Skip to content

පටුනට යන්න

ශුභාරංචියක් ප්‍රකාශ කිරීම

ශුභාරංචියක් ප්‍රකාශ කිරීම

ශුභාරංචියක් ප්‍රකාශ කිරීම

“යහපත් ආරංචිය ගෙනෙන්නාවූ . . . තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද?”—යෙසායා 52:7.

1, 2. (අ) දිනපතාම සිදු වන්නේ කුමනාකාරයේ බිහිසුණු දේවල්ද?(ආ) එවැනි සිදුවීම් ගැන නිතරම අහන්න ලැබෙන විට මිනිසුන්ට හැඟෙන්නේ කොහොමද?

අද කාලයේ සිටින මිනිසුන්ට හැඟෙන්නේ ඔවුන් නරක ආරංචිවලින් වට වී සිටින බවයි. ගුවන් විදුලියෙන් නිතරම වගේ අහන්න ලැබෙන්නේ ලොව පුරාම පැතිරෙන මාරාන්තික ලෙඩරෝග ගැන සිත් කම්පා කරවන වාර්තායි. රූපවාහිනියේ ප්‍රවෘත්ති බලද්දී සාගතයෙන් පෙළෙන දරු දැරියන්ගේ දුක්මුසු මුහුණුවල දර්ශන ඕනතරම්. පුවත් පතක් අතට ගත්තොත් කියවන්න තිබෙන්නෙම ගොඩනැඟිලි සුනුවිසුනු කරමින් අහිංසක ජීවිත ගණනාවක් බිලිගන්නා බෝම්බ ප්‍රහාර ගැනයි.

2 ඇත්තයි, දිනපතාම බිහිසුණු දේවල් සිදු වෙනවා. මේ ලෝකය හැරෙන්නේ නරක අතට බව නිසැකයි. (1 කොරින්ති 7:31) බටහිර යුරෝපයේ එක්තරා සඟරාවක සඳහන් වුණේ, සමහර අවස්ථාවලදී මුළු ලෝකයම “ගිනි අරන් වගේ පෙනෙනවා” කියායි. මේ නිසා දවසින් දවස කලකිරීමට පත් වන අයගේ සංඛ්‍යාව වැඩි වීම පුදුමයක් නොවෙයි. එක්සත් ජනපදයේ රූපවාහිනී ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකට අදහස් දැක්වූ පුද්ගලයෙක් පැවසූ දෙය මිලියන සංඛ්‍යාත අයගේ අදහස්වලට සමානයි. ඔහු කීවේ මෙයයි. ‘ප්‍රවෘත්ති බැලුවාට පස්සේ මම ඉන්නේ හොඳටම කලකිරිලයි. අහන්න ලැබෙන්නෙම නරක ආරංචි. මට ඒක දරාගන්න හරි අමාරුයි.’

හැමෝම ඇසිය යුතු ආරංචියක්

3. (අ) බයිබලයේ විස්තර කර තිබෙන්නේ කුමන ශුභාරංචියද? (ආ) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය වටිනා එකක් ලෙස ඔබ සලකන්නේ ඇයි?

3 දුක් කම්කටොලුවලින් පිරුණු මේ අඳුරු ලෝකය තුළ හොඳ ආරංචියක් අහන්න ලැබෙනවාද? ඇත්තෙන්ම ලැබෙනවා! බයිබලයේ, ශුභ ආරංචියක් ගැන සඳහන් වෙනවා. මෙය දැනගැනීමට ලැබීම අපට සහනයක් නොවෙයිද? ඒ ආරංචිය නම්, ලෙඩදුක්, කුසගින්න, අපරාධ, යුද්ධ මෙන්ම සියලු ආකාර පීඩාවලට අවසානයක් දේවරාජ්‍යය ඇති කරන බවයි. (ගීතාවලිය 46:9; 72:12) සැමෝම ඇසිය යුත්තේ එවැනි ආරංචියක් නොවෙයිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිතන්නේ එහෙමයි. එමනිසා ලොව පුරාම ඔවුන්ව ප්‍රසිද්ධ වී තිබෙන්නේ සියලු ජාතීන්ට අයත් ජනයාට දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය කියා දීමට වෙහෙස නොබලා වැඩ කරන සෙනඟක් හැටියටයි.—මතෙව් 24:14.

4. අපි මේ ලිපියේ සහ ඊළඟ ලිපියේ බලන්න යන්නේ අපගේ දේශනා සේවයේ කවර පැති ගැනද?

