Skip to content

පටුනට යන්න

සියලු කාරණාවලදී ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද?

සියලු කාරණාවලදී ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද?

සියලු කාරණාවලදී ඔබ විශ්වාසවන්ත කෙනෙක්ද?

“ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව කටයුතු කරන්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව කටයුතු කරන්නේය.”—ලූක් 16:10.

1. යෙහෝවා විශ්වාසවන්ත දෙවි කෙනෙක් වන එක් විදිහක් කුමක්ද?

ගසකින් වැටෙන සෙවණැල්ලක් ගැන සිතන්න. ඉර මුදුන් වෙන කොට මේ ගසේ සෙවණැල්ලට මොකක්ද වෙන්නේ? ඒ සෙවණැල්ල ගමන් කරන දිශාව සහ එහි තරම ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා ඔබ දැක ඇති. මිනිසුන් කරන දේවල් සහ ඔවුන් දෙන පොරොන්දුත් හරියට ඒ වෙනස් වන සෙවණැල්ල වගේමයි. නමුත් යෙහෝවා දෙවි කාලය සමඟ වෙනස් වන කෙනෙක් නෙවේ. “ආලෝකවල පියාණන්” වශයෙන් දෙවිව හඳුන්වා දෙමින් යාකොබ් පවසන්නේ මෙහෙමයි. “වෙනස් වන ඡායාවක් මෙන් ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.” (යාකොබ් 1:17) යෙහෝවා ඉතා සුළු දේවලදී පවා විශ්වාසවන්ත කෙනෙක්. ඔහු වනාහි “විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි.”—ද්විතීය කතාව 32:4.

2. (අ) අප විශ්වාසවන්ත පුද්ගලයන්ද නැද්ද කියා බැලීමට අප අපවම සෝදිසි කළ යුත්තේ ඇයි? (ආ) විශ්වාසවන්තකම පිළිබඳව අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

2 දෙවි තමන්ට නමස්කාර කරන අයගේ විශ්වාසවන්තකම සලකන්නේ කොහොමද? ඒ දාවිත්ට හැඟුණු විදිහටමයි. ඔහු පැවසුවේ මෙසේයි. “දේශයේ විශ්වාස කටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. සම්පූර්ණ මාර්ගයෙහි හැසිරෙන තැනැත්තේ මට මෙහෙ කරන්නේය.” (ගීතාවලිය 101:6) ඔව්, යෙහෝවා සිය සේවකයන්ගේ විශ්වාසවන්තකම ගැන ප්‍රීති වෙනවා. එහෙමනම් පාවුල් මෙසේ ලීවේ හොඳ හේතු ඇතුවයි. “මේ කාරණයේදී භාරකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටීමයි.” (1 කොරින්ති 4:2) විශ්වාසවන්තකමට ඇතුළත් වෙන්නේ මොනවාද? අප විශ්වාසවන්ත පුද්ගලයන් ලෙස ක්‍රියා කළ යුත්තේ ජීවිතයේ කුමන පැතිවලදීද? ‘සම්පූර්ණ මාර්ගයේ හැසිරීමෙන්’ ලැබෙන ආශීර්වාද මොනවාද?

විශ්වාසවන්තකම කීමෙන් අදහස් කරන දෙය

3. අප දෙවිට විශ්වාසවන්තව සිටිනවාද කියා තීරණය කරන්නේ කුමකින්ද?

