Skip to content

පටුනට යන්න

ලෝක ව්‍යාප්ත වැඩයට දායක වීමට ලැබීම ගැන සතුටු වී

ලෝක ව්‍යාප්ත වැඩයට දායක වීමට ලැබීම ගැන සතුටු වී

ජීවිත කතාව

ලෝක ව්‍යාප්ත වැඩයට දායක වීමට ලැබීම ගැන සතුටු වී

පැවසුවේ ආනා මාතෙයාකීස්

මම ගමන් කරමින් සිටි නැව ගිනි අරගෙන තිබුණා. මීටර් 171ක් දිග මෙම නැව ටිකෙන් ටික ගිලෙමිනුයි තිබුණේ. නැව ගිලුනොත් මමත් ඒ සමඟම මුහුදේ ගිලී මිය යන නිසා ඉන් ඉවතට පැන වියරුවෙන් මෙන් පිහිනූ මම මුහුදේ විශාල රැළි සමඟ පොරබදමින් මගේ ජීවිතය බේරගන්න මහත් උත්සාහයක් දැරුවා. නොමැරී සිටින්න නම් තවත් කාන්තාවක් විසින් පැළඳගෙන සිටි ජීවිතාරක්ෂක ජැකට්ටුවක් තදින් අල්ලාගෙන සිටීමට මට සිදු වුණා. ඒ අතර මට කළ හැකි එකම දෙය වුණේ ශක්තිය හා ධෛර්යය ඉල්ලා දෙවිට යාච්ඤා කිරීමයි.

ඒ සිද්ධිය වුණේ 1971 වර්ෂයේදීයි. මම යමින් සිටියේ ඒ වෙනකොටත් වෙනත් රටක සේවය කරමින් සිටි මගේ තුන්වෙනි පැවරුමටයි. ඒ පැවරුම වුණේ ඉතාලියේ පූර්ණ කාලීන සේවයේ යෙදීමයි. ඉහත සඳහන් අනතුරේදී මට අයිතිව තිබූ හැම දෙයක්ම වගේ මට අහිමි වුණා. නමුත් වඩාත්ම වැදගත් දේවල් මට අහිමි වුණේ නැහැ. ඒ තමයි මගේ ජීවිතය, මගේ ප්‍රේමණීය ක්‍රිස්තියානි සහෝදරත්වය සහ යෙහෝවා දෙවිට සේවය කිරීමට මට තිබූ වරප්‍රසාදය. ඒ වන විටත් මට මහාද්වීප තුනක දෙවිට සේවය කරන්න අවස්ථාව ලැබී තිබුණා. නැව ගිලුණු අවස්ථාව මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම්වලින් එකක් විතරයි.

මම ඉපදුණේ 1922 වර්ෂයේදීයි. අපි ජීවත් වුණේ යෙරුසලමෙන් කිලෝමීටර් 16 උතුරට වෙන්න පිහිටා තිබූ රාම් අල්ලා නමැති නගරයේයි. මගේ දෙමාපියන් ඉපදී තිබුණේ ක්‍රීට් දූපතේ. නමුත් මගේ තාත්තා හැදිලා වැඩිලා තිබුණේ නාසරෙත්වලයි. අයියලා තුන්දෙනෙකුයි එක අක්කා කෙනෙකුයි මට හිටියා. මගේ දෙවෙනි අයියා පාසැල් විනෝද ගමනකදී යොර්දාන් ගඟේ ගිලී මිය ගියා. මේ දුක්මුසු සිද්ධිය අපේ පවුලට ලොකු කම්පනයක් ඇති කළා. අයියාගේ මරණයෙන් පසුව තවදුරටත් රාම් අල්ලා නුවර ජීවත් වෙන්න අම්මා කැමති වුණේ නැහැ. ඒ නිසා අපි ග්‍රීසියේ ඇතන්ස් නුවර පදිංචි වෙන්න ගියා. ඒ වන විට මගේ වයස අවුරුදු තුනයි.

