Skip to content

පටුනට යන්න

ඔබේ රැකියාව ඔබට බරක්ද නැත්නම් සතුටක්ද?

ඔබේ රැකියාව ඔබට බරක්ද නැත්නම් සතුටක්ද?

ඔබේ රැකියාව ඔබට බරක්ද නැත්නම් සතුටක්ද?

“මනුෂ්‍යයෙකු විසින් . . . සිතින් තමාගේ උත්සාහයේ යහපත විඳිනවාට වඩා හොඳ දෙයක් නැත.”—දේශනාකාරයා 2:24.

“හවස් වෙනකොට මැරිලා වගේ.” මෑතකදී කරන ලද සමීක්ෂණයකදී රැකියා කරන සේවකයන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් පැවසුවේ එසේයි. රැකියාවේදී කරන වැඩ නිසා මානසික පීඩනයට ලක් වී, ඒ මදිවට ඉතිරි වැඩ නිවෙසටත් රැගෙන ගොස් කරන සේවකයන් ගැන සිතන්න. මේ අයට තමන්ගේ ස්වාමිවරුන්ගෙන් යම් ප්‍රශංසාවක් හෝ වර්ණනාවක් ලැබෙන්නේ කලාතුරකින්. මේ නිසා ඔවුන්ට එසේ හැඟීම ගැන පුදුම විය යුතු නැහැ.

අද මහා පරිමාණ කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ට හැඟෙන්නේ එම ආයතනය තමන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති බව සහ තමන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ඊට නොලැබෙන බවයි. යන්ත්‍ර සූත්‍රවලින් කෙරෙන වැඩ සම්භාරය දෙස බලද්දී තමාගේ ශ්‍රමයෙන් කෙරෙන වැඩ එතරම් වටින්නේ නැති බවක් තමයි ඔවුන්ට හැඟෙන්නේ. බොහෝදෙනෙකුට වැඩ කිරීමට පෙලඹීමක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවත් මොට වෙලා. මේ නිසාම රැකියාව කෙරෙහි තිබෙන ආකල්පය වෙනස් වීම ඉබේටම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ කුසලතාවන් ප්‍රයෝජනයට ගනිමින් යමක් නිර්මාණය කිරීමට හෝ උපරිමය දීමට තිබෙන පෙලඹීමත් අඩුයි. මේ නිසා රැකියාව කෙරෙහි බොහෝදෙනෙකුට තිබෙන්නේ උදාසීන ආකල්පයක්. සමහරවිට බොහෝදෙනෙකුට මේ නිසා තමන්ගේ රැකියාව එපා විය හැකියි.

රැකියාව ගැන අපට තිබෙන්නේ මොන වගේ ආකල්පයක්ද?

අපගේ රැකියාවේ යම් තත්වයන් අපට වෙනස් කරන්නට බැරි බව ඇත්තයි. නමුත් අපට අපේ ආකල්පවල වෙනසක් කරන්නට පුළුවන් නේද? ඔබ කරන රැකියාව ගැන අඩුවෙන් සිතන්නට ඔබ පෙලඹිලා නම්, මේ කාරණය සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය හා ඊට අදාළ ප්‍රතිපත්ති සමහරක් ගැන සලකා බැලීම හොඳයි නේද? (දේශනාකාරයා 5:18) මේ ප්‍රතිපත්ති සලකා බැලීම නිසා තමන්ට යම් ප්‍රමාණයකට සෑහීමක් හා සන්තෝෂයක් ලැබී තිබෙන බව බොහෝදෙනෙකුට පෙනී ගොස් තිබෙනවා.

දෙවි උසස්ම වැඩකරුය. ඔව්, දෙවි වැඩ කරන කෙනෙක්. සමහරවිට ඔබ දෙවි ගැන ඒ විදිහට සිතලා නැතිව ඇති. නමුත් බයිබලයේ මුල්ම පාඨයේ, එනම් උත්පත්ති 1:1හි දෙවි පවසන්නේ ඔහු අහසත් පොළොවත් මැවීමේ කාර්යයෙහි නිරත වුණා කියලයි. මැවීම ආරම්භ කරද්දී ඔහු සැලසුම්කරුවෙක්, සංවිධායකයෙක්, ඉංජිනේරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, විශේෂඥයෙක්, ක්‍රම සම්පාදකයෙක්, රසායන විද්‍යාඥයෙක්, ජීව විද්‍යාඥයෙක්, සත්ව විද්‍යාඥයෙක්, ක්‍රමවේදියෙක්, භාෂා විශාරදයෙක් හැටියට ක්‍රියා කළා.—හිතෝපදේශ 8:12, 22-31.

