකියාවක් කළා. දිනක් ප්‍රධාන කලමනාකරු මාව ඔහුගේ කාර්යාලයට කැඳවා රැකියාවේ උසස් වීමක් මට ඉදිරිපත් කළා. නමුත් ඒ වෙනකොටත් මගේ අයියාගේ අඩිපාරේ යමින් පූර්ණ කාලීන සේවකයෙක් හැටියට සේවය කරන්න මම කල්පනා කරමිනුයි සිටියේ. ඒ නිසා මම ඒ උසස් වීම කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් ඊට හේතුවත් කළමනාකරුට විස්තර කළා. එයට විරුද්ධ නොවී එවැනි සේවයක් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටීම ගැන ඔහු මට ප්‍රශංසා කිරීම මගේ පුදුමයට හේතුවක් වුණා. ඉන්පසුව 1944දී නෝදැම්ප්ටන්වල පැවති දිස්ත්‍රික් සමුළුවකින් පසුව මම පූර්ණ කාලීන දේශනාකරුවෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා.

මගේ පළමු පැවරුම වුණේ ඩෙවන් ප්‍රාන්තයේ පිහිටි එක්සෙටර් නගරයේ සේවය කිරීමටයි. මෙය බෝම්බ ප්‍රහාරවලින් විනාශ වෙලා තිබුණත් නැවත යථා තත්වයට පත් වෙමින් තිබුණු නගරයක්. පුරෝගාමී යුවළක් වූ ෆ්‍රෑන්ක් සහ රූත් මිඩල්ටන් පදිංචිව සිටි නිවසේ මම නවාතැන් ගත්තා. ඒ වෙනකොට මට අවුරුදු 18යි. රෙදි සේදීම සහ ඉවුම් පිහුම් වැඩ ගැන මට එතරම් පළපුරුද්දක් තිබුණේ නැතත්, ඒ දෙදෙනා මට ඒ දේවල් කරන ආකාරය ගැන කාරුණිකව කියා දුන්න නිසා ඒ වැඩ ඉක්මනින්ම ඉගෙනගැනීමට මට හැකි වුණා.

මම දේශනා සේවයේදී ගොඩාක් එකට වැඩ කළේ 50 හැවිරිදි වික්ටර් ගර්ඩ් සමඟයි. ඔහු 1920 ගණන්වල සිට දේශනා සේවයේ හවුල් වූ අයර්ලන්ත ජාතිකයෙක්. ඔහුත් එක්ක වැඩ කරද්දී මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා. කාලසටහනකට අනුව වැඩ කිරීමට, හොඳ උනන්දුවකින් යුතුව බයිබලය කියවීමට සහ විවිධ බයිබල් පරිවර්තන සසඳා බැලීමේ වටිනාකම තේරුම්ගැනීමට ඔහු මට ඉගැන්නුවා. වික්ටර්ගේ හොඳ ආදර්ශය, අද්දැකීම් ලබමින් සිටි මට මගේ පෞද්ගලිකත්වය වඩාත් හොඳින් සකස් කරගැනීමට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

දේශපාලන පැති නොගැනීම

යුද්ධය අවසන් වෙමින් තිබුණත් බලධාරීන් තවමත් හමුදා සේවය සඳහා තරුණයන්ව බඳවාගනිමින් සිටියා. මේ නිසා මට 1943දී මේඩන්හෙඩ්වල උසාවියක පෙනී සිටීමට සිදු වුණා. දේවසේවකයෙක් නිසා මම හමුදා සේවයට බැඳෙන්නේ නැති බව එහිදී මම පැහැදිලිවම කියා සිටි අතර, ඒ නිසා මාව නිදහස් කරන මෙන්ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවත් මම තීරණය කළා නැවතත් එක්සෙටර්වලට ගොස් මගේ දේවසේවය දිගටම කරන්න. අවසානයේදී එක්සෙටර්වල පිහිටි උසාවිය ඉදිරියේ පෙනී සිටීමට මට නියෝගයක් ලැබුණා. එහිදී මාව මාස හයකට බරපතළ වැඩ ඇතිව සිරභාරයට ගැනීමට නියෝග කළ විනිසුරු, මගේ දඬුවම ඊට වඩා දික් කිරීමට බැරිවීම ගැන තම කනගාටුව ප්‍රකාශ කළා. කොහොමවුණත් ඒ මාස හය අවසන් වුණාට පසුව තවත් මාස හතරකට මාව නැවතත් සිරභාරයට නියම කළා.

