Skip to content

පටුනට යන්න

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

ඔබ දෙවිගේ තේජස පිළිබිඹු කරනවාද?

“අපි . . . කැඩපත් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්නෙමු.”—2 කොරින්ති 3:18.

1. මෝසෙස් දුටුවේ කුමක්ද? ඉන්පසුව සිදු වුණේ කුමක්ද?

සීනයි කන්දේ සිටි මෝසෙස් කිසිම මිනිසෙක් නොදුටු දෙයක් තමන්ට පෙන්වන්න කියා යෙහෝවාගෙන් ඉල්ලා සිටියා. ඔහුට දකින්න අවශ්‍ය වුණේ යෙහෝවාගේ තේජසයි. යෙහෝවා එම ඉල්ලීමට සවන් දුන්නාද? ඔව්! නමුත් මෝසෙස් දෙවිගේ තේජස සම්පූර්ණයෙන්ම දැක්කේ නැහැ. මීට හේතුව කිසිම මිනිසෙක් සර්වබලධාරී දෙවිව දැක ජීවත් වෙන්නේ නැති නිසයි. ඒ නිසා දේවදූතයෙකු මාර්ගයෙන් තම තේජස පෙන්වද්දී යෙහෝවා මෝසෙස්ට ආරක්ෂාවක් ලබා දුන්නා. මීට අමතරව යෙහෝවා ඒ දේවදූතයා මාර්ගයෙන් මෝසෙස්ට කතාද කළා. ඉන්පසුව සිදු වූ දේ බයිබලයේ විස්තර කරන්නේ මෙලෙසයි. ‘මෝසෙස් සීනයි කන්දෙන් බැස්සේය. යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සම දිලිසුණේය.’—නික්මයාම 33:18–34:7, 29.

2. ක්‍රිස්තියානීන් පිළිබිඹු කරන තේජස ගැන පාවුල් සඳහන් කළේ කුමක්ද?

2 ඔබත් මෝසෙස් සමඟ ඒ කන්දේ සිටිනවා කියා සිතන්න. සර්වපරාක්‍රම දෙවිගේ අතිමහත් තේජස දැකීමෙන් හා ඔහුගේ කටහඬ ඇසීමෙන් ඔබ මොන තරම් සතුටු වෙනවාද! යෙහෝවා දුන් නීතික ගිවිසුම මෝසෙස් රැගෙන එන විට ඔබටත් ඔහු සමඟ සිටින්න හැකි වුණා නම් එය මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! මෝසෙස් පිළිබිඹු කළ දෙවිගේ තේජසට වඩා වැඩි තේජසක් යම් ආකාරවලින් සැබෑ ක්‍රිස්තියානීන් පිළිබිඹු කරනවා. මේ ගැන පාවුල් ඔහුගේ ලිපියක සඳහන් කළේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “කැඩපත් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු” කරනවා කියායි. (2 කොරින්ති 3:7, 8, 18) පාරාදීස පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රිස්තියානීන්ටද යම් ආකාරයකින් දෙවිගේ තේජස පිළිබිඹු කළ හැකියි.

ක්‍රිස්තියානීන් දෙවිගේ තේජස පිළිබිඹු කරන ආකාරය

3. මෝසෙස් දැන නොගත් ආකාරවලින් අපි යෙහෝවාව දැනගෙන තිබෙන්නේ කෙසේද?

