Skip to content

පටුනට යන්න

“ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න”

“ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න”

“ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න”

“ඔබ ඇදහිල්ලෙහි සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලන්න. ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න.”—2 කොරින්ති 13:5.

1, 2. (අ) අප විශ්වාස කරන දේවල් ගැන සැක කිරීම අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ හැකිද? (ආ) තමන් ක්‍රියා කළ යුතු අන්දම ගැන පළමු සියවසේ කොරින්ති සභාවේ සිටි ඇතමුන්ට සැක ඇති වුණේ ඇයි?

එක්තරා පාරක ගමන් කරන මිනිසෙක් ගැන සිතන්න. ඔහු පාරේ හතර මං හන්දියකට පැමිණෙනවා. මෙතැන් පටන් කොයි පාරේ යන්නදැයි සිත සිතා සිටින ඔහු පාරේ ගමන් කරන වෙනත් අයගෙන් යා යුතු නියම පාර අහනවා. නමුත් එක්කෙනෙක් කියන දේ නෙමෙයි අනෙක් කෙනා කියන්නේ. මින් මහත් වියවුලට පත් වන මේ මිනිසා තමා යා යුතු හරි පාර නොදැන පාරේ අතරමං වෙලා. අපටත් අප විශ්වාස කරන දේවල් ගැන සැක පහළ වුණොත් අපිත් හරියට පාරේ අතරමං වූ ඒ මිනිසා වගේමයි. මේ නිසා ජීවිතයේ අප විසින් ගත යුතු යම් යම් තීරණ ගැනීම එතරම් ලෙහෙසි නොවෙන්න පුළුවන්. එයට හේතුව අප ක්‍රියා කළ යුතු අන්දම ගැන අපටම විශ්වාසයක් නොතිබීමයි.

2 මේ වගේම තත්වයක් පළමු සියවසේදී ග්‍රීසියේ කොරින්ති සභාවේද තිබුණා. එහි සිටි ඇතැම් ක්‍රිස්තියානීන්ද සිටියේ ඒ වගේ තත්වයකයි. “මහ උතුම් ප්‍රේරිතයන්” කියා හඳුන්වනු ලැබූ ඇතැම් අය පාවුල් දුන් මඟ පෙන්වීමට අභියෝග කළේ මේ විදිහටයි. “ඔහුගේ ලිපි නම් බරපතළය, බලවත්ය. නමුත් ඔහු අප ළඟ සිටින විට දුර්වලය. ඔහුගේ කතාවද කිසි වැදගැම්මකට නැත.” (2 කොරින්ති 10:7-12; 11:5, 6) එවැනි දැඩි මතධාරීන් කොරින්ති සභාවේ ඇතමුන්ට කළ බලපෑම නිසා ඒ බලපෑමට හසු වූ අයට තමන් ක්‍රියා කළ යුතු අන්දම ගැන ස්ථිර විශ්වාසයක් තිබුණේ නැහැ. ඔවුන් සිටියේ සැකයෙනුයි.

3, 4. පාවුල් කොරින්තිවරුන්ට දුන් උපදෙස ගැන අප උනන්දු විය යුත්තේ ඇයි?

3 මෙවැනි තත්වයක් කොරින්ති සභාවේ පැන නැඟුණේ ඇයි කියා දැන් අපි බලමු. පාවුල් ක්‍රි.ව. 50දී කොරින්තියට ගොස් එම සභාව පිහිටෙව්වා. ඔහු කොරින්තියේ “දෙවිගේ වචනය ඔවුන් අතරේ උගන්වමින් අවුරුද්දකුත් මාස හයක්” ගත කළා. මේ නිසා “කොරින්තිවරුන්ගෙන් බොහෝදෙනෙක් අසා, අදහාගෙන බව්තීස්ම” වුණා. (ක්‍රියා 18:5-11) පසුව, එහි සිටි ක්‍රිස්තියානීන් යම් යම් කාරණා සම්බන්ධයෙන් පාවුල්ට ලිපියක් ලියා ඔහුගෙන් උපදෙස් විමසා තිබුණා. (1 කොරින්ති 7:1) ඒ විතරක්ද නොවෙයි, පාවුල් කොරින්තියේ සිටින සෙසු ඇදහිලිවන්තයන්ගේ සුබසාධනය ගැන දැක්වූයේ තියුණු උනන්දුවක්. මේ හේතුවෙන් ඔහු ඔවුන්ට ඉතා කදිම උපදෙස් රාශියක් ලිපියකින් ලියා යැව්වා.

