Skip to content

පටුනට යන්න

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචියක්

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචියක්

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචියක්

“ඔබ . . . පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”—ක්‍රියා 1:8.

1. බයිබලය උගන්වන්නන් හැටියට අප අවධානය යොමු කරන්නේ කුමකටද? ඒ ඇයි?

දක්ෂ ගුරුවරුන් සැලකිලිමත් වෙන්නේ තම ශිෂ්‍යයන්ට කියන දෙය ගැන පමණක් නොවෙයි. එය කියන ආකාරය ගැනත් ඔවුන් ඉතා සැලකිලිමත් වෙනවා. බයිබලයේ තිබෙන නිවැරදි ඉගැන්වීම් උගන්වන්නන් හැටියට අපත් ක්‍රියා කරන්නේ එලෙසටයි. අපි දේශනා කරන පණිවුඩයට මෙන්ම එය දේශනා කිරීමට අපි භාවිත කරන ක්‍රම ගැනද අපගේ අවධානය යොමු කරනවා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය වන අපගේ පණිවුඩය වෙනස් වෙන්නේ නැහැ. නමුත් දේශනා කිරීමේදී තත්වයන්ට අනුව භාවිත කරන ක්‍රම අපි වෙනස් කරනවා. එයට හේතුව වන්නේ හැකි තරම් ජනයාට ඒ ආරංචිය දැනගැනීමට සැලැස්වීම අපගේ ආශාව වන නිසයි.

2. තත්වයන්ට ගැළපෙන ආකාරයට අපගේ දේශනා කිරීමේ ක්‍රම වෙනස් කිරීමෙන් අප අනුකරණය කරන්නේ කාවද?

2 තත්වයන්ට ගැළපෙන ආකාරයට දේශනා කිරීමේදී අපි භාවිත කරන ක්‍රම වෙනස් කිරීමෙන් අපි අනුකරණය කරන්නේ පුරාණයේ විසූ දෙවිගේ සේවකයන්වයි. උදාහරණයක් හැටියට පාවුල් ගැන සලකා බලමු. “මම යුදෙව්වරුන්ට යුදෙව්වෙකු මෙන් වුණෙමි. . . . නීතිය නැති අයට මම නීතිය නැති කෙනෙකු මෙන් වුණෙමි. . . . දුර්වල අයව දිනාගන්නා පිණිස, දුර්වල අයට මම දුර්වලයෙක් වුණෙමි. කෙසේ හෝ ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට මම සියල්ල වුණෙමි.” (1 කොරින්ති 9:19-23) පාවුල් පුද්ගලයන්ගේ තත්වයන්ට අනුව සකස් වුණා. ඒ නිසා ඔහු සාර්ථක ප්‍රතිඵල ලැබුවා. අපත් විවිධ පුද්ගලයන්ගේ හැඟීම් හා තත්වයන් සැලකිල්ලට ගෙන අප දේශනා කරන ආකාරය ඒ අනුව සකස් කරගන්නවා නම් අපටත් සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්න පුළුවන් වෙයි.

‘පොළොවේ සීමා’ දක්වා

3. (අ) දේශනා කරද්දී අපට තිබෙන අභියෝගය කුමක්ද? (ආ) යෙසායා 45:22හි සඳහන් දෙය අදදින ඉටු වන්නේ කෙසේද?

3 මේ ආකාරයට ශුභාරංචිය දේශනා කරද්දී අපට මුහුණ දීමට තිබෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ දේශනා කිරීමට අපට පැවරී තිබෙන ප්‍රදේශයේ විශාලත්වයයි. එනම් “මුළු ජනාවාස පොළොව පුරාම” දේශනා කිරීමට සිදු වීමයි. (මතෙ. 24:14) ශුභාරංචිය අසා නැති රටවල්වල එම ආරංචිය දේශනා කිරීම සඳහා පසුගිය ශතවර්ෂය පුරා යෙහෝවාගේ සේවකයන් විශාල සංඛ්‍යාවක් වෙහෙස නොබලා වැඩ කළා. ප්‍රතිඵලය කුමක්ද? පොළොව පුරාම පුදුම දනවන වර්ධනයක්! පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේදී දේශනා කිරීමේ වැඩකටයුතු කරගෙන ගියේ රටවල් කිහිපයක පමණයි. නමුත් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් 235ක ක්‍රියාශීලීව සේවය කරමින් සිටිනවා. දේවරාජ්‍යයේ ශුභාරංචිය ‘පොළොවේ සීමා’ දක්වා දේශනා කරනු ලබන බවට එය සාක්ෂියක් නොවෙයිද?—යෙසායා 45:22.

4, 5. (අ) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙන්නේ කවුරුන්ද? (ආ) වෙනත් රටවල්වලින් පැමිණ සේවය කරන අය ගැන ඒ ඒ ශාඛා කාර්යාලවලින් ලැබූ ලිපිවල සඳහන් වුණේ කුමක්ද?

