Skip to content

පටුනට යන්න

සිතට සැනසුම සොයා

සිතට සැනසුම සොයා

සිතට සැනසුම සොයා

ඇල්බට් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමින් සිටියා. ඔහුට හුරුබුහුටි දරුවන් දෙදෙනෙකුත් සිටියා. නමුත් තම ජීවිතයේ යම් අඩුවක් තිබෙන බව ඔහුට දැනුණා. හරි හැටි රස්සාවක් සොයාගන්න බැරුව සිටි කාලයක ඔහු දේශපාලනයට සම්බන්ධ වුණා. මෙසේ ඔහු සමාජවාදී ආකල්ප දරන්න පටන්ගත්තා. අන්තිමේදී ඔහු ගමේ කොමියුනිස්ට් පක්ෂයක වැඩකටයුතුවල බැහැලා වැඩ කළ ක්‍රියාශීලී සාමාජිකයෙක් බවට පත් වුණා.

කොහොම නමුත් ටික කලකින් ඇල්බට්ට කොමියුනිස්ට්වාදය එපා වුණා. ඔහු දේශපාලනය සම්පූර්ණයෙන්ම අත්හැරලා තම පවුල වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ සතුට ඔහුගේ ජීවිතයේ වැදගත්ම දෙය වුණා. ඒත් ඇල්බට්ට ලොකු හිස් බවක් දැනුණා. ඔහු කොච්චර උත්සාහ කළත් ඔහුගේ සිතට සැනසුමක් ලැබුණේ නැහැ.

මෙය ඇල්බට්ට පමණක් සීමා වූ අද්දැකීමක් නොවෙයි. මිනිසුන් මිලියන ගණනක් ජීවිතයට හොඳ අරමුණක් සොයාගන්න උත්සාහයක් දරා තිබෙනවා. ඒ සඳහා ඔවුන් විවිධාකාර සංකල්ප, දර්ශන සහ ආගම් ගැන සොයා බලා තිබෙනවා. එක්දහස් නවසිය හැටගණන්වල බටහිර ලෝකයේ හිපිවරුයයි තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් බිහි වුණා. මොවුන් සම්ප්‍රදායික සදාචාරවලට මෙන්ම පිළිගත් සාරධර්මවලට විරුද්ධ වූ පිරිසක්. විශේෂයෙන්ම ඒ කාලයේ විසූ තරුණ තරුණියන් ඒ පිරිස සමඟ එක් වුණා. ඔවුන් සතුට මෙන්ම ජීවිතයට අරමුණක් සොයන්න උත්සාහ කළේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ හිපිවරුන් අතර සිටි නායකයන් සහ උපදේශකයන්ගේ මත පිළිගැනීමෙනුයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ සැබෑ සතුට කාටවත් ලබා දෙන්න ඒ හිපිවරුන්ට හැකි වුණේ නැහැ. ඒ වෙනුවට ඒ සමාජයෙන් බිහි වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අනාචාරයට ප්‍රිය කළ තරුණ තරුණියන් පිරිසක් පමණයි. ඒ නිසා සමාජය තව තවත් සදාචාර අතින් පිරිහුණා.

ශතවර්ෂ ගණනාවක් පුරා බොහෝ දෙනෙක් ධනය රැස් කරගැනීම මගින්, බලය තහවුරු කරගැනීම මගින් හෝ හොඳ උසස් අධ්‍යාපනයක් ලබාගැනීම මගින් සතුට සොයාගන්න උත්සාහ කර තිබෙනවා. එසේ කිරීමෙන් ඔවුන් අන්තිමට අද්දැකලා තිබෙන්නේ කලකිරීම පමණයි. යේසුස් පැවසූ කාරණය පැහැදිලියි. “යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැත.” (ලූක් 12:15) මහ ධන සම්භාරයක් අත්කරගැනීමේ අධිෂ්ඨානය ඇතුව කෙනෙක් වැඩ කරනවා නම් බොහෝවිට ඔහුට අත් වෙන්නේ අසන්තෝෂයයි. බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා . . . බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

එසේ නම් කෙනෙක් තම සිතට සැනසුම සහ තම ජීවිතයට අරමුණක් සොයාගන්නේ කොහොමද? විවිධ දේවල් අත්හදා බැලීමෙන්ද? ඒක හරියට අන්ධකාරයේ ඉඳගෙන ඉලක්කයකට ඊයක් විදින්න උත්සාහ කිරීම හා සමාන දෙයක්! අපට එසේ කිරීමට අවශ්‍ය නැහැ. මනුෂ්‍යයන්ට පමණක් තිබෙන ඉතා වැදගත් අවශ්‍යතාවක් සපුරාලීම තුළින් මෙයට විසඳුම සොයාගත හැකියි. මේ ගැන අපි ඊළඟ ලිපියේ බලමු.

[3වන පිටුවේ පින්තූරය]

ධනය රැස් කිරීම, බලය තහවුරු කරගැනීම හෝ හොඳ උසස් අධ්‍යාපනයක් ලබාගැනීම මගින් ඔබේ සිතට සැනසුම ලැබෙයිද?