Skip to content

පටුනට යන්න

යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර” තිබෙනවා

යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර” තිබෙනවා

යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර” තිබෙනවා

“ඔබේ පියාණන් නොදැනුවත්ව, [එක ගේ කුරුල්ලෙක්වත්] බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ.”—මතෙව් 10:29, 30.

1, 2. (අ) දෙවි තමාව අත්හැරලා තිබුණා කියා යෝබ්ට හැඟුණේ ඇයි? (ආ) යෝබ් පැවසූ දෙයින් අදහස් කළේ ඔහු දෙවිට විරුද්ධ වුණා කියලාද? පැහැදිලි කරන්න.

“මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන්නේය. මා නැඟිට අයදුම් කළත් මට පිහිටක් නැත. ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන්නේය. ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන්නේය.” මේ වචන කාගේදැයි ඔබ දන්නවාද? ඒ පුද්ගලයා මේ වගේ දෙයක් පැවසුවේ ඇයි? ඒ ඔහු සිටියේ ඉතාමත් දුක්බර තත්වයක නිසයි. සිදු වූ දේවල් දෙස බලද්දී ඔහුට එසේ හැඟීම පුදුමයක් නෙවෙයි! ඔහුගේ ආදායම් මාර්ග ඔහුට අහිමි වෙලා තිබුණා. අස්වාභාවික විපතකින් ඔහුගේ දරු දැරියන් සියලුදෙනාම මරණයට පත් වුණා. ඒ මදිවට ඔහු දරුණු රෝගයකින් පීඩා විඳිමින් සිටියා. මේ වේදනාකාරී අද්දැකීමට මුහුණ දුන් මිනිසාගේ නම, යෝබ්. ඔහුගේ මේ අද්දැකීම බයිබලයේ වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි.—යෝබ් 30:20, 21, නව අනුවාදය.

2 බැලූ බැල්මට යෝබ් පැවසූ දෙයින් හැඟෙන්නේ ඔහු දෙවිට විරුද්ධව කතා කරනවා වගෙයි. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. ඔහුගේ හිතේ තිබුණු වේදනාව නිසයි ඔහු එහෙම කතා කළේ. (යෝබ් 6:2, 3) ඔහු විඳිමින් සිටි පීඩාව පැමිණියේ සාතන්ගෙන් බව ඔහු දැනගෙන සිටියේ නැහැ. ඒ වෙනුවට ඔහු සිතුවේ දෙවි ඔහුව අත්හැරියා කියලයි. එක් අවස්ථාවකදී ඔහු යෙහෝවා දෙවිට මෙවැනි චෝදනාවකුත් කළා. “ඔබගේ මුහුණ හරවා මා ඔබගේ සතුරෙකු කොට සලකන්නේ කුමක් නිසාද?” *යෝබ් 13:24.

3. පීඩාවලට මුහුණ දෙද්දී අපේ සිතේ පැනනැඟිය හැක්කේ මොන වගේ ප්‍රශ්නද?

3 යෝබ් හා සමානව අද දින සිටින යෙහෝවාගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකුට නිතරම පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. යුද්ධ, දේශපාලනයේ හෝ සමාජයේ ඇති වන වෙනස්වීම්, ස්වාභාවික විපත්, මහලු විය, ලෙඩ රෝග, අන්ත දුගීභාවය, ආණ්ඩුවෙන් පනවන තහංචි මේ පීඩාවලට මුල් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඔබත් යම් පීඩාවකට මුහුණ දෙමින් සිටිනවා වෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවලදී යෙහෝවා ඔබ ගැන සලකන්නේ නැති බව සමහරවිට ඔබට හැඟෙනවා ඇති. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය” කියා යොහන් 3:16හි සඳහන් බව ඔබ හොඳටම දැනගෙන සිටියත්, ඔබ විඳින පීඩාවලට කෙළවරක් පේන තෙක් මානයකවත් නැති බව ඔබට පෙනෙද්දී මෙවන් ප්‍රශ්න ඔබේ සිතටත් එනවා වෙන්න පුළුවන්. ‘දෙවි මට ඇත්තටම ආදරෙයිද? මම විඳින දුක ඔහුට පේන්නේ නැද්ද? මාත් දෙවිගේ ආදරය ලබන්න තරම් වටින කෙනෙක් නෙමෙයිද?’

4. පාවුල් දිගු කාලයක් පුරා මුහුණ දුන්නේ කුමන තත්වයකටද? එවැනි තත්වයක් ඇති වුණොත් අපට හැඟිය හැක්කේ කෙසේද?

