Skip to content

පටුනට යන්න

තමන්ට දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍ය බව තේරුම්ගන්න අය සන්තෝෂවත්ය

තමන්ට දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍ය බව තේරුම්ගන්න අය සන්තෝෂවත්ය

තමන්ට දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍ය බව තේරුම්ගන්න අය සන්තෝෂවත්ය

හිමිදිරි පාන්දර කුරුල්ලන් උන්ගේ ගී නාදයෙන් මුළු පරිසරයම අවදි කරනවා. ඉන් පසුව උන් කෑම සොයන්න යනවා. සවස් වෙද්දී තම කැදලිවලට හැරී එන කුරුල්ලෝ ටික වෙලාවකට නැවතත් ගී කියනවා. ඊට පස්සේ උන් නිදා ගන්නවා. උන්ට නියමිත ප්‍රජනන කාලයක් තිබෙනවා. පසුව උන් බිත්තර දානවා. පැටවුන්ව ආරක්ෂා කරලා උන්ව ලොකු මහත් කරනවා. උන්ගේ මුළු ජීවිතයම ගත වෙන්නේ ඒ ආකාරයටයි. වෙනත් සත්වයනුත් ගත කරන්නේ මීට සමාන ජීවන රටාවක්.

නමුත් මනුෂ්‍යයන් ඊට වඩා ගොඩාක් වෙනස්. ඇත්තයි අපිත් කනවා, නිදාගන්නවා සහ දරුවන් හදාවඩා ගන්නවා. නමුත් අපෙන් බොහෝදෙනෙක් එයින් පමණක් සෑහීමට පත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ ඇයි කියා දැනගැනීමට අපි කැමතියි. අපේ ජීවිත අර්ථවත් ලෙස ගත කරන්න අපි කැමතියි. අනාගතයට බලාපොරොත්තුවක් ඇතුව සිටින්න අපි කැමතියි. අපට තිබෙන මෙම අවශ්‍යතා මිනිස්වර්ගයාට පමණක් සීමා වූ ඒවා වේ. ඉන් පෙන්වන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත්වීමට අප තුළ අවශ්‍යතාවක් තිබෙන බවයි.

මිනිසාව සාදා තිබෙන්නේ දෙවිගේ ස්වරූපයෙන්

දෙවිගේ මඟ පෙන්වීම මිනිසාට අවශ්‍ය වීමට හේතුව බයිබලය පැහැදිලි කරන්නේ මේ විදිහටයි. “දෙවි තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවේය. දෙවිගේ ස්වරූපයෙන් ඔහු මැවුවේය. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුවේය.” (උත්පත්ති 1:27, පැරණි අනුවාදය) අප පාපය උරුම කරගෙන සිටියත්, වැරදි කිරීමට අප තුළ නැඹුරුවාවක් තිබුණත්, අපව “දෙවිගේ ස්වරූපයෙන්” මවා තිබෙන නිසා දෙවිගේ ඇතැම් ගුණාංග අප තුළත් තිබෙනවා. (රෝම 5:12) නිදසුනක් හැටියට අපිට දේවල් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන්න පුළුවන්. අපිට යම් ප්‍රමාණයකට ප්‍රඥාව තිබෙනවා. සාධාරණකමට, යුක්තියට අපි කැමතියි. ඒ වගේම එකිනෙකාට ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය පෙන්වීමේ හැකියාවත් අපිට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අතීතයේ අද්දැකීම් දෙස බලා අනාගතයට සැලසුම් යොදන්නත් අපිට පුළුවන්.—හිතෝපදේශ 4:7; දේශනාකාරයා 3:1, 11; මීකා 6:8; යොහන් 13:34; 1 යොහන් 4:8.