4 මෙවැනි වර්ධනයකට බොහෝ දේවල් බලපානවා. වෙනත් රටක සේවය කිරීම සඳහා ගිලියද් මුරටැඹ බයිබල් පාසැලින් පුහුණුවක් ලබා තිබෙන අය මෙන්ම වඩා මෑතක පටන් දේවසේවා පුහුණු පාසැලෙන් පුහුණුවක් ලබා තිබෙන සහෝදරයන් 20,000කට අධික පිරිසක් විශාල වශයෙන් මේ වර්ධනයට දායක වී තිබෙනවා. තවද ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන රටවල්වලට තමන්ගේම වියදමින් ගොස් සේවය කිරීමට ඉදිරිපත් වී තිබෙන බොහෝ සාක්ෂිකරුවනුත් මේ වර්ධනයට දායක වී තිබෙනවා. ස්ත්‍රී පුරුෂ හෝ වේවා, තරුණ මහලු හෝ වේවා, විවාහක හෝ තනිකඩ හෝ වේවා, ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් දක්වන මෙම ක්‍රිස්තියානීන් පොළොව පුරා දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙහි විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා. (ගීතාවලිය 110:3; රෝම 10:18) ඔවුන්ව අපි ගොඩාක් අගය කරනවා. වෙනත් රටවල්වලින් පැමිණ වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශවල සේවය කරන මෙවන් අය ගැන සමහර ශාඛා කාර්යාලවලින් එවන ලද ලිපිවල තිබූ අදහස් කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

5 “මෙම සහෝදර සහෝදරියන් දුෂ්කර ප්‍රදේශවල දේශනා කිරීමට මුල් වී ක්‍රියා කර තිබෙනවා. අලුත් සභා පිහිටුවීමට උපකාර කරනවා. ඒ වගේම මේ රටේ සිටින සහෝදර සහෝදරියන් සත්‍යය තුළ ලබන දියුණුවට ඔවුන් දායක වී තිබෙනවා.” (ඉක්වදෝරය) “වෙනත් රටවල්වලින් පැමිණ මෙහි සේවය කරන සහෝදර සහෝදරියන් සියගණනක් සිටිනවා. සභාවන් ශක්තිමත් කරන මෙම සහෝදර සහෝදරියන්ට මේ රටින් යන්න සිදු වුණොත් නම් එය සභාවන්ට ලොකු පාඩුවක් වෙයි. ඔවුන් මෙහි සිටීම අපිට ඇත්තෙන්ම ආශීර්වාදයක්.” (ඩොමිනිකානු සමූහාණ්ඩුව) අපගේ සභා බොහොමයක වැඩි වශයෙන් ඉන්නේ සහෝදරියන්. සමහර සභාවල සියයට 70ක්ම ඉන්නේ සහෝදරියන්. (ගීතාවලිය 68:11) මේ සහෝදරියන්ගෙන් වැඩි ප්‍රමාණයක් සත්‍යයට පැමිණියේ ළඟකදී. නමුත් වෙනත් රටවල්වලින් පැමිණි තනිකඩ පුරෝගාමි සහෝදරියන් ඔවුන්ට ලබාදෙන පුහුණුව මිල කළ නොහැකියි. මෙවැනි පුරෝගාමි සහෝදරියන් ඇත්තෙන්ම අපට අනගි ත්‍යාගයක්! (නැඟෙනහිර යුරෝපියානු රටක්) වෙනත් රටක සේවය කිරීම ගැන ඔබත් කවදා හෝ කල්පනා කර තිබෙනවාද? *ක්‍රියා 16:9, 10.

‘සෑම භාෂාවක්ම කතා කරන්නන් අතරෙන් දසදෙනෙක්’

6. අපගේ දේශනා කිරීමේ වැඩය අභියෝගයක් වන ආකාරය සෙකරියා 8:23හි දකින්න ලැබෙන්නේ කොහොමද?

6 අප ඉදිරියේ තිබෙන තවත් විශාල අභියෝගයක් වන්නේ පොළොව පුරා විවිධ භාෂා ගණනාවක් තිබීමයි. ‘ඒ දවස්වලදී ජාතීන්ගේ සෑම භාෂාවක්ම කතා කරන්නන් අතරෙන් දසදෙනෙක් යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන: අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයයි ඇසීමු යයි කියන්නෝය’ කියා දේවවචනයේ පුරෝකථනය කර තිබෙනවා. (සෙකරියා 8:23) මෙම අනාවැකියේ වර්තමාන ඉටුවීම ගත් කල දසදෙනා නියෝජනය කරන්නේ මහත් සමූහයයි. මොවුන් ගැන එළිදරව් 7:9හි පුරෝකථනය කර තිබෙනවා. සෙකරියා මෙහිදී හඳුන්වන මනුෂ්‍යයන් “දසදෙනා” පැමිණෙන්නේ සියලු ජාතීන්ගෙන් පමණක් නොව, නමුත් ‘ජාතීන්ගේ සෑම භාෂාවක්ම කතා කරන්නන් අතරෙන්’ බවත් ඔබ දුටුවාද? ඒ අනාවැකියේ මෙම වැදගත් අංගයේ ඉටුවීම අද අපි දකිමින් සිටිනවා.