4 පාවුල් දුන් එක් උපදෙසක් වූයේ මෙයයි. “ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලන්න. ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න” යන්නයි. (2 කොරින්ති 13:5) මේ උපදෙස කොරින්තියේ සිටි එම සහෝදරයන් අදාළ කරගත්තා නම් තමන් කරන දේ ගැන කිසිම සැකයකින් තොරව ක්‍රියා කිරීමට ඔවුන්ට හැකිකම තිබුණා. අද දින අපටත් එම උපදෙසින් ප්‍රයෝජන ගත හැකියි. පාවුල්ගේ උපදෙස අනුගමනය කිරීමට අපට හැක්කේ කොහොමද? අප ඇදහිල්ලේ සිටිනවාද කියා අපට පරීක්ෂා කර බැලිය හැක්කේ කොහොමද? අප කෙබඳු අයදැයි කියා අපටම ඔප්පු කරගැනීමට කුමක් ඇතුළත් වෙනවාද?

“ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලන්න”

5, 6. අප ඇදහිල්ලේ සිටිනවාද කියා පරීක්ෂා කිරීමට තිබෙන ප්‍රමිතිය කුමක්ද? එය හොඳම ප්‍රමිතිය වෙන්නේ ඇයි?

5 සාමාන්‍යයෙන්, යම් කෙනෙක්ව හෝ යම් දෙයක් පරීක්ෂා කරන විට, එය පරීක්ෂා කෙරෙන්නේ යම් මිම්මකට හෝ ප්‍රමිතියකට අනුවයි. මෙහිදී අපි පරීක්ෂා කරන්නේ අපගේ ඇදහිල්ල, එනම් අප විශ්වාස කරන දේවල් නොවේ. නමුත් අප විශ්වාස කරන දේට එකඟව අප ජීවත් වෙනවාද යන්නයි. ඒ පරීක්ෂණය කිරීමට කිසිම අඩුවකින් තොර ප්‍රමිතියක්ද අපට තිබෙනවා. ගීතිකාකාර දාවිත් තම ගීතිකාවක මෙසේ ලියනවා. “යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය; ආත්මය ප්‍රාණවත් කරන්නේය. යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය; නුවණ නැත්තන් ඥානවන්ත කරන්නේය. යෙහෝවාගේ පනත් සාධාරණය; සිත ප්‍රීති කරන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය; ඇස් එළිය කරන්නේය.” (ගීතාවලිය 19:7, 8) යෙහෝවාගේ පරිපූර්ණ නීති, නියෝග, ඔහුගේ විශ්වසනීය සිහිගැන්වීම් සහ පිරිසිදු ආඥා පනත් බයිබලය තුළ අඩංගු වෙනවා. මේ අනුව අප විශ්වාස කරන දේට අනුව ජීවත් වෙනවාද යන්න සෝදිසි කිරීම සඳහා නියම ප්‍රමිතිය වන්නේ බයිබලයේ අඩංගු සියලුම දේවලුයි.