4 එසේ නම්, මෙම ශුභාරංචියට එතරම් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන ප්‍රදේශවල පවා සතුටින් සහ හොඳ ප්‍රතිඵල ඇතුව දේශනා කිරීමට නම් අප කුමක් කළ යුතුද? (ලූක් 8:15) මේ සම්බන්ධයෙන් අපගේ දේශනා වැඩයේ වැදගත් පැති තුනක් ගැන කෙටියෙන් සලකා බැලීම අපට උපකාරවත් වෙනවා. (1) අපි දේශනා කරන්නේ ඇයි, හෙවත් අපගේ චේතනාව; (2) අපි දේශනා කරන්නේ කුමක්ද, හෙවත් අපගේ පණිවුඩය; (3) අපි දේශනා කරන ආකාරය, හෙවත් අපි පාවිච්චි කරන ක්‍රම ගැන අපිට දැන් සලකා බලන්න පුළුවන්. පිරිසිදු චේතනා ඇතුව සිටීමෙන්, අපේ පණිවුඩය පැහැදිලිව ඉදිරිපත් කිරීමෙන් සහ සාර්ථක ක්‍රම භාවිත කිරීමෙන් මෙම හොඳම ආරංචියට, එනම් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියට සවන්දීම සඳහා බොහෝ පිරිසකට අවස්ථාවක් ලබාදීමට අපට පුළුවන්. *

ශුභාරංචිය දේශනා කිරීමට හේතුව

5. (අ) දේශනා සේවයේ සහභාගි වීමට අපව පොලඹවන ප්‍රධානම දෙය කුමක්ද? (ආ) දේශනා කිරීමට බයිබලයේ දී තිබෙන ආඥාවට අප කීකරු වන්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසායයි කිව හැක්කේ මන්ද?

5 අපි දැන් පළමුවෙනි කාරණය වන අපගේ චේතනා ගැන සලකා බලමු. අපි ශුභාරංචිය දේශනා කරන්නේ ඇයි? යේසුස් ශුභාරංචිය දේශනා කළේ ඔහු ‘පියාණන්ට ප්‍රේම කළ’ නිසයි. අපිත් ශුභාරංචිය දේශනා කරන්නේ දෙවිට තිබෙන අපගේ ප්‍රේමය නිසයි. (යොහන් 14:31; ගීතාවලිය 40:8) දෙවිට තිබෙන ප්‍රේමය තමයි, ශුභාරංචිය දේශනා කරන්න අපව පොලඹවන්නේ. (මතෙව් 22:37, 38) “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය” කියා කීමෙන් බයිබලය පෙන්වන්නේ, දෙවිට තිබෙන ප්‍රේමය සහ දේවසේවය අතර සම්බන්ධයක් තිබෙන බවයි (1 යොහන් 5:3; යොහන් 14:21) ‘ගොස් ගෝලයන් කරන්න’ කියා යේසුස් දුන් ආඥාවත් දෙවිගේ ආඥාවලට ඇතුළත් වෙනවාද? (මතෙව් 28:19) ඔව්, ඒ වචන යේසුස් පැවසූ බව ඇත්තයි. නමුත් ඒ ආඥාව පැමිණියේ යෙහෝවාගෙනුයි. අපි එහෙම කියන්නේ ඇයි? යේසුස්ම මේ විදිහට පැහැදිලි කළා. ‘මා මාගේම අදහසකට අනුව කිසිවක් නොකර, පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියනවා.’ (යොහන් 8:28; මතෙව් 17:5) ඒ නිසා දේශනා කිරීමට දී තිබෙන ආඥාව පිළිපැදීමෙන් අපි යෙහෝවා දෙවිට ප්‍රේම කරන බව ඔප්පු වෙනවා.

6. දෙවි කෙරෙහි අප තුළ තිබෙන ප්‍රේමය දේශනා කිරීමට අපව පොලඹවන්නේ කෙසේද?

