Skip to content

පටුනට යන්න

පළමුවන රාජාවලිය පොතෙන් විශේෂාංග

පළමුවන රාජාවලිය පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

පළමුවන රාජාවලිය පොතෙන් විශේෂාංග

“ධර්මිෂ්ඨයන් දියුණු වන කල සෙනඟ ප්‍රීති වෙති; එහෙත් දුෂ්ටයෙකු ආණ්ඩු කරන කල සෙනඟ සුසුම්ලති.” (හිතෝපදේශ 29:2) මෙම හිතෝපදේශයේ සත්‍යතාව බයිබලයේ පළමුවන රාජාවලිය පොතෙන් තහවුරු වෙනවා. එම පොතෙහි සලමොන් රජුගේ ජීවිත කතාව සඳහන් වෙනවා. ඔහුගේ පාලන කාලය තුළදී පුරාණ ඊශ්‍රායෙලය එදා පැවති ලෝකයේ ඉතා සමෘද්ධිමත් මෙන්ම සුරක්ෂිත ජාතියක් බවට පත් වෙනවා. සලමොන්ගේ මරණයෙන් පසුව ජාතිය බෙදනු ලැබූ ආකාරය ගැනත් ඔහුගෙන් පසුව පාලනය කළ රජවරු 14දෙනා ගැනත් මෙම පොත විස්තර කරනවා. මෙම රජවරුන්ගෙන් සමහරෙක් ඊශ්‍රායෙලයේ පාලනය කළ අතර තවත් සමහරෙක් පාලනය කළේ යුදයේ. මොවුන්ගෙන් දිගටම යෙහෝවා දෙවිට ඇදහිලිවන්තව සේවය කළේ දෙදෙනෙක් පමණයි. මීට අමතරව එලියා ඇතුළු අනාගතවක්තෘවරුන් හයදෙනෙකු දෙවිට කළ සේවය පිළිබඳ වාර්තාවක්ද පළමුවන රාජාවලිය පොත අපට ඉදිරිපත් කරනවා.

අනාගතවක්තෘ යෙරෙමියා විසින් යෙරුසලමේදී සහ යුදයේදී ලියනු ලැබූ මෙම පොත, වසර 129ක සිදුවීම් වාර්තා කරයි. එනම් ක්‍රි.පූ. 1040 සිට ක්‍රි.පූ. 911 දක්වා කාලයයි. යෙරෙමියා මෙම පොත ලියද්දී ‘සාලමොන්ගේ ක්‍රියාවල් සඳහන් වූ පොත’ වැනි පුරාණයේ වාර්තා අඩංගු පොත්වලින්ද ඔහු විස්තර ලබාගන්න ඇති. ඒ පැරණි පොත් පත් දැන් නැහැ.—1 රාජාවලිය 11:41; 14:19; 15:7.

ප්‍රඥාවන්ත රජෙක් සාමයට හා සමෘද්ධියට දායක වෙයි

(1 රාජාවලිය 1:1–11:43)

දාවිත් රජුගේ පුත් අදොනියා තම පියාගෙන් රජකම පැහැර ගැනීමට දරන උත්සාහයක් පිළිබඳ උනන්දුව පුබුදුවාලන වාර්තාවකින් පළමුවන රාජාවලිය පොත ඇරඹෙනවා. අනාගතවක්තෘ නාතාන් වහා පියවර ගන්න නිසා ඒ උත්සාහය අසාර්ථක වන අතර දාවිත්ගේ පුත් සලමොන් රජ වෙනවා. සලමොන් රජ යෙහෝවාගෙන් කරන ඉල්ලීම නිසා යෙහෝවා ඔහු ගැන හුඟාක් සතුටු වන අතර “ඥානවන්ත වූ බුද්ධිමත් වූ සිතක්” සහ “වස්තුවද ගෞරවයද” ඔහුට දෙනවා. (1 රාජාවලිය 3:12, 13) රජුගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් කාටවත් තිබුණේ නැහැ. ඔහුට තිබූ ධන සම්පත්වලටද සීමාවක් තිබුණේ නැහැ. කලකට ඊශ්‍රායෙලය පුරාම සාමය සහ සමෘද්ධිය රජයනවා.