6 දෙවිගේ වචනය ගැන පාවුල් කියන්නේ මෙලෙසයි. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇටමිදුලුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12) දේවවචනයට හැකියි අපේ සිත පරීක්ෂා කර එහි සැබෑ තත්වය අපට එළිදරව් කරන්න. මේ ප්‍රබල තියුණු වචනයෙන් ප්‍රයෝජන ගැනීමට අපට හැක්කේ කොහොමද? අප කළ යුතු දේ ගැන ගීතිකාකරු පැහැදිලිව පෙන්වා දුන්නේ මෙසේයි. ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වෙන්නාවූ ඔහුගේ ව්‍යවස්ථාව මෙනෙහි කරන්නාවූ මිනිසා සන්තෝෂවත්ය.’ (ගීතාවලිය 1:1, 2) ‘දෙවිගේ ව්‍යවස්ථාව’ අපට දැකගත හැකි වන්නේ දෙවිගේ වචනය වන බයිබලයෙනුයි. යෙහෝවාගේ වචනය කියවීම අපට සතුටක් විය යුතුයි. ඒ වගේම එය කියවා මෙනෙහි කළ යුතුයි. අප එසේ කරද්දී එහි ලියා ඇති දේ මගින් අපි අපවම පරීක්ෂණයට ලක් කරගනිමු.

7. අප ඇදහිල්ලේ සිටිනවාද කියා පරීක්ෂා කළ හැකි ප්‍රධානම ක්‍රමය කුමක්ද?

7 මේ අනුව අප විශ්වාස කරන දේට අනුව ජීවත් වෙනවාද කියා පරීක්ෂා කරන ප්‍රධානතම ක්‍රමය නම්, දේවවචනය යාච්ඤා පූර්වකව කියවා මෙනෙහි කිරීමයි. ඉන්පසුව අප හැසිරෙන ආකාරය අප ඉගෙනගන්නා දේට කොතරම් එකඟදැයි බලන්න. දෙවිගේ වචනය තේරුම්ගැනීම සඳහාත් බොහෝ උපකාර අපට ලැබීම ගැන සතුටු විය හැකියි.

8. අප ඇදහිල්ලේ සිටිනවාද කියා සෝදිසි කර බැලීමට ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ ප්‍රකාශන අපට උපකාරවත් වන්නේ කොහොමද?

8 යෙහෝවා අපට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින්ද ලබා දී ඇති ප්‍රයෝජන බොහෝයි. (මතෙව් 24:45) මේ මාධ්‍යය තුළින් සැපයෙන ප්‍රකාශන ඔස්සේ ජීවිතයේ විවිධ පැති පිළිබඳ කාරණා උගන්වා අපට නොයෙක් උපදෙස් දී තිබෙනවා. ඒ වගේම ශුද්ධ ලියවිලිවල අර්ථය පැහැදිලි කර දෙනවා. නිදසුනක් වශයෙන්, යෙහෝවාට ළං වෙන්න පොතේ පරිච්ඡේද වැඩි ගණනක අවසානයට සඳහන් වන “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” යන කොටස ඔබට මතකද? * මෙම පොතේ සඳහන් මේ අංගය අපට මෙනෙහි කිරීමට කදිම අවස්ථාවන් උදා කර දෙනවා! මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සාකච්ඡා කර තිබෙන විවිධ විෂයන්ද අප විශ්වාස කරන දේට අනුව ජීවත් වෙනවාදැයි සෝදිසි කර බැලීම සඳහා අපට මහත් අත්වැලක්. මෑත කාලවලදී හිතෝපදේශ පොත පිළිබඳව මුරටැඹ සඟරාවල පළවූ ලිපි ගැන එක්තරා ක්‍රිස්තියානි සහෝදරියක් කීවේ මෙයයි. “මේ ලිපි හරිම ප්‍රායෝගිකයි කියලා මට හිතෙනවා. මගේ කතාව, හැසිරීම සහ ආකල්පය ඇත්තටම යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟද කියලා සොයා බලන්න ඒවා මට මහඟු උපකාරයක්.”

9, 10. අප ඇදහිල්ලේ සිටිනවාද කියා සෝදිසි කර බැලීමට යෙහෝවා අපට දී ඇත්තේ කවුරුන්වද?