3 “මෝසෙස් . . . ගෘහයෙහි මෙහෙකරුවෙකු මෙන් විශ්වාසවන්තව සිටියේය” කියා හෙබ්‍රෙව් 3:5හි සඳහන් වෙනවා. අනාගතවක්තෘ මෝසෙස් විශ්වාසවන්ත පුද්ගලයෙකු බවට පත් වූයේ කුමන හේතුවක් නිසාද? මණ්ඩපය සෑදීමේදී හා එය සවි කිරීමේදී “මෝසෙස් එසේ කළේය. යෙහෝවා ඔහුට ආඥා කළ සියල්ල ලෙස ඔහු කළේය.” (නික්මයාම 40:16) අප යෙහෝවාට නමස්කාර කරන අය හැටියට අප ඔහුට අපේ විශ්වාසවන්තභාවය පෙන්වන්නේ ඔහුට කීකරුව සේවය කිරීම තුළිනුයි. දුෂ්කර පරීක්ෂා හෝ දරුණු පීඩාවලදී අප යෙහෝවාට පක්ෂපාතව සිටීම මීට ඇතුළත් වන බව නිසැකයි. එහෙත්, ලොකු පරීක්ෂාවලදී ජය ගැනීම අපේ විශ්වාසවන්තභාවය ඔප්පු කරන එකම සාධකය නොවෙයි. යේසුස් පැවසුවේ මෙහෙමයි.“ ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව කටයුතු කරන්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව කටයුතු කරන්නේය. ඉතා සුළු දේ ගැන අධර්මිෂ්ඨව කටයුතු කරන්නා මහත් දේ ගැනත් අධර්මිෂ්ඨව කටයුතු කරන්නේය.” (ලූක් 16:10) මේ අනුව, ඉතා සුළු යයි පෙනෙන කාරණාවලදී පවා අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුතුයි.

4, 5. “ඉතා සුළු දේ ගැන” අප විශ්වාසවන්තව ක්‍රියා කිරීමෙන් හෙළි වන්නේ කුමක්ද?

4 සෑම දිනකම “ඉතා සුළු දේ” ගැන කීකරු වීම වැදගත්. ඊට හේතු දෙකක් තිබෙනවා. පළමුවෙනි හේතුව තමයි, යෙහෝවාට අපව පාලනය කිරීමට තිබෙන අයිතිය ගැන අපට හැඟෙන විදිහ ඒ මගින් හෙළි වීම. පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒවගේ පක්ෂපාතකම පරීක්ෂා වූ අයුරු ගැන සිතන්න. ඔවුන්ට තිබූ පරීක්ෂණය ජයගැනීමට කොහොමටවත් අමාරු එකක් වුණේ නැහැ. එයට හේතුව ඒදන් උයනේ ඕනෑම ආහාරයක් අනුභව කිරීමට ඔවුන්ට කිසිම තහනමක් තිබුණේ නැති නිසයි. නමුත් ඔවුන් කෑමෙන් වැළකී සිටිය යුතු වුණේ එක ගසකින් පමණයි. ඒ “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” පමණයි. (උත්පත්ති 2:16, 17) ඔවුන් ඒ සරල පරීක්ෂණයේදී දෙවිට විශ්වාසවන්තව කීකරු වූවා නම් ඉන් පෙන්වන්නේ තමන් යෙහෝවාගේ පාලනයට යටත් වීමට කැමති බවයි. මේ නිසා අපි එදිනෙදා කටයුතුවලදී යෙහෝවාගේ උපදෙස්වලට කීකරු වීමෙන් අපිත් ඔහුගේ පාලනයට යටත් බව පෙන්වමු.

5 දෙවෙනි හේතුව තමයි, “ඉතා සුළු දේ” සම්බන්ධව අප ක්‍රියා කරන විදිහ අප “මහත් දේ” සම්බන්ධයෙන් ක්‍රියා කරන විදිහට ලොකු බලපෑමක් කරනවාය යන කාරණය. විශේෂයෙන්ම ජීවිතයේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මෙය වැදගත්. මේ කාරණය සම්බන්ධයෙන් දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා වූ හනනියා, මිෂායෙල් සහ අසරියා යන අයට සිදු වූ දේ ගැන සලකා බලන්න. ඔවුන්ව ක්‍රි.පූ. 607දී බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගොස් තිබුණා. තරුණ නහඹර වියේදී ඔවුන් සිටියේ නෙබුකද්නෙශර් රජුගේ රජ මාලිගාවේ. එහිදී “රාජ භෝජනයෙන්ද රජු බොන මිදි යුෂයෙන්ද දවස්පතා කොටසක් දී රජු ඉදිරියෙහි සිටින පිණිස තුන් අවුරුද්දක් ඔවුන් පෝෂ්‍ය කරන්ට රජ නියම කළේය.”—දානියෙල් 1:3-5.

6. දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා බැබිලෝනියේ රාජ මාලිගයේදී මුහුණ දුන් පරීක්ෂණය කුමක් වුණාද?

6 නමුත් මෙම හෙබ්‍රෙව් තරුණයන් හතරදෙනාට රජුගෙන් ලැබෙන ආහාර අනුභව කිරීම අභියෝගයක් වුණා. ඊට හේතුව රජුගේ භෝජනවලට මෝසෙස්ගේ නීතියෙන් තහනම් කර තිබූ යම් ආහාර අඩංගු වූ බවක් මෙහිදී පෙනෙන්නට තිබීමයි. (ද්විතීය කතාව 14:3-20) සත්ව මස්වල රුධිරය නිසි ලෙස ඉවත් කර නොතිබෙන්නට ඇති. එවැනි මස් අනුභව කිරීම දෙවිගේ නීතිය කඩ කිරීමක්. (ද්විතීය කතාව 12:23-25) හවුලේ එකට කෑමක් කන විට ඊට පෙර ඒවා තම දෙවිවරුන් ඉදිරියේ පූජා කිරීම බැබිලෝනිය ජාතිකයන්ගේ සිරිතක්ව තිබුණු නිසා රජුගේ මෙම ආහාරද රූපවලට පූජා කර තිබුණා විය හැකියි.

7. දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා දේවනීතියට කීකරු වීමෙන් පෙන්වූයේ කුමක්ද?

7 ආහාර වෙන් කර ගෙන අනුභව කිරීම බැබිලෝනිය රජට හා ඔහුගේ නිලධාරීන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. එහෙත්, දෙවි ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතියේ තහනම් කර තිබූ ආහාර කෙසේවත් අනුභව කරන්නේ නැහැ කියා දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තමන්ගේ සිත්වලින් අදිටන් කරගත්තා. මෙය ඔවුන් දෙවිට දැක්වූ පක්ෂපාතකම හා විශ්වාසවන්තකම සම්බන්ධ කාරණයක් වුණා. ඒ නිසා, ඔවුන් කළේ තමන්ට එළවළු හා වතුර පමණක් දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමයි. ඔවුන් ඉල්ලූ විදිහටම ඒවා ඔවුන්ට ලැබුණා. (දානියෙල් 1:9-14) අද සිටින ඇතැම් අයට මේ වගේ සුළුයයි පෙනෙන්නට තිබෙන දෙයක් එතරම් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ තරුණයන් හතරදෙනාට නම් එය ඉතා වැදගත් කාරණයක් වුණා. මන්ද මේ කාරණයේදී ඔවුන් දෙවිට කීකරු වීමෙන් පෙන්නුම් කළේ යෙහෝවාගේ පාලනයට තමන් සැමවිටම යටත් වෙන බවයි.

8. (අ) හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට මුහුණ දීමට සිදු වූ ලොකු පරීක්ෂණය කුමක්ද? (ආ) මෙම පරීක්ෂණයේදී සිදු වූයේ කුමක්ද? මින් අපට කියා දෙන පාඩම කුමක්ද?