අපිට සත්‍යය දැනගන්න ලැබුණු ආකාරය

අපි ග්‍රීසියට ඇවිත් ටික කලකින් මගේ අයියා නීකොස්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වුණා. එතකොට අයියාගේ වයස අවුරුදු 22යි. සාක්ෂිකරුවන්ගෙන් ඔහු ලබා ගත් බයිබල් දැනුම නිසා ඔහුට ලොකු සතුටකුත්, ක්‍රිස්තියානි දේවසේවයේ යෙදීමට ඉමහත් ආශාවකුත් ඇති වුණා. මේ ගැන කෝප වුණු තාත්තා අයියාව ගෙදරින් එළවලා දැම්මා. ඒත් තාත්තා පලස්තීනයට ගිය අවස්ථාවලදී මගේ අම්මයි අක්කයි මමයි, නීකොස් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියා. ඒ රැස්වීම්වලදී අම්මා දැනගත්ත දේවල් ගැන ඇය ඉතා උනන්දුවෙන් කතා කළ ආකාරය මට අද වගේ මතකයි. නමුත් අම්මා ටික කාලයකින් මිය ගියා. පිළිකාව නිසා මිය යද්දී ඇයට වයස අවුරුදු 42යි. ඊට පස්සේ ඇති වූ අමාරු කාලවලදී මගේ අක්කා ගොඩාක් ආදරෙන් අපේ පවුල බලාගත්තා. තරුණ වයසේ සිටියත් ඇය මට අම්මා කෙනෙක් වුණා.

මගේ තාත්තා ඇතන්ස්වල ඉන්න දවස්වල නිතරම මාව ඕතඩොක්ස් පල්ලියට එක්කගෙන ගියා. ඔහු මිය ගියාට පසුවත් මම ඉඳලා හිටලා පල්ලියට ගියා. ඒත් පල්ලියේ සාමාජිකයන් අතර නියම දේවභක්තියක් දක්නට ලැබුණේ නැති නිසා අන්තිමේදී පල්ලි යන එක මම අත්හැරියා.

මගේ පියා මිය ගියාට පස්සේ මට මුදල් අමාත්‍යාංශයේ ස්ථිර රැකියාවක් ලැබුණා. මගේ අයියා නම් ඔහුගේ ජීවිතය කැප කරලා තිබුණේ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ කටයුතුවලටයි. ඔහු ග්‍රීසියේ අවුරුදු ගණනාවක් සේවය කළා. වර්ෂ 1934දී ඔහු සයිප්‍රසයේ පදිංචි වී එහි සේවය කරන්න ගියා. ඒ කාලයේදී සයිප්‍රස් දිවයිනේ බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියේ නැහැ. ඉතින් ඒ දූපතේ දේශනා කිරීමේ වැඩය වැඩිදියුණු කිරීමේ ප්‍රස්තාව ඔහුට ලැබුණා. ඔහු ගලාතියා සමඟ විවාහ වුණාට පසුව ඇයත් පූර්ණ කාලීන දේවසේවයේ වසර ගණනාවක් නියැලී සිටියා. * නීකොස් නිතර නිතර අපිට බයිබල් කරුණු අඩංගු පොත්පත් හා සඟරා ලැබෙන්න සැලැස්සුවා. නමුත් අපි ඒවා බැලුවේ කලාතුරකින්. ඔහුගේ මරණය දක්වා ඔහු සයිප්‍රසයේ සේවය කළා.

බයිබල් සත්‍යතා මගේ ජීවිතයට එළියක් කරගැනීම

ඇතන්ස් නුවර වාසය කළ ජෝජ් ඩූරාස් අපේ අයියාගේ මිත්‍රයෙක් වූ අතර ඔහු උද්‍යෝගිමත් සාක්ෂිකරුවෙක්ද වුණා. ඔහු 1940දී අපේ නිවසට පැමිණ තමාගේ නිවසේ කුඩා පිරිසක් සමඟ පවත්වනු ලැබූ බයිබල් පාඩමකට එන්න කියා අපටත් ආරාධනා කළා. අපි කැමැත්තෙන් ඒ ආරාධනය පිළිගත්තා. කෙටි කාලයකින් ඉගෙනගත් දේ අන්‍යයන් සමඟ බෙදාගැනීමට අපි පටන්ගත්තා. මටත් මගේ සහෝදරියටත් අපගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කිරීමට බයිබල් දැනුම මහත් සේ උපකාරවත් වුණා. මගේ අක්කා ඇරියැඩ්නි, 1942දී බව්තීස්ම වූ අතර මම 1943දී බව්තීස්ම වුණා.

