Skip to content

පටුනට යන්න

දෙවන රාජාවලිය පොතෙන් විශේෂාංග

දෙවන රාජාවලිය පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

දෙවන රාජාවලිය පොතෙන් විශේෂාංග

පළමුවන රාජාවලිය පොතේ ඊශ්‍රායලයේ සහ යූදා දේශයේ ඉතිහාසය ගැන සඳහන් වුණා. දෙවන රාජාවලිය පොතේ ඒ විස්තරය තවදුරටත් කරගෙන යනවා. එහි රජවරු 29දෙනෙක් ගැන විස්තර ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගෙන් 12දෙනෙක් උතුරු රාජ්‍යය වන ඊශ්‍රායලයේ පාලනය කළ අතර 17දෙනෙක් දකුණු රාජ්‍යය වන යූදාහි පාලනය කළා. ඒ කාලයේ සිටි අනාගතවක්තෲන් වූ එලියා, එලිෂා සහ යෙසායාගේ කළ දේවල් ගැනත් දෙවන රාජාවලිය පොතෙන් අපට දැකගන්න පුළුවන්. සිදු වූ පිළිවෙළට දේවල් සඳහන් කර නොතිබුණත් සමාරියේ සහ යෙරුසලමේ විනාශය දක්වා සිදු වූ සිද්ධීන් මෙහි විස්තර කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 920 පටන් 580 දක්වා වූ අවුරුදු 340ක කාලයක් පුරා සිදුවීම් මෙහි වාර්තා කර තිබෙනවා. මේ පොතේ ලේඛකයා යෙරෙමියා වූ අතර ඔහු එය ලියා අවසන් කළෙත් ක්‍රි.පූ. 580දීයි.

දෙවන රාජාවලිය පොත අද දින වෙසෙන අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? යෙහෝවා දෙවි ගැනත් ඔහු මිනිසුන්ට සලකන ආකාරය ගැනත් අපට මේ පොතෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? එහි සඳහන් වන රජවරුන්, අනාගතවක්තෘවරුන් සහ වෙනත් අය කළ දේවල්වලින් අපට ගත හැකි පාඩම් මොනවාද? මේ ගැන අපි දෙවන රාජාවලිය පොතෙන් සලකා බලමු.

එලියාට පසුව එලිෂා අනාගතවක්තෘ වෙයි

(2 රාජාවලිය 1:1–8:29)

ඊශ්‍රායෙලයේ අහසියා රජ තම නිවසේ උඩු මහලෙන් වැටී රෝගාතුරව සිටියි. තමාට කුමක් සිදු වෙයිද කියා එලියාගෙන් විමසන රජට දැනගන්න ලැබෙන්නේ තමා මියයන බවයි. මේ ආකාරයට අහසියා මියයන අතර ඔහුගේ සහෝදරයා වන යෙහෝරාම් ඔහු වෙනුවට රජ වෙනවා. මේ කාලය වන විට යූදා රාජ්‍යයේ රජ ලෙස කටයුතු කරන්නේ යෙහෝෂාපාට් රජයි. මේ අතර මෙතෙක් අනාගතවක්තෘ ලෙස කටයුතු කළ එලියාව සුළි සුළඟක් මගින් ඔසවා ගනු ලබන අතර ඔහුගේ සහයකයා වන එලිෂා දැන් අනාගතවක්තෘ වෙනවා. එලිෂා වසර 60ක පමණ කාලයක් පුරා අනාගතවක්තෘ කෙනෙක් හැටියට සේවය කරන අතර ඔහු ආශ්චර්යයන් බොහොමයක් සිදු කරනවා.—“එලිෂා සිදු කළ ආශ්චර්යයන්” නමැති කොටුව බලන්න.

