Skip to content

පටුනට යන්න

පාසැලේදී යෙහෝවාට ප්‍රශංසා කළ දරුවෝ

පාසැලේදී යෙහෝවාට ප්‍රශංසා කළ දරුවෝ

පාසැලේදී යෙහෝවාට ප්‍රශංසා කළ දරුවෝ

ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් පාසැලේදී දෙවිට ප්‍රශංසා ගෙන දීමට විවිධ ක්‍රම යොදා ගන්නවා. ඒ ඔවුන්ගේ කතාවෙන් හා හැසිරීමෙන්. ඔවුන්ගේ උද්‍යෝගය පෙන්වන අද්දැකීම් සමහරක් මෙන්න.

වායු ගෝලයට සිදු වී ඇති හානිය ගැන වාර්තාවක් ලියන්න කියා ග්‍රීසියේ එක් සාක්ෂිකාර යෞවනියකට පවසනු ලැබුවා. වොච්ටවර් ප්‍රකාශන සූචිය උපයෝගි කරගෙන මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් ප්‍රයෝජනවත් තොරතුරු සොයාගත් ඇය එම තොරතුරු තම රචනාවට ඇතුල් කළේ, ඒවා මෙම සඟරාවලින් ලබාගත් බවට රචනාව අවසානයේ සඳහන් කරමින්. ඇගේ ගුරුවරිය කියා සිටියේ ඇය මෙතෙක් කියවූ හොඳම රචනාව එය බවයි. මෙම ගුරුවරිය රචනාවේ තොරතුරු සාකච්ඡා සම්මේලන සැසියකට යොදාගත් අතර, ඉන් හොඳ ප්‍රතිඵල ඇති වුණා. ඉන්පසුව අපගේ යෞවන සහෝදරිය පිබිදෙව්! සඟරාවේ තවත් කලාප ගුරුවරියට දුන්නා. මේ අතර “ගුරුවරුන් නැති කල අපට යන කල “ යන ලිපි මාලාව අඩංගු කලාපයද ඒ අතර වුණා. ඇගේ ගුරුවරිය පිබිදෙව්! සඟරාව ගැන පන්තියේදී ප්‍රශංසා මුඛයෙන් කතා කළ අතර, අනෙක් ළමුන් එහි පිටපත් ඉල්ලා සිටියා. අපගේ සහෝදරිය පන්තියේ ළමුන්ට වෙනත් සඟරාද ගෙනැවිත් දුන්නේ ඒවා කියවා ඔවුන්ටත් ඒවායින් ප්‍රයෝජන ගත හැකි වන පිණිසයි.

අප්‍රිකාවේ බෙනින් රටේ එක්තරා ක්‍රිස්තියානි යෞවනියකට මුහුණ දීමට සිදු වුණේ අසාමාන්‍ය ආකාරයක පීඩනයකටයි. පාසැල් සිසුන් බොහෝදෙනෙක් යම් යම් විෂයන් සඳහා අමතර පංතිවලට යෑම ඒ රටේ සිරිතක්. මන්ද ඔවුන්ගේ දෙමාපියන්ට සිතුණේ තමන්ගේ දරුවන් විභාග සමත් වෙන්න නම් ඒවාට යන්නම ඕනෑ කියලා. මේ පංති පැවැත්වුණේ සෙනසුරාදා උදේ වරුවේයි. ඉහත සඳහන් යෞවනිය එවැනි පංතියකට යෑමට විරෝධය පළ කළේ මෙසේ කියමින්. “සෙනසුරාදා උදේ තමයි අපේ මුළු සභාවේම අය එකට දේශනා සේවයේ යන්නේ. ඒ තමයි සතියේ මම වැඩියෙන්ම සන්තෝෂයෙන් ගත කරන කාලය. මම කොහොමටවත් කැමති නැහැ ඒක අතපසු කරන්න.” ඇගේ මව ඔවුන් සමඟ සිටියේ නැහැ. ඉතින් ඇය සිටියේ ඇගේ පියාගේ රැකවරණය යටතේ. ඔහුද සාක්ෂිකරුවෙක්. ඇගේ පියා උත්සාහ කළා සිසුන්ගේ දෙමාපියන්ව හා අමතර පංති පවත්වන ගුරුවරුන්ව කැමති කරවාගෙන වෙනත් වේලාවක පංතිය පැවැත්වීමට. එහෙත් ඔවුන් කිසිවෙක් ඔහුගේ යෝජනාවට කැමති වුණේ නැහැ. යෞවනිය තීරණය කළා අමතර පංතියට නොයා ඉන්න. ඒ වෙනුවට ඇය කළේ ඇගේ සභාවේ අය සමඟ සෙනසුරාදා උදේ දේශනා සේවයේ යෑමයි. මේ නිසා ඇගේ පංතියේ අනෙක් සිසුන් හා සිසුවියන් ඇයට ඔච්චම් කරන්නට පටන් ගත්තා. ඇගේ දේශනා සේවය වගේම ඇගේ දෙවිවත් පැත්තකට දාන්න කියලා සරදම් කළා. ඒ වගේම ඔවුන් ස්ථිර ලෙසම හිතුවා ඇයට නම් විභාගය සමත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. නමුත් සිදු වුණේ එහි අනෙක් පැත්තයි. අපගේ සහෝදරිය විභාගයෙන් සමත් වුණා. අනෙක් සිසුන් අසමත් වුණා. ඇයට කළ සරදම් නැවතුණු බව සඳහන් කරන්නට අවශ්‍ය නැහැ. දැන් ඒ සිසුන් ඇයට කියන්නේ “ඔයා දිගටම ඔයාගේ දෙවිට සේවය කරන්න ඕනේ” කියලයි.

චෙක් සමූහාණ්ඩුවේ වෙසෙන එක් 12 හැවිරිදි යුවතියකට යම් පොතක් ගැන කතාවක් ඉදිරිපත් කරන්නට සිදු වුණා. ඇගේ මව ඇයට කියා සිටියේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත ගැන කතාවක් ඉදිරිපත් කරන ලෙසටයි. ඇය ඇගේ කතාව පටන් ගත්තේ මෙවන් ප්‍රශ්න අසමින්: “ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා කවුරුයි කියලාද ඔයාලා හිතන්නේ?” ඇය යේසුස් ගැනත්, ඔහුගේ ජීවිතය හා ඉගැන්වීම් ගැනත් විස්තර කරන්නට වුණා. ඉන්පසුව ඇය එම පොතේ “සමාව දීමේ පාඩමක්” යන පරිච්ඡේදය සාකච්ඡා කළා. ඇගේ ගුරුවරිය කීවේ මෙයයි. “මේ තමයි මම ඔයාගෙන් අහපු හොඳම කතාව.” ඉන් පසු ඇය පොතක් ලබා ගත්තේ ඉතා ඉහළින් එය අගය කරමින්. පංතියේ තවත් ළමුන් කිහිප දෙනෙක්ද එම පොතේ පිටපත් ඉල්ලා සිටියා. ඊළඟ දවසේදී ඇය එහි පිටපත් 18ක්ම බෙදා දුන්නේ හරිම සතුටකින්.

මේ වගේ යෞවන දරුවන් පාසැලේදී යෙහෝවා දෙවිට ගෙන දෙන්නේ මහත් ප්‍රශංසාවක්. අපි සියලු දෙනාම මේ යෞවනයන් වගේම උද්‍යෝගයෙන් අපේ මැවුම්කරුට ප්‍රශංසා දෙමු.