Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සිරගත කරනු ලැබූ පේතෘස් ගේට්ටුව අසල සිටින බව ඇසූ විට, “ඒ ඔහුගේ දේවදූතයා” කියා ගෝලයන් කීවේ ඇයි?—ක්‍රියා 12:15.

පේතෘස්ව නියෝජනය කරන දේවදූතයෙක් ගේට්ටුව ළඟ සිටගෙන සිටින බව ගෝලයන්ට හිතෙන්න ඇති. ඒ පිළිබඳ සම්පූර්ණ බයිබල් වාර්තාව සලකා බලන්න.

හෙරොද් විසින් යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ්ව මරණයට නියම කර තිබුණා. පේතෘස්ව අත්අඩංගුවට ගෙන තිබුණේත් හෙරොද් විසින්මයි. එමනිසා පේතෘස්ටත් යාකොබ්ට සිදු වූ දෙයම සිදු වෙයි කියා ගෝලයන්ට සිතෙන්න ඇති. පේතෘස්ව දම්වැල්වලින් බැඳ සිරගත කර තිබුණා. ඒ විතරක් නොවෙයි ඔහුව මුර කිරීම සඳහා වරකට හතරදෙනෙක් බැගින් මුර වාර හතරක් වැඩ කිරීමට සොල්දාදුවන්ට නියම වී තිබුණා. නමුත් එක දවසක් ආශ්චර්යවත් දෙයක් සිදු වුණා. රාත්‍රියේදී දේවදූතයෙක් ඇවිත් ඔහුව නිදහස් කර සිරගෙදරින් පිටතට ඔහුව රැගෙන ගියා. මේ සිදු වූ සියල්ල පේතෘස්ට අදහාගන්න බැරි වුණා. අන්තිමේදී කාරණා පැහැදිලි වූ විට ඔහු මෙසේ පැවසුවා. “යෙහෝවා තම දූතයා එවා හෙරොද්ගේ අතින් . . . මා ගැලෙවූ බව සැබවින්ම මම දැන් දනිමි.”—ක්‍රියා 12:1-11.

පේතෘස් වහාම ගියේ යොහන් මාක්ගේ මව වූ මරියාගේ නිවසටයි. එහි ගෝලයන් බොහෝදෙනෙක් රැස්ව සිටියා. ඔහු ගේට්ටුවට තට්ටු කළාම රෝදා නම් සේවිකාවක් ඒ කවුද කියා බැලීමට ආවා. පේතෘස්ගේ කටහඬ ඇඳිනගත් විගස ඇය ගේට්ටුවවත් අරින්නේ නැතුව අනිත් අයට පණිවුඩය කියන්න ඇතුළට දිව ගියා! ගේට්ටුව ළඟ සිටියේ පේතෘස් බව මුලදී ගෝලයන්ට විශ්වාස කරන්න බැරි වුණා. “ඒ ඔහුගේ දේවදූතයා” කියා ඔවුන් වරදවා සිතාගත්තා.—ක්‍රියා 12:12-15.

පේතෘස් ඒ වන විටත් මරණයට පත් කරනු ලැබූ බවත් ගේට්ටුව ළඟ පෙනෙන්ට තිබුණේ ඔහුගේ ශරීරයෙන් වෙන් වූ ඔහුගේ ආත්මය බවත් ගෝලයන් සිතුවාද? කොහෙත්ම වෙන්න බැහැ. ඊට හේතුව මළවුන්ගේ තත්වය පිළිබඳව බයිබලයේ පවසන සත්‍ය කාරණය යේසුස්ගේ ගෝලයන් හොඳින් දැනගෙන සිටීමයි. එනම් ‘මළාහු කිසිවක් නොදන්නා’ තත්වයක සිටින බවයි. (දේශනාකාරයා 9:5, 10) එසේනම් “ඒ ඔහුගේ දේවදූතයා” කියා කීමෙන් ගෝලයන් අදහස් කරන්න ඇත්තේ කුමක්ද?

ආදි කාලයේ පටන් දෙවිට සේවය කළ අයට දේවදූතයන් උපකාර කර තිබූ බව යේසුස්ගේ ගෝලයන් දැනගෙන සිටියා. “සියලු නපුරෙන් [තමාව] මිදූ දූතයා” ගැන යාකොබ් පවසා තිබුණා. (උත්පත්ති 48:16) ඒ වගේම ඔවුන් අතර සිටි කුඩා දරුවෙක් ගැන යේසුස් පවසා තිබුණේ මෙයයි. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් හෙළා නොදැකීමට වගබලා ගන්න. මන්ද, මම ඔබට කියමි, ස්වර්ගයෙහි වසන ඔවුන්ගේ දේවදූතයෝ, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ගේ මුහුණ නිතරම දකිති.”—මතෙව් 18:10.

දෙවිගේ හැම සේවකයෙකුට දේවදූතයෙක්, එසේත් නැතහොත් “රැකවල් දේවදූතයෙක්” සිටින බවට ඇතැම් යුදෙව්වන් විශ්වාස කළ බව පෙනෙයි. මෙවන් අදහසක් දෙවිගේ වචනයේ කෙළින්ම සඳහන් වෙන්නේ නැති බව ඇත්තයි. නමුත් “ඒ ඔහුගේ දේවදූතයා” කියා ගෝලයන් පවසද්දී ගේට්ටුව අසල සිටියේ පේතෘස්ව නියෝජනය කරමින් පැමිණි දේවදූතයෙක් කියා ඔවුන්ට හැඟුණායයි සිතිය හැකියි. දේවදූතයා ලෙස පරිවර්තනය කර තිබෙන්නේ අන්ජෙලොස් යන ග්‍රීක වචනයයි. බොහෝ බයිබල් පරිවර්තනවල එය පණිවුඩ ගෙනෙන “දූතයා” යනුවෙන් පරිවර්තනය කිරීමෙන් ඔවුන්ගේ ඒ නිගමනයට හේතුව තේරුම්ගත හැකියි.