6 යෙහෝවාට තිබෙන ප්‍රේමය නිසා අප දේශනා කිරීමට පෙලඹෙන තවත් හේතුවක් නම් ඔහුට විරුද්ධව සාතන් එල්ල කරන බොරු චෝදනා හෙළි කිරීමට අපට උවමනා නිසයි. (2 කොරින්ති 4:4) දෙවි ධර්මිෂ්ඨ විදිහට පාලනය කරන්නේ නැහැයි කියා සාතන් චෝදනා කර තිබෙනවා. (උත්පත්ති 3:1-5) සාතන්ගේ එම බොරුව හෙළි කිරීමටත් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැලැල මිනිස් වර්ගයා ඉදිරියේ ඉවත් කිරීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපට දැඩි ආශාවක් තිබෙනවා. (යෙසායා 43:10-12) අප දේශනා සේවයේ සහභාගි වෙන්නේ යෙහෝවාගේ යහපත් ගුණාංග ගැනත් ඔහු නිතරම සාධාරණව ක්‍රියා කරන බවත් අප දැනගෙන සිටින නිසයි. මේ නිසා ඔහුට සමීප බවක් අපට දැනෙන අතර අන් අයට අපගේ දෙවි ගැන කියා දීමට දැඩි ආශාවක් අප තුළ ඇති වෙනවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ යහපත්කම සහ ඔහු ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරන ආකාරය නිසා අපට ඇති වන ප්‍රීතිය හේතුවෙන් ඔහු ගැන කතා නොකර සිටීමට අපට නම් බැහැ. (ගීතාවලිය 145:7-12) සවන්දීමට කැමැත්තක් දක්වන අයට දෙවි ගැනත් ඔහුගේ “උතුම් ගතිගුණ” ගැනත් ප්‍රකාශ කිරීමට අප තුළ මහත් පෙලඹීමක් ඇති වෙනවා.—1 පේතෘස් 2:9; යෙසායා 43:21.

7. දෙවිට තිබෙන ප්‍රේමයට අමතරව, අප දේශනා සේවයේ සහභාගි වෙන්නේ වෙනත් කිනම් වැදගත් හේතුවක් නිසාද?

7 අප දේවසේවයේ නොකඩවා හවුල්වීමට තවත් වැදගත් හේතුවක් නම්, නිතරම නරක ආරංචි ඇසීමෙන් කලකිරී සිටින මෙන්ම යම් හේතුවක් නිසා පීඩා විඳින පුද්ගලයන්ට සහනයක් ලබා දීමට අපි තුළ අවංක ආශාවක් තිබෙන නිසයි. මෙසේ කිරීමෙන් අපි උත්සාහ කරන්නේ යේසුස්ව අනුකරණය කිරීමටයි. නිදසුනකට මාක් 6වන පරිච්ඡේදයේ විස්තරය සලකා බලන්න.

8. මාක් 6වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාවෙන් මිනිසුන් ගැන යේසුස්ට දැනුණ ආකාරය පැහැදිලි වෙන්නේ කුමක්ද?

8 එහි සඳහන් වන ආකාරයට දේශනා සේවයේ සහභාගි වීමෙන් පසුව යේසුස්ගේ ගෝලයන් ඔහු ළඟට ඇවිත් ඔවුන් කළාවූ මෙන්ම ඉගැන්වූ හැම දෙයක් ගැනම යේසුස්ට පවසනවා. ඉන්පසුව ගෝලයන් වෙහෙසට පත් වී සිටින බව යේසුස්ට වැටහෙනවා. ඉතින් “විවේකයක් ගන්න” කියා යේසුස් ඔවුන්ට ආරාධනා කරනවා. ගෝලයන් යේසුස් සමඟ ඔරුවකට නැඟලා පාළු තැනකට යනවා. එය දැක්ක මිනිස්සු ඔවුන්ගේ පස්සෙන් වෙරළ දිගේ දුවගෙන ගොස් ඉක්මනින්ම ඔවුන් යන තැනටම යනවා. එවිට යේසුස් කරන්නේ කුමක්ද? ඔහු “මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි හෙයින් ඔහු ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹී, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය” කියා එම වාර්තාවේ සඳහන් වෙනවා. (මාක් 6:31-34) යේසුස් වෙහෙසට පත් වී සිටියත් මිනිසුන් වෙනුවෙන් ආදරයක් සහ අනුකම්පාවක් ඔහුට දැනුණ නිසා ඔවුන්ට ශුභාරංචිය කියා දීමට ඔහු පෙලඹෙනවා. ඔවුන්ට උපකාර කිරීමට ඔහු තුළ දැඩි ආශාවක් ඇති වූ බව මින් පැහැදිලියි.

