Skip to content

පටුනට යන්න

යෙහෝවා “ඔහුව ඕනෑකමින් සොයන අයට” ආශීර්වාද කරයි

යෙහෝවා “ඔහුව ඕනෑකමින් සොයන අයට” ආශීර්වාද කරයි

යෙහෝවා “ඔහුව ඕනෑකමින් සොයන අයට” ආශීර්වාද කරයි

දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන [ආශීර්වාද කරන] කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.”—හෙබ්‍රෙව් 11:6.

1, 2. සමහර අවස්ථාවලදී යෙහෝවාගේ සේවකයන්ට නොවටිනාකමේ හැඟීම් ඇතිවීමට හේතුව පැහැදිලි කරන්න.

“මම අවුරුදු 30ක් විතර යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්ව සිටියත් ඒ නමින් පෙනී සිටින්න තරම් මම වටිනවා කියලා මට කවදාවත් හැඟිලා නැහැ” කියා බාබ්රා පවසනවා. * “මම පුරෝගාමි සේවය කළත් මට වෙනත් වරප්‍රසාද ගොඩක් තිබුණත්, සාක්ෂිකාරයෙක් කියලා කියන්න තරම් මම වටින්නේ නැහැ කියලාමයි මට හැඟෙන්නේ.” කීත්ටත් හැඟුණේ ඒ විදිහටමයි. ඔහු මෙසේ පවසනවා. යෙහෝවාගේ සේවකයන්ට සතුටු වීමට කාරණා හුඟක් තියෙනවා. නමුත් මම කවදාවත් සතුටින් හිටියේ නෑ. මේ නිසා සමහර අවස්ථාවලදී මට හැඟුණේ මම කොහෙත්ම වටින්නේ නැති කෙනෙක් කියලයි. මගේ හිත මට වද දුන්නා. මේකෙන් වුණේ මගේ දුක තව තවත් වැඩි වුණ එක විතරයි.”

2 මෙවැනි හැඟීම් නිසා අතීතයේ මෙන්ම වර්තමානයේ සිටින යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් දුක් විඳ තිබෙනවා. ඔබටත් එහෙම හැඟිලා තිබෙනවාද? අනිත් සහෝදර සහෝදරයන් කිසි කරදරයක් නැතිව සතුටින් ඉන්නවා වගේ පෙනෙද්දී ඔබට විතරක් එක පිට එක කරදර එද්දී ඔබට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා යෙහෝවාගේ අනුමැතියවත් ඔහුගේ සැලකිල්ලවත් ලබන්න තරම් ඔබ වටින්නේ නැහැයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා. “[යෙහෝවා] පීඩිතයාගේ පීඩාව හෙළා නොදැක්කේය; පිළිකුල් නොකළේය; ඔහු කෙරෙන් මුහුණ හරවා නොගත්තේය; එහෙත් ඔහු හඬගැසූ කල ඇසුවේය” කියා බයිබලය අපට සහතික කරයි. (ගීතාවලිය 22:24) යේසුස් ගැන කතා කරන මේ අනාවැකියෙන් අඟවන්නේ යෙහෝවා තම ඇදහිලිවන්තයන්ට සවන් දෙන බව විතරක් නෙවෙයි නමුත් ඔවුන්ට ආශීර්වාදත් කරන බවයි.

3. අපිට මේ දුෂ්ට පිළිවෙළේ පීඩා කරදරවලින් නිදහසක් නැත්තේ ඇයි?

