Skip to content

පටුනට යන්න

යෙහෝවාට සතුටින් සේවය කරන තනිකඩ අය

යෙහෝවාට සතුටින් සේවය කරන තනිකඩ අය

මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය

යෙහෝවාට සතුටින් සේවය කරන තනිකඩ අය

“අපෙන් බොහෝදෙනෙක් විවාහ වෙලා නැතත් අපි ඉන්නේ හරිම සතුටින්,” කියා එක්තරා ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් පැවසුවා. ඇගේ සතුටට හේතුව මොකක්ද? “විවාහ වුණාම කෙනෙකුට ඇති වන නොයෙක් කරදර වේදනාවලින් නිදහස්ව ඉන්න අපි ආසයි. එතකොට අපට අපේ දෙවි යෙහෝවාට වැඩියෙන් සේවය කරන්න පුළුවන්.”

ඇගේ හැඟීම්වලින් තනිකඩභාවය ගැන දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දේ කියා පානවා. බයිබල් ලේඛක පාවුල් විවාහය සම්බන්ධ කාරණා ගැන කතා කරද්දී දෙවිගෙන් ලද මෙවන් උපදෙසක් දුන්නා. “අවිවාහකයන්ට සහ වැන්දඹුවන්ට මා දැන් කියන්නේ, මා සිටින ලෙස ඔවුන්ද දිගටම සිටීම හොඳ බවය.” පාවුල්ද විවාහ වී සිටි කෙනෙක් නොවේ. නමුත් කෙනෙකුට තනිකඩව සිටීමට ඔහු මෙතරම් උනන්දුවෙන් දිරිගැන්වූයේ ඇයි? විවාහ වූ පුද්ගලයෙකු බෙදී සිටින කෙනෙකු බවත්, අවිවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක් “ස්වාමීන්ගේ දේ ගැන කරදර වෙන” බවත් ඔහු කියා සිටියා. (1 කොරින්ති 7:8, 32-34) තනිකඩ පුද්ගලයෙකුට සැබෑ සතුට හා තෘප්තිය ලබා දෙන මූලිකම සාධකය නම් යෙහෝවාට සේවය කිරීමයි.

උදාර අරමුණක් ඇතිව තනිකඩව සිටීම

විවාහ වී දරුවන් ඇති කිරීම ගැන බොහෝ සෙයින් දිරිගන්වන සමාජයක හෝ සංස්කෘතියක සිටින අයට පාවුල් කියන දේ ප්‍රහේලිකාවක් වෙන්නට පුළුවන්. එහෙත්, අවිවාහකව සිටි නමුත් සතුටින්ද තෘප්තියෙන්ද සේවය කළ යේසුස් ක්‍රිස්තුස්ම තනිකඩභාවය ගැන කතා කළේ ශුභවාදී විදිහටයි. එනම් උදාර අරමුණක් උදෙසා යමෙකුට තනිකඩව සිටිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ මෙසේයි. “මිනිසුන් විසින් නපුංසක කරන ලද අයද, ස්වර්ග රාජ්‍යය නිසා තමන්වම නපුංසකයන් කරගත් අයද සිටිති. එම තත්වයට ඉඩ සලසාගත හැකි තැනැත්තා එසේ කරාවා.”—මතෙව් 19:12.

මෙම වචන අදාළ කරගනිමින් බොහෝදෙනෙක් සොයා ගෙන ඇත්තේ තනිකඩව සිටීම නිසා ඔවුන්ට විවාහ ජීවිතයේ තිබෙන නොයෙක් කරදර කම්කටොලුවලින් තොරව දෙවිට සේවය කිරීමට හැකි වී තිබෙන බවයි. (1 කොරින්ති 7:35) ක්‍රිස්තියානීන් දහස් ගණනක් යෙහෝවාට සතුටින් සේවය කරන්නේ විවාහක සහකරුවෙකු හෝ සහකාරියක නොමැතිවයි. තවද තවත් අයට උපකාර කරමින් ඔවුන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. *

