Skip to content

පටුනට යන්න

යෙහෝවා ගැන බලා සිටින අයට ලැබෙන ආරක්ෂාව

යෙහෝවා ගැන බලා සිටින අයට ලැබෙන ආරක්ෂාව

යෙහෝවා ගැන බලා සිටින අයට ලැබෙන ආරක්ෂාව

“ඔබගේ [ප්‍රේමණීය, NW] කරුණාවත් සැබෑකමත් නිතර මා ආරක්ෂා කෙරේවා.”—ගීතාවලිය 40:11.

1. දාවිත් රජ යෙහෝවාගෙන් ඉල්ලුවේ කුමක්ද? එම ඉල්ලීම ඉටු වෙයි කියා අපට ස්ථිර විය හැක්කේ මන්ද?

පුරාණ ඊශ්‍රායෙල්හි රජ කළ දාවිත් ‘යෙහෝවා ගැන බලා සිටි’ කෙනෙක්. යෙහෝවා ‘තම කන් යොමා ඔහුගේ මොරගැසීම ඇසූ’ බව කීමට ඔහු පෙලඹුණේ එනිසයි. (ගීතාවලිය 40:1) යෙහෝවා තමාට ප්‍රේම කරන අයව ආරක්ෂා කරන ආකාරය ඔහු පෞද්ගලිකව කිහිප වතාවක්ම අද්දුටුවා. එමනිසා ඔහු යෙහෝවාගෙන් ඉල්ලා සිටියේ ඔහුව නිතරම ආරක්ෂා කරන ලෙසයි. (ගීතාවලිය 40:11) දාවිත් දැන් මරණ නින්දෙහි සැතපී සිටියත් බොහෝ විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ ඔහුටද “වඩා උතුම් නැවත නැඟිටීමක්” ලැබීමට නියමිතයි. (හෙබ්‍රෙව් 11:32-35) එයට හේතුව යෙහෝවා දෙවි ඔහුව සිහියේ තබාගෙන සිටින නිසයි. ඔහුගේ නම යෙහෝවාගේ ‘සිහිවීමේ පොතේ’ ලියා තිබෙනවා. නැවත ජීවත් වීමේ සුවිශේෂී ප්‍රස්තාව එමගින් දාවිත්ට ලැබෙනවා.—මලාකී 3:16.

2. ‘යෙහෝවා අපව ආරක්ෂා කරනවා’ යන්න තේරුම්ගැනීමට ශුද්ධ ලියවිල්ල උපකාරවත් වන්නේ කොහොමද?

2 දාවිත් මෙන්, හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් අය ජීවත් වුණේ යේසුස් මෙලොවේ ජීවත් වීමට බොහෝ කලකට පෙරයි. නමුත් යේසුස් ඉගැන්වූ දෙයකට එකඟව ඔවුනුත් ජීවත් වුණා. ඔහු පැවසුවේ “තමාගේ ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි. නමුත් මේ ලෝකයේදී තමාගේ ජීවිතයට වෛර කරගන්නා එය සදාකාල ජීවනය සඳහා ආරක්ෂා කරගනියි” කියයි. (යොහන් 12:25) යෙහෝවාගේ ආරක්ෂාව ලැබීම යන්නෙන් අදහස් කරන්නේ කෙනෙකුට හිංසා පීඩාවලින් තොර ජීවිතයක් ගත කරන්න ලැබෙනවා යන්න නොවෙයි. නමුත් තමන් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමට යෙහෝවා ඔහුගේ සේවකයන්ට අවශ්‍ය උපකාර ලබා දෙනවා යන්නයි.

3. යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ව ආරක්ෂා කළ බවට තහවුරු වන්නේ කොහොමද? එහි ප්‍රතිඵල විස්තර කරන්න.