3 අපිට දෙවිගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් කොහොමද? මෝසෙස් දුටුවා හා සමාන ආකාරයකින් අපි යෙහෝවාව දැක නැහැ. ඔහුගේ කටහඬ අපිට ඇසී නැහැ. ඒ වුණත් මෝසෙස් දැන නොගත් ආකාරවලින් අපිට යෙහෝවාව දැනගන්න හැකි වී තිබෙනවා. යේසුස් ගැලවුම්කරු ලෙස පෙනී සිට මනුෂ්‍ය වර්ගයාව පාපයේ ප්‍රතිවිපාකවලින් සහ මරණයෙන් ගලවාගැනීමට තම ජීවිතය පූජා කළේ මෝසෙස් මිය ගොස් අවුරුදු 1,500ක පමණ කාලයකට පසුවයි. මේ නිසා නීතිය ලබා දීමේ අරමුණ යේසුස් තුළින් ඉටු වූ ආකාරය මෝසෙස් දැන සිටියේ නැහැ. (රෝම 5:20, 21; ගලාති 3:19) යේසුස් රජු වන දෙවිගේ රාජ්‍යය ගැනත් එමගින් පොළොව පාරාදීසයක් කරන බවට වූ යෙහෝවාගේ අරමුණ ගැනත් මෝසෙස්ට තිබුණේ සීමිත අවබෝධයක්. ඊට වෙනස්ව අපි යෙහෝවාගේ තේජස දකින්නේ අපේ සාමාන්‍ය ඇස්වලින් නොව බයිබලයේ සඳහන් ඉගැන්වීම් මත පදනම් වී තිබෙන ඇදහිල්ල නමැති ඇස්වලින්. අපට යෙහෝවාගේ හඬ ඇසී තිබෙන්නේ දේවදූතයෙක් මාර්ගයෙන් නොව බයිබලය මාර්ගයෙනුයි. විශේෂයෙන්ම යේසුස්ගේ දේවසේවය සහ ඉගැන්වීම් ඇතුළත් ශුභාරංචි පොත් හතර කියවන විට අපට දැනෙන්නේ හරියට යෙහෝවා අපට කතා කරනවා වගෙයි.

4. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ තේජස පිළිබිඹු කරන්නේ කොහොමද? (ආ) පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින අයටත් දෙවිගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් කොහොමද?

4 ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්නේ යෙහෝවාගේ ගුණාංග සහ අරමුණු ගැන අන් අයට කතා කිරීමෙනුයි. දෙවිගේ සෙනඟ “ජාතීන් අතරෙහි [යෙහෝවාගේ] මහිමය ප්‍රකාශ කරන්නෝය” කියා යෙසායා පුරෝකථනය කළ අනාවැකිය අද ඉටු වෙනවා. (යෙසායා 66:19) ඒ වගේම 2 කොරින්ති 4:1, 2හි මෙසේ සඳහන් වෙනවා. “අපට මේ සේවය ලැබී ඇත. එහෙයින් . . . ලජ්ජා විය යුතු හොර රහසේ කරන දේවල් අපි හෙළාදැක්කෙමු. අපි කපටිකමින් නොහැසිරෙන අතර, දෙවිගේ වචනය බාල නොකරන්නෙමු. නමුත් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් දෙවි ඉදිරියේ සෑම මිනිසෙකුගේම හෘදය සාක්ෂියට අපි හොඳ ආදර්ශයක් වී සිටින්නෙමු.” පාවුල් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ “අලුත් ගිවිසුමක දේවසේවකයන්” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැනයි. (2 කොරින්ති 3:6) ඔවුන් කරන දේවසේවය නිසා පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින්න විශාල පිරිසකට හැකි වී තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම ඔවුන් උගන්වන දේවලින් පමණක් නොව ඔවුන් ජීවත් වන ආකාරයෙන්ද යෙහෝවාගේ තේජස පිළිබිඹු කරනවා. මහෝත්තම දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට ලැබීම අපගේ වගකීමක් මෙන්ම වරප්‍රසාදයක්ද වෙනවා.

5. අපි ලබා තිබෙන වර්ධනයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

5 යේසුස් පුරෝකථනය කළ ආකාරයට දේවරාජ්‍යය පිළිබඳ තේජවත් ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබනවා. (මතෙව් 24:14) මෙහි ප්‍රතිඵලයක් හැටියට සියලු ජාතීන්ටද, ගෝත්‍රවලටද, භාෂාවලටද අයත් අය ශුභාරංචිය පිළිගෙන දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන තිබෙනවා. (රෝම 12:2; එළිදරව් 7:9) තමන් ඇසූ දුටු දේවල් ගැන මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් ඔවුන්ටද කතා නොකර සිටිය නොහැකියි. (ක්‍රියා 4:20) ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයකින් මිලියන හයකට වඩා වැඩි පිරිසක් දෙවිගේ තේජස පිළිබිඹු කරමින් සිටිනවා. ඔබත් ඔවුන් අතර සිටින කෙනෙක්ද? දෙවිගේ සෙනඟ අද අද්දකින මෙම වර්ධනයෙන් පැහැදිලි වන්නේ දෙවිගේ ආශීර්වාද හා ආරක්ෂාව ඔවුන්ට තිබෙන බවයි. දෙවිගේ බලය ඔවුන්ට ලැබෙන බවට ප්‍රබල සාක්ෂියක් වන්නේ ඔවුන් කරන දේවසේවයට එරෙහි වන බලවත් සතුරන්ගේ විරුද්ධවාදිකම් මැද ඔවුන් ලබා තිබෙන මෙම වර්ධනයයි. යෙහෝවා දෙවිගේ බලය අපට ලැබෙන බවට තවත් සාක්ෂි අපි දැන් සලකා බලමු.

