Skip to content

පටුනට යන්න

රුසියාවේ පැරණිතම පුස්තකාලයේ බයිබලයකින් විහිදෙන “ආලෝකය”

රුසියාවේ පැරණිතම පුස්තකාලයේ බයිබලයකින් විහිදෙන “ආලෝකය”

රුසියාවේ පැරණිතම පුස්තකාලයේ බයිබලයකින් විහිදෙන “ආලෝකය”

එක්තරා විශාරදයන් දෙදෙනෙක් පැරණි බයිබල් අත් පිටපත් සොයමින් සිටියා. ඔවුන් දෙදෙනා වෙන වෙනම කාන්තාර මැදින් ගමන් කොට ගල් ගුහා, ආරාම හා පැරණි කඳු ශිඛරවල මෙම පිටපත් සොයන්නට වුණා. වසර ගණනාවකට පසුව හමුවූ මේ අත්පිටපත් රුසියාවේ පැරණිතම මහජන පුස්තකාලයක තැන්පත් කරනු ලැබුවා. ඒවා ලෝකයේ බොහෝදෙනාගේ කුතුහලයට භාජන වූ අත්පිටපත්. මෙම මිනිසුන් දෙදෙනා කවුරුන්ද? ඔවුන් සොයාගත් මේ වටිනා අත්පිටපත් රුසියාවට ගියේ කොහොමද?

පැරණිතම අත්පිටපත් දේවවචනයේ සත්‍යතාව තහවුරු කරයි

මේ එක් විශාරදයෙකුගේ තොරතුරු ගැන සොයා බැලීමට අපට 19වන සියවසේ ආරම්භයට යන්නට සිදු වෙනවා. ඒ කාලයේදී තමයි යුරෝපයේ බුද්ධිමය විප්ලවයක් හෙවත් නව සොයාගැනීම් සිදු වුණේ. මේ යුගයේ ඇති වුණ විද්‍යාත්මක ප්‍රගතිය හා සංස්කෘතිමය වෙනස්කම් නිසා සාම්ප්‍රදායික විශ්වාසයන් ගැන සැක පහළ වෙන්නට පටන් ගත්තා. උගත් විවේචකයෝ බයිබලය දෙවිගෙන් පැමිණියාද යන්න ගැන සැක මතු කළා. එපමණක් නොවෙයි, ඇතැම් විශාරදයන් බයිබලයේ නිවැරදිභාවය ගැන ප්‍රසිද්ධියේම ප්‍රශ්න කරන්නට වුණා.

බයිබලයට පක්ෂව කතා කළ සමහරක් අවංක පුද්ගලයන් සිතුවා කවදාහරි පැරණිතම බයිබල් අත්පිටපත් සොයාගත්තොත් කිසිම සැකයක් නැතිව දෙවිගේ වචනයේ නිවැරදි බව තව තවත් තහවුරු කරන්නට හැකිවේය කියා. මන්ද බොහෝ කාලයක් මුළුල්ලේ බයිබලය විනාශ කර දමන්නට හෝ එහි පණිවුඩය විකෘති කරන්නට ඇතමුන් දැඩි උත්සාහයක නිරත වෙමිනුයි සිටියේ. ඒ නිසා එවකට පැවති අත්පිටපත්වලටත් වඩා පැරණි අත්පිටපත් හමුවුණොත් ඒවා බයිබලයේ සඳහන් දේ නිවැරදි බව ඔප්පු කරන නිහඬ සාක්ෂි හැටියට සැලකිය හැකිය යන දැඩි විශ්වාසය බයිබලයට පක්ෂව කතා කළ අවංක අය තුළ තිබුණා. එපමණක්ද නොවෙයි, බයිබලයේ ලියා ඇති දේට යම් අමතර දේවල් එකතු කර ඇති තැන් පැහැදිලිව සොයාගෙන ඒවා නිවැරදි කරන්නටත් මේ පැරණිතම අත්පිටපත් මගින් හැකි වේවි කියාද ඔවුන් කල්පනා කළා.