දෙවිගේ වැඩ කොයි වගේ තත්වයක තිබුණාද? බයිබලය අපට කියන්නේ ඒවා “ඉතා යහපත් විය” කියායි. (උත්පත්ති 1:4, 31) ඇත්තෙන්ම, මැවිල්ල “දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි.” අපත් ඔහුට ප්‍රශංසා කළ යුතුයි!—ගීතාවලිය 19:1; 148:1.

එහෙත්, අහස පොළොව හා පළමු මිනිස් යුවළව මැවීමෙන්ම පමණක් දෙවි තම වැඩ නැවැත්වූයේ නැහැ. යෙහෝවාගේ පුත් යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ, “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය” කියායි. (යොහන් 5:17) යෙහෝවා දිගටම වැඩ කරමින් සිටිනවා. ඔහු තමන්ගේ මැවිලිවලට අවශ්‍ය ආහාර ලබා දෙනවා. ඔහුගේ භෞතික මැවිල්ල පෝෂණය කරනවා. ඒ වගේම ඔහුට නමස්කාර කරන ඇදහිලිවන්තයන්ව ගලවාගැනීමට ක්‍රියා කරනවා. (නෙහෙමියා 9:6; ගීතාවලිය 36:6; 145:15, 16) එසේම, යම් යම් වැඩ කිරීම සඳහා ඔහු තමාගේ ජනයාව, එනම් ‘දෙවිගේ හවුල් වැඩ කරන්නන්ව’ සහභාගි කරගන්නවා.—1 කොරින්ති 3:9.

වැඩ කිරීම සතුට ගෙන දෙන අද්දැකීමක් කරගන්න. වැඩ කිරීම බරක් වෙහෙසක් කියා බයිබලය අඟවනවාද? ආදම් සහ ඒව කැරලි ගැසීම නිසා ඊට දුන් දඬුවමක් වශයෙන් දෙවි ඔවුන්ට වැඩ කිරීමට පැවරුවා කියා උත්පත්ති 3:17-19න් අඟවන බවක් පෙනෙන්න පුළුවන්. දෙවි ආදම්ට පැවසුවේ මෙයයි. ‘ඔබ භූමියට හැරී යන තෙක් ඔබේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය.’ ඉන් අදහස් කළේ මිනිසුන් කරන හැම වැඩක්ම වෙහෙසක් හැටියට සැලකිය යුතු බවද?

නැහැ. ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා, ඒදන් උයනේ තිබූ පාරාදීසය මුළු ලොව පුරා ව්‍යාප්ත වුණේ නැහැ. මන්ද ඒ භූමිය දෙවිගේ ශාපයට ලක් වුණා. භූමියේ යමක් වගා කර එහි පල කෑම සඳහා මිනිසාට දහඩිය වගුරා මහන්සි වීමට සිදු වුණා.—රෝම 8:20, 21.

වැඩ කිරීම මහන්සියක් හෝ බරක් ලෙස සිතනවා වෙනුවට බයිබලය පෙන්වන්නේ එය සතුටක් තෘප්තියක් ලැබිය හැකි දෙයක් ලෙසටයි. පෙර සඳහන් කළාක් මෙන් දෙවිත් කඩිසරව වැඩ කරන කෙනෙක්. දෙවි මිනිසාව තමාගේ ගුණාංග ඇතුව මැවූ නිසා, තම භූමික මැවිල්ල බලාගැනීමට හා එය පාලනය කිරීමට මිනිසාට හැකියාව හා අවසරය දී තිබෙනවා. (උත්පත්ති 1:26, 28; 2:15) වැඩ කිරීමට මිනිසාට නියම කරනු ලැබුවේ උත්පත්ති 3:19හි වාර්තා වී ඇති වචන දෙවි විසින් ප්‍රකාශ කිරීමට පෙරයි. වැඩ කිරීම හෙවත් රැකියාව සතුටක්, තෘප්තියක් නොලැබෙන දෙයක් නම්, යෙහෝවා කවදාවත් එවැනි දෙයක නිරත වීමට ජනයාගෙන් ඉල්ලා සිටින්නේ නැහැ. නෝවා සහ ඔහුගේ පවුලේ අයට ජල ගැල්මට පෙර හා පසුව බොහෝ වැඩ කරන්නට තිබුණා. ක්‍රිස්තියානීන් විසූ යුගයේදී යේසුස්ගේ ගෝලයන්ගෙන්ද වැඩ කරන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා.—1 තෙසලෝනික 4:11.

