“යෙහෝවාගේද ගිඩියොන්ගේද කඩුව!”
“යෙහෝවාගේද ගිඩියොන්ගේද කඩුව!”
ඊශ්‍රායෙල්වරුන් දැන් අද්දකින්නේ මහා විපත්ති කාලයක්. ඒ විනිශ්චයකරුවන් ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන සමය. ඔවුන්ගේ සතුරන් හරියට සාරවත් බිමක් මුඩු බිමක් බවට සැණෙකින් පෙරළන පළඟැටියන් වගේ! වපුරන ලද බීජවල අංකුර දමා එන්නා කාලයේදීම, මිදියන්වරු, අමලෙක්වරු සහ පෙරදිග පුත්‍රයෝ ඔටුවන් පිටින් හමුදාවන් රොත්තක්ම ඊශ්‍රායෙල් ජාතිය කරා වේගයෙන් බැස එන්නේ ඔවුන්ට පහර දීමටයි. මේ සතුරු හමුදාවන් දේශයේ හැම පැත්තකටම පාහේ කඩා වැදී වගා බෝග සියල්ලම විනාශ කර දමනවා. නමුත් ඊශ්‍රායෙල් ජාතියේ කිසිම කෙනෙකුට බූරුවෙක්වත්, ගවයෙක්වත් බැටළුවෙක්වත් නැහැ. මිදියන්වරුන්ගේ පාලනය කොතරම් දරුණුද කියනවා නම් දිලිඳුකමේ අන්තයටම ගිය ඊශ්‍රායෙල් වැසියන් කඳු හා ගුහාවන් වැනි ලෙහෙසියෙන් ළඟා විය නොහැකි තැන්වලට ගොස් තම ආහාර ගබඩා කරන්න පියවර ගන්නවා.
මෙවන් දුක්ඛිත තත්වයකට ඔවුන් ඇද වැටී සිටින්නේ ඇයි? දෙවිගෙන් ඈත් වූ මේ ඊශ්‍රායෙල් ජාතිය සේවය කරන්නේ බොරු දෙවිවරුන්ටයි. ඇත්තටම කියනවා නම්, යෙහෝවා ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ගේ අතට පාවා දීලයි තියෙන්නේ. තවදුරටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මේ දුක දරා ගන්නට බැරි අවස්ථාවේදී ඔවුන් යෙහෝවාගේ උපකාර ඉල්ලා මොර දෙනවා. යෙහෝවා මීට කන් දේවිද? ඊශ්‍රායෙල් ජාතිය ලත් මේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ මොකක්ද?—විනිශ්චයකාරයෝ 6:1-6.
විපරමින් සිටින ගොවියෙක්ද නැත්නම් “බලසම්පන්න වික්‍රමාන්විත” මිනිසෙක්ද?
සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් ගොවියන් තිරිඟු මඩින්නේ ගවයෙකු හෝ කුළු ගෙඩියක් යොදාගෙන එළිමහන් තැනකයි. එසේ කරන විට ධාන්‍යවල ඇති දහයියා සුළඟට ගසා ගෙන යනවා. නමුත් සතුරු තර්ජනය නිසා එළිමහන් තැනක ඒ වගේ තිරිඟු මැඩීම අන්තරාදායකයි. මිදියන්වරුන්ගේ ඇසට හසු නොවන පරිදි, ගිඩියොන් තිරිඟු මඩින්නේ මිදි යන්ත්‍රයක් තුළයි. ගල් පර්වතයකින් සාදාගෙන තිබූ විශාල ආවරණය කරන ලද පීප්පයක් වැනි දෙයක් ලෙස මේ මිදි යන්ත්‍රය සැලකිය හැකියි. (විනිශ්චයකාරයෝ 6:11) ඒ තුළ සිටගෙන ධාන්‍ය ස්වල්ප වශයෙන් කෝටුවකින් තලමිනුයි මැඩීම සිදු කරන්නේ. මේ තත්වය යටතේ ගිඩියොන් තමාට කළ හැකි දේ කරමින් ධාන්‍ය මඩිනවා.
