Skip to content

පටුනට යන්න

ඔබේ රැකියාව

ඔබේ රැකියාව

ඔබේ රැකියාව

“වැඩ! වැඩ! කරන්න තව හුඟාක් වැඩ තිබෙනවා කියන එකම කොච්චර සතුටක්ද!”—කැතරින් මැන්ස්ෆීල්ඩ් නමැති ලේඛිකාව (1888-1923).

ඉහත සඳහන් වූ ලේඛිකාවගේ හැඟීමම ඔබටත් තිබෙනවාද? ඔබ ඔබේ රැකියාව දෙස බලන්නේ කෙසේද? වැඩ කරන සතියක් යනු විවේකයෙන් ගත කිරීමට තිබෙන සති අන්ත දෙකක් මැද වැඩ කිරීමට තිබෙන අමිහිරි දින පහක් කියා ඔබට හිතෙනවාද? එසේත් නැත්නම් ඔබ කරන රැකියාවට ඔබ වහල් වෙලාද?

වැඩිදෙනෙක් තමන්ගේ දිවා කාලය කැප කරන්නේ තමන්ගේ රැකියාවටයි. බොහෝදුරට අප කරන රැකියාව තීරණය වන්නේ අප ජීවත් වෙන්නේ කෙබඳු තැනකද, අපගේ ජීවන රටාව කොයි ආකාරයේ එකක්ද යන්න මතයි. බොහෝදෙනෙක් හිතන්නේ රැකියාව කියන්නේ තමන්ගේ මුළු ජීවිතයම කියායි. අපගෙන් සමහරදෙනෙක් තමන්ගේ රැකියාවෙන් ලබන්නේ ඉමහත් තෘප්තියක්. තවත් අය තමන්ගේ රැකියාවේ වටිනාකම මනින්නේ ඉන් ලැබෙන වැටුපෙන් හෝ එයින් තමාට ලැබෙන ප්‍රසිද්ධියෙන්. තවත් අයට රැකියාව කියන දෙය නිකම්ම නිකම් කාලය වැය කිරීමට තිබෙන දෙයක්. නැත්නම් කාලය නාස්ති කරන දෙයක්.

රැකියාව වෙනුවෙන්ම ජීවත් වෙන අයත් ජීවත් වීම සඳහා රැකියාවක් කරන අයත් ඒ අතර ඉන්නවා. තවත් අයට මිය යෑමට සිදු වන්නෙත් තමන්ගේ රැකියාව නිසයි. උදාහරණයක් වශයෙන්, “යුද්ධ හෝ මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චිය යන දේවල් නිසා මිය ගිය සංඛ්‍යාවට වඩා” රැකියාව නිසා ඇති වන පීඩනය හා මරණ සංඛ්‍යාව වැඩි බව මෑතකදී නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක පළ වුණා. මේ ගැන අදහස් දක්වමින් ද ගාඩියන් නමැති ලන්ඩන් පුවත්පත වාර්තා කළේ මෙහෙමයි. “රැකියාව හා සම්බන්ධව සිදු වන අනතුරුවලින් හෝ හටගන්නා රෝගවලින් මිලියන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සෑම වසරකම මිය යනවා. . . . දූවිලිවලට, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසාද ශබ්ද දූෂණය හා විකිරණය නිසා ඇති වන පිළිකා නිසාද හෘද රෝග හා හදිසි ආබාධ ඇති වී තිබෙනවා.” අද රැකියාවල තත්වය දෙස බලන විට, බාල වයස්කාර ළමුන් රැකියාව සඳහා යොදාගැනීම හා බලහත්කාරයෙන් වැඩගැනීමද අද දින වුණත් සුලභ දෙයක්.

මීට අමතරව, යම් පුද්ගලයෙකු තමාගේ රැකියාවේ උසස් වීම් ලබන විට, ඔහු තුළ ඇති වන යම් මානසික තත්වයක් ගැන මානසික විශේෂඥ ස්ටීවන් බර්ග්ලස් මෙසේ පවසනවා. එවැනි කෙනෙක් තුළ “භය, මානසික පීඩනය, බලාපොරොත්තුවක් නැතිකම හා කලකිරීම ඇති වෙනවා. එසේ වෙන්නේ තමා රැකියාවට, නැත්නම් තමාගේ රැකියාවේ උසස් වීම්වලට හිර වී සිටින බවත් ඉන් කිසිම විදිහකින් ගැලවී යෑමට නොහැකි බවත් තම රැකියාවෙන් කිසිම මානසික තෘප්තියක් තමාට ලබාගත නොහැකි බවත් ඔහුට දැනෙන නිසයි.”