7. ‘සෑම භාෂාවක්ම කතා කරන්නන්ට’ ශුභාරංචිය දැනගැනීමට අවස්ථාවක් ලැබෙන බව ඔප්පු වන්නේ කුමන සංඛ්‍යා ලේඛනවලින්ද?

7 එය ඉටු වන ආකාරය ගැන සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වෙනවා. වසර 50 කට පෙර අපගේ සඟරා පොත්පත් මුද්‍රණය කළේ භාෂා 90කින් පමණයි. අද එය භාෂා 400ක් දක්වා වැඩි වෙලා! ටික දෙනෙක් පමණක් කතා කරන සමහර භාෂාවලින් වුවත් පොත්පත් සැපයීම සඳහා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” හැකි සෑම උත්සාහයක්ම දරා තිබෙනවා. (මතෙව් 24:45) උදාහරණයකට ග්‍රීන්ලන්ත භාෂාවෙන් (කතා කරන්නේ 47,000දෙනෙක්), පලාවු භාෂාවෙන් (කතා කරන්නේ 15,000දෙනෙක්), සහ යැප් භාෂාවෙන් පවා (කතා කරන්නේ 7,000කට අඩු පිරිසක්) දැන් සත්‍යය පැහැදිලි කරන පොත්පත් ලබාගත හැකියි.

අලුත් ප්‍රස්තාවන්ට මඟ පාදන “විශාල දොරක්”

8, 9. “විශාල දොරක්” විවෘත වී තිබෙන්නේ කිනම් තත්වය නිසාද? සාක්ෂිකරුවන් දහස් ගණනක් එයට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

8 කෙසේ නමුත් අද කාලයේ සෑම භාෂාවක්ම කතා කරන අයට ශුභාරංචිය කියාදීම සඳහා අපට වෙනත් රටකටම යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෑත කාලයේදී සංවර්ධිත රටවල්වලට සංක්‍රමණිකයන් සහ සරණාගතයන් විශාල පිරිසක් පදිංචියට යන නිසා එම රටවල්වල භාෂා ගණනාවක් කතා කරන ජන පිරිස් දැන් සිටිනවා. උදාහරණයකට ප්‍රංශයේ පැරිස් නුවර භාෂාවන් 100ක් පමණ කතා කරනු ලබනවා. කැනඩාවේ ටොරොන්ටෝවල භාෂා 125ක් කතා කරනු ලබනවා. එංගලන්තයේ ලන්ඩන්වල භාෂා 300කට වැඩියෙන් භාවිත වෙනවා! වෙනත් රටවල්වලින් යන බොහෝදෙනෙක් ඒ ඒ රටවල්වල සභාවන්ට අයිති බලප්‍රදේශවල පදිංචි වන නිසා, සෑම ජාතියකම වැසියන්ට ශුභාරංචිය කියා දීම සඳහා අලුත් ප්‍රස්තාවන්ට මඟ පාදන “විශාල දොරක්” විවෘත වී තිබෙනවා.—1 කොරින්ති 16:9.

9 මෙම අභියෝගයට මුහුණ දීම සඳහා සාක්ෂිකරුවන් දහස් සංඛ්‍යාවක් වෙනත් භාෂාවක් ඉගෙනගනිමින් සිටිනවා. බොහෝදෙනෙකුට මෙය පහසු දෙයක් නොවුණත්, ඔවුන් දරන වෑයමට හොඳ ප්‍රතිඵල ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ තමයි සංක්‍රමණිකයන්ට හා සරණාගතයන්ට දේවවචනයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් ගැන කියා දීමට ඔවුන්ට හැකි වී තිබීම. මෑතකදී එක්තරා යුරෝපීය රටක පවත්වනු ලැබූ දිස්ත්‍රික් සමුළුවලදී බව්තීස්ම වූ අයගෙන් ආසන්න වශයෙන් සියයට 40ක් පමණ, වෙනත් රටවලින් පැමිණ එහි පදිංචි වූ අයයි.

10. ඔබ සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත් පිංචය සේවයේදී භාවිත කර තිබෙන ආකාරය විස්තර කරන්න. (විසි හයවෙනි පිටුවේ “සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති මාතෘකාවෙන් යුත් පොත් පිංචයේ අඩංගු දේවල්” නමැති කොටුව බලන්න.)