9. මාක් 6වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාවෙන් අපගේ දේවසේවය කිරීම සඳහා අපට තිබිය යුතු නිවැරදි චේතනාව ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

9 ඉහත සඳහන් වාර්තාවෙන් අපට ගත හැකි පාඩම කුමක්ද? ශුභාරංචිය දේශනා කිරීමත් මිනිසුන්ව ගෝලයන් කිරීමත් අපගේ ක්‍රිස්තියානි වගකීමක් බව අපට හැඟෙනවා. එයට හේතුව “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීම” දෙවිගේ කැමැත්ත වීමයි. (1 තිමෝති 2:4) කෙසේවෙතත් අපි අපගේ දේශනා සේවයේ හවුල් වන්නේ යුතුකමක් ඉටු කරන්න විතරක් නොවෙයි. අප එය කරන්නේ ජනයා ගැන අනුකම්පාවක් අපටත් හැඟෙන නිසයි. යේසුස්ට හැඟුණාක් මෙන් අපටත් මිනිසුන් වෙනුවෙන් අනුකම්පාවක් ආදරයක් හැඟුණොත්, දිගටම ඔවුන්ට ශුභාරංචිය කියා දීමට අපට කළ හැකි සියල්ල කරන්න අපගේ හදවතින්ම අපි පෙලඹෙනවා. (මතෙව් 22:39) දේවසේවයේ සහභාගි වීම සඳහා අප තුළත් මෙවැනි කදිම චේතනා තිබෙනවා නම් අත්නෑර දිගටම ශුභාරංචිය දේශනා කිරීමට අපව පෙලඹෙනවා නියතයි.

අපගේ පණිවුඩය නම් දේවරාජ්‍යය ගැන ශුභාරංචියයි

10, 11. (අ) අප දේශනා කරන පණිවුඩය යෙසායා විස්තර කරන්නේ කොහොමද? (ආ) යේසුස් යහපත් දේ ගැන යහපත් ආරංචියක් ගෙනාවේ කෙසේද? දෙවිගේ නවීන දින සේවකයන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කර තිබෙන්නේ කෙසේද?

10 අපගේ දේවසේවයේ ඊළඟ පැත්ත ගැන කුමක් කිව හැකිද? එනම් අපි දේශනා කරන්නේ කුමක් ගැනද, හෙවත් අප ගෙනයන පණිවුඩය කුමක්ද යන්න ගැනයි.ඒ ගැන කුමක් කිව හැකිද? අපි ප්‍රකාශ කරන පණිවුඩය ගැන අලංකාර විස්තරයක් අනාගතවක්තෘ යෙසායා මෙලෙස ලබා දෙනවා. “යහපත් [ශුභ] ආරංචිය ගෙනෙන්නාවූද සමාදානය ප්‍රකාශ කරන්නාවූද යහපත් දේ ගැන යහපත් ආරංචිය ගෙනෙන්නාවූද ගැලවීම ප්‍රකාශ කරන්නාවූද සියොන්ට කතා කොට: ඔබේ දෙවි රජකම් කරන්නේයයි කියන්නාවූ තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද?”—යෙසායා 52:7.

11 ඒ බයිබල් පදයේ වැදගත් වචන ඛණ්ඩය වන්නේ “ඔබේ දෙවි රජකම් කරන්නේය” යන්නයි. එය අප දේශනා කළ යුතු පණිවුඩය වන දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන අපට සිහි කරවනවා. (මාක් 13:10) එහිදී යෙසායා “ගැලවීම,” “ශුභ ආරංචිය,” “සමාදානය” සහ “යහපත් දේ ගැන යහපත් ආරංචිය” වැනි යෙදුම් භාවිත කරන බව සැලකිල්ලට ගන්න. මේ යෙදුම් තුළින් අපගේ පණිවුඩයෙන් ඇති කරන සහනය පැහැදිලි වෙනවා. යෙසායාගේ කාලයෙන් ශතවර්ෂ ගණනාවකට පසුව පළමු ශතවර්ෂයේදී යේසුස් ක්‍රිස්තුස් මෙම අනාවැකිය කැපීපෙනෙන ආකාරයකින් ඉටු කළා. ඉදිරියේදී පිහිටුවනු ලබන දේවරාජ්‍යය ගැන ශුභාරංචි දේශනා කිරීමෙහි ඔහු ඉතාමත් කදිම ආදර්ශයක් තැබුවා. (ලූක් 4:43) නවීන කාලයේදී, විශේෂයෙන් 1919 පටන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරනවා. දැනටමත් පිහිටුවා තිබෙන දේවරාජ්‍යය පිළිබඳව හා ජනයාට ඉන් ලැබෙන්න යන ආශීර්වාද පිළිබඳව ශුභාරංචිය ගැන ඔවුන් ඉතා උද්‍යෝගයෙන් දේශනා කරමින් සිටිනවා.