3 මෙයට හොඳම උදාහරණය යේසුස්. ඔහු නොයෙකුත් හිංසා පීඩාවලට හා සමච්චලයට ලක් වූ කෙනෙක්. අන්තිමේදී ඔහුගේ සතුරන් ඔහුට ඉතා කුරිරු විදිහට වධ දී ඔහුව අපරාධකාරයෙකු ලෙස මරණයට පත් කළා. මින් අදහස් කරන්නේ දෙවි මිනිසාගේ ගැලවුම්කරු ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව ඉෂ්ට නොවූ බවද? (යෙසායා 42:1-6) නැහැ. එසේ ඔවුන් යේසුස්ව මරණයට පත් කළත් දින තුනකට පසු ඔහුව නැවත නැඟිටුවීමෙන් යෙහෝවා යේසුස්ගේ ඉල්ලීමට සවන් දුන්නේ දාවිත්ගේ ඉල්ලීමට සවන් දුන් ආකාරයටමයි. විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය ශක්තිය යෙහෝවා යේසුස්ට දුන් බව මින් තහවුරු වෙනවා. (මතෙව් 26:39) යේසුස් විශ්වාසවන්තව සිටි නිසා ඔහුට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබුණා විතරක් නොවෙයි, ඔහුගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන මිනිසුන් මිලියන ගණනකට සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාවද විවෘත වුණා.

4. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සහ ‘වෙනත් බැටළුවන්ට’ දී ඇති පොරොන්දුව විස්තර කරන්න.

4 යෙහෝවා දාවිත්ව හා යේසුස්ව ආරක්ෂා කළාක් මෙන් අදදිනත් ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරන්න ඔහුට කැමැත්තක් සහ හැකියාවක් තිබෙන බව අපට විශ්වාස කරන්න පුළුවන්. (යාකොබ් 1:17) ස්වර්ගික ජීවිතයක් අපේක්ෂාවෙන් මේ පොළොවේ තවමත් ඉතිරි වී සිටින අභිෂේක ලත් අයට යෙහෝවාගේ මෙම පොරොන්දුව ගැන විශ්වාසයෙන් සිටින්න පුලුවන්. “දිරාපත් නොවන, දූෂ්‍ය නොවූ, නොමැලවෙන උරුමයක් . . . ඔබ උදෙසා ස්වර්ගයෙහි තබා තිබේ. ඇදහිල්ල නිසා ඔබව දෙවිගේ බලයෙන් ආරක්ෂා කරනු ලබන්නේය. ඒ අවසාන කාල පරිච්ඡේදයේදී හෙළි කිරීමට නියමිත ගැලවීමක් සඳහාය.” (1 පේතෘස් 1:4, 5) පොළොවේ ජීවිතයක් අපේක්ෂාවෙන් සිටින ‘වෙනත් බැටළුවන්ටත්’ දෙවි කෙරෙහි විශ්වාසය තැබිය හැකියි. දෙවි ගීතිකාකරු තුළින් දුන් පොරොන්දුවද ඔවුන්ට ශක්තියක්. “යෙහෝවාගේ සියලු ශුද්ධවන්තයෙනි, ඔහුට ප්‍රේම කරන්න; යෙහෝවා විශ්වාස ඇත්තන් ආරක්ෂා කරන්නේය.”—යොහන් 10:16; ගීතාවලිය 31:23.

අපට අපේක්ෂා කළ හැකි ආරක්ෂාව

5, 6. (අ) දෙවිගේ ජනයාට වර්තමානයේ ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? (ආ) අභිෂේක ලත් අයට යෙහෝවා සමඟ ඇත්තේ කවර සම්බන්ධයක්ද? පොළොවේ ජීවිතයක් අපේක්ෂාවෙන් සිටින අය ගැන කුමක් කිව හැකිද?