බයිබලයේ නිවැරදිභාවය ගැන කරන ලද ඉතා උණුසුම්ම විවාදය පැවැත්වුණේ ජර්මනියේයි. එහි එක්තරා තරුණ මහාචාර්යවරයෙක් තමාගේ සරසවි අධ්‍යාපන කටයුතු පසෙක දමා බයිබල් අත්පිටපත් සොයා ගවේෂණයක යෙදෙන්නට පටන් ගත්තා. ඔහුගේ නම කොන්ස්ටන්ටින් ෆොන් ටිෂෙන්ඩෝෆ්. ඔහු බයිබල් විශාරදයෙක්. තවද ඔහු බයිබලය විවේචනය කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට හැකි වුණා බයිබලයේ සත්‍යතාව ඉතා සාර්ථක ලෙස තහවුරු කරන්නට. වර්ෂ 1844දී ඔහු පළමු වතාවට සීනායි කඳුකරයට ගමන් කළා. එහිදී ඔහුට ලැබුණේ හිතුවාටත් වඩා හොඳ ප්‍රතිඵල. එක්තරා ආරාමයක් ඇතුළට නිකම්ම බැල්මක් හෙළූ සැණින්ම කුණු බහාලන භාජනයක දමා තිබූ වස්තුවක් ඔහුගේ නෙත ගැටුණා. ඒ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ග්‍රීක් පරිවර්තනයක් වූ සෙප්ටූඅජින්ට් නම් පැරණි පිටපතක්. එවකට සොයාගත් පැරණිතම පිටපත වුණේ එයයි.

මහත් සේ ප්‍රීති උද්දාමයට පත් වූ ටිෂෙන්ඩෝෆ් එහි තිබූ ලියවිලි 43ක් රැගෙන යන්නට සමත් වුණා. තවත් පිටපත් ලබාගන්නට හැකි වේය යන විශ්වාසයෙන් එම ආරාමය කරා නැවත ගිය ඔහුට දැකගත හැකි වුයේ ලියවිලිවල කැබලි පමණයි. ඒ වර්ෂ 1853දී. ඉතිරි ඒවාට සිදු වී තිබුණේ කුමක්ද? ඒවාට කුමක්ද වුණේ කියා අපට මෙය කියවද්දී පසුව තේරුම් යාවි. ගමනට ඔහු අත තිබූ මුදල් අවසන් වී තිබුණා. ඒ නිසා ටිෂෙන්ඩෝෆ්ට සිදු වුණා ධනවත් පුද්ගලයෙකුගේ උපකාර ලබාගන්නට. තවත් පැරණි පිටපත් සොයා නැවත වරක් තම මව්බිමින් පිටවෙන්නට ඔහු තීරණය කළා. මේ කාර්යයට අතගැසීමට පෙර ඔහු තවත් යමක් කරන්නට ඉටාගත්තා. ඒ තමයි රුසියාවේ රජුගෙන් යම් අවසරයක් පැතීම.

රුසියාවේ රජුගේ උනන්දුව

රුසියාව යනු රුසියානු ඕතඩොක්ස් ආගම තදින් මුල් බැස ගත් රටක්. මේ නිසා රෙපරමාදු බයිබල් විශාරදයෙකු වූ තමාට රුසියාවේ රජුගෙන් මීට කුමන ප්‍රතිචාරයක් ලැබේවිද කියා ටිෂෙන්ඩෝෆ් කල්පනා කරන්නට ඇති. නමුත් ආගමික පැත්තෙන් හා වෙනත් වෙනත් ආකල්ප සම්බන්ධයෙන් රුසියාව මේ වන විට යම් යම් වෙනස්කම්වලට භාජන වෙමින් තිබුණා. එය ටිෂෙන්ඩෝෆ්ගේ වාසියට හේතු වුණා. රුසියාවේ ජනයාට අධ්‍යාපනයේ වටිනාකම අවධාරණය කෙරුණු නිසා 1795දී අධිරාජ්‍යයාගේ බිසව වූ දෙවන කැතරින් විසින් සාන්ත පිටර්ස්බර්ග් නගරයේ රාජකීය පුස්තකාලය පිහිටුවනු ලැබුවා. එය රුසියාවේ පළමුවෙනි මහජන පුස්තකාලයයි. එය මිලියන ගණනකට ප්‍රයෝජන ගත හැකි මුද්‍රිත පොත් පත් කන්දරාවක් අඩංගු මහා පුස්තකාලයක්.