සලමොන් සාදන ගොඩනැඟිලි අතර යෙහෝවාගේ මාලිගාව ඇතුළු ආණ්ඩුවට අයිති වෙනත් ගොඩනැඟිලිද වෙයි. “ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යයෙහි සිංහාසනය නිතර පිහිටුවන්නෙමි” කියා යෙහෝවා සලමොන්ට පොරොන්දු වෙනවා. නමුත් එක කොන්දේසියක් තිබුණා. ඔහු දෙවිට දිගටම කීකරුව සිටිය යුතුයි. (1 රාජාවලිය 9:4, 5) දෙවිට අකීකරු වුණොත් ලැබෙන ඵලවිපාක ගැනත් සැබෑ දෙවි සලමොන්ට අනතුරු අඟවනවා. හැබැයි සලමොන් විදේශීය භාර්යාවන් බොහෝදෙනෙක් විවාහ කරගන්නවා. ඔවුන්ගේ නරක බලපෑම නිසා මහලු වියේදී ඔහු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගනියි. ඔහුගේ රාජ්‍යය බෙදනු ලබන බව යෙහෝවා කල් තියා ප්‍රකාශ කරනවා. වසර 40ක් පාලනය කිරීමෙන් පසුව ක්‍රි.පූ. 997දී සලමොන් මියයනවා. ඊළඟට පාලනය කරන්නේ සලමොන්ගේ පුත් රෙහොබොවම්.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

1:5—දාවිත් ජීවත්ව සිටිය කාලයේදීම අදොනියා පාලන බලය පැහැරගැනීමට උත්සාහ කළේ මන්ද? බයිබලය ඊට හේතුව සපයන්නේ නැහැ. නමුත් මෙවැනි දෙයක් සිදු වුණායයි සිතිය හැකියි. අදොනියාගේ වැඩිමල් සහෝදරයන් වූ අම්නොන් සහ අබ්සලොම් මෙන්ම සමහර විට කිලෙයාබ්ද ඒ වනවිටත් මිය ගොස් සිටි නිසා, ඉතිරි වෙලා සිටි දාවිත්ගේ පුත්‍රයන් අතරින් වැඩිමලා වශයෙන් කිරුළට හිමිකම් කියන්න තමාට අයිතියක් තිබූ බව අදොනියාට සිතෙන්න ඇති. (2 සාමුවෙල් 3:2-4; 13:28, 29; 18:14-17) බලවත් හමුදා සෙන්පතියෙක් වූ යෝවාබ්ගේද, බල පුළුවන්කමක් තිබූ උත්තම පූජකයෙක් වූ අබියාතර්ගේද සහයෝගය ලබාගෙන සිටි නිසා තම ප්‍රයත්නය සාර්ථක වෙයි කියා අදොනියාට විශ්වාසයක් තිබෙන්නට ඇති. රජකම සලමොන්ට භාර දීමට දාවිත් අදහස් කරගෙන සිටි බව අදොනියා දැනගෙන සිටියාද නැද්ද යන්න ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් අදොනියා දෙවිට පූජාවක් ඔප්පු කරන අවස්ථාවේදී සලමොන්ටවත් දාවිත්ට පක්ෂපාත වූ වෙනත් අයටවත් ඔහු ආරාධනා කළේ නැහැ.(1 රාජාවලිය 1:9, 10) ඔහු සලමොන්ව සැලකුවේ ඔහුගේ විරුද්ධකාරයෙකු හැටියට බව මින් පැහැදිලි වෙනවා.

