“බුද්ධිමත් අය තමාගේ පියවර හොඳ හැටි සොයයි”
“බුද්ධිමත් අය තමාගේ පියවර හොඳ හැටි සොයයි”
බුද්ධිමත් පුද්ගලයෙක් කියන්නේ තම ජීවිතයේ කාරණා හොඳින් හසුරුවා ගන්නාවූද, තමන්ට ඇති වන ගැටලු විසඳා ගැනීමට හැකියාව ඇත්තාවූද කෙනෙකුටයි. ඔහු ඥානවන්තයි. යමක් අවබෝධ කරගෙන දේවල් හරියට තෝරා බේරා ගන්න ඔහුට පුළුවනි. ඔහු සිහි කල්පනාවෙන් ක්‍රියා කරන ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. ඔහු කපටියෙක්වත් සටකපට උපා යොදමින් තමන්ට ඕනෑ විදිහට අනුන්ව ‘නටවන’ කෙනෙක්වත් නොවෙයි. “බුද්ධිමත් කවුරු නමුත් දැනගැන්ම ඇතුව ක්‍රියා කරයි” කියා හිතෝපදේශ 13:16හි පවසනවා. මේ අනුව ඥානවන්තකම හෙවත් බුද්ධිමත්කම අපට තිබිය යුතු හොඳ ලක්ෂණයක් වෙනවා.
අපට අපේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලදී බුද්ධිමත්ව ක්‍රියා කරන්නට පුළුවන් කොහොමද? අප ගන්නා තීරණවලදී, අප අන්‍යයන්ට සලකන විදිහේදී සහ ජීවිතයේ නොයෙක් තත්වයන්ට මුහුණ දෙද්දී අප බුද්ධිමත් ලෙස ක්‍රියා කරන බව පෙන්වන්නේ කොහොමද? බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? අපට මේ නිසා කිනම් විපත්තිවලින් වැළකී සිටිය හැකිද? ඉපැරණි ඊශ්‍රායෙලයේ විසූ සලමොන් රජ මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරු දී තිබෙනවා. ඒවා අපට හිතෝපදේශ 14:12-25හි කියවන්නට පුළුවන්. *
ඔබේ ගමන් මඟ ඥානවන්තව තෝරාගන්න
ඥානවන්ත තීරණ ගැනීමට සහ ජීවිතය සාර්ථක කරගැනීමට හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහා ගැනීමේ හැකියාව තිබිය යුතුමයි. කෙසේවෙතත්, බයිබලය අපට මෙසේ අනතුරු අඟවනවා. “මනුෂ්‍යයෙකුට යුතු යයි පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවර මරණයෙහි මාර්ග වේ.” (හිතෝපදේශ 14:12) මේ නිසා, හරි දේ සහ හරි යයි පෙනෙන දේ අතර වෙනස වටහා ගැනීමටත් අපි ඉගෙන ගත යුතුයි. “මරණයෙහි මාර්ග” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කෙනෙකුව රවටා මරණය කරා ගෙන ගිය හැකි මාවත් බොහෝ තිබෙන බවයි. එම නිසා, අප විසින් පරෙස්සම් විය යුතු සහ වැළකිය යුතු යම් පැති ගැන දැන් අපි සලකා බලමු.
මේ ලෝකයේ ධනවත් හා සුප්‍රකට පුද්ගලයන්ව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ වැදගත් ගරුනම්බු ලැබිය යුතු අය හැටියටයි. ඔවුන් සමාජයේ ඉහළ තැනක වැජඹෙන නිසා සහ ඔවුන්ට මුදල් හදල් තිබෙන නිසා ඔවුන් කරන දේවල් නිවැරදියි කියා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙත් මේ අයගෙන් බොහෝදෙනෙක් ධනය හෝ කීර්තිය ලබා ගැනීමට යොදාගෙන තිබෙන ක්‍රම ගැන කුමක් කියන්න පුළුවන්ද? ඒවා ලබා ගෙන තිබෙන්නේ හැමවිටම හරි දේවල්ම කරලාද? තවත් සමහරක් පුද්ගලයන් තමන් අදහන ආගම ගැන දක්වන්නේ පුදුම උද්‍යෝගයක්. නමුත් ඔවුන් තමන්ගේ ආගමෙන් උගන්වන දේවල් අවංකව විශ්වාස කරන නිසාම ඒවා සත්‍යයයි කියා කිව හැකිද?—රෝම 10:2, 3.