ඒ සිරගෙයිහි සිටි එකම සාක්ෂිකරුවා වූයේ මා නිසා ආරක්ෂකයන් මට කතා කළේ යෙහෝවා කියලයි. හැමදාම උදෑසන සිරකරුවන්ගේ නම් ලකුණු කරන විට ඔවුන් මගේ නම වෙනුවට යෙහෝවා කියද්දී මට අමුත්තක් දැනුණත්, දෙවිගේ නම ඔවුන් එලෙස ප්‍රසිද්ධියේ පැවසීම මට වාසියක් වුණා. එහි සිටි අනිකුත් සිරකරුවන් දැනගත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වශයෙන් මම දැරූ ස්ථාවරය නිසා තමයි මට මේ දඬුවම ලැබිලා තිබෙන්නේ කියලා. ටික කලකට පසුව තවත් සාක්ෂිකරුවෙකු වූ නෝමන් කැස්ට්‍රෝවත් ඒ සිරගෙදරට එවනු ලැබුවා. මගේ නම නැවතත් වෙනස් කරනු ලැබුවා. එතැන් පටන් අප දෙදෙනාව ඔවුන් ඇමතුවේ මෝසෙස් සහ ආරොන් හැටියටයි!

මාව එක්සෙටර් සිරගෙයිහි සිට බ්‍රිස්ටල්වලටත් පසුව වින්චෙස්ටර් සිරගෙදරටත් මාරු කළා. සිරගෙවල්වල ජීවත් වීම සතුටුදායක අද්දැකීමක් නොවුණත් හැම දෙයක්ම බරපතළ ලෙස සලකන්නේ නැතුව සමහර දේවල් සැහැල්ලුවෙන් හිනා වෙලා බාරගැනීම අපිට උපකාරයක් වුණා. වින්චෙස්ටර් සිරගෙයිහිදී යේසුස්ගේ මරණය සිහි කිරීමට නෝමන් සහ මට හැකිවීම ගැන අපි සතුටු වුණා. ඒ අවස්ථාවට සහභාගි වූ ෆ්‍රැන්සිස් කුක් ලස්සන කතාවක් ඉදිරිපත් කළා.

යුද්ධයෙන් පසු වසරවලදී සිදු වූ වෙනස්කම්

“දෙවි සැබෑ බවට ඔප්පු වේවා!”යන බයිබල් පාඩම් ආධාරක පොත (ඉංග්‍රීසියෙන්) මුදාහරිනු ලැබූ 1946 වර්ෂයේ බ්‍රිස්ටල්හි පැවති සමුළුවේදී මට ලස්සන තරුණියක් මුණගැසුණා. ඇගේ නම ජොයිස් මෝර්. ඇය ඩෙවන් ප්‍රාන්තයේ පුරෝගාමි සේවයේ නිරත වෙමින් සිටියා. වර්ෂ 1947 පටන් මම සේවය කළේ ටවර්ටන්වලයි. අපි අතර කිට්ටු මිත්‍රත්වයක් ඇති වී වසර හතරකට පසුව අපි විවාහ වුණා. අපි ටවර්ටන්වල කාමරයක් කුලියට ගෙන එහි ජීවත් වුණා. ඒ සඳහා කුලිය වශයෙන් අපි සතියකට ගෙව්වේ සිලිං 15යි. (රුපියල් 100ක් පමණ.) අපි ගොඩාක් සන්තෝෂයෙනුයි සිටියේ!

