Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, ඔබේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න

දෙමාපියෙනි, ඔබේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න

දෙමාපියෙනි, ඔබේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න

‘යමෙකු තමාගේම අයට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකා හැර තිබේ.’—1 තිමෝති 5:8.

1, 2. (අ) පවුලක සාමාජිකයන් එකට එකතු වී ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙනවා දැකීම දිරිගැන්වෙන දෙයක් වන්නේ ඇයි? (ආ) නියමිත වේලාවට රැස්වීමට යෑම සඳහා ඇතැම් පවුල් මුහුණ දෙන අභියෝග මොනවාද?

ඔබ අයත් සභාවේ රැස්වීමක් ආරම්භ වෙන්නට පෙර අවට බලන්න. ඉතා පිරිසිදුවට පිළිවෙළට ඇඳ පැළඳගත් දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සමඟ එකට වාඩි වී සිටිනවා ඔබට පෙනේවි. යෙහෝවාටත් පවුලේ එකිනෙකාටත් ප්‍රේම කරන එවැනි පවුල් දැකීම ප්‍රසන්න දසුනක් නොවේද? නමුත් පවුලක් හැටියට නියමිත වේලාවට රැස්වීමට පැමිණීම සඳහා පවුලේ අය කොතරම් උත්සාහයක් ගන්නවාද කියා කෙනෙකුට ලෙහෙසියෙන් අමතක වී යා හැකියි.

2 බොහෝ දෙමාපියන් දවස පුරාම කාර්ය බහුලයි. රැස්වීම් තිබෙන දවස්වලදී පවුලේ අය වඩාත් කාර්ය බහුලයි. කෑම ලැහැස්ති කරන්න තිබෙනවා. දරුවන්ට ඉස්කෝලෙ ගුරුවරු දුන්න ගෙදර වැඩ කරන්න තිබෙනවා. මෙකී නොකී දහසකුත් එකක් වැඩ කරන්න තිබෙනවා. දෙමාපියන් දරුවන්ගේ ඇඟ පත සෝදා, කෑම පිළියෙල කර, නියමිත වේලාවට රැස්වීමට යෑමට දරන්නේ මහත් වෑයමක්. හැබැයි කිසිම විදිහකින් බලාපොරොත්තු නොවූ දේවල් මේ වගේ වෙලාවල වෙන්නත් පුළුවන්. ලොකු පුතා ඉස්කෝලේ ගිහින් ආවේ පරක්කු වෙලා. පොඩි පුතා ටිකක් දඟ නිසා සෙල්ලම් කරලා ඇවිත් රැස්වීමට යන්න ටිකක් කම්මැළියි වගේ. දුව තවමත් ඇඳුම් මදිනවා. මේ නිසා දෙමාපියන් වෙලාවට රැස්වීමට යන්න කොච්චර හොඳට සැලසුම් කළත්, ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරන එක නම් ලෙහෙසි නැහැ. මොනවා වුණත්, රැස්වීම පටන්ගන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී කොහොම හරි පවුලේ කට්ටිය රාජ්‍ය ශාලාවට ඇවිල්ලා. මේ වගේ පවුලක් සතියෙන් සතිය, අවුරුද්දෙන් අවුරුද්ද රැස්වීම්වලට ගිහිල්ලා ඒ දරුවන් ලොකු මහත් වෙලා අන්තිමේදී යෙහෝවාට සේවය කරනවා දකින්න ලැබෙන එක කොච්චර ලස්සනද!

3. යෙහෝවා පවුල් සාමාජිකයන්ව ඉතා ඉහළින් අගය කරන බව අප දන්නේ කොහොමද?

3 දෙමාපියෙක් හැටියට ඔබ කරන දේවල් සමහර අවස්ථාවලදී දුෂ්කර වුණත්, වෙහෙසකාරී වුණත්, ඔබ දරන උත්සාහය යෙහෝවා බෙහෙවින් අගය කරන බව මතක තබාගන්න. පවුල ආරම්භ කළේ යෙහෝවා දෙවියි. එම නිසා ඔහුගේ වචනයේ පවසන්නේ සෑම පවුලකටම, “නම ලැබී ඇත්තේ ඔහුගෙන්” බවයි. එනම් පවුලක් පවතින්නේ යෙහෝවා නිසයි. (එෆීස 3:14, 15) එම නිසා දෙමාපියෙනි, ඔබ ඔබේ වගකීම් නිසි අන්දමින් ඉටු කිරීමට මහන්සි ගන්නා විට ඔබ ගෞරවයට පත් කරන්නේ මේ විශ්වයේ නීත්‍යනුකූල පාලකයා වන යෙහෝවා දෙවිවයි. (1 කොරින්ති 10:31) එය ඔබට තිබෙන ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයක් නේද? ඒ නිසා යෙහෝවා විසින් දෙමාපියන්ට දී ඇති මෙම පැවරුම ගැන සලකා බැලීම ඉතා සුදුසුයි. මේ ලිපියේ අප සලකා බලන්නේ පවුලක දරුවන්ට අවශ්‍ය දේ ලබා දීම සම්බන්ධවයි. දෙමාපියන් දරුවන්ව රැකබලා ගත යුතු ආකාර තුනක් ගැන අපි දැන් සලකා බලමු. ඒවා දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා.