යුරෝපයේ තිබූ හොඳම පුස්තකාල අතුරින් එකක් ලෙස මෙම රාජකීය පුස්තකාලයට ඉහළ තැනක් හිමි වුණත් එහි එක් අඩුවක් තිබුණා. එය පිහිටුවා වසර පනහක් ගත වූ පසුද එහි තිබුණේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල අත්පිටපත් හයක් පමණයි. බයිබලය ලියනු ලැබූ භාෂාවන් හා එහි පරිවර්තන ගැන රුසියාවේ ජනයා දැක්වූ උනන්දුව සන්සිඳුවන්නට මෙම ස්වල්ප පිටපත් ගණන කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ නිසා දෙවන කැතරින් බිසව කළේ හෙබ්‍රෙව් භාෂාව හැදෑරීම පිණිස විශාරදයන්ව යුරෝපීය සරසවි කරා පිටත්කර යැවීමයි. මෙම විශාරදයන් නැවත ආ පසු රුසියාවේ ඕතඩොක්ස් සෙමනේරිවල හෙබ්‍රෙව් භාෂාව ඉගැන්වීමේ පාඨාමාලා ආරම්භ වෙන්නට පටන්ගත් අතර, පළමු වතාවට රුසියානු විශාරදයන් හෙබ්‍රෙව් බයිබලය රුසියානු භාෂාවට නිවැරදිව පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කළා. නමුත් ඔවුන්ට මේ සඳහා බාධක තිබුණා. එකක් නම් ඒ සඳහා අවශ්‍ය මුදල් නැතිකම. අනෙක පල්ලි නායකයන්ගෙන් පැමිණි විරුද්ධවාදිකම්. බයිබල් දැනුම සොයන අයට ආලෝකය තවම ගලා ආවේ නැහැ.

දෙවන ඇලෙක්සැන්ඩර් නම් වූ රජ ටිෂෙන්ඩෝෆ්ගේ ගමනට දැඩි සේ ප්‍රසාදය පළ කර ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය උපකාරද දානය කළා. මේ ගැන ඇතමුන් “ඊර්ෂ්‍යා සහගත ලෙස හා උමතු ලෙස විරුද්ධ වූ” බව එක්තරා මූලාශ්‍රයක සඳහන් වෙනවා. නමුත් මේ බාධක මැද වුවත් සීනයි කඳුකරය කරා ගමන් ගත් ටිෂෙන්ඩෝෆ් නැවත ආවේ සෙප්ටූඅජින්ට් * පිටපත්වල ඉතිරියද රැගෙනයි. පසුව කොඩෙක්ස් සයිනයිටිකස් ලෙස නම් කෙරුණු මෙම පිටපත, තවමත් ලොව සතු පැරණිතම බයිබල් අත්පිටපත්වලින් එකක්. නැවතත් සාන්ත පිටර්ස්බර්ග් නගරය කරා ආ ටිෂෙන්ඩෝෆ් හනික රජුගේ මාලිගයට ගියා. ඔහු රජුට යෝජනා කළේ තමා සොයාගත් මෙම අත්පිටපත් “බයිබල් අධ්‍යයනය සඳහා ඉතා වැදගත් වූ කෘතියක්” ලෙස ප්‍රකාශයට පත් කර පසුව එය රාජකීය පුස්තකාලයේ තැන්පත් කරන ලෙසටයි. රජු මීට එකඟත්වය පළ කළා. මින් මහත් ප්‍රමෝදයට පත් ටිෂෙන්ඩෝෆ් පසුව ලීවේ මෙසේයි. “අපේ යුගයට දෙවිගේ අනුග්‍රහය ලැබිලා. . . . සීනයි කඳුකරයේ තිබී හමු වූ මේ බයිබල් අත්පිටපත් අපට මහත් එළියක්. දේවවචනයේ ලියා ඇති සැබෑ දේ කුමක්ද කියා දැනගෙන බයිබලයේ නිවැරදිභාවය තහවුරු කිරීමට මෙය මහඟු අත්වැලක් කියා සැලකිය හැකියි.”

