Skip to content

පටුනට යන්න

විවාහ ජීවිතයේ එකඟ නොවීම් ඇති වන විට

විවාහ ජීවිතයේ එකඟ නොවීම් ඇති වන විට

විවාහ ජීවිතයේ එකඟ නොවීම් ඇති වන විට

සිහිබුද්ධියෙන් වැඩ කරන ඕනෑම ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් තම විවාහ ජීවිතය තුළ ගැටුම් ඇති වෙනවා දකින්න කැමති නැහැ. නමුත් අද කාලයේ විවාහ ජීවිතය තුළ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා. එක් කෙනෙක් අනික් කෙනා අකමැති දෙයක් කියනවා. අනික් කෙනා එයින් කෝපයට පත් වෙනවා. ඊළඟට දෙදෙනාම හයියෙන් එකිනෙකාට බැණ වදිනවා. මෙසේ බහින්බස් වීමේදී ඔවුන් එකිනෙකාට ඇනුම් පද කියමින් කේන්තියෙන් එකිනෙකාට දොස් නඟනවා. ඊට පස්සේ දෙන්නා නිහඬ වෙනවා. එක් කෙනෙක් කතා කරන්න උත්සාහ කළත් අනික් කෙනාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ දෙදෙනාගේම කේන්තිය නිවෙනවා. පසුව ඔවුන් එකිනෙකාට සමාව දීගන්නවා. නැවතත් සාමකාමී වාතාවරණයක් ඇති වෙනවා. නමුත් ඒ, නැවත වරක් දෙන්නා එකඟ නොවන තෙක් පමණයි!

අද කාලයේ රූපවාහිනියේ විනෝදාත්මක වැඩසටහන් හෝ ටෙලි නාට්‍ය බොහොමයක ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නෙත් විවාහ වූ දෙදෙනෙකු අතර ඇති වන බහින්බස් වීමයි. නමුත් සැබෑ තත්වය කොහෙත්ම විහිළුවක් නම් නොවෙයි. බයිබල් හිතෝපදේශයක පවසන්නේ ‘නොසැලකිලිමත් ලෙස කතා කරන කෙනා කඩුවකින් අනින්නාක් මෙන්’ කතා කරන බවයි. (හිතෝපදේශ 12:18) කෙනෙකු නොසැලකිලිමත්ව පවසන වචන නිසා ඇති වන වේදනාව දිගු කාලයක් පුරා සිතේ රැඳෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, විවාදයක් ගුටි බැට දීමකින් වුණත් අවසන් වෙන්න පුළුවන්.—නික්මයාම 21:18.

නමුත් අපි පිළිගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි, සෑම මිනිසෙකු තුළම වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව වැඩි නිසා විවාහ වූ දෙදෙනෙකු අතර වුණත් ගැටලු ඇති වෙන්න පුළුවන් යන කාරණය. (උත්පත්ති 3:16; 1 කොරින්ති 7:28) ඒත්, නිතර නිතර බරපතළ ආරවුල් ඇති වෙනවා නම් එය සාමාන්‍ය දෙයක් කියා නොසලකා හැරීම සුදුසු දෙයක් නොවෙයි. නිතර නිතර අඬ දබර කරගන්නා යුවළක් තම විවාහය දික්කසාදයෙන් අවසන් කිරීමට තිබෙන ඉඩ කඩ වැඩි බවයි ඇතැම් පර්යේෂකයන් කියන්නේ. ඒ නිසා එකඟ නොවීම් ඇති වන විට ඒවා සාමකාමීව විසඳාගැනීමට ඔබ දෙදෙනා පුරුදු වී සිටීම වැදගත්.

තත්වය ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම

ඔබ දෙදෙනා අතර නිරතුරුවම බහින්බස් වීමක් සිදු වෙනවාද? සාමාන්‍යයෙන් ඔබ දෙදෙනා යම් කාරණයක් ගැන එකඟ නොවන විට සිදු වන්නේ කුමක්ද? බහින්බස් වීම පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙනවාද? මෙය කෙළවර වෙන්නේ එකිනෙකාට දොස් කීමෙන් හෝ ඇනුම්පද කීමෙන්ද? තත්වය එය නම් ඔබට කුමක් කළ හැකිද?