ඊට මාස කිහිපයකට පසුව දකුණු දෙසට පිහිටි බ්‍රික්ස්හම්වලට අපි අපේ පදිංචිය මාරු කළා. එය ලස්සන වරායක් සහිත නගරයක්. ට්‍රෝලර් යාත්‍රා උපයෝගි කරගනිමින් මසුන් ඇල්ලීම මුලින්ම කරනු ලැබුවේ එහිදීයි. කොහොමනමුත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ලන්ඩන් නුවර පැවැත්වූ සමුළුවකට යමින් සිටියදී මට පෝලියෝ රෝගය වැලඳුණා. මම සිහි නැති තත්වයක දින ගණනාවක් සිටියා. ලිපියේ ආරම්භයේදී පැවසූ ආකාරයට මට රෝහලෙන් පිටවීමට හැකි වුණේ මාස නවයකට පසුවයි. මේ රෝගය නිසා මගේ දකුණු අතටත් කකුල් දෙකටත් බරපතළ හානි සිදු වුණා. මුලදී මට ඇවිදින්න හැකි වුණේ හැරමිටියක උපකාරයෙන් පමණයි. මේ කාලයේදී මට සතුටින් සිටීමට හැකි වුණේත් මට දිරිගැන්වීම ලැබුණේත් මගේ ආදරණීය බිරිඳ නිසයි. පූර්ණ කාලීන සේවයේ දිගටම නිරත වීමට ඇයට හැකිවීම මෙයට විශේෂ හේතුවක් වුණා. නමුත් අපි මොකක්ද දැන් කරන්නේ? යෙහෝවා දෙවිට කළ නොහැකි දෙයක් නැති බව මම ඉක්මනින්ම වටහාගත්තා.

ඊළඟ අවුරුද්දේදී අපි ලන්ඩන් නුවර විම්බල්ඩන්වල පැවැත්වූ සමුළුවකට සහභාගි වුණා. ඒ වන විට මට හැරමිටියක් නැතුව ඇවිදින්න පුළුවන්කමක් තිබුණා. එහිදී බ්‍රිතාන්‍යයේ සිටි සාක්ෂිකරුවන්ගේ වැඩය අධීක්ෂණය කළ ප්‍රයිස් හියුස්ව අපිට මුණගැහුණා. ඔහු මට සුබ පතමින් පැවසුවේ “අපිට ඔයාව චාරිකා සේවයට අවශ්‍යයි!” කියායි. මට ලැබුණු ලොකුම දිරිගැන්වීම එය කියලයි මට හිතුණේ. නමුත් ජොයිස් සහ මම කල්පනා කළේ මේ වැඩය ඉටු කිරීමට තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් මට තියෙයිද කියලයි. සතියක පුහුණුවක් ලැබුවායින් පසුව යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ නිසැකකමකින් යුතුව අපි දෙදෙනා එංගලන්තයේ නිරිතදිග ප්‍රදේශයට ගමන් කළා. චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමට මට පැවරුම ලැබුණේ ඒ ප්‍රදේශයටයි. මට ඒ වෙනකොට වයස අවුරුදු 25ක් විතරයි. ඒත් ඒ ප්‍රදේශයේ විසූ සාක්ෂිකරුවන් මට පෙන්වූ කරුණාව සහ ඉවසිලිවන්තකම ගැන මට තවමත් මතකයි. ඒ අය මට ගොඩාක් උපකාර කළා.

අපට ලැබුණු විවිධ පැවරුම් ගැන සිතද්දී ජොයිස් සහ මට හැඟෙන්නේ චාරිකා සේවයේදී අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට අපි වඩාත් සමීප වූ බවයි. ඒ කාලයේදී සභාවන් බැහැදකින්න යද්දී අපිට වාහනයක් තිබුණේ නැති නිසා අපි ගමන් කළේ දුම්රියෙන් හෝ බස් එකෙන්. මගේ ආබාධිත තත්වය නිසා මට සමහර දේවල් නියම විදිහට කරගන්න අපහසු වුණත් මම ඒ තත්වයට හැඩගැසෙමින් සිටියා. වර්ෂ 1957 දක්වා අපිට ලැබුණු ඒ වරප්‍රසාදවලින් අපි ලොකු තෘප්තියක් ලැබුවා.