ආහාර, ඇඳුම් හා ඉඳුම් හිටුම් දීම

4. පවුලක දරුවන්ට අවශ්‍ය දේවල් දීමේදී යෙහෝවා සැලසුම් යොදා තිබෙන්නේ කොහොමද?

4 පාවුල් මෙසේ ලීවා. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකා හැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) මෙහි “යමෙකු” කියා පාවුල් කතා කරන විට, ඔහුගේ මනසේ තිබුණේ කා ගැනද? ඒ පවුලේ මූලිකයා හෙවත් පියා ගැනයි. ඒ වගේම තම ස්වාමිපුරුෂයාට සහය වන භාර්යාව වශයෙන් මවටත් දෙවි දී තිබෙන්නේ ගෞරවනීය තැනක්. (උත්පත්ති 2:18) පුරාණ ඊශ්‍රායෙල් දේශයේ විසූ කාන්තාවන් පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමේදී බොහෝවිට තමන්ගේ ස්වාමිපුරුෂයන්ට සහය වුණා. (හිතෝපදේශ 31:13, 14, 16) සාමාන්‍යයෙන් පවුලක මූලිකත්වය ගන්නේ පියායි. ඒ දෙදෙනාම සහයෝගයෙන් වැඩ කරද්දී හොඳ ප්‍රතිඵල නෙළාගත හැකියි. නමුත් වර්තමානයේ බොහෝ පවුල්වල සිටින්නේ එක මාපියෙකු පමණයි. * දෙවිට නමස්කාර කරන තනි මාපියන් බොහෝදෙනෙක් තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේවල් දීම සඳහා දරන වෙහෙස මහන්සිය ප්‍රශංසනීයයි.

5, 6. (අ) තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේවල් දීමේදී ඇතැම් පියවරුන් මුහුණ දෙන අභියෝග මොනවාද? (ආ) ක්‍රිස්තියානි පියවරුන් තම වගකීම් ඉටු කිරීමට අඛණ්ඩ උත්සාහයක් දැරිය යුතු නිසා ඔවුන් තම රැකියාව හෝ ජීවිකාව සම්බන්ධයෙන් කවර ආකල්පයක් දැරීම ප්‍රයෝජනවත් වේද?

5 පළමුවන තිමෝති 5:8හි පාවුල් සඳහන් කළේ කුමන අන්දමක දේවල් දීම ගැනද? මෙහි පාඨ සම්බන්ධය දෙස බලන කල අපට පෙනී යන්නේ ඔහු ඍජුවම කතා කරමින් සිටියේ පවුලේ අයට කෑම බීම ඇඳුම් හිටුම් දීම ගැන බවයි. අද පවුල් මූලිකයෙකුට මේ අවශ්‍යතා සැපයීමේදී මුහුණ දීමට තිබෙන බාධක අභියෝග රැසක් තිබෙනවා. ලොව පුරාම ආර්ථික ප්‍රශ්න වැඩි වෙලා. සමහරුන්ව රැකියාවෙන් පහ කරනු ලබනවා. රැකියා නැති අයගේ සංඛ්‍යාවත් ඉහළයි. ජීවන වියදම තවත් පැත්තකින්. මෙවැනි පරිසරයක් මැද තමන්ගේ දරු පවුලට අවශ්‍ය දේවල් දීමට දෙමාපියෙකුට හැකියාව ලැබෙන්නේ කුමකින්ද?

6 තම දරුවන්ට මෙසේ අවශ්‍ය දේවල් සපයන පියෙක් මතකයේ තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, ඔහු යෙහෝවාගෙන් තමාට ලැබුණු පැවරුමක් ඉටු කරමින් සිටින බව. පාවුල් දේවානුභාවයෙන් ලියූ වචනවලින් පෙන්වන්නේ මෙම ආඥාවට කීකරු වීමට හැකියාව තිබෙන තැනැත්තෙක් එසේ කිරීම පැහැර හරිනවා නම්, ඔහු “නොඇදහිලිකාරයෙකුටත් වඩා නරක” බවයි. ක්‍රිස්තියානි පියෙකු නම් එසේ දෙවිගේ අප්‍රසාදයට පත් නොවන්න තමන්ට කළ හැකි උපරිමය කළ යුතුයි. එහෙත් අද බොහෝදෙනෙකු තුළ “ජන්ම ස්නේහය” නැතිවීම ඉතා කනගාටුවට කරුණක්. (2 තිමෝති 3:1, 3) ඇත්ත වශයෙන්ම පියවරුන් වැඩි පිරිසක් තමන්ට තිබෙන මෙම වගකීම පැහැර හරින්නේ තම පවුලේ අයව අනාථ කරමිනුයි. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් කිසිම විටෙකත් තමන්ට පැවරී ඇති ඒ උදාර වගකීම ගැන සැහැල්ලුවට සිතන්නේ නැහැ. ඔවුන් තමන්ගේ රැකියා ස්ථානයේ සිටින වෙනත් අය වගේ නොවෙයි. තමන්ට කරන්නට තිබෙන රැකියාව “පහත්” එකක්යයි අන්‍යයන් සැලකුවත් තමන්ගේ දරු පවුලට අවශ්‍ය දේවල් ලබා දීම සඳහා ඉතා සතුටින් තම රැකියාවේ නියැලෙන්නේ එය යෙහෝවා සතුටු කරන දෙයක් බව දැනගෙනයි. ඒ අනුව ඔවුන් තමන් කරන රැකියාව දෙස බලන්නේ එය ඉතා ගෞරවනීය වැදගත් එකක් ලෙසයි.

