Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානීන් විසූ ඉතාලියේ අද දින සිදු වන වර්ධනය

මුල් ක්‍රිස්තියානීන් විසූ ඉතාලියේ අද දින සිදු වන වර්ධනය

මුල් ක්‍රිස්තියානීන් විසූ ඉතාලියේ අද දින සිදු වන වර්ධනය

මධ්‍යධරණී මුහුද දක්වා දිවෙන සපත්තුවක හැඩය ගත් අර්ධද්වීපයකි, ඉතාලිය. එහි ආගමික හා සංස්කෘතික අංග ලක්ෂණ මුළු මහත් ලෝකයටම බලපෑම් කර තිබෙනවා. එහි විවිධ භූ විෂමතා, විශ්ව සම්භාව්‍ය කලා කෘති හා එහි ප්‍රණීත ආහාරපාන හේතුවෙන් සංචාරකයන් මිලියන සංඛ්‍යාවක් එම රටට ඇදී එනවා. ඒ වගේම බයිබල් අධ්‍යාපනය අතින්ද එම රටේ දක්නට ලැබෙන්නේ ඉමහත් වර්ධනයක්.

මුල් ක්‍රිස්තියානීන් විසූ පළමු සියවසේ ලෝක මහා බලය වී තිබුණේ රෝමයයි. සත්‍යය ක්‍රිස්තියානි ඉගැන්වීම් පළමුවරට රෝමයට පැමුණුණේ ක්‍රි.ව. 33දී විය හැකියි. ඒ, යෙරුසලමට ගිය යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරී සිටි අය ක්‍රිස්තියානීන් බවට පත් වී නැවත රෝමය බලා ආ වකවානුවේදීයි. ක්‍රිස්තු වර්ෂ 59දී පමණ, පාවුල් පළමුවරට ඉතාලියට ගියා. එහි පුටෙයෝලිය නම් වූ වරායේදී ඔහුට ඇදහිලිවන්ත “සහෝදරයන්” හමු වුණා.—ක්‍රියා 2:5-11; 28:11-16.

යේසුස් සහ ඔහුගේ ගෝලයන් විසින් කලින් කියා තිබූ අන්දමටම ක්‍රි.ව. පළමු සියවසේ අවසානයට පෙර යම් පිරිසක් සැබෑ ක්‍රිස්තියානි මාර්ගයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වුණා. එහෙත්, මෙම සමාජ ක්‍රමයේ නිමාවට පෙර, යේසුස්ගේ සැබෑ ගෝලයන් ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ පෙරමුණ ගෙන තිබෙනවා. ඉතාලියත් ඊට ඇතුළත්.—මතෙව් 13:36-43; ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3-8; 2 පේතෘස් 2:1-3.

ආරම්භය එතරම් හොඳ නැහැ

බයිබල් ශිෂ්‍යයන්ගේ (යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවකට හැඳින්වූ නාමය) ලෝක ව්‍යාප්ත දේශනා සේවයේ පෙරමුණ ගත්තාවූ චාල්ස් ටේස් රසල් 1891දී පළමු වතාවට ඉතාලියේ නගර කිහිපයක සංචාරයේ යෙදුණා. ඔහු කළ දේවසේවයට එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු බවට ඔහුට පිළිගන්නට සිදු වුණා. වර්ෂ 1910දී සහෝදර රසල් නැවතත් ඉතාලියට ගොස් රෝමයේ ජිම්නාස්ටික් ක්‍රීඩාංගණයේදී බයිබල් දේශනයක් ඉදිරිපත් කළා. කුමක්ද එහි ප්‍රතිඵලය වුණේ? “මුළු රැස්වීමම අසාර්ථකයි” කියා ඔහු වාර්තා කළා.