8 දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා විශ්වාසවන්තව සිටියේ එතරම් වැදගැම්මකට නැති දෙයකට යයි සිතෙන්නට පුළුවන්. නමුත්, සුළු දේවලට පවා විශ්වාසවන්තව සිටීමෙන්, පසුව තිබුණු ලොකු පරීක්ෂණයකට සාර්ථකව මුහුණ දෙන්නටත් ඔවුන්ට හැකි වුණා. දානියෙල් නමැති බයිබල් පොතේ 3වන පරිච්ඡේදයට හරවන්න. එහි ඔබට පෙනෙයි, නෙබුකද්නෙශර් රජ සෑදූ රන් රූපයකට නමස්කාර කිරීමට දුන් අණට පිටු පෑ හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට රජ විසින් මරණ දඬුවම නියම කරන සැටි. ඔවුන්ව රජු ඉදිරියට ගෙනා විට, ඔවුන් තමන් ගත් අධිෂ්ඨානය ගැන ඉතා නිසැකකමින් යුතුව කීවේ මෙහෙමයි. “අප විසින් සේවය කරන අපේ දෙවිට දැවෙන ගිනි උදුනෙන් අප මුදාගන්ට පුළුවනි; රජ්ජුරුවෙනි, ඔබ අතින් අප ගලවන්නේය. එසේ නුවූවත් රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ පිහිටෙව් රන් රූපයට නමස්කාර කරන්නේවත් නොවෙමු.” (දානියෙල් 3:17, 18) යෙහෝවා ඔවුන්ව ගැලෙව්වාද? මේ යෞවනයන්ව ගිනි උදුනට විසි කිරීමට ගිය හේවායන්ව පිළිස්සී විනාශ වුණා. නමුත් මෙම විශ්වාසවන්ත හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා උදුනෙන් පිටතට ආවේ කිසිදු අනතුරක් නැතුවයි. අඩුම ගණනේ උදුනේ රස්නෙවත් ඔවුන්ට දැනිලා තිබුණේ නැහැ! ඉතා සුළු දේවලදී දෙවිට විශ්වාසවන්තව සිටීම පුරුද්දක් කරගෙන තිබූ නිසා ලොකු පරීක්ෂණයකදී විශ්වාසවන්තව සිටීමට එය ඔවුන්ට මහත් පිටුවහලක් වුණා. අපත් සුළු කාරණාවලදී පවා විශ්වාසවන්තව සිටිය යුතුය කියන පාඩම ඉන් පෙන්වන්නේ නැද්ද?

“අධර්මිෂ්ඨ වස්තු” සම්බන්ධයෙන් දෙවිට විශ්වාසවන්ත වීම

9. ලූක් 16:10හි සඳහන් වචන යේසුස් විසින් කීමට පෙර ඊට පසුබිම් වුණේ කුමක්ද?

9 සුළු කාරණාවලදී විශ්වාසවන්තව සිටින පුද්ගලයා ඊට වඩා වැදගත් කාරණාවලදීද විශ්වාසවන්තව සිටිනවා යන්න සඳහන් කිරීමට පෙර යේසුස් තමන්ගේ ශ්‍රාවකයන්ට මේ අවවාදයද දුන්නා. “අධර්මිෂ්ඨ වස්තුවෙන් ඔබත් මිත්‍රයන් ඇති කරගන්නැයි මම ඔබට කියමි. එසේ කළොත්, ඒවා නැති වූ කල, ඔවුහු ඔබව සදාකාල වාසස්ථානවලට පිළිගන්නවා ඇත.” ඉතා සුළු දේවලදී විශ්වාසවන්තව සිටීම ගැන පසුව යේසුස් මෙසේද කීවා. “එබැවින්, ඔබ අධර්මිෂ්ඨ වස්තූන් සම්බන්ධයෙන් ඔබේ විශ්වාසවන්තභාවය ඔප්පු කර නැතිනම්, සැබෑ දේ විශ්වාසයෙන් යුතුව ඔබට භාර දෙන්නේ කවුද? . . . ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට නිවසෙහි වැඩ කරන කිසි සේවකයෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකිනවා ඇත. ඔබට දෙවිටත් මුදලටත් දාසයෙකු විය නොහැක.”—ලූක් 16:9-13.

10. අපේ “අධර්මිෂ්ඨ වස්තු” සම්බන්ධයෙන් අපට විශ්වාසවන්තභාවය පෙන්විය හැක්කේ කොහොමද?