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වුණාම නීකොස් අපට සයිප්‍රස්වලට එන්න කිව්වා. ඉතින් 1945දී අපි නිකෝසියාවල පදිංචි වෙන්න ගියා. ග්‍රීසියේදී දේශනා සේවයට තහංචි තිබුණත් සයිප්‍රස්වල කිසිම බාධාවකින් තොරව දේවසේවයේ හවුල් වෙන්න අපිට හැකි වුණා. අපි ගෙයින් ගෙට සේවයේ විතරක් නෙවෙයි වීදි සේවයෙත් හවුල් වුණා.

වසර දෙකකට පසුව ග්‍රීසියට නැවත යන්න ඇරියැඩ්නිට සිදු වුණා. එහිදී ක්‍රිස්තියානි සහෝදරයෙක් සමඟ ඇය විවාහ වූ අතර ඔවුන් ඇතන්ස්වල පදිංචි වෙන්න තීරණය කළා. ඉක්මනින්ම මගේ අක්කයි මස්සිනයි ඇතන්ස්වලට ඇවිත් පූර්ණ කාලීන සේවය කිරීමට මාව දිරිගැන්නුවා. මම පූර්ණ කාලීන සේවයේ නිරත වීමට අදිටන් කරගෙන සිටිය නිසා, දේවසේවකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබූ ඇතන්ස්වල මම පදිංචි වෙන්න ගියා.

අලුත් ප්‍රස්තාවන් සඳහා මඟ විවෘත වේ

මම පුරෝගාමි සේවය පටන්ගත්තේ 1947 නොවැම්බර් 1වනදායි. සෑම මසකම දේශනා සේවය සඳහා මම පැය 150ක් ගත කළා. අපේ සභාවට අයිති වූ බල ප්‍රදේශය විශාල එකක් වූ නිසා බොහෝ දුර ඇවිදින්න මට සිදු වුණා. ඒ වුණත් මම බොහෝ ආශීර්වාදත් භුක්ති වින්දා. ඒ කාලයේදී සාක්ෂිකරුවන් දේශනා සේවයේ හෝ රැස්වීම්වලට යනවා දැක්කොත් පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. වැඩි කාලයක් යන්න කලින් මාවත් අත්අඩංගුවට ගනු ලැබුවා.

මාව අත්අඩංගුවට ගත්තේ මිනිසුන්ව බලෙන් ආගමට හරවාගන්නවා යන බොරු චෝදනාව මතයි. ඇතන්ස්වල පිහිටි ඇවරොෆ් කාන්තා සිරගෙදර මාස දෙකක සිර දඬුවමක් මට නියම වුණා. ඒ වන විට එහි තවත් සාක්ෂිකාරියක් සිටියා. සිර අඩස්සියේ සිටියත් අපි දෙදෙනා ක්‍රිස්තියානි ආශ්‍රයෙන් ලොකු ප්‍රීතියක් සහ ඉමහත් දිරිගැන්වීමක් ලැබුවා. මට නියමිත වූ දඬුවම් කාලය අවසන් වුණාට පස්සේ මම නැවතත් පුරෝගාමි සේවයේ සතුටින් නිරත වුණා. ඒ කාලයේදී මම බයිබල් පාඩම් පැවැත්වූ බොහෝදෙනෙක් තවමත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා දැකීම මට ලොකු සතුටක්.

වර්ෂ 1949දී එක්සත් ජනපදයේ පවත්වනු ලැබූ 16වෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වීම සඳහා මට ආරාධනයක් ලැබුණා. ඒ පාසැලේදී පූර්ණ කාලීන සේවකයන්ට වෙනත් රටවල සේවය කිරීමට පුහුණුවක් ලැබෙනවා. මට ලැබුණු මෙම වරප්‍රසාදය ගැන මගේ පවුලේ අය ප්‍රීතියෙන් ඉපිල ගියා. මගේ බලාපොරොත්තුව වුණේ 1950 වර්ෂයේ ගිම්හානයේදී නිව් යෝක්වල පවත්වනු ලැබූ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වී ඉන් පසුව ගිලියද් පාසැලට යෑමටයි.

