Skip to content

පටුනට යන්න

දරුවෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

දරුවෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

දරුවෙනි, යෙහෝවාට ප්‍රශංසා කරන්න!

“පොළොවේ සිට යෙහෝවාට ප්‍රශංසා කරන්න. . . . තරුණයන් හා තරුණියෙනි, . . . යෙහෝවාට ප්‍රශංසා කරන්න.”—ගීතාවලිය 148:7, 12.

1, 2. (අ) යෞවන දරුවන් බොහෝදෙනෙකුට දමා ඇත්තේ කිනම් ආකාරයේ තහංචිද? (ආ) යෞවනයන්ට තම දෙමාපියන් විසින් දමා ඇති තහංචි ගැන ඔවුන් උරණ නොවිය යුත්තේ ඇයි?

යෞවන දරුවන් බොහෝ දේවල් කරන්න ආසයි. නමුත් ඒවා කිරීමට දෙමාපියන් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට, තනිවම පාරෙන් එහා පැත්තට පනින්න, තනිවම බසයෙන් හෝ දුම්රියෙන් ගමනක් යන්න. එහෙමත් නැත්නම් තනිවම කාරෙකක් පදවන්න හෝ මෝටර් සයිකලයක් පැද යන්න ඔවුන්ට දෙමාපියන්ගෙන් අවසර ලැබෙන්නේ එක්තරා වයසකට ආවායින් පසුවයි. යමක් කරන්න ආසා හිතිලා ඒ ගැන දෙමාපියන්ගෙන් අහනකොට, “ඔයා ඒවා කරන්න තව ලොකු වෙන්න ඕනෑ” යන එකම උත්තරය තමයි මේ යෞවනයන්ට ලැබෙන්නේ.

2 දරුවෙනි, ඔබේ දෙමාපියන් ඔබට එවැනි තහංචි දමා තිබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද? ඒ තහංචි දමා තිබෙන්නේ ඔබව ආරක්ෂා කරගැනීමටයි. අනික ඔබ ඔබේ දෙමාපියන්ට මේ වගේ දේවලදී කීකරු වෙන එක ගැන යෙහෝවාත් සතුටු වෙනවා. (කොලොස්සි 3:20) ඒත් ඔබට හිතෙනවාද තවමත් ඔබට ජීවිතයේ නියම නිදහස ලැබිලා නැහැ කියා? හැම දෙයක්ම ලබාගන්න වැඩිහිටියෙක් වෙනකම්ම ඉන්න ඕනෑ කියලා? එහෙම හිතන්න එපා! ඔබ බලා සිටින වෙන ඕනෑම වරප්‍රසාදයකට වඩා බොහෝ සෙයින් වැදගත් වූ වෙනත් වරප්‍රසාදයක් තිබෙනවා. ඔබට මේ කාර්යයේ හවුල් වීමට ඉඩ දී තිබෙනවා කියා ඔබ සිතනවාද? ඔබට ඉඩ දී තිබෙනවා විතරක් නෙවෙයි. ඇත්තෙන්ම ඔබට ඒ සඳහා මහෝත්තම දෙවිගෙන්ම ආරාධනා ලැබිලාත් තියෙනවා.

3. කිනම් කාර්යයේ හවුල් වීමටද යෙහෝවා යෞවනයන්ට ආරාධනා කරන්නේ? දැන් සලකා බලනු ලබන්නේ කිනම් ප්‍රශ්නද?

3 අපි මේ මොනවා ගැනද කතා කරන්නේ? මේ ලිපියේ තේමාබයිබල් පාඨයේ ඇති වචන දිහා බලන්න. “පොළොවේ සිට යෙහෝවාට ප්‍රශංසා කරන්න. . . . තරුණයන් හා තරුණියෙනි, . . . යෙහෝවාට ප්‍රශංසා කරන්න.” (ගීතාවලිය 148:7, 12) ඔව්, මෙන්න ඔබට තිබෙන ශ්‍රේෂ්ඨ වරප්‍රසාදය! යෙහෝවාට ප්‍රශංසා කරන්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. යෞවනයෙක් හැටියට මේ කාර්යයේ හවුල් වෙන්න ඔබ සතුටු වෙනවාද? යෞවනයන් බොහෝදෙනෙක් දැනටමත් එසේ කරන්නේ ඉතාමත් සතුටින්. යෙහෝවාට ප්‍රශංසා කිරීම ගැන කතා කරද්දී ප්‍රශ්න තුනක් පැන නඟිනවා. (1) ඔබ යෙහෝවාට ප්‍රශංසා කළ යුත්තේ ඇයි? (2) ඔහුට ප්‍රශංසා කිරීමට ඔබට හැක්කේ කොහොමද? (3) යෙහෝවාට ප්‍රශංසා කිරීමට පටන්ගන්න හොඳම කාලය කුමක්ද?

යෙහෝවාට ප්‍රශංසා කළ යුත්තේ ඇයි?