10 පාඨ සම්බන්ධය බලන විට, ලූක් 16:10හි සඳහන් යේසුස්ගේ වචන මුලින් අදාළ වුණේ “අධර්මිෂ්ඨ වස්තු” පාවිච්චි කිරීම ගැනයි. එනම් අපට තිබෙන දේපළ වස්තුව අප යොදා ගත යුතු ආකාරය ගැනයි. ඒවාට අධර්මිෂ්ඨ වස්තු කියා කියන්නේ වස්තුව හා ධනය විශේෂයෙන්ම මුදල් පව්කාර මිනිසුන්ගේ පාලනය යටතේ තිබෙන නිසයි. ඒ විතරක් නොවෙයි, වස්තු ලබා ගැනීමට තිබෙන ආශාව නිසා යමෙක් අධර්මිෂ්ඨ දේවල් කරන්නටද පෙලඹෙන්නට පුළුවන්. වස්තුව සම්බන්ධයෙන් අප දෙවිට විශ්වාසවන්තකම පෙන්වන්නේ අපට තිබෙන දේපළ වස්තුව ඥානවන්ත ආකාරයකින් පාවිච්චි කිරීමෙන්. ඒවා අපේම ආශාවන් සඳහා පාවිච්චි කරනවා වෙනුවට අපි ඒවා දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට හා අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම සඳහා යොදා ගනිමු. මේ ආකාරයෙන් දෙවිට විශ්වාසවන්ත බව පෙන්වීමෙන් අපට යෙහෝවා දෙවිව සහ යේසුස් ක්‍රිස්තුස්ව මිත්‍රයන් කරගත හැකියි. මන්ද “සදාකාල වාසස්ථාන” අයිතිව තිබෙන්නේ යෙහෝවාට සහ යේසුස්ටයි. ඔවුන් අපව එම ස්ථානවලට භාරගෙන, ස්වර්ගයේ හෝ පාරාදීස පොළොවේ සදාකාලික ජීවිතය දානය කරනවා ඇති.

11. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය සඳහා අප සම්මාදම් භාරගන්නා බව ගෙවැසියන්ට කීමට අප පසුබට නොවිය යුත්තේ ඇයි?

11 මේ ගැනත් සිතන්න. අපි දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය දේශනා කරන විට හා බයිබල් හෝ බයිබලයේ තොරතුරු අඩංගු පොත් පත් මහජනයාට බෙදා දෙන විට අපි යම් අවස්ථාවක් ඔවුන්ට ලබා දෙනවා. ඒ තමයි, අපි මිනිසුන්ට කියනවා යෙහෝවාගේ ජනයාගේ වැඩකටයුතු ලොව පුරා සිදු වන්නේ සම්මාදම් මගින් කියා. මේ අවස්ථාවේදී ඔවුන්ට ඔවුන්ගේ ධන සම්පත් ඥානවන්ත විදිහට පාවිච්චි කිරීමට අප අවස්ථාවක් ඔවුන්ට උදා කර දෙනවා. එසේ නොවේද? ලූක් 16:10හි සඳහන් ප්‍රතිපත්තිය මුලින් අදාළ වන්නේ ධන සම්පත් ආදිය පාවිච්චි කිරීම ගැන වුවත්, එම ප්‍රතිපත්තිය ජීවිතයේ තවත් පැතිවලටත් අදාළ වෙනවා.

ඉතා වැදගත් වූ අවංකකම

12, 13. අපට අවංකකම පෙන්විය හැක්කේ කිනම් පැතිවලදීද?

12 පාවුල් මෙහෙම ලිව්වා. “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමති හෙයින් අපට අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට ස්ථිරය.” (හෙබ්‍රෙව් 13:18) “සියල්ලේදී” යන්නට මුදල් සම්බන්ධ සියලු කාරණා ඇතුළත් බව පැහැදිලියි. අපි අපේ ණය සහ අපේ බදු නොපමාව අවංකව ගෙවන්නෙමු. ඒ ඇයි? අපි එසේ කරන්නේ අපේ හෘදය සාක්ෂිය නිසයි. මූලිකවම අපි දෙවිට ඇති අපේ ප්‍රේමය නිසා සහ ඔහුගේ අණ පනත්වලට අපි කීකරු විය යුතු නිසයි. (රෝම 13:5, 6) අපට අයිති නැති දෙයක් සම්බ වුණොත් කරන්නේ කුමක්ද? එහි අයිතිකරුට භාර දීමට අපි උත්සාහ කරනවා. එහි අයිතිකරුට එය නැවත භාර දීමට අපි පෙලඹුණේ ඇයි කියා විස්තර කරන විට ඇත්තටම එයින් කොච්චර හොඳ සාක්ෂියක් දරන්නට පුළුවන්ද!

