Skip to content

පටුනට යන්න

යහපත කිරීම අත් නොහරින්න

යහපත කිරීම අත් නොහරින්න

යහපත කිරීම අත් නොහරින්න

“ලෝකයා අතරේ ඔබේ හැසිරීම යහපත් ලෙස පවත්වාගන්න” කියා පේතෘස් උනන්දු කළා. (1 පේතෘස් 2:12) “යහපත්” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙහි “ලස්සන, උතුම්, ගෞරවනීය, විශිෂ්ට” යන අර්ථ ගැබ්වී තිබෙනවා. මේ කාලයේ සිටින මිනිස්සු උතුම් හෝ ගෞරවනීය ආකාරයකින් හැසිරෙයි කියා බලාපොරොත්තු විය නොහැකියි. කෙසේ නමුත් යෙහෝවා දෙවිට සේවය කරන අයගෙන් බහුතරයකට හැකි වෙලා තිබෙනවා පේතෘස්ගේ එම උපදෙසට අනුව ජීවත් වීමට. ඇත්තෙන්ම කියනවා නම් ඔවුන්ගේ යහපත් හැසිරීම ලොව පුරාම ප්‍රසිද්ධ වී තිබෙනවා.

මෙය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ඊට හේතුව ‘කටයුතු කිරීමට අසීරු අන්තරාදායක කාලවල්වල’ ජීවත් වන අපිට පීඩා හා ප්‍රශ්න ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී තිබෙන නිසයි. (2 තිමෝති 3:1) ක්‍රිස්තියානීන් හැටියට අපි ජීවිතය ගත කරන ආකාරය නිසා මිනිස්සු අපට විරුද්ධ වීම සාමාන්‍ය දෙයක්. මේ ආකාරයට එන පීඩා අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක්. ඒ විතරක් නෙවෙයි සමහර පීඩා ඉක්මනින් අවසන් වුවත් සමහර පීඩා දිගින් දිගටම පවතිනවා. සමහර විට ඒවා වඩ වඩාත් දරුණු අතට හැරෙන්නත් පුළුවන්. කොහොම වුණත්, “යහපත කිරීම අත් නොහරිමු. මන්ද, අපි විඩාවට පත්ව හෙම්බත් නොවෙමු නම්, නියමිත කාලයේදී නෙළාගන්නෙමු” කියා පාවුල් අපට උපදෙස් දෙනවා. (ගලාති 6:9) නමුත් හද කම්පා කරවන ප්‍රශ්න ගැටලු සහ නිමක් කොනක් නැති දුෂ්කරතා මැද වුණත්, යහපත් දේ කිරීමට සහ එසේ කිරීමෙහි දිගටම රැඳී සිටීමට අපිට පුළුවන්. ඒ කොහොමද?

යහපත්කම් කිරීමට උපකාරවත් වන දේවල්

“උතුම්, ගෞරවනීය, විශිෂ්ට” යන ගතිගුණ මතුපිටින් පමණක් පෙන්වන්න බැහැ. ඒවා කෙනෙකුගේ ඇතුළාන්තයෙන්ම පැමිණිය යුතුයි. එවිට පමණයි පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දීමේදී යහපත් හැසිරීමක් පවත්වාගැනීමට අපට හැකි වෙන්නේ. අපගේ ජීවිතයේ සෑම පැත්තකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම හා ඒවා ක්‍රියාවට නැංවීම තුළින් මෙසේ කිරීමට අපට හැකි වෙයි. මේ සඳහා උපකාරවත් වන සමහරක් දේවල් ගැන අපි දැන් සලකා බලමු.

ක්‍රිස්තුස් දැරූ ආකල්පය ඇතුව සිටින්න. අසාධාරණ මෙන් පෙනෙන දේවල් විඳදරාගැනීමට යටහත් පහත් සිතක් අවශ්‍ය වෙනවා. තමා ගැන උවමනාවට වඩා වැඩියෙන් සිතන කෙනෙකුට අන් අයගෙන් අඩුපාඩුකම් වෙද්දී ඔහුට හෝ ඇයට එය ඉවසන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් යේසුස් ගැන සිතා බලන්න. ඔහු “මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය.” (ෆිලිප්පි 2:5, 8) ඔහුව අනුකරණය කළොත්, දෙවිට අපි පිරිනමන පරිශුද්ධ සේවය සම්බන්ධයෙන් ‘වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත නො වීමට’ අපිටත් හැකි වෙනවා. (හෙබ්‍රෙව් 12:2, 3) ඔබගේ සභාවේ පෙරමුණ ගන්න අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම තුළින් යටහත් පහත්ව කීකරුකම පෙන්වීමට පුරුදු වන්න. (හෙබ්‍රෙව් 13:17) අන් අය ඔබට වඩා “උතුම්යයි” සැලකීමට පුරුදු වෙන්න. ඔබගේ කාරණාවලට වඩා ඔවුන්ගේ කාරණාවලට මුල්තැන දෙන්න.—පිලිප්පි 2:3, 4.

යෙහෝවා ඔබට ප්‍රේම කරන බව අමතක කරන්න එපා. යෙහෝවා දෙවි ‘ඔහුව ඕනෑකමින් සොයන අයට විපාක දෙන කෙනෙකු බව’ අප සිථිරයෙන්ම විශ්වාස කළ යුතුයි. (හෙබ්‍රෙව් 11:6) යෙහෝවා දෙවි අප ගැන සැබෑ සැලකිල්ලක් දක්වන නිසා අප සදාකාල ජීවනය ලබනවා දකින්න ඔහු හුඟාක් ආශාවෙන් සිටිනවා. (1 තිමෝති 2:4; 1 පේතෘස් 5:7) අප සඳහා දෙවිට තිබෙන ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට කිසිම දෙයකට බැරි බව මතක තබාගන්න. අප එසේ සිතනවා නම් පීඩාවලට මුහුණ දීමේදී නොසැලී සිටීමට එය අපට උපකාරවත් වෙයි.—රෝම 8:38, 39.