3 යෙහෝවාගේ සේවකයන් ඇතුළු කිසිම කෙනෙක් මේ දුෂ්ට පිළිවෙළේ තිබෙන ප්‍රශ්න ගැටලුවලින් නිදහස් නැහැ. අපි ජීවත් වෙන්නේ යෙහෝවාගේ ප්‍රධාන සතුරා වන සාතන් නමැති යක්ෂයා පාලනය කරන ලෝකයකයි. (2 කොරින්ති 4:4; 1 යොහන් 5:19) යෙහෝවා ප්‍රාතිහාර්යයක් කර තමාගේ සේවකයන්ට ආරක්ෂාවක් ලබා දෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට සාතන්ගේ ප්‍රධාන ඉලක්කය වී සිටින ඔවුන්ට සිදු වෙන්නේ පීඩා කරදරවලට මුහුණ දීමටයි. (යෝබ් 1:7-12; එළිදරව් 2:10) ඒ නිසා දෙවි අපට සලකන බවට කිසිම සැකයක් නැති බැවින්, ඔහු මේ පොළොවෙන් සියලුම ප්‍රශ්න ගැටලු ඉවත් කරන කාලය එන තෙක්, දිගටම ‘පීඩා විඳදරාගැනීමටත් ’ ‘නොකඩවා යාච්ඤා කිරීමටත් ’ අපට සිදු වෙයි. (රෝම 12:12) පීඩා වැඩි වෙද්දී දෙවි අපිට ආදරේ නැති බව අපට හිතෙන්න පුළුවන්. එවැනි සිතුවිල්ලක් ඇති වෙන්න කොහෙත්ම ඉඩ දෙන්න එපා!

අතීතයේදී විඳදරාගත් අය

4. පීඩාකාරී තත්වයන්ට මුහුණ දුන් යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් කිහිපදෙනෙක් ගැන විස්තර කරන්න.

4 අතීතයේදී යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙකුට වේදනාකාරී අද්දැකීම් රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. හන්නා නම් දේවභක්තික කාන්තාව ඉන් එක්කෙනෙක්. ඇය දරුපල නැතුව සිටියා. මේ නිසා “ඉතා ශෝකව” සිටි ඇය සිතුවේ දෙවි තමාව අමතක කර ඇති බවයි. (1 සාමුවෙල් 1:9-11) යෙසබෙල් බිසව තමාව මරන්න උත්සාහ කළ නිසා භීතියට පත් වූ එලියා, යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. “ඉතින් ඇත; දැන් යෙහෝවා, මාගේ ප්‍රාණය ගත මැනව; මක්නිසාද මම මාගේ පියවරුන්ට වඩා උතුම් නොවෙමි.” (1 රාජාවලිය 19:4) තවද තමා තුළ වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව ගැන හිතද්දී පාවුල් තමා ගැනම කලකිරෙන්න ඇති. “හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ. . . . මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! ” කියා ඔහු පැවසුවේ ඒ නිසා වෙන්න ඇති.—රෝම 7:21-24.

5. (අ) හන්නා, එලියා සහ පාවුල් ලැබූ ආශීර්වාද මොනවාද? (ආ) වේදනාකාරී හැඟීම් නිසා අපි දුක් විඳිනවා නම් දේවවචනය අපට සැනසිල්ලක් ලබා දෙන්නේ කොහොමද?

5 හන්නා, එලියා සහ පාවුල් යන තුන්දෙනාටම ශෝකය, බලාපොරොත්තු සුන් තත්වය සහ බිය වැනි හැම වේදනාකාරී හැඟීමක්ම අද්දකින්න සිදු වුණා. ඒ වුණත් ඔවුන් ඒ පීඩා විඳදරාගනිමින් දිගටම යෙහෝවාට සේවය කළ බව අපි දන්නවා. ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා. (1 සාමුවෙල් 1:20; 2:21; 1 රාජාවලිය 19:5-18; 2 තිමෝති 4:8) ඔවුන්ට වගේම අපිටත් එවැනි වේදනාකාරී හැඟීම්වලට විටින් විට මුහුණ දෙන්න සිදුවීම ගැන අපි පුදුම විය යුතු නැහැ. එවැනි කරදරවලට මුහුණ දෙන්න සිදු වුණොත්, දෙවි ඇත්තටම මට ආදරෙයිද කියා ඔබටත් සිතෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබට සැනසිල්ලක් ලබාදීමට දේවවචනයට පුළුවන්. “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ” කියා යේසුස් පැවසූ දෙය ගැන අපි කලින් ලිපියේදී ඉගෙනගත්තා ඔබට මතකද? (මතෙව් 10:30) යෙහෝවා දෙවි අපි එක් එක්කෙනා ගැන උනන්දුවෙන් සලකන බව දැනගන්නට ලැබීමෙන් අප කොතරම් දිරිගැන්වීමක් ලැබුවාද! ගේ කුරුල්ලන් ගැන ඉගෙනගත් දේ මතක් කරගන්න. ඒ චූටි කුරුල්ලන්ගෙන් එකෙක්වත් යෙහෝවා නොදැනුවත්ව බිමට වැටෙන්නේ නැත්නම්, අපගේ තත්වය ගැන යෙහෝවා දෙවි ඊටත් වඩා කොතරම් සැලකිල්ලක් දක්වාවිද!