ක්‍රිමියා නම් ප්‍රදේශයෙන් සොයාගත් බයිබල් පිටපත්

අප මේ ලිපියේ ආරම්භයේදී බයිබල් අත්පිටපත් සොයා ගිය තවත් විශාරදයෙක් ගැන සඳහන් කළා ඔබට මතකද? ඔහු කවුද? ටිෂෙන්ඩෝෆ් ආපසු රුසියාවට ඒමට වසර කිහිපයකට පෙරාතුව, බයිබල් අත් පිටපත් රාශියක් රාජකීය පුස්තකාලයට ලැබුණා. ඒවා කොතරම් වටිනවාද කියතොත් එය රජුගේ අවධානය ඇදගත්තා පමණක් නොව යුරෝපය පුරා විසූ විශාරදයන් ඒවා දැකබලා ගන්නට රුසියාවට පැමිණියා. තමන් දුටු දෙයින් ඔවුන්ට තම ඇස් අදහාගන්නට පවා බැරි වුණා. මන්ද ඔවුන් ඉදිරියේ තිබුණේ විශාල අත්පිටපත් රාශියක් හා වෙනත් පොත් පත් මහත් ගණනක්. එහි නොයෙක් ලියවිලි 2,412ක් තිබූ අතර ඊට අත්පිටපත් සහ හකුලන ලද ලියවිලි 975ක් ඇතුළත් වුණා. ඒවා අතර දහවන සියවසට පෙර සම්පාදනය කළ පැරණි බයිබල් අත්පිටපත් 45ක්ද දක්නට තිබුණා. මෙහි තිබෙන අනික් පුදුමය නම් මේ සියලුම ලියවිලි සම්භාරය සොයාගන්නා ලද්දේ එක මිනිසෙකු විසින් වීමයි. ඔහුගේ නම අව්රාම් ෆර්කොවිච්. ඔහු 70 විය පවා පසු කර තිබූ ඛාරායිට්වරයෙක්! ඛාරායිට්වරු කියන්නේ කාටද? *