දෙවිගේ මඟ පෙන්වීමට යටත්වීමට අප තුළ අවශ්‍යතාවක් තිබෙන බව පැහැදිලි වෙන්නේ සැබෑ දෙවිව සොයා ඔහුට නමස්කාර කිරීමට අපට තිබෙන ආශාවෙන්. මේ නිසා අපගේ මැවුම්කරු සමඟ සම්බන්ධයක් ඇති කරගැනීමට අපට තිබෙන මෙම අවශ්‍යතාව අප නිසි ආකාරයෙන් ඉටු කරගන්නේ නැත්නම් අපට සැබෑ මෙන්ම කල්පවතින සන්තෝෂය අද්දකින්න බැරි වෙනවා. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය [තමන්ට දෙවිගේ මඟ පෙන්වීම අවශ්‍ය බව තේරුම්ගන්න අය] සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය” කියා යේසුස් පැවසුවා. (මතෙ. 5:3) නමුත් අපට තිබෙන මෙම අවශ්‍යතාව අප ඉටු කරගත යුත්තේ දෙවි පිළිබඳ සත්‍ය තොරතුරු සොයා බැලීමෙනුයි. එමෙන්ම ඔහුගේ ප්‍රමිති ගැන සහ මිනිස්වර්ගයා සඳහා ඔහුගේ අරමුණ පිළිබඳව සත්‍යය වටහාගැනීමෙනුයි. එවැනි සත්‍ය තොරතුරු අපට ලබාගත හැක්කේ බයිබලයෙන්.

“ඔබේ වචනය සත්‍යතාවය”

“මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය” කියා පාවුල් ලීවා. (2 තිමෝති 3:16) ඔහු පැවසූ කාරණය යේසුස් යාච්ඤාවෙන් දෙවිට පැවසූ දෙයටත් එකඟයි. යේසුස් පැවසුවේ “ඔබේ වචනය සත්‍යතාවය” කියායි. ඒ වචනය වන්නේ ශුද්ධ බයිබලය බව අපි දන්නවා. ඒ නිසා අපි විශ්වාස කරන දේවල් සහ අපේ ජීවිත අප ගත කරන ආකාරය බයිබලයේ සඳහන් ප්‍රමිති හා ප්‍රතිපත්තිවලට එකඟද කියා සෝදිසි කර බැලීම ඥානවන්ත දෙයක්.—යොහන් 17:17.

අප විශ්වාස කරන දේවල් දෙවිගේ වචනයට එකඟද කියා සෝදිසි කර බැලීමෙන් අප පුරාණයේ විසූ බෙරීයවරුන්ව අනුකරණය කරනවා. ඔවුන් පාවුල් ඉගැන්වූ දේවල් ශුද්ධ ලියවිල්ලට එකඟද කියා පරීක්ෂා කර බැලුවා. ලූක් බෙරීයවරුන්ව විවේචනය නොකර ප්‍රශංසා කළේ ඒ නිසයි. ඔහු මෙහෙම ලිව්වා. “ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.” (ක්‍රියා 17:11) අද දින බහුලව දක්නට ලැබෙන්නේ එකිනෙකට පටහැනි ආගමික ඉගැන්වීම් සහ සදාචාරාත්මක ප්‍රමිතීන්. ඒ නිසා බෙරීයවරුන්ගේ ඥානවන්ත ක්‍රියාකලාපය අප අනුකරණය කිරීම වටිනවා.

දෙවි පිළිබඳ සත්‍යය හඳුනාගැනීමට තවත් ක්‍රමයක් වන්නේ ඒ සත්‍යය දැනගැනීමෙන් පසුව මිනිසුන්ගේ ජීවිතවලට එය බලපාන ආකාරය නිරීක්ෂණය කිරීමයි. (මතෙව් 7:17) නිදසුනකට බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් වන කෙනෙක් වඩා හොඳ ස්වාමිපුරුෂයෙක්, පියෙක්, භාර්යාවක් හෝ මවක් විය යුතුයි. මෙමගින් පවුලේ සතුටට ඔහු හෝ ඇය දායක වන අතර තමා ගැන හොඳ හැඟීමක්ද ඇති කරගනියි. “දෙවිගේ වචනය අසා එය පවත්වන අය සන්තෝෂවත්ය!” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 11:28.

යේසුස්ගේ එම වචන ඔහුගේ ස්වර්ගික පියාණන් පුරාණයේ විසූ ඊශ්‍රායෙලිතයන්ට පැවසූ දෙයක් අපට මතක් කර දෙනවා. “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය; අහෝ, ඔබ මාගේ ආඥාවලට කන්දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.” (යෙසායා 48:17, 18) යහපත්කමට සහ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන ඕනෑම කෙනෙක් එවන් ප්‍රේමණීය ඇරයුමකට ප්‍රතිචාරය දැක්වීමට අනිවාර්යයෙන්ම පෙලඹෙනවා.