සන්තෝෂයෙන් සිටින්නේ විවාහක පුද්ගලයන් පමණක් නොවේ. අවිවාහක ක්‍රිස්තියානීන්ද තම ජීවිතය ගෙවන්නේ හරිම සතුටෙන්. විවාහක හා අවිවාහක යන මේ දෙකොට්ඨාසයම සන්තෝෂය මෙන්ද ශෝකයද විටින් විට අද්දකිනවා. සැබෑව ඒකයි. කොහොම වෙතත්, විවාහ වී සිටින අයට “මාංසයෙහි දුක් ඇති වන” බව බයිබලයේ සඳහන් වෙනවා. එයද ඇත්තක්.—1 කොරින්ති 7:28.

යම් යම් හේතු නිසා තනිකඩව සිටින අය

බොහෝදෙනෙක් තනිකඩව සිටින්නේ එසේ සිටීමට තීරණය කරගෙන තිබෙන නිසා නොවෙයි. තවත් කෙනෙක් සමඟ විවාහ වී ආදරයෙන් සතුටින් පිරි ජීවිතයක් භුක්ති විඳීමට ඔවුන් තුළ ආශාවක් තිබෙනවා විය හැකියි. නමුත් ඔවුන්ට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක සොයාගන්නට හැකි වී නැහැ. තවත් සමහර දෙනෙක් විවාහ නොවී සිටින්නේ ආර්ථික ගැටලු නිසා හෝ වෙනත් හේතු නිසා වෙන්නට පුළුවනි. අප අතර සිටින අපේ ආදරණීය ක්‍රිස්තියානි සහෝදරියන් බොහෝදෙනෙක් “ස්වාමීන් තුළ පමණක්” විවාහ වන ලෙසට දී ඇති බයිබල් උපදෙසට කීකරු වීමට අදිටන් කර ගෙන සිටින බැවින් තනිකඩව සිටිනවා. (1 කොරින්ති 7:39) ඔවුන් විවාහ වෙනවා නම්, එසේ විවාහ වෙන්නේ යෙහෝවාට නමස්කාර කරන බව්තීස්ම ලත් ක්‍රිස්තියානි සහෝදරයෙකු සමඟ පමණයි.

සමහරක් අවස්ථාවලදී අවිවාහක පුද්ගලයන් අද්දකින දෙයක් තමයි තනිකම. තමන්ට මෙසේ හැඟෙන බව පිළිගන්නා එක්තරා තනිකඩ සහෝදරියක් මෙසේ සඳහන් කරනවා. “අපි විවාහය සම්බන්ධයෙන් දෙවිගේ නීතිය දන්නවා. ඒ නිසා කිසිම ආකාරයකින් යෙහෝවාව අසතුටු කිරීමට අපි කැමති නැහැ. අපිට විවාහ වීමට වුවමනාවක් තිබෙනවා වෙන්න පුළුවන්. සත්‍යයේ නැති අය අපිට විවාහක සහකරුවෙක් සොයා දෙන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ අධිෂ්ඨානය අපි නම් අත් හරින්නේ නැහැ. ඇරත් සත්‍යයේ නැති පුරුෂයන් හෝ ස්ත්‍රීන් සමඟ ඇසුරු කරන්නවත් අපි කැමති නැහැ.” කොතරම් මානසික පීඩනයක් යටතේ සිටියත් යෙහෝවාගේ සදාචාර ප්‍රමිති රකිමින් ඔහුව සතුටු කිරීමට උත්සාහ ගන්නා එවැනි අය ඇත්තෙන්ම ප්‍රශංසා ලැබිය යුතුයි.

