Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ කැමැත්ත කරන්නන්ට මහඟු ආශීර්වාද ලැබෙයි

යෙහෝවාගේ කැමැත්ත කරන්නන්ට මහඟු ආශීර්වාද ලැබෙයි

ජීවිත කතාව

යෙහෝවාගේ කැමැත්ත කරන්නන්ට මහඟු ආශීර්වාද ලැබෙයි

රොමුආල්ට් ස්ටෆ්ස්කී

දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත් 1939 සැප්තැම්බර් මාසයේදී, උතුරු පෝලන්තයේ පැවතියේ දැඩි යුධමය තත්වයක්. ඒ වෙනකොට මට වයස අවුරුදු නවයයි. කුතුහලයෙන් පිරුණු වයසක සිටි මම ළඟ පාත පිහිටි සටන් බිමක් බලන්න ගියා. මා දුටුවේ බිහිසුණු දර්ශනයක්! හැම තැනම මළ මිනී තිබුණා. දුම නිසා හුස්ම ගන්නත් අමාරු වුණා. කරදරයක් නැතුව කොහොමහරි ගෙදරට යා ගන්නයි මට ඕන වුණේ. ඒ යන ගමන් මේ ප්‍රශ්න ගැනත් මම කල්පනා කළා. “මේ තරම් දරුණු දේවල් සිදු වෙන්න දෙවි ඉඩ දෙන්නේ ඇයි? මේ වගේ අවස්ථාවලදී දෙවි ගන්නේ කාගේ පැත්තද?”

යුද්ධය අවසන් වෙන්න කිට්ටු වෙද්දී, තරුණයන්ට ජර්මානු හමුදාවට බැඳෙන්න කියා බල කළා. කවුරුහරි ඒකට විරුද්ධ වුණොත් ඔහුට අත් වුණේ දරුණු ඉරණමක්. විරුද්ධ වූ අයව මරා ගසක හෝ පාලමක එල්ලා තබා ඔවුන්ගේ සිරුරුවල “ද්‍රෝහියා” හෝ “කඩාකප්පල්කාරයා” යන දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණා. අප ජීවත් වුණු ගිඩින්යා නගරය පිහිටා තිබුණේ සටන් වදිමින් සිටි සතුරු හමුදා දෙකක් අතරමැදි ප්‍රදේශයකයි. අපි නගරයෙන් පිටට වතුර ගේන්න ගියාම අපේ හිසට උඩින් වෙඩි උණ්ඩ සහ බෝම්බ එහා මෙහා යනවා අපි දැක්කා. ඒ එක් අවස්ථාවකදී මගේ මල්ලී හෙන්රික් මරණයට පත් වුණා. මෙවැනි භයානක තත්වයක් මේ ප්‍රදේශයේ පැවති නිසා අපි හතරදෙනාවත් අරගෙන අම්මා පොළොව යට පිහිටි ආරක්ෂා සහිත ස්ථානයකට පදිංචියට ගියා. එහිදී වයස අවුරුදු දෙකක් වූ මගේ මල්ලී යූගාන්යූෂ් ගලපටල රෝගය නිසා මිය ගියා.

“දෙවියන් කොහේද? මේ තරම් දුක් වේදනාවලට ඔහු ඉඩ දෙන්නේ ඇයි?” යන ප්‍රශ්න මගේ සිතේ නැවතත් මතු වුණා. මම භක්තිමත් කතෝලිකයෙක් ලෙස නිතිපතා පල්ලි ගියත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න මට බැරි වුණා.