ඊශ්‍රායෙලයට විරුද්ධව කැරලිගසන මෝවබීය රජෙකුට විරුද්ධව යෙහෝරාම් රජ, යෙහෝෂාපාට් රජ සහ ඒදොම්හි රජ කෙනෙක්ද සටනට යනවා. යෙහෝෂාපාට් රජ දෙවිට විශ්වාසවන්තව කටයුතු කළ කෙනෙක් වන නිසා ඔවුන්ට ජයග්‍රහණය ලැබෙනවා. පසුව සිරියාවේ රජ ඊශ්‍රායෙලයට විරුද්ධව හදිසි ප්‍රහාරයක් දියත් කරනවා. නමුත් එලිෂා ඔවුන්ගේ සැලැස්ම අසාර්ථක වෙන්න සලස්වනවා. ඒ නිසා සිරියානු රජ කෝප වී එලිෂාව අල්ලා ගැනීම සඳහා “අශ්වයන්ද රථද මහත් සේනාවක්ද” එවනවා. (2 රාජාවලිය 6:14) එලිෂා ආශ්චර්යයන් දෙකක් සිදු කළාට පසුව සිරියානුවන් ඊශ්‍රායෙලිතයන් සමඟ සමාදාන වී ආපසු හැරී යනවා. මින් කාලයකට පසුව සිරියානු රජ වන බෙන්හදද් තම හමුදාව සමඟ ගොස් සිරියාව වටලනවා. මේ හේතුවෙන් දරුණු සාගතයක් එහි ඇති වුණත් එය වැඩි කල් පවතින්නේ නැති බව එලිෂා පුරෝකථනය කරනවා.

ටික කාලයක් ගත වුණාට පසුව එලිෂා දමස්කයට ගමන් කරනවා. රෝගාතුර වී සිටින බෙන්හදද් රජ තමා සුව වෙයිද කියා දැනගැනීම සඳහා හසායෙල්ව එලිෂා ළඟට යවනවා. රජ මියයන බවත් ඔහු වෙනුවට හසායෙල් රජකම් කරන බවත් එලිෂා පවසනවා. ඊළඟ දවසේම හසායෙල් තෙත ‘රෙද්දකින්’ රජුගේ හුස්ම හිර කර ඔහුව මරා දමා රජකම් කරන්න පටන්ගන්නවා. (2 රාජාවලිය 8:15) ඒ අතර යූදා දේශයේ යෙහෝෂාපාට් රජගේ පුත් යෙහෝරාම් රජ වන අතර ඔහුගෙන් පසුව පාලනය කරන්නේ ඔහුගේ පුත්‍රයා වන අහසියායි.—“යූදාවේ සහ ඊශ්‍රායෙලයේ රජවරු” යන කොටුව බලන්න.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:9—එලියාගේ “ආත්මයෙන් දෙගුණයක්” තමාට දෙන මෙන් එලිෂා ඉල්ලා සිටියේ ඇයි? එලියා තම සේවය ඉටු කිරීමේදී ඔහු ධෛර්යයෙන් හා උද්‍යෝගයෙන් දේවල් කළා. ඊශ්‍රායෙලයේ අනාගතවක්තෘ කෙනෙක් හැටියට තම වගකීම් ඉටු කිරීමේදී එලිෂාටත් ඒ ස්වභාවයම අවශ්‍ය වෙනවා. මෙය තේරුම් ගත් ඔහු එලියාගේ “ආත්මයෙන්” හෙවත් ඔහුගේ ස්වභාවය මෙන් දෙගුණයක් ඉල්ලා සිටියා. ඒ වගේම එලියා තමාගෙන් පසුව අනාගතවක්තෘ ලෙස එලිෂාව පත් කළ අතර ඔහු එලියාගේ සහයකයා ලෙස වසර හයක් පුරා සේවය කර තිබුණා. යෙහෝවා දෙවිගේ සේවය තුළ තමාට ලබා දුන් පුහුණුව නිසා එලිෂා එලියාව සැලකුවේ තමාගේම පියා ලෙසයි. එලියාටත් එලිෂා තමාගේම කුලුඳුල් පුත්‍රයා හා සමාන වුණා. (1 රාජාවලිය 19:19-21; 2 රාජාවලිය 2:12) ඒ කාලයේ හැටියට කුලුඳුල් පුත්‍රයෙකුට තම පියාගේ උරුමයෙන් දෙගුණයක් ලැබුණා. එලිෂා, එලියාට තිබූ ධෛර්යය සහ උද්‍යෝගයේ ස්වභාවය මෙන් දෙගුණයක් ඉල්ලීමෙන් පසුව එය ලබාගත්තේ මේ නිසා විය හැකියි.