දෙවිගේ ජනයාව නිහඬ කරන්න බැහැ

6. යෙහෝවාගේ පැත්ත ගැනීමට නම් ඔබට ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් වගේම ධෛර්යයක්ද තිබිය යුත්තේ ඇයි?

6 දරුණු අපරාධකරුවෙකුට විරුද්ධව සාක්ෂි දෙන්න ඔබව උසාවියකට කැඳෙව්වා කියා සිතන්න. මේ අපරාධකරුවාට උදව් කරන බලවත් සංවිධානයක් තිබෙන බවත් ඔහුට විරුද්ධව සාක්ෂි දීමෙන් ඔබව වළක්වන්න ඔහු හැකි හැම උත්සාහයක්ම දරන බවත් ඔබ දන්නවා. එවැනි අපරාධකරුවෙකුට විරුද්ධව සාක්ෂි දීමට නම් ඔබට ධෛර්යය තිබිය යුතුයි. ඒ වගේම බලධාරීන් ඔබට ආරක්ෂාව සපයයි කියා විශ්වාසයයක්ද තිබිය යුතුයි. අපි සිටින්නේද මේ හා සමාන තත්වයකයි. අපි යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණ ගැන සාක්ෂි දරද්දී අප කරන්නේ සාතන් මිනීමරුවෙක් සහ බොරුකාරයෙක් බවත් මුළු ලෝකයම නොමඟ යවන බවත් හෙළි කිරීමයි. (යොහන් 8:44; එළිදරව් 12:9) යෙහෝවාගේ පැත්ත ගෙන සාතන්ට විරුද්ධව සිටින්න නම් ඔබට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් වගේම ධෛර්යයක්ද තිබිය යුතුයි.

7. සාතන් කොතරම් බලවත්ද? ඔහු උත්සාහ කරන්නේ කුමක් කරන්නද?

7 යෙහෝවා දෙවි මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම තැනැත්තා බව අපි කවුරුත් දන්නවා. යෙහෝවාට තිබෙන්නේ සාතන්ට වඩා අතිවිශාල බලයක්. අපිව ආරක්ෂා කරන්න යෙහෝවාට හැකියාවක් තිබෙනවා විතරක් නෙවෙයි, ලොකු ආශාවක්ද තිබෙනවා. අපි ඔහුට පක්ෂපාතව සේවය කරන තාක් කල් ඒ ගැන අපට විශ්වාසයි. (2 ලේකම් 16:9) ඒත් අප මතක තබාගත යුතු කාරණයක් වන්නේ සාතන් භූතයන්ගේ මෙන්ම දෙවිගෙන් ඈත් වූ මිනිසුන්ගේ පාලකයා බවයි. (මතෙව් 12:24, 26; යොහන් 14:30) “මහත් කෝපයෙන්” යුක්තව පොළොවට බැස ඇවිත් සිටින සාතන් යෙහෝවාගේ සේවකයන්ට දැඩි ලෙස විරුද්ධ වන අතර තමන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකය යොදාගනිමින් ශුභාරංචිය දේශනා කරන සියලුදෙනාවම නිහඬ කරවන්න උත්සාහ කරනවා. (එළිදරව් 12:7-9, 12, 17) ඔහු මෙය කරන්නේ කොහොමද? මේ සඳහා ඔහු යොදාගන්න ක්‍රම තුනක් ගැන දැන් සලකා බලමු.

8, 9. සාතන් බොහෝදෙනෙකු තුළ තිබෙන ආශාවන් වැරදි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? අපි ආශ්‍රය කරන අයව ඥානවන්තව තෝරාගත යුත්තේ ඇයි?

