Skip to content

පටුනට යන්න

සුන්දර හෙට දවසක් සිහිනයක් නොවෙයි!

සුන්දර හෙට දවසක් සිහිනයක් නොවෙයි!

සුන්දර හෙට දවසක් සිහිනයක් නොවෙයි!

මිනිසුන් හැටියට අප කාගෙත් පැතුම සාමයෙන් එකට විසීමයි. සාමය ගැන නිතර නිතර ලෝක නායකයෝ කතා කරනවා. උදාහරණයකට වර්ෂ 2000 අගෝස්තු මාසයේදී ආගමික නායකයන් 1,000කට වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ නිව් යෝක් මූලස්ථානයේ රැස් වූයේ ලෝක සාමය ගැන සාකච්ඡා කිරීමටයි. විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානයට යොමු වුණේ ලෝකයේ පවතින ගැටුම්කාරී තත්වයන්ට විසඳුම් සොයන ආකාරය වෙතටයි. නමුත් ඔවුන් එවැනි දේවල් ගැන සාකච්ඡා කළත් එහිදී ඔවුන් අතරත් බොහෝ මතභේද ඇති වුණා. උදාහරණයකට එක්තරා යුදෙව් ආගමික නායකයෙක් එම සම්මන්ත්‍රණයට සහභාගි වූ නිසා එක් මුස්ලිම් නිලධාරියෙක් එයට සහභාගි වීම වර්ජනය කළා. චීන රාජ්‍යය අසතුටු කිරීමට සංවිධායකයන් අකමැති වූ නිසා ඔවුන් දලායි ලාමා නම් බෞද්ධ නායකයාට ආරාධනා කළේ නැහැ. මෙයද බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වුණා.

වර්ෂ 2003 ඔක්තෝබර් මාසයේ එවැනිම රැස්වීමක් ආසියානූ හා පැසිෆික් කලාපයේ රටවල් 21ක් විසින් තායිලන්තයේ සංවිධානය කරනු ලැබුවා. ත්‍රස්තවාදී කණ්ඩායම් තුරන් කිරීමටත්, ලෝකයේ ආරක්ෂාව විවිධ ක්‍රමවලින් තවත් තර කිරීමටත් ඔවුන් සියල්ලෝම සම්මුතියකට එළඹුණා. නමුත් එම රැස්වීමේදීත් නොයෙකුත් මතභේද හටගත්තා. උදාහරණයකට එක රටක අගමැති කෙනෙක් යුදෙව් අයට විරුද්ධව ඉතා පහත් විදිහට කතා කළ බව චෝදනා කරමින් කිහිපදෙනෙකු තම විරුද්ධත්වය පළ කළා.

ප්‍රතිඵල නැත්තේ ඇයි?

ලෝක සාමය ගැන කොතරම් කතා කළත් කතාවේ තරමට ප්‍රතිඵල දක්නට නැහැ. විවිධ අයගේ අවංක වෑයම පැසසිය යුතු වුණත් 21වන සියවසට පා තබා සිටින අපට සාමය උදා වී නැත්තේ ඇයි කියන ප්‍රශ්නය සලකා බැලිය යුතුයි.

මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ආසියානූ හා පැසිෆික් කලාපයේ රටවල් පැවැත්වූ රැස්වීමට සහභාගි වූ අගමැතිවරයෙක් උත්සාහ කළා. ඔහු කිව්වේ “ජාතික අභිමානය” ගැටලුවක් වන බවයි. ඔහු අදහස් කළේ සෑම රටකම තම ජාතිය සම්බන්ධයෙන් ඇති අභිමානවත් හැඟීම් ලෝක සාමයට බාධාවක් විය හැකි බවයි. ඇත්තෙන්ම සෑම ජාතියක්ම හා වාර්ගික කණ්ඩායමක්ම උත්සාහ කරන්නේ තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් ස්වාධීනව තීරණ ගැනීමට තමන් සතු අයිතිය තහවුරු කරගැනීමටයි. ඒත් සමඟම එම ජාතීන් එකිනෙකා අතර තරඟකාරිත්වය හා තණ්හාවක් දක්නට ලැබෙන නිසා ගැටලුව තවත් උත්සන්න වෙනවා. එමනිසා රට ජාතියේ අවශ්‍යතාව හා සාමය පතන මිනිස් සංහතියේ අවශ්‍යතාව අතර ගැටුමක් හටගන්නා විට නිතරම මුල් තැන දෙන්නේ රට ජාතියේ අවශ්‍යතාවටයි.