7. දෙමාපියන් යේසුස්ගේ ආදර්ශය ගැන කල්පනා කර බැලීම වටින්නේ ඇයි?

7 ගෘහ මූලිකයන් යේසුස්ගේ අනර්ඝ ආදර්ශය ගැන කල්පනා කර බැලීම හොඳයි. යේසුස් අපගේ “සදාකාල පියාණෝ” බව බයිබලයේ අනාවැකිවල කලින් කියා තිබුණු බව මතක තබාගන්න. (යෙසායා 9:6, 7) “පළමුවන මිනිසා වූ ආදම්” වෙනුවට යේසුස් “අන්තිම ආදම්” වශයෙන් ක්‍රියා කරන අතර ඇදහිලිවන්ත මිනිස් සංහතියේ පියාණන් වන්නේ ඔහුයි. (1 කොරින්ති 15:45) අනුන් ගැන අබමල් රේණුවක තරම්වත් නොසිතා තමා ගැන පමණක් සිතූ ආදම් මෙන් නොව යේසුස් අපට සිටින නියම පියායි. බයිබලයේ යේසුස් ගැන කියා තිබෙන්නේ මෙහෙමයි. “ප්‍රේමය යනු කුමක්දැයි අප දැනගත්තේ ඒ තැනැත්තා අප උදෙසා තම ජීවිතය දුන් බැවිනි.” (1 යොහන් 3:16) යේසුස් සිය කැමැත්තෙන්ම තමාගේ ජීවිතය අනෙක් අය උදෙසා පූජා කළා. ඔහු අදත් වෙනත් අය ගැන සිතනවා. වෙනත් අයගේ සුළු සුළු අවශ්‍යතාවලදී ඒවා සපුරාලීමට ක්‍රියා කරනවා. ඉතින් දෙමාපියෙනි, ඒ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයම පෙන්වන්න ඔබටත් පුළුවන් නේද?

8, 9. (අ) තම පැටවුන්ට ආදරයෙන් ආහාර සපයන කුරුල්ලන්ගෙන් දෙමාපියන්ට කුමක් ඉගෙන ගත හැකිද? (ආ) ක්‍රිස්තියානි දෙමාපියන් බොහෝදෙනෙක් ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වන්නේ කෙසේද?

8 ඒ වගේම දෙවිගෙන් ඈත් වෙමින් සිටි ජනයා වෙත යේසුස් කී වචනවලින් ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය ගැන දෙමාපියන්ට බොහෝ දෑ ඉගෙනගත හැකියි. “කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් කැමති වූයෙම්ද!” (මතෙව් 23:37) යේසුස් මේ අවස්ථාවේදී තමන්ට සවන් දී සිටි අයගේ මනසට නඟමින් සිටියේ කිකිළියක් තම පැටවුන්ව පියාපත් සෙවණේ තබාගෙන ආරක්ෂා කරන අන්දම ගැනයි. සාමාන්‍යයෙන් කුරුලු මවක් තමන්ගේ පැටවුන්ව අනතුරකින් ආරක්ෂා කරගන්නට නොකරන දෙයක් නැහැ. ඇත්තෙන්ම එවැනි කුරුලු මවකගෙන් බොහෝ දේ ඉගෙනගන්නට දෙමාපියන්ට පුළුවන්. කුරුලු මව හෝ පියා තම පැටවුන් වෙනුවෙන් දිනපතා කරන දේ බලා සිටීම හරිම අපූරු අද්දැකීමක්. උන් තම පැටවුන්ට ආහාර සොයා ගුවනේ එහා මෙහා සැරිසරනවා. කොතරම් මහන්සි වුණත් හොටෙන් ආහාර රැගෙන එන කුරුලු මව හෝ පියා කූඩුව වෙත ගොස් කිචි බිචි ගාමින් සිටින තම පැටවුන්ගේ හොටට ඒවා ඇතුල් කරත්ම ඒවා ලහිලහියේ ගිල දමන පැටවුන් තවත් කෑම ඉල්ලන දර්ශනය හරිම අපූරුයි. මේ විදිහට බලද්දී යෙහෝවා මැවූ කුරුල්ලන් හා වෙනත් සතුන් “ඥානවන්තය.” උන් තම පැටවුන්ට අවශ්‍ය දේ සපයන ආකාරයෙන් එය මනාව පේනවා.—හිතෝපදේශ 30:24.