“වික්‍රමාන්විත මනුෂ්‍යය, යෙහෝවා ඔබ සමඟ” සිටිනවා කියා කියමින් දේවදූතයෙක් ගිඩියොන් ඉදිරියේ පෙනී සිටින විට ගිඩියොන් කොතරම් පුදුම වුණාද කියා ඔබට සිතාගන්න පුළුවන්ද? (විනිශ්චයකාරයෝ 6:12) කාටවත් නොපෙනෙන සේ සැඟවී මිදි යන්ත්‍රයක් තුළට වී ධාන්‍ය මඬිමින් සිටින මිනිසෙකුට වික්‍රමාන්විත මිනිසෙක් කියා කියන්නට පුළුවන්ද? එසේ නමුත් ඔහු ඊශ්‍රායෙල් ජාතියේ වික්‍රමාන්විත නායකයෙකු වෙන බවට එම වචනවලින් දෙවි ඔහු තුළ ලොකු විශ්වාසයක් ඇති කළා. ඒ නිසා ඒ බව පළමුව ඔහු විසින්ම ඒත්තුගත යුතුයි.
යෙහෝවා ගිඩියොන්ව “මිදියන් අතින් ඊශ්‍රායෙල් ගලවාගන්න” පැවරුමක් දුන් විට ඔහු නිහතමානිව මෙසේ අසනවා. “අහෝ, යෙහෝවා, මම කුමකින් ඊශ්‍රායෙල් ගලවාගනිම්ද? බැලුව මැනව. මාගේ පවුල මනස්සේහි සියල්ලට වඩා දිලිඳුය. මමද මාගේ පියාගේ ගෙයි ඉතා කුඩා තැනැත්තෙක් වෙමි.” මෙහිදී ඉතා සුපරීක්ෂාවෙන් ක්‍රියා කරන ගිඩියොන්, මිදියන්වරුන්ට පහර දෙන විට දෙවි ඔහු සමඟ සිටින බව දැනගැනීමට දෙවිගෙන් ලකුණක් ඉල්ලනවා. මේ අනුව ගිඩියොන් කරන සාධාරණ ඉල්ලීම සලකා බලමින් යෙහෝවා ඔහුට ලකුණක් දීමට කැමැති වෙනවා. ඒ, ගිඩියොන් තුළ තමා කෙරෙහි විශ්වාසය වැඩි කිරීම පිණිසයි. ගිඩියොන් තමාව බැහැදැකීමට ආ දේවදූතයාට ආහාර පිළිගන්වන අතර පර්වතයකින් ගින්දර නික්මී ආහාර දවා දමනවා. යෙහෝවා ගිඩියොන්ගේ බිය සැක දුරු කළායින් පසුව ගිඩියොන් එම ස්ථානයේ පූජාසනයක් ඉදිකරනවා.—විනිශ්චයකාරයෝ 6:12-24.
“බාල්ම තමා උදෙසා කරුණු කියාවා”
ඊශ්‍රායෙල් ජාතියට මුහුණදීමට තිබෙන ලොකුම ගැටලුව මිදියන්වරුන්ගෙන් පැමිණි හිරිහැර කරදර නොවේ. ඔවුන් බාල් නමස්කාරයට වහ වැටී තිබීමයි. යෙහෝවා තනි භක්තිය බලාපොරොත්තු වන දෙවි කෙනෙක්. ඒ නිසා යමෙක් ඔහුට සේවය කරන විට තවත් දෙවිවරුන්ට සේවය කිරීම ඔහු පිළිගන්නේ නැහැ. (නික්මයාම 34:16) එම නිසා, යෙහෝවා ගිඩියොන්ට අණ කරනවා ඔහුගේ පියා විසින් බාල්ට සෑදු පූජාසනය විනාශ කර අෂේරා කණු කපා දමන ලෙසට. එය දහවල් කාලයේ කළොත් ඔහුගේ පියා සහ වෙනත් අය ඒ ගැන උදහස් වෙයි කියා සිතා ඔහු තවත් දසදෙනෙකුගේ සහය ඇතුව එය කරන්නේ රාත්‍රි කාලයේයි.
ගිඩියොන් මෙලෙස සුපරීක්ෂාවෙන් ක්‍රියා කිරීම ඥානවන්තයි. විනිශ්චයකාරයෝ 6:25-32, නව අනුවාදය.