“තමුන් කැමති දේවල් අසාගන්න” කැමති අය

දෙවි ඊශ්‍රායෙලිතයන්ට මුළු හදවතින්ම එසේ ඇරයුම් කළේ බොරු ආගමික අදහස්වලින් ඔවුන් මුළා වෙමින් සිටි නිසයි. (ගීතාවලිය 106:35-40) අපත් අසත්‍ය ඉගැන්වීම් ගැන පරෙස්සම් විය යුතුයි. නමට පමණක් සිටින ක්‍රිස්තියානීන් ගැන පාවුල් මෙහෙම ලිව්වා. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය. ඔවුහු සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය.”—2 තිමෝති 4:3, 4.

අද දින සිටින ආගමික නායකයන් මිනිස්සු කැමති ආකාරයට දේවල් අසාගන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. ඔවුන් එසේ කරන්නේ ඒ අයගේ වැරදි ආශාවන්ට අනුබල දෙන වැරදි ක්‍රියා අනුමත කිරීමෙනුයි. මෙම වැරදි ක්‍රියා අතර විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, සමලිංගික සේවනය සහ බේබදුකම සඳහන් කළ හැකියි. එවන් ක්‍රියා අනුමත කරන අයටවත් එවන් ක්‍රියාවල නියැලෙන අයටවත් ‘දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති’ බව බයිබලය ඉතා පැහැදිලිව සඳහන් කරයි.—1 කොරින්ති 6:9, 10; රෝම 1:24-32.

බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම සඳහා ධෛර්යයක් තිබිය යුතු බව ඇත්තයි. බොහෝදෙනෙක්ගේ විවේචනවලට ලක් වෙන අවස්ථාවලදී මෙය විශේෂයෙන්ම අපහසු දෙයක් වෙන්න පුළුවන්. නමුත් එය කොහෙත්ම කරන්න බැරි දෙයක් නම් නොවෙයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා සිටි අය, බේබදුකමට පුරුදු වූ අය, වේශ්‍යාකම් කළ අය, මැර කල්ලිවලට සම්බන්ධ වූ අය, සොරුන්ව සිටි අය සහ කලක් බොරුකාරයෝව සිටි අය බොහෝදෙනෙක් සිටිනවා. ඒත් ඔවුන් දෙවිගේ වචනය සිතට ගත්තා. දෙවිගේ බලයේ උපකාරය ඇතුව අවශ්‍ය වෙනස්කම් කළා. මේ නිසා යෙහෝවාට “ඔබින ලෙස ගමන්” කිරීමට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. (කොලොස්සි 1:9, 10; 1 කොරින්ති 6:11) දෙවි සමඟ සාමය ඇති කරගැනීමෙන් පසුව ඔවුන්ගේ සිතටත් සැනසුමක් දැනුණා. ඒ විතරක් නෙවෙයි අපි මීළඟට බලන්න යන ආකාරයට ඔවුන්ගේ අනාගතයට සැබෑ බලාපොරොත්තුවකුත් ලැබුණා.

දේවරාජ්‍යය සපයන බලාපොරොත්තුව

කීකරු මිනිස්වර්ගයා සඳහා කල්පවතින සාමය හා සැනසුම ලබාදීම ගැන බයිබලයේ තිබෙන පොරොන්දුව ඉටු වන්නේ දේවරාජ්‍යය මගිනුයි. යේසුස් තම ආදර්ශ යාච්ඤාවේදී පැවසුවේ මෙයයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙ. 6:10) දේවකැමැත්ත මේ පොළොවේ ඉටු කිරීමට හැකියාව තිබෙන්නේ දේවරාජ්‍යයට පමණයි. අප එසේ කියන්නේ පොළොව පාලනය කිරීමට දෙවි සතු අයිතිය ප්‍රකාශ වෙන්නේ ඒ ස්වර්ගීය රාජ්‍යය තුළින් නිසයි. ඒ රාජ්‍යයේ රජු වන්නේ යේසුස්.—ගීතාවලිය 2:7-12; දානියෙල් 7:13, 14.