බයිබල් සත්‍යය දැනගැනීමට ලැබීම

ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ මම බලාපොරොත්තු නොවුණු විදිහටයි. වර්ෂ 1945දී යුද්ධය අවසන් වූ අතර, 1947 මුල් කාලයේ එක් දිනක යෙහෝවාගේ සාක්ෂිකාරියක් ගිඩින්යාවල පිහිටි අපගේ නිවසට ආවා. ඇය මගේ අම්මත් එක්ක කතා කරද්දී ඒ දේවල් සමහරක් මටත් ඇහුණා. ඇය පැවසූ දේවල් පිළිගත හැකි තර්කානුකූල දේවල් වූ නිසා ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීමකට එන්න කියා ඇය ආරාධනා කළ විට එයට සහභාගි වෙන්න අපි තීරණය කළා. ගත වුණේ මාසයයි. බයිබල් සත්‍යතාවන් ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව සිටියත්, මම ඒ ප්‍රදේශයේ සිටි සාක්ෂිකාරයන් කණ්ඩායමක් සමඟ එකතු වී යුද්ධ සහ කුරිරුකම් නැති වඩාත් හොඳ ලෝකයක් ගැන අන්‍යයන්ට දේශනා කරන්න පටන්ගත්තා. ඒකෙන් මම ලොකු සතුටක් ලැබුවා.

වර්ෂ 1947 සැප්තැම්බර් මාසයේදී සොපොට් නම් ගමේ පැවති චාරිකා එක්රැස්වීමකදී මම බව්තීස්ම වුණා. ඊළඟ අවුරුද්දේ මැයි මාසයේදී මම ස්ථාවර පුරෝගාමියෙක් හැටියට බයිබලයේ තිබෙන පණිවුඩය අන්‍යයන්ට කියා දීමට මගේ කාලයෙන් වැඩි කොටසක් කැප කරන්න මම තීරණය කළා. අපේ ප්‍රදේශයේ සිටි පූජක පක්ෂය අපේ වැඩයට ගොඩාක් විරුද්ධ වුණා විතරක් නෙවෙයි අපිට හිංසා කිරීමටත් අනිත් අයව උසිගැන්නුවා. එක දවසක් කෝපයෙන් වියරු වැටුණු කලහකාරී පිරිසක් අපිට ගල් ගසා දරුණු ලෙස පහර දුන්නා. වෙනත් අවස්ථාවකදී ඒ ප්‍රදේශයේම සිටි කන්‍යා සොහොයුරියන්ගේ සහ පූජකයන්ගේ පෙලඹීම මත එක් කණ්ඩායමක් අපිට පහර දුන්නා. අපි ආරක්ෂාව පතා පොලිස් ස්ථානයට ගියා, නමුත් ඒ කලහකාරී පිරිස පොලිසිය වටකර අපිට පහර දෙන බවට තර්ජනය කළා. අවසානයේදී අමතර පොලිස් කණ්ඩායමක් පැමිණ අපිව ආරක්ෂා සහිතව ඒ ස්ථානයෙන් රැගෙන ගියා.

ඒ කාලයේදී අපි දේශනා කරපු ප්‍රදේශයේ සභාවක් තිබුණේ නැහැ. අපි සමහර රාත්‍රි ගත කළේ කැලෑවල. එවැනි දුෂ්කරතා තිබුණත් දේශනා සේවය දිගටම කරගෙන යෑමට හැකිවීම ගැන අපි සතුටු වුණා. දැන් ඒ ප්‍රදේශයේ ශක්තිමත් සභා කිහිපයක්ම තිබෙනවා.

බෙතෙල් සේවය හා අත්අඩංගුවට ගැනීම

වර්ෂ 1949දී වූච්වල පිහිටි බෙතෙල් ගෘහයේ සේවය කිරීමට මට ආරාධනයක් ලැබුණා. එවැනි තැනක සේවය කරන්න ලැබීම කොතරම් වරප්‍රසාදයක්ද! නමුත් මට වැඩි කාලයක් එහි සේවය කිරීමට නොලැබීම කනගාටුවට කාරණයක්. වර්ෂ 1950 ජූනි මාසයේදී මා ඇතුළු බෙතෙල්හි සේවය කළ අනික් සහෝදරයන්වත් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් මාසයකට පස්සේ ඒ රටේ අපේ වැඩ කටයුතු නීත්‍යනුකූල ලෙස තහනම් කරනු ලැබුවා. මාව සිරගෙට ගෙන යනු ලැබූ අතර එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී කෲර ලෙස මට වද හිංසා කළා.

