Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ශෙපනියා 2:3හි සඳහන් වන “සමහරවිට” යන වචනයෙන් අදහස් කරන්නේ දෙවිගේ සේවකයන්ට සදාකාල ජීවනය ලැබෙන එක ගැන ස්ථිර විය නොහැකි බවද?

ඒ පදයේ සඳහන් වෙන්නේ මෙයයි. “යෙහෝවාගේ විනිශ්චය ඉෂ්ට කළාවූ පොළොවේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, ඔහුව සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න; මොළොක්කම සොයන්න; යෙහෝවාගේ උදහසේ දවසේදී ඔබ සමහරවිට සඟවනු ලබන්ට පුළුවන.” මේ පදයේ “සමහරවිට” යන වචනය භාවිත කිරීමට හේතුව කුමක්ද?

යෙහෝවා දෙවි අර්මගෙදොන්හිදී තම විශ්වාසවන්ත සේවකයන්ට කුමක් කරයිද යන්න තේරුම්ගැනීමට, ඊට කලින් මියයන අය සම්බන්ධයෙන් දෙවි කුමක් කරාවිද කියා බයිබලය උගන්වන දෙය මතකයට නංවා ගැනීම උපකාරවත් වෙයි. ඒ අයගෙන් සමහරදෙනෙක් දැනටමත් ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා නැවත නැඟිටීමක් ලබා තිබෙනවා. අනිත් අය මේ පොළොව මත පාරාදීසයක සදාකල් ජීවත් වීම සඳහා නැවත නැඟිටීමක් ලබන්න යනවා. (යොහන් 5:28, 29; 1 කොරින්ති 15:53, 54) අර්මගෙදොන්වලට කලින් මියගිය තම පක්ෂපාත සේවකයන්ව යෙහෝවා දෙවි මතක තබාගෙන ඔවුන්ට ආශීර්වාද කරන්න යනවා නම්, ඔහුගේ උදහස් දවසේදී තවමත් ජීවත් වෙමින් සිටින තම සේවකයන් සම්බන්ධයෙනුත් ඔහු අනිවාර්යයෙන්ම ඒ ආකාරයට කටයුතු කරයි කියා සිතිය හැකියි.

පේතෘස් දේවානුභාවයෙන් ලිවූ මෙම වදන් අපට සහනයක් ගෙනදෙයි. “අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක් ගෙන ආ කල, [දෙවි] ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු වූ නෝවාව තව සත්දෙනෙකු සමඟ ආරක්ෂා කළේය. ඔහු සොදොම් සහ ගොමෝරා යන නගර අළු කරමින් ඒවා විනාශ කළේය. . . . ධර්මිෂ්ඨ ලොත්ව ගලවාගත්තේය. . . . දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව කපාහරින පිණිස විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දන්නේය” කියා ඔහු ලීවා. (2 පේතෘස් 2:5-9) යෙහෝවා දෙවි අතීතයේදී දුෂ්ටයන්ව විනාශ කළත්, තමාට විශ්වාසවන්ත ලෙස සේවය කළ නෝවා සහ ලොත් වැනි අයව ඔහු ආරක්ෂා කළා. ඒ ආකාරයටම අර්මගෙදොන්හිදී දුෂ්ටයන්ව විනාශ කරද්දීත් යෙහෝවා දෙවි තමන්ට භක්තිවන්ත ලෙස සේවය කරන මිනිසුන්ව ගලවන නිසා ධර්මිෂ්ඨ “මහත් සමූහයක්” බේරී ජීවත් වෙනවා නිසැකයි.—එළිදරව් 7:9, 14.

පෙනෙන විදිහට ශෙපනියා 2:3හි “සමහරවිට” යන වචනය භාවිත කර තිබෙන්නේ දෙවිගේ අනුමැතිය ලත් අයව ආරක්ෂා කිරීමට ඔහුට නොහැකි බව පෙන්වීමට නෙවෙයි. ඒ වෙනුවට කෙනෙක් ධර්මිෂ්ඨකම සහ මොළොක් ගුණය සොයන්න පටන්ගන්න අවස්ථාවේදී, සමහරවිට ඔහුව යෙහෝවාගේ උදහස් දවසේදී සඟවනු ලැබෙයි කියා කිව හැකියි. නමුත් ඔහුට ගැලවීම ලැබෙන්නේ ඔහු දිගටම මොළොක්ගුණය සහ ධර්මිෂ්ඨකම සෙව්වොත් විතරයි.—ශෙපනියා 2:3.

[31වන පිටුවේ පින්තූරය]

‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දන්නවා’