Skip to content

පටුනට යන්න

නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න

නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න

නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න

බයිබලය වෛද්‍ය අත්පොතක් නෙවෙයි. ඒත් තමා ගැනම හොඳ ආකල්පයක් තබාගැනීම හෝ තමා ගැනම අඩුවෙන් සිතීම හෝ කෙනෙකුගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන බයිබලය පෙන්වා දෙනවා. “සතුටු සිතක් යහපත් බෙහෙතක් වේ; එහෙත් බිඳුණු ආත්මය ඇට වියළවයි” කියා එහි පවසා තිබෙන අතර, “ඔබ විපත්ති කාලයේදී ක්ලාන්ත වන්නෙහි නම් ඔබේ ශක්තිය ස්වල්ප වේ” යයි තවදුරටත් එහි සඳහන් වෙනවා. (හිතෝපදේශ 17:22; 24:10) අපි අධෛර්යයට පත් වුණාම අපේ ශක්තිය ගොඩාක් අඩු වන නිසා අපි දුර්වල වෙනවා. මේ නිසා අවශ්‍ය වෙනස්කම් කිරීමට හෝ වෙනත් අයගෙන් උපකාරය ලබාගැනීමට හෝ අප තුළ කිසිම ආශාවක් නැති වන අතර, ඒ තුළින් අප අපවම අවදානම් තත්වයකට පත් කරගන්නවා.

කෙනෙක් අධෛර්යයට පත් වුණාම දෙවි සමඟ ඔහුට තිබෙන සම්බන්ධයටත් එය බලපාන්න පුළුවන්. තමන් වටින්නේ නැති පුද්ගලයන් කියා සිතන අයට බොහෝවිට හැඟෙන්නේ තමන්ට කවදාවත් දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වන්නවත් ඔහුගේ ආශිර්වාද ලබන්නවත් බැරි බවයි. අපි කලින් ලිපියේ සඳහන් කළ සිමෝන්ට නිතරම හැඟුණේ “තමා දෙවි අනුමත කරන ආකාරයේ පුද්ගලයෙක්” නොවන බවයි. ඒත් අපි දේවවචනය වන බයිබලය සෝදිසි කරද්දී අපිට දැනගන්න ලැබෙනවා දෙවිව සතුටු කිරීමට උත්සාහ කරන අයට දෙවිගේ අනුමැතිය ලැබෙන බව.

දෙවි අපි ගැන සැලකිල්ලක් දක්වනවා

“යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය; තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය.” කියා බයිබලය පවසනවා. “බිඳුණු තැළුණු සිතක්” දෙවි අඩුවෙන් සලකන්නේ නැහැ. නමුත් ‘යටහත් පහත් අය පණ ගන්වන බවටත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන බවටත්’ ඔහු පොරොන්දු වෙනවා.—ගීතාවලිය 34:18; 51:17; යෙසායා 57:15, නව අනුවාදය.

දෙවි තමන්ට සේවය කරන අය තුළ තිබෙන යහපත දකින බව තම ගෝලයන්ට පැහැදිලි කර දීමට අවශ්‍ය බව දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට වැටහුණා. මේ කාරණය ඔවුන්ට පැහැදිලි කිරීම සඳහා ගේ කුරුල්ලන් සම්බන්ධ උදාහරණයක් ඔහු භාවිත කළා. උන්ගෙන් එකෙක් හරි බිමට වැටුණොත් දෙවි එය දකින බව ඔහු පැවසුවා. මිනිසාට මෙය එතරම් වැදගත් නැති දෙයක් වුණත් දෙවිගේ අවධානයට එය ලක්වන ආකාරය ඔහු ඉන් පැහැදිලි කළා. ඕනෑම පුද්ගලයෙකුගේ සෑම තොරතුරක්ම දෙවි දන්න බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ පුද්ගලයන්ගේ හිසේ තිබෙන කෙස් සංඛ්‍යාව පවා මීට ඇතුළත් වන බව ඔහු කීවා. යේසුස් ඒ උදාහරණය අවසන් කළේ, “එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය” කියා පවසමිනුයි. (මතෙව් 10:29-31) * මිනිසුන්ට තමුන් ගැන කොහොම හැඟුණත්, දෙවි කෙරෙහි ඇදහිල්ලක් තිබෙන අය ඔහු ඉදිරියේ ගොඩාක් වටින බව යේසුස් මෙමඟින් පෙන්වා දුන්නා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය” කියා පේතෘස් අපට සිහිගන්වයි.—ක්‍රියා 10:34, 35.