4 අපි දැන් පාවුල් මුහුණ දුන් තත්වයක් ගැන ටිකකට සලකා බලමු. “මට පහර දෙමින් සිටීමට සාතන්ගේ දූතයෙකු වැනි මාංසයේ කටුවක් මට දී ඇත” කියා ඔහු පැවසුවා. තවදුරටත් ඔහු මෙහෙම කිව්වා. “එය මා කෙරෙන් ඉවත් වන ලෙස තුන් වතාවක් මම ඒ ගැන ස්වාමීන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවෙමි.” යෙහෝවා ඔහුගේ ඉල්ලීමට සවන් දුන්නත් ඒ ගැටලුවට ප්‍රාතිහාර්යයක් කර විසඳුමක් ලබා දෙන්නේ නැති බව ඔහු පාවුල්ට ඇඟෙව්වා. ඒ වෙනුවට තමාගේ “මාංසයේ කටුව” * සමඟ සාර්ථකව කටයුතු කරන්න දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය මත රඳා සිටින්නට පාවුල්ට සිදු වුණා. (2 කොරින්ති 12:7-9) පාවුල් වගේ ඔබත් යම් ගැටලුවකට දිගින් දිගටම මුහුණ දෙමින් සිටිනවා වෙන්න පුළුවන්. සමහරවිට ඔබට මෙහෙම හිතෙනවා වෙන්නත් පුළුවන්. ‘මට පේන්නේ නම් මම විඳින දුක ගැන දෙවි කිසිම දෙයක් කරල නැහැ කියලා. ඒ කියන්නේ මං ඉන්න තත්වය දෙවි දන්නේ නැතුවාවත්ද? මං හිතන්නේ ඔහු මා ගැන සලකන්නේ නැතුව ඇති.’ නැහැ. කොහොමටවත් නැහැ! එහෙම හිතන්නවත් එපා! යෙහෝවා තම සේවකයන් සියලුදෙනා ගැනම දක්වන්නේ පුදුම සැලකිල්ලක්. තම ගෝලයන්ව තෝරාගැනීමට ටික වෙලාවකට කලින් යේසුස් පැවසූ දෙයින් ඒ කාරණය අපට හොඳින් තේරුම්ගන්න පුළුවන්. ඔහු එදා පැවසූ වචන අද අපිට මහත් දිරිගැන්වීමක් විය හැක්කේ කොහොමද කියා අපි දැන් සලකා බලමු.

“බිය නොවන්න” කියා පැවසුවේ ඇයි?

5, 6. (අ) අනාගතයේදී තමන්ට සිදු විය හැකි දේවලට බිය නොවී සිටීමට යේසුස් තම ගෝලයන්ට දිරිගැන්නුවේ කෙසේද? (ආ) යෙහෝවා තමන්ට දක්වන සැලකිල්ල ගැන පාවුල් නිසැකකමක් පෙන්නුවේ කෙසේද?

5 එදා යේසුස් තම ගෝලයන්ට සුවිශේෂී බලයක් ලබා දුන්නා. “අපවිත්‍ර ආත්ම දුරු කරන පිණිස එම ආත්ම කෙරෙහිද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරන පිණිසද ඔවුන්ට බලය” ලැබීම එයට ඇතුළත් වුණා. ඒත් ඔවුන්ගේ ජීවිතය පරීක්ෂා කරදරවලින් තොර සුවපහසු එකක් වෙයි කියා යේසුස් එයින් අදහස් කළේ නැහැ. ඊට වෙනස්ව ඔවුන්ට මුහුණ දීමට සිදු වන සමහර දුෂ්කරතා ගැන පැහැදිලි විස්තරයක් ඔහු ඔවුන්ට ලබා දුන්නා. ඒ කොහොමවුණත් අවසානයේදී ඔහු ඔවුන්ව දිරිගැන්වූයේ මේ ආකාරයට පවසමිනුයි. “ශරීරය නසන නමුත් ජීවය නසන්න නොහැකි අයට බිය නොවන්න. එහෙත් ජීවයද ශරීරයද යන දෙකම ගෙහෙන්නාවෙහි විනාශ කළ හැකි තැනැත්තාට බියව සිටින්න.”—මතෙව් 10:1, 16-22, 28.