අප අපවම රවටා ගෙන තිබෙන නිසා යම් දෙයක් හරියි කියා අපට පෙනෙන්නට පුළුවන්. අපට හරියයි කියා සිතෙන දේ මත තීරණ ගන්නට අප පෙලඹෙන්න පුළුවන්. නමුත් සිත රැවටිලිකාර දෙයක් බව මතක තබාගන්න. (යෙරෙමියා 17:9) දෙවිගේ වචනයේ සඳහන් ප්‍රතිපත්ති ගැන දැනුමක් අවබෝධයක් නැතිව යමෙක් තමාගේ සිතට හැඟෙන විදිහට, වැරදි දේ හරි දේ කියා සිතන්නට පුළුවන්. එසේ නම් හරි දේ සඳහා තේරීමක් කිරීමට අපට කුමක් උපකාරවත් වේවිද?
දෙවිගේ වචනයේ සඳහන් ගැඹුරු සත්‍යයන් පෞද්ගලිකව කඩිසරව අධ්‍යයනය කිරීම අනිවාර්යයි. එවිට අපට “හරි වැරැද්ද අතර වෙනස හඳුනා ගැනීම සඳහා . . . වටහා ගැනීමේ හැකියාව” ලබා ගත හැකියි. ඒ විතරක් නොවෙයි, අප මේ හැකියාවන් ‘භාවිතා කරමින්’ බයිබල් ප්‍රතිපත්ති අපේ ජීවිතයට අදාළ කරගත යුතුයි. (හෙබ්‍රෙව් 5:14) අපට හරියි කියා පෙනෙන මාර්ගයක ගමන් කළොත් ‘ජීවනයට කරා යන පාරෙන්’ ඉවත් වීමට සිදු වන හෙයින් අප ඒ ගැන පරෙස්සම් විය යුතුයි.—මතෙව් 7:13, 14.
“සිත ශෝක සහිත” වන විට
අප සිතේ සාමයක් නැති විට අපට සන්තෝෂ විය හැකිද? සිනාසීමෙන් හා විනෝද වීමෙන් සිතේ ගැඹුරු වේදනාවන් සමනය කර ගත හැකිද? මානසික පීඩනය පහ කරගැනීමට කියා මත් පැන් බීම, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හරි දෙයක්ද? නැත්නම් දුරාචාර ජීවිතයකට පුරුදු වීමෙන් එම මානසික පීඩනය නැති කරගත හැකිද? පැහැදිලි පිළිතුර නම් නැත යන්නයි. “සිනාසීමේදී පවා සිත ශෝක සහිතය. ප්‍රීතියේ කෙළවර නම් දුකය” කියා ඥානවන්ත සලමොන් රජ පවසනවා.—හිතෝපදේශ 14:13අ.
සිනහවෙන් වේදනාව සඟවා ගන්නට පුළුවන්. නමුත් සිනහවෙන් වේදනාව තුරන් වෙන්නේ නැහැ. ‘හැම දේටම ප්‍රස්තාවක් ඇත’ කියා බයිබලය කියනවා. ඇත්තෙන්ම “අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයකි. ශෝකවන්ට කාලයක් සහ නටන්ට කාලයකි.” (දේශනාකාරයා 3:1, 4) මානසික පීඩනය දිගටම තිබෙන විට, අප ඉන් මිදීමට පියවර ගත යුතුයි. සමහරවිට, ‘නුවණැති ගුරුකම්ද’ සෙවිය යුතුයි. (හිතෝපදේශ 24:6) * සිනහසීමෙන් හා විනෝද වීමෙන් යම් තරමක ප්‍රයෝජනයක් ලැබෙන බව ඇත්තයි. නමුත් ප්‍රයෝජන ටිකයි. නුසුදුසු හාස්‍යජනක දේවලින් ප්‍රීති වීම හා අධික ලෙස විනෝද වීම ගැන අනතුරු අඟවමින් සලමොන් කියන්නේ මෙයයි. “ප්‍රීතියේ කෙළවර නම් දුකය.”—හිතෝපදේශ 14:13ආ.