12. හොඳ ප්‍රතිචාරයක් දක්වන අයට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ඇති කරන්නේ කුමන බලපෑමක්ද?

12 හොඳ ප්‍රතිචාරයක් දක්වන අයට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ඇති කරන්නේ කුමන බලපෑමක්ද? යේසුස්ගේ කාලයේදී මෙන්ම අද දින සිටින මිනිසුන්ටත්, ශුභාරංචිය මඟින් බලාපොරොත්තුවක් හා සහනයක් ලබා දෙනවා. (රෝම 12:12; 15:4) ඉදිරියේදී ප්‍රීතිමත් කාලයක් උදා වෙන්න යන බව විශ්වාස කිරීමට හොඳ පදනමක් තිබෙන බව දැනගැනීමට ලැබෙන නිසා අවංක සිත් ඇති අයට එය බලාපොරොත්තුවක් ඇති කරවනවා. (මතෙව් 6:9, 10; 2 පේතෘස් 3:13) දේව භය ඇති අයට මේ නිසා සතුටින් අනාගතය දෙස බලන්න පුළුවන්. ගීතිකාකරු පවසන්නේ ඔවුන් “නපුරු ආරංචිවලට භය නොවන්නේය” කියායි.—ගීතාවලිය 112:1, 7.

‘බිඳුණු සිත් ඇත්තන් බඳිනු ලබන’ පණිවුඩයක්

13. ශුභාරංචියට සවන් දෙන අයට දැන් ලැබෙන සහනය ගැන අනාගතවක්තෘ යෙසායා විස්තර කරන්නේ කෙසේද?

13 මීට අමතරව අප දේශනා කරන ශුභාරංචියට සවන් දෙන අයට දැනුත් සහනයක් ලැබෙනවා. අප එසේ කියන්නේ ඇයි? ඔවුන් ලබන ආශීර්වාද සමහරක් ගැන අනාගතවක්තෘ යෙසායා මෙලෙස පුරෝකථනය කළා. “ස්වාමි වූ යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද මොළොක් ගුණ ඇත්තන්ට ශුභාරංචිය දේශනා කරන පිණිස යෙහෝවා මා ආලේප කළේය; බිඳුණු සිත් ඇත්තන් බඳින පිණිසත් වහල්කමට ගත්තවුන්ට නිදහස්කම ප්‍රකාශ කරන පිණිසත් බඳින ලද්දවුන් මුදා හරින පිණිසත් යෙහෝවාගේ පිළිගත යුතු අවුරුද්දද අපේ දෙවිගේ පළිගැනීමේ දවසද ප්‍රකාශ කරන පිණිසත් වැලපෙන සියල්ලන් සනසන පිණිසත් . . . මා එව්වේය.”—යෙසා. 61:1-3; ලූක් 4:16-21.

14. (අ) ‘බිඳුණු සිත් ඇත්තන් බැඳීම’ යන යෙදුම දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය ගැන කියාපාන්නේ කුමක්ද? (ආ) බිඳුණු සිත් ඇත්තන්ට යෙහෝවා දක්වන සැලකිල්ල අප පෙන්වන්නේ කෙසේද?