6 මෙසේ බිය නොවන්න කියා තම ගෝලයන්ට පැවසීමට හේතුව ඔවුන්ට තේරුම් කර දීම සඳහා යේසුස් උදාහරණ දෙකක් පාවිච්චි කළා. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය” කියා යේසුස් ඔවුන්ට පැවසුවා. (මතෙව් 10:29-31) බිය වෙන්න එපා කියා යේසුස් මෙහිදී පැවසුවේ ඇයි කියා ඔබට තේරෙනවාද? ඔහු එසේ කිව්වේ මොනයම් ආකාරයේ විපත්ති ආවත් යෙහෝවා නම් අපිව කවදාවත් අත්හරින්නේ නැහැයි කියා අපට නිසැක විය හැකි බව පෙන්වීමටයි. පාවුල්ට එවැනි නිසැකකමක් තිබුණු බව ඔහු පැවසූ මෙම කාරණයෙන් පැහැදිලි වෙනවා. “දෙවි අපේ පැත්තේ නම්, අපට විරුද්ධ වන්නේ කවුද? ඔහු තමාගේ පුත්‍රයාව පවා ඉතිරි කර නොගෙන, අප සියල්ලන් උදෙසා ඔහුව දුන්නේය. ඔහු එසේ කළේ නම් තම පුත්‍රයාද ඇතුළුව අන් සියල්ලත් අපට කරුණාවන්ත ලෙස නොදෙයිද?” (රෝම 8:31, 32) ඔබටත් මොනයම් ආකාරයේ හෝ ප්‍රශ්න ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණත් භය වෙන්න එපා. ඔබ යෙහෝවා දෙවිට ලැදිව සිටින තාක්කල් ඔහු ඔබව ආදරෙන් රැකබලා ගනියි කියා ඔබට ස්ථිර විය හැකියි. යේසුස් තම ගෝලයන්ට දුන් ඉහත සඳහන් දිරිගැන්වීම හොඳින් පරීක්ෂා කර බැලීමෙන් මේ කාරණය අපට තවත් පැහැදිලි කරගැනීමට හැකි වෙයි.

ගේ කුරුල්ලෙකුගේ වටිනාකම

7, 8. (අ) යේසුස්ගේ කාලයේදී ගේ කුරුල්ලන්ව සලකනු ලැබුවේ කෙසේද? (ආ) මතෙව් 10:29හි සඳහන් “ගේ කුරුල්ලන්” යන යෙදුම සඳහා ග්‍රීක් භාෂාවෙන් චූටි ගේ කුරුල්ලන් කියා සඳහන් වීමට හේතුව කුමක් විය හැකිද?

7 යෙහෝවා තම එක් එක් සේවකයා වෙනුවෙන් දක්වන සැලකිල්ල ගැන යේසුස් දුන් උදාහරණ දෙකෙන් හොඳටම පැහැදිලි වෙනවා. මුලින්ම ගේ කුරුල්ලන් ගැන කාරණය සලකා බලන්න. යේසුස්ගේ කාලයේදී ගේ කුරුල්ලන්ව ආහාරයට ගනු ලැබූ අතර, උන්ව බොහෝ දුරට සැලකුවේ වගාවන් නාස්ති කරන පක්ෂීන් ලෙසටයි. ඒ කාලයේදී ගේ කුරුල්ලන් කොතරම් සුලභව සිටියාද කිව්වොත් උන්ව මිල දී ගත්තේ ඉතාමත් සුළු මුදලකටයි. කුරුල්ලන් දෙදෙනෙක්ව විකුණනු ලැබුවේ ලංකාවේ මුදලින් නම් රුපියල් පහකටත් වඩා අඩු ගානකටයි. කෙනෙක් ඒ මුදල මෙන් දෙගුණයක් දුන්නොත් ඔහුට ගේ කුරුල්ලන් හතරදෙනෙක් වෙනුවට පස්දෙනෙක් ලබාගන්න හැකි වුණා. අමතර කුරුල්ලාව සැලකුවේ හරියට උගේ කිසිම වටිනාකමක් නැති ගානටයි!—ලූක් 12:6.

8 ඒ විතරක් නෙවෙයි. ගේ කුරුල්ලෙකුගේ ප්‍රමාණය ගැන ටිකක් සිතා බලන්න. වැඩුණු ගේ කුරුල්ලෙක්ව අනිත් පක්ෂීන් සමඟ සසඳා බැලුවොත් ගේ කුරුල්ලා කොතරම් කුඩාද කියා ඔබට පැහැදිලි වෙයි. මතෙව් 10:29හි සඳහන් “ගේ කුරුල්ලන්” යන යෙදුම ග්‍රීක් භාෂාවෙන් දක්වා තිබෙන්නේ චූටි ගේ කුරුල්ලන් කියායි. පෙනෙනාකාරයට යේසුස්ට ඕන වුණේ ඒ කුඩා පක්ෂියාගේ වටිනාකම කොතරම් අල්පද කියා තම ගෝලයන්ට අවධාරණය කිරීමටයි.