5 වර්තමානයේදීත් යෙහෝවා තම සෙනඟව ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. මින් අදහස් කරන්නේ ඔවුන් පීඩාවලින් හෝ එදිනෙදා ජීවිතයේ පොදුවේ මුහුණ දීමට සිදු වන දුක් ගැහැටවලින් තොර ජීවිතයක් ගත කරනවා යන්න නොවෙයි. නමුත් ඔහු සමඟ ඔවුන්ට තිබෙන කිට්ටු සම්බන්ධතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු උපකාර සහ දිරිගැන්වීම් ඔහු දිගටම සපයනවා යන්නයි. මෙම අනගි සම්බන්ධතාව ගොඩනඟා තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඔවුන්ට තිබෙන ඇදහිල්ල මතයි. ඇදහිල්ලෙන් ක්‍රියා කරන මොවුන්ගෙන් සමහරදෙනෙකුව දෙවිගේ බලයෙන් අභිෂේක කර තිබෙන්නේ ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමටයි. ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කර ඇති ඔවුන්ව දෙවිගේ පුත්‍රයන් හැටියටත් සලකනු ලබනවා. එමනිසා පාවුල්ගේ මෙම වදන් ඔවුන්ට අදාළ වෙනවා: “ඔහු අන්ධකාරයේ බලයෙන් අපව මුදා, තම ප්‍රේමණීය පුත්‍රයාගේ රාජ්‍යයට අපව මාරු කළේය. අපි, ඔහු මාර්ගයෙන් මිදීමේ මිලයෙන් ඇති වූ නිදහස, එනම් අපේ වැරදිවලට සමාව ලැබුවෙමු.”—කොලොස්සි 1:13, 14.

6 මීට අමතරව, “මනුෂ්‍ය පුත්‍රයා වුවද පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය” කියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (මාක් 10:45) මින් පැහැදිලි වන්නේ ඇදහිල්ලෙන් ක්‍රියා කරන තවත් අසංඛ්‍යාත ක්‍රිස්තියානීන් පිරිසකටද යේසුස්ගේ ජීවිත පූජාවෙන් ආශීර්වාද ලැබීමේ ප්‍රස්තාව දෙවි විවෘත කර ඇති බවයි. ඔවුන් නුදුරු අනාගතයේදී “දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස” භුක්ති විඳීමේ අපේක්ෂාවෙන් බලා සිටිනවා. (රෝම 8:21) ඒ අතරතුර දෙවි සමඟ ඔවුන්ට තිබෙන මිත්‍රත්වය ඔවුන් ගැඹුරින් අගය කරන අතර, ඒ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කිරීමට අවංක උත්සාහයක් දරනවා.

7. යෙහෝවා තම සේවකයන්ට උපකාර ලබා දෙන්නේ කොහොමද?

7 යෙහෝවා මෙම දෙපාර්ශ්වයටම අවශ්‍ය උපකාර ලබා දෙනවා. එක් විදිහක් නම් ඔවුන්ගේ ක්‍රිස්තියානි ජීවිතයට අවශ්‍ය පුහුණුවක් නොකඩවා සැපයීමයි. මෙයින් සත්‍යය පිළිබඳව තව තවත් පුළුල් වූ නිවැරදි දැනුමක් ඔවුන්ට ලබාගත හැකියි. යෙහෝවා මඟ පෙන්වීම් නිරතුරුවම සපයන්නේ ඔහුගේ වචනය වන බයිබලය මාර්ගයෙන්, ඔහුගේ සංවිධානය මාර්ගයෙන් හා ඔහුගේ බලය මාර්ගයෙන්. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන මඟ පෙන්වීම් යටතේ දෙවිගේ සෙනඟ ලෝක ව්‍යාප්ත පවුලක් හා සමානයි. ඔවුන් කුමන ජාතියක හෝ තරාතිරමක හෝ සිටියත් ඇදහිල්ලෙහි ස්ථිරව සිටීමට අවශ්‍ය උපකාර ලබා දීමට මෙම දාස පංතිය පියවර ගන්නවා. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සැපයීමට පවා පියවර ගෙන තිබෙනවා.—මතෙව් 24:45.

8. තමාට පක්ෂපාතව සිටින අය ගැන යෙහෝවාට කොතරම් විශ්වාසයක් තිබෙනවාද? එමනිසා ඔවුන්ට නිසැක විය හැක්කේ කුමක් ගැනද?