මගේ තාත්තා ඒ කාලයේදී සේවය කළේ පෝලන්තය සහ නිව් යෝක් නුවර අතර නිතර නිතර යාත්‍රා කළ නැවකයි . ඒ නිසා මාව ප්‍රශ්න කළ අය උත්සාහ කළේ මගේ තාත්තා අමෙරිකාවට ඔත්තු සැපයූ කෙනෙක් බව මා ලවා ප්‍රකාශ කරගැනීමටයි. ඒ අය මට සැලකුවේ හිතක් පපුවක් නැති විදිහටයි. එසේ කරන ගමන් නිලධාරීන් හතරදෙනෙක්, ඒ කාලයේදී පෝලන්තයේ දේශනා වැඩ කටයුතු අධීක්ෂණය කළ සහෝදර විල්හෙල්ම් ෂයිඩර්ට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්න කියා මට බල කළ ඔවුන් පොලුවලින් මගේ යටි පතුල්වලට පහර දුන්නා. ලේ ගලමින් බිම වැටී සිටි මට තවදුරටත් මේ වේදනාව දරාගන්න බැරි බව හැඟුණා. ඒ නිසා මම “යෙහෝවා මට උදව් කරන්න!” කියා මොරගැසුවා. මට පහර දුන් අය පුදුමයට පත් වී පහර දෙන එක නතර කළා. විනාඩි කිහිපයකින් ඔවුන්ට නින්ද ගියා. මට ලොකු සහනයක් දැනුණු අතර වේදනාව දරාගන්න ශක්තියකුත් ලැබුණා. තම කැප වූ සේවකයන් තමාගෙන් උපකාර ඉල්ලන විට යෙහෝවා ඉතා ප්‍රේමණීය ලෙසින් ඔවුන්ට උපකාර කරන බව මේ සිද්ධියෙන් මට තහවුරු වුණා. ඉන් මගේ ඇදහිල්ල ශක්තිමත් වූ අතර දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමටත් මේ සිද්ධියෙන් මම ඉගෙනගත්තා.

පරීක්ෂණයෙන් පසුව නිකුත් කළ අවසාන වාර්තාවේ මම නොකියූ බොරු චෝදනා ඇතුළත් කර තිබුණා. මම ඊට විරුද්ධ වුණාම නිලධාරියෙක් කිව්වේ “කියන දෙයක් උසාවියේදී කියන්න!” කියලයි. නමුත් මා සමඟ එකම සිර කුටියේ සිටි සිරකරුවෙක් මාව සනසමින් පැවසුවේ ඒ අවසාන වාර්තාව හමුදා නඩු පැමිණිලි පරීක්ෂා කරන නිලධාරියෙක් බලන නිසා ඔහු ඉදිරියේ ඒ චෝදනාව බොරු බව ඔප්පු කිරීමට මට අවස්ථාවක් ලැබෙන බවයි. ඔහු කිවූ ලෙසම ඒ නිලධාරියා ඉදිරියේ ඒ චෝදනාව බොරු එකක් කියා ඔප්පු කරන්න මට අවස්ථාවක් ලැබුණා.

චාරිකා සේවය හා නැවත සිරගෙට

පසුව 1951 ජනවාරි මාසයේදී මාව නිදහස් කරනු ලැබුවා. ඉන් මාසයකට පස්සේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරන්න මම පටන්ගත්තා. අපේ වැඩකටයුතු තහනම් කර තිබුණත් වෙනත් සහෝදරයන් කිහිපදෙනෙක් සමඟ එකතු වී සභා ශක්තිමත් කිරීමටත්, ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය නිසා විසිරී සිටි සහෝදරයන්ට උපකාර කිරීමටත් මට හැකි වුණා. ඒ අතර දිගටම දේවසේවයේ නියැලෙන්න කියා අපි සහෝදරයන්ව දිරිගැන්නුවා. පසු කාලයකදී මේ සහෝදරයන් චාරිකා අවේක්ෂකයන්ට නිර්භීත ලෙස සහයෝගය දුන් අතර බයිබල් පොත් පත් රහසිගතව මුද්‍රණය කිරීමේ හා බෙදාහැරීමේ වැඩ කටයුතුද දිගටම කරගෙන ගියා.