9. ගේ කුරුල්ලන් ගැන යේසුස්ගේ උදාහරණයෙන් කුමන වැදගත් කාරණය ඉස්මතු වෙනවාද?

9 ගේ කුරුල්ලන් ගැන යේසුස් දුන් විස්තරයෙන් වැදගත් කාරණයක් ඉස්මතු වෙනවා. එනම් මිනිසුන් එතරම් වටින්නේ නැහැයි කියා සිතන යම් දෙයක් වුණත් යෙහෝවා දෙවි සලකන්නේ ඉතා වටිනා දෙයක් හැටියටයි. මේ කාරණය තහවුරු කරමින් යේසුස් තවදුරටත් පැවසුවේ, යෙහෝවා නොදැනුවත්ව චූටි ගේ කුරුල්ලන්ගෙන් එකෙක්වත් “බිම වැටෙන්නේ නැත” කියායි. * එතරම් වැදගත්කමක් නැති කුඩාම පක්ෂියෙක් ගැන යෙහෝවා දෙවි ඒ තරම් සලකනවා නම්, ඔහුට සේවය කිරීමට තීරණය කරගෙන සිටින කෙනෙක් ගැන ඔහු ඊටත් වඩා කොතරම් සැලකිල්ලක් දක්වයිද!

10. “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ” යන්නෙහි අරුත කුමක්ද?

10 ගේ කුරුල්ලන් ගැන කතා කළ උදාහරණයට අමතරව “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ” කියාත් යේසුස් පැවසුවා. (මතෙව් 10:30) යේසුස් පැවසූ මෙම කෙටි වාක්‍යයේ ලොකු අර්ථයක් තිබෙනවා. ඒ තුළින් ගේ කුරුල්ලන් පිළිබඳ ඔහු දුන් උදාහරණයෙන් අදහස් කළ කාරණය තවත් කාවද්දනවා. මේ ගැන ටිකක් සිතන්න. සාමාන්‍ය මිනිස් හිසක හිසකෙස් ලක්ෂයක් පමණ තියෙනවා. බැලූ බැල්මට ඒ හැම කෙස් ගසක්ම එක වගෙයි. අපි නම් ඒ එක එක කෙස් ගස ගානේ විශේෂයෙන් හිතන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවි හැම හිස කෙසක් ගැනම සැලකිල්ලක් දක්වා තිබෙන අතර ඒවා ගණන් කරද තිබෙනවා. එහෙමනම් දෙවි නොදන්නා දෙයක් අපේ ජීවිතවල තියෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම අප එකිනෙකාට තිබෙන සිතුවිලි, හැඟීම්, ගති ගුණ වැනි හැම දෙයක් ගැනම යෙහෝවා දෙවි නොදන්න දෙයක් නැහැ. ඔහු “හෘදය බලන්නේය” කියා බයිබලය කියන්නේ ඒ නිසයි.—1 සාමුවෙල් 16:7.

11. යෙහෝවා තමාට දක්වන සැලකිල්ල ගැන දාවිත් තම නිසැකකම පළ කළේ කෙසේද?

11 තම ජීවිතයේ කරදර බොහොමයකට මුහුණ දුන් තවත් කෙනෙක් තමයි දාවිත්. ඒ වුණත් යෙහෝවා තමාට දක්වන සැලකිල්ල ගැන ඔහුට සැකයක් තිබුණේ නැහැ. “යෙහෝවා, ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබ මාගේ ඉඳීමත් නැඟිටීමත් දන්නේය; දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි” කියා ඔහු ලිව්වේ ඒ නිසයි. (ගීතාවලිය 139:1, 2) ඔබ ගැන හැම දෙයක්ම යෙහෝවා දෙවි දන්න බව දාවිත්ට මෙන් ඔබටත් සහතික වෙන්න පුළුවන්. (යෙරෙමියා 17:10) ඔබ එතරම් වටින්නේ නැහැ කියා හිතන්න ඉක්මන් වෙන්න එපා! යෙහෝවාගේ අවධානයට හැම දෙයක්ම හසුවන බව මතක තබාගන්න.

“මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව”

12. යෙහෝවා දෙවි තම සේවකයන් විඳින දුක් කරදර හොඳින් දන්න බව අපට කිව හැක්කේ මන්ද?

12 යෙහෝවා දෙවි තම සේවකයන් හැම කෙනෙක්වම අඳුරනවා විතරක් නෙවෙයි නමුත් ඔවුන් එක් එක්කෙනා විඳින දුක් කරදර ගැනත් ඔහු හොඳින් දන්නවා. උදාහරණයක් හැටියට වහලුන් ලෙස ඊශ්‍රායෙලිතයන් දුක් විඳින විට යෙහෝවා මෝසෙස්ට මෙවැනි දෙයක් පැවසුවා. “සැබවින් ඊජිප්තුවෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව දුටිමි; ඔවුන්ගේ විධානවරුන් නිසා ඔවුන් කරන හඬගැසීම ඇසීමි; මම ඔවුන්ගේ දුක් දනිමි.” (නික්මයාම 3:7) අපි දුක් කරදර විඳින කොට යෙහෝවා එය දකින බවත් අපේ කන්නලව්වලට ඔහු සවන්දෙන බවත් දැනගැනීමට ලැබීම මොන තරම් සැනසීමක්ද! ඔව්, ඔහු කොහෙත්ම අපේ දුක් වේදනා සුළුවට ගන්නේ නැහැ.

13. තම සේවකයන්ට දුකක් වේදනාවක් දැනෙද්දී යෙහෝවාටත් එය දැනෙන බව පැහැදිලි වෙන්නේ කුමකින්ද?

13 ඊශ්‍රායෙල්වරුන් ගැන යෙහෝවාට හැඟුණු ආකාරය ගැන හිතද්දී ඔහු සමඟ මිත්‍රකමක් ඇති කරගෙන සිටින අය ගැන ඔහු දක්වන සැලකිල්ල තවත් පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙල්වරුන් බොහෝ විට දුක් වින්දේ ඔවුන්ගේම මුරණ්ඩුකම නිසයි. ඒ වුණත් “ඔවුන්ගේ සෑම විපත්තිවලදී ඔහු දුක් වූවේය,” කියා යෙසායා යෙහෝවා දෙවි ගැන ලිව්වා. (යෙසායා 63:9) එසේනම් යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරන කෙනෙක් හැටියට ඔබට යම් දුකක් වේදනාවක් ඇති වන විට යෙහෝවා දෙවිටත් එය දැනෙන බව මතක තබාගන්න. මොන විදිහේ දුක් කරදර ආවත් නොබියව ඊට මුහුණ දී ඔහුගේ සේවය තුළ ඔබට කළ හැකි උපරිමය කිරීමට එනිසා ඔබ පෙලඹෙන්නේ නැද්ද?—1 පේතෘස් 5:6, 7.

14. පනස් හයවන ගීතිකාව රචනා කරනු ලැබුවේ කිනම් තත්වයන් යටතේද?

14 යෙහෝවා තමාට සැලකූ බවත් තමාට දුකක් වේදනාවක් දැනුණු විට යෙහෝවාටත් එය දැනුණු බවත් දාවිත් හොඳින්ම දැනගෙන සිටියා. ඔහුව මරන්න සොයමින් සිටි සාවුල් රජගෙන් පලායන්න සිදු වූ විට ඔහු රචනා කළ 56වන ගීතිකාවෙන් මේ කාරණාව ඉතා පැහැදිලිව දැකගත හැකියි. දාවිත් ඒ අවස්ථාවේදී ගාත් නුවරට පලා ගියත් පිලිස්තිවරුන් ඔහුව හඳුනාගත් නිසා තමාව අසු වෙයි කියා ඔහු භය වුණා. “මාගේ සතුරෝ දවස මුළුල්ලේ මා ගිලින්ට කැමති වෙති; මට විරුද්ධව උඩඟු ලෙස යුද්ධ කරන්නෝ බොහෝය” කියා ඔහු ලිව්වා. තමා අනතුරුදායක තත්වයක සිටි නිසා දාවිත් තවදුරටත් යෙහෝවාට මෙසේ පැවසුවා. “ඔවුහු දවස මුළුල්ලේ මාගේ වචන පෙරළති; ඔවුන්ගේ සියලු සිතිවිලි නපුර පිණිස මට විරුද්ධය.”—ගීතාවලිය 56:2, 5.