1:49-53; 2:13-25සලමොන් අදොනියාට සමාව දුන්නාට පසුවත් ඔහුව මරණයට පත් කළේ ඇයි? අබිෂග්ව තමාගේ භාර්යාව කරගැනීමට සලමොන්ගෙන් අවසර ඉල්ලා දෙන මෙන් අදොනියා බැත්ෂෙබාගෙන් ඉල්ලා සිටියා. අදොනියාගේ මෙම ඉල්ලීමේ යටි අදහස බැත්ෂෙබා වටහාගත්තේ නැතත් සලමොන්ට එය වැටහුණා. දාවිත් අබිෂග් සමඟ ලිංගික සම්බන්ධකම් නොපැවැත්වුවත් රූමත් අබිෂග්ව සලකනු ලැබුවේ දාවිත්ගේ උපභාර්යාවක් ලෙසටයි. ඒ කාලයේ සිරිතට අනුව ඇය අයිති වෙන්නේ දාවිත්ගේ සිංහාසනයට උරුමකම් කියන තැනැත්තාටයි. අබිෂග්ව තම භාර්යාව කරගැනීමෙන් නැවත වතාවක් රජකමට අයිතිවාසිකම් කියා සිටීමට තමාට හැකි වෙයි කියා අදොනියාට හැඟෙන්න ඇති. මෙම ඉල්ලීම තමාගෙන් රජකම පැහැරගැනීමට කරන කූට උපායක් බව වටහාගත් සලමොන්, කලින් සමාව දී තිබුණත් පසුව ඔහුව මරණයට පත් කළා.

6:37–8:2දේවමාලිගාව කැප කරනු ලැබුවේ කවදාද? දේවමාලිගාව ගොඩනඟා අවසන් වූයේ ක්‍රි.පූ. 1027 වර්ෂයේ අටවන මාසයේදියි. ඒ සලමොන්ගේ පාලන සමයේ 11වන වර්ෂය වුණා. දේවමාලිගාවට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒමටත් වෙනත් සැලසුම් කර නිම කිරීමටත් මාස 11ක් ගත වූ බවක් පෙනෙයි. එම නිසා කැප කිරීම සිදු කරන්න ඇත්තේ ක්‍රි.පූ. 1026 වර්ෂයේ හත්වන මාසයේදීයි. දේවමාලිගාව ගොඩනගා අවසන් වීමටත් එය කැප කිරීමටත් අතරතුර කාලයේදී සිදු කරනු ලැබූ වෙනත් ගොඩනැඟිලි ව්‍යාපෘති ගැනද එම වාර්තාවේ සඳහන් වෙනවා. ඒවා එලෙස සඳහන් කරන්නට ඇත්තේ ඒ කාලයේදී සිදු වූ ගොඩනැඟිලි ව්‍යාපෘති ගැන පැහැදිලි අදහසක් දීම සඳහා විය හැකියි.—2 ලේකම් 5:1-3.

9:10-13ගලීලයේ නුවරවල් 20ක් තීර්හි හීරාම් රජුට තෑගි වශයෙන් ලබා දීම මෝසෙස්ගේ නීතියට එකඟ වූ දෙයක්ද?—ලෙවී කථාව 25:23, 24හි සඳහන් නීතිය ඊශ්‍රායෙලිතයන් පදිංචිව සිටි ප්‍රදේශයකට පමණක් අදාළ වුණා විය හැකියි. සලමොන් හීරාම්ට දුන් නුවරවල් පොරොන්දු දේශයේ සීමාව තුළ පිහිටා තිබුණත්, එහි ඊශ්‍රායෙලිතයන් නොවූ වෙනත් සෙනඟක් පදිංචි වී සිටියා විය හැකියි. (නික්මයාම 23:31) සලමොන්ගේ මෙම ක්‍රියාව තුළින් ඔහු නීතියට සම්පූර්ණයෙන්ම කීකරු වීමට අසමත් වූ බව අඟවන්නත් පුළුවන්. මෙය ‘ඔහු තමාට අශ්වයන් වැඩි කරගත්’ අවස්ථාවට හා භාර්යාවන් බොහෝදෙනෙක් විවාහ කරගත් අවස්ථාවට සමාන කරන්න පුළුවන්. (ද්විතීය කතාව 17:16, 17) තත්වය කුමක් වුවත් හීරාම් ඒ තෑග්ග ගැන සතුටු වුණේ නැහැ. ඒ නුවරවල්වල විසූ බොරු දෙවිවරුන්ට නමස්කාර කළ වැසියන් එම නගර හොඳින් නඩත්තු නොකළා විය හැකියි. එහෙමත් නැත්නම් ඒවා පිහිටා තිබුණේ එතරම් වැදගත්කමක් නැති ප්‍රදේශයක විය හැකියි.