ඇත්තෙන්ම, දශක කිහිපයක් පුරා දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඉතාලියේ දේශනා කිරීම සිදු වූයේ ඉතාමත් හෙමිහිටයි. ඊට හේතුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අධිරාජ්‍යවාදී පාලනයෙන් පීඩා විඳින්නට සිදු වූ නිසා. ඒ කාලයේදී ඉතාලියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 150කට වඩා සිටියේ නැහැ. ඒ අයගෙන් වැඩි දෙනෙක් බයිබල් සත්‍යය ඉගෙන ගත්තේ පිටරටවල ජීවත් වූ නෑදෑයන්ගෙන් සහ මිත්‍රයන්ගෙනුයි.

පුදුමාකාර වර්ධනයක්

දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුව වෙනත් රටවලින් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් ඉතාලියට යවනු ලැබුවා. ඉතාලි ආණ්ඩුවේ පැරණි ලියකියවිලිවලට අනුව පැහැදිලිව පෙනී යන දෙයක් තමයි, මෙම සහෝදර සහෝදරියන්ව ඉතාලියෙන් පිටුවහල් කිරීම සඳහා වතිකානුවේ ඉහළ පැළැන්තියේ පූජකයන් ආණ්ඩුවට බලපෑම් කළ බව. පිට රටවලින් ආ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුට හැර, අනෙකුත් සියලුම දෙනාටම රටින් පිටවීමට සිදු වුණා.

කොතරම් බාධක තිබුණත්, ඉතාලියේ ජනයා සමූහ වශයෙන් යෙහෝවාගේ නමස්කාරය නමැති “කන්දට” ගලා එන්නට පටන් ගත්තා. (යෙසායා 2:2-4) සාක්ෂිකරුවන් දැක්වූ වර්ධනය ඉතා විශිෂ්ටයි. වර්ෂ 2004දී ප්‍රචාරකයන් 2,33,527ක උපරිමයක් වාර්තා කරනු ලැබුවා. ඒ රටේ වැසියන් 248කින් සෑම වැසියෙකුම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. වර්ෂ 2004 ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීමට පැමිණි සංඛ්‍යාව 4,33,242ක්. එහි සාක්ෂිකරුවන්ගේ සභා ගණන 3,049ක් වන අතර ඔවුන් රැස්වීම් පවත්වන්නේ සුවපහසු රාජ්‍ය ශාලාවලයි. මෑත කාලවලදී, විශේෂයෙන්ම මෙම රටේ විවිධ ජන කොටස්වල දක්නට ලැබෙන්නේ ඉතා සැලකිය යුතු ප්‍රගතියක්. දැන් අපි ඒවා ගැන සොයා බලමු.

භාෂා ගණනාවකින් දේශනා කිරීම

අප්‍රිකාවෙන්, ආසියාවෙන් සහ නැගෙනහිර යුරෝපයෙන් බොහෝදෙනෙක් ඉතාලියට සංක්‍රමණය වී තිබෙන්නේ හොඳ රැකියාවක් සොයා ගැනීම පිණිසයි. එසේත් නැත්නම් යම් විපත්වලින් බේරී සිටීම සඳහායි. මෙවන් මිලියන ගණනක ජනතාවකට දෙවි ගැන දැනගැනීම සඳහා උපකාර කළ හැක්කේ කොහොමද?

ඉතාලියේ වෙසෙන සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් අම්හාරික්, අරාබි, ඇල්බේනියන්, ටගාලොග්, චීන, පන්ජාබි, බෙන්ගාලි සහ සිංහල වැනි භාෂාවන් ඉගෙන ගැනීමට උත්සාහ කර තිබෙනවා. වෙනත් විදේශ භාෂාවලින් සාක්ෂි දැරීම සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වූ මේ අයට 2001 පටන් භාෂා පංති පැවැත්වුණා. පසුගිය වසර තුන ඇතුළත, සාක්ෂිකරුවන් 3,711දෙනෙක් භාෂා 17ක් ඉගෙනගැනීම සඳහා පාඨමාලා 79ක් හැදෑරුවා. මේ නිසා භාෂා 25කින් සභාවන් 146ක් සහ කණ්ඩායම් 274ක් ඇති කර ඒවා ශක්තිමත් කිරීමට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවංක සිත් ඇති බොහෝදෙනෙකුට රාජ්‍යයේ ශුභාරංචියට සවන් දීමට හැකි වී තිබෙන අතර බයිබලය පාඩම් කිරීමට පටන් ගෙන තිබෙනවා. ඇති වී තිබෙන ප්‍රතිඵල බොහෝවිට ඉතා දිරිගන්වනසුලුයි.