සිතින් පසුබටව යන්නා සහ යහපත් මනුෂ්‍යයා තෘප්තියට පැමිණෙන්නේ කෙසේද?
“සිතින් පසුබටව යන්නා තමාගේම මාර්ගවලින් පිරෙන්නේය; යහපත් මනුෂ්‍යයා තමාගෙන්ම තෘප්තියට පැමිණෙයි.” (හිතෝපදේශ 14:14) සිතින් පසුබටව යන්නා සහ යහපත් මනුෂ්‍යයා යන දෙදෙනාම තමාගේ ජීවිතයේ කාරණා කටයුතුවලදී තෘප්තියට පැමිණෙන බව මෙහි කියනවා. ඒ කොහොමද?
දෙවි කෙරෙහි විශ්වාසයක් නැති පුද්ගලයෙක් තමාගේ ජීවිතය ගෙවූ අන්දම ගැන දෙවිට ගණන් දෙන්නට තිබෙනවා කියා සිතන්නේ නැහැ. ඒ නිසා යෙහෝවාගේ ඇස් ඉදිරියේ හරිව තිබෙන දේ කිරීම ඇදහිල්ල නැති කෙනෙකුට වැදගත් දෙයක් නොවෙයි. (1 පේතෘස් 4:3-5) එවන් පුද්ගලයෙක් නිතරම බලන්නේ කෑම බීම ඉඳුම් හිටුම් ගැන සහ තම නිවස බඩු මූට්ටුවලින් පුරවා ගත් ජීවිතයක් ගත කිරීමටයි. (ගීතාවලිය 144:11-15අ) ඊට වෙනස්ව, යහපත් පුද්ගලයෙක් නිතරම උත්සාහ කරන්නේ දෙවිව සතුටු කිරීමටයි. ඔහුගේ ජීවිතයේ කාරණා කටයුතුවලදී ඔහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදිනවා. එවන් පුද්ගලයෙක් තමන්ට ඒ මගින් ලැබෙන ආශීර්වාද ගැන සතුටු වෙනවා විතරක් නොවෙයි පොළොවේ මහෝත්තම දෙවිට සේවය කිරීම නිසා ලබන අසමසම ප්‍රීතියද ඔහු භුක්ති විඳිනවා.—ගීතාවලිය 144:15ආ.
‘හැම වචනම විශ්වාස කරන්න එපා’
අද්දැකීම් අඩු අය සහ බුද්ධිමත් ලෙස ක්‍රියා කරන අය අතර වෙනස පෙන්වා දෙමින් සලමොන් පවසන්නේ මෙයයි. “මෝඩයා [අද්දැකීම් අඩු පුද්ගලයා] සැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” (හිතෝපදේශ 14:15) බුද්ධිමත් ලෙස ක්‍රියා කරන පුද්ගලයෙක් ලෙහෙසියෙන් රැවටෙන කෙනෙක් නොවෙයි. තමන්ට ඇසෙන හැම දෙයම විශ්වාස කරනවා වෙනුවට හෝ වෙනත් අයට තමන් වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ දෙනවා වෙනුවට, ඔහු තමාගේ පියවර ඥානවන්තව බලා ගනී. සියලුම තොරතුරු එක්රැස් කරගන්නා ඔහු යමක් කරන්නේ ඒ ගැන හොඳ හැටි දැනගෙනයි.