11:4—සලමොන් දෙවිට ද්‍රෝහීව කටයුතු කළේ මහලු විය නිසා ඔහු අද්දැක්ක බෙලහීනකම් හේතුවෙන්ද? එසේ නොවිය හැකියි. සලමොන් පාලනය කරන්න පටන්ගත්තේ තරුණ වියේදී. ඔහු වසර 40ක් පුරා පාලනය කළත් ඔහුගේ පාලන සමය අවසන් වෙද්දී ඔහු හොඳටම මහලු වෙලා සිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු යෙහෝවාට සේවය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබුණෙත් නැහැ. පෙනෙනාකාරයට ඔහු උත්සාහ කළේ යම් ආකාරයක මිශ්‍ර නමස්කාරයක් කිරීමටයි.

අපට ගත හැකි පාඩම්:

2: 26, 27, 35. යෙහෝවා අනාගතය ගැන කියන හැම දෙයක්ම ඉටු වෙනවා. ඒලිගේ පරම්පරාවෙන් පැමිණෙන අබියාතර්ව පූජක තනතුරෙන් අහක් කිරීම “ඒලීගේ වංශය ගැන යෙහෝවා කී වචනය සම්පූර්ණ” කළා. අබියාතර් වෙනුවට පීනෙහාස්ගේ පෙළපතින් පැමිණි ශාදොක්ව පත් කිරීම ගණන් කතාව 25:10-13හි සඳහන් අනාවැකිය ඉටු කළා.—නික්මයාම 6:25; 1 සාමුවෙල් 2:31; 3:12; 1 ලේකම් 24:3.

2:37, 41-46. දෙවිගේ නීති කඩ කර ලැබෙන දඬුවමෙන් බේරිය හැකියයි සිතීම මොන තරම් අනතුරුදායක දෙයක්ද! ‘ජීවනයට යන පටු දොරටුවෙන්’ ඕනෑකමින් ඉවත් වන අය ඒ අඥාන තීරණයේ ඵල විපාක අනිවාර්යයෙන්ම අද්දකිනවාමයි.—මතෙව් 7:14.

3:9, 12-14. යෙහෝවාට කරන සේවය ඉටු කිරීම සඳහා ඔහුගේ සේවකයන් ප්‍රඥාව, තේරුම්ගැනීම සහ මඟ පෙන්වීම ඉල්ලා කරන අවංක යාච්ඤාවලට යෙහෝවා සවන් දෙනවා.—යාකොබ් 1:5.

8:22-53. සලමොන් යෙහෝවා දෙවි ගැන මොන තරම් හෘදයාංගම අගය කිරීමක් ප්‍රකාශ කළාද! ඔහු දෙවිව හැඳින්වූයේ ප්‍රේමණීය කරුණාව ඇති, පොරොන්දු ඉටු කරන සහ යාච්ඤාවලට සවන් දෙන දෙවි කෙනෙකු ලෙසටයි. දේවමාලිගාව කැප කිරීමේදී සලමොන් කළ යාච්ඤාවේ වදන් මෙනෙහි කිරීමෙන් දෙවිගේ පෞද්ගලිකත්වයට අයත් ඉහත සඳහන් පැති මෙන්ම, ඔහුගේ පෞද්ගලිකත්වයට අයත් වෙනත් පැති ගැනත් අපගේ අගය වැඩි කරාවි.