ඉතාලියේ එක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඉන්දියාවේ සිට පැමිණි මලයාලම් භාෂාව කතා කරන එක් තැනැත්තෙකුට බයිබලය ගැන කතා කළා. ඒ තැනැත්තාගේ නම ජෝර්ජ්. ඔහුට රැකියාව සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබුණත් බයිබල් පාඩමක් කිරීමට ඔහු කැමති වුණේ ඉතා ආශාවෙන්. දවස් කිහිපයකට පසුව ජෝර්ජ්ගේ මිත්‍රයෙක් වූ පන්ජාබි භාෂාව කතා කරන ගිල් රාජ්‍යය ශාලාවට පැමිණි අතර ඔහු සමඟත් බයිබල් පාඩමක් ආරම්භ කෙරුණා. ගිල්, තෙලුගු භාෂාව කතා කරන ඩේවිඩ්ව සාක්ෂිකරුවන්ට හඳුන්වා දුන්නා. ඩේවිඩ්ටද බයිබලය පාඩම් කරන්න වැඩි කල් ගත වුණේ නැහැ. තවත් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු වූ සෝනි සහ සුභාෂ් යන අයද ඩේවිඩ් සමඟ එකම නිවසේ ජීවත් වූ පුද්ගලයන්. ඔවුන් දෙදෙනාත් බයිබලය පාඩම් කිරීමට පටන් ගත්තා. සති කිහිපයකට පසුව, මරාති භාෂාව කතා කරන කෙනෙකු වූ දාලිප්ගෙන් සාක්ෂිකරුවන්ට දුරකථන පණිවුඩයක් ලැබුණා. “මම ජෝර්ජ්ගේ යහළුවෙක්. මටත් බයිබලය උගන්වන්න ඔබට පුළුවන්ද?” කියා ඔහු ඇසුවා. ඊළඟට බයිබල් පාඩමක් වුවමනා වුණු පුද්ගලයාගේ නම සුමිට්. ඔහු දෙමළ භාෂාව කතා කරන කෙනෙක්. අන්තිමේදී ජෝර්ජ්ගේ තවත් යහළුවෙක් දුරකථනයෙන් කතා කර බයිබල් පාඩමක් ඉල්ලා සිටියා. ඉන් පසුව ජෝර්ජ්, මැක්ස් නමැති තවත් යෞවනයෙකුව රාජ්‍ය ශාලාවට එක්කරගෙන ආවා. ඔහුත් බයිබල් පාඩමක් ඉල්ලා සිටියා. දැන් මේ සියලුදෙනා සමඟ බයිබල් පාඩම් හයක් පැවැත්වෙමින් තිබෙන අතර, තවත් හතරදෙනෙකු සමඟ පාඩම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒවා පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ පාඩම් කෙරෙන අතරතුර හින්දි, මලයාලම්, මරාති, පන්ජාබි, දෙමළ, තෙලුගු, සහ උර්දු භාෂාවලින් පළ වී ඇති ප්‍රකාශනද ඔවුන් යොදා ගන්නවා.

බිහිරි අයට ශුභාරංචිය “ඇසෙයි”

ඉතාලියේ බිහිරි අය 90,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙනවා. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මැද භාගයේ සාක්ෂිකරුවන් ඔවුන්ට බයිබල් සත්‍යය උගන්වන්නට පටන් ගත්තා. මුලදී බිහිරි සාක්ෂිකරුවන් කිහිප දෙනෙක් ඉතාලි සංඥා භාෂාව තවත් අයට ඉගැන්වූයේ ඔවුන් ලවා බිහිරි අයට දේශනා කිරීමට හැකි වන පිණිසයි. මේ අනුව බයිබලය කෙරෙහි උනන්දුව දක්වන බිහිරි අයගේ සංඛ්‍යාව වැඩි වෙන්නට පටන් ගත්තා. අද ඉතාලි සංඥා භාෂාව පාවිච්චි කරන බිහිරි අය 1,400කට වඩා වැඩි දෙනෙක් ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙමින් සිටිනවා. මේ භාෂාවෙන් සභා පහළොවක් සහ කණ්ඩායමක් 52ක් දැනටමත් ස්ථාපිත වෙලා.