නිදසුනකට, “දෙවි කෙනෙක් ඉන්නවාද?” යන ප්‍රශ්නය දෙස ඔහු බලන්නේ කොහොමද? අද්දැකීම් අඩු පුද්ගලයෙක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් විශ්වාස කරන දේම ඔහේ විශ්වාස කිරීමට නැඹුරු වෙනවා. නමුත් බුද්ධිමත් තැනැත්තෙක් එසේ නොවෙයි. ඔහු තමන්ට දැනගන්නට ලැබෙන සියලු කාරණා හොඳින් විභාග කර බැලීමට කාලය ගන්නවා. රෝම 1:20හි සහ හෙබ්‍රෙව් 3:4හි සඳහන් අදහස් ගැන ඔහු හොඳින් කල්පනා කරනවා. ඒ වගේම ඥානවන්ත පුද්ගලයෙක් ආගමික නායකයන් යමක් කියන නිසාම ඔහේ පිළිගන්නේ නැහැ. ඔහු කරන්නේ ‘ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බැලීමයි.’—1 යොහන් 4:1.
එසේ නම්, ‘සෑම වචනම විශ්වාස නොකරන’ ලෙසට දී ඇති අවවාදයට අවනත වීම කොතරම් ඥානවන්තද! ක්‍රිස්තියානි සභාව තුළ වෙනත් අයට උපදෙස් දීමට වගකීමෙන් බැඳී සිටින අය විශේෂයෙන් මෙම අවවාදය සිතට ගත යුතුයි. උපදෙස් දෙන තැනැත්තාට සිදු වූ දේ ගැන සම්පූර්ණ චිත්‍රයක් තිබිය යුතුයි. ඔහු හොඳින් සවන් දිය යුතු අතර සියලුම පැතිවල කරුණු සැලකිල්ලට භාජන කළ යුතුයි. එවිට පමණයි ඔහුට කිසිම පැත්තක් ගන්නේ නැතුව සාධාරණ ලෙස උපදෙස් දීමට හැකි වෙන්නේ.—හිතෝපදේශ 18:13; 29:20.
‘හොඳින් සිතීමේ හැකියාව ඇති මිනිසා වෛරයට ලක් වෙයි’
ඥානවන්තයෙක් සහ මෝඩයෙක් අතර තිබෙන තවත් වෙනස්කම් ගැන සඳහන් කරමින් සලමොන් රජ පවසන්නේ මෙයයි. “ඥානවන්තයා භයව නපුරෙන් පහව යයි. එහෙත් අඥානයා උඩඟු ලෙස හැසිරෙමින් සැක නැතුව සිටියි. ඉක්මනින් කිපෙන්නා අඥාන ලෙස ක්‍රියා කරන්නේය. දුෂ්ට උපා යොදන්නා [හොඳින් සිතීමේ හැකියාව ඇති මිනිසා] වෛරය ලබයි.”—හිතෝපදේශ 14:16, 17.
ඥානවන්ත පුද්ගලයෙක් වැරදි කිරීමට භය වෙනවා. ඔහු ඉන් ඇති වන නරක පල විපාක ගැන සිතන කෙනෙක්. එම නිසා ඔහු සුපරීක්ෂාවෙන් ක්‍රියා කරන අතර, නරක දෙයකින් වැළකීමට හේතු වන ඕනෑම උපදෙසක් ඔහු භාර ගන්නවා. නමුත් මෝඩයාට එවැනි භයක් නැහැ. තමන් ගැනම ඕනෑවට වඩා සිතන ඔහු වෙනත් අය දෙන උපදෙස් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඉක්මනින් කේන්ති යෑමට නැඹුරුවාවක් ඇති එවැන්නෙක් ක්‍රියා කරන්නේ ඉතා මෝඩ විදිහටයි. “දුෂ්ට උපා යොදන’ පුද්ගලයෙකුට වෙනත් අය වෛර කරන්නේ ඇයි කියා තේරුම් ගැනීම අපහසු දෙයක් නොවෙයි. ඔහුගේ දුෂ්ට අදහස් සහ කපටි උපාවලට කවුරුත් කැමති නැහැ.—ගීතාවලිය 37:7; හිතෝපදේශ 12:2; 24:8.