2:11“එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී” ගියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මින් අදහස් කරන්නේ ඔහු විශ්වයේ යම් ඈත කෙළවරක පිහිටි ස්ථානයකට ගිය බවක් නම් නෙවෙයි. අනික් අතට දෙවි සහ ඔහුගේ දේවදූතයන් වාසය කරන ස්වර්ගයට ඔහු ගිය බවත් පවසන්නට බැහැ. (ද්විතීය කතාව 4:19; ගීතාවලිය 11:4; මතෙව් 6:9; 18:10) මෙහිදී “ස්වර්ගය” යන වචනය භාවිත කර තිබෙන්නේ උඩ අහස විස්තර කිරීමටයි. (ගීතාවලිය 78:26; මතෙව් 6:26) අහසේ වේගයෙන් ගමන් කළ ගිනිමය රථයකින් එලියාව පොළොවේ වෙනත් ස්ථානයකට මාරු කරනු ලැබූ අතර ඔහු එහි කාලයක් ජීවත් වූ බව පැහැදිලියි. මන්ද ඉන් වසර කිහිපයකට පසුව යුදාහි රජ වූ යෙහෝරාම්ට එලියා ලිපියක් එවා තිබෙනවා.—2 ලේකම් 21:1, 12-15.

5:15, 16එලිෂා නාමන් දුන් තෑග්ග පිළිනොගත්තේ මන්ද? නාමන්ව සුව කිරීමේ ආශ්චර්යය සිදු කළේ තමාගේ බලයෙන් නොව දෙවිගේ බලයෙන් බව එලිෂා දැනගෙන සිටියා. ඒ නිසයි ඔහු ඒ තෑග්ග පිළිගත්තේ නැත්තේ. දෙවි ඔහුට ලබා දී තිබූ පැවරුමෙන් වාසියක් ලබාගන්නට ඔහු කොහෙත්ම සිතුවේ නැහැ. අද දින වෙසෙන සැබෑ නමස්කාරකයනුත් යෙහෝවාගේ සේවය තුළින් පෞද්ගලික වාසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. “ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න” යන යේසුස්ගේ අවවාදය ඔවුන් හිතට ගන්නවා.—මතෙව් 10:8.

5:18, 19නාමන් සමාව ඉල්ලුවේ රිම්මොන් නම් දෙවියාට වඳින්න සිදු වන නිසාද? සිරියාවේ රජ වයසට ගොස් දුර්වලව සිටි නිසා නාමන් සමඟ ගමන් බිමන් යද්දී නාමන්ට රජුව වාරු කරගෙන යෑමට සිදු වූ බව පෙනෙයි. රජ රිම්මොන් දෙවියාට නැමී නමස්කාර කරන විට නාමන්ටත් මේ නිසා නැමී සිටින්න සිදු වුණා. නාමන් මෙය සැලකුවේ රජුට කළ සේවයේ කොටසක් හැටියට මිසක් නමස්කාර කිරීමේ අදහසකින් කරන දෙයක් හැටියට නෙවෙයි. තමා රජ වෙනුවෙන් කරන මේ සේවය වෙනුවෙන් තමාට සමාව දෙන මෙන් නාමන් යෙහෝවාගෙන් ඉල්ලා සිටියා. ඔහුව විශ්වාස කළ එලිෂා “සමාදානයෙන් යන්නයයි ඔහුට කීය.”

අපට ගත හැකි පාඩම්:

1:13, 14. දකින දෙයින් පාඩමක් ඉගෙනගැනීමෙන් සහ යටහත් පහත්ව කටයුතු කිරීමෙන් ජීවිත ගලවාගත හැකියි.

2:2, 4, 6 සමහරවිට එලිෂා, එලියාට වසර හයක පමණ කාලයක් ඇප උපස්ථාන කර තිබෙන්න ඇති. ඒත් ඔහුව අත්හැර යන්නේ නැති බව එලිෂා ස්ථිරයෙන්ම කියා සිටියා. පක්ෂපාතකම සහ මිත්‍රත්වය සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද!—හිතෝපදේශ 18:24.