10 අපි හැමෝටම වෙනත් භාෂාවක් ඉගෙනගන්න බැරි බව ඇත්තයි. ඒ වුණත් සංක්‍රමණිකයන්ට උපකාර කිරීමෙහි හවුල්වීමට අපටත් හැකියි. අපට එසේ කළ හැක්කේ විවිධ භාෂාවන් ගණනාවකින් සිත්ගන්නාසුලු පණිවිඩයක් අඩංගු සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි * නමැති මෑතකදී නිකුත් වූ පොත් පිංචය හොඳින් භාවිත කිරීමෙනුයි. (යොහන් 4:37) ඔබ දේවසේවයේදී මෙම පොත් පිංචය පාවිච්චි කරනවාද?

මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන විට

11. සමහර ප්‍රදේශවල මුහුණ දීමට තිබෙන තවත් අභියෝගයක් වන්නේ කුමක්ද?

11 පොළොව පුරාම සාතන්ගේ බලපෑම වැඩි වෙනවාත් සමඟම තවත් අභියෝගයකට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. ඒ තමයි සමහර ප්‍රදේශවල ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් නොදක්වන මිනිසුන් වැඩි වීම. මෙවැනි තත්වයක් ඇති වන බව යේසුස් පුරෝකථනය කළ නිසා අපි මේ ගැන පුදුම වෙන්නේ නැහැ. අප ජීවත් වන කාලය ගැන කතා කිරීමේදී යේසුස් පැවසුවේ “වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය” කියයි. (මතෙව් 24:12) අද කාලයේ බොහෝදෙනෙකුට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය සහ බයිබලයට තිබෙන ගෞරවය හීන වී ගොස් තිබෙනවා. (2 පේතෘස් 3:3, 4) ඒ නිසා සමහර ප්‍රදේශවල සත්‍යයට එන්නෙත් කිහිපදෙනෙක් විතරයි. කෙසේවෙතත් මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන එවැනි ප්‍රදේශවල පවා විශ්වාසවන්තව දේශනා කරන අපගේ ප්‍රේමණීය ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ වෑයම් නිෂ්ඵල වන බව ඉන් අදහස් කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10) අප එසේ කීමට හේතුව ඊළඟට සලකා බලමු.

12. අපගේ දේශනා වැඩකටයුතුවල ප්‍රධාන අරමුණු දෙක කුමක්ද?

12 අපගේ දේශනා වැඩකටයුතුවල ප්‍රධාන අරමුණු දෙකක් මතෙව් පොතේ පැහැදිලි කරනවා. ඉන් එකක් වන්නේ ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමයි.’ (මතෙව් 28:19) අනික වන්නේ දේවරාජ්‍යයේ පණිවුඩය “සාක්ෂියක්” ලෙස දේශනා කිරීමයි. (මතෙව් 24:14) මේ අරමුණු දෙකම වැදගත් වන අතර දෙවනුව සඳහන් කළ කාරණයට විශේෂ අර්ථයක් තිබෙනවා. ඒ ඇයි?

13, 14. (අ) ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම පිළිබඳ ලකුණේ කැපීපෙනෙන අංගයක් වන්නේ කුමක්ද? (ආ) මිනිසුන් එතරම් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන ප්‍රදේශවල දේශනා කිරීමේදී අප විශේෂයෙන් මතක තබාගත යුත්තේ කුමක්ද?

13 “ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද?” කියා යේසුස්ගේ ගෝලයන් ඇසූ ප්‍රශ්නයක් ගැන බයිබල් ලේඛකයෙක් වූ මතෙව් වාර්තා කළා. (මතෙව් 24:3) මේ ප්‍රශ්නයට පිළිතුර සපයද්දී යේසුස් මේ කාරණය ගැන අවධානය යොමු කළා. දේශනා වැඩය ලෝක ව්‍යාප්තව කරනු ලැබීම ඒ ලකුණේ කැපීපෙනෙන අංගයක් වන බව යේසුස් පැවසුවා. ඔහු කතා කරමින් සිටියේ ගෝලයන් කිරීමේ වැඩය ගැනද? නැහැ. ඔහු පැවසුවේ මෙයයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) මෙමඟින් යේසුස් පෙන්වා දුන්නේ දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩය ඒ ලකුණේ වැදගත් අංගයක් වන බවයි.

14 දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට දේශනා කරද්දී මතක තබාගත යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි, සෑම කෙනෙක්වම යේසුස්ගේ ගෝලයෙක් කරන්න අපට බැරි වුණත් ඒ හැම අවස්ථාවකදීම අපි ඔවුන්ට “සාක්ෂියක්” දරන බවයි. මිනිසුන්ගේ ප්‍රතිචාරය කුමක් වුණත්, අපි කරමින් සිටින්නේ කුමක්ද කියා ඔවුන්ට දැනගන්න ලැබෙන අතර එමඟින් යේසුස්ගේ අනාවැකිය ඉටු කිරීමෙහි අපි හවුල් වෙනවා. (යෙසායා 52:7; එළිදරව් 14:6, 7) බටහිර යුරෝපයේ වෙසෙන තරුණ සාක්ෂිකරුවෙක් වන ජෝඩි පැවසුවේ මෙයයි. “මතෙව් 24:14හි ඇති වදන් ඉටු කිරීම සඳහා යෙහෝවා දෙවි මාවද පාවිච්චි කරනවා කියා දැනගෙන සිටින එක මට ලොකු සතුටක්.” (2 කොරින්ති 2:15-17) නිසැකවම ඔබටත් එසේම හැඟෙනවා ඇති.