කඩිසරව වැඩ කිරීම හා වැඩට වහල් වීම

අද දින සමාජයේ හුඟදෙනෙක් දීර්ඝ පැය ගණනක් වැඩ කරමින් තම රැකියාවේ නියැලෙනවා. මේ නිසා කඩිසරව වැඩ කිරීම හා වැඩට වහල් වීම අතර තිබෙන වෙනස වටහාගැනීම වැදගත්. වැඩට වහල් වූ බොහෝදෙනෙක් සිතන්නේ තමාගේ රැකියා ස්ථානය මේ අවිනිශ්චිත ලෝකයේ තමාට තිබෙන සුරක්ෂිතම හා හොඳම තැන බවයි. කඩිසර ලෙස වැඩ කරන අය අද්දකින්නේ ඊට වෙනස් දෙයක්. තමාගේ රැකියාව අත්‍යවශ්‍ය දෙයක් බවත් සමහරවිට එය තමා අතින් ඉටු විය යුතු වගකීමක් බවත් ඒ අයගේ අදහසයි. රැකියාවට වහල් වූ අය තමාගේ ජීවිතයේ අනෙකුත් සියලුම දේවල් පසෙකට දමනවා. නමුත් කඩිසරව වැඩ කරන අය දන්නවා තමාගේ රැකියාව නිම කරන්නේ කොයි වේලාවේද ජීවිතයේ වෙනත් කටයුතුවලට මනස යොමු කරන්නේ කොයි වේලාවේද පවුලේ අයගේ කාරණා කටයුතුවලට කාලය මිඩංගු කළ යුත්තේ කොයි වේලාවේද යනාදි වශයෙන්. වැඩට වහල් වූ අය තමන් කරන අධික වැඩ ප්‍රමාණයෙන් අමුතුම තෘප්තියක් ලබනවා. ඒ නිසා තව තවත් වැඩ කරන්නට ඔවුන්ට සිතෙනවා. නමුත් කඩිසරව වැඩ කරන අයට එවන් හැඟීමක් ඇති වෙන්නේ නැහැ.

නවීන සමාජය විසින් අද දින මේ දෙක අතර වෙනස පැහැදිලිව වෙන් කර හඳුනාගෙන නැහැ. එනම් වැඩට වහල් වීම සහ කඩිසර ලෙස වැඩ කිරීම මේ සමාජයේ බොහෝදෙනෙක් පටලවාගත් දෙයක්. ජංගම දුරකථන, පේජර් යන්ත්‍ර වගේ දේවල් නිසාත් සමහරුන්ට නිවසේ සිට රැකියාව කරන්නට සිදු වෙලා. රැකියාවට වෙලාවක් සහ තැනක් නැති තත්වයට පත් වී තිබෙන නිසා බොහෝදෙනෙකුට රැකියාව මහා කරදරයක්.

රැකියාව කරදරයක් කියා බොහෝදෙනෙක් සිතුවත් ඇතැම් අය එම තත්වයට මුහුණ දෙන්න උත්සාහ කරනවා. ඒ කෙසේද? තමන්ගේ රැකියා ස්ථානලවදී ඇති වන වෙහෙස හා පීඩනයට මුහුණ දීම සඳහා ආගමික කාරණා ගැන සිත යොමු කිරීමට පියවර ගැනීමෙනුයි. දැන් රැකියා ස්ථානයේ යම් ආකාරයකින් ආගම සම්බන්ධ කරගැනීම ජනප්‍රිය දෙයක් බවට පත් වී තිබෙන බව ද සැන් ෆ්‍රැන්සිස්කෝ එක්සැමිනර් නම් පුවත් පතෙහි සඳහන් වෙනවා.

එක්සත් ජනපදයේ තාක්ෂණික උපකරණ නිපදවන කර්මාන්ත පුරවරය පිහිටියේ සිලිකන් වැලි නමැති ප්‍රදේශයේයි. මෑතකදී පළ වූ එක්තරා වාර්තාවක මෙසේ සඳහන් වුණා. “මෙහි රැකියා ස්ථානවල වාහන ගාල් කරන තැන් එන්න එන්නම හිස් වුණත් සැන්දෑවේ බයිබලය පාඩම් කරන මධ්‍යස්ථානවල වාහන ගාල් කරන තැන් අතුරු සිදුරු නැතිව පිරී තිබෙනවා.” එහි ඇති සුවිශේෂත්වය කුමක් වුවත්, ලොව වටා සිටින බොහෝදෙනෙක් සොයාගෙන ඇති දේ නම්, රැකියාව කෙරෙහි තමා තුළ ඇති ආකල්පය හොඳ අතට වෙනස් කිරීමට බයිබලය බොහෝ සෙයින් තමන්ට උපකාර වී ඇති බවයි. ඒ නිසාම ජීවිතය දෙස වඩාත් සමබරව බලන්නට ඔවුන්ට හැකි වී තිබෙනවා.

රැකියාව දෙස සමබරව බලන්නට අපට බයිබලයෙන් උපකාර ලැබිය හැක්කේ කොහොමද? නූතන රැකියාවල ඇති යම් යම් අභියෝගවලට සාර්ථකව මුහුණ දී ජයගන්නට අපට උපකාර කළ හැකි යම් බයිබල් ප්‍රතිපත්ති තිබෙනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපට ඊළඟ ලිපියේදී සලකා බැලිය හැකියි.