Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඉපැරණි ඊශ්‍රායෙලයේ විසූ සාලමොන් රජ තම මහලු වයසේදී දෙවිට අවිශ්වාසවන්ත වූ නිසා ඔහුව නැවත නැඟිටුවන්නේ නැති බව අපට නිගමනය කළ හැකිද?—1 රාජාවලිය 11:3-9.

නිසැකවම නැවත නැඟිටීමක් ලබනු ඇති ඇතැම් පුරුෂයන් හා කාන්තාවන්ගේ නම් ලැයිස්තුවක් බයිබලයේ සඳහන් වෙන බව ඇත්තයි. නමුත් බයිබලයේ නම සඳහන් වන සෑම පුද්ගලයෙකුවම නැවත නැඟිටවනු ලබන බව විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 11:1-40) එහෙත්, සාලමොන් සම්බන්ධයෙන් කල්පනා කරද්දී, ඔහුගේ මරණයේදී සිදු වූ දේ සමඟ යම් යම් ඇදහිලිවන්තයන් මිය ගිය විට සිදු වූ දේ සසඳා බැලීමෙන් දෙවිගේ විනිශ්චය ගැන යම් අදහසක් අපට ලබා ගන්නට පුළුවනි.

බයිබලයේ සඳහන් වෙන්නේ මළවුන්ට සිදු විය හැකි දේවල් දෙකක් ගැන පමණයි. එක් සිද්ධියක් නම්, ඔවුන් මරණ නින්දෙහි තාවකාලිකව පසුවීමයි. අනෙක සදාකාල මරණයට භාජන වීමයි. එනම්, නැවත නැඟිටීමක් ලැබීමට නොවටිනා බවට තීන්දු කරනු ලබන අය සම්බන්ධයෙන් “ගෙහෙන්නාව” හෙවත් “ගිනිවිල” යන යෙදුම් බයිබලයෙහි භාවිත වෙනවා. මේ දෙකෙන්ම අදහස් කරන්නේ සදාකාල විනාශයයි. (මතෙව් 5:22; මාක් 9:47, 48; එළිදරව් 20:14) මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව, යේසුස්ව පාවා දෙනු ලැබූ යූදස් ඉස්කාරියොත් මෙන්ම නෝවාගේ දවස්වල විසූ ජනයා සහ සොදොම් සහ ගොමෝරාවේ විසූ ජනයා වැනි දෙවිගේ විනිශ්චයට භාජන වී මිය ගිය ඇතැම් අය නැවත නැඟිටුවනු ලබන්නේ නැහැ. * නැවත නැඟිටවනු ලැබීමට නියමිත මිය ගිය අය සම්බන්ධයෙන් බයිබලයේ භාවිත වන්නේ ෂෙයෝලය හෝ හේදීසය යන වචනයි. ඉන් අදහස් වන්නේ ඔවුන් නැවත-නැඟිටීමක් ලැබෙන තෙක් මරණය නමැති නින්දෙහි සැතපී සිටින බවයි. ඔවුන්ගේ අනාගතය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ [හේදීසය] එහි සිටි මළවුන්ව භාර දුන්නේය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කරනු ලැබුවෝය.”—එළිදරව් 20:13.

එසේනම්, හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් වන ඇදහිලිවන්තයන් යනු නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයයි. මේ අය අතර ආබ්‍රහම්, මෝසෙස් සහ දාවිත් යන දෙවිට පක්ෂපාතව සේවය කළ අයද සිටිනවා. දැන් බලන්න ඔවුන්ගේ මරණ ගැන බයිබලයේ සඳහන් කර ඇති අන්දම ගැන. යෙහෝවා ආබ්‍රහම්ට කීවේ මෙයයි. “එහෙත් ඔබ සමාදානයෙන් ඔබේ පියවරුන් වෙතට යන්නෙහිය. ඉතා මහලු වයසේදී තැනැත්පත් කරනු ලබන්නෙහිය.” (උත්පත්ති 15:15) යෙහෝවා මෝසෙස්ට කීවේ මෙයයි. “බලන්න. ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන්නෙහිය.” (ද්විතීය කතාව 31:16) සලමොන්ගේ පියා වූ දාවිත් සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ මෙයයි. “දාවිත් තමන් පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබීය.” (1 රාජාවලිය 2:10) මෙසේ, ‘යමෙකුගේ පියවරුන් සමඟ සැතපීම’ යන යෙදුම, එම මිය ගිය පුද්ගලයා නැවත-නැඟිටීමක් බලාපොරොත්තුවෙන් මරණය නමැති නින්දෙහි සැතපී සිටින බවට වූ අදහස තවත් විදිහකින් කියා පෑමක් ලෙසට ගන්නට පුළුවන්.

සාලමොන් මිය ගිය පසු සිදු වුණේ කුමක්ද? බයිබලය දෙන පිළිතුර මෙයයි. “සාලමොන් යෙරුසලෙමේ මුළු ඊශ්‍රායෙල් කෙරෙහි රජකම් කළ කාලය හතළිස් අවුරුද්දක්ය. සාලමොන් තමන් පියවරුන් සමඟ සැතපී තමන් පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබීය.” (1 රාජාවලිය 11:42, 43) මෙබැවින්, සාලමොන් මරණය නමැති නින්දෙහි සැතපී සිටින බවත්, ඒ අනුව ඔහුව නැවත නැඟිටවනු ලබන බවත් නිගමනය කිරීම සාධාරණ බව පෙනෙනවා.

‘තමන්ගේ පියවරුන් සමඟ සැතපුණෝය’ යනුවෙන් ශුද්ධ ලියවිල්ලේ විශේෂයෙන් සඳහන් වන මිය ගිය පුද්ගලයන්ට නැවත නැඟිටුවීමක් තිබිය හැකි බව මින් අපට නිගමනය කරන්නට පුළුවන්. සාලමොන්ට පසුව විසූ බොහෝ රජවරු දෙවිට අවිශ්වාසවන්ත ලෙස ක්‍රියා කළත්, ඔවුන්ගේ මරණය ගැන සඳහන් කර තිබෙන්නේද මේ අන්දමිනුයි. මෙය අපට තේරුම් ගන්න අමාරු දෙයක් නොවෙයි. මන්ද, “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” නිසයි. (ක්‍රියා 24:15) ඇත්තෙන්ම, “සොහොන් ගෙවල්වල” සිටින අය නැවත නැඟිටුවනු ලැබුවායින් පසුව පමණයි අප හරියටම දන්නේ නැවත නැඟිටීමක් තිබෙන්නේ කාටද කියා. (යොහන් 5:28, 29) එමනිසා මීට පෙර ජීවත් වූ යම් යම් පුද්ගලයන් නැවත නැඟිටිනවාද නැද්ද කියා දැඩි අදහස් ඇති කරගන්නවා වෙනුවට, අපි විශ්වාසයෙන් යුතුව යෙහෝවාගේ පරිපූර්ණ තීන්දුව දෙස බලා සිටිමු.

[පාදසටහන]

^ 4 ඡේ. වර්ෂ 1988 නොවැම්බර් 1වන දා මුරටැඹ කලාපයේ 24-7 පිටු බලන්න.