මිනිසුන් අපේ පණිවුඩයට විරුද්ධ වන විට

15. (අ) යේසුස් තම අනුගාමිකයන්ට අනතුරු ඇඟෙව්වේ කුමක් ගැනද? (ආ) විරුද්ධවාදිකම් මැදත් අප නොකඩවා දේශනා කරන්නේ කොහොමද?

15 දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට තිබෙන තවත් අභියෝගයක් වන්නේ මිනිසුන්ගේ විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට අපට සිදු වීමයි. “මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත” කියා යේසුස් තම අනුගාමිකයන්ට අනතුරු ඇඟෙව්වා. (මතෙව් 24:9) මුල් ක්‍රිස්තියානීන්ට මෙන් අදදින සිටින යේසුස්ගේ අනුගාමිකයන්ටත් වෛරයට, විරුද්ධවාදිකම්වලට සහ හිංසා පීඩාවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. (ක්‍රියා 5:17, 18, 40; 2 තිමෝති 3:12; එළිදරව් 12:12, 17) සමහර රටවල්වල දැනටමත් ඔවුන්ගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒත් එවන් රටවල්වල සිටින සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට කීකරුව නොකඩවා දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින් සිටිනවා. (ආමොස් 3:8; ක්‍රියා 5:29; 1 පේතෘස් 2:21) ඔවුනුත් ලොව පුරා සිටින අනෙකුත් සියලුම සාක්ෂිකරුවනුත් මෙය කරන්නේ කෙසේද? යෙහෝවාගේ බලයෙන් ලැබෙන ශක්තිය මගිනුයි.—සෙකරියා 4:6; එෆීස 3:16; 2 තිමෝති 4:17.

16. දේශනා කිරීමේ වැඩය හා දෙවිගේ බලය අතර ඇති සම්බන්ධය යේසුස් පෙන්වා දුන්නේ කෙසේද?

16 දෙවිගේ බලයත් දේශනා කිරීමේ වැඩයත් අතර තිබෙන කිට්ටු සම්බන්ධය ගැන යේසුස් තම අනුගාමිකයන්ට අවධාරණය කළේ මේ විදිහටයි. “ඔබ මතට ශුද්ධාත්මය පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. එවිට ඔබ . . . පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (ක්‍රියා 1:8; එළිදරව් 22:17) මේ පදයේ දේවල් සිදු වන පිළිවෙළ වැදගත්. මුලින්ම ගෝලයන්ට ශුද්ධාත්මය හෙවත් දෙවිගේ බලය ලැබුණා. ඉන්පසුව ලෝක ව්‍යාප්තව දේශනා කිරීමේ වැඩය ඔවුන් භාරගත්තා. මේ අනුව “සියලු ජාතීන්ට සාක්ෂියක්” දීමෙහි දිගටම නියැළී සිටීමට ඔවුන්ට හැකි වන්නේ දෙවිගේ බලය ඔවුන්ට ලැබෙන නිසා පමණයි. (මතෙව් 24:13, 14; යෙසායා 61:1, 2) යේසුස් ඒ බලය ‘උපකාරකයෙක්’ ලෙස හැඳින්වීම ඉතා යෝග්‍ය දෙයක්. (යොහන් 15:26) දෙවි තම බලය මාර්ගයෙන් ඔහුගේ ගෝලයන්ට උගන්වා මඟ පෙන්වන බව ඔහු පැවසුවා.—යොහන් 14:16, 26; 16:13.

17. දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන විට දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කොහොමද?

17 අද කාලයේ ශුභාරංචිය දේශනා කරද්දී දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වන විට දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කොහොමද? දෙවිගේ බලය අපව ශක්තිමත් කරන අතර අපට පීඩා කරන අයට විරුද්ධවද එය ක්‍රියා කරනවා. මෙය තේරුම්ගැනීමට සාවුල් රජුට සිදු වූ දෙයක් ගැන සලකා බලමු.

දෙවිගේ බලය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරයි

18. (අ) සාවුල්ට සිදු වූ වෙනස පැහැදිලි කරන්න. (ආ) දාවිත්ට පීඩා කිරීමට සාවුල් භාවිත කළ ක්‍රම මොනවාද?