2:23, 24. තට්ටය පෑදුණු මිනිසෙක් වූ එලිෂාට මේ විදිහට සරදම් කිරීමට හේතුව වුණේ අනාගතවක්තෘවරුන් සාමාන්‍යයෙන් අඳින එලියාට අයිතිව තිබූ පිට වස්ත්‍රය ඔහු ඇඳගෙන සිටිය නිසා විය හැකියි. එලිෂාව යෙහෝවාගේ නියෝජිතයෙක් හැටියට හඳුනාගත් ඒ ළමුන්, ඔහු ඒ අවට ගැවසෙනවාට කැමති වුණේ නැහැ. ඔවුන් ඔහුට “පලා යව” යයි පැවසුවා. මුල් භාෂාවෙන් “පලා යව” ලෙස පරිවර්තනය කර ඇති වචනයට “ඉහළට යන්න” යන අදහස තිබෙනවා. ඒ නිසා ඔවුන් අදහස් කරන්නට ඇත්තේ බෙතෙල් නගරයට නැඟ යන්නට කියා හෝ එලියා ගියාක් මෙන් ඉහළට නැඟී යන්නට කියා විය හැකියි. පෙනෙනාකාරයට ඒ ළමයින් පිළිබිඹු කළේ තම දෙමාපියන් අනාගතවක්තෘවරුන්ට පෙන්වූ දැඩි විරුද්ධත්වයේ ස්වභාවයයි. දෙවිගේ නියෝජිතයන්ට ගරු කිරීමට දෙමව්පියන් විසින් තම දරුවන්ට ඉගැන්වීම මොන තරම් වැදගත් දෙයක්ද!

3:14, 18, 24. යෙහෝවා පවසන දෙය හැමවිටම ඉටු වෙනවා.

3:22. හිමිදිරි පාන්දර ජලය මතට වැටුණු හිරු එළිය නිසා වතුර ලේ වගේ පෙනුණා. මෙයට හේතුව අලුතෙන් හාරනු ලැබූ අගල්වල යට පස් තට්ටුව සකස් වී තිබුණේ රතු මැටිවලින් නිසා විය හැකියි. තමා අරමුණු කළ දේවල් ඉටු කරගැනීම සඳහා තම මැවිලි උපයෝගි කරගැනීමට යෙහෝවාට හැකියි.

4:8-11. එලිෂා “දෙවිගේ ශුද්ධ මනුෂ්‍යයෙකු බව” වටහාගත් ෂුනෙම්හි ස්ත්‍රිය ඔහුට කෑම බීම ඉඳුම් හිටුම් ආදිය සැපයුවා. යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අයට අපත් එසේ සැලකීම සුදුසු දෙයක් නෙවෙයිද?

5:3. ආශ්චර්යයන් සිදු කිරීමට දෙවිට තිබෙන හැකියාව ගැන කුඩා ඊශ්‍රායෙල් දැරියට විශ්වාසයක් තිබුණා. ඇය විශ්වාස කළ දෙය ගැන කතා කිරීමටත් ඇයට ධෛර්යයක් තිබුණා. දරුවෙනි, ඔබත් දෙවිගේ පොරොන්දු ගැන ඔබ තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කිරීමට වෑයම් කරනවාද? ඔබ තුළ තිබෙන ඒ විශ්වාසය ඔබේ ගුරුවරුන් හා පාසැලේ අනිකුත් සිසුන් සමඟ බෙදාගැනීමට තරම් ඔබට ධෛර්යයක් තිබෙනවාද?

5:9-19. උඩඟු කෙනෙකුට වුණත් යටහත් පහත් කටයුතු කරන්න ඉගෙනගන්න පුළුවන් බව නාමන්ගේ උදාහරණයෙන් අපිට පැහැදිලි වෙනවා.—1පේතෘස් 5:5.

5:20-27. වංචනික ලෙස ක්‍රියා කිරීමෙන් ලැබුණේ මොනතරම් දරුණු විපාකයක්ද! දෙවිට සේවය කරන බව පෙන්වමින් අපත් වැරදි ක්‍රියාවල යෙදුණොත් ඒ නිසා අපට ඇති විය හැකි ශෝකය හා වේදනාව ගැන කල්පනා කිරීම තුළින් එවැනි වැරදිවලින් වැළකී සිටීමට අපටත් පුළුවන්.

ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ වහලුන් වෙයි

(2 රාජාවලිය 9:1–25:30)

යේහු ඊශ්‍රායෙලයේ රජ බවට පත් වූ සැනින් ඔහු ආහබ්ගේ වංශය විනාශ කිරීමේ සැලැස්ම දියත් කිරීමට යුහුසුලුව කටයුතු කරයි. ඔහු දක්ෂ ලෙස ‘ඊශ්‍රායෙල් කෙරෙන් බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම නැති’ කර දමයි. (2 රාජාවලිය 10:28) යේහු විසින් තම පුත්‍රයාව මරනු ලැබූ බව අහසියාගේ මව වූ අතලියාට දැනගන්න ලැබුණාම ඇය ‘යූදාවේ මුළු රාජ වංශය විනාශ කිරීම සඳහා ක්‍රියා කරයි.’ (2 රාජාවලිය 11:1) ඇගෙන් බේරෙන්නේ අහසියාගේ ළදරු පුත්‍රයා යෝවාෂ් පමණයි. අවුරුදු හයක් සැඟවී සිටීමෙන් පසුව යූදාහි රජ ලෙස ඔහුව පත් කරනු ලබනවා. පූජක යෙහෝයාදාගෙන් ලැබෙන උපදෙස් පිළිපදිමින් යෝවාෂ් දිගටම යෙහෝවා ඉදිරියේ හරි දෙය කරයි.

යේහුගෙන් පසුව ඊශ්‍රායෙලයේ පාලනය කරන රජවරු සියලුදෙනාම කටයුතු කරන්නේ යෙහෝවා අනුමත නොකරන ආකාරයටයි. මහලු වියට පත් වූ එලිෂා යේහුගේ මුනුබුරාගේ පාලන කාලයේදී මියයයි. යූදාහි පාලනය කරන යෙහෝවාෂ්ගෙන් පසුව එහි හතරවෙනි රජ බවට පත් වෙන්නේ ආහාස්. ඔහු ‘යෙහෝවා ඉදිරියේ යුතු දේ නොකරයි.’ (2 රාජාවලිය 16:1, 2) නමුත් ඔහුගේ පුත්‍රයා වන හෙසකියා ‘දිගටම යෙහෝවාට ඇලුම්ව’ කටයුතු කරන රජ කෙනෙක් වෙනවා. (2 රාජාවලිය 17:20; 18:6) ක්‍රිස්තු පූර්ව 740දී යූදා දේශයේ හෙසකියා පාලනය කරන කාලයේදී ඊශ්‍රායෙලයේ පාලනය කරන්නේ හෝෂෙයා. ඒ කාලයේදී අෂූර්හි රජ වන ෂල්මනෙසෙර් ‘සමාරිය අල්ලා ඊශ්‍රායෙල් සෙනඟව වහලුන් හැටියට අෂූර්ට ගෙන’ යනවා. (2 රාජාවලිය 17:6) ඉන් අනතුරුව ඊශ්‍රායෙල් දේශයේ විදේශීන්ව පදිංචි කරනු ලබන අතර ඒ නිසා එහි සමාරිතානු ආගම බිහි වෙනවා.

හෙසකියාගෙන් පසුව යූදාහි පාලනය කරන රජවරුන් හත්දෙනාගෙන් බොරු නමස්කාරය දේශයෙන් සහමුලින්ම නැති කිරීමට පියවර ගන්නේ යොෂියා රජ පමණයි. අවසානයේදී ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් යෙරුසලම අල්ලාගන්නා අතර, ‘යූදා තමන් දේශයෙන් වහල්කමට ගෙන යනු ලැබුවා.’—2 රාජාවලිය 25:21.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

13:20, 21—මේ ආශ්චර්යය මගින් මිය ගිය කෙනෙකුගේ ශරීරයේ කොටසකට හෝ ඔහු භාවිත කළ යම් දෙයකට ගරු බුහුමන් දැක්වීම අනුමත කරනවාද? නැහැ. එසේ නෙවෙයි. එලිෂාගේ ඇට කටුවලට කවදාවත් ගරු බුහුමන් දක්වනු ලැබූ බව බයිබලයේ කොතැනකවත් පවසන්නේ නැහැ. එලිෂා ජීවත්ව සිටියදී සිදු කළ සියලුම ආශ්චර්යයන් හා සමානවම මෙම ආශ්චර්යයද සිදු වුණේ දෙවිගේ බලයෙනුයි.