11:9-14, 23, 26 සලමොන්ගේ පාලනයේ අවසන් සමයේදී ඔහු යෙහෝවාට අකීකරු වූ විට යෙහෝවා ඔහුට එරෙහිව විරුද්ධකරුවන්ව නැඟිට්ටෙව්වා. “දෙවියන් උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන්නේය” කියා පේතෘස් පැවසූ කාරණය ඉන් පැහැදිලි වෙනවා.—1 පේතෘස් 5:5.

11:30-40. යෙරොබොවම් ගැන අහියා පුරෝකථනය කරන දෙයක් නිසා සලමොන් රජ යෙරොබොවම්ව මරා දැමීමට තැත් කළා. ඒත් මීට වසර 40කට පෙර සලමොන්ට තිබුණේ මොන තරම් වෙනස් ස්වභාවයක්ද! ඒ කාලයේදී ඔහු අදොනියා සහ වෙනත් කුමන්ත්‍රණකාරයන්ගෙන් පළිගැනීම ප්‍රතික්ෂේප කළා. (1 රාජාවලිය 1:50-53) ඔහුගේ ආකල්පය මේ ආකාරයෙන් වෙනස් වෙන්න හේතුව ඔහු යෙහෝවාගෙන් ඈත් වීමයි.

එක්සත් රාජ්‍යයක් බෙදෙයි

(1 රාජාවලිය 12:1–22:53)

යෙරොබොවම් ඇතුළු වැසියන් රෙහොබොවම් රජ ගාවට ඇවිත් ඔහුගේ පියා වූ සලමොන් ඔවුන් පිට පැටවූ බර සැහැල්ලු කරන්න කියා ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීම ඉටු කර දෙනවා වෙනුවට එම බර තවත් වැඩි කරන බවට රෙහොබොවම් තර්ජනය කරනවා. මේ නිසා කැරලි ගසන ගෝත්‍ර දහයක් යෙරොබොවම්ව ඔවුන්ගේ රජ කරගන්නවා. රාජ්‍යය දැන් බෙදිලා. යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලින් සෑදුණු දකුණු රාජ්‍යය පාලනය කරන්නේ රෙහොබොවම්. ගෝත්‍ර දහයකින් යුත් උතුරු රාජ්‍යය පාලනය කරන්නේ යෙරොබොවම්.

නමස්කාරය සඳහා ජනයා යෙරුසලමට යෑම වැළැක්වීම සඳහා යෙරොබොවම් රන් වහුපැටියන් දෙදෙනෙක් සාදා, එකෙක්ව දාන්හිද අනිකාව බෙතෙල්හිද තැබීමට පියවර ගන්නවා. යෙරොබොවම්ගෙන් පසුව ඊශ්‍රායෙල්හි පාලනය කරන රජවරුන් අතර නාදාබ්, බාෂා, ඒලා, සිම්රි, ටිබ්නි, ඔම්රී, ආහබ් සහ අහසියා සිටියා. රෙහොබොවම්ගෙන් පසුව යූදාහි පාලනය බාර ගන්නේ අබියාම්, ආසා, යෙහෝෂාපාට් සහ යෙහෝරාම් යන රජවරුනුයි. මෙම රජවරුන්ගේ පාලන සමයේදී යෙහෝවාට සේවය කරන අනාගතවක්තෘවරුන් අතර අහියා, ශෙමායා, නමක් සඳහන් නොකරන දෙවිගේ පණිවුඩකාරයෙක් වගේම යේහු, එලියා සහ මිකායා යන අය සිටිනවා.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර.