14 ඒ අනාවැකියට අනුව ශුභාරංචිය දේශනා කිරීම තුළින් යේසුස් විසින් ‘බිඳුණු සිත් ඇත්තන්ව බඳිනු ලබනවා.’ යෙසායා මෙහිදී මොන තරම් පැහැදිලි චිත්‍රයක් අපේ සිතේ මවනවාද! එක් බයිබල් ශබ්දකෝෂයකට අනුව ‘බඳිනු ලැබීම’ යන යෙදුම රැගෙන තිබෙන හෙබ්‍රෙව් වචනය “බොහෝ විට භාවිත වෙන්නේ තුවාලයකට වෙළුමක් ‘දැමීම’ යන අදහස කියාපෑමටයි. මෙය හරියට තුවාල වූ කෙනෙකුට බෙහෙත් දැමීම සහ සුවයක් ලබාදීම වගෙයි.” කරුණාවන්ත හෙදියක් තුවාලයක් ආවරණය කිරීමට හෝ බිඳුණු අස්ථියක් සෙලවෙන්නේ නැතිව තබාගැනීමට ශරීරයේ ඒ කොටස වෙළුමකින් බඳිනවා. මෙමඟින් රෝගියාට යම් සුවයක් ලැබෙනවා. ඒ හා සමානව දේවරාජ්‍යය ගැන දේශනා කරන ප්‍රචාරකයන්, පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන නමුත් විවිධ ආකාරවලින් දුක් විඳින අයට කාරුණික ලෙස උපකාර කරනවා. මේ ආකාරයෙන් උපකාර අවශ්‍ය අයට අතහිත දීමෙන් ඔවුන් කරන්නේ යෙහෝවාගේ සැලකිල්ල විදහා පෙන්වීමයි. (එසකියෙල් 34:15, 16) ගීතිකාකරු දෙවි ගැන පැවසුවේ මෙයයි. “ඔහු බිඳුණු සිත් ඇත්තන් සුව කරන්නේය; ඔවුන්ගේ තුවාල බඳින්නේය.”—ගීතාවලිය 147:3.

දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය සැනසීමක් ගෙනදෙන ආකාරය

15, 16. දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය මගින් අවශ්‍ය අයට උපකාර හා ශක්තිය ලැබෙන ආකාරය විස්තර කරන්න.

15 දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය බිඳුණු සිත් ඇත්තන්ට උපකාර කරන හා ශක්තිමත් කරන ආකාරය ගැන ජීවිත අද්දැකීම් රාශියකින් දැකගත හැකියි. දකුණු අමෙරිකාවේ ජීවත් වෙන මහලු ස්ත්‍රියක් වන ඔරියානාගේ අද්දැකීම සලකා බලමු. ඇය ජීවත් වීමට තිබුණු ආශාව සම්පූර්ණයෙන් අත්හැරලයි සිටියේ. නමුත් යෙහෝවාගේ සාක්ෂිකාරියකට ඇයව හමු වුණා. ඒ සාක්ෂිකාරිය ඔරියානාව හමු වීමට ගිය අවස්ථාවලදී බයිබලයෙන් සහ මගේ බයිබල් කතන්දර පොත * නමැති ප්‍රකාශනයෙන් ඇයට ඇහෙන්න කියෙව්වා. කලකිරී සිටි ඒ ස්ත්‍රිය ඇයට සවන් දුන්නේ ඇඳේ නිදාගෙන, ඇස් දෙක වහගෙන, ඉඳල හිටලා සුසුම් හෙලමිනුයි. නමුත් ටික දවසකින් ඒ ස්ත්‍රිය ඇඳේ වාඩි වෙලා ඒ කියවීමට සවන් දෙන්න උත්සාහයක් දැරුවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඇය සාලේ පුටුවක වාඩි වෙලා ඇයට බයිබලය උගන්වන කෙනා පැමිණෙන තෙක් බලාගෙන හිටියා. පස්සේ ඇය රාජ්‍යශාලාවේ පැවැත්වෙන රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ රැස්වීම්වලදී ඇය මහත් දිරිගැන්වීමක් ලැබූ අතර ඇගේ නිවස ළඟින් යන එන අයට බයිබල් පොත්පත් ඉදිරිපත් කිරීමටත් ඇය පටන්ගත්තා. අවසානයේදී 93 හැවිරිදි ඔරියානා යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වුණා. මුලින් කලකිරී සිටි ඇයට දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය මගින් ජීවත් වීමට ආශාවක් යළිත් ඇය තුළ ඇති කළා.—හිතෝපදේශ 15:30; 16:24.

16 මාරාන්තික රෝගයක් තමන්ට තිබෙන නිසා අකල් මරණයකට ඉක්මනින්ම ගොදුරු වෙන්න යන බව දන්නා අයටද දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය ඉමහත් සහනයක් ගෙනදෙනවා. මේ අද්දැකීම බටහිර යුරෝපයෙන්. මාරාන්තික රෝගයක් වැලඳී සිටි මරියාට මුල් වතාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවෙද්දී ඇය සිටියේ හොඳටම කලකිරී, කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයකයි. නමුත් අනාගතය සඳහා දෙවිගේ අරමුණ ගැන දැනගත් විට ඇගේ ජීවිතයට අර්ථයක් තිබෙන බව ඇයට වැටහුණා. ඇය බව්තීස්ම වී දේශනා සේවයේ ඉතාමත්ම උද්‍යෝගයෙන් සහභාගි වෙන්න පටන්ගත්තා. ඇගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ ඇයට බලාපොරොත්තුවක් සහ ප්‍රීතියක් තිබෙන බව ඇගේ මුහුණෙන් නිතරම දිස් වුණා. පසුව ඇය මිය ගියේ මළවුන්ව නැවත නැඟිටුවනු ලබන බවට වූ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයක් ඇතුවයි.—රෝම 8:38, 39.