සමහරවිට ප්‍රශ්නය දිග්ගැස්සීමට හේතුව ඔබද? මේ ප්‍රශ්න ගැන අවංකව සිතා බලන්න. ඔබ ඉක්මනින්ම කේන්ති ගන්න කෙනෙක්ද? ඔබ වාද කිරීමට නැඹුරු ස්වභාවයක් තිබෙන කෙනෙක්ද? ඒ ප්‍රශ්නය ඔබේ සහකරුගෙන් හෝ සහකාරියගෙන් ඇසුවොත් ඔහු හෝ ඇය ඔබ ගැන කුමක් කියයිද? මේ අන්තිම ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. ඊට හේතුව වාද කිරීමට නැඹුරු ස්වභාවයක් තිබීම යන කාරණය ගැන ඔබ දෙදෙනාම වෙනස් මත දරන්න පුළුවන් නිසයි.

නිදසුනකට, ඔබේ සහකරු හෝ සහකාරිය පහසුවෙන් හැඟීම් පළ නොකරන කෙනෙක් වුවත් ඔබ ඔබගේ හැඟීම් මූණටම කියන කෙනෙක්යයි සිතන්න. “ඒක වාද කිරීමක් නෙවෙයි! මගේ පුංචි කාලයේ ඉඳන්ම අපේ ගෙදර හැමෝම කතා කළේ ඒ විදිහට තමයි,” කියා ඔබ පැවසිය හැකියි. ඒ විදිහට කෙළින් කතා කිරීම වාද කිරීමක් වගේ ඔබට නොපෙනුණත්, ඔබේ සහකරු හෝ සහකාරිය එය සැර බහින්බස් වීමක් හැටියට දකින්න පුළුවන්. එමනිසා ඔබත් ඔබේ සහකරුත් අදහස් ප්‍රකාශ කරන්නේ දෙවිදිහකට බව අවබෝධ කරගෙන සිටීමෙන් වරදවා වටහාගැනීම් වළක්වන්න පුළුවන්.

වාද කිරීමට නිතරම කෑ කෝ ගැසීම පමණක් ඇතුළත් වෙන්නේ නැති බවත් ඔබ මතක තබාගත යුතුයි. පාවුල් ක්‍රිස්තියානීන්ට මෙවැනි දෙයක් ලිව්වා. ‘සියලු ආකාර කෑගැසීම සහ නිග්‍රහ කිරීම ඔබෙන් ඉවත් කර දමන්න.’ (එෆීස 4:31) ‘කෑගැසීම’ උස් ස්වරයකින් කතා කිරීම අදහස් කරන නමුත් ‘නිග්‍රහ කිරීම’ යන්නෙන් අවමන් කිරීම සහ අපහාස කිරීම අදහස් කරයි. එසේනම් සිහින් හඬකින් මුමුණා කියන වචන වුණත් කෙනෙක්ව කුපිත කරවන හෝ පාච්චල් කරන ආකාරයකින් අපේ මුවින් පිට වෙනවා නම් එය වාද කිරීමයයි හැඳින්විය හැකියි.

දැන්, මේ කාරණා සියල්ල සිතේ තබාගෙන ඔබගේ සහකරු සමඟ ඇති වන එකඟ නොවීම් ඔබ හසුරුවන ආකාරය ගැන නැවත වරක් සිතා බලන්න. ඔබට තිබෙන්නේ වාද කිරීමේ ස්වභාවයක්ද? ඒ ප්‍රශ්නයට නියම පිළිතුර ලබාගත හැක්කේ ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබ ගැන පවසන දෙයින් බව අපගේ සාකච්ඡාවෙන් අපි දැනගත්තා. ඔබගේ සහකරු හෝ සහකාරිය බොහොම සංවේදී පුද්ගලයෙක් කියා සිතමින් කාරණා පසෙකට දමනවා වෙනුවට, ඔහු හෝ ඇය ඔබව දකින ආකාරයට දකින්න උත්සාහ කරන්න. ඉන්පසුව අවශ්‍ය සකස් කිරීම් කරන්න. පාවුල් මෙහෙම ලිව්වා. “එකිනෙකා තම තමාගේම ප්‍රයෝජනය නොව, අනික් තැනැත්තාගේ ප්‍රයෝජනය සොයාවා.”—1 කොරින්ති 10:24.

“ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න”

එකඟ නොවීම් තිබියදී කළ යුතු තවත් දෙයක් යේසුස්ගේ මෙම වදන් තුළ සඳහන් වෙනවා. “ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න.” (ලූක් 8:18) ඇත්තයි, මේ අවස්ථාවේදී යේසුස් කතා කරමින් සිටියේ විවාහක දෙදෙනෙකු අතර සිදු වන අදහස් හුවමාරුව ගැන නොවෙයි. ඒත් ඒ ප්‍රතිපත්තිය විවාහ ජීවිතයටත් අදාළ කරන්න පුළුවන්. එසේනම් ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට හොඳින් සවන් දෙනවාද? එහෙමත් නැත්නම් ඔබ ඔහු හෝ ඇය පවසන දේ ගණනකටවත් ගන්නේ නැද්ද? සමහරවිට ඔහු හෝ ඇය යමක් කියන්න උත්සාහ කරද්දී ඔබ මැදින් පැන ගැටලුවකට විසඳුම් ඉදිරිපත් කරන්න බලනවාද? “යමෙක් කාරණයක් අසන්ට පළමුවෙන් උත්තර දේ නම් ඒක ඔහුට අඥානකමත් ලජ්ජාවත් වේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 18:13) එසේනම් ඔබ දෙදෙනා යම් කාරණයක් ගැන එකඟ නොවන විට ඒ කාරණය ගැන එකිනෙකා සමඟ කතා කරන්න. එමෙන්ම එකිනෙකා පවසන අදහස්වලට හොඳින් සවන් දෙන්න.

ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ අදහස් සැහැල්ලුවට ගන්නවා වෙනුවට, “අනුකම්පාව” පෙන්වීමට උත්සාහ කරන්න. (1 පේතෘස් 3:8) මුල් ග්‍රීක භාෂාවේ මේ වචනයේ ගැබ් වී තිබෙන අදහස තමයි, තවත් කෙනෙකුගේ දුක බෙදාගැනීම. ඒ අර්ථයට අනුව බලද්දී ඔබේ සහකරු හෝ සහකාරිය යමක් ගැන කනස්සල්ලෙන් සිටිනවා නම් ඔබටත් ඒ ගැන එලෙසම හැඟිය යුතුයි. ඔහු හෝ ඇය ඒ කාරණය දෙස බලන කෝණයෙන් ඒ දෙස බැලීමට උත්සාහ කරන්න.

දේවභක්තික මිනිසෙකු වූ ඊසාක් එවැනි පුරුෂයෙක් වූවා. ඔහුගේ භාර්යාව වූ රෙබෙකා ඔවුන්ගේ පවුලට සම්බන්ධ විෂයක් ගැන බොහෝ සෙයින් කැළඹී සිටි අවස්ථාවක් ගැන බයිබලය අපට කියයි. ඒ ඔවුන්ගේ පුත් යාකොබ් සම්බන්ධ කාරණයක් ගැනයි. දිනක් රෙබෙකා ඊසාක්ට මෙහෙම දෙයක් පැවසුවා. “හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට වෙහෙසක්ව තිබේ. යාකොබ් මේ දේශයෙහි දූවරුන් වූ හෙත්ගේ දූවරුන් වන මොවුන්ගෙන් භාර්යාවක පාවාගන්නේ නම් මාගේ ජීවිතයෙන් මට කුමන ප්‍රයෝජනයක්ද”?—උත්පත්ති 27:46.

රෙබෙකාගේ ජීවිතය ඇත්තෙන්ම ඇයට වෙහෙසක් වී තිබුණාද? හෙත්ගේ දූවරුන්ගෙන් කෙනෙක්ව ඇගේ පුතා විවාහ කරගත්තා නම් ඇය මැරෙන්න කැමති වෙයිද? එහෙම සිතන්න බැහැ! මේ අවස්ථාවේදී රෙබෙකා ඒ වගේ දෙයක් පැවසුවේ සිතේ කලබලයෙන් වෙන්න ඇති. ඒත් ඊසාක් රෙබෙකාගේ හැඟීම් සුළු කොට සැලකුවේ නැහැ. රෙබෙකාගේ සිතට වද දුන් කාරණය සුළු පටු දෙයක් නොවූ බව ඊසාක් තේරුම්ගත්තා. (උත්පත්ති 28:1) ඔබේ සහකරු හෝ සහකාරිය යම් කාරණයක් ගැන කලබල වී, කනස්සල්ලෙන් පසු වෙනවා නම් ඊසාක් මෙන් කටයුතු කරන්න. ඒ කාරණය එතරම් ලොකු ප්‍රශ්නයක් නොවෙයි කියා ගණන් නොගෙන සිටිනවා වෙනුවට, ඔබේ සහකරුට හෝ සහකාරියට සවන් දෙන්න. ඔහුගේ හෝ ඇයගේ අදහස්වලට ගරු කරන්න. කාරුණික වී ඒ කාරණය ගැන සැලකිල්ලක් දක්වන්න.