එක්සත් ජනපදයට පැමිණීමෙන් පසුව නිව් යෝක් නුවර පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ගෘහපාලිකාවක් ලෙස මාස කිහිපයකට සේවය කිරීමේ වරප්‍රසාදය මට ලැබුණා. එහි තිබුණේ පිරිසිදු, ප්‍රසන්න, ගොඩනංවනසුලු වාතාවරණයක්. සිනා පිරි මුහුණුවලින් යුත් සහෝදර සහෝදරියන්ගෙන් මාව වට වෙලා සිටියා. එහිදී මම ගත කළ මාස හයේ මිහිරි මතකයන් මගේ සිතේ නොමැකෙන ලෙස සටහන් වී තිබෙනවා. ඉන් පසුව ගිලියද් පාසැල ඇරඹුණා. අපි ගොඩාක් දේවල් ගැඹුරින් අධ්‍යයනය කළා. මාස පහක් ගත වුණා දැනුණේවත් නැහැ. සිත් ඇදගන්නාසුලු මහත් දැනුම් සම්භාරයක් ශුද්ධ ලියවිලිවල අඩංගු බව අපි සියලුදෙනාම තේරුම් ගත්තා. ඒ නිසා අපගේ සත්‍යය සම්බන්ධ මෙම ජීවිත ආරක්ෂා කරන දැනුම, අන්‍යයන් සමඟ බෙදාගැනීමට තිබෙන අපගේ ආශාවත් අපගේ ප්‍රීතියත් තවත් වැඩි වුණා.

වෙනත් රටක මම ලැබූ පළමු පැවරුම

අප සේවය කරන්න යන රට පිළිබඳ විස්තර ලබා දෙන්න කලින් එම රටේ අපි සමඟ සේවයේ හවුල් වෙන්න කැමති කෙනාව තෝරගන්න ගිලියද් පාසැලේදී අපි එක් එක්කෙනාට අවස්ථාව ලබා දුන්නා. මගේ පුරෝගාමි සහයිකාව වුණේ රූත් හෙමිග් (දැන් බොස්හාට්). ඇය ගුණ යහපත් මේරූ සහෝදරියක් වුණා. අපේ පැවරුම වුණේ තුර්කියේ ඉස්තාන්බුල්වල සේවය කිරීමටයි. රූත්ට සහ මට මෙය ලොකු සතුටක් වුණා. තුර්කිය පිහිටා තිබෙන්නේ ආසියාව හා යුරෝපය අතරයි. ඒ රටේ දේශනා කිරීමේ වැඩය නීත්‍යනුකූලව පිළිඅරගෙන තිබුණේ නැති නමුත් යෙහෝවා දෙවි අපිට අනිවාර්යයෙන්ම උපකාර කරන බවට අපිට විශ්වාසයක් තිබුණා.

ඉස්තාන්බුලවල විවිධ ජාතීන් වෙසෙන අතර එය ඉතාමත්ම දර්ශනීය නගරයක්. එහිදී සෙනඟ පිරුණු කඩ පොළවල් සහ විවිධ කෞතුකාගාර දැකගැනීමටත්, ලෝකයේ හොඳම කෑම වර්ගවල රස බැලීමටත්, ඉතාමත්ම මිත්‍රශීලී වැසියන්ගේ ඇසුර භුක්ති විඳීමටත්, ලස්සන ජලාශවල දසුන් නැරඹීමටත් අපට ප්‍රස්තාව ලැබුණා. වඩාත්ම වැදගත් කාරණය තමයි දෙවි ගැන දැනගැනීමට කැමති ජනයාව අපට එහිදී හමු වීම. ඉස්තාන්බුල්වල සිටි සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායම ආර්මේනියානුවන්, ග්‍රීක ජාතිකයන් සහ යුදෙව්වන්ගෙන් සමන්විත වුණා. වෙනත් බොහෝ ජාතීන්ද එහි පදිංචි වෙලා සිටි නිසා තුර්කි භාෂාව ඇතුළු භාෂාවන් ගණනාවක් දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වුණා. සත්‍යය සඳහා දැඩි ආශාවක් දැක්වූ විවිධ ජාතීන් හමුවීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. මොවුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා.