4, 5. (අ) බයිබලයේ 148වන ගීතිකාවට අනුව, අපට තිබෙන සුවිශේෂී වරප්‍රසාදය කුමක්ද? (ආ) කතා කරන්නටවත් කල්පනා කරන්නටවත් බැරි වුණත් ඇතැම් දේවල් යෙහෝවාට ප්‍රශංසා කරන්නේ කොහොමද?

4 යෙහෝවාට ප්‍රශංසා කළ යුතු ප්‍රධානතම හේතුව නම් ඔහු අපේ මැවුම්කරු වීමයි. බයිබලයේ 148වන ගීතිකාව මේ සත්‍යය තේරුම්ගන්නට අපට උදව් වෙනවා. මේ විදිහට හිතන්න: ඉතා මියුරු සිත් පිනවන ගීයක් ගායනා කරන ගායනා කණ්ඩායමක් අසලට ඔබ ගියා නම්, ඔබට කොහොම හැඟේවිද? ඔවුන් ගායනා කරන ගීයේ වචන සැබෑ වචන බව ඔබ දන්නවා නම්, එම වචනවලින් කියැවෙන අදහස් ඉතා වැදගත්වූද, ප්‍රීති ප්‍රමෝදය ඇති කරන බව ඔබ දන්නවා නම්, ඔබ කරන්නේ කුමක්ද? ඒ ගායනා කණ්ඩායම සමඟ ගායනයේ හවුල් වෙන්නට ආශාවක් ඔබ තුළ ඇති වෙන්නේ නැද්ද? අපගෙන් වැඩිදෙනෙකුට එසේ හැඟෙනවාට කිසිම සැකයක් නැහැ. ඇත්තෙන්ම, 148වෙනි ගීතිකාවෙන් කියාපාන්නේ ඔබ ඒ හා සමාන, ඊටත් වඩා උතුම් තත්වයක සිටින බවයි. ඉතා සුවිශාල පිරිසක් එකම හඬින් යෙහෝවාට ප්‍රශංසා කරන බවයි ගීතිකාකරු විස්තර කරන්නේ. එහෙත්, ඔබ ගීතිකාව කියවාගෙන යද්දී ඔබට අසාමාන්‍ය දෙයක් දකින්නට ලැබේවි. ඒ මොකක්ද?

5 බයිබලයේ 148වන ගීතිකාවේ සඳහන් වන විදිහට, යෙහෝවාට ප්‍රශංසා කරන්නේ කතා කරන්නටවත් කල්පනා කරන්නටත් හැකි දේවල් නොවෙයි. නිදසුනකට, අපි දකින්නේ ඉර, හඳ, තරු, හිම, සුළඟ, කඳු හා හෙල් යෙහෝවාට ප්‍රශංසා කරන සැටියි. පණ නැති ඒ වස්තු ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? (ගීතා. 148:3, 8, 9 පද) ඇත්තෙන්ම, ගස් කොළන්, මුහුදු සත්වයන් හා සිවුපාවන් හා මෘගයන්ද යෙහෝවාට ප්‍රශංසා කරන්නේ ඒ වගේමයි. (ගීතා. 148:7, 9, 10 පද) මනස්කාන්ත හිරු බැසයෑමක් හෝ අහස් ගැබේ තරු අතරින් හඳ පායාගෙන එනවා ඔබ දැක තිබෙනවාද? නැත්නම් සතුන්ගේ සෙල්ලම් දැකලා ඔබට හිනහා ගිහිල්ලා තිබෙනවාද? එහෙමත් නැත්නම් අතිශයින් අලංකාර වූ ස්වාභාවික දර්ශනයක් දෙස ඔබ පුදුමයෙන් මෙන් බලා සිට තිබෙනවාද? එහෙම නම්, ඒ මැවිලිවලින් ගැයෙන ප්‍රශංසා ගී නාදය ඔබට “ඇසී” තිබෙනවා. යෙහෝවා සර්වබලධාරී මැවුම්කරු බවත්, දෙවි තරම් බලවත්, ප්‍රඥාවන්ත හෝ ප්‍රේමණීය කිසිම කෙනෙකු මේ විශ්වයේ නැති බවත් ඔහු මවා ඇති සියලු දේවලින් අපට මතක් කර දෙනවා.—රෝම 1:20; එළිදරව් 4:11.

6, 7. (අ) බයිබලයේ 148වන ගීතිකාවේ විස්තර කරන හැටියට යෙහෝවාට ප්‍රශංසා කරන දැනුම් තේරුම් ඇති අය කවුරුන්ද? (ආ) යෙහෝවාට ප්‍රශංසා කිරීමට අප කෙසේ පෙලඹෙනවා විය හැකිද? උදාහරණයකින් පෙන්වන්න.