9 එපමණක්ද නෙවෙයි. සභා රැස්වීම්වලින්, එක්රැස්වීම්වලින් සහ සමුළුවලිනුත් අපට බොහෝ දිරිගැන්වීම් සහ මඟ පෙන්වීම් ලැබෙනවා. මේ සියල්ල අප සැලකිය යුත්තේ යෙහෝවා අපව පෝෂණය කරන විවිධ ක්‍රම ලෙසයි. ඇත්තටම යෙහෝවාගෙන් එවැනි අණ පනත් සහ උපදෙස් අපට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! මේවා ගැන යෙසායා කලින්ම පුරෝකථනය කර තිබුණේ මෙහෙමයි. “මතු පැමිණෙන දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල්වලට වඩා උසස් කරනු ලබන්නේය; සියලු ජාතීහු ඊට රැස්වන්නෝය. බොහෝ වර්ගයෝද ගොස් කතා කොට: එන්න, යෙහෝවාගේ කන්දට එනම්, යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. ඔහු තමන් මාර්ග අපට උගන්වන්නේය. අපි ඔහුගේ මාවත්වල හැසිරෙන්නෙමුවයි කියන්නෝය. මක්නිසාද යෙහෝවාගේ ව්‍යවස්ථාව සියොන් වෙතින්ද ඔහුගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.”—යෙසායා 2:2, 3.

10 අප විශ්වාස කරන දේට අනව ජීවත් වෙනවාදැයි සෝදිසි කළ හැකි තවත් ක්‍රමයක් තමයි, සභා වැඩිමහල්ලන් ඇතුළු බයිබල් ප්‍රමිති සාර්ථකව අදාළ කරගන්නා අයගෙන් අපට ලැබෙන උපදෙස් ගැන සිතා බැලීම. මෙවන් උපදෙස් දෙන අය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “සහෝදරයෙනි, යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගත්තොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී, ඔබද පරීක්ෂාවට හසු විය හැකි නිසා ඔබ ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.” (ගලාති 6:1) අපට උපකාර කර අපේ ආකල්ප හරිගැස්වීමට යෙහෝවා දී ඇති මෙවැනි අය ගැන අප කොතරම් කෘතඥ පූර්වක විය යුතුද!

11. අප ඇදහිල්ලේ සිටිනවාද කියා සෝදිසි කර බැලීමට අප කුමක් කළ යුතුද?

11 අපගේ ප්‍රකාශන, ක්‍රිස්තියානි රැස්වීම් සහ පත් කරන ලද වැඩිමහල්ලන් යන මේ සියල්ල යෙහෝවාගෙන් අපට ලැබී තිබෙන දීමනාවන්. එනමුත් අප විශ්වාස කරන දේට අනුව ජීවත් වෙනවාද කියා සෝදිසි කර බැලීමට අප අවංක ආත්ම සෝදිසියක් කළ යුතුයි. මේ අනුව අප අපේ ප්‍රකාශන කියවන විට හෝ ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන අවවාදවලට සවන් දෙන විට, අපට අපෙන්ම මෙහෙම අසාගන්න පුළුවන්. ‘මේක මට අදාළද?’ මම මේක කරනවාද? ක්‍රිස්තියානි විශ්වාසයන්ට මම ඇලී සිටිනවාද?’ අපට ලැබෙන තොරතුරු දෙස අප බලන විදිහ, අපේ ඇදහිල්ලේ ගැඹුර කොතරම්ද කියා අඟවනවා. මන්ද බයිබලය මෙසේ කියනවා. “මාංසික [තමාගේම ආශාවන්ට යටත් වන] මිනිසෙකු දෙවිගේ ආත්මයට [බලයට] අයත් දේවල් පිළිගන්නේ නැත. මන්ද, ඔහුට ඒවා මෝඩකමකි. ඒවා ආත්මික ලෙස [දෙවිගේ කෝණයෙන්] සෝදිසි කළ යුතු නිසා ඔහුට ඒවා දැනගන්නවත් නොහැක. එහෙත් ආත්මික [දෙවිගේ බලයට යටත්] මිනිසා, නිසැකවම සියල්ල සෝදිසි කර බලයි. නමුත් ඔහුව කිසිවෙකු විසින් සෝදිසි කරනු නොලබයි.” (1 කොරින්ති 2:14, 15) මේ අනුව අප අපගේ පොත්වල, සඟරාවල සහ වෙනත් ප්‍රකාශනවල අප කියවන දේ කෙරෙහිත් ඒ වගේම රැස්වීම්වලින් සහ වැඩිමහල්ලන්ගෙන් අප අසන දේ කෙරෙහිත් හොඳ ආකල්පයක් තබා ගැනීමට අපි වෑයම් කළ යුතු නැද්ද? මන්ද අපට අපවම සෝදිසි කරගත හැක්කේ එවිටයි.

“ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න”

12. අප කෙබඳු අයදැයි ඔප්පු කිරීම සඳහා කුමක් කිරීම අවශ්‍යද?

12 අප කෙබඳු අයදැයි සෝදිසි කර බලනවා කියන්නේ නිතරම ආත්ම සෝදිසියක් කිරීමයි. එය වෙන කෙනෙක් කරන දෙයක් නොවේ. සෝදිසි කිරීම කරන්නේ අපිමයි. අප සත්‍යය තුළ සිටිනවා වෙන්න පුළුවන්. නමුත් කොතරම් දුරකට අප සත්‍යයට එකඟව ජීවත් වෙනවාද? අප කෙබඳු අයදැයි ඔප්පු කිරීමේදී අප බයිබල් ප්‍රමිති විශ්වාසවන්තව අදාළ කරගන්නා පුද්ගලයන් බවත් අපට දෙවි දෙන දේවල් ගැන අවංක අගය කිරීමක් තිබෙන බවත් අපි ගන්නා තීරණවලින් හා අපේ හැසිරීමෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි.

13. හෙබ්‍රෙව් 5:14ට අනුව, අප බයිබල් ප්‍රමිති විශ්වාසවන්තව අදාළ කරගන්නා පුද්ගලයන් බවට පත් වන්නේ කොහොමද?

13 අප බයිබල් ප්‍රමිති විශ්වාසවන්තව අදාළ කරගන්නා පුද්ගලයන් බවට පත් වන්නේ කොහොමද? පාවුල් මෙසේ ලීවා. “ගන ආහාර මේරූ අය සඳහාය. එනම්, හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීම් හැකියාව ඇති අය සඳහාය.” (හෙබ්‍රෙව් 5:14) මේ අනුව බයිබල් ප්‍රමිති අදාළ කරගන්නා පුද්ගලයන් වීමට අපට හැකි වන්නේ අප තුළ ඇති වටහාගැනීමේ හැකියාවන් පුහුණු කිරීමෙන්, හෙවත් දියුණු කිරීමෙන්. මලල ක්‍රීඩකයෙකු ගැන සිතන්න. ඔහු ක්‍රීඩාවේ දක්ෂයෙකු වීමට පෙර ඔහුගේ සිරුරේ සමහරක් මාංස පේශී නිතර නිතර ව්‍යායාම්වලට ලක් කිරීමෙන් ඔහු ඒවා ශක්තිමත් කරගන්නා සේ, අපට බයිබල් ප්‍රතිපත්ති විශ්වාසවන්තව අදාළ කරගත හැකි වන්නේ අපේ වටහාගැනීමේ හැකියාවන් බයිබල් ප්‍රමිතිවලට අනුව හැඩගැස්වීමෙනුයි.

14, 15. දෙවිගේ වචනයේ සඳහන් වඩාත් ගැඹුරු දේවල් අධ්‍යයනය කිරීමට අප ඉතා ඕනෑකමින් වෑයම් කළ යුත්තේ ඇයි?