තවදුරටත් ඒ රටේ පදිංචිව සිටීම සඳහා අවසර ලබාගැනීමට රූත්ට බැරි වූ නිසා ඇයට රටෙන් පිටවෙන්න සිදුවීම කනගාටුවට කාරණයක් වුණා. ඇය තවමත් ස්විට්සර්ලන්තයේ පූර්ණ කාලීන සේවයේ යෙදෙමින් සිටිනවා. අප දෙදෙනා වෙන්වී වසර ගණනාවක් ගත වුණත් මට තවමත් ඇගේ මිහිරි, ගොඩනංවනසුලු ඇසුර නැතුව පාළුවක් දැනෙනවා.

වෙනත් රටක පදිංචියට යෑම

වර්ෂ 1963දී තුර්කියේ තවදුරටත් පදිංචිව සිටීම සඳහා අවසර ලබාගැනීමට මටත් නොහැකි වුණා. බොහෝ දුෂ්කරතා හමුවේ වුවත් සත්‍යයේ හොඳ දියුණුවක් ලබාගනිමින් සිටි සෙසු ක්‍රිස්තියානීන්ව හැර යෑම පහසු දෙයක් වුණේ නැහැ. මගේ දුක තුනී කිරීම සඳහා මගේ පවුලේ අය නිව් යෝක්හි පැවති සමුළුවකට සහභාගි වීමට අවශ්‍ය ගමන් ගාස්තුව මට ලබා දුන්නා. ඒ වෙන කොට මගේ ඊළඟ පැවරුම මට ලැබිලා තිබුණේ නැහැ.

සමුළුවෙන් පසුව මගේ ඊළඟ පැවරුම ගැන මට දැනගන්න ලැබුණා. ඒ පේරු රටේ ලීමා නගරයටයි. මගේ අලුත් සහයිකාව වුණේ තරුණ සහෝදරියක්. අපි දෙදෙනා නිව් යෝක්වලින් කෙළින්ම අපේ අලුත් පැවරුම සඳහා පිට වුණා. එහිදී මම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත් අතර, නැවතී සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ උඩු මහලේ පූර්ණ කාලීන සේවකයන් සඳහා වෙන් කර තිබූ නිවසකයි. ඒ ප්‍රදේශයේ දේශනා කිරීම සහ සහෝදර සහෝදරියන්ව දැන හඳුනාගැනීම ප්‍රසන්න අද්දැකීමක් වුණා.

තවත් පැවරුමක්, තවත් භාෂාවක්

කාලයක් යද්දී ග්‍රීසියේ සිටි මගේ පවුලේ අය මහලු විය නිසා ඇති වන දුර්වල සෞඛ්‍ය තත්වයන්ට මුහුණ දෙන්න පටන්ගත්තා. ඒ වුණත් පූර්ණ කාලීන සේවය නතර කර ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔවුන් සමඟ ජීවත් වෙන්න එන්න කියා කවදාවත් ඒ අය මට බල කළේ නැහැ. කෙසේ වෙතත් මේ ගැන ගොඩාක් සිතලා යාච්ඤා කිරීමෙන් පසුව මට වැටහුණා මගේ පවුලේ අයට සමීප තැනක සේවය කිරීම සුදුසු දෙයක් වෙයි කියලා. ශාඛා කාර්යාලයේ සිටි සහෝදරයෝ කාරුණිකව මගේ ඉල්ලීම ගැන සලකා ඉතාලියේ සේවය කිරීම සඳහා මට අවස්ථාව ලබා දුන්නා. පේරු සිට ඉතාලියට ගමන් කිරීම සඳහා මගේ පවුලේ අය මගේ ගමන් ගාස්තුව ගෙවන්න කැමති වුණා. ඇත්තෙන්ම ඉතාලියෙත් දේශනාකරුවන් සඳහා ලොකු අවශ්‍යතාවක් තිබුණා.