15. (අ) ඔහුගේ කඳුළු භාජනයකට එකතු කරන්න කියා හෝ දුක පොතක ලියා තබන්න කියා දාවිත් යෙහෝවාගෙන් ඉල්ලා සිටියේ ඇයි? (ආ) අපේ ඇදහිල්ල පරීක්ෂණයකට ලක්වන විට අපට කුමක් ගැන නිසැක විය හැකිද?

15 ගීතාවලිය 56:8හි සඳහන් පරිදි දාවිත් තවදුරටත් සිත්ගන්නා කාරණා කිහිපයක් සඳහන් කරනවා. “ඔබ මාගේ මුළාව යෑම් ගණින්නේය; මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියා නැද්ද?” යෙහෝවා දෙවිගේ මෘදු සැලකිල්ල ගැන මොන තරම් අලංකාර විස්තරයක්ද! ඉතාම පීඩාකාරී අවස්ථාවකදී අපි හැඬූ කඳුලින් යෙහෝවාට කන්නලව් කරනවා වෙන්න පුළුවන්. දෙවිගේ පුත්‍රයා වූ යේසුස් පවා එහෙම කළා. (හෙබ්‍රෙව් 5:7) තමා කරන හැම දෙයක්ම යෙහෝවා දෙවි බලාගෙන සිටි බවත් තමා වින්ද දුක ඔහුට අමතක නොවන බවත් දාවිත්ට හොඳ විශ්වාසයක් තිබුණා. ඒක හරියට යෙහෝවා දෙවි දාවිත්ගේ කඳුළු පරෙස්සමින් භාජනයකට එකතු කළා වගෙයි. එහෙමත් නැත්නම් ඔහුගේ දුක පොතක ලිව්වා වගෙයි. * සමහරවිට ඔබ සලන කඳුළු කෙතරම්ද කියනවා නම් ඒ භාජනයෙන් වැඩි ප්‍රමාණයක් වුණත් පුරවන්න ඒවා ප්‍රමාණවත් බවත්, ඔබේ දුක ගැන එවැනි පොතක පිටු ගණනාවක් වුණත් පිරෙන්න ලියන්න පුළුවන් බවත් ඔබට හැඟෙන්න පුළුවන්. ඔබට හැඟෙන්නේ ඒ විදියට නම් ඒ ගැන බයිබලය දෙන සහතිකයෙන් සැනසීමක් ලබාගන්න. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය; තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය.”—ගීතාවලිය 34:18.

දෙවිගේ සමීප මිතුරෙක් වීම

16, 17. (අ) තම සේවකයන්ට මුහුණ දීමට තිබෙන ගැටලු යෙහෝවා දෙවි නොසලකා හරින්නේ නැති බව අප දන්නේ කෙසේද? (ආ) තමාට සමීප වීමට මිනිසුන්ට හැකි කරවීම සඳහා යෙහෝවා කර ඇත්තේ කුමක්ද?

16 යෙහෝවා දෙවි ‘අපගේ සියලු හිසකේ පවා ගණන් කර තිබෙනවා’ කියන කාරණයම අපට ඔහු ගැන යමක් කියාපානවා. එය නම් ඔහු අප ගැන නිතරම විමසිල්ලෙන් සිටින සැලකිලිමත් දෙවි කෙනෙක් බවයි. එවන් දෙවි කෙනෙකුට නමස්කාර කිරීම මොන තරම් වරප්‍රසාදයක්ද! දුක් වේදනා සහ කරදර සම්පූර්ණයෙන්ම ඉවත් වීම සඳහා මේ පොළොව පාරාදීසයක් වන තෙක් අපට බලා සිටින්ට සිදු වන බව ඇත්තයි. නමුත් යෙහෝවා මේ දැන් පවා තම සෙනඟ සඳහා පුදුමාකාර වරප්‍රසාදයක් ඉදිරිපත් කරමින් සිටිනවා. දාවිත් ඒ ගැන ලිව්වේ මෙයාකාරයටයි. “යෙහෝවාට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.”—ගීතාවලිය 25:14, නව ලොව පරිවර්තනය.