6. තමන්ව වටින්නේ නැහැ කියලා හැඟෙන අයට බයිබලය සැනසිල්ලක් සපයන්නේ කොහොමද?

6 මේ විශ්වයේ සිටින බලවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවිට පව්කාර අපිව වටිනවා කියා හිතන්නවත් පුළුවන්ද? ඔව්, ඇත්තෙන්ම පුළුවන් ! අපි එසේ කියන්නේ ඇයි? බයිබලය අපට එය ඔප්පු කර පෙන්වන නිසයි. ඒ ගැන ඉගෙනගැනීමෙන් හා මෙනෙහි කිරීමෙන් අපටත් පුළුවන් වෙනවා දාවිත් වගේ මෙහෙම කියන්න. “මා තුළ කරදර හා කනස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූයේය. ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළේය.” (ගීතාවලිය 94:19, නව අනුවාදය) අපි දැන් ඒ සැනසිලිදායක වචන අඩංගු පද කිහිපයක් දේවවචනයෙන් සලකා බලමු. ඒ තුළින් දෙවිට අපිව කොච්චර වටිනවාද කියාත්, අපට මොන විදිහේ කරදර ආවත් දිගටම විඳදරාගත්තොත් ඔහු අපට ආශීර්වාද කරන බවත් හොඳින් තේරුම්ගැනීමට අපිට හැකි වෙයි.

යෙහෝවාට “විශිෂ්ට වස්තුවක් ”

7. දූෂිත තත්වයක සිටියත් යෙහෝවා මලාකි මාර්ගයෙන් ඒ ජාතියට දුන් දිරිගැන්වීම කුමක්ද?

7 ක්‍රිස්තු පූර්ව පස්වන ශතවර්ෂයේදී යූදා ජාතිය සිටියේ ඉතාමත්ම දූෂිත තත්වයකයි. පූජකයන් යෙහෝවාට පූජා කිරීම සඳහා නුසුදුසු සතුන්ව බාරගත්තා. එහි සිටි විනිසුරුවන් යම් යම් අයගේ පැති ගෙන අසාධාරණ ලෙස කටයුතු කළා. සෙනඟ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, බොරු කීම, වංචාව හා අනාචාරය වැනි පව් රාශියක් කරමින් සිටියා. (මලාකි 1:8; 2:9; 3:5) ඒත් දිගින් දිගටම එවැනි දුෂ්ටකම් කරපු ඒ සෙනඟට මලාකි ලවා යෙහෝවා කී අනාවැකිය අදහාගන්නවත් බැරි තරම් එකක් වුණා. “මා විසින් පමුණුවන ඒ දවසේ ඔවුහු මට විශිෂ්ට වස්තුවක් වන්නෝය; මනුෂ්‍යයෙක් තමාට මෙහෙ කරන පුත්‍රයෙකුට දඬුවම් නොකර හරින්නාක් මෙන් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි.” (මලාකි 3:17) එතරම් දූෂිත තත්වයක සිටි සෙනඟක් ගැන වුණත් දෙවි සිතන විදිහ ගැන අපිට ඉන් පැහැදිලි වෙනවා. මේ අනුව පසු කාලයකදී ඒ ජාතිය තමාට පිළිගත හැකි තත්වයකට දෙවි විසින් පත් කරනු ලැබුවා.

8. මලාකි 3:17හි සඳහන් අදහස මහත් සමූහයටත් අදාළ කළ හැක්කේ මන්ද?