9 ඒ වගේම ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි දෙමාපියනුත් තමන්ගේ දරුවන්ව රැකබලා ගැනීමට මහත් කැපවීමකින් ක්‍රියා කරන ආකාරය පැසසිය යුතුයි. ඔබේ ජීවිතයට අවදානමක් ඇති වුණත් ඔබේ දරුවන්ට කිසිම අනතුරක් වෙන්නට ඔබ ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඔබගේ දරුවන්ට අවශ්‍ය දේ සැපයීම සඳහා ඔබ සෑම දවසකම යම් යම් පරිත්‍යාග කැමැත්තෙන්ම කරනවා. ඔබගෙන් බොහෝදෙනෙක් උදේ පාන්දරම අවදි වෙලා උයනවා, පිහනවා, ගේ අස් කරනවා. දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ලබා දෙන්න ඔබ ගන්නේ සෑහෙන මහන්සියක්. දරුවන්ට පිරිසිදු ඇඳුම්, සුදුසු ඉඳුම් හිටුම් හා නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඔබ වෙහෙසෙනවා. ඔබේ ජීවිතය අවුරුදු ගණනාවක්ම ගෙවී යන්නේ මේ විදිහටයි. ඔබ ඒ විදිහට පරිත්‍යාශීලීව විඳදරාගෙන ගත කරන ජීවිතය යෙහෝවාව සතුටු කරන බව නම් නිසැකයි. (හෙබ්‍රෙව් 13:16) එහෙත් ඒ අතරම ඊටත් වඩා වැදගත් ආකාරවලින් ඔබ ඔබේ දරුවන්ට සැපයිය යුතු බවත් ඔබ මතක තබාගැනීම අවශ්‍යයි.

දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට දරුවන්ට උපකාර කිරීම

10, 11. මිනිසුන්ට අවශ්‍ය වඩාත් වැදගත් දේ කුමක්ද? දරුවන් තුළ මෙම අවශ්‍යතාව සැපිරීම පිණිස පළමුව ක්‍රිස්තියානි දෙමාපියන් කුමක් කළ යුතුද?

10 දරුවන්ට ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් දීමට වඩා අත්‍යවශ්‍යම දේ වන්නේ ඔවුන්ට දෙවි සමඟ සම්බන්ධතාවක් පවත්වාගැනීමට උපකාර කිරීමයි. යේසුස් මෙසේද පැවසුවා. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙව් 4:4; 5:3) දෙමාපියෙනි, මේ අතින් දරුවන්ට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකිද?

11 මේ විෂය ගැන කතා කරද්දී බයිබලයේ ද්විතීය කතාව 6:5-7හි සඳහන් ශුද්ධ ලියවිලි පාඨය තරම් උපුටා දැක්වෙන වෙනත් පාඨයක් නැති තරම්. ඔබේ බයිබලය පෙරළා ඒ වචන කියවන්න. මෙහි පළමුවෙන් දෙමාපියන්ව අමතා ඔවුන් දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමේ අවශ්‍යතාව ගැන කතා කරනවා. පළමුව යෙහෝවා කෙරෙහි ප්‍රේමයක් ගොඩනංවාගෙන දෙවිගේ වචන සිතට ගත යුත්තේ දෙමාපියන් විසිනුයි. දෙමාපියෙනි, ඔබ දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. එය නිතරම කියවා එහි පවසන දේ ගැන මෙනෙහි කරන විට යෙහෝවා දේවල් කරන විදිහ ගැන, ඔහුගේ ප්‍රතිපත්ති සහ නීති ගැන අවබෝධයක් හා ඒවා කෙරෙහි ඇල්මක් ඔබ තුළ ගොඩනැඟේවි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ සිතේ චිත්තාකර්ෂණීය බයිබල් සත්‍යයන් රැඳී පවතීවි. මේ මගින් ඔබේ සිතට මහත් සතුටක් ඇති වී ඔබ තුළ යෙහෝවා කෙරෙහි මහත් ගරුබියක් ඇති වේවි. එමගින් ඔබට ඔබේ දරුවන්ට කියා දීම සඳහා ඔබේ සිත බොහෝ යහපත් දේවලින් පිරී යාවි.—ලූක් 6:45.

12. දරුවන්ගේ සිත් තුළට බයිබල් සත්‍යයන් තදින් කාවැද්දවීම සඳහා දෙමාපියන්ට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කොහොමද?