17 ‘යෙහෝවාට සමීප වීම.’ ඒ ගැන ටිකක් කල්පනා කරන්න. පව් කිරීමට නැඹුරුවාවක් තිබෙන මිනිසුන්ට එවැනි සම්බන්ධයක් දෙවි සමඟ ඇති කරගන්න පුළුවන්ද? ඇත්තෙන්ම පුළුවන්! දෙවිට ගරුබිය ඇති අයට තම මණ්ඩපයට පැමිණෙන මෙන් දෙවි ආරාධනා කරනවා. (ගීතාවලිය 15:1-5) ඒ ආරාධනය පිළිගන්න අයට දෙවි සපයන්නේ කුමක්ද? තම ගිවිසුම පිළිබඳ දැනුම දෙවි ඔවුන්ට සපයන බව දාවිත් පවසනවා. යෙහෝවා දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තම සේවකයන්ට තම “රහස” දැනුම් දෙන අතර ඒ නිසා ඔහුගේ අරමුණු කුමක්ද කියාත් ඒ අරමුණුවලට එකඟව ජීවත් වීමට කළ යුත්තේ කුමක්ද කියාත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා.—ආමොස් 3:7.

18. තමා සමඟ අපි සමීප මිත්‍රත්වයක් ඇති කරගන්නවාට යෙහෝවා දෙවි කැමති බව අපි දන්නේ කොහොමද?

18 පාපයට නැඹුරු වූ මිනිසුන් වශයෙන් උත්තරීතර දෙවි වන යෙහෝවාගේ සමීප මිත්‍රයන් වීමට ලැබීම ගැන සිතා බලන්න. ඒ සිතුවිල්ලම ඔබේ හදවත උණුසුම් කරන්නේ නැද්ද? එසේ කරන්න කියා දෙවි අපට ආරාධනා කරනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” කියා බයිබලය අපට පවසනවා. (යාකොබ් 4:8) අපි ඔහු සමඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගන්නවා දකින්න යෙහෝවා දෙවි ආසයි. අපට එසේ කිරීම සඳහා අවශ්‍ය පියවර දෙවි දැනටමත් ගෙන තිබෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා සියලු බලැති දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා මඟ විවෘත වී තිබෙනවා. බයිබලය පවසන්නේ මෙයයි. “අප ප්‍රේම කරන්නේ පළමුකොට ඔහු අපට ප්‍රේම කළ නිසාය.”—1 යොහන් 4:19.

19. විඳදරාගැනීමෙන් යෙහෝවා සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට අපට හැක්කේ කෙසේද?

19 පීඩාකාරී තත්වයන්ට අප මුහුණ දී විඳදරාගන්න විට ඒ සමීප මිත්‍රත්වය තවත් ශක්තිමත් වනවා. යාකොබ් ලිව්වේ මේ විදිහටයි. “ඔබ කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටින පිණිස, විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට ඉඩ දෙන්න.” (යාකොබ් 1:4) දුෂ්කරතා විඳදරාගැනීමෙන් ඉටු වන්නේ කුමන “කාර්යයද?” පාවුල්ට තිබූ “මාංසයේ කටුව” ගැන ටිකක් සිතා බලන්න. විඳදරාගැනීම නිසා ඔහු ලැබුවේ කුමන ප්‍රයෝජනයක්ද? තමාගේ පීඩා ගැන පාවුල් පැවසුවේ මෙයයි. “ක්‍රිස්තුස්ගේ බලය කූඩාරමක් මෙන් මා කෙරෙහි පිහිටන පිණිස, මගේ දුර්වලකම් ගැන ඉතා සතුටින් ආඩම්බරයෙන් කියමි. එබැවින්, මම ක්‍රිස්තුස් උදෙසා පැමිණෙන දුර්වලකම් ගැනද, නින්දා ගැනද, අග හිඟකම් ගැනද, හිංසා සහ දුෂ්කරතා ගැනද සතුටු වෙමි. මන්ද, මා දුර්වලව සිටියදී මම බලවත්ව සිටිමි.” (2 කොරින්ති 12:9, 10) අවශ්‍ය නම් විඳදරාගැනීම සඳහා “සාමාන්‍ය ඉක්මවූ බලය” පවා තමාට සපයන්න යෙහෝවා දෙවිට පුළුවන් බව පාවුල් අද්දැකීමෙන්ම දැනගෙන සිටියා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු ක්‍රිස්තුස්ටත් යෙහෝවා දෙවිටත් තවත් ළං වුණා.—2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:11-13.

20. අප පීඩාවලට මුහුණ දෙන අවස්ථාවලදී යෙහෝවා අපට උපකාරය සහ සැනසිල්ල ලබා දෙන බවට නිසැක විය හැක්කේ කොහොමද?