8 යෙහෝවා යේසුස්ව සතුරු ප්‍රහාරවලින් පූර්ණ ලෙස ආරක්ෂා නොකළ බව ඔබට මතක ඇති. අදත් යෙහෝවා ක්‍රිස්තියානීන්ට පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ. මින් අදහස් වන්නේ යෙහෝවා ඔහුගේ සේවකයන් ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවද? නැහැ. යෙහෝවා ඔවුන්ව සෑම උවදුරකින්ම හා පීඩාවකින්ම ආරක්ෂා නොකරන්නේ ඔහුට ඔවුන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති නිසයි. තමා මෙම විශ්වයේ නීත්‍යනුකූල පාලකයාද යන්න සම්බන්ධයෙන් සාතන් ඉස්මතු කළ ප්‍රශ්නයේදී ඔවුන් පීඩා හමුවේ පවා ඔහුගේ පැත්ත ගනී කියා ඔහුට විශ්වාසයි. (යෝබ් 1:8-12; හිතෝපදේශ 27:11) එමනිසා යෙහෝවා ඔහුට පක්ෂපාතව සිටින අයව කිසිදා අත්හරින්නේ නැහැ. “මක්නිසාද යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය; ස්වකීය ශුද්ධවන්තයන්ද අත්නාරින්නේය; ඔවුහු සදාකල් ආරක්ෂා කරනු ලබති.”—ගීතාවලිය 37:28.

යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැබෑකම අපට ආරක්ෂාවක්

9, 10. (අ) යෙහෝවාගේ ප්‍රමිති ඔහුගේ සේවකයන්ට ආරක්ෂාවක් වන්නේ කොහොමද? (ආ) යෙහෝවා තමාට පක්ෂව සිටින අයව තම ප්‍රේමණීය කරුණාවෙන් ආරක්ෂා කරන බව බයිබලයේ දක්වා ඇත්තේ කොහොමද?

9 දාවිත් යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවේ තමාව ප්‍රේමණීය කරුණාවෙන් හා සැබෑකමින් ආරක්ෂා කරන ලෙසයි. (40වන ගීතිකාව) යෙහෝවා සැබෑකමින් හැසිරෙන දෙවි කෙනෙකු නිසාත් ඔහු ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන නිසාත් ඔහුගේ ප්‍රමිති සම්බන්ධයෙන් ඔහු ඉතා පැහැදිලිව තොරතුරු හෙළි කර තිබෙනවා. මෙම ප්‍රමිතිවලට එකඟව ජීවත් වන අය බොහෝ දුරට නොයෙකුත් දුක් කම්කටොලු, බිය සැක හා ගැටලුවලින් ආරක්ෂාවක් ලබනවා. උදාහරණයකට අප මත්ද්‍රව්‍ය භාවිත නොකරනවා නම්, බීමත්කමින්, දුරාචාරයෙන් හා ප්‍රචණ්ඩකාරී ජීවිතයකින් වැළකී සිටිනවා නම් අපට නොයෙකුත් ගැටලු ප්‍රශ්නවලින් ආරක්ෂාවක් ලබන්න පුළුවන්. දාවිත් සම්බන්ධයෙන් විටින් විට සිදු වූවාක් මෙන් යෙහෝවාගේ ප්‍රමිතිවලින් ඉවත් වන අයට පවා බලාපොරොත්තුවක් තිබෙනවා. ඔවුන් ඇත්තටම පසුතැවිලි වෙනවා නම් දෙවි ඔවුන්ට ආරක්ෂාවක් සපයන බවට ඔවුන්ට නිසැක විය හැකියි. “දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂා කරන්නේය” කියා ප්‍රීතියෙන් කියන්න එවැනි අයට පුළුවන්. (ගීතාවලිය 32:7) දෙවිගේ ප්‍රේමණීය කරුණාව මොන තරම්ද!

10 ළඟදීම විනාශ කරන දුෂ්ට ලෝකයෙන් වෙන්ව සිටීමට යෙහෝවා තම සේවකයන්ට අනතුරු අඟවනවා. මෙය යෙහෝවා තම ප්‍රේමණීය කරුණාව පෙන්වන තවත් මාර්ගයක්. බයිබලයෙහි මෙසේ සඳහන් වෙනවා. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද, ලෝකයේ තිබෙන සියල්ල—එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්—පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය.” මෙම අනතුරු ඇඟවීමට සවන් දීමෙන් විනාශයෙන් බේරී අපට සදහටම වුණත් ජීවත් විය හැකියි. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.”—1 යොහන් 2:15-17.