බාල් නමස්කාරකරුවන් මෙය සැලකුවේ “දේව අපාහාසයක්” හැටියටයි. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා ගිඩියොන්ව මරා දමන්න. නමුත් මෙහිදී ගිඩියොන්ගේ පියා වන යෝවාෂ් ඉදිරිපත් වී බාල්ට නමස්කාර කරන අයට නිවැරදි තර්කයෙන් පහදා දෙන්නේ බාල් දෙවියෙක් නම් ඔහුට තමාවම ආරක්ෂා කර ගත හැකි විය යුතුය යන්නයි. ඒ වෙලාවේදී ඔහු තම පුත්‍රයාව “යෙරුබ්බාල්” යන නමින් හඳුන්වනවා. එහි තේරුම ‘බාල්ම තමාගේම විත්තිකාරයාය’ යන්නයි.—සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් නිර්භීත ස්ථාවරයක් ගැනීම ගැන දෙවි තමන්ට නමස්කාර කරන අයට සෑම විටම ආශීර්වාද කරනවා. මිදියන්වරු හා ඔවුන්ගේ මිත්‍ර හමුදාවන් ඊශ්‍රායෙල් දේශය නැවතත් ආක්‍රමණය කරන විට, ‘යෙහෝවාගේ බලය ගිඩියොන් පිටට පැමිණුණා.’ (විනිශ්චයකාරයෝ 6:34) දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ, ගිඩියොන් මනස්සේ, ආෂෙර්, සාබුලොන් සහ නප්තලී යන ගෝත්‍රවලින් හමුදා බල ඇණි රැස්කර ගන්නවා.—විනිශ්චයකාරයෝ 6:35.
ප්‍රහාරයට සූදානම් වීම
ගිඩියොන්ගේ හමුදාවේ භටයන් ගණන 32,000ක්. නමුත් ඔහු දෙවිගෙන් ලකුණක් ඉල්ලනවා. ඒ ලකුණ නම් කමතේ වියළි බිමේ තබන බැටළු ලොම් මිටිය පිනිවලින් තෙත්ව තිබේ නම්, මින් අඟවන්නේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගලවන බවයි. යෙහෝවා මෙම ප්රාතිහාර්ය සිදු කරනවා. දැන් ගිඩියොන් යෙහෝවාගෙන් ඉල්ලා සිටින්නේ එය අනෙක් පැත්තට සිදු කරන ලෙසටයි. එනම් බිම පින්නෙන් තෙමී බැටළු ලොම් මිටිය වියළිව තිබෙන ලෙසටයි. මෙහිදී ගිඩියොන් ඕනෑවට වඩා සුපරීක්ෂාවෙන් ක්‍රියා කළා කියා අපට කියන්නට පුළුවන්ද? පෙනෙන විදිහට නම් එසේ කීමට බැහැ. මන්ද යෙහෝවා ඔහුගේ ඒ ඉල්ලීමටත් සවන් දෙන නිසා. (විනිශ්චයකාරයෝ 6:36-40) අද අපි ප්රාතිහාර්ය සිදු වෙනවා කියා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත්, අපට දෙවිගේ මඟ පෙන්වීමත් ඔහුගේ වචනයෙන් නිසැක විශ්වාසයත් ලබාගත හැකියි.
ගිඩියොන්ගේ හමුදාව විශාල වැඩියි කියා දෙවි දැන් ගිඩියොන්ට පවසනවා. එවන් විශාල හමුදාවක් රැගෙන ගොස් සතුරන්ගෙන් ජය ගත්තොත් ඊශ්‍රායෙල්වරුන් තමන් ගැනම පාරට්ටු කරගන්නට ඉඩ තිබෙනවා. නමුත් ලැබෙන ජයග්‍රහණය ගැන ප්‍රශංසාව ලැබිය යුත්තේ යෙහෝවා දෙවිටයි. මේ සඳහා දෙවි දුන් විසඳුම කුමක්ද? මෙහිදී ගිඩියොන් කරන්නේ මෝසෙස්ගේ නීතියේ සඳහන් වූ අන්දමට භය ඇති අයට යුද්ධයට යෑමෙන් වැළකෙන ලෙස ඉල්ලා සිටීමයි. මෙහිදී ඔහුගේ මිනිසුන් 22,000ක් යුද්ධයට යෑමෙන් වැළකෙනවා. ඉතිරි වන්නේ 10,000ක් පමණයි.—ද්විතීය කතාව 20:8; විනිශ්චයකාරයෝ 7:2, 3.