20 සමහරවිට ඔබේ පීඩා දිගටම පවතින්න යෙහෝවා ඉඩ හැර තිබෙනවා වෙන්න පුළුවන්. එසේනම් දෙවිට ගරුබිය දක්වන අයට ඔහු දෙන මෙම පොරොන්දුව අමතක කරන්න එපා. “මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) ඔබටත් පුළුවන් යෙහෝවා දෙවි දෙන එවන් උපකාරය සහ සැනසිල්ල අද්දකින්න. යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන්” කර තිබෙනවා. ඔබ පීඩා විඳදරාගන්න ආකාරය ඔහුට පේනවා. ඔබට වේදනාවක් දැනෙද්දී ඔහුටත් ඒක දැනෙනවා. ඔහු ඇත්තෙන්ම ඔබ ගැන සැලකිල්ලක් දක්වනවා. යෙහෝවා දෙවි කවදාවත් “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක” කරන්නේ නැහැ කියා ඔබට ස්ථිර විය හැකියි.—හෙබ්‍රෙව් 6:10.

[පාදසටහන්වල]

^ 2 ඡේ. ධර්මිෂ්ඨ දාවිත් මෙන්ම දෙවිට ලැදිව සිටි කෝරාගේ පුත්‍රයනුත් මීට සමාන අදහස් ප්‍රකාශ කළා.—ගීතාවලිය 10:1; 44:24.

^ 4 ඡේ. පාවුල්ට වේදනාවක් වුණ “මාංසයේ කටුව” මොකක්ද කියලා හරියටම බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එය ඇස් පෙනීමේ දුර්වලකමක් වැනි ශාරීරික ආබාධයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් “මාංසයේ කටුව” යන යෙදුම, පාවුල්ව ක්‍රිස්තුස් විසින් දේවසේවය සඳහා තෝරාගනු ලැබූ කෙනෙක්ද යන්න අභියෝග කළ අයට අදාළ වෙනවා වෙන්නත් පුළුවන්.—2 කොරින්ති 11:6, 13-15; ගලාති 4:15; 6:11.

^ 9 ඡේ. මේ ගැන පැහැදිලි කරන සමහර ප්‍රවීණයන් කියන දෙයක් තමයි, ගේ කුරුල්ලන් බිමට වැටෙනවා කියන දෙයින් උන් මැරී වැටෙනවා කියන අදහසට වඩා දෙයක් ඇතුළත් විය හැකි බව. මුල් භාෂාවට අනුව මේ යෙදුමෙන් කුරුල්ලෙක් ආහාර ගැනීම සඳහා පහතට බැසීමත් අදහස් කළ හැකි බව ඔවුන් කියා සිටිනවා. එසේනම් බිමට වැටෙනවා යන යෙදුමෙන්, කුරුල්ලෙක් මිය යන විට විතරක් නෙවෙයි නමුත් ඌ කරන හැම දෙයක් ගැනම දෙවි සැලකිල්ලක් දක්වන බව අදහස් කළ හැකියි.—මතෙව් 6:26.

^ 15 ඡේ. මෙහි සඳහන් කරන භාජන සාදා තිබුණේ සත්ව හම්වලින් වූ අතර ඒවායේ කිරි, බටර්, චීස් හෝ වතුර දමා තිබුණා. නමුත් තෙල් හෝ වයින් දැමීමට නම් ඒ භාජන හොඳින් පදම් කළ යුතුව තිබුණා.

ඔබට මතකද?

• දෙවි තමාව අත්හැර තිබෙන බව කෙනෙකුට හැඟීමට සලස්වන හේතු මොනවාද?

• ගේ කුරුල්ලන් ගැන සහ හිසකෙස් ගණන් කර තිබීම ගැන යේසුස් පැවසූ උදාහරණවලින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

• තම කඳුළු යෙහෝවාගේ “භාජනයෙහි” තැබීමෙන් හෝ “පොතෙහි” ලියා තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• අපට ‘යෙහෝවාට සමීප වීමට හැක්කේ’කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි පාවුල්ට තිබූ “මාංසයේ කටුව” ඉවත් නොකළේ ඇයි?

[23වන පිටුවේ පින්තූරය]

ගේ කුරුල්ලන් ගැන යේසුස් සඳහන් කළ උදාහරණයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[හිමිකම් විස්තර]

© J. Heidecker/VIREO

[25වන පිටුවේ පින්තූරය]

බයිබලය නිතිපතා කියවීමෙන් දෙවි අප එකිනෙකා ගැන සැලකිල්ලක් දක්වන බවට අපට සහතිකයක් ලැබෙනවා