නැවත වතාවක් මට අලුත් භාෂාවක් ඉගෙනගන්න සිදු වුණා. ඒ ඉතාලි භාෂාවයි. මගේ පළමු පැවරුම වුණේ ෆොජ්ජා නගරයයි. පසුව දේශනාකරුවන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන නේපල්ස්වල සේවය කිරීමට මාව යවනු ලැබුවා. මට සේවය කරන්න තිබුණේ නේපල්ස් නගරයට අයත් ඉතාමත්ම දර්ශනීය පැත්තක් වන පොසිලිපොවලයි. එයට විශාල ප්‍රදේශයක් අයත් වුණත් එහි සිටියේ එකම එක ප්‍රචාරකයෙක් විතරයි. එහි සේවය කිරීමෙන් මම ලොකු සතුටක් අද්දැක්කා. ඒ වගේම බොහෝ බයිබල් පාඩම් ඇති කරගන්න යෙහෝවා මට උපකාර කළා. දැන් ඒ ප්‍රදේශයේ ලොකු සභාවක් තිබෙනවා.

එහිදී මා සමඟ මුලින්ම බයිබලය පාඩම් කළ අය අතර මවක් සහ ඇගේ දරුවන් හතර දෙනෙක් සිටියා. මේ මව සහ ඇගේ දියණියන් දෙදෙනා තවමත් යෙහෝවාට සේවය කරමින් සිටිනවා. චූටි දුවෙක් සිටි යුවළක් සමඟත් මම පාඩමක් කළා. ඒ පවුලත් සත්‍යය තුළ දියුණුවක් ලබා දෙවිට කැප වී බව්තීස්ම වුණා. දැන් ඒ චූටි දුව විවාහ වෙලා. ඇය විවාහ වුණේ ක්‍රිස්තියානි සහෝදරයෙක් සමඟයි. ඒ දෙදෙනා දැන් දෙවිට ඉතා උද්‍යෝගයෙන් සේවය කරමින් සිටිනවා. එක්තරා විශාල පවුලක් සමඟ මම බයිබල් පාඩමක් කළ අවස්ථාවකදී දේවවචනයට තිබෙන බලය ගැන මම ගොඩාක් පුදුම වුණා. රූප මගින් දෙවිට පිරිනමන නමස්කාරය දෙවි පිළිගන්නේ නැති බව පෙන්නුම් කරන බයිබල් පද කිහිපයක් කියවීමෙන් පසුව, ඒ මව පාඩම අවසන් වෙන්නත් කලින් නැඟිට ගෙයි තිබූ රූප සියල්ලක්ම ඉවත් කළා!

මුහුදේ සිදු වූ උවදුර

ඉතාලිය හා ග්‍රීසිය අතර ගමන් බිමන්වල යෙදෙද්දී මම නිතරම ගියේ නැවෙන්. සාමාන්‍යයෙන් ඒ ගමන් බිමන් හරි ප්‍රසන්නයි. නමුත් 1971 මැදභාගයේදී වගේ මම ගිය එක ගමනක් ඊට වඩා වෙනස් එකක් වුණා. මම එලියේනා නැවේ ඉතාලිය බලා ගමන් කරමින් සිටියා. අගෝස්තු 28වෙනිදා පාන්දර නැවේ මුළුතැන්ගෙයිහි ගින්නක් ඇති වුණා. ඒ ගින්න පැතිරී ගිය නිසා මඟීන් ගොඩාක් කලබල වෙන්න පටන්ගත්තා. සමහර කාන්තාවන් සිහිය නැතිව වැටුණා. දරුවන් අඬන්න පටන්ගත්තා. සමහර පිරිමින් විරෝධය පළ කළ අතර සමහරුන් කලහකාරී ලෙසද හැසිරුණා. නැවේ දෙපැත්තේම තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු වෙතට මිනිස්සු දුවන්න පටන්ගත්තා. මෙම බෝට්ටු මුහුදට පහත් කරන උපකරණය නිසියාකාරව ක්‍රියා කළෙත් නැහැ. ජීවිතාරක්ෂක ජැකැට්ටු තිබුණෙත් ස්වල්ප ප්‍රමාණයක් නිසා මට එකක් ලැබුණේ නැහැ. ගින්න හොඳටම වැඩි වෙලා තිබුණා. මට කරන්න තිබුණු එකම දෙය වුණේ මුහුදට පනින එක විතරයි.