15:1-6අශරියාට (උස්සියාට) යෙහෝවා දෙවි කුෂ්ඨ රෝගයෙන් දඬුවම් කළේ ඇයි? “[උස්සියා] බලසම්පන්න වූ කල . . . ඔහුගේ සිත [උඩඟු විය.] ඔහු දුම් පූජාසනය පිට සුගන්ධ ද්‍රව්‍ය දවන්ට යෙහෝවාගේ ගෘහයට ඇතුල් වීමෙන් තමාගේ දෙවි වූ යෙහෝවාට විරුද්ධව අපරාධ කළේය.” පූජකයෝ “උස්සියා රජුට විරුද්ධව” සිට කතා කරමින් “ශුද්ධස්ථානයෙන්” පිට වී යන්නට ඔහුට කී විට, උස්සියා උදහස් වුණා. එවිට දඬුවමක් වශයෙන් කුෂ්ඨ රෝගය ඔහුට වැලඳුණා.—2 ලේකම් 26:16-20.

18:19-21, 25හෙසකියා රජ ඊජිප්තුව සමඟ මිත්‍ර ගිවිසුමක් ඇති කරගත්තාද? නැහැ. රබ්ෂාකේ කළේ බොරු චෝදනාවක්. ඒ වගේම තමා “ආවේ” යෙහෝවාගේ අවසර ඇතුව බව රබ්ෂාකේ පැවසුවා. ඒකත් බොරුවක්. නමුත් ඇදහිලිවන්ත හෙසකියා රජ සම්පූර්ණයෙන්ම යෙහෝවා කෙරෙහි විශ්වාස කළා.

අපට ගත හැකි පාඩම්:

9:7, 26. ආහබ්ගේ වංශයට ලැබුණු බරපතළ දඬුවමෙන් පැහැදිලි වෙන්නේ, බොරු නමස්කාරයත් අහිංසක අයගේ ජීවිත විනාශ කිරීමත් යෙහෝවා පිළිකුල් කරන බවයි.

9:20. යේහු ඉතා වේගයෙන් රථය පදවන කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වී සිටියා. ලැබුණු පැවරුමක් ඉටු කිරීමට ඔහු උද්‍යෝගයෙන් ක්‍රියා කළ බවට මෙය සාක්ෂියක් වුණා. අන් අය ඔබවත් හඳුනන්නේ උද්‍යෝගයෙන් දේශනා සේවයේ යෙදෙන කෙනෙක් ලෙසටද?—2 තිමෝති 4:2.

9: 36, 37; 10:17; 13:18, 19, 25; 14:25; 19:20, 32-36; 20:16, 17; 24:13.‘යෙහෝවාගේ මුඛයෙන් පිටවන වචනය’ අනිවාර්යයෙන්ම සාර්ථක වන බවට අපට නිසැක විය හැකියි.—යෙසායා 55:10, 11.

10:15. යේහු ඔහුගේ රථයට නඟින්න කියා යෙහෝනාදාබ්ට ආරාධනා කළ විට යෙහෝනාදාබ් කැමැත්තෙන්ම එසේ කළා. ඒ හා සමානව ‘මහත් සමූහයත්’ නවීන දින යේහු වන යේසුස් ක්‍රිස්තුස්ට හා ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන්ටත් කැමැත්තෙන් සහයෝගය දෙනවා.—එළිදරව් 7:9.

10:30, 31. යේහු අතින් යම් වැරදි සිදු වුණත් යෙහෝවා ඔහු කළ සෑම යහපතක්ම අගය කළා. ඇත්තෙන්ම ‘අප කළ සේවය . . . අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැහැ.’—හෙබ්‍රෙව් 6:10.