6 පණ නැති දේවල් පමණක් නොවෙයි, දැනුම් තේරුම් ඇති අයද යෙහෝවාට ප්‍රශංසා කරන බවයි 148වන ගීතිකාවේ විස්තර කරන්නේ. එහි ගීතා. 148:2වන පදයේ අපට පේනවා යෙහෝවාගේ ස්වර්ගික “හමුදාව” හෙවත් දේවදූතයන් දෙවිට ප්‍රශංසා කරනවා. එකොළොස්වෙනි පදයේ, බලවත් රජවරුන් හා විනිශ්චයකරුවන් වැනි උසස් පුද්ගලයන්ටද ආරාධනා කර තිබෙන්නේ මෙම ප්‍රශංසාවට හවුල් වෙන ලෙසටයි. බොහෝසෙයින් බලවත් දේවදූතයන් යෙහෝවාට ප්‍රශංසා කරමින් සතුටු වෙනවා නම්, යෙහෝවාට ප්‍රශංසා කිරීමට තමාට බැරියයි කිව හැකි මිනිසා කවුද? යෞවනයෙනි, දැන් ගීතා. 148:12 සහ 13 වන පදවල යෙහෝවාට ප්‍රශංසා කිරීමට ඔබටත් ආරාධනා කර තිබෙනවා. ඔබ කැමතිද එසේ කරන්න? ඊට ඔබේ හදවත පෙලඹෙනවාද?

7 අපි මෙය මෙහෙම ගනිමු. හිතන්න ඔබට අපූරු දක්ෂකම් ඇති මිතුරෙක් ඉන්නවා කියලා. සමහරවිට ඔහු ක්‍රීඩාවට, කලාවට හෝ සංගීතයට දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඔබ ඔහු ගැන ඔබේ පවුලේ අයට හෝ වෙනත් යහළුවන්ට කියන්නේ නැද්ද? කියනවානේ! එහෙනම්, යෙහෝවා කර ඇති සියලු දේවල් ඉගෙනගන්න විට යෙහෝවා ගැන අනික් අයට කීමට ඔයාවත් පෙලඹෙන්න ඕනෑ. ගීතාවලිය 19:1, 2හි කියනවා තරුවලින් පිරි අහස “කතා කරනවා” කියා. ඉතින් යෙහෝවා කර තිබෙන පුදුමාකාර දේවල් ගැන අපි හිතනකොට අපේ දෙවි ගැන අන්‍යයන්ට කතා නොකර ඉන්න අපට පුළුවන්ද?

8, 9. යෙහෝවාට ප්‍රශංසා කිරීමට ඔහු අපට දී තිබෙන හේතු මොනවාද?

8 යෙහෝවාට ප්‍රශංසා කිරීමට කැපී පෙනෙන තවත් හේතුවක් තිබෙනවා. එනම් අපි ඔහුට ප්‍රශංසා කරනවා දකින්න යෙහෝවා කැමතියි. ඒ ඇයි? ඒ මිනිසුන්ගෙන් ඔහුට ප්‍රශංසාව අවශ්‍ය නිසාද? නැහැ. මිනිසුන් වන අපට සමහරවිට ප්‍රශංසාව අවශ්‍ය වෙන්න පුළුවනි. නමුත් යෙහෝවා අපිට වඩා හුඟාක් උසස් කෙනෙක්. (යෙසායා 55:8) තමන්ගේ බලය මහිමය ගැන හෝ ගුණාංග ගැන ඔහුට කිසිම අවිශ්වාසයක් නැහැ. (යෙසායා 45:5) එහෙත්, අපි ඔහුට ප්‍රශංසා කරනවාට ඔහු කැමතියි. ඒ වගේම අප එසේ කරන විට ඔහු සතුටු වෙනවා. ඒ ඇයි? මීට හේතු දෙකක් සලකා බලන්න. පළමු එක නම්, ඔහු දන්නවා අපි ඔහුට ප්‍රශංසා කිරීම අවශ්‍යයි කියලා. අපව සාදා තිබෙන්නේ ඒ වගේම අවශ්‍යතාවක් ඇතුවයි. ඔව්, යෙහෝවාට නමස්කාර කිරීමේ අවශ්‍යතාව ඇතිවයි. (මතෙව් 5:3) අප එම අවශ්‍යතාව සපුරාගන්න විට යෙහෝවා සතුටු වෙනවා. එය හරියට දෙමාපියෙක් තමාගේ දරුවන් පෝෂ්‍යදායක ආහාර ගන්නා විට සතුටු වෙනවා වගේ.—යොහන් 4:34.

9 දෙවෙනි කරුණ තමයි, අප අනික් අය ඉදිරියේ දෙවිට ප්‍රශංසා කරන විට එය ඔවුන්ට බලපාන බව දෙවි දැනගෙන සිටීම. පාවුල් යෞවන තිමෝතිට මේ වචන ලිව්වා. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිතරම අවධානයෙන් ඉන්න. ඒවායෙහි පවතින්න. මන්ද, ඔබ මෙසේ කිරීමෙන් ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්නෙහිය.” (1 තිමෝති 4:16) ඔබ යෙහෝවා දෙවි ගැන අන්‍යයන්ට උගන්වන විට, ඔහුට ප්‍රශංසා කරන විට, ඔවුනුත් යෙහෝවා ගැන දැනගන්නවා. ඒ වගේ දැනුමකින් ඔවුන්ට සදාකාලයටම මරණින් ගැලවෙන්න පුළුවන්!—යොහන් 17:3.