සමබර වෙන්න

අප ගැනම අප දරන ආකල්පය ගැන සමබර වීමට දේවවචනය අපිට දිරිගන්වනවා. පාවුල් මෙහෙම ලිව්වා. “මට දී තිබෙන මහත් කරුණාව නිසා මා ඔබ අතරේ සිටින සියල්ලන්ට කියන්නේ, තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතා, දෙවි එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය අනුව, හොඳ සිහිකල්පනාවෙන් සිටීමට හැකි වන පරිද්දෙන් සිතන්න කියාය.”—රෝම 12:3.

අපි අපි ගැනම ඕනෑවට වඩා වැඩියෙන් සිතමින් උඩඟු වෙන එක කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ අපි කොහෙත්ම වටින්නේ නැති අය කියා සිතීමත් සුදුසු නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කළ යුත්තේ අපි ගැනම සමබරව සිතීමටයි. අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියාත් කරන්න බැරි දේවල් මොනවාද කියාත් අපි තේරුම්ගත යුතුයි. එක් ක්‍රිස්තියානි කාන්තාවක් තමා ගැන සිතන ආකාරය විස්තර කළේ මේ විදිහටයි. “මම නරක කෙනෙක් නෙවෙයි. නමුත් මම ශුද්ධවන්තයෙකුත් නෙවෙයි. මගේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. අනිත් අයත් ඒ වගේමයි.”

ඒ විදිහට සමබරව සිතීමට පුරුදු වීම පහසු දෙයක් නොවන බව ඇත්තයි. සමහරවිට වසර ගණනාවක් තිස්සේ අපි අප ගැනම අඩුවෙන් සිතනවා වෙන්න පුළුවන්. ඒ හැඟීම නැති කර දමන්න සෑහෙන වෑයමක් දරන්න සිදු වේවි. ඒත් දෙවිගේ උපකාරය ඇතුව අපේ පෞද්ගලිකත්වයේ වෙනසක් කිරීමට සහ අපි දේවල් දිහා බලන ආකාරය වෙනස් කිරීමට අපිට හැකියි. දේවවචනය අපට උනන්දු කරන්නෙත් එම දේම කිරීමටයි. “ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික මුළා කරවනසුලු ආශාවලින් දූෂ්‍ය වන්නාවූ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතු බවත්, ඔබ ඔබේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වී, සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතු බවත්” බයිබලය අපට පවසයි.—එෆීස 4:22-24.

‘මනස ක්‍රියාත්මක කරන බලය,’ හෙවත් අපි සිතන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් අපේ පෞද්ගලිකත්වයේ වෙනසක් ඇති කිරීමට අපිට හැකි වෙයි. එවිට මම වටින්නේ නැහැ යන හැඟීම වෙනුවට මම ගොඩාක් වටිනවා යන හැඟීම අප තුළ වර්ධනය කරගැනීමට අපිට පුළුවන්. කලින් ලිපියේ අපි සඳහන් කළ ලීනා ගැන සිතා බලන්න. කිසිම කෙනෙකුගේ ආදරය හෝ උපකාරය ලබන්න තමා වටින්නේ නැහැ කියා ඇය සිතුවා. ඒ හැඟීම තම සිතෙන් ඉවත් කරගන්න තෙක් ඇය ගැනම ඇය අඩුවෙන් සිතන ආකාරයේ වෙනසක් වෙන්නේ නැති බව ලීනා වටහාගත්තා. මෙවන් වෙනස්කම් කිරීමට ලීනාටත් සිමෝන්ටත් තවත් බොහෝදෙනෙකුටත් උපකාරවත් වුණේ බයිබලයෙන් ඔවුන් ලැබූ ප්‍රායෝගික උපදෙස්. ඉන් සමහරක් දැන් අපි සලකා බලමු.