ශුද්ධ බයිබලයේ එක් ලේඛකයෙක් ජාතික අභිමානය හෙවත් ජාතිවාදය විස්තර කර තිබෙන්නේ ‘විනාශ කරන වසංගතයක්’ හැටියටයි. (ගීතාවලිය 91:3) මිනිස් සමාජයේ මෙතෙක් සිදු වී ඇති ඛේදවාචක දෙස බලද්දී ජාතිවාදය මහත් විනාශයක් ඇති කරවන වසංගතයකට සමාන කිරීම කොතරම් උචිතද කියා පෙනෙනවා. ඇත්තෙන්ම ජාතිවාදය සියවස් ගණනාවක් පුරා පැවත ඇති වසංගතයක්. අදත් බොහෝ භේද ඇති වන්නේ ඒ නිසයි. ලෝක නායකයන් කොතරම් උත්සාහ කළත් ඔවුන්ගේ ප්‍රයත්න අසාර්ථක වී තිබෙන්නේ ඒ හේතුවෙනුයි.

බොහෝ බලධාරීන් ලෝක ගැටලුවලට හේතු වශ යෙන් ජාතිවාදය හා ආත්මාර්ථය සඳහන් කරනවා. උදාහරණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහා ලේකම්වරයෙක් වන යූ තාන්ට් පැවසුවේ “අද ලෝකයේ අපට මුහුණ දෙන්න සිදු වන බොහෝ ගැටලුවලට එක් හේතුවක් වන්නේ පටු ජාතිවාදී ආකල්ප” කියායි. මෙම හේතුව බොහෝදෙනෙක් හඳුනාගෙන තිබුණත් තත්වය වෙනස් වී නැහැ. ජාතීන් බොහොමයක් තම ස්වෛරීභාවය තහවුරු කිරීමට මහත් අරගලයකට මැදි වෙලයි සිටින්නේ. ඇත්තෙන්ම වෙනත් කිසිම ජාතියක් හෝ පාර්ශ්වයකට කොයි අන්දමකින්වත් බුරුලක් දෙන්න කවුරුත් කැමති නැහැ. උදාහරණයකට යුරෝපා සංගමය ගැන එක්තරා පුවත්පතක මෙසේ සඳහන් වුණා. “යුරෝපා දේශපාලන ප්‍රතිපත්තියේ ප්‍රධාන වශයෙන් තරඟකාරිත්වය හා අවිශ්වාසය යන ගතිලක්ෂණ දක්නට ලැබෙනවා. එක සාමාජික රටක්වත් කැමති වන්නේ නැහැ තවත් රටක් මොනයම් ආකාරයකින් හෝ වාසියක් ලබනවා දකින්න.”—International Herald Tribune.

“මනුෂ්‍යයෙකු විසින් අනිකෙකුට අන්තරාය සිදු කරන” බව සඳහන් කරමින් මිනිස් පාලනයේ ප්‍රතිඵල ගැන දේවවචනය වන බයිබලයේ නිවැරදිව විස්තර කර තිබෙනවා. (දේශනාකාරයා 8:9) මිනිස් සමාජය විවිධ ආකාරවලින් භේදභින්න වී සිටිනවා. එහි ප්‍රතිඵලය බයිබලයේ සඳහන් මෙම ප්‍රතිපත්තියෙන්ද පැහැදිලි වෙනවා. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව සොයමින් සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙයි.”—හිතෝපදේශ 18:1.