10. අපගේ මැවුම්කාර දෙවි ගැන කතා කිරීමට අප පෙලඹෙන්නේ ඇයි?

10 යෙහෝවාට ප්‍රශංසා කිරීමට තවත් හේතුවක් තිබෙනවා. ඔබගේ අර දක්ෂ මිතුරා ගැන මතක් කරන්න. කවුරු හරි කෙනෙක් ඔහු ගැන බොරු ප්‍රචාරය කර තියෙනවා නම්, ඔහුගේ හොඳ නම කැත කර තිබෙනවා නම්, ඔහු ගැන තවත් හොඳ කීමට ඔබ උත්සාහ කරන්නේ නැද්ද? එහෙමනම් බලන්න, යෙහෝවාව මේ ලෝකයේ බොහෝ අපහාසයට ලක් කර තිබෙනවා. (යොහන් 8:44, එළිදරව් 12:9) මේ අනුව ඔහුට ප්‍රේම කරන අය ඔහු ගැන සත්‍යය කතා කිරීමට හා කියා ඇති බොරු පෙන්වා දී ඇත්ත හෙළි කිරීමට පෙලඹෙනවා. ඔබ තුළ දෙවිට ඇති ප්‍රේමය හා අගය කිරීම ප්‍රකාශ කිරීමට ඔබත් කැමතිද? දෙවිගේ ප්‍රධාන සතුරාව නොව දෙවිව ඔබේ පාලකයා කරගැනීමට කැමති බව ඔබ පෙන්වනවාද? යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන් ඔබට මේ සියල්ල කළ හැකියි. ඒ කොහොමද?

ඇතැම් යෞවනයන් යෙහෝවාට ප්‍රශංසා කළ අන්දම

11. යෞවනයන්ට ඉතා දක්ෂ ලෙස යෙහෝවාට ප්‍රශංසා කළ හැකි බවට තිබෙන්නේ කිනම් බයිබල් ආදර්ශද?

11 යෞවනයන් බොහෝවිට ඉතා දක්ෂ අන්දමින් යෙහෝවාව ප්‍රශංසාවට ලක් කළ බව බයිබලයේ පෙන්වා තිබෙනවා. උදාහරණයකට එක්තරා ඊශ්‍රායෙල් දැරියකව සිරියානුවන් විසින් වහල්කමට ගෙන ගොස් තිබුණා. ඇය යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙකු වූ එලිෂා ගැන ඇගේ ස්වාමි දුවට කතා කළේ හරිම නිර්භීත ආකාරයටයි. ඇගේ ඒ වචන නිසා ප්‍රාතිහාර්යයක් සිද්ධ වුණා. ඒ නිසාම යෙහෝවා දෙවි පිළිබඳව ප්‍රබල සාක්ෂියක් දීමටද පුළුවන් වුණා. (2 රාජාවලිය 5:1-17) යේසුස් පවා ළමා කාලයේදී ඉතා නිර්භීත ලෙස සාක්ෂි දැරුවා. යේසුස් සිය ළමා කාලයේදී කළ දේවලින් බයිබලයේ වාර්තා කිරීමට යෙහෝවා තීරණය කළේ එකම එක දෙයයි. ඒ, ඔහු වයස අවුරුදු 12දී යෙරුසලෙම් දේවමාලිගාවට ගොස් ආගමික ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාව ගැනයි. එහිදී ඔවුන් යෙහෝවාගේ නීති ගැන ඔහුට තිබූ අවබෝධය ගැන මහත් සේ පුදුම වුණා.—ලූක් 2:46-49.

12, 13. (අ) යේසුස්ගේ මරණයට ටික කලකට පෙර ඔහු දේවමාලිගාවේදී කළේ කුමක්ද? (ආ) පිරිමි ළමුන් කළ ප්‍රශංසාව ගැන යේසුස්ට හැඟුණේ කොහොමද?