13:14-19. යේහුගේ මුනුබුරෙක් වූ යෙහෝවාෂ් කිසිම වෑයමක් දරන්නේ නැතුව ඊ ගස් තුන්වරක් පමණක් බිම ගසා නැවතුණා. මේ නිසා සිරියානුවන්ට විරුද්ධව යුද්ධ කිරීමෙන් ඔහු ලැබුවේ සීමිත ජයග්‍රහණයක් පමණයි. අපට පවරා ඇති වැඩය මුළු හිතින්ම සහ උද්‍යෝගයෙන් කිරීම යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා.

20:2-6. යෙහෝවා ‘යාච්ඤා අසන’ දෙවි කෙනෙක්.—ගීතාවලිය 65:2.

24:3-5. මනස්සේ අහිංසකයන්ගේ ලේ වැගිරෙවූ බැවින් යෙහෝවා යූදා ජාතියට “කමා කරන්ට නොකැමති වූවේය.” දෙවි අහිංසක අයගේ ජීවිතවලට ගරු කරනවා. අහිංසකයන්ගේ ජීවිත විනාශ කළ අයව විනාශ කිරීම තුළින් යෙහෝවා ඔවුන්ට දඬුවම් කරන බවට අපට ස්ථිර විය හැකියි.—ගීතාවලිය 37:9-11; 145:20.

අපට ඉතා ප්‍රයෝජනවත් පොතක්

යෙහෝවා කියන දේවල් ඒ විදිහටම ඉටු කරන දෙවි කෙනෙක් බව දෙවන රාජාවලිය පොත අපට ඔප්පු කර පෙන්වනවා. ඊශ්‍රායෙල් රාජ්‍යයටත් පසුව යූදා රාජ්‍යයටත් දෙවි දඬුවම් කරන්න යන බව ද්විතීය කතාව 28:15-29:28හි දෙවි පවසා තිබුණා. ඔවුන්ව වහල්භාවයට ගෙනයනු ලැබීමෙන් දෙවි කී දේ ඒ විදිහටම ඉටු වුණා. දෙවන රාජාවලිය පොතේ එලිෂාව හඳුන්වා තිබෙන්නේ මහත් උද්‍යෝගයකින් යුතුව යෙහෝවාගේ නාමය සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් වැඩ කළ අනාගතවක්තෘ කෙනෙක් හැටියටයි. හෙසකියා හා යොෂියාව එහි හඳුන්වා තිබෙන්නේ දෙවිගේ නීතියට ගරු කළ යටහත් පහත් රජවරුන් ලෙසටයි.

දෙවන රාජාවලිය පොතේ සඳහන් රජවරුන්, අනාගතවක්තෘවරුන් සහ වෙනත් අයගේ ආකල්ප හා ක්‍රියා ගැන කල්පනා කර බලද්දී, අප කිරීමට වෑයම් කළ යුත්තේ කුමක්ද සහ නොකළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් අපට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. (රෝම 15:4; 1 කොරින්ති 10:11) ඔව්, “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එලිෂා කළ ආශ්චර්යයන්

1. යොර්දාන් ගඟේ වතුර බෙදීම.—2 රාජාවලිය 2:14

2. යෙරිකෝවේ තිබෙන අපිරිසිදු වතුර පිරිසිදු කිරීම.—2 රාජාවලිය 2:19-22

3. වැරදි දෙයක් කළ ළමුන්ව වලසුන් විසින් ගොදුරු කරගැනීමට සැලැස්වීම.—2 රාජාවලිය 2:23, 24