14 එහෙත්, යමක් වටහාගැනීමට තිබෙන හැකියාව සහජයෙන්ම පිහිටා තිබෙන දෙයක් නොවෙයි. එය පුහුණු කළ යුතුයි. නමුත් ඒ පුහුණුවට පෙර, අප දැනුම ලබාගත යුතුයි. ඒ දැනුම ලබා ගැනීමට අප ඉතා ඕනෑකමින් දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි. අප එසේ කරන විට, විශේෂයෙන් දෙවිගේ වචනයේ සඳහන් ගැඹුරු දේවල් අධ්‍යයනය කරන විට, අපේ වටහාගැනීමේ හැකියාවන් මහත් සේ දියුණු වෙනවා. පසුගිය වසර ගණනාව පුරා මුරටැඹ සඟරාවේ ගැඹුරු විෂයන් ගැන සාකච්ඡා කර තිබෙනවා. එවැනි වඩාත් ගැඹුරු සත්‍යයන් සාකච්ඡා කරන ලිපි අධ්‍යයනය කරන විට අප ඊට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? ඒවායේ ‘සමහර දේවල් තේරුම් ගැනීමට අමාරුයි’ කියමින් ඒවා නොකියවා ඒවා ගැන අධ්‍යයනය නොකර සිටිනවාද? (2 පේතෘස් 3:16) එසේ නොව, අප එම ලිපිවල සාකච්ඡා කර ඇති දේවල් තේරුම්ගැනීමට අමතර උත්සාහයක් දැරිය යුතුයි.—එෆීස 3:18.

15 බයිබලයේ තිබෙන දේවල් තනිවම අධ්‍යයනය කිරීම අපට අමාරු දෙයක් කියා හිතෙනවා නම් කුමක් කරන්නට පුළුවන්ද? බයිබලය අධ්‍යයනය කිරීම සඳහා යම් ආශාවක් හෝ රුචියක් ඇති කරගැනීම ඉතා වැදගත්. * (1 පේතෘස් 2:2) බයිබල් ප්‍රතිපත්ති විශ්වාසවන්තව පිළිපදින කෙනෙක් බවට පත්වීමට අවශ්‍ය කරන දෙයක් තිබෙනවා. ඒ තමයි, ගන ආහාරවලින් එනම් දෙවිගේ වචනයේ සඳහන් ගැඹුරු සත්‍යතාවන්ගෙන් පෝෂණය වීම. එසේ කරන්නේ නැත්නම් අපගේ වටහාගැනීමේ හැකියාව පන්නර වෙන්නේ නැහැ. කෙසේවෙතත්, වටහාගැනීමේ හැකියාවන් අත්කර ගැනීමට වඩා වැඩි යමක්ද කළ යුතුයි. තනිවම අධ්‍යයනය කර ලබාගන්නා වූ දැනුම එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමටත් අපි මහන්සි ගන්නවා.

16, 17. ‘වචනය පිළිපදින්නන් වීම’ සම්බන්ධයෙන් යාකොබ් දෙන අවවාදය කුමක්ද?

16 අප කෙබඳු අයද කියා පෙන්නුම් කරන තවත් විදිහක් නම් සත්‍යය පිළිබඳ අපගේ අගය කිරීම අප පළ කරන විදිහයි. එනම් අප ඇදහිල්ලෙන් පෙලඹී යම් යම් ක්‍රියා කිරීමයි. කෙනෙක් තමන්වම සෝදිසි කර ගැනීම සම්බන්ධයෙන් යම් ප්‍රබල උපමාවක් යොදාගනිමින් යාකොබ් මෙසේ කියනවා. “බොරු තර්ක විතර්කවලින් තමන්වම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී, එය පිළිපදින්නෝද වන්න. මන්ද, යමෙක් වචනය අසන්නෙක් මිස එය පිළිපදින්නෙක් නොවේ නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මිනිසෙකුට සමානය. මන්ද ඔහු තමන් දෙස බලා අහක්ව ගිය පසු, තමන් කෙබඳු මිනිසෙකුදැයි එකෙණෙහිම අමතක කරන්නේය. එහෙත්, නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය දෙස හොඳින් බලා දිගටම එහි පවතින තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව, පිළිපදින්නෙකු වන හෙයින්, එය පිළිපැදීමෙන් ඔහුට සන්තෝෂය ලැබෙන්නේය.”—යාකොබ් 1:22-25.