18:21—යෙහෝවා දෙවිට හෝ බාල්ට නමස්කාර කරන්න කියා එලියා සෙනඟට පැවසූ විට ඔවුන් නිශ්ශබ්දව සිටියේ මන්ද? සමහර විට යෙහෝවා බලාපොරොත්තු වන තනි භක්තිය ඔහුට පිරිනැමීමට තමන් අසමත් වූ බව ඔවුන්ට වැටහෙන්න ඇති. ඒ නිසා ඔවුන්ගේ සිත ඔවුන්ට වද දෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔවුන්ගේ සිත් දැඩි වෙලා තිබෙන්න ඇති. ඒ නිසා තමන් යෙහෝවාට නමස්කාර කරන බව කියා සිටින අතරතුරේදීම බාල්ටත් නමස්කාර කිරීමෙහි කිසි වරදක් ඔවුන්ට දැනෙන්න නැතුව ඇති. අන්තිමේදී ඔවුන් යෙහෝවාගේ බලය දුටුවාට පසුවයි මෙහෙම පැවසුවේ. “යෙහෝවා දෙවිමය, යෙහෝවා දෙවිමය!”—1 රාජාවලිය 18:39.

20:34—ආහබ් රජ සිරියානුවන්ව යුද්ධයේදී පරාජය කළත් ඔවුන්ගේ රජ වූ බෙන්හදද්ට ආහබ් යන්ට හැරියේ ඇයි? බෙන්හදද්ව මරණයට පත් කිරීම වෙනුවට ආහබ් ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. ඔවුන් ඇති කරගත් ගිවිසුම තුළින් සිරියාවේ අගනුවර වන දමස්කයේ යම් වීථි ආහබ් රජට පැවරෙනවා. එහිදී පොළවල් හෝ කඩමණ්ඩි පිහිටුවාගැනීමට ඔහු අදහස් කරන්න ඇති. මීට කලින් බෙන්හදද්ගේ පියාත් ව්‍යාපාරික කටයුතු සඳහා මේ විදිහට තමාටම සමාරියේ වීථි පවරාගෙන තිබුණා. බෙන්හදද්ව නිදහස් කරනු ලැබුවේ ආහබ්ට දමස්කයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමට හැකි වීම සඳහායි.

අපට ගත හැකි පාඩම්:

12:13, 14. ජීවිතයේදී බැරෑරුම් තීරණ ගන්නා අවස්ථාවලදී, ශුද්ධ ලියවිලි ගැන හොඳ අවබෝධයක් තිබෙන, එමෙන්ම දිව්‍ය ප්‍රතිපත්තිවලට බොහෝසෙයින් ගෞරව කරන, ප්‍රඥාවන්ත මෙන්ම මේරූ අයගෙන් මඟ පෙන්වීම අප පැතිය යුතුයි.

13:11-24. අපට හිතවත් සෙසු ඇදහිලිවන්තයෙකුගෙන් වුණත් ලැබෙන මඟ පෙන්වීම් හෝ යෝජනා ගැන අපට යම් සැකයක් හැඟෙයි නම්, දේවවචනයෙන් ලැබෙන නියම මඟ පෙන්වීම සමඟ අප එය සසඳා බැලිය යුතුයි.—1 යොහන් 4:1.

14:13. අප තුළ යහපතක් තිබේද කියා බැලීමට යෙහෝවා අපව හොඳින් පරීක්ෂා කරනවා. අප තුළ සුළු යහපතක්වත් ඔහුට දැකගන්න ලැබුණොත්, අපේ පැත්තෙන් ඔහුට සේවය කිරීම සඳහා අපි අපගේ උපරිමය කරනවා නම්, අප තුළ ඔහු දැක්ක ඒ යහපත වැඩීමට සලස්වන්න ඔහුට පුළුවන්.

15:10-13. ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන අයට අප එක හෙළාම විරුද්ධ විය යුතු අතර සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් අප ඇප කැප වී වැඩ කළ යුතුයි.