13 සියලු දේවලදී විශ්වාසවන්තව හා අවංකව ක්‍රියා කිරීම ගැන කතා කරද්දී අපේ රැකියා ස්ථානයේදී අවංක වීම ගැන කතා නොකරම බැහැ. අපේ රැකියාවේදී අප අවංක වෙන විට අප නමස්කාර කරන්නේ කොයි වගේ දෙවි කෙනෙකුටද යන්න ගැන මිනිසුන්ගේ අවධානයට ලක් වෙනවා. කම්මැළිකමින් කාලය නාස්ති කර අපි කාලය “සොරකම්” කරන්නේ නැහැ. එසේ නොව, අපි අපේ රැකියාව කරන්නේ යෙහෝවාට කරන වැඩක් වගේ වෙහෙස මහන්සි වී වැඩ කරලයි. (එෆීස 4:28; කොලොස්සි 3:23) එක් යුරෝපීය රටක රැකියාවල නියැලෙන්නන්ගෙන් තුනෙන් එකක්ම තමන්ට අසනීපයි කියා තම රැකියා ස්ථානයට බොරු වෛද්‍ය සහතික වංචනික ලෙස ඉදිරිපත් කරන බව හෙළි වී තිබෙනවා. දෙවිට සැබෑ ලෙස සේවය කරන අය නම් වැඩ කිරීමෙන් වැළකී සිටීම සඳහා බොරු හේතු ඉදිරිපත් කරන්නේ නැහැ. සමහරක් අවස්ථාවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට රැකියා ස්ථානවල උසස් වීම් ලැබෙනවා. ඊට හේතුව මේ අය අවංක සහ වෙහෙස මහන්සි වී වැඩ කරන අය බව ඔවුන්ගේ ස්වාමිවරුන් දකින නිසයි.—හිතෝපදේශ 10:4.

අපේ ක්‍රිස්තියානි දේවසේවයේදී විශ්වාසවන්ත වීම

14, 15. ක්‍රිස්තියානි දේවසේවය තුළ විශ්වාසවන්ත බව පෙන්විය හැකි ඇතැම් ක්‍රම මොනවාද?

14 අපට භාර දී ඇති දේවසේවය අප විශ්වාසවන්තව ඉටු කරන බව පෙන්වන්නේ කොහොමද? “අපි ඔහු මාර්ගයෙන් දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසා නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.” (හෙබ්‍රෙව් 13:15) ක්ෂේත්‍ර සේවයට අප විශ්වාසවන්ත බව පෙන්විය හැකි ප්‍රධානතම ක්‍රමය නම් එහි නිතිපතා හවුල් වීමයි. යෙහෝවා සහ ඔහුගේ අරමුණ ගැන සාක්ෂි දරන්නේ නැතුව අපි මාසයක්වත් ගතවීමට ඉඩ හැරිය යුතු නෑ නේද? අප දේශනා සේවයේ නිතිපතා හවුල් වෙනවා නම්, අප සේවයේ දක්ෂ වෙනවා වගේම අපේ සේවයේ ඵලදායිත්වය ඒ මගින් වැඩි වෙනවා.