8 මලාකිගේ ඒ අනාවැකිය අද කාලයටත් අදාළ වෙනවා. එය අදාළ වෙන්නේ ස්වර්ගයේ ක්‍රිස්තුස් සමඟ පාලනය කරන්න යන 1,44,000දෙනා සම්බන්ධයෙනුයි. ඔවුන් යෙහෝවාට අයත් “විශිෂ්ට” හෙවත් “විශේෂ වස්තුවක් ” වෙනවා. (1 පේතෘස් 2:9) ඒ විතරක් නෙවෙයි, “සුදු සළු පැළඳ, සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන” සිටින ‘මහත් සමූහයටත් ’ මලාකිගේ අනාවැකිය දිරිගැන්වීමක් වෙනවා. (එළිදරව් 7:4, 9) එකම එඬේරා වන යේසුස් යටතේ මෙම කණ්ඩායම් දෙකම එක රැළක් බවට පත් වෙනවා.—යොහන් 10:16.

9. යෙහෝවාට තම සෙනඟ “විශිෂ්ට වස්තුවක් ” වෙන්නේ ඇයි?

9 තමන්ට සේවය කරන්න තීරණය කරන අයව යෙහෝවා සලකන්නේ කොහොමද? මලාකි 3:17ට අනුව එය හරියට ප්‍රේමණීය පියෙක් තම පුතාට සලකන ආකාරයටමයි. යම් පියෙක් තම පුතා ගැන ආඩම්බරයෙන් කතා කරනවා වගේම දෙවි තම සෙනඟ ගැනත් ආඩම්බරයෙන් කතා කරනවා. ඔහු ඔවුන්ව අමතන්නේ “විශිෂ්ට වස්තුවක් ” හැටියටයි. වෙනත් බයිබල් පරිවර්තනවල මෙම යෙදුම වෙනුවෙන් යොදාගෙන තිබෙන්නේ “මගේම සම්පත,” “මගේම විශේෂ උරුමය,” “වටිනාම සම්පත” යන වචනයි. යෙහෝවා තම සෙනඟව මෙතරම් වටින අය හැටියට සලකන්නේ ඇයි? එක් හේතුවක් වන්නේ ඔහු අපි කරන දේවල් අමතක කරන දෙවි කෙනෙක් නොවන නිසයි. (හෙබ්‍රෙව් 6:10) තමාට හදවතින්ම සේවය කරන අයට දෙවි ළං වන අතර ඔවුන්ව සලකන්නේ ඉතා විශේෂ අය හැටියටයි.

10. යෙහෝවා තම සෙනඟට ආරක්ෂාව සපයන්නේ කොයි ආකාරයෙන්ද?

10 ඔබට අයිති, ඔබට ගොඩාක් වටින යම් දෙයක් තිබෙනවා නම්, එය ආරක්ෂා කරගන්න ඔබ උත්සාහ කරනවා නේද? තමාට “විශිෂ්ට වස්තුවක් ” වන තම සේවකයන්ව යෙහෝවා සලකන්නෙත් ඒ විදිහටමයි. ඇත්තයි, ඔහු තම සෙනඟව හැම කරදරයකින්ම ආරක්ෂා කරන්නේ නැහැ. (දේශනාකාරයා 9:11) නමුත් ඔවුන්ගේ ඇදහිල්ලට හානි නොවන ආකාරයෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න ඔහුට පුළුවන් වන අතර ඔහු එය අනිවාර්යයෙන්ම කරනවා. ඕනෑම පීඩාවක් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු ඔවුන්ට සපයනවා. (1 කොරින්ති 10:13) පුරාණයේ දෙවිගේ සෙනඟ වූ ඊශ්‍රායෙලිතයන්ට මෝසෙස් මෙහෙම පැවසුවේ ඒ නිසයි. “ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි වූ යෙහෝවා බැවින් ශක්තිමත් වෙන්න; ඉතා ධෛර්යවත් වෙන්න; . . . දෙවි ඔබ දුර්වල වන්ට නොදෙන්නේය; අත්නොහරින්නේය.” (ද්විතීය කතාව 31:6) යෙහෝවා තම සෙනඟව “විශිෂ්ට වස්තුවක් ” ලෙස සලකන අතර ඔහු ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කරනවා.