18 ඊශ්‍රායලයේ ප්‍රථම රජ වූ සාවුල් ඔහුගේ පාලන සමයේ මුල් කාලයේදී යහපත් කෙනෙක්ව සිටියා. නමුත් පසු කාලයේදී ඔහු යෙහෝවාට අකීකරු වුණා. (1 සාමුවෙල් 10:1, 24; 11:14, 15; 15:17-23) මෙහි ප්‍රතිඵලයක් හැටියට තවදුරටත් රජුට දෙවිගේ බලය ලැබුණේ නැහැ. ඊශ්‍රායලයේ ඊළඟ රජ හැටියට අභිෂේක කරනු ලැබූ දාවිත්ට දැන් දෙවිගේ බලය උපකාර කළා. ඒ නිසා සාවුල් දාවිත් සමඟ දරුණු කෝපයකින් කටයුතු කරන්න පටන්ගත්තා. (1 සාමුවෙල් 16:1, 13, 14) දාවිත්ගේ අතේ තිබුණේ වීණාවක් පමණයි. නමුත් සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබුණා. මේ නිසා සාවුල්ට දාවිත්ව පහසුවෙන් ගොදුරු කරගන්න පුළුවන් වගේ පෙනුණා. දවසක් දාවිත් වීණාව වාදනය කරමින් සිටිනවා දුටු සාවුල් ‘දාවිත්ව බිත්තියේ ඇමිණෙන්ට ගසන්නෙමි කියා හෙල්ලය දමා ගැසුවා. නමුත් දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක්ම ගැලවී ගියා.’ (1 සාමුවෙල් 18:10-12) පසුව සාවුල් දාවිත්ගේ මිත්‍රයා වී සිටි තම පුත්‍ර යොනාතාන්ට සවන් දීමෙන් පසුව ඔහු මෙහෙම පොරොන්දු වුණා. “යෙහෝවා ජීවත් වන බව සැබෑවා සේම [දාවිත්] මරනු නොලබන්නේය.” නමුත් නැවත වතාවක් සාවුල් “දාවිත් බිත්තියේ ඇමිණෙන්ට හෙල්ලය දමා ගසන්ට වෑයම් කළේය. එහෙත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය. හෙල්ලය බිත්තියේ වැදුණේය.” දාවිත් එතනින් පලා ගියත් සාවුල් ඔහු පසුපස ලුහුබැන්දා. ඒ අවදානම් අවස්ථාවේදී දෙවිගේ බලය සාවුල්ට විරුද්ධ වුණා. ඒ කොහොමද?—1 සාමුවෙල් 19:6, 10.

19. දෙවිගේ බලය දාවිත්ව ආරක්ෂා කළේ කෙසේද?

19 දාවිත් පලා ගියේ අනාගතවක්තෘ සාමුවෙල් වෙතටයි. නමුත් දාවිත්ව අල්ලාගැනීමට සාවුල් මිනිසුන්ව පිටත් කර යැව්වා. ඒ මිනිසුන් දාවිත් සැඟවී සිටි ස්ථානයට පැමිණ විට ‘දෙවිගේ බලය ඔවුන් කෙරෙහි පැමිණි නිසා ඔවුන් අනාගත වචන කියන්න පටන්ගත්තා.’ මේ නිසා ඔවුන් පැමිණි කාරණයත් සම්පූර්ණයෙන්ම ඔවුන්ට අමතක වුණා. සාවුල් නැවතත් දෙවරක්ම දාවිත්ව අල්ලාගැනීමට මිනිසුන්ව පිටත් කළ නමුත් ඒ දෙවතාවේදීම සිදු වුණේ එම දේමයි. අවසානයේදී සාවුල්ම දාවිත්ව අල්ලගන්න ගියත් ඔහුට විරුද්ධවත් දෙවිගේ බලය ක්‍රියාත්මක වුණා. ඒ නිසා “මුළු දවාලේද මුළු රාත්‍රියේද” කිසිවක් කරගන්න බැරි තත්වයකට ඔහු පත් වුණා. මේ හේතුවෙන් දාවිත්ට එතනින් පලා යන්න අවස්ථාවක් ලැබුණා.—1 සාමුවෙල් 19:20-24.

20. සාවුල් දාවිත්ට හිංසා පීඩා කිරීම සම්බන්ධ වාර්තාවෙන් අපට ගත හැකි පාඩම කුමක්ද?

20 සාවුල් හා දාවිත් සම්බන්ධ මේ වාර්තාවෙන් අපට ගත හැකි පාඩම මෙයයි. එනම් දෙවිගේ සේවකයන්ට හිංසා පීඩා කරන අයට විරුද්ධව දෙවි තම බලයෙන් ක්‍රියා කරන විට ඔවුන්ට සාර්ථක වෙන්න බැරි බවයි. ඒ කාරණය අපව ශක්තිමත් කරන්නේ නැද්ද? (ගීතාවලිය 46:11; 125:2) දාවිත් ඊශ්‍රායලයේ රජ වීම යෙහෝවාගේ අරමුණ වුණා. කිසිම කෙනෙකුට ඒක වෙනස් කරන්න බැරි වුණා. අපගේ කාලයේදී ‘දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනු ලබන’ බවට යෙහෝවා දෙවි තීරණය කර තිබෙනවා. එය නතර කිරීමට කිසිම කෙනෙකුට බැහැ.—ක්‍රියා 5:40, 42.