සතුටට දායක වන බයිබල් ප්‍රතිපත්ති

“ඔබේ බර යෙහෝවා පිට තබන්න; ඔහු ඔබ උසුලන්නේය.” (ගීතාවලිය 55:22) සැබෑ ප්‍රීතිය ලබන්න මූලික වශයෙන් අපට උපකාරවත් වන්නේ යාච්ඤාවයි. “අධෛර්යයට පත් වන ඕනෑම අවස්ථාවකදී මම යෙහෝවාට යාච්ඤා කරනවා. ඒ හැම අවස්ථාවකදීම යෙහෝවා මාව ශක්තිමත් කර මට මඟ පෙන්වීම සපයා තිබෙනවා” කියා සිමෝන් පවසනවා. අපේ බර යෙහෝවා පිට තැබීමට ගීතිකාකරු අපව දිරිගන්වයි. ඔහු එසේ කරන්නේ, යෙහෝවා අපට සලකන බව පෙන්වීමට විතරක් නෙවෙයි, නමුත් ඔහුගේ උපකාරය ලබන්න තරම් අපි වටින අය හැටියට යෙහෝවා අපව සලකන බවත් අපට මතක් කර දීමටයි. ක්‍රිස්තු වර්ෂ 33 පාස්කු උත්සවය සැමරූ රාත්‍රියේදී යේසුස් තම ගෝලයන්ට පැවසුවේ තව කෙටි කාලයකින් තමා ඔවුන්ගෙන් සමුගන්න යන බවයි. ඔවුන් ඒ ගැන ශෝක වුණා. නමුත් ඔවුන්ව ධෛර්යවත් කරමින් යේසුස් ඔවුන්ට පැවසුවේ උපකාරය ඉල්ලා තම පියාණන්ට යාච්ඤා කරන්න කියායි. ඔහු පැවසුවේ මෙයයි. “ඉල්ලන්න. එවිට ඔබට ලැබෙන්නේය. එමගින් ඔබේ ප්‍රීතිය පූර්ණ වන්නේය.”—යොහන් 16:17-24.

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) දීමේ පුරුද්ද ජීවිතයේ සැබෑ සතුට ලබාගැනීමට ප්‍රධාන හේතුවක් වන බව යේසුස් ඉගැන්නුවා. මෙම බයිබල් ඉගැන්වීම අපගේ ජීවිතයට අදාළ කරද්දී අපිට හැකි වෙනවා අපගේම අඩු පාඩු ගැන නිතරම සිත සිත ඉන්නවාට වඩා අනුන්ට තිබෙන අවශ්‍යතා ගැන සිතන්න. අපි අනුන් වෙනුවෙන් කළ උපකාරයක් ඔවුන් අගය කරද්දී අපට අප ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා. නිතිපතා අන්අය සමඟ බයිබලයේ තිබෙන ශුභාරංචිය ගැන කතා කිරීමෙන් තමා ආකාර දෙකකින් ප්‍රයෝජන ලබන බව කියන ලීනා පැවසුවේ මෙයයි. “පළමුව මට ලැබෙන්නේ යේසුස් කතා කළ දීමෙන් ලැබෙන සන්තෝෂය හා තෘප්තියයි. දෙවනුව, අනිත් අයගෙන් මට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. එයින්ද මම ලොකු ප්‍රීතියක් ලබනවා.” ත්‍යාගශීලීව අන්අය වෙනුවෙන් දේවල් කළොත් හිතෝපදේශ 11:25හි සඳහන් මෙම වදන්වල සත්‍යතාව අපට අද්දකින්න හැකි වේවි. ‘දිය ඉසින්නාට දිය ඉසිනු ලබන්නේය.’

