Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා

ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා

ඔවුන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා

“ඔබගේ සෙනඟ කැමැත්තෙන් [ඉදිරිපත්] වෙති.” (ගීතාවලිය 110:3) ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ 118වන පංතියට සහභාගි වූ ශිෂ්‍යයන් 46දෙනාටම එම වදන් ඉතා විශේෂයි. මෙම පාසැලෙන් කෙරෙන්නේ වෙනත් රටක සේවය කිරීමට ඉදිරිපත් වන අයට ඒ රටේ දේවසේවයේ නිරත වීම සඳහා අවශ්‍ය විශේෂ පුහුණුවක් ලබා දීමයි. මෙම පාසැලට සහභාගි වීම සඳහා මෙම ශිෂ්‍යයන් තමන්වම සූදානම් කරගත්තේ කොහොමද? පාසැලේ 118වන පන්තියේ සාමාජිකයන් වූ මයික් සහ ස්ටේසි ඔවුන් සූදානම් වූ ආකරය විස්තර කළේ මේ විදිහටයි. “අපි සරල ජීවිතයක් ගත කිරීමට තීරණය කරගෙන හිටියා. ඒ නිසා අපිට හැකි වුණා අපගේ අවධානය පුළුවන් තරම් දේවරාජ්‍යයේ කාරණා වෙතට යොමු කර තබාගැනීමට. අපේ අධිෂ්ඨානය වුණේ දේවසේවය තුළ අප තබා තිබූ ඉලක්ක බොඳ නොවී තබා ගැනීමටයි. ඒ නිසා අපි කරමින් සිටි ව්‍යාපාරය මොන විදිහේ සාර්ථකත්වයක් ලැබුවත් අපේ සේවයට එය බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ.” මයික් සහ ස්ටේසි මෙන් මේ පන්තියට සහභාගි වූ අනිකුත් ශිෂ්‍යයනුත් දෙවිගේ සේවය වෙනුවෙන් කැමැත්තෙන් ඉදිරිපත් වූ නිසා, දැන් ඔවුන් මහාද්වීප හතරක දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා.

වර්ෂ 2005 මාර්තු 12වන සෙනසුරාදා දිනයේදී මෙම ශිෂ්‍යයන්ට ඔවුන්ගේ පැවරුම් ලබාදීම සඳහා වැඩසටහනක් පිළියෙල කර තිබුණා. ඒ වැඩසටහනට 6,843දෙනාගෙන් යුත් සෙනඟක් ප්‍රීතියෙන් රැස් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන තියඩෝර් ජැරැස් එහි සභාපති ලෙස කටයුතු කළා. රටවල් 28කින් පැමිණි ආගන්තුකයන්ව සාදරයෙන් පිළිගැනීමෙන් පසුව, ඔහු බයිබල් අධ්‍යාපනය යන විෂය ගැන කතාවක් ඉදිරිපත් කළා. “බයිබලය ගැන හොඳ දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකුව උගතෙක් කියා හැඳින්විය හැකියි” කියා අමෙරිකානු විද්වතෙක් වන විලියම් ලියොන් ෆෙල්ප්ස් පැවසූ දෙය සහෝදර ජැරැස් මේ කතාවේදී සඳහන් කළා. බාහිර අධ්‍යාපනය ප්‍රයෝජනවත් දෙයක් වුවත් බයිබල් අධ්‍යාපනය ඊටත් වඩා ප්‍රයෝජනවත් දෙයක්. එමඟින් මිනිසුන්ට දෙවි ගැන දැනුමක් ලබාගන්න පුළුවන් වන අතර ඒ දැනුම තුළින් සදාකාල ජීවනය ලබාගන්න ඔවුන්ට හැකි වෙනවා. (යොහන් 17:3) ලොව පුරා දැනට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 98,000කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. මේ සභාවල මඟ පෙන්වීම යටතේ සිදු කරනු ලබන බයිබල් අධ්‍යාපන වැඩයෙහි සහභාගි වීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීම නිසා සහෝදර ජැරැස් මෙම ශිෂ්‍යයන්ට ප්‍රශංසා කළා.