21. (අ) අද කාලයේ සිටින සමහර විරුද්ධවාදීන් ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) අපට තිබෙන නිසැකකම කුමක්ද?

21 ඇතැම් ආගමික සහ දේශපාලනික නායකයන් අපව නතර කිරීම සඳහා බොරු චෝදනා මෙන්ම සාහසික ක්‍රියාද යොදාගන්නවා. නමුත්, එදා යෙහෝවා දාවිත්ට තම බලය දී ඔහුට නොසැලී ස්ථිරව සිටින්න උපකාර කළ ආකාරයටම අදදිනත් යෙහෝවා තම සෙනඟට පීඩා හමුවේ ස්ථිරව සිටින්න උපකාර කරනවා. (මලාකි 3:6) එම නිසා දාවිත් මෙන් අපත් නිසැකකමකින් යුතුව මෙහෙම පවසමු. “දෙවි කෙරෙහි විශ්වාස කළෙමි; භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?” (ගීතාවලිය 56:11; 121:1-8; රෝම 8:31) සියලුම ජාතීන්ට අයත් ජනයාට දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපට දෙවි ආඥාවක් දී තිබෙනවා. එය ඉටු කරන අතරතුරේදී අපට මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකට යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව සාර්ථකව මුහුණ දෙමු.

[පාදසටහන්වල]

^ 5 ඡේ. “තෘප්තිමත් හැඟීමක්” යන මාතෘකාවෙන් යුත් 22වන පිටුවේ තිබෙන කොටුව බලන්න.

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඔබට මතකද?

• අපි අපගේ දේශනා කිරීමේ ක්‍රම තත්වයන්ට අනුව සකස් කරගන්නේ ඇයි?

• “විශාල දොරක්” විවෘත වී තිබෙන්නේ කිනම් අලුත් ප්‍රස්තාවන් සඳහාද?

• එතරම් හොඳ ප්‍රතිචාරයක් නොදක්වන ප්‍රදේශවල පවා අපගේ දේශනා වැඩයෙන් ඉටු වෙන්නේ කුමක්ද?

• දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය නතර කිරීමට කිසිම විරුද්ධවාදියෙකුට නොහැක්කේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ කොටුව]

“තෘප්තිමත් හැඟීමක්”

ස්පාඤ්ඤයෙන් බොලිවියාවට ගොස් පදිංචි වූ පවුලක් තමන්ට හැඟුණ ආකාරය විස්තර කළේ මේ විදිහටයි. “පවුලක් හැටියට යෙහෝවාට කරන සේවය ගැන අපට දැනෙන්නේ ලොකු සන්තෝෂයක්.” බොලිවියාවේ පිහිටි හුදෙකලා ප්‍රදේශයක තිබූ සාක්ෂිකාර කණ්ඩායමකට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පුතෙක් එහි ගොස් සිටියා. ඔහු අද්දැක්ක ප්‍රීතිය නිසා ඉක්මනින්ම මුළු පවුලම ඒ ප්‍රදේශයේ සේවය කිරීමට ගියා. මේ පවුලේ අවුරුදු 14 සිට 25 දක්වා වයසැති පිරිමි දරුවන් හතර දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් තුන්දෙනෙක් දැන් පුරෝගාමීන් ලෙස සේවය කරමින් සිටින අතර, මුලින්ම ඒ ප්‍රදේශයේ සේවය කිරීමට ගිය කෙනා මෑතකදී දේවසේවා පුහුණු පාසැලෙන් පුහුණුව ලැබුවා.

කැනඩාවේ සිට පැමිණ නැඟෙනහිර යුරෝපයේ සේවය කරමින් සිටින වයස අවුරුදු 30ක් වන ඇන්ජෙලිකා පැවසුවේ මෙයයි. “අසීරුකම් බොහොමයකට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් ඒ මිනිසුන්ට දේවරාජ්‍යය ගැන කියා දීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ වගේම ඔවුන්ට උදව් කරන්න ආපු එක ගැන ඒ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවන් මට නිතරම ස්තුති කරද්දී ඒ ගැනත් මට සතුටක් දැනෙනවා.”