මුල් අවස්ථාවේදී, බිහිරි අයට සාක්ෂි දැරීම සම්පූර්ණයෙන්ම කෙරුණේ සාක්ෂිකරුවන් එක් එක්කෙනා තනිවම දේශනා කිරීම මගිනුයි. නමුත් 1978දී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉතාලි ශාඛා කාර්යාලය බිහිරි අය වෙනුවෙන් සමුළු සංවිධානය කිරීමට පටන් ගත්තා. මිලාන් නුවර මීළඟට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවේදී බිහිරි අය වෙනුවෙන්ද සැසිවාර පැවැත්වෙන බව එම වසරේ මැයි මාසයේදී නිවේදනය කෙරුණා. ඒ වගේම පළමු වරට සංඥා භාෂාවෙන් එක් රැස්වීමක් පැවැත්වුණේ 1979 පෙබරවාරි මාසයේදී මිලාන් නුවරයි.

එතැන් පටන් ශාඛා කාර්යාලයේ අවධානය යොමු වී ඇත්තේ බිහිරි අයගේ ඇදහිල්ල වැඩීම සඳහා ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලබා දීමටයි. ශුභාරංචිය දේශනා කරන අයගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩිවීමත් සමඟම සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කිරීමේ හැකියාව දියුණු කරගන්නා ලෙස ඔවුන්ට දිරිගන්වනු ලැබුවා. වර්ෂ 1995 සිට, බිහිරි සාක්ෂිකරුවන්ව දේශනා සේවයේ පුහුණු කිරීමටත් ඔවුන් සඳහා ක්‍රිස්තියානි රැස්වීම් සංවිධානය කිරීමටත් විශේෂ පුරෝගාමීන්ව (පූර්ණ කාලීනව දේශනා සේවය කරන අය) විවිධ පළාත්වල තිබෙන කණ්ඩායම් කරා යවා තිබෙනවා. එක්රැස්වීම් ශාලා තුනක වැඩසටහන් නැරඹීම සඳහා සකස් කර තිබෙන වීඩියෝ ප්‍රදර්ශන ක්‍රම දියුණු කර තිබෙනවා. ඒ වගේම බිහිරි අයගේ ඇදහිල්ල වඩවන පෝෂණය දීම සඳහා ක්‍රිස්තියානි ප්‍රකාශනවල තොරතුරු අඩංගු වීඩියෝ පටද දැන් නිකුත් වී තිබෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් බිහිරි අය වෙනුවෙන් දියත් කරන ඇති පෝෂණ වැඩ සටහන අන්‍යයන්ගේද නිරීක්ෂණයට ලක් වෙලා. ‘ඉතාලියේ බිහිරි සමාජය’ නම් ආයතනය මගින් නිකුත් කරන එක්තරා සඟරාවක කතෝලික පූජකවරයෙක් ලියා එවූ ලිපියක කොටසක් උපුටා දක්වා තිබුණේ මෙහෙමයි. “බිහිරි පුද්ගලයෙකුට තිබෙන දුෂ්කරතා බොහෝයි. එවැනි කෙනෙකුට අන්‍යයන්ගේ අවධානය බොහෝ සෙයින් අවශ්‍යයි. නිදසුනක් වශයෙන් බිහිරි කෙනෙකුට තනිවම පල්ලියට ඒම එතරම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් පල්ලියේදී, කියවනු ලබන, ප්‍රකාශ කරනු ලබන හෝ ගීතිකාවල ගායනා කරනු ලබන දේවල් තේරුම් ගැනීමට කවුරුහරි කෙනෙක් ඔහුට උදව් කරන්න ඕනෑ.” එම සඟරාවේ තවදුරටත් මෙසේ කීවා. “එවන් අයට උපකාර කිරීමට තවමත් පල්ලිය සූදානම් නැති බව පල්ලියේ ප්‍රධාන රදගුරුවරුන් පිළිගෙන තිබෙන කරුණක්. මීසමේ පල්ලියට පැමිණෙන බිහිරි අයට වඩා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවලට පැමිණෙන බොහෝ බිහිරි අයට මීට වඩා හොඳින් සලකනු ලබන බව” ඔහු සඳහන් කරනවා.— P@role & Segni.