15 අප දේවසේවයේ විශ්වාසවන්තව නියැලෙනවා කියා පෙන්විය හැකි තවත් ක්‍රමයක් නම් මුරටැඹ සහ අපගේ රාජ්‍ය සේවාවේ සඳහන් යෝජනා සේවයේදී අදාළ කරගැනීමයි. සඟරා පොත් පත් බෙදා දීමට ඒවායේ දී ඇති යෝජනාවන් සහ වෙනත් ගැළපෙන ක්‍රම යොදා ගන්නවා නම්, අප අපේ සේවය තුළ වඩාත් හොඳ ඵලදායී සේවයක් කරන බව අපට පෙනෙන්නේ නැද්ද? දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය කෙරෙහි උනන්දුව දක්වන යම් පුද්ගලයෙක් අපට හමුවෙද්දී, අපි ඒ උනන්දුව දැක්වූ පුද්ගලයාව ඉක්මනින්ම ගොස් නැවත බැහැදකිනවාද? උනන්දුව දක්වන පුද්ගලයන් සමඟ ඔවුන්ගේ නිවසේදී බයිබල් පාඩම් කිරීම ගැන කුමක් කියන්නට පුළුවන්ද? සතිපතා ඒ පාඩම්වලට ගොස් ඔවුන්ට අවශ්‍ය පෝෂණය අපි දෙනවාද? අප අපේ දේවසේවය විශ්වාසවන්තව ඉටු කරනවා නම් එය අපෙත් අපට සවන් දෙන අයගෙත් සදාකාල ජීවනයට හේතු වෙනවා නියතයි.—1 තිමෝති 4:15, 16.

ලෝකයෙන් වෙන්ව සිටීම

16, 17. අප ලෝකයෙන් වෙන් වී සිටින බව අපට පෙන්විය හැක්කේ කිනම් ක්‍රමවලින්ද?

16 දෙවිට යාච්ඤා කරමින් යේසුස් සිය අනුගාමිකයන් ගැන කීවේ මෙහෙමයි. “මා ඔවුන්ට ඔබේ වචනය දී ඇත. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුන්ද ලෝකයේ කොටසක් නොවන නිසා ලෝකය ඔවුන්ට වෛර කළේය. මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය. මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:14-16) ලෝකයෙන් වෙන්ව සිටීම යන කාරණයේදී, ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය රැකගැනීම, ආගමික නිවාඩු දවස් නොපැවැත්වීම, ආගමික වත් පිළිවෙත් නොකර සිටීම සහ දුරාචාරයේ නොයෙදීම වැනි ලොකු කාරණාවලදී ස්ථිරව සිටීමට අපි අදිටන් කර ගෙන සිටිනවා විය හැකියි. නමුත් සුළු සුළු කාරණා සම්බන්ධයෙන් අප සිටින්නේ කොතැනද? අපි දන්නේම නැතිව ලෝකයා හැසිරෙන විදිහට අපිත් හැසිරෙනවා විය හැකිද? නිදසුනක් වශයෙන්, අප අඳින පළඳින විදිහ ලෝකයා මෙන් කිසිම වැදගැම්මකට නැති නුසුදුසු අවිනීත ආකාරයකින් තියනවා වෙන්න බැරි නැද්ද? මේ ගැන අපි පරෙස්සම් විය යුතුයි. අප මේ කාරණයේදී දෙවිට විශ්වාසවන්ත වෙනවා කියන්නේ අපේ ඇඳුම් පැළඳුම්වලදී “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව” සිටීමයි. (1 තිමෝති 2:9, 10) එසේනම් අපි “අපේ සේවය ගැන දොස් නොතබන පිණිස, කිසි ලෙසකින්වත් බාධාවීමට අපි කිසිම හේතුවක් නොදෙමු. ඒ වෙනුවට, දෙවිගේ සේවකයෝ බව සෑම ආකාරයකින්ම අපි ඔප්පු කර පෙන්වන්නෙමු.”—2 කොරින්ති 6:3, 4.