දෙවි නම් සිතන්නේ යුද්ධයට යා යුතු මිනිසුන් සංඛ්‍යාව තවම වැඩියි කියා. ඒ නිසා ඔහු ගිඩියොන්ට කියනවා ඔවුන්ට වතුර බීමට සලස්වන්න කියා. ගිනි ගහන අව්ව තිබෙන වේලාවක ගිඩියොන් තම මිනිසුන්ව ගඟක් අසලට රැගෙන ගිය බව යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් පවසනවා. සිද්ධ වුණේ එය වුණත් නැතත්, මිනිසුන් වතුර බොන ආකාරය දෙස ගිඩියොන් බලා සිටිනවා. සතුරන්ගේ ප්‍රහාරයක් එනවාදැයි විමසිල්ලෙන් යුතුව බලා සිටින ගමන්ම එක් අතකින් වතුර රැගෙන බොන්නේ මිනිසුන් 300දෙනෙක් පමණයි. ගිඩියොන් සමඟ යන්නේ ඒ වික්‍රමාන්විත මිනිසුන් 300දෙනා පමණයි. (විනිශ්චයකාරයෝ 7:4-8) ඔබ හිතන්න, ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් කියා. ඔබ 1,35,000 කින් යුත් හමුදාවකට මුහුණ දෙන්නයි යන්නේ. අනිවාර්යයෙන්ම ඔබ හිතන්න ඕනෑ ඔබ ජයගන්නේ ඔබගේම ශක්තියෙන් නොව යෙහෝවාගේ ශක්තියෙන් බව!
තවත් සේවකයෙකුද කැටුව මිදියන්වරුන්ගේ කඳවුර අසලට ගොස් ඔත්තු බලන ලෙස දෙවි ගිඩියොන්ට පවසනවා. ඔවුන් දෙදෙනා කඳවුරේ ඔත්තු බලමින් සිටින විට, ගිඩියොන්ට ඇහෙනවා එක්තරා මිනිසෙක් තවත් මිනිසෙකුට යම් සිහිනයක තේරුම තෝරලා දෙනවා. ඔහු එසේ සිහිනය තෝරමින් කියන්නේ දෙවි මිදියන්වරුන්ව ගිඩියොන්ගේ අතට පාවා දීමට තීරණය කර ඇති බවයි. ගිඩියොන්ට අසන්න වුවමනා වන්නෙත් මේ දේමයි. යෙහෝවා මිදියන්වරුන්ට එරෙහිව තමාටත් තමාගේ මිනිසුන් 300දෙනාටත් ජයග්‍රහණය ලබා දෙන බව ඔහුට දැන් සහතිකයි.—විනිශ්චයකාරයෝ 7:9-15.
යුද්ධ උපක්‍රමය
මෙම මිනිසුන් 300දෙනාව එක කණ්ඩායමකට 100 බැගින් කණ්ඩායම් තුනකට බෙදනවා. සෑම කෙනෙකුටම ලැබෙනවා හොරණෑවක් සහ විශාල හිස් කලගෙඩියක්. ඒ වගේම මේ කලගෙඩි ඇතුළේ පන්දමක්ද සඟවලා තිබෙනවා. ගිඩියොන් මුලින්ම දෙන අණ මෙයයි. ‘මා දෙස බලන්න, මා කරන ලෙස කරන්න. මා හොරණෑ පිඹින විට, ඔබත් හොරණෑ පිඹින්න, ඒ එක්කම “යෙහෝවාගේද ගිඩියොන්ද කඩුව” කියා කෑ ගසන්න.’—විනිශ්චයකාරයෝ 7:16-18, 20.
ඊශ්‍රායෙල් භටයන් 300දෙනා සෙමින් සෙමින් ඉතා සීරුවට සතුරු කඳවුරේ අද්දරට ගමන් කරනවා. දැන් වේලාව රාත්‍රි දහයට විතර ඇති. කඳවුරේ මුරකරුවන්ගේ සේවා මුරය අවසන් වුණා විතරයි. මේ දැන් සේවයට ආ මුරකරුවන්ට අන්ධකාරයේ සිදු වන කිසිම දෙයක් හරියට දැකගන්න තවම බැහැ. දැන් තමයි පහර දෙන්න හොඳම වේලාව!