වර්ෂ 1951 අප්‍රියෙල් මාසයේ එක් දවසක ක්‍රිස්තියානි රැස්වීමකට ගොස් නිවසට යන අතරතුරේදී මා ගැන විමසිල්ලෙන් සිටි ආරක්ෂක නිලධාරීන් මාව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ ප්‍රශ්නවලට මම පිළිතුරු නොදුන් නිසා මාව බිඩ්ගෝස්ච්හි පිහිටි සිරගෙදරට ගෙන ගිය ඔවුන් එදා රෑම මගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළා. ඊට පස්සේ දවස් හයක් තිස්සේ බිත්තියකට මූණලා සිටගෙන සිටින්න කියා ඔවුන් මට අණ කළා. මට කිසිම දෙයක් කෑමට හෝ බීමට ලැබුණේ නැහැ. ඒ කාමරය නිලධාරීන්ගේ දුම්වැටිවලින් නිකුත් වූ දුමෙන් පිරී තිබුණා. ඔවුන් මට පොල්ලකින් තැළු අතර දුම්වැටිවලින් මගේ සිරුරේ තැනින් තැන පිළිස්සුවා. වේදනාව දරාගන්න බැරුව මම සිහි නැති වී වැටුණාම ඔවුන් මට වතුර ගහලා නැවතත් හිංසා කරන්න පටන්ගත්තා. මේ වේදනාව විඳදරාගැනීමට මට ශක්තිය දෙන්න කියා මම යෙහෝවාට යාච්ඤා කළ අතර ඔහු මාව ඉසිලුවා.

බිඩ්ගෝස්ච්හි සිරගෙදර සිටීමෙන් යම් ප්‍රයෝජනද ලැබුණා. සාමාන්‍යයෙන් නිවෙස්වලදී හමු වෙන්නේ නැති අයත් සමඟ බයිබලයේ තිබෙන තොරතුරු බෙදාගැනීමට එහිදී මට අවස්ථා රාශියක් ලැබුණා. ඉතා කනගාටුදායක මෙන්ම කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයක සිටි ඒ සිරකරුවන් ඒ පණිවුඩයට හොඳින් සවන් දී මුළු කැමැත්තෙන්ම එය පිළිගත්තා.

වැදගත් වෙනස්වීම් දෙකක්

මාව 1952දී නිදහස් කළා. උද්‍යෝගයෙන් සේවය කළ පුරෝගාමි සහෝදරියක් වූ නෙලාව මට මුණගැහුණේ ඊට ටික කලකට පස්සෙයි. කාලයක් ඇය දකුණු පෝලන්තයේ පුරෝගාමි සේවය කර තිබුණා. පසුව ඇය අපගේ පොත්පත් රහසිගතව මුද්‍රණය කළ තැනක වැඩ කළා. එවැනි තැන් අපි ඒ කාලයේදී හැඳින්වූයේ “බේකරි” කියලයි. එවැනි තැනක වැඩ කිරීම පහසු දෙයක් වුණේ නැහැ. ඒ සඳහා ලොකු කැපවීමක් සහ සුපරීක්ෂාකාරී ස්වභාවයක් අවශ්‍ය වුණා. අපි දෙදෙනා 1954දී විවාහ වූ අතර අපගේ දුව ලිඩියා ඉපදෙන තුරුම අපි පූර්ණකාලීන සේවයේ දිගටම රැඳී සිටියා. ඉන්පසුව අපේ දුවව බලාගැනීම සඳහා නෙලා පූර්ණ කාලීන සේවය නතර කළ අතර ඒ නිසා මට සංචාරක වැඩකටයුතුවල දිගටම නියැලීමට හැකි වුණා.

එම අවුරුද්දේදීම අපිට තවත් වැදගත් තීරණයක් ගන්න සිදු වුණා. ඒ තමයි දිස්ත්‍රික් අවේක්ෂකයෙක් හැටියට සේවය කිරීමට ලැබීම. මට ලැබුණ ප්‍රදේශය පෝලන්තයෙන් තුනෙන් එකක් ආවරණය කළා. මේ කාරණය ගැන අපි දෙවිට යාච්ඤා කළා. ඒ කාලයේදී බොහෝ සහෝදරයන්ව අත්අඩංගුවට ගත් නිසා ඔවුන් හැමෝටම දිරිගැන්වීමක් අවශ්‍ය වුණා. තහනම යටතේ සිටින සහෝදරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම කොතරම් වැදගත් දෙයක්ද කියා මම දැනගෙන හිටියා. නෙලාගේ සහයෝගය ඇතිව මම ඒ පැවරුම භාරගත්තා. මෙසේ අවුරුදු 38ක් පුරා දිස්ත්‍රික් අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමට යෙහෝවා මට උපකාර කළා.