17 යෙහෝවාට ගෞරව කිරීමට අපට තිබෙන ආශාව නිසා අපි අපේ සභා රැස්වීම්වලට ඇඳ පැළඳගෙන එන්නේ ගෞරවනීය ආකාරයටයි. අපේ එක්රැස්වීම් සහ සමුළුවලට සහභාගි වන විටත් අප කරන්නේ මෙයමයි. අප අඳින ඇඳුම් අවස්ථාවට ගැළපෙන හා ප්‍රසන්න පෙනුමක් ඇති ඇඳුම් විය යුතුයි. මෙය අප දෙස බලන අයට අපි දෙන සාක්ෂියක්. පාවුල් සහ ඔහුගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ සේවය දෙස දේවදූතයන් බලා සිටියාක් මෙන් එම දේවදූතයන් අපි දෙසත් බලා සිටිනවා. (1 කොරින්ති 4:9) ඇත්තෙන්ම, අපි සෑම විටකදීම නිසි ලෙස ඇඳ පැළඳ ගෙන සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇතමුන්ට ඇඳුම් ඇඳීම වැනි කාරණයක් එතරම් වැදගත් නැහැ කියා පෙනෙන්ට පුළුවන්. නමුත් දෙවිට එය වැදගත්.

අප විශ්වාසවන්තව සිටීම නිසා අපට ලැබෙන ආශීර්වාද

18, 19. අප විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

18 සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුන්වා තිබෙන්නේ “විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාවේ යහපත් භාරකරුවන්” හැටියටයි. එවැන්නන් හැටියට ඔවුන් “දෙවි සපයන ශක්තිය මත රඳා” සිටිනවා. (1 පේතෘස් 4:10, 11) එපමණක්ද නොවෙයි, භාරකරුවන් වශයෙන් අපට භාර දී තිබෙන්නේ අපට පෞද්ගලිකව අයිති දෙයක් නොවෙයි. එය දෙවිගේ මහත් කරුණාව පෙන්වන එක්තරා ක්‍රමයක්. දේවසේවයද ඊට ඇතුළත්. අපි යහපත් භාරකරුවන් බවට ඔප්පු කිරීමේදී, දෙවි දෙන ශක්තිය හෙවත් “සාමාන්‍යය ඉක්මවූ බලය” කෙරෙහි විශ්වාසය තබමු. (2 කොරින්ති 4:7) මේ අනුව අනාගතයේදී අප කෙරෙහි එල්ල විය හැකි ඕනෑම ආකාරයේ පරීක්ෂාවකට මුහුණ දීමට මෙය අපට මොන තරම් කදිම පුහුණුවක්ද!

19 ගීතිකාකරු ගායනා කළේ මෙසේයි. “යෙහෝවාගේ සියලු ශුද්ධවන්තයෙනි, ඔහුට ප්‍රේම කරන්න. යෙහෝවා විශ්වාස ඇත්තන් ආරක්ෂා කරන්නේය.” (ගීතාවලිය 31:23) මේ අනුව, අපිත් දෙවිට විශ්වාසවන්ත බව ඔප්පු කිරීමට අදිටන් කරගනිමු. එලෙසම යෙහෝවා වනාහි “සියලු ආකාර මිනිසුන්ගේ, විශේෂයෙන් ඇදහිලිවන්තයන්ගේ ගැලවුම්කරුවෙකු” බවට පූර්ණ නිසැකකමක් තබා ගනිමු.—1 තිමෝති 4:10.

ඔබට මතකද?

• අප “ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව” සිටිය යුත්තේ ඇයි?

• පහත සඳහන් පැතිවලදී අපට විශ්වාසවන්තව සිටිය හැකි ආකාරය ගැන කෙටියෙන් අදහස් දක්වන්න.

අවංක වීමේදී?

දේවසේවයේදී?

ලෝකයෙන් වෙන්ව සිටීමේදී?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

ඉතා සුළු දේ ගැන විශ්වාසවන්තව සිටින්නා මහත් දේ ගැනත් විශ්වාසවන්තව සිටියි

[29වන පිටුවේ පින්තූරය]

‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න’

[29වන පිටුවේ පින්තූරය]

අපේ විශ්වාසවන්තභාවය පෙන්විය හැකි කදිම ක්‍රමයක් නම් ක්ෂේත්‍ර සේවයට හොඳින් සූදානම් වීමයි

[30වන පිටුවේ පින්තූරය]

විනීත ලෙස ඇඳ පැළඳ සිටින්න