මෙම ප්‍රශ්නය රුසියාවේ රජුගේ මහත් උනන්දුවට ලක්වූ කාරණයක්. මීට පෙර වෙනත් රාජ්‍යයන්ට අයත්ව තිබූ ප්‍රදේශයන් තමන්ට අයත් වන පරිදි රුසියාව දැන් තමන්ගේ දේශ සීමා පුළුල් කරගෙනයි තිබුණේ. මේ හේතුවෙන් අලුත් වාර්ගික ජාතීන් අධිරාජ්‍යයේ යටත් වැසියන් බවට පත් වී තිබුණා. කලු මුහුදේ වෙරලබඩ ආශ්‍රිතව පිහිටා තිබූ ක්‍රිමියා නම් චමත්කාරජනක ප්‍රදේශය ජනාවාස වී තිබුණේ, යුදෙව්වන් මෙන් පෙනෙන්ට තිබූ නමුත් තුර්කි ජාතිකයන්ගේ සිරිත් විරිත් පිළිපැද්දාවූ තුර්කි ජනයාට ආවේනික වූ භාෂාවක් කතා කළ පිරිසකගෙන්. මේ අය මෙම ඛාරායිට්වරුන් ලෙස හැඳින්විය හැකියි. ක්‍රි.පූ. 607 යෙරුසලමේ විනාශයෙන් පසුව බැබිලෝනියට පිටුවහල් කළ යුදෙව්වන්ගෙන් ඔවුන් පැවතෙනවා. කෙසේවෙතත්, රබ්බිවරුන්ගෙන් සමන්විත යුදෙව්වන් මෙන් නොව, මොවුන් තල්මුද් ග්‍රන්ථය පිළිනොගත් පිරිසක්. නමුත් ඔවුන් වැඩි අවධානයක් දුන්නේ ශුද්ධ ලියවිලි කියවීම ගැනයි. ක්‍රිමියා යන මේ ප්‍රදේශයේ විසූ ඛාරායිට්වරුන් තමන් රබ්බිවරුන්ගෙන් සමන්විත යුදෙව්වන්ට වඩා වෙනස් බව පෙන්වන්නට රුසියාවේ රජට සාක්ෂි ඉදිරිපත් කළේ ඉතා උනන්දුවකින්. මන්ද ඒ මගින් තමන්ට රජුගේ අධිරාජ්‍යය තුළ වෙනම අයිතිවාසිකම් ලබාගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා. ඒ වගේම ඛාරායිට්වරුන් තමන් සතුව තිබූ ඉපැරණි අත්පිටපත් රජුට ඉදිරිපත් කිරීමටත් දැඩි උනන්දුවකින් සිටියා. ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වුණේ තමන් බැබිලෝනිය වහල් භාවයෙන් පසුව ක්‍රිමියා කරා ආ යුදෙව්වන්ගෙන් පැවතෙන පිරිසක් බව රජුට ඔප්පු කිරීමටයි.

මෙසේ, ඛාරායිට්වරයෙකු වූ ෆර්කොවිච් තම ඉපැරණි වාර්තා හා අත්පිටපත් සෙවීමට පටන්ගත් අවස්ථාවේ ඔහු මුලින්ම එය ආරම්භ කළේ ක්‍රිමියා ප්‍රදේශයට අයත් චුෆුට් කේල් නම් ගිරි ශිඛර අසල වාසභූමිවලිනුයි. ඛාරායිට්වරුන් යනු පරම්පරා ගණනාවක් මෙම ප්‍රදේශයේ ගිරි ශිඛරවලින් තනාගත් කුඩා වාස භවනවල ජීවත් වූ පිරිසක්. ශුද්ධ ලියවිලිවල යෙහෝවා යන දිව්‍ය නාමය සඳහන් වූ පිටපත් දිරාපත් වී තිබුණත් ඛාරායිට්වරුන් කිසිදා ඒවා විනාශ කළේ නැහැ. මන්ද පෙනෙන විදිහට ඒවා විනාශ කිරීම ඔවුන් සැලකුවේ ඉතා දරුණු පාපයක් හැටියටයි. මෙම අත්පිටපත් කුඩා ගබඩා ගෙයක ඉතා පරෙස්සමට සඟවා තිබුණා. මන්ද දිව්‍ය නාමය කෙරෙහි ඛාරායිට්වරුන්ට තිබුණේ ඉතා ගැඹුරු ගෞරවයක්. ඒ නිසා එය සඳහන් වී ඇති සත්ව හම් කොටස් අතින් අල්ලනු ලැබුවේද ඉතා කලාතුරකින්.