එහෙත්, මේ කාලයේ වැඩ කිරීම වෙහෙසකාරී දෙයක් බව අපි හැමෝම දන්නවා. මානසික පීඩනය, හදිසි විපත්, එපාවීම, බලාපොරොත්තු කඩවීම, තරඟකාරී බව, රැවටීම සහ අයුක්තිය යන මේවා අද රැකියාවල තිබෙන “කටුද ගොකටුද” වෙයි. නමුත් වැඩ කිරීම බරක් නොවෙයි.දේශනාකාරයා 3:13හි පවසන විදිහට, වැඩ කිරීම හා එහි ප්‍රතිඵල බයිබලයේ විස්තර කර තිබෙන්නේ දෙවිගෙන් ලද දීමනා හැටියටයි.—“රැකියාව හා සම්බන්ධ මානසික පීඩනයට මුහුණ දීම” යන කොටුව බලන්න.

ඔබේ රැකියාවෙන් ඔබට දෙවිව මහිමයට පත් කළ හැකියි. තමාගේ රැකියාව දක්ෂ ලෙස කැපවීමෙන් කරන කෙනෙකුට කවුරුත් කැමතියි. කාගේත් ප්‍රශංසාව ඔහුට හිමි වෙනවා. යම් වැඩක් උපරිම හොඳින් කරන ලෙසටයි බයිබලය දිරිගන්වන්නේ. දෙවි යමක් කරන්නේ උසස්ම තත්වයෙන්. ඔහු අපට දක්ෂතා හා හැකියාවන් දී තිබෙනවා. ඔහු අපෙන් ඉල්ලා සිටින්නෙත් අපේ දක්ෂතා යහපත් අරමුණකට යොදවන්න කියායි. නිදසුනක් වශයෙන්, ඉපැරණි ඊශ්‍රායෙලයේ මණ්ඩපය සාදන විට, කැටයම් හා වෙනත් අවශ්‍ය කාර්යයන් කිරීම සඳහා යෙහෝවා බෙශලෙල් සහ ඔහොලියාබ්ට ප්‍රඥාව, අවබෝධය, දැනුම දුන්නා. (නික්මයාම 31:1-11) මින් පෙන්වන්නේ දෙවි ඔවුන් කරන වැඩ, ඔවුන්ගේ ශිල්පීය දක්ෂතා, සැලසුම් හා වෙනත් දේවල් කෙරෙහි සුවිශේෂී සැලකිල්ලක් දැක්වූ බවයි.

අපගේ පෞද්ගලික හැකියාවන් හා වැඩ සම්බන්ධයෙන් ඇති පුරුදු ගැන අප ඉතා ගැඹුරින් සැලකිලිමත් විය යුතු බව මින් පෙනෙනවා. අප අපේ දක්ෂතා හා කුසලතා දෙස බැලිය යුත්තේ දෙවිගෙන් ලද දීමනාවන් ලෙසටයි. ඒ නිසා අපි ඒවා සැහැල්ලුවට නොගත යුතුයි. මේ අනුව, තමන් කරන වැඩ දෙස දෙවි බලා සිටිනවා යන ආකල්පය ඇතිව වැඩ කරන මෙන් ක්‍රිස්තියානීන්ට බයිබලයේ අවවාද කර තිබෙන්නේ මෙසේයි. “ඔබ කුමක් කළත්, මිනිසුන්ට නොව, යෙහෝවාට කරන්නාක් මෙන් මුළු හදවතින් එය කරන්න.” (කොලොස්සි 3:23) අප කරන වැඩ රාජකාරී ඉතා වුවමනාවෙන් හා සැලකිල්ලෙන් කළ යුතු බව මින් පෙනී යනවා. එසේ කිරීමෙන් වැඩ කරන ස්ථානයේ සිටින අනික් අයවත් දෙවි වෙතට ආකර්ෂණය කරගන්නට පුළුවන්කමක් තිබෙනවා.—“රැකියා ස්ථානයේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම” යන කොටුව බලන්න.