12 ද්විතීය කථාව 6:7හි උපදෙස් දී ඇත්තේ සෑම අවස්ථාවකදීම යෙහෝවාගේ වචන දරුවන්ට ‘මනාකොට ඉගැන්විය’ යුතු බවයි. දෙවි සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් තිබෙන දෙමාපියන් මෙය කිරීමට නිතරම සූදානමින් සිටිනවා. ‘මනාකොට ඉගැන්වීම’ කීමෙන් අදහස් කරන්නේ නැවත නැවත කීමෙන් යමක් සිතේ තැන්පත් කිරීම යන අදහසයි. අප සියලුදෙනාට විශේෂයෙන් අපේ දරුවන්ට යමක් ඉගෙනගැනීම සඳහා නැවත නැවත කියා දීම අවශ්‍ය බව යෙහෝවා හොඳින් දන්නවා. මේ නිසයි යේසුස් උගන්වද්දී කාරණා නැවත නැවත පැවසුවේ. උදාහරණයක් හැටියට තම ගෝලයන් උඩඟු හා තරඟකාරී පුද්ගලයන් වෙනවා වෙනුවට, යටහත් පහත් අය විය යුතුය යන කාරණය ඉගැන්වීමට ඔහු විවිධ ක්‍රම යොදාගත්තා. ඔහු උපමා මගින් කාරණා තර්කානුකූලව ඒත්තුගැන්නුවා. සමහර අවස්ථාවලදී යටහත් පහත් වෙන්නේ කොහොමදැයි ක්‍රියාවෙන්ම පෙන්නුවා. (මතෙව් 18:1-4; 20:25-27; යොහන් 13:12-15) එහෙත් කිසිම විටකත් යේසුස් ඉක්මන් වුණේ නැහැ. ඔහු ක්‍රියා කළේ මහත් ඉවසීමෙන්. ඒ වගේම තම දරුවන්ට මූලික සත්‍යයන් ඉගැන්වීම සඳහා නොයෙක් නොයෙක් ක්‍රම සෙවීමට දෙමාපියනුත් උත්සුක වෙන්න ඕනෑ. තම දරුවන් යෙහෝවාගේ ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගෙන ඒවා අදාළ කරගන්නවා දකින තුරු ඉවසීමෙන් ඒවා නැවත නැවත ඔවුන්ට කියා දෙන්න ඕනෑ.

13, 14. දෙමාපියන්ට තම දරුවන් බයිබල් සත්‍යයන් මනාකොට ඉගැන්විය හැකි ඇතැම් අවස්ථා මොනවාද? ඔවුන්ට කුමන ආධාරක ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද?

13 දරුවන්ට බයිබල් සත්‍යයන් උගන්වන්න හොඳම වේලාව තමයි පවුලේ පාඩම කරන වේලාව. ඇත්ත වශයෙන්ම යම් පවුලක් නිතිපතා ක්‍රමයකට ගොඩනැංවෙන ආකාරයෙන් සතුටින් පවුලේ බයිබල් පාඩමක් කිරීම අවශ්‍යයි. මන්ද දරුවන්ට දෙවි සමඟ තිබෙන සම්බන්ධතාව ශක්තිමත් කරන ප්‍රධාන ක්‍රමය වන්නේ එය නිසයි. ලොව වටා වෙසෙන ක්‍රිස්තියානි පවුල් ඉතා සතුටින් පවුලේ පාඩම කරනවා. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ යෙහෝවාගේ සංවිධානයෙන් සපයා ඇති පොත් පත්. ඒවායේ තිබෙන අදහස් හා තොරතුරු ඔවුන් සාකච්ඡා කරන්නේ තම දරුවන්ට සරිලන විදිහට ඒවා සකස් කරගෙනයි. මේ අතින් බලන විට, උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත සහ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * යන පොත පවුල්වලට ඉමහත් ආශීර්වාදයක් වී තිබෙනවා. කෙසේවෙතත්, දරුවන්ට ඉගැන්විය හැකි එකම වේලාව පවුලේ පාඩම කරන වේලාව පමණක් නොවෙයි.

14 ද්විතීය කතාව 6:7හි පෙන්වන අන්දමට දෙමාපියන් ලෙස ඔබට ඔබේ දරුවන්ගේ ඇදහිල්ල වර්ධනය කිරීමට දරුවන් සමඟ බොහෝ අවස්ථාවලදී කතා කළ හැකියි. ඔබ ඔවුන් සමඟ ගමන් බිමන් යන විට, ගෙදර දොරේ වත්තේ එකට වැඩ කරන විට නැත්නම් එකට විනෝද වෙන විට, සෙල්ලම් කරන විට ඔවුන්ව දෙවි වෙතට ළං කරවීමට අවස්ථා ගණනාවක් පෑදෙන්න පුළුවන්. ඔබේ දරුවන්ට බයිබලයේ තිබෙන දේවල් ගැන “දේශනාවක්” දෙන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔවුන් සමඟ කතා බහ කරද්දී එම කතාව ගොඩනංවනසුලු ඇදහිල්ල ශක්තිමත් කරවන ආකාරයකින් තබාගන්න. නිදසුනක් වශයෙන් පිබිදෙව්! සඟරාවේ විවිධ විෂයන් ගැන ලිපි බොහොමයක් පළ වෙනවා. මේ ලිපිවල තිබෙන දේවල් ගැන කතා කරද්දී යෙහෝවා මැවූ සතුන් ගැන, ලෝකයේ ලස්සන තැන් ගැන, මිනිසුන් අතර තිබෙන විවිධ සංස්කෘතීන් හා ජීවන රටාවන් පිළිබඳ අපූරු දේවල් ගැන කතා බහ කරන්න අවස්ථාව පෑදෙනවා. මේ වගේ කතා බහ වලින් සිදු වන්නේ, විශ්වාසවන්ත නුවණ ඇති දාසයා විසින් සපයන ලද පොත් පත් වැඩි වැඩියෙන් කියවීමට පෙලඹවීමක් ඔබේ දරුවන් තුළ ඇතිවීමයි.—මතෙව් 24:45-47.