කල්පනාවෙන් සවන් දීමේ වැදගත්කම

බයිබල් හිතෝපදේශයක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “මනුෂ්‍යයෙකුගේ සිහිකල්පනාව නිසා ඔහු තරහ වීමට පමා වේ.” (හිතෝපදේශ 19:11) සැර විවාදයකදී ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ හිත රිදෙන්න කියන හැම වචනයකටම ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඔබ පහසුවෙන්ම පෙලඹෙන්න පුළුවන්. නමුත් මෙයින් සිදු වෙන්නේ විවාදය තවත් උග්‍රවීමයි. එමනිසා ඔබේ සහකරු හෝ සහකාරියට සවන් දෙද්දී ඔබේ ඉලක්කය විය යුත්තේ වචනවලට පමණක් නොව නමුත් ඒ වචනවල ගැබ් වී ඇති හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කිරීමයි. ඔබ එලෙස කල්පනාවෙන් කටයුතු කරන විට, පවසනු ලබන හැම දේටම කේන්ති ගන්නවා වෙනුවට ගැටලුවේ මුල සොයාගැනීමට ඔබට හැකි වෙයි.

උදාහරණයකට ඔබේ බිරිඳ ඔබට මෙවැනි දෙයක් කීවායයි සිතමු. “ඔයාට මාත් එක්ක ගත කරන්න නම් වෙලාවක් නැහැ!” ඒ චෝදනාවේ සත්‍යයක් නැති බව ඔප්පු කිරීමට සමහරවිට ඔබ කේන්තියෙන් මෙහෙම යමක් කියන්න පුළුවන්. “ඇයි, මම ගිය මාසේ ඔයත් එක්ක දවසක්ම ගත කළේ!” නමුත් ඔබ ටිකක් කල්පනාවෙන් ඇහුම්කන් දුන්නා නම් ඔබේ බිරිඳට ඇත්තෙන්ම අවශ්‍ය වුණේ ඔබේ කාලය නොව ඔබේ අවධානය බව ඔබ අවබෝධ කරගනීවි. ඇය කියන්න හැදුවේ ඔබ ඇය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව සහ ඇයට ඔබේ ආදරය අවශ්‍ය බව විය හැකියි.

ඔබ බිරිඳක් කියා සිතමු. ඔබ මෑතකදී මිල දී ගත් යමක් ගැන ඔබේ ස්වාමිපුරුෂයා පුදුමයට පත් වී මෙහෙම යමක් ඇසුවායයි සිතන්න. “ඔයා ඇයි එච්චර මුදලක් වියදම් කළේ?” ඔබ වහාම කුමක්ද කරන්නේ? සමහරවිට ඔබ පවුලේ අයවැය තත්වය ගැන කියමින් නිදහසට හේතු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා විය හැකියි. එහෙමත් නැත්නම් ඔහු මෑතකදී මිල දී ගත් යමක් එක්ක ඔබ මිල දී ගත් දෙය සන්සන්දනය කරන්න පෙලඹිය හැකියි. හැබැයි ඔබ කල්පනාකාරී පුද්ගලයෙක් නම්, ඔබ මෙය වටහාගනීවි. එනම් ඔබේ ස්වාමිපුරුෂයාගේ අවධානයට ලක් වුණේ ඔබ වියදම් කළ මුදල් ප්‍රමාණය නොව, ඔබ ඒ භාණ්ඩය ගැනීමට තීරණය කරද්දී ඔහුට ඒ ගැන කිසිවක් නොපැවසීමයි.

තමන් කොපමණ කාලයක් එකට ගත කරනවාද, එහෙමත් නැත්නම් භාණ්ඩ මිල දී ගැනීමේදී තීරණ ගන්නේ කොහොමද යන්න ගැන විවිධ යුවළයන්ට විවිධ අදහස් තිබෙන්න පුළුවන්. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ, ඔබ දෙදෙනා යම් කාරණයක් ගැන එකඟ නොවන විට, කෝපය පාලනය කරමින් ගැටලුවේ මුල දැකගැනීමට සිහිකල්පනාව ඔබට උපකාරවත් වන බවයි. ඔබේ හැඟීම්වලට වහල් වී ක්ෂණිකව යමක් කියනවා හෝ කරනවා වෙනුවට බයිබල් ලේඛක යාකොබ්ගේ මෙම අවවාදය පිළිපදින්න. ‘ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට ප්‍රමාද වන්න. උදහස් වීමටද ප්‍රමාද වන්න.’—යාකොබ් 1:19.