17. (අ) දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය එය පිළිගන්නා අයට සැනසීමක් වන්නේ කෙසේද? (ආ) යෙහෝවා ‘නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන’ ආකාරය ඔබේ පෞද්ගලික ජීවිතය තුළ ඔබ අද්දැක තිබෙනවාද?

17 බයිබලයේ තිබෙන නිවැරදි ඉගැන්වීම් දැනගැනීමට පිපාසයකින් සිටින අයට දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩයෙන් ලැබෙන සැනසීම ගැන එවැනි වාර්තාවලින් ඔප්පු වෙනවා. ප්‍රේමණීය කෙනෙකුගේ මරණය නිසා වියෝ දුකින් පෙළෙන අයට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව සහනයක් ගෙනදෙනවා. (1 තෙසලෝනික 4:13) දුගීකම නිසා එදා වේලවත් සොයාගන්න බැරිව අමාරුවෙන් ජීවත් වෙන අයට තම අභියෝග ජයගන්න පුළුවන් කියා විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ යෙහෝවාට පක්ෂපාතව සේවය කරන අයව ඔහු අත්නාරින බව දැනගන්නට ලැබීමෙනුයි. (ගීතාවලිය 37:28) මානසික පීඩනයෙන් දුක් විඳින බොහෝදෙනෙකුට යෙහෝවාගෙන් ලැබෙන උපකාරය නිසා එයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ශක්තිය ක්‍රමානුකූලව ලැබෙන අතර සමහර අවස්ථාවලදී එයින් සම්පූර්ණයෙන්ම ගොඩ ඒමටත් හැකියාව ලැබෙනවා. (ගීතාවලිය 40:1, 2) තම වචනයෙන් ලැබෙන ශක්තියෙන් දැනටමත් යෙහෝවා ‘නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනවා.’ (ගීතාවලිය 145:14) අප දේශනා කරන ප්‍රදේශයේ සහ ක්‍රිස්තියානි සභාව තුළ සිටින බිඳුණු සිත් ඇත්තන්ට දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සහනයක් ගෙනදෙන නිසා එයින් අපට යමක් තහවුරු වෙනවා. ඒ තමයි අප ළඟ තිබෙන්නේ වෙන කාටවත් නැති හොඳම ආරංචිය බවයි!—ගීතාවලිය 51:17.

‘මා ඔවුන් වෙනුවෙන් දෙවිට කරන අයැදීම’

18. යුදෙව්වන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළ විට පාවුල්ට එය බලපෑවේ කෙසේද? ඒ මන්ද?

18 අපි ගෙනයන පණිවුඩය හොඳම ආරංචිය වුවත් බොහෝදෙනෙක් එය ප්‍රතික්ෂේප කරනවා. මෙය පාවුල්ට බලපෑ ආකාරයටම අපටත් බලපෑ හැකියි. පාවුල්ට එය බලපෑවේ කෙසේද? ඔහු නිරතුරුවම යුදෙව්වන්ට දේශනා කළත් බොහෝදෙනෙක් එම ගැලවීමේ පණිවුඩය ප්‍රතික්ෂේප කළා. මෙය පාවුල්ට බොහෝ සෙයින් බලපෑවා. “මගේ සිත තුළ බලවත් ශෝකයද නොනැවතී පවතින වේදනාවද තිබේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (රෝම 9:2) පාවුල් දේශනා කළ යුදෙව්වන් කෙරෙහි ඔහුට අනුකම්පාවක් දැනුණා. නමුත් ඔවුන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළ විට ඔහුට හැඟුණේ මහත් දුකක්.

19. (අ) සමහර අවස්ථාවලදී අප අධෛර්යයට පත්වීම සාධාරණ දෙයක් වන්නේ මන්ද? (ආ) දේශනා සේවය දිගටම කරගෙන යන්න පාවුල්ට උපකාරවත් වුණේ කුමක්ද?