සිරකරුවන්ට ශුභාරංචිය දේශනා කිරීම

සිරකරුවෙකුට සිර ගෙදර සිටියදීම නිදහස භුක්ති විඳිය හැකිද? ඔව්, දේවවචනය පිළිගෙන එය තමන්ගේ ජීවිතවලට අදාළ කරගන්නා වූ අයව “නිදහස්” කිරීමට එයට හැකියි. යේසුස් “වහලුන්ට” කියා දුන්නේ පාපයෙන් සහ බොරු ආගම්වලින් නිදහස් වන අන්දමයි. (යොහන් 8:32; ලූක් 4:16-19) ඉතාලියේ සිරකරුවන්ට දේශනා කිරීම මගින් ඉතා කදිම ප්‍රතිඵල නෙළාගෙන තිබෙනවා. සිරගෙවල සිටින සිරකරුවන්ට දෙවි ගැන කියා දීම සඳහා ඒවාට ගොස් ඔවුන්ව බැහැදැකීමට ඉතාලියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් 400ක් පමණ දෙනෙකුට ඒ රජයෙන් අවසර දී තිබෙනවා. එවන් අවසරයක් පළමුවරට ලබා ගත් කතෝලික නොවන සංවිධානය යෙහෝවාගේ සාක්ෂිකරුවන්.

බයිබලයේ දෙවි ගැන සඳහන් පණිවුඩය අප නොසිතන ක්‍රමවලටත් පැතිරී යන්නට පුළුවන්. සිරකරුවන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් අධ්‍යාපනික සේවය ගැන වෙනත් සිරකරුවන් සමඟ කතා කරනවා. ඒ නිසා එම සිරකරුවන් තමන්ද බයිබලය පාඩම් කිරීමට කැමතියි කියා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට දන්වා තිබෙනවා. එසේත් නැත්නම්, සිර ගෙදරින් පිටත සිටින කෙනෙක් බයිබල් පාඩම් කිරීමට පටන් ගත් විට, ඔහුගේ නෑදෑයෙක් සිර ගෙදර සිටිනවා නම්, ඔහු කර ඇත්තේ සාක්ෂිකරුවන් සිර ගෙදරට පැමිණ එම නෑදෑයාව බැහැදකින්න කියා ඉල්ලීමක් කරන ලෙස ඔහුට දන්වා යැවීමයි. මිනීමැරීම නිසා හෝ වෙනත් දරුණු අපරාධ නිසා ජීවිතාන්තය දක්වා සිරගෙයි සිටින ඇතැම් සිරකරුවන් තමන්ගේ ක්‍රියා ගැන පසුතැවිලි වී ජීවිතයේ මහත් වෙනස්කම්ද කර තිබෙනවා. මේ නිසා ඔවුන් යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වීමටදහැකි වී තිබෙනවා.

සිරගෙවල් ගණනාවක සිරකරුවන් සඳහා විවිධ බයිබල් විෂයන් ගැන ප්‍රසිද්ධ කථා දීමට, යේසුස්ගේ මරණය සිහිකිරීම පැවැත්වීමට සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවනු ලබන බයිබල් වැඩසටහන්වල වීඩියෝ පට පෙන්වීමට යම් යම් සැලසුම් ඇති කර තිබෙනවා. බොහෝ අවස්ථාවලදී සිරකරුවන් බොහෝදෙනෙක් මෙම රැස්වීම්වලට සහභාගි වී තිබෙනවා.