මිෂනාරි සේවය

ගිලියද් පාසැලේ 30වන පන්තියට සහභාගි වීම සඳහා ඇරයුමක් ලබද්දී අපි ප්‍රීතියෙන් ඉපිල ගියා. මගේ ආබාධිත තත්වයට මම හොඳින් මුහුණ දෙමින් සිටි නිසා ජොයිස් සහ මම ඒ ඇරයුම සන්තෝෂයෙන් පිළිගත්තා. අපි යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න උත්සාහ කරනවා නම් අපට අවශ්‍ය ශක්තිය සැපයීමට ඔහුට හැකි බව අපි අද්දැකීමෙන්ම දැනගෙන සිටියා. අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක්වලට අයත් සුන්දර සවුත් ලැන්සිං නගරයේ පිහිටි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේදී මාස පහක් වැනි කෙටි කාලයක් තුළ අපි බොහෝ දේවල් ඉගෙනගත්තා. ඒ කාලය නොදැනුවත්ව ගෙවී ගියා. එයට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවාහක යුවළයන් වූ අතර වැඩිදෙනෙක් චාරිකා සේවයේ නිරත වූ අයයි. විදේශ රටක මිෂනාරි සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කැමතිද කියා පන්තියට සහභාගි වූ අයගෙන් විමසනු ලැබූ විට, කැමැත්තෙන්ම එසේ කිරීමට එකඟ වූ අය අතර අපිත් සිටියා. අපේ පැවරුම වුණේ නැඟෙනහිර අප්‍රිකාවේ පිහිටි උගන්ඩාවයි.

ඒ කාලයේදී උගන්ඩාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කර තිබූ නිසා ඒ රටේ පදිංචි වී රැකියාවක් සොයාගැනීමට මට උපදෙස් ලැබුණා. දුම්රියෙන් සහ බෝට්ටුවෙන් දීර්ඝ ගමනක යෙදීමෙන් පසුව අපි උගන්ඩාවේ කම්පාලා නගරයට පැමිණියා. එහි සිටි ආගමන විගමන නිලධාරීන් අපගේ පැමිණීම ගැන වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන් අපට අවසර දුන්නේ ඒ රටේ මාස කිහිපයක් නැවතී සිටීමට පමණයි. පසුව ඒ රටින් පිටවීමට අපිට නියෝගයක් ලැබුණා. අපට සංවිධානයේ මූලස්ථානයෙන් ලැබුණු උපදෙස්වලට අනුව අපි උතුරු රොඩේෂියාවට (දැන් සැම්බියාව) ගමන් කළා. එහිදී අප සමඟ ගිලියද් පාසැලේ එකට සිටි ෆ්‍රෑන්ක් සහ කැරී ලුවිස් මෙන්ම හේස් සහ හැරියට් හොස්කින්ස්ව හමුවීමෙන් අපි ලොකු සතුටක් ලැබුවා. ටික කලකින් අපිට අලුත් පැවරුමක් ලැබුණා. මෙවර අපි ගියේ දකුණු රොඩේෂියාවටයි (දැන් සිම්බාබ්වේ).

අපි එහෙට ගමන් කළේ දුම්රියෙනුයි. බූලවායෝ නගරයට පැමිණීමට පෙර දර්ශනීය දියඇල්ලක් වන වික්ටෝරියා දියඇල්ල ප්‍රථම වතාවට නැරඹීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ නගරයේ පදිංචි වූ මුල් සාක්ෂිකරුවන් අතර සිටි පවුලක් වන මැක්ලකී පවුල සමඟ අපි ඔවුන්ගේ නිවසේ ටික කාලයකට නැවතී සිටියා. ඊළඟ අවුරුදු 16 පුරාම අපි ඒ ප්‍රදේශයේ සේවය කළ නිසා ඔවුන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීමට ලැබීමෙන් අපි ඉමහත් ප්‍රීතියක් ලැබුවා.