එසේනම් අපට සුදුසු වන්නේ කාගේ පාලනයක්ද? අපට අවශ්‍ය හැම දෙයක්ම හොඳටම දන්නේ අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවියි. මිනිසුන් ස්වාධීනව ආණ්ඩු පිහිටුවා මහජනයාව පාලනය කිරීම ඔහුගේ අරමුණට ඇතුළත් වුණේ නැහැ. මිනිසා දෙවිගේ අරමුණට පිටුපා තිබෙනවා. මුළු විශ්වයේ තිබෙන සියලු දේත් දෙවිට අයිති බවත් ඔවුන් අමතක කරනවා. දෙවි ගැන බයිබලයෙහි පවසන්නේ මෙසේයි. “යෙහෝවා උතුම් දෙවි කෙනෙකි; සියලු දෙවිවරුන්ට වඩා උතුම් රජ කෙනෙකි. පොළොවේ ගැඹුරු තැන් ඔහු අතේය; කඳු මුදුන්ද ඔහුගේය. මුහුද ඔහුගේය; ඔහු එය සෑදුවේය; ඔහු අතින් වියළි බිම තැනුවේය.” (ගීතාවලිය 95:3-5) එසේනම් අපව පාලනය කළ යුතු නියම තැනැත්තා යෙහෝවා දෙවියි. මිනිසා ස්වාධීන ආණ්ඩු පිහිටුවාගැනීමෙන් දෙවිගේ අරමුණුවලට විරුද්ධවයි ක්‍රියා කරන්නේ.—ගීතාවලිය 2:2.

විසඳුම කුමක්ද?

ලෝකය පුරාම සාමය හා සමඟිය උදා කිරීමට එකම මඟ සියලුදෙනාටම එක සේ සලකන ලෝක ආණ්ඩුවක් පිහිටුවීමයි. විසඳුම මෙය බව බොහෝදෙනෙකු පිළිගත්තත් එසේ පාලනය කිරීමට සුදුසු කවුද යන්න සම්බන්ධයෙන් ඔවුන් එළඹී තිබෙන නිගමනය වැරදියි. උදාහරණයකට ආගමික නායකයන් ඇතුළුව තවත් බොහෝදෙනෙක් ලෝකයේ සාමය හා සමඟිය උදා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි බලාපොරොත්තු තැබීමට උනන්දු කරනවා. මෙවැනි මිනිස් සංවිධානවලට ඉතා උතුම් ඉලක්ක තිබුණත් මෙතෙක් බිහි වූ කිසිම සංවිධානයකට ලෝකයේ පවතින ගැටලු විසඳීමට හැකි වී නැහැ. ඇත්තෙන්ම එම සංවිධාන අතර එකඟතාවක් වෙනුවට දක්නට ලැබෙන්නේ නොයෙකුත් මතභේදයි.

මිනිස් සංවිධාන තුළින් විසඳුම් අපේක්ෂා කිරීම අනතුරුදායකයි කියා බයිබලයෙහි සඳහන් වෙනවා. එහි පවසන්නේ “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න” කියායි. (ගීතාවලිය 146:3) විසඳුමක් ලබාගැනීමට මඟක් නැතැයි කියා ඉන් අදහස් කරනවාද? නැහැ. විසඳුමක් තිබෙනවා. නමුත් වෙනස් ක්‍රමයකින්.

බොහෝදෙනෙකු නොදැන සිටියත් දෙවි දැනටමත් ලෝකය පුරාම සාමය හා සමඟිය උදා කරදිය හැකි ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. යෙහෝවා දෙවි මෙසේ පවසනවා. “සියොන් නම් මාගේ ශුද්ධ හෙල මතුයෙහි මාගේ රජ්ජුරුවන් සිටෙව්වෙමි. . . .මාගෙන් ඉල්ලන්න; ඔබේ උරුමය කොට ජාතීන්ද ඔබේ කොටසට පොළොව සීමාන්තය දක්වාද දෙන්නෙමි.” (ගීතාවලිය 2:6, 8) මෙම රජුව පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවි බව ඔබ දුටුවාද? හත්වන පදයට අනුව දෙවි ඔහුව “මාගේ පුත්‍රයා” ලෙස හඳුන්වනවා. මින් අදහස් කරන්නේ දෙවිගේ ශ්‍රේෂ්ඨ පුත් යේසුස් ක්‍රිස්තුස්ව එම ආණ්ඩුවේ රජු හැටියට සියලුම බලතල සහිතව පත් කර ඇති බවයි.