පාසැලට සහභාගි වූවන් ලැබූ කාලෝචිත දිරිගැන්වීම්

සභාපතිගේ කතාවෙන් පසුව විලියම් සැමුවෙල්සන් ගීතාවලිය 52:8 මත පදනම් කතාවක් ඉදිරිපත් කළා. ඔහුගේ තේමාව වුණේ “දෙවිගේ ගෘහයේ සරුසාර ඔලීව ගසක් මෙන් වීමට ඔබට හැකි වන්නේ කෙසේද?” යන්නයි. හොඳ පලදාව, ශෝභමානකම සහ ගෞරවය සංකේතවත් කිරීමට බයිබලයේ ඔලීව ගස භාවිත කර තිබෙන බව ඔහු පෙන්වා දුන්නා. (යෙරෙමියා 11:16) ශිෂ්‍යයන්ව ඔලීව ගස්වලට සමාන කරමින් කථිකයා පැවසුවේ මෙයයි. “වෙනත් රටක දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට ඔබ ලබා තිබෙන පැවරුම ඔබ විශ්වාසවන්තව ඉටු කළොත්, යෙහෝවා දෙවි ඔබව සලකන්නේ ඉතා ශෝභමාන, ගෞරවනීය අය හැටියටයි.” නියඟයකදී නොමැරී ජීවත් වීමට නම් ඔලීව ගසකට හොඳ මුල් පද්ධතියක් තිබීම අවශ්‍ය වෙනවා. ශිෂ්‍යයන්ගේ ඇදහිල්ල ශක්තිමත් නම් ඔවුන් ශක්තිමත් මුල් පද්ධතියක් ඇති ඔලීව ගස්වලට සමාන වෙනවා. වෙනත් රටක දේවසේවයේ නිරත වන විට ඔවුන්ගේ පණිවුඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට, ඊට විරුද්ධ වන විට, එහෙමත් නැත්නම් ඔවුන්ට වෙනත් පීඩාවලට මුහුණ දීමට සිදු වන විට, ඒවා විඳදරාගැනීමට මෙම ගසේ ශක්තිමත් මුල් පද්ධතිය හා සමාන ශක්තිමත් ඇදහිල්ල ඔවුන්ට උපකාරවත් වේවි.—මතෙව් 13:21; කොලොස්සි 2:6, 7.

මෙම වැඩසටහනට සහභාගි වූ පාලක මණ්ඩලයේ සාමාජිකයන් තුන්දෙනාගෙන් ඊළඟට කතා කළේ ජෝන් ඊ. බාර්. ඔහුගේ කතාවේ තේමාව වුණේ “ඔබ පොළොවේ ලුණුය” යන්නයි. (මතෙව් 5:13) ස්වාභාවික ලුණු ආහාර නරක් වීමෙන් වළක්වනවා වගේම දේවරාජ්‍යය ගැන දේශනා කරන මේ ශිෂ්‍යයන්ගේ පණිවුඩය එයට සවන් දෙන අයගේ ජීවිත ආරක්ෂා කරන බව ඔහු පෙන්වා දුන්නා. දේවරාජ්‍යයේ පණිවුඩය ඒ මිනිසුන්ව සදාචාර වශයෙන් පිරිහීමෙන් වළක්වා ඔවුන්ව දෙවිට කිට්ටු කරයි. ඉන් පසුව “එකිනෙකා අතර සමාදානය රකින්න” කියා සහෝදර බාර් ඉතාමත්ම කාරුණිකව ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. (මාක් 9:50) “ඔබේ ජීවිත තුළ දිව්‍ය ගුණාංග වර්ධනය කිරීමට වෑයම් කරන්න. ඒ වගේම ඔබ හැසිරෙන ආකාරයෙන් සහ ඔබ කතා කරන ආකාරයෙන් ඔබ අන්‍යයන් ගැන සිතන, කරුණාවන්ත කෙනෙක් බව නිතරම පැහැදිලි විය යුතුයි” කියා කථිකයා පෙන්වා දුන්නා.