17 වෙනත් වචනවලින් ගත්තොත්, යාකොබ් කියන්නේ මෙයයි. ‘දේවවචනය නමැති කැඩපත තුළින් ඔබ ඔබ දෙසම හොඳින් බලන්න. දිගින් දිගටම වැඩි වේලාවක් බලා සිටින්න. මේ කැඩපතින් ඔබට ඔබ ගැනම පෙනෙන්නේ මොනවාද? ඔබේ අඩු පාඩුත් ඔබට පෙනෙනවාද? එහෙමනම් ඔබ කැඩපතින් දුටු ඔබේ අඩු පාඩු ගැන විගස අමතක කරන්න එපා. අවශ්‍ය වෙනස්කම් කරන්න.’ යාකොබ්ගේ මේ අවවාදය පිළිපැදීම ඇතැම් අවස්ථාවලදී තරමක් අමාරු විය හැකියි.

18. යාකොබ් දුන් උපදෙස අනුගමනය කිරීම තරමක් අසීරු දෙයක් වෙන්නේ ඇයි?

18 නිදසුනක් වශයෙන්, දේශනා සේවයේ යෙදීම ගැන අපි සලකා බලමු. පාවුල් ලීවේ මෙහෙමයි. “යමෙක් ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. නමුත් යමෙක් ගැලවීම පිණිස මුඛයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේය.” (රෝම 10:10) අප ගැලවීම ගැන මුඛයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නම් අපි අපේ ජීවිතවල යම් යම් සකස් කිරීම් ගණනාවක් කළ යුතුයි. මේ අනුව අපගෙන් වැඩි දෙනෙකුට දේශනා සේවයේ හවුල් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් අපේ ජීවිතයේ පළමු තැන දේශනා සේවයට දී එහි වඩාත් උද්‍යෝගයෙන් නියැලීම සඳහා ඊටත් වඩා ජීවිතයේ වෙනස්කම් හා පරිත්‍යාගයන් කිරීම අවශ්‍ය වෙනවා. (මතෙව් 6:33) නමුත් දෙවි දී ඇති වැඩ උද්‍යෝගයෙන් කරද්දී අපි ඒ ගැන සතුටු වෙනවා. මන්ද ඒ තුළින් යෙහෝවාට ප්‍රශංසාවක් ලැබෙන බව දන්නා නිසායි. එහෙමනම්, අපි ඇත්තටම උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙන අයද?

19. ඇදහිල්ලෙන් පෙලඹී අප කරන ක්‍රියාවලට ඇතුළත් විය යුත්තේ මොනවාද?

19 අප ඇදහිල්ලෙන් පෙලඹී කරන ක්‍රියාවලට ඇතුළත් වෙන්නේ මොනවාද? පාවුල් ලීවේ මෙසේයි. “මා පිළිබඳව ඔබ ඉගෙනගත්තාවූ සහ පිළිගත්තාවූ දේවල්ද, ඇසූ දුටු දේවල්ද කරන්න. එවිට සමාදානයේ දෙවි ඔබ සමඟ සිටිනවා ඇත.” (ෆිලිප්පි 4:9) අප කෙබඳු අයදැයි කියා ඔප්පු කරන්නේ අප ඉගෙන ගත්, පිළිගත්, ඇසූ දුටු දේවල් පිළිපැදීම මගිනුයි. තවද අප ක්‍රිස්තියානීන් ලෙස කැපවී සිටින බවත් යේසුස්ගේ ගෝලයන් බවත් පෙන්වන නියම විදිහ එයයි. අනාගතවක්තෘ යෙසායා තුළින් යෙහෝවා අපට දෙන උපදෙස මෙයයි. “මාර්ගය මේය, එහි හැසිරෙන්න.”—යෙසායා 30:21.