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කරද්දී ඔබේ කතා විලාසය වැදගත් වන බව මතක තබාගන්න. “ඥානවන්තයාගේ දිවෙන් සුවය වේ” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 12:18) ඔබ දෙදෙනා යමක් ගැන එකඟ නොවන විට, ඔබේ වචනවලින් සිත් රිදවීම් ඇති වෙනවාද, එහෙමත් නැත්නම් සුවයක් හටගන්නවාද? ඔබේ මුවින් පිට වන වචන නිසා එතනින් සාකච්ඡාව ඇනහිටිනවාද?එහෙමත් නැත්නම් ඔබේ වචන සමඟියට මඟ සලසනවාද? කෝපයෙන් හෝ ආවේගශීලීව කටයුතු කිරීමෙන් සිදු වන්නේ කේන්තිය ඇවිස්සීම පමණක් බව දැනටමත් අපට පැහැදිලි වී තිබෙනවා.—හිතෝපදේශ 29:22.

ඔබ දෙදෙනා යම් දෙයක් ගැන එකඟ නොවී එකිනෙකාට වචනවලින් පහර දෙන්න පටන්ගත්තොත්, එකඟ නොවූ කාරණයෙන් පිට පනින්න එපා. පුද්ගලයා කෙරෙහි නොව ප්‍රශ්නයට හේතුව කෙරෙහි අවධානය යොමු කරන්න. තමා හරි යන්න ඔප්පු කරන්න උත්සාහ කරනවා වෙනුවට, කුමක්ද හරි යන්න දැනගැනීමට උත්සාහ කරන්න. ඔබේ වචනවලින් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වැනි දෙයක් සිදුවීමට ඉඩහරින්න එපා. “කර්කශ වචනය තරහ උපදවයි” කියා බයිබලයේ සඳහන් වෙයි. (හිතෝපදේශ 15:1) එසේනම් ඔබ පවසන දෙය සහ ඔබ එය පවසන ආකාරයෙන් ඔබ දෙදෙනා අතර සාමය ඇති වෙයිද නැද්ද යන්න තීරණය විය හැකියි.

දිනන්න නොව ගැටලුව විසඳන්න අදිටන් කරගන්න

එකඟ නොවීම් සම්බන්ධයෙන් අපගේ අදිටන විය යුත්තේ දේවල් විසඳාගැනීම මිස දිනන්න නොවෙයි. ඔබ දේවල් විසඳාගන්නේ කොහොමද? හොඳම ක්‍රමය වන්නේ ඒ සම්බන්ධයෙන් බයිබලය දෙන උපදෙස් ගැන සොයා බලා ඒවා අදාළ කරගැනීමයි. මේ සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයන් විශේෂයෙන් මුල් පියවර ගත යුතුයි. මතු වී තිබෙන ගැටලුව පිළිබඳව ඔබගේ දැඩි මත ප්‍රකාශ කරනවා වෙනුවට යෙහෝවා දේවල් දෙස බලන ආකාරයට ඔබ ඒවා දෙස නොබලන්නේ මන්ද? ඔහුට යාච්ඤා කරන්න. ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරන දෙවිගේ සමාදානය අයැද සිටින්න. (එෆීස 6:18; ෆිලිප්පි 4:6, 7) ඔබේම කාරණා ගැන පමණක් නොව ඔබේ සහකරු හෝ සහකාරියගේ කාරණා ගැනත් උනන්දු වීමට දැඩි උත්සාහයක් දරන්න.—ෆිලිප්පි 2:4.