4. හමුදාවට අවශ්‍ය වතුර ලබාදීම.—2 රාජාවලිය 3:16-26

5. වැන්දඹුවකට ආහාර පිසීම සඳහා අවශ්‍ය තෙල් ලබාදීම.—2 රාජාවලිය 4:1-7

6. වඳව සිටි ෂුනෙම්මිය ස්ත්‍රියකට දරුවෙක් ලැබීමට සැලැස්වීම.—2 රාජාවලිය 4:8-17

7. දරුවෙක්ව මරණයෙන් නැවත නැඟිටුවීම.—2 රාජාවලිය 4:18-37

8. විස සහිත කෑමක් අනුභව කිරීමට සුදුසු තත්වයකට පත් කිරීම.—2 රාජාවලිය 4:38-41

9. රොටි 20කින් මිනිසුන් සියදෙනෙකුට කෑම සැපයීම.—2 රාජාවලිය 4:42-44

10. නාමන්ගේ කුෂ්ඨය සුව කිරීම.—2 රාජාවලිය 5:1-14

11. නාමන්ට තිබූ කුෂ්ඨය ගෙහාසීට වැලඳීමට සැලැස්වීම.—2 රාජාවලිය 5:24-27

12. පොරෝ තලයක් වතුරේ පා කිරීම.—2 රාජාවලිය 6:5-7

13. කඳු වටේට දේවදූතයන් සිටින රථ සමූහයක් සිටිනවා මෙහෙකරුවාට දැකීමට සැලැස්වීම.—2 රාජාවලිය 6:15-17

14. සිරියානු සෙබළුන්ගේ ඇස් අන්ධ කිරීම.—2 රාජාවලිය 6:18

15. සිරියානු සෙබළුන්ට ඇස් පෙනීම ආපසු ලබා දීම.—2 රාජාවලිය 6:19-23

16. මිය ගිය මිනිසෙකුට යළි ජීවත් වීමට ලැබීම.—2 රාජාවලිය 13:20, 21

[12වන පිටුවේ වගුව/සිතියම]

යූදාවේ සහ ඊශ්‍රායෙලයේ රජවරු

සාවුල්/දාවිත්/සලමොන්: ක්‍රි.පූ. 1117/1077/1037 *

යූදා රාජ්‍යය අවුරුද්ද (ක්‍රි.පූ.) ඊශ්‍රායෙල් රාජ්‍යය

රෙහොබොවම් ․․․․․․ 997 ․․․․․․ යෙරොබොවම්

අබියා/ආසා ․․․․․․ 980/978 ․․․․․․

․․ 976/975/952 ․․ නාදාබ්/බාෂා/ඒලා

․․ 951/951/951 ․․ සිම්රි/ඔම්රී/තිබ්නී

․․․․․․ 940 ․․․․․․ ආහබ්

යෙහෝෂාපාට් ․․․․․․ 937 .․․․․․․

․․․․․․ 920/917 ․․․․․․ අහසියා/යෙහෝරාම්

යෙහෝරාම් ․․․․․․ 913 ․․․․․․

අහසියා ․․․․․․ 906 ․․․․․․

(අතලියා) ․․․․․․ 905 ․․․․․․ යේහු

යෙහෝවාෂ් ․․․․․․ 898 ․․․․․․

․․․․․․ 876/859 ․․․․․․ යෙහෝවාහාස්/යෙහෝවාෂ්

අමශියා ․․․․․․ 858․․․․․․

․․․․․․ 844․․․․․․ II වන යෙරොබොවම්

අශරියා (උස්සියා) ․․․․․․ 829 ․․․․․․

․․ 803/791/791 ․․ සෙකරියා/ෂල්ලුම්/මෙනහෙම්

․․․․ 780/778 ․․․․ පෙකහියා/පෙකා

යෝතාම්/ආහාස් ․․․․․․ 777/762 ․․․․․

․․․․․․ 758 ․․․․․․ හෝෂෙයා

හෙසකියා ․․․․․․ 746 ․․․․․․

․․․․․․ 740 ․․․․․․ සමාරිය අල්ලාගනු ලැබෙයි

මනස්සේ/ආමොන්/යොෂියා ․․․․․․ 716/661/659 ․․․․․․

යෙහෝවාහාස්/යෙහෝයාකීම් ․․․․․․ 628/628 ․․․․․․

යෙහෝයාඛින්/ශෙදෙකියා ․․․․․․ 618/617 ․․․․․․

යෙරුසලම විනාශ වෙයි ․․․․․․ 607 ․․․․․․

[පාදසටහන]

^ 66 ඡේ. සඳහන් කර තිබෙන්නේ ආසන්න වශයෙන් පාලනය ආරම්භ කළ අවුරුද්දයි.

[8, 9වන පිටුවේ පින්තූරය]

නාමන් යටහත් පහත්කම පෙන්වූ නිසා යෙහෝවාගේ බලයෙන් ඔහු සුව වුණා

[8, 9වන පිටුවේ පින්තූරය]

එලියා “සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී” ගිය අවස්ථාවේදී ඔහුට සිදු වුණේ කුමක්ද?