දේවරාජ්‍යයේ රජු හැටියට යේසුස් මිනිස්වර්ගයාව සියලු ආකාරයේ වහල්කමින් නිදහස් කරනවා. මුල් මිනිසා වූ ආදම්ගෙන් උරුම වූ ලෙඩදුක් හා මරණය ඇතුළු පාපයේ දැඩි ග්‍රහණයෙන් නිදහස් වීමද මීට ඇතුළත් වෙනවා. එළිදරව් 21:3, 4හි මෙසේ සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. . . . ඔහු [යෙහෝවා දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”

පොළොව පුරා සදහටම සාමය පැතිර පවතියි. අපට මේ ගැන නිසැක විය හැක්කේ කෙසේද? යෙසායා 11:9 ඊට හේතුව හෙළි කරයි. “මාගේ මුළු ශුද්ධ කන්දේදී ඔවුහු [රාජ්‍යයේ යටත් වැසියන්] හිංසා නොකරන්නෝය; විනාශ නොකරන්නෝය; මක්නිසාද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්නේය.” ඒ කාලයේදී පොළොවේ වෙසෙන සෑම කෙනෙක්ම දෙවි ගැන නිවැරදි දැනුමක් ලබා ඔහුට කීකරු වෙයි. ඒ ගැන සිතද්දී ඔබේ සිතට සතුටක් දැනෙන්නේ නැද්ද? ඔබට එසේ දැනෙනවා නම් දැන්ම ‘යෙහෝවා දෙවි ගැන දැනුම’ ලබාගැනීමට පටන්ගන්න ඔබට පුළුවන්.

දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩයට සවන් දෙන්න ඔබ කැමතිද?

දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවි සාතන්ගේ සියලුම දුෂ්ට ක්‍රියා නැත්තටම නැති කරලා තම ධර්මිෂ්ඨ මාර්ග ගැන මිනිසුන්ව දැනුවත් කරයි. මේ නිසා යේසුස්ගේ ඉගැන්වීම්වලදීත් ඔහුගේ ප්‍රධාන මාතෘකාව දේවරාජ්‍යය වීම පුදුමයක් නොවෙයි. “ඔහු ඔවුන්ට මෙසේ පැවසීය: ‘මා . . . දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය. මන්ද, මාව එවන ලද්දේ ඒ සඳහාය.’” (ලූක් 4:43) ඒ පණිවුඩය වෙනත් අයට කියා දීමට ක්‍රිස්තුස් තම ගෝලයන්ට අණ කළා. (මතෙව් 28:19, 20) “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” කියා යේසුස් පුරෝකථනය කළා. (මතෙව් 24:14) යේසුස් සඳහන් කළ ඒ අවසානය දැන් ඉතා ආසන්නයි. එසේ නම් ජීවිත ගලවන මෙම ශුභාරංචියට සවන් දීම අවංක සිත් ඇති අයට කොතරම් වැදගත් කාරණයක්ද!

කලින් ලිපියේ අප සඳහන් කළ ඇල්බට්ට දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩයට සවන් දෙන්න අවස්ථාවක් ලැබුණා. මෙය සිදු වුණේ ඔහුගේ භාර්යාව සහ පුතා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත් විටයි. මුලදී ඇල්බට් හැම දෙයක්ම විශ්වාස කළේ නැහැ. සාක්ෂිකරුවන් බොරු ඉගැන්වූ අයයයි සිතූ ඔහු එය හෙළි කිරීම සඳහා, තම භාර්යාවවත් පුතාවත් බැහැදකින්න ඇවිත් යන්න කියා පූජකයෙක්ගෙන් ඉල්ලා සිටියා. නමුත් පූජකයා ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ බයිබල් සාකච්ඡාවකට සවන් දීලා සාක්ෂිකරුවන්ගේ වැරදි පෙන්නලා දෙන්න ඇල්බට් තීරණය කළා. එකම එක සාකච්ඡාවකට සවන් දීමෙන් පසුව ඔහුට තවත් ඉගෙනගන්න ලොකු ආශාවක් ඇති වුණා. ඉන් පසුව ඔහු දිගටම බයිබල් පාඩමට සහභාගි වුණා. ඔහුට තිබුණු ආකල්පය වෙනස්වීමට හේතුව ඔහු පසුව විස්තර කළේ මේ විදිහටයි. “මම සෑහෙන කාලයක් පුරා සොයමින් සිටි දෙය මට සම්බ වුණා.”