යෙහෝවා “ආශීර්වාද” කරන දෙවි කෙනෙක්

11, 12. ආශීර්වාද කරන දෙවි කෙනෙක් හැටියට යෙහෝවාව සැලකීමෙන් අපේ සිතේ තිබිය හැකි සැකයන් ඉවත් කරගත හැක්කේ කෙසේද?

11 යෙහෝවාට අපිව වටින බවට ඔප්පු වෙන තවත් කාරණයක් තිබෙනවා. ඒ ඔහු අපට කරන ආශීර්වාදයි. ඔහු ඊශ්‍රායෙලිතයන්ට පැවසුවේ මෙයයි. “මා ඔබට ස්වර්ගයේ කවුළු හැර ඉඩම් මදිවන තරම් ආශීර්වාදයක් නොවගුරු වන්නෙම්ද කියා පරීක්ෂා කර බලන්නයයි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය.” (මලාකි 3:10) මේ කාලයේදී යෙහෝවා සපයන ආරක්ෂාවට අමතරව අනාගතයේදී සදාකාල ජීවනය ලබා දීමෙනුත් ඔහු අපිට ආශීර්වාද කරනවා. (යොහන් 5:24; එළිදරව් 21:4) මේ මිල කරන්න බැරි දීමනාවෙන් අප කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමය හා ත්‍යාගශීලීභාවය කොච්චරද කියා අපට ඔප්පු වෙනවා වගේම, තමාට සේවය කරන්න තීරණය කරන අයව සැබවින්ම ඔහු අගය කරන බවත් ඉන් පැහැදිලි වෙනවා. යෙහෝවා එවැනි දෙවි කෙනෙක් කියා අපිට හැඟෙනවා නම්, ඔහු සමඟ සම්බන්ධයක් ඇති කරගන්න තරම් අපි වටින්නේ නැහැ කියන සැකය අපට ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ආශීර්වාද කරන දෙවි කෙනෙක් හැටියට තමාව සලකන්න කියා යෙහෝවා අපිට උනන්දු කරනවා. “දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන [ආශීර්වාද කරන] කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය” කියා පාවුල් ලිව්වේ ඒ නිසයි.—හෙබ්‍රෙව් 11:6.

12 ඇත්තටම අපි යෙහෝවාට සේවය කරන්නේ ඔහු අපිට සදාකාල ජීවනය දෙන නිසාම නෙවෙයි. ඒත් ඔහු කෙරෙහි අපිට තිබෙන ආදරය නිසයි. නමුත් අපිට අනාගතයේදී ලැබෙන ආශීර්වාද ගැන ආසාවෙන් බලාගෙන සිටින එක නුසුදුසු හැඟීමක්වත් ආත්මාර්ථකාමී දෙයක්වත් නෙවෙයි. (කොලොස්සි 3:23, 24) යෙහෝවා ඒ ආශීර්වාද ලබා දෙන්න ආශාවෙන් සිටින්නේ ඔහුව උනන්දුවෙන් සොයන අයට ඔහු දක්වන ප්‍රේමය සහ ඔහු ඔවුන්ව ගොඩාක් අගය කරන නිසයි.

13. යේසුස්ගේ ජීවිත පූජාව යෙහෝවා අපට ප්‍රේම කරන බවට තිබෙන හොඳම සාක්ෂිය වන්නේ මන්ද?

13 යෙහෝවාට, අපිව ගොඩාක් වටින බව ඔප්පු වෙන ප්‍රධානතම හේතුව නම් යේසුස්ගේ ජීවිත පූජාවයි. යොහන් ලිව්වේ මෙයයි. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීමෙන් ඔප්පු වෙන්නේ, දෙවි අපට ප්‍රේම කරන්න තරම් අපි වටින්නේ නැහැ කියන හැඟීම මොන තරම් බොරුවක්ද කියායි. ඇත්තටම අපි වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දෙය, එනම් තමාගේ ප්‍රියතම පුත්‍රයාව යෙහෝවා අපට දුන්නා. ඔහු අපිට ගොඩාක් ආදරය කරන බව එයින් අපට නිසැක වෙන්න පුළුවන්.