20. සභාවකට ආශීර්වාදයක් වන්නේ කෙබඳු ආකාරයේ පුද්ගලයන්ද?

20 දේවවචනය ඉතා ඕනෑකමින් අධ්‍යයනය කරන, උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන, නිර්දෝෂ වූ විශ්වාසවන්ත ජීවිත ගත කරන, දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව සහයෝගය දක්වන පුරුෂයන් සහ කාන්තාවන් යම් සභාවක සිටී නම් ඒ අය එම සභාවට මහත් උපකාරයක් වගේම මහත් ශක්තියක්. සභාවක සිටින නවකයන්ටත් එවැනි අය සෙවණක් වගේම ආශීර්වාදයක්. එසේනම්, අපි ‘ඇදහිල්ලේ සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලමින් අප කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලනවා’ නම්, අන්‍යයන්හට හොඳ බලපෑමක් ඇති කරන අය බවට අපත් පත් වෙනවා.

දෙවිගේ කැමැත්ත සතුටින් කරන්න

21, 22. දෙවි කැමති දේ ඉතා සතුටින් කිරීමට අපට හැක්කේ කොහොමද?

21 ඉපැරණි ඊශ්‍රායෙලයේ දාවිත් රජ මෙසේ කීවා. “මාගේ දෙවි, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි. එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිතෙහි තිබේ.” (ගීතාවලිය 40:8) දාවිත් දේවකැමැත්ත කිරීමට ඉතා සතුටු වූ පුද්ගලයෙක්. ඒ ඇයි? මන්ද යෙහෝවාගේ නීති අණ පනත් දාවිත් තම සිතේ තබාගෙන තිබුණා. ඒ නිසා තමන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන දාවිත්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

22 දෙවිගේ නීතිය අපගේ සිත්වල තිබෙන විට, අප ක්‍රියා කළ යුතු අන්දම ගැන අපට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. දෙවි කැමති දේ අප කරන්නේ ඉතා සතුටින්. එසේනම්, යෙහෝවාට මුළු සිතින් සේවය කිරීමට අපි සෑම ආකාරයකින්ම ‘දැඩි උත්සාහයක් දරමු.’—ලූක් 13:24.

[පාදසටහන්වල]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 15 ඡේ. යමක් අධ්‍යයනය කරන අන්දම පිළිබඳ ප්‍රයෝජනවත් යෝජනා ගැන දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ප්‍රයෝජන ගනිමු නමැති පොතේ පිටු 27-32 දක්වා බලන්න.

ඔබට මතකද?

• අප ඇදහිල්ලේ සිටිනවාද කියා අපටම සෝදිසි කළ හැක්කේ කොහොමද?

• අප කෙබඳු අයද කියා ඔප්පු කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

• අපට බයිබල් ප්‍රමිති විශ්වාසවන්තව පිළිපදින අය බවට පත් විය හැක්කේ කෙසේද?

• අප කෙබඳු අයදැයි සෝදිසි කර බැලීමට අප ඇදහිල්ලෙන් පෙලඹී කරන ක්‍රියා උපකාරවත් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

ඔබ විශ්වාස කරන දේට අනුව ජීවත් වෙනවාදැයි පරීක්ෂා කළ හැකි ප්‍රධානම ක්‍රමය ඔබ දන්නවාද?

[24වන පිටුවේ පින්තූරය]

අප විශ්වාසවන්තව බයිබල් ප්‍රතිපත්ති පිළිපදින අය වන්නේ අප ඒවායේ අදාළත්වය වටහා ගැනීමට වෑයම් කිරීමෙනි

[25වන පිටුවේ පින්තූර]

අප කෙබඳු අයදැයි ඔප්පු කරන්නේ ‘වචනය අමතක කරන අසන්නන් නොවී, එය පිළිපැදීමෙන්ය’