මුහුදට පැන්න ගමන්ම, ජීවිතාරක්ෂක ජැකැට්ටුවක් ඇඳ සිටින කාන්තාවක් මගේ ළඟ සිටිනවා මම දැක්කා. පෙනුණු විදිහට ඇයට පීනන්න බැහැ. ඇයව ගිලෙන නැවට අසු වී මිය යෑමට ඉඩ තිබූ නිසා, එය වළක්වන්න මම ඇයවත් ඇදගෙන එතනින් ඈතට පීනා ගියා. මුහුද එන්න එන්න රළු වෙන්න ගත්ත නිසා ගිලෙන්නේ නැතුව ඉන්න මට දැඩි වෙහෙසක් දරන්න සිදු වුණා. කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ පෙනෙන්න තිබුණත් ධෛර්යය හා ශක්තිය දෙන්න කියා මම දිගටම යෙහෝවාට කන්නලව් කළා. පාවුල්ගේ කාලයේදී ඔහු අද්දැක්ක නැව මුහුදුබත් වීමේ සිද්ධිය මට එවෙලේ මතක් වුණා.—ක්‍රියා 27වන පරිච්ඡේදය.

ඒ කාන්තාව අල්ලගෙන පැය හතරක් පුරා මම මුහුදු රැළිත් එක්ක පොරබැදුවා. මට ශක්තිය තිබුණු වෙලාවට මම පීනුවා. අනික් වෙලාවල්වල මම යෙහෝවාගේ උපකාරය ඉල්ලුවා. අන්තිමේදී ඈතින් කුඩා බෝට්ටුවක් එනවා මම දැක්කා. මාව බේරගනු ලැබුවත් මා සමඟ සිටි කාන්තාව ඒ වෙනකොටත් මිය ගිහින්. අපි ඉතාලියේ බාරි නගරයට සේන්දු වුණාම ප්‍රථමාධාර ලබාදීම සඳහා මාව රෝහලකට ගෙනයනු ලැබුවා. මට දවස් කිහිපයකට රෝහලේ නතර වෙලා ඉන්න සිදු වූ නිසා සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් මාව බලන්න ආවා. ඔවුන් කාරුණිකව අවශ්‍ය හැම දෙයක්ම මට ලැබෙන්න සැලැස්සුවා. ඔවුන් මට පෙන්වූ ක්‍රිස්තියානි ප්‍රේමය නිසා ඒ වාට්ටුවේ සිටි අනිකුත් අයට ඒ අය ගැන හොඳ පැහැදීමක් ඇති වුණා. *

මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණාට පසුව රෝමයේ සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. එහි නගරය මැද පිහිටි ව්‍යාපාරික ප්‍රදේශයක අවුරුදු පහකට සේවය කරන්න යෙහෝවා මට උපකාර කළා. මම අවුරුදු 20ක් පුරා ඉතාමත්ම සතුටින් ඉතාලියේ සේවය කළා. ඉතාලියේ සිටි සෙනඟ ගැන මට ලොකු ආදරයක් ඇති වෙලා තිබුණා.

සේවය පටන්ගත් තැනටම ආපසු යෑම

කල්යත්ම මගේ අක්කා සහ මස්සිනාගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න පටන්ගත්තා. මම අහල පහළක සිටියා නම් මෙච්චර කාලයක් ඔවුන් මට ආදරෙන් කළ හැම දෙයක්ම වෙනුවෙන් සුළුවෙන් හරි ප්‍රතිඋපකාරයක් කරන්න පුළුවන් වෙයි කියා මට හැඟුණා. ඒත් ඉතාලියෙන් පිටවීම මගේ හිතට ලොකු වේදනාවක් වුණා. වගකිව යුතු සහෝදරයෝ එහි යෑම සඳහා මට අවසර දුන්නා. ඒ නිසා 1985 අවුරුද්දේ මැදභාගයේ පටන් මම 1947දී පූර්ණ කාලීන සේවය ආරම්භ කරපු ඇතන්ස්වලම පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් සිටිනවා.

මගේ සභාවට අයිති බලප්‍රදේශයේ දේශනා කරන අතරම නගරයේ තිබෙන ව්‍යාපාරික ප්‍රදේශයකත් දේශනා කිරීම සඳහා මම ශාඛා කාර්යාලයෙන් අවසර ලබාගත්තා. වසර තුනක් පුරා තවත් පුරෝගාමියෙකු සමඟ මම ඒ ප්‍රදේශයේ සේවය කළා. සාමාන්‍යයෙන් නිවසේදී හමු වෙන්නට බැරි අයට හොඳ සාක්ෂියක් දරන්න අපට ඒ නිසා අවස්ථාවක් ලැබුණා.