සියවස් ගණනාවක් තිස්සේ දූවිලි බැඳෙමින් තිබූ මෙම ලියවිලි අඩංගු මෙම කුඩා ගබඩා ගෙවල්වලට ඇතුල් වූ ෆර්කොවිච් එම ලියවිලි ගැන සොයා බැලුවේ ඉතා පරෙස්සමින්. ඉන් එක් ගබඩා ගෙයක තිබී ඔහුට අත්පිටපතක් හමු වුණා. එය ක්‍රි.ව. 916දී පමණ ලියන ලද අත්පිටපතක්. එය පසුව ඉතා ප්‍රසිද්ධියට පත්වුණා. මෙය හැඳින්වුණේ පසුකාලීන අනාගතවක්තෲන්ගේ පිටර්ස්බර්ග් බයිබලය යනුවෙන්. එය දැනට පවතින ඉපැරණිම හෙබ්‍රෙව් බයිබල් පිටපත්වලින් එකක්.

මෙසේ ෆර්කොවිච්ට අත්පිටපත් රාශියක් සොයාගන්නට හැකි කම ලැබුණා. වර්ෂ 1859දී ඔහු මෙම පිටපත් සියල්ලම රාජකීය පුස්තකාලයට භාර දෙන්නට තීරණය කළා. වර්ෂ 1862, දෙවන ඇලෙක්සැන්ඩර් රජතුමා මෙම පොත් තොගයම එවකට විශාල මුදලක් වූ එනම් රූබල් 1,25,000ක පමණ මුදලක් දී ඒවා පුස්තකාලයට ලබා ගැනීමට අත හිත දුන්නා. ඒ කාලයේදී මුළු පුස්තකාලයටම වාර්ෂිකව ලැබුණු අරමුදල් වූයේ රූබල් 10,000ක් පමණ මුදලක් පමණයි! මෙම ලියවිලි තොගයට අලුතින් සොයාගත් මෙම ලෙනින්ගාඩ් අත්පිටපත්ද (B 19A) ඇතුළත් වුණා. එය වර්ෂ 1008දී සම්පාදනය කරන ලද්දක්. ඒ වගේම එය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ වඩාත්ම පැරණි සම්පූර්ණ බයිබලයයි. එක් විශාරදයක් සඳහන් කළ පරිදි, එය “බයිබලයේ වඩාත් වැදගත් වූ අත්පිටපත විය හැකියි. මන්ද නවීන හෙබ්‍රෙව් බයිබල් බොහොමයක්ම පදනම් වී ඇත්තේ ඒ මතයි.” (මේ සමඟ ඇති කොටුව බලන්න) එම වසරේදීම, එනම් 1862දීම, ටිෂෙන්ඩෝෆ් විසින් සීනයි කඳුකරය අසලින් සොයාගත් බයිබලයද ප්‍රකාශයට පත් වූ අතර ලොව වටා බොහෝදෙනෙකුගේ ගෞරවයට එයද පාත්‍ර වුණා.

අද දින බයිබලයෙන් ලැබෙන ආලෝකය

රුසියාවේ ජාතික පුස්තකාලය යනුවෙන් දැන් හැඳින්වෙන පුස්තකාලයේ තමයි ලෝකයේ වැඩියෙන්ම රැස් කරගත් අත්පිටපත් තිබෙන්නේ. * රුසියාවේ පසුගිය කාලයේ සිදු වූ වෙනස්කම්වලට අනුව සියවස් දෙකක පමණ කාලයක් පුරා මෙම පුස්තකාලයේ නමද වෙනස්කම්වලට භාජන වුණා. ඒ නම් අතුරින් රජයේ සෝල්ටිකෝෆ් ෂෙචෙඩ්‍රින් මහජන පුස්තකාලය යන නාමය වඩාත් සුප්‍රකට නාමයක්. විසිවන සියවසේදී දරුණු යුද්ධ හා වෙනත් අර්බුදකාරී තත්වයන් ඇති වුණු බැවින් පුස්තකාලයට යම් හානි සිදු වුණා. නමුත් මේ සියල්ලද, ලෝක මහා යුද්ධ දෙකද අබිබවා ඉන් පසුව ලෙනින්ග්‍රැඩ් නගරය වැටලූ අවස්ථාවේදීත් මෙම අත්පිටපත් ආරක්ෂා වුණා. අපට මෙම අත්පිටපත්වලින් කෙසේ ප්‍රයෝජන ගත හැකිද?

