Skip to content

පටුනට යන්න

ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අපට හැකියි!

ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අපට හැකියි!

ඕනෑම පරීක්ෂාවකට මුහුණ දීමට අපට හැකියි!

ඔබ මේ මොහොතේ ජීවිතයේ යම් පරීක්ෂාවකට මුහුණ දෙමින් සිටින කෙනෙක්ද? එයින් ඔබට ජය ගන්නට බැහැ කියා ඔබට සිතෙනවාද? ඔබට තිබෙන ප්‍රශ්නය වෙන කිසිම කෙනෙකුට නැති ඔබට විතරක් තිබෙන එකක් කියා හෝ, ඊට කිසිම විසඳුමක් නැහැ කියා පවා ඔබට හැඟෙනවාද? ඔබට එසේ හැඟෙනවා නම් අධෛර්ය වෙන්නට එපා! අප මොන ආකාරයේ පරීක්ෂාවලට මුහුණ දුන්නත් ඒවාට සාර්ථකව මුහුණ දී ජය ගන්නට පුළුවන් කියා දෙවි බයිබලයේ අපට සහතිකයක් දී තිබෙනවා.

දෙවිගේ සේවකයන් “විවිධාකාර පරීක්ෂාවලට” මුහුණ දෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 1:2) “විවිධාකාර” (ග්‍රීක් බසින් පයිකිලෝස්) යනුවෙන් පරිවර්තනය කර තිබෙන වචනය මෙහිදී සැලකිල්ලට ගන්න. මෙම වචනය මුලින්ම භාවිත වූ ආකාරයට අනුව “විවිධ මාදිලියේ” හෙවත් “නානාවිධ” යන තේරුම එහි ගැබ්වී තිබුණා. මේ අනුව “විවිධාකාර පරීක්ෂා” කියද්දී අපට විවිධ ස්වරූපවලින් හෙවත් විවිධ ආකාරවලින් පරීක්ෂාවලට මුහුණ දෙන්න සිදු වන බව පැහැදිලියි. එහෙත්, ඒවා හැම එකකටම සාර්ථකව මුහුණ දෙන්නට යෙහෝවා අපට උපකාර කරනවා. අපට ඒ ගැන සහතික විය හැක්කේ කොහොමද?

“විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාව”

ක්‍රිස්තියානීන් “අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්” වන බව පේතෘස් සඳහන් කරනවා. (1 පේතෘස් 1:6) දේවානුභාවයෙන් ලියූ එම ලිපියේ පසු අවස්ථාවක ඔහු සඳහන් කරන්නේ ‘දෙවිගේ මහත් කරුණාව’ “විවිධ ආකාරවලින් පෙන්වන ලද” බවයි. (1 පේතෘස් 4:10) “විවිධ ආකාරවලින්” යන යෙදුම සඳහාත් භාවිත කර තිබෙන්නේ ඉහත සඳහන් ග්‍රීක වචනයමයි. මෙම යෙදුම ගැන අදහස් දක්වමින් එක්තරා බයිබල් විශාරදයෙක් කියන්නේ මෙසේයි. “මෙය ඉතා ගැඹුරු අදහසක්. . . දෙවිගේ කරුණාව [හෙවත්, මහත් කරුණාව] ගැන කතා කරද්දී, පයිකිලෝස් යන වචනයෙන් අදහස් කරන්නේ දෙවිගේ කරුණාව නිසා මිනිසාට ඕනෑම ආකාරයේ ගැටලුවකට මුහුණ දිය හැකි බවය.” ඔහු තවදුරටත් මෙසේ කියනවා. “දෙවිගේ කරුණාවෙන් මිනිසාට ජයගත නොහැකි කිසිම තත්වයක් හෝ කිසිම අභියෝගයක් හෝ කිසිම ගැටලුවක් හෝ නැත. මන්ද මේ ඕනෑම තත්වයකට මුහුණ දී එයින් සාර්ථකව ජයගැනීමට දේවකරුණාවෙන් මිනිසාට හැකියාව තිබේ. පයිකිලොස් යන ග්‍රීක් වචනයෙන් අදහස් කරන දේ අපේ මනසට නැඟෙද්දී දෙවිගේ කරුණාවේ විවිධ පැති මගින් සියලු ආකාර පරීක්ෂා කරදර මිනිසාට ජයගත හැකි බව අපි හොඳින් දනිමු.”