යෙහෝවා දෙන මහඟු උපකාර

යෙහෝවාට සේවය නොකරන අය සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරමින් යෙහෝවාට විශ්වාසවන්තව ඇලුම්ව සිටින අයට යෙහෝවාද විශ්වාසවන්තව සිටිනවා. තම පෞද්ගලික අද්දැකීමෙන්ම දාවිත්ට මෙසේ කීමට හැකි වුණා. “යෙහෝවා විශ්වාස ඇත්තන් ආරක්ෂා කරන්නේය.” (ගීතාවලිය 31:23) තවද දෙවිට විශ්වාසවන්තව කීකරු වෙන අයට ඔහු පොරොන්දු වන්නේ මෙයයි. “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) අපටත් යෙහෝවා මෙන් ඕනෑම වයස් මට්ටමකට සිටින තනිකඩ සහෝදර සහෝදරියන්ට නොමසුරුව ප්‍රශංසා කළ හැකියි. මන්ද ඔවුන් දේවවචනයට දක්වන්නේ මහත් ඇලුම්කමක්. ඒ වගේම ඔවුන් ඉදිරියේ තිබෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට ශක්තිය දෙන මෙන්ද ඉල්ලා යෙහෝවාට යාච්ඤා කිරීමට අපට හැකියි.—විනිශ්චයකාරයෝ 11:30-40.

තනිකඩ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් බයිබල් අධ්‍යාපනික සේවයක නිරත වී සිටින නිසා ඔවුන්ගේ ජීවිතය අරුත් බවින් පිරිලා. නිදසුනක් වශයෙන් පැට්‍රීෂියා ගැන සලකා බලන්න. ඇය 35වන වියේ පමණ පසුවන අවිවාහක පූර්ණ කාලීන සේවිකාවක්. ඇය මෙසේ කියනවා. “තනිකඩව සිටීම නිසා යම් යම් පරීක්ෂා මට තිබුණත් ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට මට ඒ නිසා හැකි වෙලා තිබෙනවා. මම අවිවාහක කෙනෙක් නිසා මගේ කාල සටහන එහාට මෙහාට කරගන්න පුළුවන්. ඒ නිසා මට බයිබලය අධ්‍යයනය කරන්නත් සෑහෙන කාලයක් තියෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම කරදර ගැටලු තිබෙන අවස්ථාවලදී යෙහෝවා කෙරෙහි වැඩියෙන් රඳා සිටින්නත් ඉගෙනගත්තා.”

එවැනි හැඟීම්, බයිබලය දෙන මේ පොරොන්දුවට කොතරම් එකඟද! “ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න. ඔහු කෙරෙහි විශ්වාස කරන්න. ඔහු එය ඉෂ්ට කරන්නේය.” (ගීතාවලිය 37:5) ඇත්තවශයෙන්ම, විවාහක හෝ අවිවාහක හෝ වේවා යෙහෝවාට නමස්කාර කරන සියලු දෙනාටම දේවානුභාවයෙන් ලියන ලද මේ වචනවලින් සැනසීම හා ශක්තිය ලබා ගත හැකියි. ‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය.’—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2005 දින දර්ශනයේ ජූලි/ අගෝස්තු මාස බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අවිවාහක පුරුෂයා ස්වාමීන්ව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්ගේ දේ ගැන කරදර වන්නේය”1 කොරින්ති 7:32.

[8වන පිටුවේ කොටුව]

තනිකඩව සිටීමෙන් නිසි ප්‍රයෝජන ගැනීම

කිසිවිටෙකත් විවාහ නොවී සිටි යේසුස් මෙසේ කීවා. “මාගේ කෑම නම් මා එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.”—යොහන් 4:34.

ෆිලිප්ගේ අවිවාහක දූවරු හතර දෙනා ‘අනාවැකි කීවා.’ක්‍රියා 21:8, 9.

දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කරන තනිකඩ ක්‍රිස්තියානි සහෝදරියන්, එනම් ‘ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රියෝ මහත් සේනාවක්ය.’ගීතාවලිය 68:11.