8 සාතන් අපව වෙනතකට යොමු කරවන්න උත්සාහ දරන එක් ක්‍රමයක් නම් ජීවිතයේ ඕනෑ එපාකම්වලට අපේ සිත වැඩියෙන් යොමු කරවීමයි. අන්තිම කාලයේ ජීවත් වන්නේ මුදලට ප්‍රේම කරන, තමුන්ටම ප්‍රේම කරන සහ සැප සෙල්ලමට ප්‍රේම කරන මිනිසුන්. ඔවුන් දෙවිට ප්‍රේම කරන්නේ නැහැ. (2 තිමෝති 3:1-4) ඔවුන් එදිනෙදා කටයුතුවල කොතරම් ඇලී ගැලී සිටිනවාද කියනවා නම් අපි ඔවුන්ට කියන ශුභාරංචිය ගැන ඔවුන් ‘කිසි තැකීමක් කරන්නේ නැහැ.’ බයිබලයේ තිබෙන සත්‍යයන් ගැන ඉගෙනගන්න ඔවුන්ට කිසිම උනන්දුවක් නැහැ. (මතෙව් 24:37-39) මිනිසුන් තුළ තිබෙන මේ ආකල්පය අප තුළත් ඇති වෙන්න පුළුවන්. නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලදී ඔවුන් දක්වන උදාසීනකම අප තුළත් ඇති වෙන්න ඉඩ තිබෙනවා. සැප සම්පත් හා මිල මුදල්වලට මහත් ඇල්මක් අප තුළ ඇති වෙන්න ඉඩහැරියොත් දෙවි කෙරෙහි තිබෙන අපගේ ප්‍රේමය ටිකෙන් ටික අඩු වෙනවා.—මතෙව් 24:12.

9 මේ හේතුව නිසා ක්‍රිස්තියානීන් යම් අයව ඇසුරු කරද්දී කල්පනාකාරී වීම වැදගත්. “නැණවතුන් ඇසුරු කරන්න. ඔබත් නැණවත් වනු ඇත. අනුවණයන් ඇසුරු කරන්න. ඔබ විනාශ වනු ඇත” කියා සලමොන් රජ පැවසුවා. (හිතෝපදේශ 13:20, නව අනුවාදය) මේ නිසා දෙවිගේ තේජස දිගටම පිළිබිඹු කරන අය සමඟ ‘ඇසුරු කරමු.’ එසේ කිරීම මොන තරම් ප්‍රසන්නද! ක්‍රිස්තියානි රැස්වීම්වලදී මෙන්ම වෙනත් අවස්ථාවලදී අපේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කරන විට ඔවුන් පෙන්වන ප්‍රේමය, ඔවුන් තුළ තිබෙන ඇදහිල්ල, ඔවුන් භුක්ති විඳින ප්‍රීතිය මෙන්ම ඔවුන් ප්‍රඥාවන්තව ක්‍රියා කරන ආකාරය දකින විට ඉන් අපට මොන තරම් දිරිගැන්වීමක් ලැබෙනවාද! ඒ වගේම මෙවැනි අය සමඟ ඇසුරු කිරීමෙන් අපේ සේවය දිගටම කරගෙන යෑමට ලොකු ශක්තියක්ද ලැබෙනවා.

10. දෙවිගේ තේජස පිළිබිඹු කරන අයව අධෛර්යය කිරීමට සාතන් සමච්චල් කිරීම යොදාගන්නේ කොහොමද?

10 දෙවිගේ තේජස පිළිබිඹු කිරීමෙන් සියලුම ක්‍රිස්තියානීන්ව වළක්වාලන්න සාතන් යොදාගන්න දෙවෙනි ක්‍රමය වන්නේ සමච්චල් කිරීමයි. මේ ගැන අප පුදුම විය යුතු නැහැ. මන්ද යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී මිනිසුන් ඔහුට සමච්චල් කරමින් සිනාසුණා; නින්දා කළා; කවටකම් කළා; කෙළ ගැසුවා. (මාක් 5:40; ලූක් 16:14; 18:32) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ටද මිනිසුන් සරදම් කළා. (ක්‍රියා 2:13; 17:32) ඒ හා සමානවම මේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන්ටත් මිනිසුන් සමච්චල් කරනවා. පේතෘස් සඳහන් කළ ආකාරයට මිනිසුන් ඔවුන්ව බොරු අනාගතවක්තෘවරුන් හැටියට හංවඩු ගසනවා. මේ ගැන ඔහු කලින්ම මෙසේ පැවසුවා. “අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, ‘පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? . . . සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය’ යි කියන්නෝය.” (2 පේතෘස් 3:3, 4) දෙවිගේ සේවකයන් නූතන සමාජයට අනුව හැඩගැසෙන්නේ නැති සෙනඟක් කියා ඔවුන් චෝදනා කරනවා. ඔවුන් බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති සලකන්නේ යල් පැන ගිය ඒවා ලෙසයි. අපි දේශනා කරන පණිවිඩය බොහෝදෙනෙක් සලකන්නේ මෝඩ දෙයක් ලෙසයි. (1 කොරින්ති 1:18, 19) ක්‍රිස්තියානීන් හැටියට අපි පාසැලේදී, රැකියා ස්ථානයේදී මෙන්ම සමහරවිට නිවසේදී පවා උසුළු විසුළුවලට ලක් වෙන්න පුළුවන්. දෙවිගේ වචනය සත්‍යය බව යේසුස් මෙන් ඔවුනුත් විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන්ගේ අධිෂ්ඨානය වී තිබෙන්නේ දේශනා කිරීමෙන් දෙවිගේ තේජස දිගටම පිළිබිඹු කිරීමයි.—යොහන් 17:17.