මේ විදිහට කල්පනා කරද්දී, අප අපගේම වැඩ කොතරම් හොඳින්, කොතරම් ගුණාත්මක අන්දමින් කරනවාද කියා අප අපෙන්ම අසා බැලිය යුතුයි. අප වැඩ කරන විදිහ ගැන දෙවි සතුටු වේවිද? අපට පවරා ඇති වැඩ කරන විදිහ ගැන අපටම සතුටු වෙන්නට පුළුවන්ද? එසේ නැත්නම්, අප මේ අතින් දියුණු විය යුතුද?—හිතෝපදේශ 10:4; 22:29.

රැකියාව දෙවි සමඟ ඇති සම්බන්ධයට බාධාවක් කරගන්න එපා. වෙහෙස මහන්සි වී කඩිසර ලෙස වැඩ කිරීම ප්‍රශංසනීය දෙයක් වුණත්, රැකියාවෙන් සහ අපේ මුළු ජීවිතයෙන් තෘප්තිය ලැබිය හැකි තවත් වැදගත් සාධකයක් තිබෙනවා. ඒ තමයි, දෙවි සමඟ තිබෙන සම්බන්ධය. වෙහෙස වී වැඩ කළ සලමොන් රජ, ජීවිතයේ සියලුම ධන සම්පත් සහ සැප පහසුකම් භුක්ති විඳීමෙන් පසුව මෙම නිගමනයට එළඹුණා. “දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න; මනුෂ්‍යයාගේ මුළු යුතුකම නම් මේකය.”—දේශනාකාරයා 12:13.

එසේනම්, අප කුමක් කළත් දෙවිගේ කැමැත්ත ගැන සලකා බැලිය යුතුයි. අප ක්‍රියා කරමින් සිටින්නේ ඔහුගේ කැමැත්තට එකඟවද? නැත්නම් අප ඊට පටහැනිව ක්‍රියා කරමින් සිටිනවාද? අප උත්සාහ කරන්නේ ඔහුව සතුටු කිරීමටද නැත්නම් අපවම සතුටු කරගැනීමටද? අප දේවකැමැත්ත කරන්නේ නැත්නම්, අවසානයේදී වේදනාව, තනිකම සහ හිස්කම වැනි දේවල් අද්දකිනවා ඇති.

ස්ටීවන් බර්ග්ලස් යෝජනා කළේ විධායක නිලධාරීන් ‘තමන්ගේ රැකියාවේ සතුටින් නියැලීමට නම් ඔවුන්ට යම් උදාර අරමුණක් තිබිය යුතු’ බවයි. ඇත්තෙන්ම යම් අර්ථාන්විත වැඩකටයුතු කිරීම සඳහා අපට දක්ෂකම් හා හැකියාවන් දුන් තැනැත්තාට සේවය කිරීම තරම් වෙනත් වටිනා ඉලක්කයක් නැහැ. අපගේ මැවුම්කරුව සතුටු කිරීමට වැඩ කිරීමෙන් අපි කවදාවක්වත් නොසෑහීමට පත් වෙන්නේ නැහැ. යේසුස්ට යෙහෝවා දුන් වැඩ පැවරුම ඔහු සැලකුවේ හරියට එය ඔහුගේ ආහාරය වගේ. ඔහු ඉන් ලැබුවේ ඉමහත් තෘප්තියක් හා ප්‍රීතියක්. (යොහන් 4:34; 5:36) ශ්‍රේෂ්ඨතම වැඩකරුවා වන දෙවි අපට ඔහු සමඟ ‘හවුල් වැඩකරුවන්’ වීමට ආරාධනා කරන බවද මතක තබාගන්න.—1 කොරින්ති 3:9.