15. ක්‍රිස්තියානි දේවසේවයේ උනන්දුවෙන් හා ආශාවෙන් යෙදීමට තම දරුවන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද?

15 දරුවන් සමඟ ඔවුන්ව ගොඩනැංවෙන ආකාරයෙන් කතා බහ කිරීමෙන් ඔබට පුළුවන් ඔවුන්ගේ ඇදහිල්ල තවත් විදිහකින් ශක්තිමත් කරන්න. ඒ තමයි, තම ඇදහිල්ල ගැන අන්‍යයන්ට කතා කිරීමට දරුවන්ට කියා දීම. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල තිබෙන සිත්ගන්නාසුලු ඇතැම් තොරතුරු ගැන ඔවුන්ට කියා දෙද්දී වෙනත් අයටත් මේවා කියා දිය හැකි අන්දම ගැන ඔවුන්ට පෙන්වා දෙන්න. නිදසුනක් හැටියට ඔබට මෙහෙම අහන්න පුළුවන්. “දුවේ, පුතේ, අපි යෙහෝවා ගැන දැන් මේ දැනගත් දේ තවත් අයටත් කියා දුන්නොත් හොඳයි නේද? මේ ගැන තවත් කෙනෙකුගේ හිතට කාවදින විදිහට කියා දෙන විදිහක් ඔයාලට හිතන්න පුළුවන්ද?” ඒ විදිහට දරුවන්ට කියා දෙන විට, තමන් ඉගෙනගන්නා දේවල් තවත් අයටත් කීමට දරුවන් තුළ ඇති වෙන්නේ ලොකු ආශාවක්. පසු අවස්ථාවක ඔබේ දරුවන් ඔබ සමඟ දේවසේවයේ හවුල් වෙද්දී, ඔබ ඔවුන් සමඟ කතා කළ තොරතුරු ඔබ වෙනත් කෙනෙකුට පවසනවා ඔවුන් දකීවි. මෙසේ දේවසේවයේ යෑමට ඔවුන් තුළ ලොකු උනන්දුවක්, ආශාවක් ඇති වෙන්න පුළුවන්. මේ මගින් ඔවුන් මහත් තෘප්තියක් හා ප්‍රීතියක් ලබනවාට කිසිම සැකයක් නැහැ.—ක්‍රියා 20:35.

16. තම දෙමාපියන්ගේ යාච්ඤාවන් අසා සිටීමෙන් දරුවන්ට කුමක් ඉගෙනගත හැකිද?

16 දෙමාපියන් තම දරුවන් සමඟ යාච්ඤා කිරීමද අතිශයින් වැදගත් දෙයක්. යේසුස් තම ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය ඉගැන්නුවා. ඒ වගේම ඔහු අවස්ථා ගණනාවකදී ඔවුන් සමඟ යාච්ඤා කළා. (ලූක් 11:1-13) යෙහෝවාගේම පුත්‍රයා සමඟ යාච්ඤාවලට හවුල් වීමෙන් එම ගෝලයන් කොතරම් දේවල් ඉගෙනගන්නට ඇද්ද කියා ඔබට සිතාගන්න පුළුවන්ද? ඒ වගේම ඔබේ දරුවන්ටත් ඔබ කරන යාච්ඤාවලින් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔබ ඔවුන් සමඟ යාච්ඤා කරද්දී, මුළු හදවතින්ම යෙහෝවාට යාච්ඤා කරනවාට ඔහු කැමති බවත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔහුට යාච්ඤා කිරීමට හැකි බවත් ඔබේ දරුවන් දැනගනීවි. ඇත්තෙන්ම, ඔබ කරන යාච්ඤාවලින් ඔබේ දරුවන් ඉතා වැදගත් සත්‍යයක් ඉගෙනගන්නවා ඇති. ඒ තමයි, ඔවුන්ට ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සමඟ සම්බන්ධයක් පවත්වාගන්නට හැකිය යන කාරණය.—1 පේතෘස් 5:7.