11. ක්‍රිස්තියානීන්ව නිහඬ කරන්න සාතන් පීඩා යොදාගෙන තිබෙන්නේ කොහොමද?

11 සාතන් අපිව නිහඬ කිරීමට පාවිච්චි කරන තුන්වෙනි ක්‍රමය නම් විරුද්ධවාදිකම් එල්ල කිරීම හෝ පීඩා ඇති කිරීමයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා.“මිනිස්සු ඔබව පීඩා විඳින්න පාවා දී මරණයට පත් කරති. තවද, මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත.” (මතෙව් 24:9) ලෝකයේ බොහෝ රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරුණු පීඩාවලට මුහුණ දී තිබෙනවා. යෙහෝවාට සේවය කරන අය සහ සාතන්ට සේවය කරන අය අතර සතුරුකමක් වර්ධනය වන බව බොහෝ කාලයකට පෙර යෙහෝවා පැවසූ බව අපි දන්නවා. (උත්පත්ති 3:15) පීඩා හමුවේ දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමෙන් මුළු විශ්වයේම පාලකයා වීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා බවට අප සාක්ෂි සපයනවා. ඉතා දරුණු තත්වයන්වලදී පවා ස්ථිරව සිටින්න මෙය මතකයේ තබාගැනීම උපකාරවත් වෙනවා. දෙවිගේ තේජස පිළිබිඹු කරන්න අපි ස්ථිර අධිෂ්ඨානයකින් සිටිනවා නම් අපව සැමදා නිහඬ කරන්න කිසිම පීඩාවකට හැකි වෙන්නේ නැහැ.

12. සාතන් ගෙනෙන විරුද්ධවාදිකම් මැද දෙවිට විශ්වාසවන්තව සිටිමින් ප්‍රීති විය යුත්තේ ඇයි?

12 ලෝකයේ දේවලට සිත ඇදී යෑමට එරෙහිව ඔබ සටන් කරනවාද? සමච්චල් හා පීඩා මැද විශ්වාසවන්තව සිටින බව ඔබ පෙන්වනවාද? එසේනම් ඔබට ඒ ගැන ප්‍රීති විය හැකියි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න. මන්ද ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.” (මතෙව් 5:11, 12) ඔබ විඳදරාගැනීමෙන් පෙනී යන්නේ යෙහෝවාගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන බවයි. ඔබට ඔහුගේ තේජස පිළිබිඹු කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ඒ බලය මගිනුයි.—2 කොරින්ති 12:9.

අපි විඳදරාගන්නේ යෙහෝවාගේ උපකාරය නිසයි

13. විඳදරාගනිමින් දේවසේවයේ හවුල් වීමට තිබෙන ප්‍රධානතම හේතුව කුමක්ද?