“ගැඹුරු ජලයේ ගමන් කරන නැවක් මෙන් වෙන්න” යන්න ගිලියද් පාසැලේ උපදේශකයෙක් වූ වොලස් ලිවරන්ස්ගේ තේමාව වුණා. නැවකට හරි දිශාවක ගමන් කිරීම පහසු වෙන්නේ නැව ගැඹුරු ජලයේ ගමන් කරන විටයි. ඒ වගේම, ‘දෙවිගේ ගැඹුරු දේවල්,’ එනම් දෙවිගේ අරමුණ සහ ඔහු එය ඉටු කරන්න යන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම තුළින් කෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත් වී දෙවිගේ මාවත්වල ගමන් කිරීමට ඔහුට හැකි වෙයි. (1 කොරින්ති 2:10) “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශනවල ප්‍රාථමික දේවල්” ගැන පමණක් සෑහීමට පත් වන කෙනෙක් හරියට නොගැඹුරු ජලයේ ගමන් කරන නැවක් වගේයි. එවැනි කෙනෙකුගේ ඇදහිල්ල ශක්තිමත් නැති නිසා ඔහුට බාධා ජය ගෙන ඉදිරියට ගමන් කරන්න පහසු නැහැ. අන්තිමේදී ඔහුට සිදු වන්නේ ඔහුගේ “ඇදහිල්ල නමැති නැව මුහුදුබත්” වීමයි. (හෙබ්‍රෙව් 5:12, 13; 1 තිමෝති 1:19) “දෙවි ගැන ඔබ ඉගෙනගන්නා ගැඹුරු දේවල් මෙන්ම ප්‍රඥාව සහ දැනුම ඔබගේ පැවරුම ඉටු කිරීම සඳහා ඔබට ආධාරයක් වේවා” යයි පවසමින් සහෝදර ලිවරන්ස් ඔහුගේ කතාව අවසන් කළා.—රෝම 11:33.

තවත් ගිලියද් උපදේශකයෙක් වන මාක් නූමෙයාර් “ඔබේ උරුමයට සරිලන ජීවිතයක් ඔබ ගත කරාවිද?” යන මාතෘකාව යොදාගෙන කතා කළා. පසුගිය වසර 60 පුරාම ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන්, පාසැලට යහපත් නමක් ලබා දී තිබෙනවා. (උත්පත්ති 31:47 පාදසටහන බලන්න.) ඒ යහපත් නාමය තමයි ගිලියද් පාසැලේ උරුමය. ඒ උරුමය දැන් 118වන පන්තියේ ශිෂ්‍යයන්ටත් අයිති වෙනවා. නෙහෙමියාගේ දවස්වල විසූ තෙකෝවරුන්ගේ ආදර්ශය අනුකරණය කරමින් නිහතමානීව සේවය කිරීමට සහෝදර නුමෙයාර් ශිෂ්‍යයන්ව දිරිගැන්නුවා. තමන් සිටින සභාවේ සහෝදරයන් සමඟත්, තමන් වගේම වෙනත් රටවල්වලින් පැමිණ ඒ ප්‍රදේශවල සේවය කරන සහෝදර සහෝදරියන් සමඟත් සහයෝගයෙන් වැඩ කිරීමට මෙම ගුණාංගය ඔවුන්ට උපකාරවත් වේවි. නෙහෙමියා උඩඟු ‘උත්තමයන්’ පිරිසක් ගැන සඳහන් කළා. ඔවුන් මෙන් කැපී පෙනෙන්න දේවල් කිරීමෙන් වැළකී නිහතමානීව සේවය කිරීමට ශිෂ්‍යයන්ව දිරිගන්වනු ලැබුවා.—නෙහෙමියා 3:5.

අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා

“දෙවිගේ වචනය දිගටම වැඩි වර්ධනය වූයේය” යන්න වැඩසටහනේ ඊළඟ කතාවේ තේමාවයි. (ක්‍රියා 6:7) පාසලේ උපදේශක ලෝරන්ස් බොවෙන්ගේ අධීක්ෂණය යටතේ පාසැලට සහභාගි වූ කාලය තුළ තමන් ක්ෂේත්‍ර සේවය තුළ ලැබූ අද්දැකීම් ශිෂ්‍යයන් නිරූපණය කර පෙන්නුවා. ඔවුන් දේවවචනය උද්‍යෝගයෙන් යුතුව ප්‍රකාශ කර තිබූ බවත් ඔවුන්ගේ වෑයම්වලට යෙහෝවා අතිශයින් ආශීර්වාද කර තිබූ බවත් ඒ අද්දැකීම්වලින් ඔප්පු වුණා.

පාසැල් ශිෂ්‍යයන් සමඟ කිට්ටුවෙන් වැඩ කළ බෙතෙල් පවුලේ සාමාජිකයන්ව රිචර්ඩ් ඇෂ් සම්මුඛ සාකච්ඡා සඳහා කැඳෙව්වා. ගිලියද් පාසැලෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ශිෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා බෙතෙල් පවුලෙන් ලැබෙන සහයෝගය ගැන අවබෝධයක් ලබන්න ඔවුන් ඉදිරිපත් කළ අදහස් උපකාරවත් වුණා. ඊට පස්සේ ජෙෆ්රි ජැක්සන් මීට කලින් ගිලියද් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් කිහිපදෙනෙක් එක්ක කතා කළා. වෙනත් රටක සේවය කිරීමේදී යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමටත් ගෞරවය ගෙනදීමටත් ලැබෙන බොහෝ අවස්ථා ගැන ඔවුන් අවධාරණය කළා. “ඔබ වෙනත් රටක සේවය කරද්දී ඔබ කරන හැම දෙයක් ගැනම මිනිසුන් හොඳ අවධානයකින් සිටිනවා. ඔවුන් ඔබ කියන දෙයට ඇහුම්කන් දෙනවා. ඔබ කරන දේ බලා සිටිනවා. එමෙන්ම ඒවා මතක තබාගන්නවා” කියා ඔවුන්ගෙන් එක්කෙනෙක් පැවසුවා. ඒ නිසා නිතරම ආදර්ශවත්ව හැසිරීමට මතක තබාගන්න ශිෂ්‍යයන්ට ඔහු දිරිගැන්නුවා. මෙම ප්‍රායෝගික අවවාදය තම පැවරුම ඉටු කිරීමේදී ඔවුන්ට අතිශයින් උපකාරවත් වන බවට කිසිම සැකයක් නැහැ.

අවසාන කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට්. ඔහුගේ කතාවේ තේමාව වුණේ “‘ජීවනදායක වතුර’ රැගෙන ඉදිරියට යන්න” යනුයි. (යොහන් 7:38) ගත වූ මාස පහ තුළ දේවවචනයේ තිබෙන සත්‍යතා ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් ශිෂ්‍යයන් අති මහත් ප්‍රයෝජන ලැබූ බව ඔහු සඳහන් කළා. ඔවුන් මෙලෙස රැස් කරගත් තොරතුරු භාවිත කරන්නේ කෙසේද? සත්‍යතාවේ ජීවනදායක වතුර තමන්ටම තබා නොගෙන අන්‍යයන්ට බෙදා දෙන මෙන් සහෝදර ලෙට් ශිෂ්‍යයන්ට උනන්දු කළා. ඔවුන් එසේ කළා නම් “සදාකාල ජීවනය දෙන පිණිස, [අන්‍යයන්] තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය” කියා ඔහු පැවසුවා. (යොහන් 4:14) “‘ජීවනදායක වතුර ඇති උල්පත’ වන යෙහෝවා දෙවිට ලබන්න වටින ගෞරවයත් ප්‍රශංසාවත් දෙන්න කවදාවත් අමතක කරන්න එපා. දෙවි ගැන හරි දැනුමක් නැතුව සාගතයකින් පෙළෙන මහා බැබිලෝනියෙන් පිට වී එන අයට උගන්වද්දී ඉවසිලිවන්ත වෙන්න” කියා කථිකයා තවදුරටත් පැවසුවා. (යෙරෙමියා 2:13) දෙවිගේ බලයද මනාලියද අනුකරණය කරමින් ‘එන්න! . . . පිපාසය ඇති තැනැත්තාද එන්න. කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගන්න’ යයි දිගටම උද්‍යෝගයෙන් කියන්න කියා පවසමින් ශිෂ්‍යයන්ව දිරිගැන්වූ සහෝදර ලෙට් ඔහුගේ කතාව අවසන් කළා. —එළිදරව් 22:17