ඔබේ දරුවන්ට ආදරය පෙන්වන්න

17, 18. (අ) දරුවන්ට ආදරය පෙන්වීමේ ඇති වැදගත්කම ගැන බයිබලයේ හෙළි කර තිබෙන්නේ මොනවාද? (ආ) තම දරුවන්ට ආදරය පෙන්වීම ගැන පියවරුන් යෙහෝවාගෙන් ඉගෙනගත යුත්තේ කුමක්ද?

17 ඇත්ත වශයෙන්ම දරුවන්ට බොහෝ සෙයින් ඔබේ ආදරය අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. දරුවන්ට ආදරය පෙන්වීම කොතරම් වැදගත්ද කියා දේවවචනය දෙමාපියන්ට පවසනවා. නිදසුනක් හැටියට, ‘තම දරුවන්ට ප්‍රේම කරන’ ලෙසට යෞවන කාන්තාවන්ට අවවාද කර තිබෙනවා. යෞවන වියේ මව්වරුන් සිහි කල්පනාවෙන් කටයුතු කිරීම සමඟ මේ කාරණය සම්බන්ධයි. ඇත්තෙන්ම, දරුවෙකුට ආදරය පෙන්වීම සිහි නුවණ තිබෙන මවක් කරන දෙයක්. මේ මගින් දරුවාත් අන්‍යයන්ට ආදරය කිරීමට ඉගෙනගන්නවා පමණක් නොව දරුවාට දිගුකාලීන ප්‍රයෝජන ඒ මගින් ගෙන දෙනවා. අනෙක් අතට දෙමාපියෙක් දරුවෙකුට ආදරය පෙන්වන්න අසමත් වෙනවා නම් එය ඔවුන් අතින් සිදු වන අඥාන දෙයක්. එසේ ආදරය පෙන්නුවේ නැත්නම් දරුවාට ඒ මගින් ඉමහත් වේදනාවක් ඇති වෙනවා. නමුත් යෙහෝවා දෙවි අපි අතින් වැරදි සිදු වුණත් අපට මහත් සේ ප්‍රේම කරනවා. එසේ නම් අපිත් දෙවිව අනුකරණය කරමින් දරුවන්ට ආදරය පෙන්විය යුතුයි නේද?—ගීතාවලිය 103:8-14.

18 ඒ විතරක් නොවෙයි, මුලින්ම අපට ප්‍රේමය පෙන්නුවේ යෙහෝවා දෙවියි. පළමුවෙනි යොහන් 4:19හි කියන්නේ “පළමුකොට ඔහු අපට ප්‍රේම කළ” බවයි. විශේෂයෙන් පියවරුන් යෙහෝවා වගේ වෙන්න උත්සාහ කළ යුතුයි. පියෙකු ලෙස ඔබ තමයි ඔබේ දරුවන් සමඟ ආදරයෙන් බැඳුණු බැම්මක් ඇති කරගැනීමට මුල් පියවර ගන්න ඕනෑ. ඒ වගේම දරුවන්ව “කල නොකිරෙන පිණිස ඔවුන්ට හිරිහැර නොකරන්න” කියාත් බයිබලය පියවරුන්ට අවවාද කරනවා. (කොලොස්සි 3:21) දෙමාපියෙක් දරුවෙකුට කරන ලොකුම හිරිහැරය තමයි, තම දෙමාපියන් තමන්ට ආදරේ නැහැ, තමාව ගණන්ගන්නේ නැහැ කියා ඒ දරුවාට හැඟෙන්න ඉඩහැරීම. පියවරුනි, ඔබේ දරුවන්ට ආදරය පෙන්වන්න ඔබ අදිමදි කරනවාද? යෙහෝවා දෙස බලන්න. යෙහෝවා තමාගේ පුත්‍රයා වූ යේසුස්ව අගය කළ බවත් ප්‍රේම කළ බවත් ස්වර්ගයේ සිටම කියා සිටියා. (මතෙව් 3:17; 17:5) ඇත්තටම ඒක යේසුස්ට කොච්චර දිරිගැන්වීමක් වෙන්න ඇද්ද! ඒ වගේ දෙමාපියන් දරුවන්ට අවංකව ආදරය පෙන්වා ඔවුන්ව අගය කරනවා නම් දරුවන් ඉන් ලබන ශක්තිය හා ධෛර්යය කියා නිම කරන්න බැහැ!

19. දරුවන්ව හික්මවීම වැදගත් වෙන්නේ ඇයි? මෙහිදී ක්‍රිස්තියානි දෙමාපියන් සමබර විය යුත්තේ ඇයි?