“බේකරි” බාරව

ඒ කාලයේදී “බේකරි” බාරව සිටියේ දිස්ත්‍රික් අවේක්ෂකයායි. මේවා පිහිටා තිබුණේ කවුරුත් දන්නැති ස්ථානවලයි. පොලිසිය අපි ගැන නිතරම ඇහැගහගෙන හිටියා. ඔවුන්ගේ අරමුණ වුණේ අපේ මුද්‍රණාල සොයාගෙන ඒවා වසා දැමීමයි. සමහර අවස්ථාවලදී ඔවුන් සාර්ථක වුණා. නමුත් දෙවි කෙරෙහි ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන දැනුම නම් අපිට කවදාවත් අඩු වුණේ නැහැ. යෙහෝවා අපි ගැන සැලකිල්ලක් දක්වන බව මේ තුළින් අපිට හොඳටම පැහැදිලි වුණා.

මුද්‍රණාලයක වැඩ කිරීම අසීරු මෙන්ම අවදානම් සහිත දෙයක් වුණා. එහි වැඩ කිරීමට නම් කෙනෙකුට පක්ෂපාත වීමටත් සුපරීක්ෂාකාරී වීමටත් ආත්ම පරිත්‍යාගශීලී වීමටත් කීකරු වීමටත් අවශ්‍ය වුණා. එවැනි ගුණාංග තිබෙන අය වැඩ කරද්දී “බේකරියක” වැඩකටයුතු දිගටම රහසිගතව කරගෙන යෑමට හැකි වුණා. මේ සඳහා සුදුසු ස්ථානයක් සොයාගැනීමත් පහසු දෙයක් වුණේ නැහැ. සමහර සුදුසු තැන් තිබුණත් ඒවායේ වැඩ කිරීමට සුදුසු ගුණාංගයන් තිබූ සහෝදරයන් අහළ පහළ සිටියේ නැහැ. සමහර තැන්වල ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් තිබුණා. සුදුසු සහෝදරයන් සිටි ප්‍රදේශවල ඒ සඳහා හොඳ ස්ථානයක් සොයාගන්නට තිබුණේ නැහැ. සහෝදරයන් විශාල පරිත්‍යාගයන් කිරීමට ඉදිරිපත් වුණා. ඇත්තෙන්ම මාත් එක්ක වැඩ කළ හැම සහෝදරයෙක්වම සහ සහෝදරියක්වම මම ගොඩාක් අගය කරනවා. ඔවුන් සමඟ වැඩ කිරීමට ලැබීම වරප්‍රසාදයක් හැටියට මම සලකනවා.

ශුභාරංචිය වෙනුවෙන් කතා කිරීම

ඒ දුෂ්කර කාලවලදී නිතරම අපට කළ චෝදනාවක් වුණේ අපි නීති විරෝධි, කඩාකප්පල්කාරී වැඩවල යෙදෙන බවයි. ඒ නිසා අපිව නිතරම උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා. අපි වෙනුවෙන් උසාවියේදී කතා කිරීමට නීතිඥයන් අපට නොසිටිය නිසා මෙය ලොකු ගැටලුවක් වුණා. සමහර නීතිඥයන් අපිට අනුකම්පා කළත් බොහෝදෙනෙක් අධිකාරීන්ව අසතුටු කරන අය හැටියට ප්‍රසිද්ධ වීමට කැමති වුණේ නැහැ. කෙසේ නමුත් අපගේ අවශ්‍යතාවන් දැන සිටි යෙහෝවා දෙවි පැවති තත්වයන්ට අනුව සුදුසු කාලයට දේවල් හැසිරෙව්වා.