17:10-16. සාරෆෙත්හි වැන්දඹුව එලියා සැබෑ අනාගතවක්තෘවරයෙකු බව හඳුනාගත් අතර ඔහුව ඇගේ නිවසට පිළිගත්තා. ඇගේ ඇදහිලිවන්ත ක්‍රියාවලට යෙහෝවා ඇයට ආශීර්වාද කළා. අපත් ඇදහිල්ලෙන් කරන ක්‍රියාවන් යෙහෝවා දෙවි දකින අතර විවිධ ආකාරවලින් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සහයෝගය දක්වන අයට ඔහු ආශීර්වාද කරනවා.—මතෙව් 6:33; 10:41, 42; හෙබ්‍රෙව් 6:10.

19:1-8. දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වුණත් යෙහෝවා අනිවාර්යයෙන් අපට උපකාර කරයි කියා අපට නිසැක විය හැකියි.—2 කොරින්ති 4:7-9.

19:10, 14, 18. සැබෑ දෙවිට නමස්කාර කරන අයට කවදාවත් තනිකමක් හැඟෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට යෙහෝවා සහ ලෝක ව්‍යාප්ත සහෝදරත්වය සිටිනවා.

19:11-13. යෙහෝවා දෙවි ස්වභාවධර්මයේ තිබෙන දේවල් නියෝජනය කරන දෙවි කෙනෙක් නොවෙයි.

20:11. සමාරිය විනාශ කිරීම ගැන බෙන්හදද් පුරසාරම් දෙඩූ විට ඊශ්‍රායෙල්හි රජු ඔහුට කීවේ මෙයයි. “යුද්ධායුධයෙන් සැරසෙන්නා” ජයග්‍රහණයකින් පසුව “ඒවා ගලවන්නා සේ ගරුකම් [පුරසාරම්] නොකියන්න.” අලුත් වැඩ පැවරුමක් ලැබූ අවස්ථාවකදී, පුරාජේරුකාරයෙක් වැනි පමණ ඉක්මවා ගිය ආත්ම විශ්වාසයෙන් අප වැළකී සිටිය යුතුයි.—හිතෝපදේශ 27:1; යාකොබ් 4:13-16.

අපට බොහෝ වටින වාර්තාවක්

සීනායි කන්දේදී තමන්ට නීතිය ලැබූ අවස්ථාව ගැන නැවත සඳහන් කරද්දී මෝසෙස් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙහෙම කීවා. “බලන්න, අද මම ඔබ ඉදිරියෙහි ආශීර්වාදයක් හා ශාපයක් තබමි; එනම් මා විසින් අද ඔබට අණ කරන ඔබගේ දෙවි වූ යෙහෝවාගේ ආඥාවලට කීකරු වන්නහු නම් ආශීර්වාදය වේ. ඔබගේ දෙවි වූ යෙහෝවාගේ ආඥාවලට කීකරු නොවී ඔබ නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින් මා විසින් අද ඔබට අණ කරන මාර්ගයෙන් ඉවත්ව යන්නහු නම් ශාපය වේ.”—ද්විතීය කතාව 11:26-28.

පළමුවන රාජාවලිය පොත තුළ මෙම අති වැදගත් කාරණය මොන තරම් පැහැදිලිව අපගේ අවධානයට ලක් කරනු ලබනවාද! අප දුටු පරිදි මෙම පොතෙන් වෙනත් වටිනා කාරණා රැසක්ද අපට කියැවෙනවා. එහි පණිවුඩය ඇත්තෙන්ම ජීවමානයි සහ බලවත්.—හෙබ්‍රෙව් 4:12.

[29වන පිටුවේ පින්තූරය]

සලමොන් ගොඩනැඟූ දේවමාලිගාව සහ වෙනත් ගොඩනැඟිලි

[30, 31වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ බලය දුටුවාට පසුව ඊශ්‍රායෙල් සෙනඟ “යෙහෝවා දෙවිමය, යෙහෝවා දෙවිමය!” කියා පැවසුවා