19 “පුතේ, දුවේ, මං ඔයාට හුඟාක් ආදරෙයි” කියා කියනවාට වඩා වැඩි යමක් මෙහිදී අවශ්‍යයි. ආදරය කියන දේ සාමාන්‍යයෙන් පළ කළ හැකි හොඳම ක්‍රමය තමයි, එය ක්‍රියාවෙන් පෙන්වීම. දරුවන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් දීම මෙන්ම ඔවුන්ට බයිබලයේ තිබෙන දේවල් කියා දීම අවශ්‍යයි. නමුත් ඔබ එසේ කරන්නේ ඔවුන්ට තිබෙන ආදරය නිසා බව ඔවුන්ට දැනෙන්න සැලැස්විය යුතුයි. තවත් දෙයක් තමයි, දරුවන්ව හික්මවීම. ඒකත් ඔබ ඔවුන්ට තිබෙන ආදරය නිසා කරන දෙයක්. ඇත්තෙන්ම, “යෙහෝවා තමන් ප්‍රේම කරන අයව හික්මවන්නේය.” (හෙබ්‍රෙව් 12:6) අනෙක් අතට, දරුවෙකුව නිසි පරිදි හික්මවන්නේ නැති දෙමාපියෙක් ඒ දරුවාට වෛර කරනවා කියා කීමත් වැරදි නැහැ. (හිතෝපදේශ 13:24) යෙහෝවා සැමවිටම තමන්ගේ සෙනඟට හික්මවීම දෙන්නේ “නිසි ප්‍රමාණයටයි.” (යෙරෙමියා 46:28, NW) වැරදි කිරීමට නැඹුරුවාවක් ඇති ඕනෑම දෙමාපියෙකුට තම දරුවන්ව ඒ වගේ හැමවිටම සමබරව හික්මවීම දෙන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එහෙත් සමබර ලෙස හික්මවීම දීමට ඔබ ගන්නා උත්සාහය වැදගත්. දරුවෙකුට සතුටින් ඵලදායී ලෙස ජීවිතය ගෙවන්න නම් බොහෝ සෙයින් උපකාර වෙන්නේ. ස්ථිර මෙන්ම ප්‍රේමණීය හික්මවීමයි (හිතෝපදේශ 22:6) ඉතින්, තමන්ගේ දරුවාට අනාගතයේදී එවන් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා දැකීමට අකැමති වන්නේ කොයි මවද, කොයි පියාද?

20. ‘ජීවිතය තෝරාගැනීමට’ දරුවන්ට හොඳම අවස්ථාවන් පාදා දීමට දෙමාපියන්ට හැක්කේ කොහොමද?

20 දෙමාපියෙනි, ඔබේ දරුවන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් දීමට වගේම බයිබලයෙන් කාරණා කියා දීමට සහ ඔවුන්ට ආදරය පෙන්වීමට යෙහෝවා විසින් ඔබට දී ඇති පැවරුම ඔබ ඉෂ්ට කරන විට, ඉන් ලැබෙන ආශීර්වාද අතිමහත්. මේ මගින් ඔබ ඔබේ දරුවන්ට ‘ජීවිතය තෝරාගැනීමටත්,’ ඉන් අනතුරුව දිගටම “ජීවත්ව” සිටීමට හැකි උපරිම අවස්ථාව ලබා දෙනවා. (ද්විතීය කතාව 30:19) දරුවන් හැදී වැඩෙන විට ඔවුන් යෙහෝවාට සේවය කිරීමට තෝරාගෙන ජීවනයට යන පාරේ රැඳී සිටිද්දී එය දෙමාපියන්ට ගෙන දෙන්නේ අපමණ ප්‍රීතියක්. (ගීතාවලිය 127:3-5) එවන් ප්‍රීතියක් සදාකාලයටම පවතීවී! එහෙත්, යෙහෝවාට ප්‍රශංසා කිරීමට දැන් යෞවන දරුවන්ට හැක්කේ කොහොමද? ඊළඟ ලිපියේදී මේ ගැන කතා කරනවා ඇති.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ලිපියේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙන මූලිකයා හැටියට නම් කර තිබෙන්නේ පියාවයි. එහෙත් තම දරුවන්ට අවශ්‍ය දේ දීමට මහන්සි වන ක්‍රිස්තියානි මව්වරුන්ටද සාකච්ඡා කර ඇති ප්‍රතිපත්ති අදාළයි.

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

පහත සඳහන් ක්‍රමවලින් දෙමාපියන්ට තම දරුවන්ව රැකබලා ගැනීමට හැක්කේ කෙසේද?

• කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් සැපයීමෙන්?

• දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගැනීමට උදව් කිරීමෙන්?

• ආදරය පෙන්වීමෙන්?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

බොහෝ කුරුල්ලෝ තමන්ගේ පැටවුන්ව පෝෂණය කිරීමට ගන්නේ මහත් උත්සාහයක්

[20වන පිටුවේ පින්තූරය]

මුලින්ම දෙමාපියන්ට දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් තිබිය යුතුයි

[20, 21වන පිටුවේ පින්තූර]

තම දරුවන්ට මැවුම්කරු ගැන කියා දීමට බොහෝ අවස්ථා යොදාගැනීමට දෙමාපියන්ට හැකියි

[22වන පිටුවේ පින්තූරය]

දෙමාපියන්ගේ ආදරයෙන් දරුවන්ට ලැබෙන්නේ ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්