12 යේසුස් වැඩිහිටියෙකු වුණායින් පසුව පවා යෙහෝවාට ප්‍රසංසා කිරීමට දරුවන්ව පෙලඹුවා. සිය මරණයට දවස් කිහිපයකට පෙර යේසුස් යෙරුසලමේ දේවමාලිගාවේ කාලය ගත කරමින් සිටියා. ඔහු එහි “විස්මජනක ක්‍රියා” කළ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ ශුද්ධස්ථානය හොරුන්ගේ ගුහාවක් කළ අයව ඔහු ඉන් එළවා දැමුවා. අන්ධයන් හා කොරුන්ව ඔහු සුව කළා. හරි නම්, එහි සිටි හැම කෙනෙක්ම විශේෂයෙන්ම ආගමික නායකයන් යෙහෝවාටත් ඔහුගේ පුත් ක්‍රිස්තුස්ටත් ප්‍රශංසා කළ යුතුව තිබුණා. එහෙත්, ඒ කාලයේ සිටි බොහෝදෙනෙක් ප්‍රශංසාවේ වචනයක්වත් කිව්වේ නැති එක හරිම කනගාටුයි. ඔවුන් දැනගෙන හිටියා යේසුස්ව එවා ඇත්තේ දෙවි කියලා. නමුත් ඔවුන් ආගමික නායකයන්ට භය වුණා. එහෙත් එක්තරා පිරිසක් නම් කතා කළේ හරිම එඩිතර විලාසයකින්. ඔබ දන්නවාද ඒ කවුද කියා? බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “නායක පූජකයෝ සහ ලියන්නෝ ඔහු සිදු කළ විස්මයජනක ක්‍රියාද, ‘දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න!’ කියා දේවමාලිගාවේ හඬ නඟමින් සිටි පිරිමි දරුවන්ද දැක, උදහස් වූහ. ඔවුහු ඔහුට කතා කොට: ‘මොවුන් කියන දේ ඔබට ඇසෙනවාද?’ කියා ඇසූහ.”—මතෙව් 21:15, 16; යොහන් 12:42.

13 ඒ පුජකයන් හිතුවේ යේසුස් තමාට ප්‍රශංසා කරමින් සිටි ඒ පිරිමි දරුවන්ව නිශ්ශබ්ද කරයි කියලයි. ඔහු එසේ කළාද? නැහැ, කොහෙත්ම නැහැ. ඒ වෙනුවට යේසුස් පිළිතුරු දුන්නේ මෙහෙමයි. “එසේය. ‘බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ’ යන පාඨය ඔබ කවදාවත් කියවා නැද්ද?” ඒ පිරිමි ළමුන් කළ ප්‍රසංසාව අසා යේසුස් සහ ඔහුගේ පියාණන් සතුටු වූ බව පැහැදිලියි. ඒ දරුවන් කරමින් සිටියේ එතැන සිටි සියලුම වැඩිහිටියන් කළ යුතු දෙයකුයි. ඔවුන්ගේ ඒ ළමා මනස්වලට ඔහු කවුද කියා හොඳටම පැහැදිලි වී තිබුණා විය යුතුයි. මේ මිනිසා පුදුමාකාර දේවල් කළ බවත්, මහා එඩිතරකමකින් හා ඇදහිල්ලකින් යුතුව කතා කළ බවත්, දෙවි සහ ඔහුගේ සෙනඟ සඳහා දැඩි ප්‍රේමයක් දැක්වූ බවත් ඔවුන් දැක්කා. ඒ තමයි, “දාවිත්ගේ පුත්‍රයා,” එනම් ක්‍රිස්තුස්. ඒ විතරක් නෙවෙයි, අනාවැකියක් ඉෂ්ට කිරීමටත් ඒ පිරිමි ළමුන්ට ලැබුණේ මහත් වරප්‍රසාදයක්. මෙසේ ඔවුන්ගේ ඇදහිල්ලට ඔවුන්ට ආශීර්වාද ලැබුණා.—ගීතාවලිය 8.2.

14. යෞවනයන්ට තිබෙන දීමනාවන් යෙහෝවාට ප්‍රශංසා කිරීමට උපකාරවත් වන්නේ කොහොමද?

14 ඒ වගේ ආදර්ශවලින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවාට ප්‍රබල ප්‍රශංසාවක් දීමට දරුවන්ට හැකි බවයි. සත්‍යය පැහැදිලිව හා සරලව දැකීමට ඔවුන්ට බොහෝවිට පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ඇදහිල්ල ගැන ඉතා උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් කතා කරන්නටත් ඔවුන්ට පුළුවන්. හිතෝපදේශ 20:29හි සඳහන් දීමනාවද ඔවුන් සතුයි. “තරුණයන්ට අලංකාරය නම් ඔවුන්ගේ ශක්තියය.” ඔව්, දරුවන්ට ශක්තිය හා බලය තිබෙනවා. ඒවා යෙහෝවාට ප්‍රශංසා කිරීමට තිබෙන සැබෑ දීමනා. එහෙත්, විශේෂයෙන්ම ඒ වගේ දීමනාවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවාට ප්‍රශංසා කිරීමට ඔබට හැක්කේ කොහොමද?

15. යෙහෝවාට ප්‍රබල ලෙස ප්‍රශංසා කිරීමට නම්, ඔබට තිබිය යුතු චේතනාව කුමක්ද?