13 අපි විඳදරාගනිමින් දේවසේවයේ හවුල් වීමට තිබෙන ප්‍රධානතම හේතුව වන්නේ යෙහෝවාට අපි ප්‍රේම කරන නිසයි. ඒ වගේම ඔහුගේ තේජස පිළිබිඹු කරන්න අප තුළ මහත් ආශාවක් තිබෙන නිසයි. තමන් ප්‍රේම කරන හා ගෞරව කරන අයව අනුකරණය කිරීමට මිනිසුන් තුළ නැඹුරුවාවක් තිබෙනවා. අපිට අනුකරණය කිරීමට සිටින ශ්‍රේෂ්ඨතම තැනැත්තා යෙහෝවා දෙවියි. සත්‍යයට සාක්ෂි දීමටත් කීකරු මනුෂ්‍ය වර්ගයාව මුදවාගැනීමටත් ඔහු තම ඒකජාතක පුත්‍රයාව පොළොවට එව්වේ ඔහු සතු උතුම් ගුණාංගය වන ප්‍රේමය නිසයි. (යොහන් 3:16; 18:37) දෙවි වගේ අපිත් කැමති සියලු මිනිසුන් පසුතැවිලි වී ගැලවීම ලබනවාටයි. ඒ නිසයි අපි ඔවුන්ට දේශනා කරන්නේ. (2 පේතෘස් 3:9) අප කරන සේවය මගින් යෙහෝවාගේ තේජස නොකඩවා පිළිබිඹු කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ මිනිසුන් ගැලවෙනවා දැකීමට තිබෙන ආශාව මෙන්ම දෙවිව අනුකරණය කිරීමට තිබෙන අපේ අධිෂ්ඨානයයි.

14. යෙහෝවා අපිට විඳදරාගනිමින් දේවසේවය කරන්න අවශ්‍ය ශක්තිය දෙන්නේ කොහොමද?

14 අපිට විඳදරාගනිමින් දේවසේවය කරන්න අවශ්‍ය ශක්තිය දෙන්නේ යෙහෝවායි. ඔහු තම බලය, සංවිධානය හා බයිබලය මාර්ගයෙන් අපව ශක්තිමත් කරනවා. යෙහෝවා ඔහුගේ තේජස පිළිබිඹු කරන්න කැමති අයට ‘විඳදරාගැනීමට’ අවශ්‍ය ශක්තිය ‘දෙනවා.’ ඔහු අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන අතර පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාවද ලබා දෙනවා. (රෝම 15:5; යාකොබ් 1:5) ඒ විතරක් නෙවෙයි, අපිට දරාගන්න බැරි පරීක්ෂාවලට මුහුණ දෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. අපි යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා නම් ඔහු අපිට පරීක්ෂාවලින් ගැලවීමට මාර්ගය සලසා දෙන බව නිසැකයි. මේ නිසා අපට ඔහුගේ තේජස දිගටම පිළිබිඹු කළ හැකියි.—1 කොරින්ති 10:13.

15. විඳදරාගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

15 අපි විඳදරාගනිමින් දේවසේවය කරන විට ඉන් පෙනී යන්නේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන බවයි. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු. ගෙයින් ගෙට ගොස් නොමිලේ මිනිසුන්ට පාන් බෙදා දෙන්න කියා යම් කෙනෙක් ඔබෙන් ඉල්ලා සිටියා කියා සිතන්න. මේ සඳහා කාලය වැය කරමින් ගමන් වියදම්ද දරාගන්න සිදු වන්නේ ඔබටයි. ඒත් ඔබ බෙදා දෙන පාන් ලබාගන්න හුඟදෙනෙක් කැමති නැති බව වැඩි දවසක් යන්න කලින් ඔබට තේරෙනවා. ඔබ පාන් බෙදා දීම ගැන සමහරුන් විරුද්ධ වෙන්නත් පුළුවන්. මෙවැනි තත්වයක් යටතේ ඔබ දිගටම මේ කාර්යය කරයි කියා ඔබ හිතනවාද? කොහොමටවත් නැහැ. ඒ වුණත් ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ ඔබේ කාලය හා මුදල් වැය කරමින් ශුභාරංචිය දේශනා කරන්න මහත් වෑයමක් දරමින් සිටිනවා වෙන්න පුළුවන්. ඔබ මේ කාර්යයේ දිගටම හවුල් වෙන්නේ ඇයි? ඔබ මෙය කරන්න පෙලඹී තිබෙන්නේ යෙහෝවාට තිබෙන ප්‍රේමය නිසා නෙවෙයිද? ඒ වගේම යෙහෝවා විඳදරාගැනීමට ඔබට උපකාර කරමින් ඔහුගේ බලය යොදාගෙන ඔබ දරන වෑයම්වලට ආශීර්වාද කර තිබෙන නිසා නෙවෙයිද?

සැමදා මතකයේ රැඳෙන සේවයක්

16. අපි විඳදරාගැනීමෙන් දේවසේවය කරන විට අපටත් අපට සවන් දෙන අයටත් ලැබෙන්නේ කුමක්ද?