14. යේසුස්ගේ ජීවිත පූජාව ගැන පාවුල්ට හැඟුණේ කොහොමද?

14 ඔබටත් නොවටිනාකමේ හැඟීම් ඇති වුණොත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතන්න. යෙහෝවා ඒ තෑග්ග දුන්නේ ඔබ වෙනුවෙන්මයි. පාවුල් හිතුවෙත් ඒ විදිහටමයි. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! ” කියා ඔහු මුලින් කිව්වා ඔබට මතක ඇති. නමුත් යේසුස්ගේ ජීවිත පූජාව ගැන කතා කරමින් ඔහු පසුව පැවසුවේ මෙයයි. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට ස්තුති වේවා! ” එයට හේතුව පැහැදිලි කරමින් පාවුල් කිව්වේ, ඔහු ‘මට ප්‍රේම කර, මා උදෙසා තමන්වම පාවා දුන්නා’ කියායි. (රෝම 7:24, 25; ගලාති 2:20) පාවුල් තමා ගැන ඕනෑවට වඩා වැඩියෙන් සිතුවා කියා එයින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිට ඔහුව ගොඩාක් වටිනවා කියා පාවුල්ට නිසැකකමක් තිබුණා. පාවුල් මෙන් ඔබත්, යේසුස්ගේ ජීවිත පූජාව ඔබ වෙනුවෙන්ම දෙවි දුන් තෑග්ගක් කියා සිතන්න. යෙහෝවා ආරක්ෂාව සපයන දෙවි කෙනෙක් විතරක් නෙවෙයි. ප්‍රේමණීය ලෙස ආශීර්වාද කරන දෙවි කෙනෙක්ද වෙනවා.

සාතන්ගේ ‘කපටි උපායන් ’ ගැන පරෙස්සම් වන්න

15-17. (අ) තමන් නොවටින අයෙක් කියන හැඟීම සාතන් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? (ආ) යෝබ් සම්බන්ධ සිද්ධියෙන් අපට ලැබෙන්නේ කුමන දිරිගැන්වීමද?

15 ‘කොහොම කිව්වත් දේවවචනයේ තියෙන සැනසිලිදායක වචන මට නම් අදාළ වෙන්නේ නැහැ! ’ කියා ඔබට සිතෙන්න පුළුවන්. ‘පාරාදීසයේ සදාකල් ජීවත් වීමේ තෑග්ග ලබන්න අනිත් අය වටිනවා වෙන්න පුළුන්. ඒත් මම නම් ඒක ලබන්න කොහෙත්ම වටින්නේ නැහැ’ කියාත් ඔබට හැඟෙනවා විය හැකියි. ඔබ සිතන්නේ ඒ විදිහට නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

16 “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” කියා පාවුල් එෆීසවරුන්ට දුන් උපදෙස ගැන ඔබ හොඳින් දන්නවා ඇති. (එෆීස 6:11) සාතන්ගේ උපායන් ගැන සිතද්දී එකවර අපේ මනසට එන්නේ දේපළ වස්තුවලට තිබෙන ආශාව, දුරාචාරය වැනි දේවල් වීම පුදුමයක් නෙවෙයි. ඇත්තයි, එවැනි පරීක්ෂාවලට අතීතයේ මෙන්ම අද දින සිටින දෙවිගේ සේවකයන් පවා ගොදුරු වෙලා තිබෙනවා. ඒත් සාතන් යොදන තවත් කපටි උපායක් තිබෙනවා. ඒ තමයි යෙහෝවා තමන්ට ආදරේ කරන්නේ නැහැ කියන හැඟීම කෙනෙක් තුළ ඇති වෙන්නට සැලැස්වීම.