ක්‍රාකෝ ප්‍රදේශයේ සිටි සංචාරක අවේක්ෂකයෙක් වූ එලොයිස ප්‍රොස්ටාක්ව ප්‍රශ්න කිරීමේදී ඔහුට ඉතාමත්ම කුරිරු විදිහට සලකා තිබූ නිසා ඔහුව සිරගෙදර රෝහලට ගෙන යෑමට සිදු වුණා. එහිදීත් ඔහුට ලබා දුන් මානසික හා කායික වද හිංසා මැද වුවත් ඔහු ඇදහිල්ලේ ස්ථිරව සිටීම නිසා ඒ රෝහලේ සිටි වෙනත් සිරකරුවන්ට ඔහු ගැන හොඳ පැහැදීමක් ඇති වූ අතර ඔවුන් ඔහුට ගෞරවය කළා. ඒ අයගෙන් එක්කෙනෙක් නීතිඥයෙක් වුණා. ඔහුගේ නම වීටෝල්ඩ් ලීස්-ඔල්ෂෙව්ස්කී .සහෝදර ප්‍රොස්ටාක්ගේ ධෛර්යය ගැන ඔහුට ලොකු පැහැදීමක් ඇති වුණා. ඔහු සහෝදර ප්‍රොස්ටාක් සමඟ කිහිප වතාවක්ම කතා කළ අතර “මට නිදහස ලැබී මගේ වැඩකටයුතු පටන්ගන්න අවසර ලැබුණ ගමන්ම මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් උසාවියේදී කතා කිරීමට කැමතියි” කියා ඔහු පොරොන්දු වුණා. ඔහු කිවූ දේ ඉටු කළා.

ඔල්ෂෙව්ස්කී මහතා යටතේ නීතිඥයන් කිහිපදෙනෙක් සේවය කළා. අපට උපකාර කිරීම සඳහා ඒ නීතිඥවරුන් ඇත්තෙන්ම ඇප කැප වී වැඩ කළා. අපිට විරුද්ධව එල්ල වූ විරුද්ධවාදිකම් ගොඩක්ම දරුණු වූ කාලයකදී, ඔවුන් මාසයකට නඩු විභාග 30ක පමණ, ඒ කියන්නේ දවසකට එක නඩු විභාගයක් බැගින්, සහෝදරයන් වෙනුවෙන් උසාවියේදී පෙනී සිටියා. ඔල්ෂෙව්ස්කී මහතාට ඒ හැම නඩුවක් සම්බන්ධයෙන් සියලුම තොරතුරු දැනගෙන සිටීමට අවශ්‍ය වූ නිසා ඔහුට අවශ්‍ය තොරතුරු සැපයීමට මාව පත් කරලා තිබුණා. මම 1960ගණන්වල හා 1970ගණන්වල වසර හතක පමණ කාලයකට ඔහු සමඟ වැඩ කළා.

ඔහු සමඟ වැඩ කරද්දී මම නීතිමය දේවල් ගැන බොහෝ දේවල් ඉගෙනගත්තා. බොහෝවිට මට නඩු විභාග නිරීක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවලදී නීතිඥයන් සහෝදරයන්ට පක්ෂව හා විරුද්ධව කතා කල ආකාරය මම දැක්කා. තමන් ඉදිරිපත් කළ අදහස තහවුරු කිරීම සඳහා ඔවුන් භාවිත කළ නීතික ක්‍රම, එමෙන්ම චෝදනා කරනු ලැබූ සෙසු ඇදහිලිවන්තයන් පැවසූ දේවල් මට අහන්න ලැබුණා. සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා පෙනී සිටීමට ආරාධනා කරනු ලැබූ අපේ සහෝදරයන්ට උපකාර කිරීමේදී මේ හැම දෙයක්ම මට වැදගත් වුණා. උසාවියේදී කිව යුත්තේ කුමක්ද සහ නිශ්ශබ්දව සිටිය යුත්තේ කොයි අවස්ථාවේදීද කියා ඔවුන්ට පහදා දීමට අපිට මේ නිසා හැකි වුණා.