දෙවිට නමස්කාර කිරීම හා ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීම මගින් අපට ඉදිරියේදී සතුටුදායක වැඩකටයුතුවල නියැලීමටද යම් යම් වගකීම්වලට උර දීමටද අපව සූදානම් කරනවා. රැකියා ස්ථානවල සිදු වන ගැටුම් හා අප මුහුණ දෙන මානසික පීඩනය මෙන්ම ස්වාමිවරුන් අපෙන් බලාපොරොත්තු වන දේවල් එන්ට එන්ටම වැඩි වෙනවා. මේවාට මුහුණ දීමට ශක්තිය ලැබෙන්නේ දෙවි කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් හා ඔහු සමඟ හොඳ සම්බන්ධතාවක් තිබීම මගිනුයි. ඒ විතරක් නොවෙයි, ඒ මගින් වඩාත් හොඳ ස්වාමිවරුන් වීමටත් සේවකයන් වීමටත් අපට හැකිකම ලැබෙනවා. අනෙක් අතට, මේ අභක්තික ලෝකයේ නියම තත්වයට මුහුණ දෙද්දී දෙවි කෙරෙහි අප තබා තිබෙන ඇදහිල්ල දියුණු කරගත හැකි පැතිද දැකගැනීමට අපට හැකි වෙයි.—1 කොරින්ති 16:13, 14.

වැඩ කිරීමෙන් තෘප්තියක් ලැබෙන කාලයක්

දැන් දෙවිට සේවය කරමින් සිටින අයට ප්‍රීතිමත් කාලයක් දෙස බලා සිටිය හැකියි. ඒ, දෙවි මුළු පොළොව පාරාදීසයක් බවට පත් කරන කාලයයි. එහිදී තෘප්තිය ගෙන දෙන අර්ථාන්විත වැඩ කිරීමට තිබෙනවා. ඒ කාලයේදී තිබෙන ජීවිතය ගැන යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙකු වූ යෙසායා පැවසුවේ මෙහෙමයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; මිදි වතු වවා එහි පල කන්නෝය. අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩනොනඟන්නෝය. අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය. . . . මාගේ තෝරාගත්තෝ බොහෝ කල් තමන් අත්වල වැඩ භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21-23.

ඒ කාලයේදී වැඩ කිරීම මොන තරම් තෘප්තිමත් අද්දැකීමක් වේවිද! දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඉගෙනගෙන ඒ අනුව වැඩ කිරීමෙන් ඔබ යෙහෝවාගෙන් ආශීර්වාද ලබන කෙනෙකු බවට පත් වෙන අතර, සැමවිටම ‘ඔබ දරන මුළු වෙහෙසින් යහපත භුක්ති විඳිනවා නොඅනුමානයි.’—දේශනාකාරයා 3:13.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි උසස්ම වැඩකරුය: උත්පත්ති 1:1, 4, 31; යොහන් 5:17.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වැඩ කිරීම සතුට ගෙන දෙන අද්දැකීමක් කරගන්න: උත්පත්ති 1:28; 2:15; 1 තෙසලෝනික 4:11.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබේ රැකියාවෙන් ඔබට දෙවිව මහිමයට පත් කළ හැකියි: නික්මයාම 31:1-11; කොලොස්සි 3:23.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රැකියාව දෙවි සමඟ ඇති සම්බන්ධයට බාධාවක් කරගන්න එපා: දේශනාකාරයා 12:13; 1 කොරින්ති 3:9.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රැකියාව නිසා ඇති වන මානසික පීඩනයට මුහුණ දීම

රැකියාව නිසා ඇති වන මානසික පීඩනය ජීවිතයට අවදානම් බව වෛද්‍යවරුන් පවසනවා. ඒ මගින් උදරයේ තුවාලද මානසික අවපීඩනයද ඇති විය හැකි අතර දිවි නසාගැනීමටද එය හේතු වෙන්න පුළුවන්. ජපන් භාෂාවෙන් ඊට නමකුත් තිබෙනවා. ඒ “කාරෝෂේ” යන නාමයයි. ඉන් අදහස් කරන්නේ, “අධික වැඩ නිසා මරණයට පත්වීම” යන්නයි.

රැකියාවට සම්බන්ධ විවිධ හේතූන් නිසාද මානසික පීඩනය ඇති විය හැකියි. රැකියාව කරන වේලාව හා තත්වයන්, රැකියාවේ ස්වාමිවරුන් සමඟ ඇති වන ප්‍රශ්න, වගකීම්වල වෙනස් වීමක් හෝ කරන්නේ කුමන ආකාරයේ වැඩද යන කාරණය, විශ්‍රාම යෑම සහ රැකියාවෙන් පහ කිරීම යන මේවා නිසාද ගැටලු ඇති වෙන්නට පුළුවනි. එවන් මානසික පීඩනයන්ගෙන් සහනයක් ලබාගැනීම සඳහා සමහරු කරන්නේ රැකියාව මාරු කිරීම හෝ රැකියාව කරන පරිසරය වෙනස් කිරීමයි. තවත් අය මේ මානසික පීඩනය යටපත් කරගන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය විය හැක්කේ ජීවිතයේ වෙනත් පැතිවලට, එනම් වැඩි වශයෙන් පවුල් ජීවිතයට එම මානසික පීඩනය බලපෑම් කිරීමයි. ඇතැම් අය දුක් පීඩා විඳිමින් ජීවිතයේ බලාපොරොත්තු නැති කරගන්නවා.