වෙනස්කම්වලට හැඩගැසීම

සති දෙකක කාලයක් පුරා අප්‍රිකාවේ සේවය කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලැබීමෙන් පසුව දිස්ත්‍රික් අවේක්ෂක ලෙස එහි සේවය කිරීමේ පැවරුම මට ලැබුණා. ඒ දුෂ්කර ප්‍රදේශයේ සාක්ෂි දැරීමේදී බීමට ජලය, ආහාර ද්‍රව්‍ය, නිදාගැනීමට අවශ්‍ය දේවල්, ඇඳුම් පැළඳුම් මෙන්ම තිරයක් මත දර්ශන පෙන්වීම සඳහා ප්‍රොජෙක්ටරයක්, තිරයක් සහ ජෙනරේටරයක් වැනි දේවල් රැගෙන යෑමට සිදු වුණා. එහි තිබූ රළු පාරවල් ඔස්සේ ගමන් කළ හැකි ට්‍රක් රථයක මේ හැම දෙයක්ම අපි පටවාගෙන ගියා.

මම අප්‍රිකාවේ චාරිකා අවේක්ෂකයන් සමඟ වැඩ කරද්දී ජොයිස් ඔවුන් සමඟ පැමිණි ඔවුන්ගේ භාර්යාවන්ට හා දරුවන්ට සතුටින් උපකාර කළා. අප්‍රිකාවේ ප්‍රදේශවල පයින් ගමන් කිරීම ඉතාමත්ම වෙහෙසකාරී දෙයක්. විශේෂයෙන් දහවල් වරුවේ. නමුත් මගේ ශාරීරික ආබාධ සමඟ කටයුතු කිරීමට මේ දේශගුණය මට පහසුවක් වූ බව මට ඉක්මනින්ම තේරුම්ගිය අතර මම ඒ ගැන හුඟාක් සතුටු වුණා.

එහි විසූ ජනයා සාමාන්‍යයෙන් දුප්පත් අයයි. ඔවුන් සම්ප්‍රදායන්ට හා මිථ්‍යා මතවලට ඇලී ගැලී කටයුතු කළ අතර ඔවුන් භාර්යාවන් කිහිපදෙනෙකු සමඟ එකට ජීවත් වුණා. නමුත් ඔවුන් බයිබලයට හුඟාක් ගරු කළා. සමහර ප්‍රදේශවල සභා රැස්වීම් පැවැත්වූයේ විශාල ගස් යටයි. අඳුර වැටෙද්දී අතුවල එල්ලා තිබූ ලාම්පුවලින් ආලෝකය ලැබුණා. මේ ආකාරයෙන් තරුවලින් පිරුණු අහස්තලය යට දේවවචනය අධ්‍යයනය කරද්දී, ඒ තරුවලින් පිරුණු අහස දෙවිගේ පුදුමාකාර මැවිල්ලේ කොටසක් වූ නිසා අපිට ඔහු ගැන දැනුණේ ඉමහත් පුදුමයක් සහ ගෞරවයක්.

අප්‍රිකාවේ දුෂ්කර ගම්මානවල වොච්ටවර් සමිතිය නිපදවූ දර්ශන පෙන්වීම අමතක නොවන අද්දැකීමක්. සභාවක සාක්ෂිකරුවන් 30ක් පමණ සිටියත් එවන් අවස්ථාවලදී 1,000ක් හෝ ඊට වැඩිදෙනෙක් පැමිණෙයි කියා බලාපොරොත්තු වෙනවා.