15 මේ ප්‍රශංසාව දීම ප්‍රබල අන්දමින් ආරම්භ වෙන්නේ ඔබේ හදවතිනුයි. අනිත් අය කරන නිසාම ඔබ යෙහෝවාට ප්‍රශංසා කරනවා නම් ඔබට ප්‍රබල අන්දමින් එසේ කිරීමට හැකි වෙන්නේ නැහැ. සියලුම ආඥාවලින් ශ්‍රේෂ්ඨතම ආඥාව මෙය බව මතක තබාගන්න. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.” (මතෙව් 22:37) ඔබ දේවචචනය තනිවම අධ්‍යයනය කර යෙහෝවාව පෞද්ගලිකව දැන හඳුනා ගෙන තිබෙනවාද? එසේ කරනවා නම්, එහි ප්‍රතිඵලය වන්නේ යෙහෝවා කෙරෙහි ප්‍රේමණීය හැඟීමක් ඔබ තුළ ඇතිවීමයි. ඒ ප්‍රේමය පෙන්වන්න පුළුවන් හොඳම ක්‍රමය නම් ඔහුට ප්‍රශංසා කිරීමයි. ඔබගේ චේතනාව පැහැදිලි නම්, ප්‍රබල නම්, යෙහෝවාව ඉතා උද්‍යෝගයෙන් පැසසීමට ඔබ සූදානම්යයි පැවසිය හැකියි.

16, 17. යෙහෝවාට ප්‍රශංසා කිරීමේදී හැසිරීම කොතරම් වැදගත්ද? අද්දැකීම විස්තර කරන්න.

16 ඔබ කියන්නට යන දෙයට වඩා ඔබ ක්‍රියා කරන විදිහ ගැන කල්පනා කරන්න. එලිෂා විසූ කාලයේ සිටි ඊශ්‍රායෙල් දැරිය රළු, කිසි ගෞරවයක් නොදක්වන හෝ වංක කෙනෙක් වූවා නම්, සිරියානු නිලධාරීන් යෙහෝවාගේ අනාගතවක්තෘ ගැන ඇය කී වචන ගණනකටවත් ගනියි කියා ඔබ හිතනවාද? නැහැ. අපට එහෙම හිතන්නට බැහැ. ඒ වගේමයි, ඔබත් අනුන්ට ගෞරව කරන, අවංක, හොඳින් හැසිරෙන දරුවෙක් නම් ඔබ කියන දේට සවන් දීමට අනික් අය වඩාත් කැමති වේවි. (රෝම 2:21) උදාහරණයක් සලකා බලන්න.

17 පෘතුගාලයේ එක්තරා 11 හැවිරිදි දැරියකට පාසැලේදී නිවාඩු දිනයක් සැමරීමට බල කෙරුවා. ඇය බයිබලයෙන් ඉගෙන තිබූ දේවල් නිසා ඇගේ හිත කිව්වා ඒ වගේ දේවල් කිරීම වැරදි බව. තමා එය සමරන්නේ නැත්තේ ඇයි කියා ගෞරවයෙන් යුතුව තම ගුරුවරියට පැහැදිලි කළත්, ඇගේ ගුරුවරිය ඇයට නින්දා කරන්නට පටන්ගත්තා. කල් ගත වෙත්ම, ගුරුවරිය නැවත නැවතත් උත්සාහ කළේ ඇයට ලජ්ජා කර ඇගේ ආගමට සමච්චල් කරන්නටයි. එහෙත් මේ දැරිය ගෞරවයෙන් යුතුව ගුරුවරියට සැලකුවා. අවුරුදු කිහිපයක් ගත වුණා. මේ යෞවන සහෝදරිය දැන් ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කරනවා. එක්තරා දිස්ත්‍රික් සමුළුවකදී බව්තීස්ම වෙන අය දෙස ඇය බලා සිටින අතර එක්තරා තැනැත්තියක්ව ඇය හඳුනාගත්තා. ඒ ඇගේ ගුරුවරියයි. දෙන්නා වැලඳගෙන කඳුළු සැලුවා. මේ වැඩිහිටි කාන්තාව දැන් යෞවන සහෝදරීට කියනවා කවදාවක්වත් ඇගේ ගෞරවාන්විත හැසිරීම ඇයට අමතක වුණේ නැති බව. එක් සහෝදරියක් මේ ගුරුවරියට සත්‍යය ගැන දේශනා කර තිබුණා. මේ වෙලාවේ මේ ගුරුවරිය ඒ යෞවන සහෝදරීගේ හැසිරීම ගැන කතා කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇය බයිබල් පාඩමක් පටන්ගෙන පසුව සාක්ෂිකාරියක් බවට පත් වුණේ. ඔව් දරුවෙනි, ඔබේ හැසිරීම යෙහෝවාට ප්‍රශංසා කරන ප්‍රබල ක්‍රමයක් බව අමතක කරන්න එපා!

18. බයිබලය ගැන සහ යෙහෝවා දෙවි ගැන කතා කිරීමට අදිමදි කරන යෞවනයන්ට කුමක් කළ හැකිද?