17 මෙවැනි හැඟීම් උපයෝගි කරගෙන මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්න සාතන් දක්ෂයි. යෝබ් සම්බන්ධ කාරණයේදී ඔහුගේ මිත්‍රයෙක් වූ බිල්දද් යෝබ්ට පැවසූ දෙය ඔබට මතකද? “දෙවි ඉදිරිපිට මනුෂ්‍යයා ධර්මිෂ්ඨ වන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියකගෙන් උපන් අය පවිත්‍ර වන්නේ කොහොමද? බලව, හඳ පවා දීප්තිමත් නොවේ; ඔහු ඉදිරිපිට තාරකාවෝ පිරිසිදු නොවෙති; එසේ වී නම් පණුවෙකු වැනි වූ මනුෂ්‍යයාද පණුවෙකු වැනි වූ මනුෂ්‍ය පුත්‍රයාද ඊට කොපමණ අඩු තරම් නොවන්නේදැයි කීය.” (යෝබ් 25:4-6; යොහන් 8:44) ඒ වචන යෝබ්ව කොයි තරම් අධෛර්යයට පත් කරන්න ඇද්ද! එයාකාරයටම ඔබවත් අධෛර්යය කරන්න මාන බලන සාතන්ට ඉඩ දෙන්න එපා. සාතන්ගේ උපායන් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන සිටිනවා නම් හරි දේ කිරීමට උපරිම වෑයමක් දැරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔබට ලැබේවි. (2 කොරින්ති 2:11) යෝබ්ව නිවැරදි කරන්න යෙහෝවාට සිදු වුණත් ඔහුගේ විඳදරාගැනීම නිසා ඔහුට අහිමි වුණු දේවල් මෙන් දෙගුණයක් දීමෙන් දෙවි ඔහුට ආශීර්වාද කළා.—යෝබ් 42:10.

යෙහෝවා “අපේ සිත්වලට වඩා උතුම්”

18, 19. “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” වන්නේ කෙසේද? ‘ඔහු සියලු දේ දන්නවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

18 අපි නොවටිනවාය යන හැඟීම අපේ සිත්වල කාලයක් පුරා තියෙනවා නම් ඒ හැඟීම එකවරම ඉවත් කර දැමීම අමාරු දෙයක්. එහෙත් යෙහෝවාගේ උපකාරය ඇතුව ඔබට ක්‍රමානුකූලව “බලකොටු බිඳ හෙළීමට තරම් . . . බලවත් වූ . . . දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව පැනනැඟුණු” සිතුවිලි ඉවත් කරන්න පුළුවන් වෙයි. (2 කොරින්ති 10:4, 5) ඔබත් කැලඹුණු සිතකින් පීඩා විඳින කෙනෙක් නම් යොහන්ගේ මේ වදන් මෙනෙහි කිරීමෙන් සැනසීමක් ලබන්න. “මෙයින්, අප සත්‍යතාවෙන් වන බව දැනගන්නෙමු. තවද, ඔහු ඉදිරියෙහි අපේ සිත් ස්ථිර කරගනිමු. දෙවි අපේ සිත්වලට වඩා උතුම් වන අතර, ඔහු සියලු දේ දන්නේය. එහෙයින් අපේ සිත් අපට කුමක් ගැන දෝෂාරෝපණය කළත් අපේ සිත් අපි ස්ථිර කරගනිමු.”—1 යොහන් 3:19, 20.

19 “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපේ අතින් වැරදීම්, අඩු පාඩු සිදු වන විට සමහර වෙලාවලට අපේ හිත අපට දොස් කියනවා වෙන්න පුළුවන්. අතීතයේදී අප ගත කළ ජීවිතය නිසා දැන් අපි කරන කිසිම දෙයක් යෙහෝවා දෙවිට වටින්නේ නැහැ කියලාත් අපිට හිතෙනවා ඇති. ඒත් අපි හිතනවාට වඩා යෙහෝවා උතුම් කෙනෙක් බව යොහන්ගේ වදන් අපට කාවද්දනවා. අපේ වැරදි හොය හොයා ඉන්නවා වෙනුවට අපිට ඇත්තටම කරන්න පුළුවන් මොකක්ද කියලා ඔහු දකිනවා. ඒ වගේම අපේ චේතනා හා අරමුණු ගැනත් ඔහු දන්නවා. “ඔහු අපේ ස්වභාවය දන්නේය; අප ධූලි බව සිහි කරන්නේය” කියා දාවිත් ලිව්වා. (ගීතාවලිය 103:14) ඔව්! අපිටත් වඩා හොඳින් යෙහෝවා අපි ගැන දන්නවා.