යෙහෝවා දෙවි කෙරෙහි ඔබේ පූර්ණ විශ්වාසය තබන්න. පීඩාවලට නිමක් කොනක් නැති බවක් හැඟෙද්දී හෝ ඒවා නිසා අපේ ජීවිතය අනතුරේ තිබෙන බව අපට හැඟෙද්දී එවන් විශ්වාසයක් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. අපට “දරාගත හැකි තරමට වඩා” කිසිම පීඩාවකට මුහුණ දීමට යෙහෝවා දෙවි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැයි කියා අපිට හොඳ විශ්වාසයක් තිබිය යුතුයි. පීඩා ආවත් ඔහු ‘ඉන් ගැලවීමට මඟද සලසා දෙන’ බව අපි විශ්වාස කළ යුතුයි. (1 කොරින්ති 10:13) යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබෙනවා නම් මරණයේ තර්ජනයට වුණත් නිර්භීත ලෙස මුහුණ දීමට අපට හැකි වෙයි.—2 කොරින්ති 1:8, 9.

නොකඩවා යාච්ඤා කරන්න. හෘදයාංගම යාච්ඤාව අත්‍යවශ්‍ය දෙයක්. (රෝම 12:12) අවංක සිතින් යෙහෝවා දෙවිට කරන යාච්ඤාව අපව ඔහුට තවත් ළං කරනවා. (යාකොබ් 4:8) “ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බව” අද්දැකීමෙන්ම අපට දැනගන්න පුළුවන්. (1 යොහන් 5:14) සමහර විට අපගේ ඇදහිල්ල සහ ඔහු කෙරෙහි තිබෙන අපගේ ප්‍රේමය ඔප්පු කර පෙන්වීමට අපට අවස්ථාවක් ලබාදීම සඳහා යෙහෝවා දෙවි අප මුහුණ දෙන පීඩාවකට පැවතීමට ඉඩ හරින්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක වුවත් එය විඳදරාගැනීමට අපට උපකාර කරන මෙන් ඔහුට යාච්ඤා කරන්න අපට පුළුවන්. (ලූක් 22:41-43) අපි කවදාවත් තනි වෙලා නැති බවත්, යෙහෝවා දෙවි නිතරම අපි සමඟ සිටින බවත්, අපට ඕනෑම පීඩාවක් ජය ගන්න පුළුවන් බවත් මතක තබාගැනීමට යාච්ඤාව අපට උපකාරවත් වෙනවා.

“ප්‍රශංසාවටත් මහිමයටත් ගෞරවයටත් කාරණයක්” වන යහපත් ක්‍රියා

ක්‍රිස්තියානීන් සියලු දෙනාම කලින් කලට “විවිධාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්ව සිටින්නහුය.” එහෙත් අප ‘යහපත කිරීම අත් නොහැරිය’ යුතුයි. පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙද්දී ඔබට තිබෙන ශක්තිමත් ඇදහිල්ල “ප්‍රශංසාවටත් මහිමයටත් ගෞරවයටත් කාරණයක්” යන්න ඔබට ශක්තියක් විය යුතුයි. (1 පේතෘස් 1:6, 7) ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා සපයා තිබෙන සෑම දෙයකින්ම සම්පූර්මයෙන්ම ප්‍රයෝජන ගන්න. ඔබට යම් කාරණයක් ගැන පෞද්ගලික උපකාරය අවශ්‍ය වන විට ක්‍රිස්තියානි සභාවේ එඬේරුන්, ගුරුවරයන් සහ වෙනත් උපකාර සපයනවැඩිමහල්ලන් වෙතට යන්න. (ක්‍රියා 20:28) අපව “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන” සභා රැස්වීම් සෑම එකකටම නොකඩවා සහභාගි වෙන්න. (හෙබ්‍රෙව් 10:24) දිනපතා බයිබලය කියවීමෙන් සහ පෞද්ගලිකව පාඩම් කිරීමෙන් අවදිව සහ ඇදහිල්ලේ ශක්තිමත්ව සිටීමට ඔබට හැකි වෙයි . ක්‍රිස්තියානි දේවසේවය තුළ නිතිපතා හවුල්වීමත් ඊට උපකාරවත් වෙනවා.—ගීතාවලිය 1:1-3; මතෙව් 24:14.

යෙහෝවා දෙවිගේ ප්‍රේමයත් සැලකිල්ලත් ඔබ වැඩි වැඩියෙන් අද්දකිද්දී ‘යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්ව’ කටයුතු කිරීම සඳහා ඔබේ ආශාව තවත් වැඩි වේවි. (තීතස් 2:14) “ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තා” බව මතක තබාගන්න. (මතෙව් 24:13) එසේ නම් ‘යහපත කිරීම අත් නොහැරීම’ ඔබේ අධිෂ්ඨානය වේවා!

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපට “දරාගත හැකි තරමට වඩා” කිසිම පීඩාවකට මුහුණ දීමට යෙහෝවා දෙවි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැයි කියා අපිට හොඳ විශ්වාසයක් තිබිය යුතුයි. පීඩා ආවත් ඔහු ‘ඉන් ගැලවීමට මඟද සලසා දෙන’ බව අපි විශ්වාස කළ යුතුයි.

[30වන පිටුවේ පින්තූරය]

අප දෙවිගේ සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙනවා නම්, පීඩාවලට මුහුණදීමට එය අපව සූදානම් කරයි

‘දැන් තිබෙන ජීවිතයේදී’ උපරිම ලෙස ප්‍රීතිවීම