16 අලුත් ගිවිසුම යටතේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පවරා තිබෙන දේවසේවය කිසිම දෙයක් සමඟ සැසඳිය නොහැකි අනර්ඝ වස්තුවක්. (2 කොරින්ති 4:7) ඒ හා සමානව වෙනත් බැටළුවන් ලෝක ව්‍යාප්තව කරන දේවසේවයද අනර්ඝ වස්තුවක් හා සමානයි. ඔබ විඳදරාගනිමින් දිගටම දේවසේවයේ හවුල් වන විට, පාවුල් තිමෝතිට පැවසූ ලෙස ඔබටත් පුළුවන් “ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්න.” (1 තිමෝති 4:16) මේ ගැන ටිකක් සිතා බලන්න. ඔබ දේශනා කරන ශුභාරංචිය මගින් අන් අයට සදාකල් ජීවත් වීම සඳහා අවස්ථාව ලැබෙනවා. දෙවිව දැනගැනීමට ඔබ උපකාර කරන අයත් සමඟ ඔබට හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්. මේ අයත් සමඟ පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීම ගැන සිතන විට ඔබට මොන තරම් ප්‍රීතියක් දැනේවිද! ඔබ ඔවුන්ට සත්‍යය කියා දීමට දැරූ වෑයම් ඔවුන් කවදාවත් අමතක කරන්නේ නැති බව ස්ථිරයි. ඇත්තෙන්ම මෙය මොන තරම් තෘප්තියක් ලබන්න පුළුවන් සේවයක්ද!

17. අපි ජීවත් වෙන්නේ මිනිස් ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක කියා පැවසිය හැක්කේ ඇයි?

17 ඔබ ජීවත් වන්නේ මිනිස් ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයකයි. ඔබ නැවත කවදාවත් දෙවිගෙන් ඈත් වූ මිනිසුන් වෙසෙන ලොවක ශුභාරංචිය දේශනා කරන්නේ නැහැ. නෝවා ජීවත් වූයේ දෙවිගෙන් ඈත් වූ මිනිසුන් ජීවත් වූ ලෝකයකයි. ඔහු දැක්කා ඒ ලෝකය පහ වී යනවා. නෝවා ඔහුවත් ඔහුගේ පවුලේ අයවත් ගලවාගැනීම සඳහා දෙවි අණ කළ ලෙස නැවක් සෑදුවා. මෙසේ විශ්වාසවන්තව දෙවිගේ කැමැත්ත කිරීම ගැන දිවි ගලවාගත් ඔහු මොන තරම් සතුටු වෙන්න ඇද්ද! (හෙබ්‍රෙව් 11:7) ඔබටත් පුළුවන් ඒ වගේ සතුටු වෙන්න. මේ අන්තිම දවස්වලදී ඔබ රාජ්‍යයේ වැඩකටයුතුවල වැඩි දියුණුව සඳහා ඔබ කළ සේවය ගැන නව ලොවේදී ආපසු හැරී බලද්දී ඔබට ඇති වන හැඟීම ගැන සිතා බලන්න.

18. යෙහෝවා ඔහුගේ සේවකයන්ට ලබා දෙන සහතිකය සහ දිරිගැන්වීම කුමක්ද?

18 එසේනම් අපි දිගටම දෙවිගේ තේජස පිළිබිඹු කරමු. මෙය සැමදා අපේ මතකයේ රැඳේවි. යෙහෝවාත් අපේ සේවය අමතක කරන්නේ නැහැ. බයිබලයේ මෙම දිරිගැන්වීම අපට ලබා දී තිබෙනවා. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය. නමුත් ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු. අප එසේ කියන්නේ ඔබ කම්මැළි නොවී, ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්නන් වන පිණිසය.”—හෙබ්‍රෙව් 6:10-12.

ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

• ක්‍රිස්තියානීන් දෙවිගේ තේජස පිළිබිඹු කරන්නේ කෙසේද?

• දෙවිගේ සෙනඟව නිහඬ කරවන්න සාතන් යොදන උපායන් මොනවාද?

• දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන බව පැහැදිලි වන්නේ කුමකින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මෝසෙස්ගේ මුහුණේ දෙවිගේ තේජස දකින්න තිබුණා

[16, 17වන පිටුවේ පින්තූර]

දේවසේවයේ හවුල් වීමෙන් අපි දෙවිගේ තේජස පිළිබිඹු කරනවා