සිහිකල්පනාව හා ප්‍රඥාව ඔබට ආරක්ෂාවක්

11, 12. හොඳ සිහිකල්පනාව සහ ප්‍රඥාව අපට ආරක්ෂාවක් වන අයුරු පැහැදිලි කරන්න.

11 දාවිත්ගේ පුත් සලමොන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි අයට මෙසේ ලිව්වා. “තේරුම්ගැනීම [සිහිකල්පනාව, NW] ඔබ රැකවල් කරන්නේය; පරීක්ෂා කර බැලීම ඔබ ආරක්ෂා කරන්නේය.” ඔහු මෙසේද පැවසුවා. “ප්‍රඥාව ලබාගන්න . . . ඇය අත්නොහරින්න; ඇය ඔබ පරෙස්සම් කරන්නීය; ඇයට ප්‍රේම කරන්න; ඇයද ඔබ රක්ෂා කරන්නීය.”—හිතෝපදේශ 2:12; 4:5, 6.

12 ජීවිතයේ ඇත්තටම වැදගත් දේවලට මුල් තැන දීමට හොඳ සිහිකල්පනාව අවශ්‍යයි. දේවවචනය වන බයිබලයේ තිබෙන තොරතුරු ගැන නිතරම මෙනෙහි කිරීම මෙයට උපකාරයක්. අප අද්දැකීමෙන්ම දන්නා දෙයක් නම් අප හොඳට කල්පනා කර ජීවිතයේ ඇත්තටම වැදගත් දේවලට මුල් තැන නොදුන්නොත් නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වන බවයි. සාතන්ගේ ලෝකය අපට නිතරම කියන්නේ ධනය, ප්‍රසිද්ධිය සහ බලය යනාදියට මුල් තැන දෙන්න කියයි. නමුත් යෙහෝවා දෙවි අපට කියන්නේ අපගේ නමස්කාරයට මුල් තැන දිය යුතු බවයි. අප සාතන්ගේ ලෝකයේ දේවලට මුල් තැන දුන්නොත් අපගේ පවුල් ජීවිතය හා මිත්‍රත්වයන් කඩාකප්පල් වී යන අතර, අපගේ ඉලක්ක බොඳ වී අප ඇදහිල්ලෙන්ද දුර්වල වී යනවා. අන්තිමේදී අපට ඉතිරි වෙන්නේ දුකක් පමණයි. “ඇත්තෙන්ම, මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ජීවිතය නැති කරගන්නවා නම්, ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?” (මාක් 8:36) එමනිසා ඥානවන්තම දේ නම් යේසුස් දෙන මෙම උපදෙස පිළිපැදීමයි. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.”—මතෙව් 6:33.

තමා ගැන පමණක් සිතීම අන්තරාදායකයි

13, 14. තමා ගැන පමණක් සිතීමේ නැඹුරුවාව විස්තර කරන්න. එම නැඹුරුවාව නුසුදුසු වන්නේ මන්ද?

13 සාමාන්‍යයෙන් මිනිසුන් තමන් ගැන සිතීමට නැඹුරු වෙනවා. ඉන් අදහස් කරන්නේ ඔවුන් තමන් ආශා කරන දේට, තමන්ට අවශ්‍ය කරන දේට නිතරම මුල් තැන දීමයි. වර්තමාන සමාජයේ සෑම කෙනෙකු තුළ මෙය බහුලව දක්නට ලැබෙනවා. ඇත්තටම බයිබලය ‘අන්තිම දවස්’ ගැන කතා කරමින් පවසන්නේ මිනිසුන් ‘තමුන්ටම ප්‍රේම කරන බවයි.’ (2 තිමෝති 3:1, 2) මිනිසුන් තමන් ගැන පමණක් සිතීමට නැඹුරු වීමෙන් බොහෝ ගැටලු ඇති වෙනවා. මෙය අපටද බලපෑ හැකියි. යෙහෝවා සමඟ අපට තිබෙන මිත්‍රත්වයට මෙය බලපෑ හැකි නිසා මෙම නැඹුරුවාවෙන් වැළකී සිටීමට ඔහු අපට උපදෙස් දෙයි.

