Skip to content

පටුනට යන්න

“ඔවුන්ට ලෙහෙසියෙන්ම නිදහස් වෙන්න තිබුණා”

“ඔවුන්ට ලෙහෙසියෙන්ම නිදහස් වෙන්න තිබුණා”

ඔවුන්ට ලෙහෙසියෙන්ම නිදහස් වෙන්න තිබුණා”

ජෙනෙවීව් ඩි ගෝල්ලෙ හෙවත් ප්‍රංශයේ හිටපු ජනාධිපති චාල්ස් ඩි ගෝල්ලෙගේ ඥාති දියණිය, උතුරු ජර්මනියේ රේවන්ස්බෲක්හි නාට්සි ගාල් කඳවුරේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පෞද්ගලිකව දැන සිටියා. ඉහත වචන සඳහන් වූයේ 1945 අගෝස්තු මාසයේ ඇය විසින් ලියූ ලිපියකයි.

පෝලන්තයේ ඔස්ච්විට්ස්හි තිබූ ගාල් කඳවුරේ සිටි සිරකරුවන්ව 1945 ජනවාරි 27වෙනිදා නිදහස් කරනු ලැබුවා. වර්ෂ 1996 පටන්, ජර්මනියේ මෙම දිනය හිට්ලර්ගේ පාලන සමයේ වධ හිංසාවලට ගොදුරුවූවන්ව අනුස්මරණය කරන දිනය හැටියට සමරනු ලබනවා.

වර්ෂ 2003 ජනවාරි 27වෙනදා බේඩන්-විටර්ම්බර්ග්හි රාජ්‍ය පාර්ලිමේන්තුවේ සභාපති පීටර් ස්ට්‍රෝබ් නිල අනුස්මරණ කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ මෙසේයි. “තමන්ගේ ආගමික හෝ දේශපාලනික මත නිසා හිට්ලර්ගේ පාලනයට යටත් වීමට වඩා දරුණු වධ හිංසාවලට ලක් වී මිය යෑමට කැමති වූ සියලුමදෙනා අපේ ඉමහත් ගෞරවයට පාත්‍ර විය යුතුයි. එවන් ගෞරවයක් වචනයෙන් විස්තර කළ නොහැකියි. හිට්ලර්ගේ පාලනයේ දැඩි නීතිවලට එකඟ වීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළාවූ එකම ආගම යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණයි. හිට්ලර්ට ආචාර කිරීමට ඔවුන් තම අත් එසෙව්වේ නැහැ. ‘නායකයාට හා ආණ්ඩුවට’ කීකරු වීමට දිවුරා පොරොන්දු වන බව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ ඔවුන්. ඒ වගේම හමුදාවට බැඳීමත් කම්කරුවන් ලෙස සේවය කිරීමත් ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ දරුවන් හිට්ලර්ගේ තරුණ ව්‍යාපාරයට බැඳුණෙත් නැහැ.”

යේසුස් ක්‍රිස්තුස් සිය අනුගාමිකයන් ගැන කීවේ මෙහෙමයි. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.” (යොහන් 17:16) මේ නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරත්වයට එකම හේතුව ඔවුන්ගේ ආගමික විශ්වාසයයි. ස්ට්‍රෝබ් මෙසේද කීවා. “ගාල් කඳවුරේ සිරකරුවන් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තමන්ගේ ඇඳුමේ දම් පැහැති ත්‍රිකෝණයක් පැළඳීමට සිදු වුණා. හිරෙන් නිදහස් වීමට හැකියාවක් තිබූ එකම පිරිස ඔවුන් පමණයි. ඒ සඳහා ඔවුන්ට කරන්නට තිබුණේ තම ආගම අත්හරින බවට ලියූ ලියවිල්ලක අත්සන් කිරීම විතරයි. එසේ කළා නම්, ඔවුන්ට ලෙහෙසියෙන්ම නිදහස් වෙන්න තිබුණා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් කොහොමටවත් තමන්ගේ ඇදහිල්ල පාවා දුන්නේ නැහැ. මේ නිසා ඔවුන්ගෙන් 1,200ක් පමණ නාට්සි පාලන කාලයේදී මිය ගියා. තවත් දෙසිය හැත්තෑදෙනෙකුව ඇදහිල්ල නිසා ඝාතනය කරනු ලැබුවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” යන ප්‍රකාශයට අනුව ඔවුන් ක්‍රියා කළේ දිවි හිමියෙන්මයි.—ක්‍රියා 5:29.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අසාමාන්‍ය පුද්ගලයන් නොවෙයි කියා උතුරු රයින්-වෙස්ට්ෆේලියාහි පාර්ලිමේන්තුවේ සභාපති උල්රිච් ස්ච්මිඩ්ට් ප්‍රකාශ කළා. ඔහු කළ කතාවට යොමුදක්වමින් එක්තරා පොතක (Landtag Intern) ඔවුන් ගැන සඳහන් කරන්නේ මෙහෙමයි. “ඔවුන් සාමාන්‍ය අය. තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන, තම ආගමික විශ්වාසයන්ට ස්ථිරව සිටින, තම ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුව නාට්සි පාලනය ප්‍රතික්ෂේප කළ ධෛර්ය සම්පන්න පුරවැසියන්.” ඉතා දුෂ්කර තත්වයන් යටතේ තමන්ට පක්ෂපාතව ලැදිව සිටි සියලුදෙනා ගැන යෙහෝවා දෙවි ඉතා සතුටු වන බව අපට ස්ථිර වෙන්න පුළුවන්. හිතෝපදේශ 27:11හි අපට කියවන්නට තිබෙන්නේ මෙයයි. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන්ට පුළුවන් වන පිණිස ඔබ නුවණ ඇතුව මාගේ සිත ප්‍රීති කරන්න.”

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

United States Holocaust Memorial Museum අනුග්‍රහයෙනි