ඔන්න බලන්න මිදියන්වරුන්ට මොකද වෙන්නේ කියලා! අන්ධකාරයේ නිහැඬියාව ඉරාදමමින් එකපාරටම කලගෙඩි 300ක් බිඳෙනවා. හොරණෑ 300ක් නාද වෙනවා, ඒ එක්කම මිනිසුන් 300දෙනෙකුගේ ඝෝෂාව ගුවන සිසාරා විහිදෙනවා. “යෙහෝවාගේද ගිඩියොන්ද කඩුව!” යන ගිගුම් නාදයෙන් බිරාන්ත වන මිදියන්වරු, කරකියා ගන්න දෙයක් නැතුව කෑගහනවා. මේ ඝෝෂාව මැද ඔවුන්ට තමන්ගේ මිනිසුන් කවුද සතුරන් කවුද කියා කොහොමටවත් හඳුනාගන්න බැහැ. ගිඩියොන්ගේ මිනිසුන් 300 දෙනා තමන් සිටපු තැන්වලම ඉන්න කොට දෙවි කරන්නේ සතුරන් ඔවුනොවුන්ම එකිනෙකා කඩුවෙන් මරා ගැනීමට සැලැස්වීමයි. කඳවුරේ සිටින සතුරන් සම්පූර්ණයෙන්ම අසරණ වූ තත්වයකට පත් වෙනවා. කිසිම කෙනෙකුට බේරී යන්න බැහැ. ඔවුන් සියල්ලන්වම මරා දමනවා. බේරී දුවන අයට පිටුපස ලුහුබැඳ ගොස් පහර දෙනවා. මෙසේ කලක් තිස්සේ ඊශ්‍රායෙල් ජාතියට මේ මිදියන්වරුන්ගෙන් පැමිණි කරදර දැන් ඉවරයි.—විනිශ්චයකාරයෝ 7:19-25; 8:10-12, 28.
මේ ජයග්රහණයෙන් පසුත් ගිඩියොන් ක්‍රියා කරන්නේ ඉතාමත් නිහතමානි විදිහටයි. එප්‍රායිම් ගෝත්‍රයේ මිනිසුන් තමන්ව යුද්ධයට සහභාගි කරනොගැනීම නිසා ගිඩියොන් සමඟ අමනාපයෙනුයි ඉන්නේ. ඒ නිසා ඔවුන් ඔහු සමඟ රණ්ඩුවට ආ වෙලේ ඔහු ඔවුන්ට ඒ ගැන පිළිතුරු දෙන්නේ ඉතා මෘදු අන්දමටයි. ඔහුගේ ඒ මෘදු පිළිතුරෙන් ඔවුන්ගේ කෝපය පහ කර ඔවුන්ව සන්සුන් කිරීමට ගිඩියොන් සමත් වෙනවා.—විනිශ්චයකාරයෝ 8:1-3; හිතෝපදේශ 15:1.
දැන් ඊශ්‍රායෙල් ජාතියට සාමය උදා වෙලා! තමන්ගේ රජ බවට පත්වෙන්න කියා මුළු මහත් ජාතියම ගිඩියොන්ගෙන් උදක්ම ඉල්ලනවා. ගිඩියොන්ට රජ වෙන්න මොන තරම් කදිම අවස්ථාවක්ද! හැබැයි ඔහු කොහොමටවත් අමතක කරන්නේ නැහැ මිදියන්වරුන්ගෙන් තම ජාතියට ජයග්‍රහණය ලබා දුන්නේ කවුද කියා. ඒ යෙහෝවායි. ඒ නිසා ඔහු රජකම ප්‍රතික්ෂේප කරනවා. ඔහු සෙනඟට කියන්නේ මෙහෙමයි. “මමවත් මාගේ පුත්‍රයාවත් ඔබ ආණ්ඩු නොකරන්නෙමුව. යෙහෝවා ඔබ ආණ්ඩු කරන්නේය.”—විනිශ්චයකාරයෝ 8:23.