රැකියාව නිසා ඇති වන පීඩනයට මුහුණ දීමට ක්‍රිස්තියානීන් සඳහා ඉතා ප්‍රායෝගික මඟ පෙන්වීම් සපයා තිබෙනවා. අපගේ ජීවිතයේ අසීරු තත්වයන්හිදී විඳදරාගෙන කටයුතු කරන්නත් දෙවි සමඟ අපට තිබෙන සබඳතාව රැකගෙන හොඳ මානසික තත්වයක් පවත්වාගන්නත් අපට උපකාරවත් වන මූලික ප්‍රතිපත්ති රාශියක් බයිබලයේ සඳහන් වෙනවා. නිදසුනක් වශයෙන් යේසුස් මෙසේ කීවා. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත. එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි.” මෙහිදී යේසුස් දෙන දිරිගැන්වීම නම් අප අද තිබෙන ගැටලු ගැන මිස හෙට තිබෙන ගැටලු ගැන කරදර නොවිය යුතු බවයි. මෙසේ, අප අපට තිබෙන කරදර ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වන්නේ හෝ ළත වන්නේ නැහැ. එසේ කනස්සලු වීමෙන් හෝ ළත වීමෙන් සිදු වන්නේ මානසික පීඩනය තවත් වැඩිවීමයි.—මතෙව් 6:25-34.

ක්‍රිස්තියානීන් රඳා සිටිය යුත්තේ තමන්ගේම ශක්තිය මත නොව දෙවිගේ ශක්තිය මතයි. මෙය ඉතාම වැදගත් දෙයක්. අපට තවත් දේවල් විඳදරාගන්නට බැහැ කියා සිතෙද්දී, දෙවිට පුළුවන් අපගේ මනසට සාමයත් ඒ වගේම අපේ සිත ප්‍රීතියෙන් තබා අප මුහුණ දෙන ඕනෑම දුෂ්කරතාවක් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාවත් ලබා දෙන්න. “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න” කියා බයිබල් ලේඛක පාවුල් ලීවා.—එෆීස 6:10; ෆිලිප්පි 4:7.

තවත් කරුණක් තමයි, මානසික වශයෙන් අධික පීඩනයක් දැනෙන අවස්ථාවලදී පවා හොඳ ප්‍රතිඵල ඇති කරන්නට පුළුවන්ය යන කාරණය. අපට පරීක්ෂා එල්ල වෙන විට අපි යෙහෝවා දෙවි වෙතට හැරෙමින් ඔහු කෙරෙහි විශ්වාසය තබමින් ඔහුට යාච්ඤා කරමු. මේ නිසා දැඩි පීඩනයන් යටතේ පවා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයක් දිගටම වර්ධනය කරගන්නත් අපට හැකි වේවි. පාවුල් අවවාද කළේ මෙසේයි. “අපි පීඩා මධ්‍යයෙහි සිටියදීත් සතුටින් ඉපිල යමු. මන්ද, අපි මේ දේ දනිමු. එනම්, පීඩාවලින් විඳදරාගැනීම ඇති වන්නේය. විඳදරාගැනීමෙන් දෙවිගේ අනුමැතිය ලැබෙන්නේය. දෙවිගේ අනුමැතියෙන් බලාපොරොත්තුව ඇති වන්නේය.”—රෝම 5:3, 4.