නඩු විභාගයක් සිදු වන අතරතුරේදී ඔල්ෂෙව්ස්කී මහතා බොහෝවිට රාත්‍රිය ගත කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිවෙස්වලයි. මෙයට හේතුව ඔහුට හෝටලයක නතර වීමට තරම් වත්කමක් නොතිබුණු නිසා නෙවෙයි. “නඩු විභාගයට කලින් ඔයගොල්ලන් එක්ක නතර වීමෙන් මට ඕගොල්ලෝ වගේ හිතන්න පුළුවන් වෙනවා” කියා ඔහු වරක් පැවසුවා. ඔහුගේ සහාය ඇතුව නඩු කිහිපයක්ම දිනන්න අපිට හැකි වුණා. ඔහු කිහිප වතාවක්ම මා වෙනුවෙන් උසාවියේදී කතා කළ නමුත් කවදාවත් මගෙන් සල්ලි ගත්තේ නැහැ. තවත් අවස්ථාවකදී ඔහු නඩු විභාග 30කට අපි වෙනුවෙන් පෙනී සිටියත් ඒ සඳහා මුදල් අය කළේ නැහැ. ඊට හේතුව ඔහු පැහැදිලි කළේ මේ විදිහටයි. “ඕගොල්ලන්ගේ වැඩයට සුළු වශයෙන් හෝ සහයෝගය දෙන්න මම කැමතියි.” ඔහු එහෙම කිව්වත් ඒ මුදල සුළු ප්‍රමාණයක් වුණේ නම් නැහැ. ඔල්ෂෙව්ස්කී මහතාගේ කණ්ඩායමේ වැඩ ගැන බලධාරීන් නොදැන සිටියා නෙවෙයි. නමුත් ඒ අයට බය වී අපට උපකාර කිරීම ඔහු නතර කළේ නැහැ.

ඒ නඩු විභාගවලදී අපගේ සහෝදරයන් දුන් කදිම සාක්ෂිය විස්තර කරන්න වචන නැහැ. නඩු විභාග නිරීක්ෂණය කිරීමටත් චෝදනා කරනු ලැබූ සහෝදරයන්ව දිරිගැන්වීමටත් බොහෝදෙනෙක් උසාවියට ආවා. වැඩිම නඩු විභාග පවත්වනු ලැබූ කාලයේදී එක් වසරක් ඇතුළත එවැනි අය 30,000ක් පමණ මට ගණන් කරන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම එය මහත් සාක්ෂිකාර සේනාවක් වුණා!

අලුත් පැවරුමක්

වර්ෂ 1989 වෙද්දී අපේ වැඩකටයුතුවලට තිබූ තහංචි ඉවත් කර තිබුණා. වසර තුනකට පසුව ශාඛා කාර්යාලයක් ගොඩනඟා කැප කරනු ලැබුවා. ඒ ශාඛා කාර්යාලයේ රෝහල් තොරතුරු සේවා අංශයේ වැඩ කිරීමට මට ආරාධනයක් ලැබුණු අතර මම එය කැමැත්තෙන්ම පිළිගත්තා. තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හැටියට අපි ලේ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටි සහෝදරයන්ට අවශ්‍ය සහය ලබා දුන් අතර ඔවුන්ගේ හිතට එකඟව ඔවුන් ගත් ස්ථාවරය වෙනුවෙන් කතා කිරීමට අවශ්‍ය උපකාරයද ලබා දුන්නා.—ක්‍රියා 15:29.

මේ ආකාරයට සේවය කිරීමට ලැබූ වරප්‍රසාදය ගැන මමයි මගේ භාර්යාවයි යෙහෝවා දෙවිට බොහෝසෙයින් ස්තුතිවන්ත වෙනවා. නෙලා හැමවිටම මට සහයෝගය හා දිරිගැන්වීම ලබා දී තිබෙනවා. මම ඇය ගැන ගොඩක් අගය කරන දෙයක් තිබෙනවා. ඒ තමයි මම දේවසේවය තුළ විවිධ පැවරුම්වල යෙදී සිටියදී හෝ සිරභාරයට ගනු ලැබූ අවස්ථාවලදී මා නිවසේ නොසිටීම ගැන ඇය කවදාවත් දොස් කිව්වේ නැති එක. පීඩාකාරී කාලවලදී මානසිකව වැටෙනවා වෙනුවට නෙලා අනිත් අයව සැනසුවා.