කාලය ගත වෙනවාත් සමඟම යෙහෝවාට නොකඩවා සේවය කිරීම සඳහා මගේ ආශාව වැඩි වුණත් මගේ ශාරීරික ශක්තිය වැඩි වෙන්නේ නැහැ. මගේ මස්සිනා දැන් මැරිලා. මවක් වගේ මාව ආදරෙන් බලාගත්ත මගේ අක්කා ඇරියැඩ්නිගේ ඇස් දෙක දැන් පේන්නේ නැහැ. පූර්ණ කාලීන සේවය තුළ ගත කළ කාලය පුරාම මට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණත්, මෑතකදී මාබල් තරප්පු පෙළක ලිස්සලා වැටිලා මගේ දකුණත කැඩුණා. ඊට පස්සෙත් වැටිලා මගේ උකුල් ඇටය කඩාගත්තා. ඒක හදන්න මට ශල්‍යකර්මයක් කරන්න සිදු වූ අතර හුඟ කාලයක් ඇඳටම වෙලා ඉන්න මට සිදු වුණා. දැන් මට නිදහසේ කොහේවත් යන්න බැහැ. මම හැරමිටියක් පාවිච්චි කරනවා. මට කොහේ හරි යන්න ඕන වුණොත් තව කෙනෙක් මගේ උදව්වට ඉන්න ඕනේ. ඒත් මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙයි කියා බලාපොරොත්තුවෙන් සිටිමින් මම මගේ උපරිමය කරනවා. දැනටත් මට ප්‍රීතිය හා තෘප්තියක් ලැබෙන්නේ සුළුවෙන් හෝ මිනිසුන්ට බයිබල් දැනුමක් ලබා දීමේ වැඩයෙහි හවුල්වීමෙන් පමණයි.

පූර්ණ කාලීන දේවසේවයේ මම ගත කළ ප්‍රීතිමත් වසර ගණනාව ගැන සිතද්දී, යෙහෝවා දෙවි සඳහා මගේ හදවත කෘතඥතාවෙන් පිරී යනවා. යෙහෝවා දෙවි සහ පොළොවේ තිබෙන ඔහුගේ සංවිධානය මට නොකඩවා හොඳ මඟ පෙන්වීමක් සහ උපකාරයක් ලබා දී තිබෙනවා. ඒ නිසා දේවසේවය තුළ මගේ හැකියාවන් උපරිම ආකාරයෙන් පාවිච්චි කරන්න මට හැකි වී තිබෙනවා. මගේ හෘදයාංගම ආශාව වන්නේ ඔහුගේ සේවය දිගටම කරගෙන යන්න යෙහෝවා මාව ශක්තිමත් කරයි කියලයි. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම ඇතුව දැනට ලොව පුරා සිදු කරනු ලබන බයිබල් දැනුම පැතිරවීමේ වැඩයට සුළුවෙන් හෝ දායක වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.—මලාකි 3:10.

[පාදසටහන්වල]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන 1995 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 73-89 දක්වා පිටු බලන්න—සිංහලෙන් නැත.

^ 34 ඡේ. අමතර විස්තර සඳහා 1972 පෙබරවාරි 8, එවේක් සඟරාවේ 12-16 පිටු බලන්න.

[9වන පිටුවේ පින්තූරය]

ගිලියද් පාසැලට යෑමට පෙර, මගේ අක්කා, ඇරියැඩ්නි සහ ඇගේ සැමියා වන මිකලායස් සමඟ

[10වන පිටුවේ පින්තූරය]

රූත් හෙමිග්ගේ සහ මගේ පැවරුම වුණේ, තුර්කියේ ඉස්තාන්බුල්වල සේවය කිරීමටයි

[11වන පිටුවේ පින්තූරය]

ඉතාලියේදී, 1970 ගණන්වල මුල්භාගයේ

[12වන පිටුවේ පින්තූරය]

මගේ අක්කා, ඇරියැඩ්නි සමඟ දැන්