ලෝකයේ සාමය හා සමඟියට මඟ

දෙවි විසින් පිහිටුවා ඇති මෙම පාලනය පිළිගැනීමට බොහෝදෙනෙකු කැමති වෙන්නේ නැහැ. බොහෝ ජාතීන් තරයේ කියා සිටින්නේ තමන්ට ස්වාධීන පාලනයක් කිරීමට හැකි බවයි. නමුත් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන අයට සිදු වන දේ ගැන ගීතාවලිය 2:9හි සඳහන් වන්නේ මෙයයි. “ඔබ [දෙවිගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්] ඔවුන් යදණ්ඩකින් බිඳින්නෙහිය; කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් කැබලි කොට දමන්නෙහිය.” මෙම ලෝකයේ ජාතීන්, දැන සිටියත් නැතත් ඔවුන්ට අවසානයේදී දෙවි සමඟ යුද්ධ වැදීමට සිදු වෙයි. බයිබලයේ අවසන් පොතෙහි, “මුළු ලොව පුරාම සිටින රජුන්ව සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට” රැස් කරනු ලබන බව සඳහන් වෙනවා. (එළිදරව් 16:14) එම යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියට භේද ඇති කරවන සියලුම ජාතීන්ව විනාශ කරනු ලබනවා. එවිට දෙවිගේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙයි.

මෙම විශ්වයේ නීත්‍යනුකූල පාලකයා යෙහෝවා දෙවියි. ඔහුගේ බලයට හා ප්‍රඥාවට සීමාවක් නැහැ. එමනිසා මෙලොවෙහි සාමය හා සමඟිය උදා කිරීමට ඔහු තම පුත් මාර්ගයෙන් සාර්ථකව පියවර ගනී. සියලුමදෙනා සමඟියෙන් ජීවත් වන නිසා ධර්මිෂ්ඨ සමාජයක් අපේක්ෂාවෙන් සිටි සැමෝටම ඉමහත් ප්‍රීතියක් ලැබෙයි. ඒ ගැන විස්තර බයිබලයෙහි ගීතාවලිය 72හි සොයාගන්න ඔබට පුළුවන්. දෙවිගේ පුත්‍රයාගේ පාලනය මිනිසා වෙනුවෙන් ඉටු කරන දේ පිළිබඳව ලස්සන විස්තරයක් එහි අඩංගුයි. ඒ කාලයේදී සැබෑ සාමය හා සමඟිය පොළොව පුරාම දක්නට ලැබෙයි. කිසිම කෙනෙක් තාඩන පීඩනවලට හෝ ප්‍රචණ්ඩකාරිත්වයට ලක් වන්නේවත් දුගීකම අද්දකින්නේවත් නැහැ.

භේදභින්න වූ මේ සමාජයේ සිටින සමහරදෙනෙක් සිතන්නේ එවැනි දෙයක් සිදු විය නොහැකි බවයි. නමුත් දෙවි මෙතෙක් පොරොන්දු වී ඇති කිසිම දෙයක් බොරු වී නැහැ. (යෙසායා 55:10, 11) එසේනම් දෙවි පොරොන්දු වී ඇති දේ දැකගන්න ඔබ කැමතිද? ඇත්තෙන්ම දැනටමත් ඒ දේවල් භුක්ති විඳින්න කැමති ජන පිරිසක් සිටිනවා. ඔවුන් සියලුම ජාතීන් අතරින් පැමිණියත් ඔවුන් අතර ගැටුම් නැහැ. ඔවුන් සතුටින් එකා මෙන් එකමුතුව දෙවිගේ පාලනයට යටත් වී සිටින සෙනඟක්. (යෙසායා 2:2-4) ඔවුන්ව හඳුන්වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියටයි. ඔවුන් රැස්වීම් පවත්වන ශාලාවලට ගොස් ඔවුන්ව හමු වී ඔවුන් සමඟ ඇසුරු කරන්න ඔබටත් පුළුවන්. දෙවිගේ පාලනයට යටත් වී සදහටම සාමයෙන් හා සමඟියෙන් ජීවත් වීමේ අවස්ථාව ලබාගැනීමට ඔවුන් ඔබට උපකාර කරනවා නියතයි.

[7වන පිටුවේ පින්තූර]

සාමයෙන් හා සමඟියෙන් ජීවත් වෙන්න සියලුම ජාතීන්ගෙන් සමන්විත සෙනඟක් සූදානම් වෙනවා

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Saeed Khan/AFP/Getty Images

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

වැලපෙන කාන්තාව: Igor Dutina/AFP/Getty Images; විරෝධය පළ කරන අය: Said Khatib/AFP/Getty Images; යුධ රථ: Joseph Barrak/AFP/Getty Images