කොහොම වුණත්, ගිඩියොන් හැමවිටම නිවැරදි දේ කළ පුද්ගලයෙක් නොවෙයි. ඔහු අතින්ද වැරදි වුණා. අපනොදන්න කුමක් හෝ හේතුවක් නිසා ඔහු කොල්ලකා ගත් දෙයින් ඒඵොද් සැට්ටයක් සාදවා නුවරේ ප්‍රදර්ශනයට තබනවා. මුළු ඊශ්‍රායෙල් ජාතියම “වේශ්‍යා ලෙස ඒ පස්සේ ගියෝය” කියා බයිබල් වාර්තාවේ පවසා තිබෙනවා. ඔවුන් ඊට නමස්කාර කළා. ඒ විතරක් නොවෙයි, ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ අයටත් ඒක උගුලක් වුණා. එහෙත්, ඔහුව රූප වඳින්නෙකු හැටියට බයිබලයේ වර්ග කරලා නැහැ. ඔහුව හඳුන්වා දී තිබෙන්නේ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ මිනිසෙකු හැටියටයි.—විනිශ්චයකාරයෝ 8:27; හෙබ්‍රෙව් 11:32-34.
අපට ගත හැකි පාඩම
ගිඩියොන්ගේ කතන්දරයෙන් අපිට දිරිගැන්වීමක් වගේම අනතුරු ඇඟවීමක්ද ලබාගන්න පුළුවනි. ඉන් අපට දෙන අනතුරු ඇඟවීම තමයි, අපි දෙවිගේ නීති කඩ කරමින් ජීවත් වුණොත් ඔහු සිය බලය සහ ආශීර්වාද අප කෙරෙන් ඉවත් කර ගන්නා බව. එවිට අපේ තත්වය හරියට පළඟැටියන්ගෙන් පහර ලැබූ දේශයක ජීවත් වන දිලිඳු අන්ත අසරණ වැසියන්ගේ තත්වයට සමානයි. ඒ නිසා අප දෙවි සමඟ ඇති අපේ සම්බන්ධතාව රැකගෙන ජීවත් වෙමු. අප ජීවත් වෙන්නේ ඉතාමත් අර්බුද කාලයකයි. “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත් කරයි; ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය” යන කාරණය අපි කිසිවිටෙකත් අමතක කරන්න හොඳ නැහැ. (හිතෝපදේශ 10:22) අපි ‘සම්පූර්ණ සිතකින් හා කැමැත්තෙන් දෙවිට මෙහෙකරනවා’ නම් අපි දෙවිගේ ආශීර්වාද අද්දකිනවා නියතයි. එසේ නොවුණොත් ඔහු අපව ප්‍රතික්ෂේප කරනවා ඇති.—1 ලේකම් 28:9.
ගිඩියොන් සම්බන්ධ කතන්දරයෙන් අපට ලබා ගත හැකි දිරිගැන්වීම අති මහත්. මන්ද ඕනෑම සතුරු උවදුරකින් අපව ගලවා ගැනීමට යෙහෝවාට හැකි බව ඉන් මනාව ඔප්පු කරනවා. සමහරවිට දුර්වල හෝ අසරණ තත්වයක සිටිනවා කියා පෙනෙන්නට සිටින අය මගින් හෝ ඔහුට තම සෙනඟව ගලවා ගන්නට පුළුවන්. ඒ ගිඩියොන් සහ ඔහුගේ මිනිසුන් 300 දෙනාට පුළුවන්කම තිබුණා මිදියන්වරුන් 1,35,000කගේ බලය සුන් කර දමන්න. අපට එරෙහිව එන සතුරන් දැක අපටත් කිසිම හව්හරණයක් නැහැයි කියා සමහරවිට භය වෙන්න පුළුවන්. එහෙත් ගිඩියොන් සම්බන්ධ මේ සිද්ධිය හොඳින් බලද්දී අපට යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වෙනවා නොවේද? මන්ද ඔහු තමන් කෙරෙහි ඇදහිල්ල තබන සියලුම දෙනාට ආශීර්වාද කර ඔවුන්ව ඕනෑම විපත්තියකින් ගලවා ගන්නවා නොඅනුමානයි.