පැරණි අත්පිටපත් අදදින බොහෝ බයිබල් පරිවර්තන සඳහා ඉතා විශ්වාසවන්ත මූලාශ්‍රයන්. අවංකව සත්‍යය සොයන අයට ඒවා නිසා පැහැදිලිව ශුද්ධ ලියවිල්ල කියවා තේරුම්ගැනීමට හැකි වී තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් 1961දී සම්පූර්ණ වශයෙන් නිකුත් කරන ලද ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනයට කෝඩෙක්ස් සයිනයිටිකස් [සීනයි කඳුකරය අසලින් සොයාගන්නා ලද අත්පිටපත්] සහ ලෙනින්ගාඩ් අත්පිටපත් බොහෝ සෙයින් දායක වී තිබෙනවා. නිදසුනක් වශයෙන්, නව ලොව බයිබල් පරිවර්තන කමිටුව විසින් භාවිත කරන ලද Biblia Hebraica Stuttgartensia සහ Kittel’s Biblia Hebraica, පදනම් වී ඇත්තේ ලෙනින්ගාඩ් අත්පිටපත් මතයි. තවද මුල් හෙබ්‍රෙව් බයිබලයේ තිබූ ආකාරයටම එහි දිව්‍ය නාමය 6,828 වතාවක් සඳහන් වෙනවා.

සාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි මේ සුවිශාල පුස්තකාලයේ අත්පිටපත් රාශියක් තැන්පත් වී තිබෙනවා. සමහරක් අත්පිටපත් එම නුවර මීට කළින් තිබූ නම වන ලෙනින්ග්‍රෑඩ් යන නම දරනවා. මේ සියලු අත්පිටපත් ගැන අගය දක්වන්නේ බයිබලය කියවන අය අතරින් ස්වල්පදෙනෙක් පමණයි. එහෙත් අප මුළුමනින්ම කෘතඥ පූර්වක විය යුත්තේ අපට සැබෑ ආලෝකය හා ඥානය ලබා දෙන බයිබලයේ කර්තෘවරයාණන් වන යෙහෝවා දෙවිටයි. ගීතිකාකරු මෙසේ ආයාචනා කළේ එම නිසයි. “ඔබගේ එළියත් ඔබගේ සැබෑවත් එව්ව මැනව. ඒවා මා ගෙන යත්වා.”—ගීතාවලිය 43:3.

[පාදසටහන්වල]

^ 11 ඡේ. ක්‍රිස්තු වර්ෂ හතරවෙනි සියවස දක්වා දිවෙන ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සම්පූර්ණ පිටපතක්ද ඔහු ගෙන ආවා.

^ 13 ඡේ. ඛාරායිට්වරු පිළිබඳ වැඩි දුර විස්තර දැනගැනීම සඳහා 1995 ජූලි 15දා මුරටැඹ කලාපයේ “ඛාරායිට්වරු සහ සත්‍යය සඳහා ඔවුන්ගේ ගවේෂණය” යන ලිපිය බලන්න.

^ 19 ඡේ. සීනයි කඳුකරය අසලින් සොයාගත් අත්පිටපත් බොහොමයක් පසුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට විකුණනු ලැබුවා. රුසියාවේ ජාතික පුස්තකාලයේ ඉතුරු වූයේ ඒවායේ යම් යම් කැබලි පමණයි.