සිරකරුවන්ට පොදුවේ උපකාර කිරීම පිණිස, විවිධ විෂයන් ගැන පළ වී ඇති සඟරා සාක්ෂිකරුවන් ඉතා පුළුල් ලෙස සිරකරුවන් අතර බෙදා හැර තිබෙනවා. වර්ෂ 2001 මැයි 8දා පිබිදෙව් සඟරාවේ “සිරකරුවන්ව පුනරුත්ථාපනය කළ හැකිද?” යන විෂය ගැන සඳහන් වී තිබුණා. වර්ෂ 2003 අප්‍රියෙල් 8දා කලාපයේ “පවුල තුළ මත්ද්‍රව්‍ය භාවිතය—ඔබට කුමක් කළ හැකිද?” යන විෂය ගැන සඳහන් වුණා. මෙම කලාපවලින් පිටපත් දහස් ගණනක් සිරකරුවන් අතර බෙදා හැරුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සිය ගණනක් සමඟ බයිබල් පාඩම් ආරම්භ කරන්නට සහෝදරයන්ට හැකි වුණා. බයිබලයේ සඳහන් පණිවුඩය ගැන සිරගෙවල්වල සමහරක් නිලධාරීන් තුළද උනන්දුවක් ඇති වී තිබෙනවා.

කොන්ස්ටන්ටිනෝ නම් සිරකරුවා තම බලධාරීන්ගේ විශේෂ අවසරයක් ලබාගෙන සැන් රෙමෝ නුවර පිහිටි රාජ්‍ය ශාලාවකදී බව්තීස්ම වූ අතර, ඒ අවස්ථාවට ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් 138දෙනෙක් පැමිණ සිටියා. තම බව්තීස්මයට පසුව ඉතා ගැඹුරු හැඟීමෙන් යුතුව කොන්ස්ටන්ටිනෝ කියා සිටියේ මෙයයි. “සහෝදරයන් මට ආදරය සෙනෙහස හුඟාක් පෙන්නුවා.” සිරගෙදර එක් නිලධාරියෙක් කී මේ වචන පුවත්පතක සඳහන් වී තිබුණේ මෙහෙමයි. “අපි හරිම සතුටින් ඔහුට මේ අවසරය දුන්නේ. සිරකරුවෙකුගේ සමාජීය, පෞද්ගලික හා අධ්‍යාත්මික ගුණ වගාවට හේතු වන ඕනෑම දෙයකට දිරි දීම ගැන අප සලකා බැලිය යුතුයි.” කොන්ස්ටිනෝගේ ජීවිතයට බයිබලයේ දැනුම බලපෑම් කර ඇති ආකාරය ගැන දුටු ඔහුගේ බිරිඳ සහ දියණියද මහත් සොම්නසට පත්ව සිටියා. “ඔහු කර තිබෙන වෙනස්කම් ගැන අපට හරිම ආඩම්බරයි. ඔහු වඩාත් සාමකාමී පුද්ගලයෙක් වී තිබෙනවා. ඒ වගේම ඔහු අපි ගැනත් දැන් ලොකු සැලකිල්ලක් දක්වනවා. අපට දැන් ආයෙත් ඔහු ගැන ලොකු විශ්වාසයක් හා ගෞරවයක් ඇති වී තිබෙනවා.” ඔවුන්ද දැන් බයිබලය පාඩම් කිරීමට පටන් ගෙන තිබෙනවා විතරක් නෙවෙයි ක්‍රිස්තියානි රැස්වීම්වලටද සහභාගි වෙනවා.

සර්ජෝ නමැත්තා, සොරකම්වලට, ආයුධ සන්නද්ධව කොල්ලකෑම්වලට, මත්ද්‍රව්‍ය ජවාරමට හා මිනීමැරුම්වලට සම්බන්ධ වී සිටි නිසා 2024 වසර දක්වා සිර දඬුවමකට යටත් වී සිටියා. වසර තුනක් මුළුල්ලේ බයිබලය පාඩම් කිරීමෙන් පසුව ඔහු ජීවිතය වෙනස් කරගෙන බව්තීස්ම වීමට තීරණය කළා. එල්බා දූපතේ පිහිටි පෝර්ටෝ ආට්සූරෝ සිර කඳවුරේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ 15වැනියා ඔහුයි. ඔහුගේ බව්තීස්මය සිදු වුණේ සිරකරුවන්ගේ ක්‍රීඩා පිටියේ. ඔහු සමඟ සිරගෙදර සිටින තවත් කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි වුණා.