එක්සත් ජනපදයෙන් ඇවිත් ඩොමිනිකානු සමූහාණ්ඩුවේ සේවය කරන විසි ගණන්වල අගභාගයේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් පවසන්නේ මෙයයි. “මේ රටේ සිරිත් විරිත් හුඟාක් තිබෙනවා. ඒවාට හැඩගැහෙන්න අපිට ගොඩාක් අමාරු වුණා. ඒත් අපි දිගටම සේවය කරගෙන ගියා. දැන් අපේ බයිබල් ශිෂ්‍යයන් හත් දෙනෙක් රැස්වීම්වලට පැමිණෙනවා.” සභාවක් නැති නගරයක ප්‍රචාරකයන් කණ්ඩායමක් ඇති කිරීමට මේ සහෝදරියන් දෙදෙනාට හැකි වුණා.

විසි ගණන්වල අගභාගයේ පසුවන ලෝරා දැන් වසර හතරකටත් වැඩි කාලයක් පුරා වෙනත් රටක සේවය කර තිබෙනවා. ඇය පවසන්නේ මෙයයි. “මම මගේ ජීවිතය සරලව තබාගන්න උත්සාහ කරනවා. සරල ජීවිතයක් ගත කිරීමට අපටම තීරණය කළ හැකි අතර, ඒ නිසා අප ගත කරන්නේ දුගී ජීවිතයක් නොව නමුත් අප හොඳ සිහිකල්පනාවෙන් යුතුව ජීවත් වන බව ප්‍රචාරකයන්ට තේරුම්ගැනීමට හැකි වෙනවා. වෙනත් රටක සේවය කිරීම අසීරු දෙයක් විය හැකි නමුත්, අන්‍යයන්ට විශේෂයෙන් යෞවනයන්ට උපකාර කිරීමට හැකි වීම මගේ ප්‍රීතියට හේතුවක් වී තිබෙනවා. මම නම්, වෙන කිසිම ආකාරයේ ජීවිතයක් වෙනුවෙන් මා දැන් ගත කරන ජීවිතය අත්හරින්නේ නම් නැහැ. යෙහෝවා මට ඉඩ දෙන තාක් කල් මම මේ රටේම සේවය කරනවා.”

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත් පිංචයේ අඩංගු දේවල්

සියලු ජාතීන්ට අයත් ජනයා සඳහා ශුභාරංචි නමැති පොත් පිංචයේ එක පිටුවක් පුරා ලියා තිබෙන පණිවිඩයක් භාෂා 92කින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පණිවුඩය ලියා තිබෙන්නේ, ගේහිමියා එය කියවද්දී ඔබ ඔහුට කතා කරනවා සේ හැඟෙන ආකාරයටයි. ඒ පොත් පිංචය තුළ වෙනත් ප්‍රයෝජනවත් අංග කිහිපයක්ද ඇතුළත් කර තිබෙනවා:

කවරයේ ඇතුල් පැත්තේ ලෝක සිතියමක් තිබෙනවා. ගේහිමියා සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා මේ සිතියම භාවිත කරන්න. සමහරවිට ඔබ සිටින රට ඒ සිතියමෙන් ඔහුට පෙන්වා, ඔහු පැමිණියේ කොහේ සිටද කියා සිතියමෙන් පෙන්වන ලෙස ඔහුට අඟවන්න ඔබට පුළුවන්. මේ ආකාරයට ඔහු සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගන්න ඔබට හැකි වේවි.

අපට තේරෙන්නේ නැති භාෂාවක් කතා කරන අයට හොඳ සාක්ෂියක් දැරීමට උපකාරවත් වන පියවර කිහිපයක් ඒ පොතේ පෙර වදනේ සඳහන් වෙනවා. මෙම පියවර පරෙස්සමින් කියවා නොවරදවා අදාළ කරගන්න. ජීවිත රඳා පවතින්නේ ඒ මතයි.

පටුනේ භාෂා පමණක් නොවෙයි භාෂාවලට යොදාගන්න සංකේතද සඳහන් වී තිබෙනවා. විවිධ භාෂාවලින් මුද්‍රණය කරනු ලබන අපගේ පත්‍රිකා මෙන්ම වෙනත් ප්‍රකාශනවල මුද්‍රණය කර තිබෙන භාෂා සංකේතය හඳුනාගැනීමට මෙය ඔබට උපකාරවත් වෙයි. මෙසේ ඒ ප්‍රකාශනයේ භාෂාව හඳුනාගැනීමට ඔබට හැකි වෙයි.

[පින්තූරය]

ඔබ දේවසේවයේදී මෙම පොත්පිංචය භාවිත කරනවාද?

[23වන පිටුවේ පින්තූර]

අපගේ බයිබල් පොත්පත් දැන් 400කට වඩා වැඩි භාෂා ප්‍රමාණයකින් ලබාගත හැකියි

ගයනාව

ලැප්ලන්තය (ස්වීඩනය)

පිලිපීනය

[24, 25වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍ය ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක සේවය කිරීමට ඔබට හැකිද?

ඉක්වදෝරය

ඩොමිනිකානු සමූහාණාඩුව