උදාහරණයක් හැටියට 1974දී තවත් සංචාරක අවේක්ෂකයන් කිහිපදෙනෙක් එක්ක මාවත් අත්අඩංගුවට ගත්ත වෙලාවේදී සහෝදරයන්ට ඕන වුණා ඒ ආරංචිය මගේ භාර්යාවට කම්පනයක් ඇති නොවන විදිහට කියන්න. ඔවුන් ඇයව දුටු විට ඇයට මෙහෙම කිව්වා. “සහෝදරි නෙලා ඔයාට කියන්න නරක ආරංචියක් තියෙනවා.” ඇයට එකපාරටම හිතුණේ මං මැරිලා කියලයි. ඒ නිසා ඇය බයෙන් ගල්ගැහිලා හිටියා. ඇත්තෙන්ම සිදු වූ දෙය දැනගත්තාම ඇයට ලොකු සහනයක් දැනුණා. “එයා මැරිලා නෑනේ! මට ඒ ඇති. මීට කලිනුත් එයා හිරේ ඉඳලා තියෙන නිසා ඒක එච්චර අමුතු දෙයක් නෙවෙයි” කියා ඇය පැවසුවා. ඒ වෙලාවේදී ඇය හැසිරුණු ආකාරය නිසා ඇය ගැන ඔවුන්ට ලොකු පැහැදීමක් ඇති වූ බව සහෝදරයන් පසුව මට කීවා.

අතීතයේදී අපි වේදනාකාරී අද්දැකීම් කිහිපයකට මුහුණ දුන්නත් තම කැමැත්තට එකඟව ජීවත් වූ නිසා යෙහෝවා අපිට නිතරම මහඟු ආශීර්වාද ලබා දී තිබෙනවා. අපේ දියණිය ලිඩියා සහ ඇගේ ස්වාමිපුරුෂයා වන ඇල්ෆ්‍රෙඩ් ඩිරූෂා ආදර්ශවත් යුවළක් හැටියට තම ක්‍රිස්තියානි ජීවිතය ගත කිරීම අපට ලොකු සතුටක් වී තිබෙනවා. ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ක්‍රිස්ටෆර් සහ ජානතන් දෙවිට කැපවූ දරුවන් හැටියට හදාවඩා තිබීමත් අපේ ප්‍රීතියට දායක වන තවත් කාරණයක්. මගේ මල්ලී රිෂාඩ් සහ නංගි උර්සූලාත් වසර ගණනාවක් තිස්සේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් හැටියට ජීවිතය ගත කරලා තිබෙනවා.

යෙහෝවා කවදාවත් අපිව අත්හැරියේ නැහැ. අපේ ආශාව වන්නේ දිගටම මුළු සිතින් ඔහුට සේවය කිරීමයි. ගීතාවලිය 37:34 සඳහන් වදන්වල සත්‍යතාව අපි අපේ ජීවිතවල අද්දැකලා තිබෙනවා. “යෙහෝවා කෙරෙහි බලා සිටිමින් ඔහුගේ මාර්ගය රක්ෂා කරන්න; දේශය ඔබට උරුම වන පිණිස ඔහු ඔබ උසස් කරන්නේය.” ඒ කාලය එනකම් අපි ඉතා ආශාවෙන් බලා සිටිනවා.

[17වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1964දී ක්‍රාකෝවල සහෝදරයෙකුගේ වත්තේ පවත්වනු ලැබූ එක්රැස්වීමක

[18වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1968දී මගේ භාර්යාව නෙලා සහ අපේ දියණිය ලිඩියා සමඟ

[20වන පිටුවේ පින්තූරය]

ලේ නොදී හෘද සැත්කමකට ලක් වූ සාක්ෂිකාර දරුවෙක් සමඟ සැත්කමට පෙර

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2002දී නෙලා සමඟ

[20වන පිටුවේ පින්තූරය]

දරුවන් සඳහා ලේ නොමැතිව ශල්‍යකර්ම කරන ප්‍රධාන ශල්‍යවෛද්‍ය වෛයිට්ස් සමඟ කාටෝවිට්ස්හි රෝහලේදී