14 කෙනෙක් තමා ගැන සැලකිලිමත් වෙනවා වගේම අන් අය ගැන සැලකිලිමත් වීමට බයිබලයේ දී ඇති උපදෙස ක්‍රිස්තියානීන් මුළු සිතින්ම පිළිගන්නවා. (ලූක් 10:27; ෆිලිප්පි 2:4) සමාජයේ බොහෝදෙනෙක් සිතන්නේ මෙම ප්‍රතිපත්තියට අනුව ජීවත් වීම ප්‍රායෝගික නැති බවයි. නමුත් අපේ විවාහය, පවුල් ජීවිතය හා මිතුදම් ශක්තිමත්ව තබාගැනීමට මෙම ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි. එමනිසා යෙහෝවාට සැබවින්ම සේවය කරන කෙනෙක් තමා ගැන පමණක් සිතීමේ නැඹුරුවාව පාලනය කරන්නට උත්සාහ කරනවා. ඔහු දන්නවා මෙය පාලනය කරන්නේ නැත්නම් වඩාත් වැදගත් දේවල් යටපත් වන බව. වඩාත්ම වැදගත් දේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම බව ඔහු හොඳින් දන්නා කරුණක්.

15, 16. (අ) තමා ගැන පමණක් සිතීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද? මීට නිදසුන් සපයන්න. (ආ) අන් අයව විනිශ්චය කිරීමට ඉක්මන් වන කෙනෙකුට අවසානයේදී සිදු වන්නේ කුමක්ද?

15 පුද්ගලයෙක් නිතරම තමා ගැන පමණක් සිතනවා නම් ඔහු සෑම දෙයක් ගැනම තමා නිවැරදි බව සිතන්න පෙලඹෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔහු පටු විදිහට දේවල් දෙස බැලීමටත්, හිතුවක්කාරව ක්‍රියා කිරීමටත් නැඹුරු වෙනවා. බයිබලයේ සඳහන් මෙම අවවාදය කොතරම් යෝග්‍යද! “එබැවින් මනුෂ්‍යය, ඔබ කවරෙකු වුවත් ඔබ අන්‍යයන්ව විනිශ්චය කරන්නේ නම් ඔබේ නිදහසට කියන්න කිසි කාරණයක් නැත. මන්ද, යම් දෙයක් සම්බන්ධයෙන් ඔබ වෙන කෙනෙකුව විනිශ්චය කරන්නේ නම්, ඔබත් ඒ දේවල්ම කරන නිසා, ඔබටම වරද තබාගන්නෙහිය.” (රෝම 2:1; 14:4, 10) මෙම අවවාදය යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් සම්බන්ධයෙන් ඇත්තක් වුණා. ඔවුන් තමන් නිවැරදි බව නිතරම සිතූ පිරිසක්. ඒ කොතරම්ද කිවහොත් ඔවුන් යේසුස් සහ ඔහුගේ ගෝලයන් කළ දේවල් හෙළා දකින්න පවා පුරුදු වුණා. මෙයින් පෙනී යන්නේ ඔවුන් අන් අයව විනිශ්චය කරන්න තරම් තමන් සුදුසු අය බව සිතුවා කියයි. නමුත් ඔවුන් තමුන් තුළම තිබූ අඩුපාඩුකම් දුටුවේ නැහැ. එමනිසා ඔවුන් අන් අයව විනිශ්චය කළ ආකාරයටම ඔවුන්වත් විනිශ්චය කිරීමට සුදුසුව සිටියා.