වැඩසටහන අවසන් කිරීමට සහෝදර ජැරැස් විවිධ රටවල්වලින් ලැබූ සුබපැතුම් කියෙව්වා. ඉන් අනතුරුව ලැබූ පුහුණුව ගැන අගය ප්‍රකාශ කරන ලිපියක් පන්තිය නියෝජනය කළ එක් ශිෂ්‍යයෙක් කියෙව්වා.

දේවරාජ්‍යයේ ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක සේවය කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න ඔබටත් පුළුවන්ද? එසේ නම් මේ ශිෂ්‍යයන් කළාක් මෙන් ඔබත් සේවය සම්බන්ධ ඉලක්ක තබා වැඩ කරන්න. දේවසේවය කිරීම සඳහා සතුටු සිතින් ඉදිරිපත් වන කෙනෙක්, වෙනත් රටක හෝ තමා ඉන්න ප්‍රදේශයේ හෝ සේවය කිරීමෙන් ලැබෙන ප්‍රීතිය සහ තෘප්තිය නෙළාගන්න ඔබටත් එවිට පුළුවන් වේවි.

[13වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 8

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 19

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 46

වයසේ සාමාන්‍යය: 33.0

සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 16.5

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 12.9

[15වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 118වන පන්තිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) බ්‍රොක්මයර්, ඒ.; මලෝනි, එස්.; සයිමන්ස්, එන්.; ලෝපෙස්, වයි.; හවර්ඩ්, සී. (2) යාස්ඩ්‍රෙබ්ස්කි, ටී.; බ්‍රවුන්, ඩී.; හර්නාන්ඩෙස්, එච්.; මාලාගොන්, අයි.; ජෝන්ස්, ඒ.; කොනල්, එල්. (3) හවර්ඩ්, ජේ.; ලාරූ, ඊ.; ෂැම්ස්, බී.; හේස්, එස්.; බ්‍රවුන්, ඕ. (4) බරල්, ජේ.; හැමර්, එම්.; මේයර්, ඒ.; කිම්, කේ.; ස්ටැන්ලි, ආර්.; රේනී, ආර්. (5) යාස්ඩ්‍රෙබ්ස්කි, පී.; සිලවෙට්ස්, කේ.; ෆෙරිස්, එස්.; ටොරෙස්, බී.; ටොරෙස්, එෆ්. (6) කොනල්, ජේ.; හර්නාන්ඩෙස්, ආර්.; මලෝනි, එම්.; මාලාගොන්, ජේ.; ෂැම්ස්, ආර්.; හේස්, ජේ. (7) ෆෙරිස්, ඒ.; හැමර්, ජේ.; ස්ටැන්ලි, ජී.; කිම්, සී.; සයිමන්ස්, එස්.; ලෝපෙස්, ඩී.; බරල්, ඩී. (8) බ්‍රොක්මයර්, ඩී.; මේයර්, ජේ.; රේනී, එස්.; සිලවෙට්ස්, එස්.; ජෝන්ස්, ආර්.; ලාරූ, ජේ.