“දුක් විඳින්නාගේ සියලු දවස් නපුරුය; එහෙත් සතුටු සිත් ඇත්තාට නිරන්තර මංගල්‍යයක් ඇත.” (හිතෝපදේශ 15:15) අපි සියලු දෙනාටම නිදහස තිබෙනවා අපි කැමති විදිහට අපි ගැන සිතන්න. අපිට පුළුවන් අපේ දුර්වලකම් ගැන විතරක් හිතලා දුකින් සිටින්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් අපේ හොඳ පැති ගැන හිතලා මංගල්‍යයකදී මෙන් ‘සතුටු සිතින්’ කල් ගෙවන්න. සිමෝන් පැවසුවේ මෙයයි. “මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් හොඳ සිතුවිලි ඇතුව සිටීමටයි. මම පෞද්ගලික පාඩම සඳහාත් දේවසේවය සඳහාත් කාලය ගත කරනවා. ඒ වගේම නොකඩවා යාච්ඤා කරනවා. සතුටින් සිටින පුද්ගලයන් සමඟ ඇසුරු කිරීමට මම උත්සාහ කරනවා. අන්අයට මාව ඕන වෙනකොට ඔවුන්ට උදව් උපකාර කිරීමට සූදානමින් සිටින්නටත් මම උත්සාහ කරනවා.” එවැනි ආකල්පයක් තිබෙන පුද්ගලයෙකුට ඇත්තෙන්ම සැබෑ සතුට සොයාගන්න පුළුවන්. එසේ කිරීමට බයිබලය අපට උනන්දු කරනවා. “ධර්මිෂ්ඨයෙනි, යෙහෝවා කෙරෙහි සතුටුව ප්‍රීති වෙන්න; අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරන්න.”—ගීතාවලිය 32:11.

“මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි; සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය.” (හිතෝපදේශ 17:17) අපව වටින්නේ නැහැ යන හැඟීමෙන් මුළුමනින්ම යටපත් වෙන්න කලින්, ඒ හැඟීම පාලනය කරලා පසුව එය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට අපට පුළුවන්. ඒ සඳහා උපකාරවත් වෙන තවත් දෙයක් වන්නේ ඒ ගැන අපේ පවුලේ කෙනෙක් හෝ කිට්ටු මිත්‍රයෙක් එක්ක එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න පුළුවන් විශ්වසනීය කෙනෙක් එක්ක කතා කිරීමයි. ඒ විදිහට අපිට හැඟෙන ආකාරය ගැන අන්අය සමඟ කතා කරන විට අපට අප ගැනම හොඳ හැඟීමක් වර්ධනය කිරීමටත් සමබරව දේවල් දෙස බැලීමටත් පුළුවන් වෙයි. “මට හැඟෙන විදිහ ගැන තව කෙනෙක් එක්ක කතා කිරීම මට ගොඩාක් උපකාරවත් වෙලා තියෙනවා. තව කෙනෙක් එක්ක කතා කිරීමෙන් අපේ සිතේ තිබෙන බර සෑහෙන්න සැහැල්ලු කරගන්න පුළුවන්” කියා සිමෝන් කියනවා. ඔබ එසේ කළොත් මෙම හිතෝපදේශයේ සත්‍යතාව ඔබ අද්දකීවි. “මනුෂ්‍යයාගේ සිත එහි ශෝකය නිසා නැමෙයි; එහෙත් හොඳ වචනයකින් ඒක සතුටු වේ.”—හිතෝපදේශ 12:25.

ඔබට කළ හැකි දේවල්

මෙතෙක් අපි සලකා බැලුවේ අප අප ගැනම අඩුවෙන් සිතන එක ඉවත් කර දමා සැබෑ සතුට ලබන්න අපට උපකාර කළ හැකි වටිනා මෙන්ම අපේ ජීවිතයට ප්‍රායෝගිකව අදාළ කළ හැකි ප්‍රතිපත්ති සමහරක් ගැන පමණයි. ඔබව වටින්නේ නැහැ කියන හැඟීම් නිසා ඔබේ සිත කැලඹිලා නම්, දේවවචනය වන බයිබලය හොඳින් පරීක්ෂා කර බලන මෙන් අපි ඔබට දිරිගන්වනවා. ඔබ ගැනත් දෙවි සමඟ ඔබට තිබෙන සම්බන්ධය ගැනත් පැහැදිලිව සහ සමබරව සිතීමට පුරුදු වෙන්න. දේවවචනයෙන් ලැබෙන මඟ පෙන්වීම ලබමින් ඔබ කරන සියල්ලේදී සැබෑ සතුට ලබන්න ඔබට හැකි වේවා යන්න අපගේ අවංක ආශාවයි.

[පාදසටහන]

^ 6 ඡේ. මේ පදයේ මේ කොටස 22 සහ 23 පිටුවල විස්තරාත්මකව සාකච්ඡා කෙරෙනවා.

[7වන පිටුවේ පින්තූරය]

බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් සතුට ලබාගත හැකියි