අන්තීමට දෙවිව සතුටු කිරීමට ඇල්බට්ට තිබුණු ආශාව ඉටු කරගන්න ඔහුට හැකි වුණා. ඒ ගැන ඔහු කවදාවත් කනගාටු වුණේ නැහැ. ඔහු ඉගෙනගත් බයිබල් සත්‍යතා මගින් ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු සොයමින් සිටි දෙයක් ඔහුට සම්බවුණා. ඒ තමයි අද මිනිස් සමාජය තුළ සිදු වන දූෂණය සහ අයුක්තියට විසඳුමක් වගේම අනාගතය ගැනත් බලාපොරොත්තුවක්. බයිබල් සත්‍යතා දැනගැනීමෙන් පසුව ඔහු සොයමින් සිටි සහනය ඔහුට ලැබුණා. ඔබ ගැන කුමක් කිව හැකිද? දෙවිව සතුටු කිරීමට ඔබ තුළ තිබෙන අවශ්‍යතාව ගැන ඔබත් යමක් කරමින් සිටිනවාද? හයවන පිටුවේ කොටුව තුළ තිබෙන ප්‍රශ්න කියවා බලන්න. ඔබට අමතර තොරතුරු අවශ්‍ය නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එය ඔබට ලබා දීමට ඉතා කැමැත්තෙන් සිටිනවා.

[6වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවිගේ මඟ පෙන්වීම ලබාගැනීමට ඔබට තිබෙන අවශ්‍යතාව ඉටු වී තිබෙනවාද?

දෙවි ගැන ඔබ ලබන දැනුමෙන් ඔබ සෑහීමක් ලබනවාද? පහත දැක්වෙන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන්න ඔබට පුළුවන් නම් ඒවා ලකුණු කරන්න.

□ දෙවි කවුද? ඔහුගේ නම කුමක්ද?

□ යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කාටද? ඔහුට මියයන්න සිදු වුණේ ඇයි? ඔහුගේ මරණයෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?

□ ඇත්තටම යක්ෂයෙක් ඉන්නවාද? ඉන්නවා නම් ඔහු පැමිණියේ කොහෙන්ද?

□ මියයන විට අපට සිදු වෙන්නේ කුමක්ද?

□ පොළොව සහ මිනිස්වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

□ දෙවි විසින් පිහිටුවා තිබෙන සදාචාර ප්‍රමිති මොනවාද?

□ දේවරාජ්‍යය කියන්නේ කුමක්ද?

□ දෙවි ස්වාමිපුරුෂයාටත් භාර්යාවටත් භාර දී තිබෙන වගකීම් මොනවාද? පවුලේ සන්තෝෂයට දායක වන සමහරක් බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

මෙම ප්‍රශ්නවලින් ඕනෑම එකකට හරි ඔබ හරියටම පිළිතුරු දන්නේ නැත්නම්, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාවේ පිටපතක් ඔබට ලබාගන්න පුළුවන්. එහි මේ හැම ප්‍රශ්නයකටම බයිබලය මත පදනම් පිළිතුරක් සපයා තිබෙනවා. එම විවරණිකාවේ මූලික බයිබල් විෂයන් 16ක් ගැන සාකච්ඡා කරනවා. මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිකුත් කරන විවරණිකාවක් වන අතර, ආසන්න වශයෙන් භාෂා 300කින් එය ලබාගත හැකියි.

[4වන පිටුවේ පින්තූර]

සතුන්ට මෙන් නොව මිනිසුන්ට දෙවිව සතුටු කිරීමට අවශ්‍යතාවක් තිබෙනවා

[5වන පිටුවේ පින්තූරය]

“ඔවුහු . . . තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය.”—2 තිමෝති 4:3.

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් දේවරාජ්‍යයේ රජු ලෙස පොළොව පාලනය කරද්දී එහි සැමදා සාමය පවතියි