නිවර්තන ප්‍රදේශවල ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. මේ නිසා මට නිතරම මැලේරියාව ඇති වුණ අතර ජොයිස්ට ඇමීබයසියාව නිසා ඇති වූ ආමාශයේ රෝග තත්වයන් නිතර ඇති වුණා. නමුත් අපි දෙන්නා මේ හැම තත්වයකටම මුහුණ දෙමින් ජීවත් වීමට පුරුදු වුණා. නිතරම දේවල් ගැන ශුභවාදී ආකල්පයක් ඇතුව සිටීම මෙයට උපකාරවත් වුණා.

අපේ ඊළඟ පැවරුම වුණේ සෝල්ස්බෙරී (දැන් හරාරේ) නගරයේ තිබෙන අපගේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමයි. එහිදී ලෙස්ටර් ඩේවි, ජෝජ් සහ රූබි බ්‍රැඩ්ලි වැනි යෙහෝවා දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් සමඟ හවුල් වී සේවය කිරීමට ලැබීම අපට ලැබුණු ලොකු වරප්‍රසාදයක්. විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙකු ලෙස ආණ්ඩුවෙන් මාව පත් කළ නිසා අප්‍රිකානු සහෝදර සහෝදරියන්ගේ විවාහ නීත්‍යනුකූලව ලියාපදිංචි කිරීමට මට හැකි වුණා. මේ තුළින් විවාහය දෙදෙනෙක් අතර ඇති වූ වඩාත් ශක්තිමත් බැම්මක් හැටියට එහි ක්‍රිස්තියානි සභාවන් තුළ සලකනු ලැබුවා. අවුරුදු කිහිපයකට පසුව තවත් වරප්‍රසාදයක් මට ලැබුණා. ඒ තමයි ඒ රටේ බන්ටු භාෂාව කතා කරන්නේ නැති සභා බැහැදැකීමට ලැබීම. මේ ආකාරයෙන් වසර දහයකට වඩා වැඩි කාලයක් පුරා ජොයිස් සහ මම අපගේ සහෝදරයන්ව දැන හඳුනා ගැනීමෙන් ගොඩාක් ප්‍රීති වුණා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය වෙනවා දකිද්දී අපි එයින් සතුටක්ද ලැබුවා. ඒ කාලයේදී බොට්ස්වානා සහ මොසැම්බික් යන රටවල්වල විසූ අපගේ සහෝදරයන්ව බැහැදැකීමටත් අපිට හැකි වුණා.

නැවතත් පදිංචිය වෙනස් කිරීම

දකුණු අප්‍රිකාවේ වසර ගණනාවක් පුරා සන්තෝෂයෙන් සේවය කිරීමෙන් පසුව 1975දී බටහිර අප්‍රිකාවේ සියෙරා ලෙයොන්හි සේවය කිරීමට අපිට පැවරුමක් ලැබුණා. අපගේ අලුත් පැවරුම ඉටු කිරීම සඳහා අපි ඉක්මනින්ම එහි ශාඛා කාර්යාලයේ පදිංචි වුණා. නමුත් අපිට එහි වැඩි කාලයක් සේවය කරන්න ලැබුණේ නැහැ. මැලේරියා රෝගයෙන් මා දැඩි සේ අසනීප වූ නිසා මට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අපිට නැවතත් ලන්ඩන්වලට යෑමට සිදු වුණා. මගේ සෞඛ්‍ය තත්වය නිසා නැවත අප්‍රිකාවට යන්න එපා කියා එහිදී මට අනතුරු අඟවනු ලැබුවා. මේක අපිට දුකක් වුණත්, ජොයිස් සහ මාව ලන්ඩන් බෙතෙල් පවුල ඉතා ආදරයෙන් පිළිගත්තා. ලන්ඩන්හි සභාවන් බොහොමයක අප්‍රිකානු ජාතික සහෝදරයන් හුඟදෙනෙක් සිටි නිසා අපිට එතරම් වෙනසක් දැනුණේ නැහැ. මගේ සෞඛ්‍ය තත්වය ටිකක් හොඳ අතට හැරෙද්දී, බෙතෙල්හි බඩු මිල දී ගැනීමේ අංශයේ වැඩ මට භාර දෙනු ලැබුවා. ගත වී තිබෙන වසර ගණනාව පුරා එහි සිදු වී තිබෙන විශාල වර්ධනය නිසා මේ පැවරුම ඉටු කිරීමේදීත් මම ලොකු තෘප්තියක් ලැබුවා.