“අලංකාර ඔටුන්නක් ” සහ “රාජ කිරීටයක් ”

20. යෙහෝවා තම සේවකයන්ට සලකන ආකාරය ගැන යෙසායාගේ අනාවැකියෙන් හෙළි කරන්නේ කුමක්ද?

20 තම සෙනඟ බැබිලෝනියේ වහලුන්ව සිටි කාලයේදී ඔවුන්ගේ දේශයේ නැවත ඔවුන්ව පදිංචි කරන බව යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ඔවුන්ට දැනුම් දුන්නා. ඔහු පැවසුවේ මෙයයි. “ඔබ යෙහෝවාගේ අතේ අලංකාර ඔටුන්නක්ද ඔබේ දෙවිගේ හස්තයේ රාජ කිරීටයක්ද වන්නෙහිය.” (යෙසායා 62:3) අධෛර්යයට පත් වී සිටි ඒ සෙනඟට මේ වචන ලොකු සැනසිල්ලක් වුණා. යෙහෝවා ඔවුන්ව ගෞරවනීය ලෙස සැලකූ බව ඒ වදන්වලින් පැහැදිලි වෙනවා. පුරාණයේ විසූ දෙවිගේ සෙනඟට වගේම තම පුත්‍රයා සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට තෝරගෙන තිබෙන අයටත් දෙවි එවැනිම දෙයක් කර තිබෙනවා. ඒක හරියට හැමෝගේම ගෞරවය ලබන්න වටින උසස් තත්වයකට ඔවුන්ව පත් කළා හා සමානයි.

21. ඔබ ඇදහිලිවන්තව විඳදරාගන්න විට යෙහෝවා ඔබට ආශීර්වාද කරන බවට නිසැක විය හැක්කේ කෙසේද?

21 ක්‍රිස්තුස් සමඟ පාලනය කරන අයට මෙය මූලික ලෙස අදාළ වුණත්, තමාට සේවය කරන හැම දෙනෙක්වම දෙවි ගෞරවයට පත් කරන බව මින් පැහැදිලි වෙනවා. නිතරම අප අතින් වැරදි සිදු වුණත් දෙවි අපව සලකන්නේ “අලංකාර ඔටුන්නක් ” සහ “රාජ කිරීටයක් ” ලෙසටයි. ඔබ වටින්නේ නැහැ කියා ඔබට හැඟෙන විට ඒ කාරණය හොඳින් මතක තබාගන්න. එම නිසා ඕනෑකමින් දෙවිගේ කැමැත්ත කරමින් දිගටම ඔහුගේ සිත සතුටු කිරීමට උත්සාහ කරන්න. (හිතෝපදේශ 27:11) එසේ කරමින් ඇදහිලිවන්තව දිගටම විඳදරාගන්නවා නම් යෙහෝවා අනිවාර්යයෙන්ම ඔබට ආශීර්වාද කරයි කියා නිසැක වෙන්න ඔබටත් පුළුවන් වෙනවා නොඅනුමානයි!

[පාදසටහන]

^ 1 ඡේ. නම් වෙනස් කර තිබෙනවා.

ඔබට මතකද?

• අපි යෙහෝවා දෙවිට “විශිෂ්ට වස්තුවක් ” වෙන්නේ කෙසේද?

• ආශීර්වාද කරන දෙවි කෙනෙක් හැටියට යෙහෝවාව සැලකීම වැදගත් වන්නේ මන්ද?

• අපි පරෙස්සම් විය යුත්තේ සාතන්ගේ කුමන ‘කපටි උපායන් ’ ගැනද?

• “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

පාවුල්

[26වන පිටුවේ පින්තූරය]

එලියා

[26වන පිටුවේ පින්තූරය]

හන්නා

[28වන පිටුවේ පින්තූරය]

දේවවචනයෙන් ඉමහත් සැනසිල්ලක් ලබන්න පුළුවන්