ලියනාඩෝ වසර 20කට සිර දඬුවම් නියම වූ පුද්ගලයෙක්. පාර්මාහි පිහිටි රාජ්‍ය ශාලාවක බව්තීස්ම වීමට ඔහු විශේෂ අවසරයක් ලබාගත්තා. ප්‍රාදේශීය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු කියා සිටියේ තමා “යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට තීරණය කළේ සිරෙන් නිදහස් වීමට මඟක් සෙවීමේ අදහසින් නොව දෙවි ගැන දැනගැනීමට ඔහු තුළ ගැඹුරු ආශාවක් තිබූ නිසා බවය.” ලියනාඩෝ මෙසේද පැවසුවා. “මම හුඟාක් වැරදි කරපු පුද්ගලයෙක්, නමුත් දැන් ඒවා මම අමතක කරලයි තියෙන්නේ. මම වෙනස් වෙලා. නමුත් එක රැයකින් නම් නොවෙයි. මම දිගටම උත්සාහ කරන්නේ හරි දේ කරන්නයි.”

මිනීමැරුමකට වරදකරු වූ සාල්වාටෝරේ නමැත්තාව උපරිම ආරක්ෂාව යොදා ඇති ස්පොලේටෝ සිරගෙදර රඳවා තිබුණා. ඔහුගේ බව්තීස්මය සිදු වුණේ එහිදීයි. එය බොහෝ දෙනෙකුගේ සිත්වලට තදින් කාවැදුණා. සිරගෙදර නිලධාරියෙක් පැවසුවේ මෙයයි. “සිරකරුවෙකුට වඩාත් හොඳ මිනිසෙකු වීමට තීරණයක් ගැනීමට අපි ඔහුව දිරිගැන්විය යුතුයි. එය සිරකරුවන්ටත් සමාජයේ සියලු දෙනාටත් ඉමහත් ප්‍රයෝජනයක් සලසනවා.” සාල්වාටෝරේ සිදු කර ඇති වෙනස්කම්වල ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ බිරිඳ සහ දියණිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට දැන් සහභාගි වෙමින් සිටිනවා. සාල්වාටෝරේ සාක්ෂි දැරූ තවත් සිරකරුවෙක් යෙහෝවාට කැපවී බව්තීස්ම වුණා.

මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගණනාවක් ඉතාලියේ ජීවත් වුණ අතර වර්ධනයක් අද්දැක්කා. (ක්‍රියා 2:10; රෝම 1:7) මුල් සියවසේදී පාවුල් සහ වෙනත් සෙසු සහෝදරයන් මහත් පරිශ්‍රමයක් දරා ශුභාරංචිය පතළ කළාක් මෙන් අස්වැන්න නෙළන මේ කාලයේදීද ඉතාලියේ මහත් ප්‍රගතියක් හා වර්ධනයක් දැන් අද්දකිනවා.—ක්‍රියා 23:11; 28:14-16.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉතාලිය

රෝමය

[15වන පිටුවේ පින්තූර]

රෝමයේ පිහිටි බීටොන්ටෝ එක්රැස්වීම් ශාලාව සහ රෝමයේ පිහිටි ඉතාලි සංඥා භාෂාව යොදාගන්නා සභාවක්

[16වන පිටුවේ පින්තූරය]

බයිබල් සත්‍යය මගින් සිරකරුවන්ව ‘නිදහස් කෙරෙයි’

[17වන පිටුවේ පින්තූරය]

මුල් ක්‍රිස්තියානීන් අද්දුටු වර්ධනය තවත් ඉදිරියට