[13වන පිටුවේ කොටුව]

එවකට දැන සිටි දිව්‍ය නාමය හා එහි භාවිතය

යෙහෝවා දෙවි ඉතා ප්‍රඥාවන්තව තම නාමය ඔහුගේ වචනය වන බයිබලය තුළ වර්තමාන කාලය දක්වා ආරක්ෂා කරගැනීමට පියවර ගත්තා. මෙසේ ආරක්ෂා කිරීම සඳහා බයිබලය පිටපත් කරන්නන් යුග ගණනාවක් පුරා දැරුවේ මහත් උත්සාහයක්. ඉතා සියුම් ලෙස පිටපත් කරන්නන් අතර ප්‍රධාන තැනක් ගත්තේ මැසරීට්වරුන්. ඔවුන් ක්‍රි.ව. හයවන සියවස සිට දහවන සියවස දක්වා හෙබ්‍රෙව් ලේඛන පිටපත් කළ අයයි. ඉපැරණි හෙබ්‍රෙව් අකුරු ලියන ලද්දේ ප්‍රාණාක්ෂර නැතිවයි. හෙබ්‍රෙව් භාෂාව වෙනුවට ඇරමයික භාෂාව ප්‍රචලිත වෙන්න පටන්ගත් නිසා කල් යත්ම දෙවිගේ නාමය හෙබ්‍රෙව් බසින් උච්චාරණය කරන අන්දම අමතක වී යයි යන බිය පැවතුණා. මේ අනුව දිව්‍ය නාමයේ හෙබ්‍රෙව් වචනය නිවැරදිව උච්චාරණය කිරීම පිණිස මෙම මැසරීට්වරුන් බයිබල් ලියවිලි තුළ ප්‍රාණාක්ෂර දැක්වීමට සංකේත භාවිත කරන ක්‍රමයක් සකස් කළා.

මෙහි කැපීපෙනෙන දෙයක් නම් ලෙනින්ගාඩ් අත්පිටපත්වල සඳහන් ප්‍රාණාක්ෂර සංකේතවලින් අඟවන්නේ දිව්‍ය නාමය උච්චාරණය කිරීම සඳහා යම් ක්‍රමයක් තිබෙන බවයි. දිව්‍ය නාමයට අදාළ හෙබ්‍රෙව් ගාත්‍රාක්ෂර හතර යෙහ්වා, යෙහ්වි, සහ යෙහෝවා යන ආකාරවලින් උච්චාරණය කළ හැකි බව මින් පේනවා. ඒ වගේම “යෙහෝවා” යන්න දෙවිගේ නාමය උච්චාරණය කෙරෙන දැනට වඩාත් පිළිගැනෙන ක්‍රමය බවත් තව දුරටත් මින් පෙනී යනවා. තවද මෙම දිව්‍ය නාමය ජීවමාන වූද බයිබලයේ ලේඛකයන්ට හා පුරාණයේ විසූ වෙනත් අයටද හුරුපුරුදු වූ නාමයක් වූ බවද පෙනී යනවා. ඔවුන් ඉතා විශ්වාසවන්තව තමන්ගේ කාර්යය කරමින් එය පිටපත් කළා. අද දෙවිගේ නාමය මිලියන ගණනක් දෙනා දැන සිටිනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන් පිළිගන්නවා ‘යෙහෝවා නම් දෙවි පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස් බව.’—ගීතාවලිය 83:17.

[10වන පිටුවේ පින්තූරය]

ජාතික පුස්තකාලයේ කාමරයක තිබෙන අත්පිටපත්

[11වන පිටුවේ පින්තූරය]

දෙවන කැතරින් බිසව

[11වන පිටුවේ පින්තූර]

කොන්ස්ටන්ටින් වොන් ටිෂෙන්ඩෝෆ් (මැද) සහ රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් රජතුමා

[12වන පිටුවේ පින්තූරය]

අව්රාම් ෆර්කොවිච්

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූප දෙකම: සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු ජාතික කෞතුකාගාරයෙනි

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

දෙවන කැතරින් බිසව: සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු ජාතික කෞතුකාගාරය; දෙවන ඇලෙක්සැන්ඩර් රජතුමා: ලීප්සිග් නගරයේදී වර්ෂ 1898දී පළ කරන ලද Spamers Illustrierte Weltgeschichte පොතෙනි.