16 අන් අයව විනිශ්චය කිරීමට පුරුදු වූ තවත් කෙනෙකි යේසුස්ව පාවා දුන් යූදස්. එක් අවස්ථාවකදී යේසුස් සහ ඔහුගේ ගෝලයන් බෙතානියේ සිටියදී ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා යේසුස්ව සුවඳ තෙල්වලින් ආලේප කළා. මෙයට දැඩි ලෙස විරෝධය පෑ යූදස්: “මේ සුවඳ තෙල ඩිනාරි තුන්සියයකට විකුණා දිලිඳුන්ට නොදුන්නේ ඇයි” කියා ඇසුවා. නමුත් ඔහුගේ සැබෑ චේතනාව හෙළි කරමින් බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු එසේ කීවේ ඔහු දිලිඳුන් ගැන සැලකිල්ල දැක්වූ නිසා නොව, ඔහු සොරෙකු නිසාත්, මුදල් පෙට්ටිය භාරව සිට එහි දමන ලද මුදල් ගන්න පුරුදුව සිටි නිසාත්ය.” (යොහන් 12:1-6) අපිත් අන් අයව විනිශ්චය කිරීමට ඉක්මන් වූ යූදස් හෝ ආගමික නායකයන් මෙන් නොවීමට අදිටන් කරගනිමු. එසේ නැත්නම් අප කරන විනිශ්චය අප පිටම පැමිණෙනවා නියතයි.

17. පුරසාරම් දෙඩීම කොතරම් අනතුරුදායකදැයි විස්තර කරන්න.

17 ඇතැම් මුල් ක්‍රිස්තියානීන් යූදස් වගේ සොරුන් බවට පත් වුණේ නැතත්, ඔවුන් අහංකාර වී පුරසාරම් දොඩන අය බවට පත් වුණා. ඔවුන් ගැන යාකොබ් පැවසුවේ මෙසේයි. “ඔබ දොඩන පුරසාරම් ගැන ඔබම ආඩම්බර වන්නහුය. එවැනි සෑම ආඩම්බර වීමක්ම දුෂ්ටය.” (යාකොබ් 4:16) අපගේ හැකියාවන් හෝ යෙහෝවාගේ සේවය තුළ අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන හෝ අපි පුරසාරම් දොඩනවා නම් එය හරියට අපි අපේම වළ කපාගන්නවා හා සමානයි. (හිතෝපදේශ 14:16) උදාහරණයට පේතෘස්ට සිදු වූ දේ ඔබට මතකද? එක් අවස්ථාවකදී “අන් හැමදෙනාම ඔබ ගැන බාධාවට පත් වුණත්, මම නම් කවදාවත් බාධාවට පත් නොවන්නෙමි! . . . මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත්, ඔබව නාඳුනමියි කියා කිසිසේත් නොකියමි” කියා ඔහු තමා ගැන උදම් අනමින් කතා කළා. නමුත් ඔහුට ඇත්තටම සිදු වූ දේ අප කවුරුත් දන්නවා. ඇත්තම කියනවා නම් පුරසාරම් දොඩන්න අපගෙන් කිසිවෙකුට කිසිම හේතුවක් නැහැ. අපට ලැබී තිබෙන සෑම ආශීර්වාදයක්ම ලැබී තිබෙන්නේ යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව නිසයි. එය මතක තබාගැනීම අපට ආරක්ෂාවක්.—මතෙව් 26:33-35, 69-75.

18. යෙහෝවාට අහංකාරකම ගැන හැඟෙන්නේ කොහොමද?

18 “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට ප්‍රථමයෙන් අහංකාර සිතද” ඇති බව බයිබලයේ සඳහන් වෙනවා. එසේ පවසා තිබෙන්නේ ඇයි? යෙහෝවා ‘උඩඟුකමද අහංකාරයද නුරුස්සන’ නිසයි. (හිතෝපදේශ 8:13; 16:18) “අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත්” දැක යෙහෝවාට කෝපයක් ඇතිවීම පුදුමයක් නොවෙයි. (යෙසායා 10:12, නව අනුවාදය) ඒ හේතුව නිසා යෙහෝවා ඔහුට දඬුවම් කළා. සාතන්ගේ ලෝකයටත්, එහි පෙනෙන මෙන්ම නොපෙනෙන අහංකාර නායකයන් සියලුදෙනාටත් එවැනිම දඬුවමක් ළඟදීම ලැබීමට නියමිතයි. එමනිසා යෙහෝවාගේ සතුරන්ගේ උඩඟු ආකල්ප පිළිබිඹු කිරීමෙන් වැළකී සිටීමට අප උත්සාහ කළ යුතුයි.