කෙසේවෙතත්, මෙහි “දුෂ්ට උපා” යනුවෙන් පරිවර්තනය කර ඇති මුල් භාෂාවේ යෙදුම “සිතීමේ හැකියාව” කියාත් පරිවර්තනය කරන්නට පුළුවන්. සිතීමේ හැකියාව කීමෙන් අදහස් කරන්නේ ඥානවන්තබව හෝ බුද්ධිමත්බවයි.—හිතෝපදේශ 1:4; 2:11; 3:21.
ඥානවන්ත පුද්ගලයෙක් ඔහු තුළ ඇති ඒ ඥානවන්ත බව නිසාම වෛරයට පාත්‍ර විය හැකියි. උදාහරණයකට, කාරණා හොඳින් විමසා බලා “ලෝකයේ කොටසක්” නොවීමට තීරණය කරන අය ලෝකයාගේ වෛරයට පාත්‍ර වෙන්න පුළුවන්. (යොහන් 15:19) නරක විදිහට හැසිරෙන්නට වෙනත් අය තමන්ව පොලඹවන විට ඒවාට එරෙහි වෙමින් ඥානවන්තව ක්‍රියා කරන ක්‍රිස්තියානි තරුණ තරුණියන් ඔවුන්ගේ සරදම්වලට ලක් වෙන්න පුළුවන්. දෙවිට සැබෑ ලෙස නමස්කාර කරන අය, සාතන් වන යක්ෂයාගේ බලය යටතේ තිබෙන මේ ලෝකයේ වෛරයට ලක් වෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.—1 යොහන් 5:19.
‘නපුරෝ වැඳ වැටෙති’
ඥානවන්ත බුද්ධිමත් අය අද්දැකීම් අඩු අයට වඩා තවත් ආකාරයකින් වෙනස් වෙනවා. “නුවණ නැත්තෝ අඥානකම උරුම කරගනිති. එහෙත් බුද්ධිමත් අය දැනගැන්ම නමැති ඔටුන්න පැළඳ සිටිති.” (හිතෝපදේශ 14:18) නුවණ නැති අද්දැකීම් අඩු අය තෝරාගන්නේ මෝඩ දේවල්. ඔවුන්ගේ ජීවිතයේ ලොකුම දේවල් ඒවායි. අනෙක් අතට, රජෙකුව ඔටුන්නකින් සරසනවා මෙන් බුද්ධිමතාට දැනුම ඔටුන්නක්.
“නපුරෝ යහපතුන් ඉදිරියේද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ගේ දොරටු ළඟද වැඳ වැටෙති” කියාද ඥානවන්ත රජ පැවසුවා. (හිතෝපදේශ 14:19) වෙනත් වචනවලින් කියනවා නම්, දුෂ්ටයන්ට වඩා වෙනස්ව යහපත් අයට අන්තිමේදී ලැබෙන්නේ ජයග්‍රහණයක්. අද දින දෙවිගේ ජනයා සංඛ්‍යාවෙන් වැඩි වන සැටිත් ඔවුන් ඉතා සන්තෝෂයෙන් කල් ගෙවන සැටිත් බලන්න. යෙහෝවා සිය සේවකයන් කෙරෙහි වගුරුවන ආශීර්වාද දෙස බලන ඇතැම් විරුද්ධවාදීන් යෙහෝවාගේ ස්වර්ගික භාර්යාව ඉදිරියේ ‘වැඳ වැටෙනවා.’ යෙහෝවාගේ ස්වර්ගික භාර්යාව කියන්නේ ඔහුගේ ස්වර්ගික සංවිධානයට. එය පොළොව මත නියෝජනය වන්නේ ස්වර්ගික බලාපොරොත්තුවක් ඇතිව තවමත් පොළොවේ වාසය කරන අයගෙන්. අන්තිමේදී හර්මගෙදොන් යුද්ධයේදී හෙවත් මේ සමාජ ක්‍රමය අවසානයේදී පොළොව මත සිටින දෙවිගේ සංවිධානය විසින් ස්වර්ගයේ දෙවිගේ සංවිධානය නියෝජනය කරන බව පිළිගන්න මේ සතුරන්ට සිදු වෙනවා. ඔවුන් ‘වැඳ වැටෙන්නේ’ ඒ අර්ථයෙනුයි.—යෙසායා 60:1, 14; ගලාති 6:16; එළිදරව් 16:14, 16.