මේ අනුව බලන කල, අපට ඇති වන පීඩන අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන දෙයක් මිස බලාපොරොත්තු නැති කරන ශෝකාකූල අද්දැකීමක් නොවෙයි.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රැකියා ස්ථානයේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම

තම රැකියාව ගැන ක්‍රිස්තියානියෙකුට තිබෙන ආකල්පය හා රැකියා ස්ථානයේදී ඔහුගේ හැසිරීම, ඔහු සමඟ සේවය කරන අයවත් වෙනත් අයවත් බයිබලය වෙත ආකර්ෂණය කිරීමට සමත් වෙනවා. බයිබල් ලේඛක පාවුල් තීතස්ට යැවූ ලිපියේ, රැකියාවන් කරන සේවකයන්ට දුන් අවවාදය සලකා බලන්න. “දාසයන් සියල්ලෙහිදී තමුන්ගේ අයිතිකරුවන්ට [රැකියා ස්ථානයේ ස්වාමිවරුන්ට] යටත්ව සිටිය යුතුය. එමෙන්ම, ඔවුන්ව සතුටු කරන්නත්, එකට එක නොකියන්නත්, සොරකම් නොකර සිටින්නත්, සම්පූර්ණ ලෙස විශ්වාසවන්තකම දක්වන්නත් අවශ්‍යය. එවිට ඔවුහු සියල්ලෙහිදී අපේ ගැලවුම්කරු වන දෙවිගේ ඉගැන්වීම අලංකාර කරන්නෝය.”—තීතස් 2:9, 10.

උදාහරණයක් වශයෙන්, එක් ව්‍යාපාරිකයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට ලිපියක් එවමින් කියා සිටියේ මෙහෙමයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මගේ සේවයට බඳවාගැනීමට මම ඔබෙන් අවසර ඉල්ලමි. මා එසේ කරන්නේ, ඔවුන් අවංක, වංචාවෙන් තොර අය නිසයි. මට විශ්වාසය තැබිය හැක්කේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කෙරෙහි පමණයි. මා හට උපකාර කරන මෙන් ඔබෙන් කරුණාවෙන් ඉල්ලමි.”

කයිල්, පෞද්ගලික පාසැලක පිළිගැනීමේ නිලධාරිනිය ලෙස සේවය කරන ක්‍රිස්තියානි තැනැත්තියක්. ඇය සමඟ සේවය කරන එක්තරා තැනැත්තියක් යම් කාරණයක් සම්බන්ධයෙන් වරදවා වටහාගැනීමක් නිසා සිසුන් කිහිපදෙනෙක් ඉදිරියේ කයිල්ට තදින් බැණ වැදුණා. “යෙහෝවාගේ නාමයට කිසිම නින්දාවක් ගෙන එන්න හොඳ නැහැ කියන කාරණය මම අමතක කළේ නැහැ” යයි කයිල් මතක් කරනවා. ඊළඟ දවස් පහ පුරාම කයිල් කල්පනා කළේ මේ අවස්ථාවේදී ඇයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත හැක්කේ කොහොමද කියලයි. එක් ප්‍රතිපත්තියක් රෝම 12:18හි සඳහන් වෙනවා. “පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.” ඇය සමඟ ගැටුම් ඇති කරගත් තැනැත්තියට විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් යැවූ කයිල් තමන් සහ ඇය අතර සිදු වූ ගැටුම ගැන ඇගෙන් සමාව ඉල්ලුවා. රැකියා වේලාවෙන් පසු මඳකට නතර වී දෙදෙනා කතා කර ප්‍රශ්නය විසඳාගනිමු කියා ඇය එම තැනැත්තියට යෝජනා කළා. ඇය ඊට එකඟ වුණා. පසුව දෙදෙනා කළ සාකච්ඡාවේදී එම තැනැත්තිය වඩාත් සන්සුන් වූ අතර, කයිල් එලෙස තමාට කතා කිරීම ගැන ඉතා සතුටු වුණා. ඇය කයිල්ට කීවේ මෙයයි. “ඔයා මෙහෙම කරන්න ඇත්තේ ඔයාගේ ආගම නිසා වෙන්න ඕනෑ.” දෙදෙනා වෙන් වී යද්දී එකිනෙකාව ඉතා සුහද ලෙස වැලඳගෙන එකිනෙකාගෙන් සමුගත්තා. කයිල්ගේ නිගමනය වූයේ මොකක්ද? “අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් අපිට කවදාවක්වත් වරදින්නේ නැහැ.”

[4, 5වන පිටුවේ පින්තූරය]

බොහෝ සේවකයන්ට හැඟෙන්නේ තමන්ට රැකියා ස්ථානයෙන් කිසි සැලකිල්ලක් නොලැබෙන බවයි

[හිමිකම් විස්තර]

Japan Information Center, Consulate General of Japan in NY

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Globe: NASA photo