19. සැබෑ ක්‍රිස්තියානීන්ට ලැබී තිබෙන වරප්‍රසාදය කුමක්ද? නමුත් අප කුමක් මතක තබාගත යුතුද?

19 සැබෑ ක්‍රිස්තියානීන්ට යෙහෝවා දෙවිගේ සේවකයෙක් වීමට ලැබීම මහත් ගෞරවයක්. (යෙරෙමියා 9:24) නමුත් ඔවුන් ඒ නිසා සිත උදුම්මා නොගත යුතුයි. එයට හේතුව ‘සියල්ලෝම පව් කර දෙවිගේ තේජසින් ඈත්ව සිටින’ නිසයි. (රෝම 3:23) එම නිසා අප යටහත් පහත්ව සිටිය යුතුයි. යෙහෝවාගේ සේවකයන් ලෙස දිගටම සිටීමට නම් අප පාවුල්ට සමාන ආකල්පයක් දරන්න අවශ්‍යයි. ඔහු පැවසුවේ “ක්‍රිස්තුස් යේසුස් ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවාගැනීමටය. . . . ඔවුන් අතරින් මම ප්‍රධාන පව්කාරයා වෙමි” කියයි. මොන තරම් කදිම යටහත් පහත් ආකල්පයක්ද!—1 තිමෝති 1:15.

20. යෙහෝවා තම සේවකයන්ව දැන් රැකගන්නේ කොහොමද? අනාගතයේදී රැකගන්නේ කොහොමද?

20 තමාට දෙවෙනි තැන දෙමින් යෙහෝවාට මුල් තැන දීමට යෙහෝවාගේ සේවකයන් පියවර ගන්නේ ඉමහත් සතුටකිනුයි. එමනිසා ඔවුන්ට යෙහෝවා සමඟ තිබෙන කිට්ටු මිත්‍රත්වය රැකගන්න අවශ්‍ය සෑම උපකාරයක්ම ඔහු දෙයි කියා අපට නිසැක වෙන්න පුළුවන්. මෙම දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය ආරම්භ වන විට යෙහෝවා තම සේවකයන්ගේ ජීවිත පවා ආරක්ෂා කරයි කියා අපට ස්ථිරව විශ්වාස කළ හැකියි. දෙවි පොරොන්දු වී ඇති පාරාදීස පොළොවට පිවිසෙද්දී ඔවුන්ට මෙසේ කියන්න අවස්ථාවක් ලැබෙයි. “බලව, මේ අපේ දෙවිය; අපි ඔහු ගැන බලා සිටියෙමු; ඔහු අප ගලවන්නේය; මේ යෙහෝවාය; අපි ඔහු ගැන බලාසිටියෙමු; අපි ඔහුගේ ගැලවීමට සතුටුව ප්‍රීති වන්නෙමු.”—යෙසායා 25:9.

ඔබට මතකද?

• දාවිත් රජුට හා යේසුස් ක්‍රිස්තුස්ට ලැබුණු ආරක්ෂාව විස්තර කරන්න

• යෙහෝවා දෙවිගේ සේවකයන්ට වර්තමානයේ ලැබෙන ආරක්ෂාව විස්තර කළ හැක්කේ කොහොමද?

• අප ගැන පමණක් සිතීමේ නැඹුරුවාවෙන් අප වැළකී සිටිය යුත්තේ මන්ද?

• අපට ලැබී තිබෙන වරප්‍රසාදය කුමක්ද? නමුත් අප කුමක් මතක තබාගත යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

යෙහෝවා දාවිත්ව හා යේසුස්ව ආරක්ෂා කළේ කොහොමද?

[10, 11වන පිටුවේ පින්තූර]

දෙවිගේ සේවකයන්ට වර්තමානයේ ලැබෙන ආරක්ෂාව විස්තර කළ හැක්කේ කොහොමද?

[12වන පිටුවේ පින්තූර]

යෙහෝවාට සේවය කිරීම අපට මහත් ගෞරවයක් වුණත්, අප යටහත් පහත්ව සිටිය යුතුයි