‘දුප්පතුන් කෙරෙහි අනුකම්පා කිරීම’
මිනිසුන්ගේ ස්වභාවය ගැන හොඳින් නිරීක්ෂණය කරන සලමොන් කියන්නේ මෙහෙමයි. “දුප්පතා තමාගේ අසල්වාසියා විසින් පවා ද්වේෂ කරනු ලබයි; එහෙත් වස්තුකාරයාට බොහෝ මිත්‍රයෝ ඇත.” (හිතෝපදේශ 14:20) සාමාන්‍ය මිනිසුන්ට ඇත්තටම මේ දේ සිද්ධ වෙනවා නේද! සාමාන්‍යයෙන් ධනවතුන්ට වැඩි අනුග්‍රහයක් දැක්වීම පිටුපස ආත්මාර්ථකාමි නැඹුරුවාවක් ඇති මිනිසුන් කරන දෙයක්. ධනවතෙකුට බොහෝ මිතුරන් සිටියත්, ඔහුගේ ධනය නැතිව ගිය විට මිතුරන්ද ඔහුගෙන් ඈත් වෙනවා. එසේ නම්, අපි මුදල් මගින් හෝ ඉච්චා බස් දොඩවමින් හෝ මිතුරන් ඇති කරගැනීමෙන් වැළකී සිටිය යුතුයි.
අප අප ගැනම ආත්ම සෝදිසියක් කර බලමු. අපි ඇත්තටම ධනවත් අයට කත් අදිනවාද? යමක් කමක් කරගන්නට බැරි අයව පහත් කොට සලකනවාද? අපි එසේ කරනවා නම්, අපි මතක තබා ගමු, ඒ වගේ ක්‍රියා කිරීම බයිබලයේ හෙළා දැක තිබෙන බව. එහි මෙසේ සඳහන් වෙනවා. “තමාගේ අසල්වාසියා හෙළා දකින්නා පව් කරයි. එහෙත් දුප්පතුන් කෙරෙහි අනුකම්පා ඇත්තා වාසනාවන්තයෙකි.”—හිතෝපදේශ 14:21.
විවිධ දුෂ්කර තත්වයන් යටතේ සිටින අය ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. (යාකොබ් 1:27) අපට එසේ කළ හැක්කේ කොහොමද? “ජීවිකාව ගෙන යෑමට අවශ්‍ය ද්‍රව්‍යමය දේ” එනම් මුදල්, ආහාර, නිවාස හා ඇඳුම් පැළඳුම් සහ පෞද්ගලික අවධානය වැනි දේවල් ඔවුන්ට සැපයීමෙන්. (1 යොහන් 3:17) එවන් අයට උපකාර කරන අයට ලොකු සතුටක් දැනෙනවා. මන්ද “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.
ඔවුන්ගේ ජීවිතයේ අනාගතය කෙබඳු වෙයිද?
“යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” යන ප්‍රතිපත්තිය බුද්ධිමතාට මෙන්ම මෝඩයාටද එක සේ අදාළ වෙනවා. (ගලාති 6:7) බුද්ධිමතා යහපත් දේ කරනවා. නමුත් මෝඩයා කරන්නේ කපටි උපා යෙදීමයි. “නපුර යොදන්නෝ මුළා නොවෙත්ද?” කියා ප්‍රඥාවන්ත රජ විමසනවා. උත්තරය, “ඔව්” යන්නයි. “එහෙත් යහපත යොදන්නවුන්ට කරුණාවද සැබෑවද වන්නේය.” (හිතෝපදේශ 14:22) ඔව්, මේ අනුව යහපත කරන අයව වෙනත් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා වගේම දෙවිගේ ප්‍රේමණීය කරුණාවද ඔවුන් අද්දකිනවා.
වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක් ගැන සහ වැඩියෙන් කතා කර අඩුවෙන් වැඩ කරන අය අතර ඇති වෙනස ගැන සඳහන් කරමින් සලමොන් කියන්නේ මෙහෙමයි.“සියලුම කර්මාන්තවලින් ප්‍රයෝජන ඇත; එහෙත් ප්‍රලාප කීම හිඟකමට පමුණුවයි.” (හිතෝපදේශ 14:23) මෙම ප්‍රතිපත්තිය අප දෙවිට කරන සේවයට පැහැදිලිවම අදාළ වෙනවා. අප ක්‍රිස්තියානි දේවසේවයේ වෙහෙස මහන්සි වී වැඩ කරන විට, බොහෝදෙනෙකුට සත්‍යය අලුතින් හඳුන්වා දීමෙන් මහත් විපාක අපට නෙළා ගන්න පුළුවන්. අපට දෙවි පවරා ඇති දේවල් විශ්වාසවන්තව ඉටු කිරීමෙන් අපට ප්‍රීතියත් තෘප්තියත් නෙළා ගන්න පුළුවන්.
“ඥානවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නකි. එහෙත් අඥානයන්ගේ අඥානකම අඥානකම පමණකි” කියා හිතෝපදේශ 14:24 කියනවා. මින් අදහස් වන්නේ ඥානවන්තයෙකුගේ වස්තුව ප්‍රඥාවම බවයි. එය ඔහු පළඳන ඔටුන්නකි. එය ඔහුව අලංකාර කරයි. නමුත් අනෙක් අතට, මෝඩයාට සම්බවෙන්නේ මෝඩකමමයි. එක්තරා පොතක පවසන විදිහට මේ හිතෝපදේශයෙන් අදහස් කරන්නේ “ධනය එය හොඳින් පරිහරණය කරන අයට ආභරණයකි. . . . නමුත් මෝඩයාට ඇති ධනය මෝඩකමමයි.” මින් පෙනී යන්නේ ඥානවන්තයන් මෝඩයාට වඩා හොඳින් සාර්ථකව දිවි ගෙවන බවයි.
“සැබෑ සාක්ෂිකාරයා ප්‍රාණීන් ගලවයි, එහෙත් බොරු කියන අය වංචාව උපදවයි” කියාද හිතෝපදේශයේ පවසනවා. (හිතෝපදේශ 14:25) සැබවින්ම නඩු විභාගයකදී මෙය සැබෑවක් වුණත්, එය අපේ දේවසේවයට අදාළ වන සැටි බලන්න. දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ සහ ගෝලයන් කිරීමේ කාර්යයේ නියැලෙන විට අප කරන්නේ දේවවචනයේ සත්‍යතා ගැන සාක්ෂි දැරීමයි. මෙලෙස අප දෙන සාක්ෂිය නියම සත්‍යය සොයන අයව බොරු ආගම්වලින් ගලවා ඔවුන්ගේ ජීවිත රැක දෙනවා. මේ නිසා, අප ගැනත් අපේ ඉගැන්වීම් ගැනත් නිතරම අවධානයෙන් සිටීමෙන් අපවද අපට සවන් දෙන අයවද ගලවා ගත හැකියි. (1 තිමෝති 4:16) අප මෙසේ කරත්ම, ජීවිතයේ සියලු පැතිවලදී බුද්ධිමත්ව හා ඥානවන්තව ක්‍රියා කිරීමට උත්සාහ කරමු.
[පාදසටහන්වල]
^ 3 ඡේ. හිතෝපදේශ 14:1-11හි සඳහන් කාරණා ගැන කරන ලද විස්තරයක් දැනගැනීම සඳහා 2004 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ පිටු 26-9 බලන්න.
^ 11 ඡේ. වර්ෂ 2004 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ පිටු 20-29 දක්වා සහ 2001 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ පිටු 3-14 දක්වා බලන්න.
[18වන පිටුවේ පින්තූරය]
හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහාගැනීමට නම් අපි වඩාත් ගැඹුරු සත්‍යයන් ඉතා ඕනෑකමින් අධ්‍යයනය කළ යුතුයි
[18වන පිටුවේ පින්තූරය]
ධන සම්පත් ආදි දේවල් පසු පස හඹා යෑමෙන් ජීවිතයේ නියම සතුට හා තෘප්තිය ලැබේද?