18 ඇතැම් අවස්ථාවල පාසැලේදී ඔබේ ඇදහිල්ල ගැන කතා කිරීම අමාරුයි කියා ඔබට සිතෙනවාද? එසේ හැඟෙන්නේ ඔබට විතරක් නොවෙයි. එහෙත් ඔබේ ඇදහිල්ල ගැන ඇසීමට වෙනත් අය වැඩියෙන් කැමති වේලාවක හා සුදුසු තැනක ඒ ගැන කතා කිරීම වඩාත් හොඳයි. රටේ නීතිවලට පටහැනි නැත්නම් සහ පාසැලෙන් අවසර දී තිබේ නම්, බයිබලය ගැන කතා කරන පොත් පත් පාසැලට ගෙන ගොස් පාසැලේ විවේක කාලයේදී වෙනත් අධ්‍යාපන වැඩකටයුතු නොකෙරෙන අවස්ථාවලදී ඒවා කියවීමට හැකිද? ඔබේ පංතියේ අනික් සිසු සිසුවියන් ඔබ කියවමින් සිටින දේ ගැන ඔබෙන් අසන්නට ඉඩ තිබෙනවා. ඔබ කියවමින් සිටින සඟරාවේ හෝ පොතේ සිත්ගන්නාසුලු ලිපියක් ගැන ඔවුන් එක්ක ඔබට කතා කරන්නට පුළුවනි. ඒ ගැන අසන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් පුළුවනි. මේ මගින් සත්‍යය ගැන කතා කිරීමට ඔබට ඉබේටම වාගේ අවස්ථාවක් ලැබෙන්නට පුළුවනි. ඔබ එක්ක කතා කරන වෙනත් සිසු සිසුවියන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇසීමට මතක තබාගන්න. ඔවුන් කියන දේවලට ගෞරවයෙන් යුතුව සවන් දී ඔබ බයිබලයෙන් ඉගෙනගෙන ඇති දේ ගැන ඔවුන්ට පවසන්න. මෙහි 29 පිටුවේ පළ වී ඇති අද්දැකීමෙන් පෙන්නුම් කරන්නාක් මෙන්, යෞවනයන් බොහෝදෙනෙක් පාසැලේදී දෙවිට ප්‍රශංසා කරමින් සිටිනවා. මේ මගින් මහත් ප්‍රීතියක් ඔවුන්ට ලැබෙන අතර බොහෝදෙනෙකුට යෙහෝවා ගැන දැනගන්නට ලැබෙනවා.

19. යෞවනයන්ට ගෙයින් ගෙට සේවයේදී වඩාත් බලපෑමෙන් යුක්ත විය හැක්කේ කොහොමද?

19 යෙහෝවාට ප්‍රශංසා කළ හැකි වඩාත් ප්‍රබලතම ක්‍රමය වන්නේ ගෙයින් ගෙට සේවයයි. ඔබ තවමත් එසේ කරන්නේ නැත්නම් ඒ සඳහා ඉලක්කයක් තබන්න හැකිද? ඔබ දැනටමත් එසේ කරමින් සිටිනවා නම්, ඔබට තවත් ඉලක්ක තබාගන්න පුළුවන්. උදාහරණයකට, හැම නිවෙසකදීම එකම දේ කියනවාට වඩා වෙනත් විදිහකට ශුභාරංචිය ගැන කතා කළ හැකි ක්‍රම ගැන සිතන්න. ඒ ගැන ඔබේ දෙමාපියන්ගෙන් සහ අද්දැකීම් ලත් සහෝදර සහෝදරියන්ගෙන් යම් යම් යෝජනා විමසන්න. වැඩියෙන් බයිබලය යොදාගන්නා ආකාරය ඉගෙනගන්න. නැවත බැලීම් හෝ බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය ගැන සොයා බලන්න. (1 තිමෝති 4:15) ඔබ එවන් ක්‍රමවලින් වඩ වඩාත් යෙහෝවාට ප්‍රශංසාව දෙන විට, ඔබට තව තවත් බලපෑමෙන් යුක්ත විය හැකියි. ඔබ දේවසේවයේ වැඩි සතුටක් ලබාවි.

ඔබ යෙහෝවාට ප්‍රශංසා කිරීම ආරම්භ කළ යුත්තේ කවදාද?

20. යෙහෝවාට ප්‍රශංසා කිරීමට තමන් තවමත් බාල වැඩියි කියා යෞවනයන් නොසිතිය යුත්තේ ඇයි?