සිත් රිදීම් සහ පාලනය කරගත නොහැකි හැඟීම් මගින් ඔබේ සිතුවිලි හා ක්‍රියාවන් පාලනය වීමට ඔබ ඉඩහරිනවා නම්, එයින් බොහෝවිට සිදු වන්නේ තත්වයන් වඩාත් වේදනාත්මක පැත්තකට හැරීමයි. අනික් අතට දේවවචනයේ සඳහන් උපදෙස් අදාළ කරගනිමින් අපවම සකස් කරගැනීමට අපි කැමැත්තෙන් සිටිනවා නම්, එය සාමයටත් එකඟත්වයටත් යෙහෝවාගේ ආශීර්වාදය ලැබීමටත් මඟ පාදයි. (2 කොරින්ති 13:11) එසේනම් “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔබේ ජීවිතයට එළියක් කරගන්න. දිව්‍ය ගුණාංග විදහාපෙන්වන්න. ඔබ එසේ කරනවා නම් ‘සාමය ඇති කරන්නෙක්’ ලෙස ඔබත් ප්‍රයෝජන ලබනවා නියතයි.—යාකොබ් 3:17, 18.

ඇත්තෙන්ම අපි සියලුදෙනාම සාමකාමීව එකඟ නොවීම් විසඳාගැනීමට ඉගෙනගත යුතුයි. සමහරවිට පෞද්ගලික ඕනෑ එපාකම් පරිත්‍යාග කිරීමට සිදු වුණත් අප එසේ කළ යුතුයි. (1 කොරින්ති 6:7) මේ සම්බන්ධයෙන් පාවුල්ගේ මෙම අවවාදය අදාළ කරගැනීමත් ප්‍රයෝජනදායකයි. “උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න. . . . පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.”—කොලොස්සි 3:8-10.

ඒ කොහොම නමුත් සමහර අවස්ථාවලදී ඔබ පැවසූ යමක් නිසා ඔබ පසුව දුක් වෙන්න පුළුවන්. (යාකොබ් 3:8) මෙවැනි දෙයක් සිදු වුණොත් ඔබේ සහකරුගෙන් හෝ සහකාරියගෙන් සමාව ඉල්ලන්න. දිගින් දිගටම හරි දෙය කිරීමට උත්සාහ කරන්න. කල් යත්ම ඔබ දෙදෙනා එකඟ නොවීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයේ සෑහෙන දියුණුවක් අත් කරගෙන තිබෙන බව ඔබ දකීවි.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

විවාදයක සැර අඩු කරගැනීම සඳහා පියවර තුනක්

• ඔබේ සහකරු හෝ සහකාරියට සවන් දෙන්න. හිතෝපදේශ 10:19

• ඔහුගේ හෝ ඇගේ අදහස්වලට ගරු කරන්න. ෆිලිප්පි 2:4

• ප්‍රේමණීය ආකාරයකින් ප්‍රතිචාරයක් දක්වන්න. 1 කොරින්ති 13:4-7

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබට දැන් කළ හැකි දේවල්

පහත සඳහන් ප්‍රශ්න ඔබගේ සහකරු හෝ සහකාරියගෙන් අසා, ඔහු හෝ ඇය දෙන පිළිතුරුවලට හොඳින් සවන් දෙන්න. ඉන් පසූව ඔබේ සහකරු හෝ සහකාරියටත් ඔබෙන් ඒ ප්‍රශ්න අසා එලෙසම කළ හැකියි.

• මම සාමාන්‍යයෙන් වාද කිරීමට නැඹුරු කෙනෙක්ද?

• ඔයා අදහස් ප්‍රකාශ කරන විට මම හොඳින් සවන් දෙනවාද? එහෙමත් නැත්නම් ඔයා කතා කරලා අවසන් වෙන්නත් කලින් මම දේවල් කියන්න පටන්ගන්නවාද?

• මම කතා කරද්දී ඔයාට හැඟෙන්නේ මම අසංවේදී පුද්ගලයෙක් වගේද? එහෙමත් නැත්නම් මම තරහෙන් දේවල් කියනවා වගේද?

• අපි විශේෂයෙන් යම් කාරණයක් ගැන එකඟ නොවන විට, අපි අදහස් හුවමාරු කරගන්නා ආකාරය දියුණු කිරීමට අපි දෙන්නාටම කරන්න පුළුවන් මොනවාද?

[21වන පිටුවේ පින්තූරය]

ඔබ සවන් දෙනවාද?

[22වන පිටුවේ පින්තූරය]

“එයාට මං ගැන කිසිම උනන්දුවක් නැහැ. මට ආදරේ නැහැ!”

[22වන පිටුවේ පින්තූරය]

“ඔයාට මාත් එක්ක ගත කරන්න නම් වෙලාවක් නැහැ!”

[22වන පිටුවේ පින්තූරය]

“ඇයි මම ගිය මාසේ ඔයත් එක්ක දවසක්ම ගත කළේ!”