Skip to content

පටුනට යන්න

සත්‍යය ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

සත්‍යය ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

සත්‍යය ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

ටිබෙට් රටේ එක්තරා මිනිසෙක් සිලින්ඩරාකාර කුඩා බෙරයක් කරකවනවා. එම බෙරය ඇතුළේ දෙවියන්ට ලියන ලද යාච්ඤා සඳහන් කඩදාසි කැබලිදමා තිබෙනවා. මේ මිනිසා විශ්වාස කරන්නේ බෙරය කරකවන සෑම වතාවකදීම තමාගේ යාච්ඤා නැවත නැවතත් දෙවියන්ට ඔප්පු වෙන බවයි. ඉන්දියාවේ එක්තරා නිවසක දේවතාවුන්ගේ ප්‍රතිමා ඉදිරිපිට දුම්, මල් සහ වෙනත් දේවල් පූජා කිරීම සඳහා කුඩා කාමරයක් වෙන් කර තිබෙනවා. ඉන්දියාවේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි ඉතාලියේ කාන්තාවක් යේසුස්ගේ මව වන මරියාගේ ප්‍රතිමාවක් ඉදිරිපිට කොන්තයක් තම දෑතේ පටලවාගෙන යාච්ඤා කරනවා.

මේ අනුව, මිනිසුන්ගේ ජීවිතවලට ආගම කොතරම් බලපෑමක් කරනවාද කියා සමහරවිට ඔබම දැක ඇති. “ආගම ලොව පුරා මිනිස් සමාජයේ ප්‍රධාන අංගයක් බවට පත් වී තිබෙන්නේ දිගු කාලයක් මුළුල්ලේයි” කියා ලෝකයේ පවතින ආගම් ගැන අවබෝධ කරගැනීම නමැති එක්තරා පොතක සඳහන් වෙනවා (සිංහලෙන් නැත). ජෝන් බෝකර් නැමැත්තා දෙවියන් ඇදහීම පිළිබඳ කෙටි ඉතිහාසයක් යන තම පොතේ සඳහන් කරන්නේ මෙහෙමයි. “මිනිසා දෙවියන්ව තම ජීවිතයට සම්බන්ධ කර නොගත් කාලයක් තිබුණේ නැති තරම්. දෙවියන් විශ්වයේ පාලකයා බවද මැවුම්කරු බවද පොදුවේ පිළිගැනේ. දෙවියන් පිළිබඳ විශ්වාසයට දිරි නොදෙන සමාජයන් තුළද මෙය සැබෑවක්.”—සිංහලෙන් නැත.

ඇත්ත වශයෙන්ම ආගම් මිනිසුන් මිලියන ගණනකගේ ජීවිතවලට බලපෑම් කර තිබෙනවා. මේ අනුව දෙවිට නමස්කාර කිරීමට මිනිසාට දැඩි අවශ්‍යතාවක් හා ආශාවක් තිබෙන බව මින් පෙනී යන්නේ නැද්ද? සුප්‍රකට මනෝවිශේෂඥ කාල් ජී. යුං නැමැත්තා ලියූ පොතක කියා සිටියේ තමන්ට වඩා උසස් කෙනෙකුට නමස්කාර කිරීමට මිනිසාට අවශ්‍යතාවක් තිබෙන බවයි. තවද “ඒ බව මිනිස් ඉතිහාසයේ පුරාම අපට පැහැදිලිව දිස්වෙනවා” යයිද ඔහු පවසනවා.—The Undiscovered Self.

එසේ වුවත්, බොහෝදෙනෙකුට දෙවියන් ගැන කිසිදු විශ්වාසයක්වත් ආගම කෙරෙහි කිසිම උනන්දුවක්වත් නැහැ. දෙවිගේ පැවැත්ම ගැන සැක කරන හෝ ප්‍රතික්ෂේප කරන ඇතමුන්ට එවැනි හැඟීමක් ඇති වී තිබෙන්නේ තමන් දැන සිටින ආගම් මිනිසා තුළ දෙවිව සෙවීමට ඇති ආශාවන් සපුරාලීමට අසමත් වී ඇති බව තේරුම්ගෙන තිබෙන නිසයි. ආගමක් අදහන කෙනෙක් කියන්නේ “යම් ප්‍රතිපත්ති මාලාවකට කැපවී සිටින කෙනෙකි. දැඩි විශ්වාසයකින් සිටින කෙනෙකි. එමෙන්ම මහත් ආදරයකින් භක්තියකින් කැපවී සිටින කෙනෙකි.” මේ අනුව සෑම කෙනෙක්ම පාහේ තම ජීවිතය තුළ යම් ආකාරයක ආගමකට හෝ දහමකට බැඳී සිටින බව කියන්නට පුළුවන්. එමනිසා දෙවිව ප්‍රතික්ෂේප කරන අයටද ආගමක් තිබෙනවා කියා පවසන්න පුළුවන්.

පසුගිය වසර දහස් ගණන පුරා මිනිසා තමා තුළ දෙවිට නමස්කාර කිරීමට ඇති ආශාව සපුරාගැනීම සඳහා විවිධ ආගම් අදහා තිබෙනවා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ලොව පුරා විවිධ ආගම් හා ආගමික සංකල්ප රාශියක් බිහිවීමයි. නිදසුනක් වශයෙන් සියලුම ආගම්වල පාහේ මිනිසාට වඩා උසස් පුද්ගලයෙකු කෙරෙහි හෝ බලවේගයක් කෙරෙහි විශ්වාසයක් ඇති කරන්නට උත්සාහ කළත්, ඒ කවුද කියා හෝ ඒ බලවේගය කුමක්ද යන්න ගැන තිබෙන්නේ විවිධ අදහස් හා විශ්වාසයන්. බොහෝ ආගම්වල ගැලවීම හෝ විමුක්තිය ගැනද වැඩි අවධාරණයක් දෙනවා. නමුත් ඒ ගැලවීම හෝ විමුක්තිය කියන්නේ කුමක්ද යන්න ගැන උගන්වන දේවල්ද එකිනෙකට වෙනස්. මේ සිය ගණනක් විවිධ විශ්වාසයන් හා ඇදහිලි අතරින් සැබෑ දෙවි අනුමත කරන සත්‍යය සොයා ගත හැක්කේ කොහොමද?