20 මෙම සාකච්ඡාවේදී නඟන ලද ප්‍රශ්න තුනෙන් අන්තිම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරු ඉතා සරලයි. බයිබලය ඊට දෙන පිළිතුර මේ බලන්න. “ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කාරයාණන් සිහි කරන්න.” (දේශනාකාරයා 12:2) ඔව්, යෙහෝවාට ප්‍රශංසා කිරීම පටන්ගැනීමට කාලය දැනුයි. “යෙහෝවාට ප්‍රශංසා කිරීමට මම තාම පොඩි වැඩියි. මට අද්දැකීම් නැහැ. මම ලොකු වෙනකම් ඉන්නවා” කියා ඔබට හැඟෙන්න පුළුවන්. එසේ හැඟුණු පළමුවැනියා ඔබ නොවෙයි. තරුණ යෙරෙමියාත් යෙහෝවාට කීවේ මෙහෙමයි. “අනේ, ස්වාමි වූ යෙහෝවා, බැලුව මැනව, මම බාලයෙක් වෙමි. ඒ නිසා මට කතා කරන්ට බැරිය.” භයවීමට කිසිදු හේතුවක් නැති බව කියමින් යෙහෝවා ඔහුගේ බිය සැක දුරු කළා. (යෙරෙමියා 1:6, 7) ඒ වගේමයි, අපිත් යෙහෝවාට ප්‍රශංසා කරන කොට අපට භයවීමට කිසිදු හේතුවක් නැහැ. අපට හානියක් වුණත් යෙහෝවා අපේ පැත්තේ ඉන්න නිසා භය වෙන්න අවශ්‍ය නැහැ.—ගීතාවලිය 118:6.

21, 22. යෙහෝවාට ප්‍රශංසාව දෙන දරුවන් පිනි මෙන් වන්නේ ඇයි? දරුවන් මේ විදිහට පිනිවලට සමාන කිරීම දිරිගැන්වෙන දෙයක් වන්නේ ඇයි?

21 දරුවෙනි, අපි ඔබෙන් ඉල්ලන්නේ මෙයයි. යෙහෝවාට ප්‍රශංසා කරන්න අදිමදි කරන්න එපා! දැන් ඔබ සිටින මේ බාල විය තමයි අද ලෝකයේ සිදු වෙන වැදගත්ම කාර්යයේ නියැලීමට ඔබට තිබෙන හොඳම කාලය. ඔබ එසේ කරන විට, ඔබත් යෙහෝවාට ප්‍රශංසා කරන විශ්වනීය පවුලේ කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තටම එය මොන තරම් වරප්‍රසාදයක්ද! මේ පවුලට ඔබත් ඇතුළත් වීම ගැන යෙහෝවා ගොඩාක් සතුටු වෙනවා. ගීතිකාකරු යෙහෝවාව අමතමින් පැවසූ මේ වචන දිහා බලන්න. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ ශුද්ධකමේ අලංකාරයෙන් යුක්ත වූ ඔබගේ තරුණකමේ පිනි ඔබට ඇත.”—ගීතාවලිය 110:3.

22 හිමිදිරියේ තණකොළ මත වැටී තිබෙන පිනි කොච්චර ලස්සනද! නැවුම්බවින් පිරි හිරු එළියට දිලිසෙන ඒ පිනිවලින් ගහන තණ බිම්වල දසුන කොච්චර සුන්දරද! ඔව්, දරුවෙනි, යෙහෝවා ඔබව සලකන්නෙත් ඒ පිනි වගේමයි. මේ අන්තරාදායක කාලයේදී ඔහුව සතුටු කරන ඔබව ඔහුට කොච්චර වටිනවාද! එහෙම නම් ඔබ යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහුගේ හදවත කොතරම් සතුටු වේවිද! (හිතෝපදේශ 27:11) එසේනම්, ආදර දරුවෙනි, යෙහෝවාට ඔබේ මුළු හදින් ප්‍රශංසාව දෙන්න!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවාට ප්‍රශංසා කිරීමට තිබෙන හේතු මොනවාද?

• දරුවන්ට ඉතා ප්‍රබල ලෙස යෙහෝවාට ප්‍රශංසා කිරීමට හැකියාව තිබෙන බව පෙන්වන්නේ කවර බයිබල් ආදර්ශවලින්ද?

• අද දින දරුවන්ට යෙහෝවාට ප්‍රශංසා කිරීමට හැක්කේ කෙසේද?

• දරුවන් යෙහෝවාට ප්‍රශංසා කිරීමට පටන්ගත යුත්තේ කොයි කාලයේද? ඒ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූර]

ඔබේ මිත්‍රයාට දක්ෂකම් තිබෙනවා නම්, ඔබ ඒ ගැන අන්‍යයන්ට කියන්නේ නැද්ද?

[27වන පිටුවේ පින්තූරය]

ඔබ විශ්වාස කරන දේවල් ගැන ඔබේ පංතියේ ළමුන් උනන්දුවක් දක්වන්නට පුළුවනි

[28වන පිටුවේ පින්තූරය]

ඔබට ඔබේ දේවසේවය දියුණු කරගන්න අවශ්‍ය නම්, කතා කළ හැකි විවිධ ක්‍රම ගැන පළපුරුදු අයගෙන් අසා දැනගන්න