දෙවිගේ මහත් කරුණාවෙන් ඕනෑම පරීක්ෂාවක් ජය ගත හැකියි

පේතෘස් පවසන විදිහට, දෙවිගේ මහත් කරුණාව අපට ප්‍රකාශ වෙන ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒ එක් ක්‍රමයක් තමයි, ක්‍රිස්තියානි සභාවේ විවිධ සහෝදර සහෝදරියන් තුළින් එය ප්‍රකාශ වීම. (1 පේතෘස් 4:11) දෙවිගේ සෑම සේවකයෙකුටම විවිධ දීමනා හෙවත් හැකියාවන් ලැබී තිබෙනවා. එම හැකියාවන් යොදාගෙන පරීක්ෂාවලට මුහුණ දෙන අයව දිරිගැන්වීමට ඔවුන්ට හැකියි. (රෝම 12:6-8) නිදසුනක් වශයෙන්, සභාවේ ඇතැම් සාමාජිකයන්ට ඉතා දක්ෂ ලෙස බයිබලය උගන්වන්නට පුළුවන්. ඔවුන්ගේ දිරිගැන්වෙන කියමන් නිසා පරීක්ෂා විඳදරාගැනීමට අන්‍යයන්ට ලැබෙන්නේ මහත් පෙලඹීමක්. (නෙහෙමියා 8:1-4, 8, 12) තවත් අය, ගැටලුවලට මුහුණ පාමින් සිටින අන්‍යයන්ගේ නිවෙස්වලට නිතිපතා ගොස් ඔවුන්ට අවශ්‍ය පෝෂණය හා සැනසීම ලබා දෙනවා. ඒ වගේ බැහැදැකීමක් දිරිගැන්වීමක් වගේම ‘සිත් සැනසීමක්.’ වෙනවා (කොලොස්සි 2:2) අවේක්ෂකයන් සහෝදරයන්ව බැහැදැක ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන විට, ඔවුන් කරන්නේ දෙවිගේ එක්තරා දීමනාවක් ලබාදීමයි. (යොහන් 21:16) සභාවක සිටින සහෝදර සහෝදරියන් යම් පරීක්ෂා නිසා දුකට, ශෝකයට පත් වන විට, සභාවේ සිටින වෙනත් අය ඔවුන්ට ආදරය, දයාව හා කරුණාව දක්වනවා. (ක්‍රියා 4:36; රෝම 12:10; කොලොස්සි 3:10) ඒ වගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් අන්‍යයන්ගේ දුක තමන්ගේම දුකක් ලෙස සිතා කටයුතු කරමින් ඔවුන්ට සහයෝගය දක්වද්දී එය දෙවිගේ මහත් කරුණාව සුවිශේෂී ආකාරයකින් පිළිබිඹු කරන ක්‍රමයක්.—හිතෝපදේශ 12:25; 17:17.

“සෑම සැනසිල්ලේ දෙවි”

සියල්ලන්ටම වඩා, අපට සැනසිල්ල සපයන්නේ යෙහෝවායි. යෙහෝවා වනාහි ‘අපේ සියලු පීඩාවලදී අපව සනසන සියලු සැනසිල්ලේ දෙවිය.’ (2 කොරින්ති 1:3, 4) අප පිහිට ඉල්ලා යෙහෝවාට කරන යාච්ඤාවලට ඔහු අපට පිළිතුරු දෙන්නේ ප්‍රධාන වශයෙන් දේවානුභාවයෙන් ලියන ලද වචනයේ සඳහන් ප්‍රඥාවෙන් සහ ඔහුගේ බලයෙන් සපයනු ලබන ශක්තිය මගින්. (යෙසායා 30:18, 21; ලූක් 11:13; යොහන් 14:16) දෙවිගෙන් ලැබූ මේ පොරොන්දුව ගැන පාවුල් සඳහන් කරනවා. අපට ඉන් ලැබෙන්නේ මහත් ධෛර්යයක්. ඔහු පැවසුවේ මෙසේයි. “දෙවි විශ්වාසවන්තය. ඔබට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැත. ඒ වෙනුවට, පරීක්ෂාවත් සමඟම, ඔබට එය විඳදරාගත හැකි වන පිණිස ඔහු ඉන් ගැලවීමට මඟද සලසා දෙන්නේය.”—1 කොරින්ති 10:13.

අප හට එල්ල වෙන පරීක්ෂාවේ ස්වභාවය කුමක් වුවත් දෙවිද විවිධ ආකාරයෙන් අපට මහත් කරුණාව පෙන්වනවා. ඒ මගින් අපට පරීක්ෂාවෙන් ජය ගත හැකි බව නිසැකයි. (යාකොබ් 1:17) අප මුහුණ දෙන පරීක්ෂා හෝ අභියෝග විවිධ ආකාරයෙන් අප වෙත එන්න පුළුවන්. නමුත් යෙහෝවා නියම වේලාවට අපට දෙන පිහිට උපකාරය නිසා “බොහෝ සේ විවිධාකාර වූ දෙවිගේ ප්‍රඥාව” අපට තිබෙන බවට එය සාක්ෂි සපයනවා. (එෆීස 3:10) ඔබ එයට එකඟ වෙනවාද?

[31වන පිටුවේ පින්තූර]

අපගේ පරීක්ෂාවලට මුහුණ දීම සඳහා යෙහෝවා අපට උපකාර කරනවා