19 අපිත් ශුභාරංචිය දේශනා කරන්නේ මනුෂ්‍යයන් වෙනුවෙන් අපට හැඟෙන අනුකම්පාව නිසයි. එම නිසා බොහෝදෙනෙක් දේවරාජ්‍යයේ පණිවුඩය ප්‍රතික්ෂේප කරන විට අපට යම් අධෛර්යයක් දැනීම සාධාරණයි. එවැනි හැඟීමක් ඇති වීමෙන් තහවුරු වෙන්නේ අප දේශනා කරන අයගේ යහපත ගැන අපට අවංක උනන්දුවක් තිබෙන බවයි. කොහොමවුණත් අප පාවුල්ගේ ආදර්ශය මතක තබාගත යුතුයි. දේශනා වැඩයෙහි දිගටම රැඳී සිටීමට ඔහුට උපකාරවත් වුණේ කුමක්ද? යුදෙව්වන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කිරීම ගැන පාවුල් ශෝක වුණත් ඔහු ඔවුන් ගැන සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු අත්හැරියේ නැහැ. ටිකදෙනෙක් හරි ක්‍රිස්තුස්ව පිළිගන්න කැමැත්තෙන් සිටියි කියා ඔහු බලාපොරොත්තු වුණා. එම නිසා ඒ එක් එක් යුදෙව්වා ගැන තමාට තිබූ හැඟීම ගැන පාවුල් ලීවේ මෙයයි. “ඔවුන් උදෙසා මගේ සිතේ ඇති ආශාව නම් ඔවුන්ගේ ගැලවීමය. මා ඔවුන් වෙනුවෙන් දෙවිට අයැදින්නේද ඒ සඳහාය.”—රෝම 10:1.

20, 21. (අ) දේවසේවය සම්බන්ධයෙන් අපට පාවුල්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ අප බලන්න යන්නේ දේවසේවයේ කිනම් පැත්ත ගැනද?

20 පාවුල් මෙහිදී කාරණා දෙකක් ගැන අවධානය යොමු කරන බව ඔබ දුටුවාද? ඔහු හදවතින්ම ආශා වුණේ ටිකදෙනෙක් හරි ගැලවෙනවා දකින්නයි. ඒ සම්බන්ධයෙන් ඔහු දෙවිට යාච්ඤාද කළා. අදදින අපත් පාවුල්ගේ ආදර්ශය අනුකරණය කරනවා. ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්විය හැකි ඕනෑම කෙනෙක්ව සොයාගැනීම අපගෙත් ආශාවයි. එවන් පුද්ගලයන්ව සොයා ගැලවීමේ මාර්ගය ඔවුන්ට පෙන්වා දීමට අපට උපකාර කරන ලෙස අපත් දිගටම යෙහෝවාට යාච්ඤා කරනවා.—හිතෝපදේශ 11:30; එසකියෙල් 33:11; යොහන් 6:44.

21 ඒත් දේවරාජ්‍යයේ පණිවුඩය හැකි තරම් දෙනෙකුට කියා දීමට නම් අප අවධානය යොමු කළ යුත්තේ අප දේශනා කරන්නේ ඇයි සහ කුමක්ද යන කරුණු දෙකට පමණක් නොවෙයි. අපි දේශනා කරන ආකාරයටත් අපි අපේ අවධානය යොමු කළ යුතුයි. ඊළඟ ලිපියේ මේ ගැන සලකා බලමු.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මේ ලිපිය තුළ සලකා බලන්නේ මුල් පැති දෙක ගැනයි. දෙවන ලිපිය තුළ තුන්වෙනි පැත්ත ගැන අපි සලකා බලන්න යනවා.

^ 15 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• අප දේවසේවයේ සහභාගි වන්නේ කුමන හේතු නිසාද?

• අපි දේශනා කරන ප්‍රධාන පණිවුඩය කුමක්ද?

• දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය පිළිගන්න අයට ලැබෙන ආශීර්වාද විස්තර කරන්න.

• දේවසේවය දිගටම කරගෙන යන්න අපට උපකාර කරනු ඇත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යය ගැන පණිවුඩය බිඳුණු සිත් ඇත්තන්ට ශක්තිය දෙයි

[20වන පිටුවේ පින්තූරය]

දේවසේවය නොකඩවා කරගෙන යෑම සඳහා යාච්ඤාව අපට උපකාර කරයි