ස්නායු ආබාධයක් නිසා 1990 ගණන්වල මුල්භාගයේදී මගේ ආදරණීය බිරිඳ ජොයිස් අසනීප වී ඉන් අනතුරුව 1994දී ඇය මිය ගියා. ඇය ඉතාමත්ම ප්‍රේමණීය මෙන්ම විශ්වාසවන්ත භාර්යාවක්ව සිටියා. අපි දෙදෙනාට මුහුණ දීමට සිදු වූ හැම තත්වයකටම ඇය ඉතා කැමැත්තෙන්ම සකස් වුණා. ඇගේ වෙන්වීම මට දැඩි ශෝකයක් ගෙන දුන්නත් මම තේරුම්ගෙන සිටිනවා එවැනි අවස්ථාවලදී දෙවි අනාගතය සඳහා පොරොන්දු වී ඇති දේවල් මගේ මනසේ පැහැදිලිව තබාගැනීම සහ ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටීම කොතරම් වැදගත්ද කියා. යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව දේශනා සේවය ඇතුළු දෙවිට කරන සේවයේ විවිධ ක්‍රියාකාරකම්වල හොඳ කාලසටහනක් හදාගෙන ඒ දේවල්වලට මගේ මනස යොමු කිරීමද මේ තත්වයට මුහුණ දීමට මට උපකාරවත් වී තිබෙනවා.—හිතෝපදේශ 3:5, 6.

බෙතෙල්හි සේවය කිරීම ඇත්තෙන්ම වරප්‍රසාදයක්. එය කෙනෙකුට ජීවිතය ගත කළ හැකි කදිම ක්‍රමයක්ද වෙනවා. එහි බොහෝ තරුණ අය සමඟ සේවය කරන්න මට හැකි වී තිබෙන අතර අපි ප්‍රීතිමත් අද්දැකීම් බෙදාගන්නවා. ලන්ඩන් බෙතෙල් ගෘහය නැරඹීමට බොහෝදෙනෙක් පැමිණෙනවා. ඔවුන්ව හමුවීම අපිට තිබෙන එක ආශීර්වාදයක්. සමහර අවස්ථාවලදී මා අප්‍රිකාවේ සේවය කළ ප්‍රදේශවල හිටපු මගේ මිත්‍රයන්ද එනවා. එතකොට අතීතයේදී මම ලැබූ ප්‍රීතිමත් අද්දැකීම් මට මතක් වෙනවා. මේ හැම දෙයක්ම ‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීමටත් “මතු පැමිණෙන” ජීවිතය ගැන පූර්ණ නිසැකකමකින් යුතුව බලා සිටීමටත් මට උපකාරවත් වෙනවා.—1 තිමෝති 4:8.

[පාදසටහන]

^ 5 ඡේ. වර්ෂ 1928දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිකුත් කළ නමුත් දැන් මුද්‍රණය නොකෙරේ.

[25වන පිටුවේ පින්තූරය]

මගේ මව සමඟ 1946දී

[26වන පිටුවේ පින්තූරය]

ජොයිස් සහ මම, 1950දී අප විවාහ වූ දා

[26වන පිටුවේ පින්තූරය]

බ්‍රිස්ටල්හි පැවැත්වූ සමුළුවක්, 1953දී

[27වන පිටුවේ පින්තූර]

ඈත ප්‍රදේශයක පිහිටි කණ්ඩායමක් සමඟ (ඉහළ) සහ දකුණු රොඩේෂියාවේ (දැන් සිම්බාබ්වේ) සභාවක් සමඟ (වම)